අධිකරණයටත් වඩා බලවත් පොලිසියක්

කේ .ඒ.ඉන්දික ප්‍රභාත්ගේ නළල වෙඩි ඝාතනය කිරීමේ නඩුව බලපිටිය අධිකරණය මගින් නැවත ඔක්තෝම්බර් 08 වනදා කැදවන ලද අතර ප්‍රභාත්ට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයා වන අයි .පි. දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි.ජානක 2024 ජුලි 09 වනදා නියෝගයක් තිබුන ද පොලිසිය එම අධිකරණ නියෝගය නොසලකා හරිමින් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝග අනුව කටයුතු කර ඇත.

ප්‍රභාත්ව වෙඩි තබා ඝාතනය කරන්නේ 2022 ඔක්තෝම්බර් 10 වෙනිදා වන අතර කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කරන්නේ 2024 ජුලි 09 වෙනිදය. කොඹළගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර මාස 03 ක් ගත වි ඇත. මහේස්ත්‍රාත්වරයා කොළඹගේ අත්අඩංගුවට ගන්නැයි පස් වතාවක් පමණ නියෝග නිකුත් කර ඇතත් ,පොලිසිය එම නියෝග පිළිපැද නැත .

බලපිටිය මහෙස්ත්‍රාත් ආර්.ඩි. ජානක නඩුව තින්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය නියෝග කර ඇත.  මහේස්ත්‍රාත්වරයාගේ එම නියෝගය ඇල්පිටියට තුට්ටුවක් තරම් වටින්නේ නැත . පොලිසිය කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැතිනම් මහේස්ත්‍රාත්වරයාට ඇති විකල්පය අධිකරණයේ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා අධිකරණයට අපහාස කළා යැයි ඇලිපිටිය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමය . එසේ නොවුන හොත් ඔබතුමාගේ පෞරුෂයට එය බලපෑ හැකිය.

“කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ කියන්නේ කොළඹගේට එක නීතියක් සමාන්‍ය මහජනයාට තවත් නීතියක් කියන එක බවත් මින් ඉදිරියට බලපිටිය අධිකරණය ඉදිරිපිට කිසියම් පුද්ගලයෙකු ඝාතනය කළහොත් හෝ බලපිටිය අධිකරණ බල ප්‍රදේශයේ එවැනි මිනී මැරුමක් සිදු වුහොත් හෝ එම මිනී මැරුමට ආදාළ සියලුම පරික්ෂණ අවසන් වන තෙක් එම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළහොත්  ඊට විරුද්ධ වන්නැයි” නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ එම අධිකරණයේ සේවය කරන නීතිඥවරුගෙන් ඉල්ලා සිටියේය.

නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන යැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් කොට ඇත. එම වැකිය පට්ටපල් කේබරයක් බව ඉන්දික ප්‍රභාත්ගේ සිද්ධිය මගින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තහවුරු කර තිබේ . නීතියේ ඊනියා සමාන කම මෙන්ම නීතියේ පන්ති ස්වභාවය ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනයත් සමග එළිමහන පෙනෙන්නට පටන් ගෙන ඇත.  සමාන්‍ය වැසියෙකු මිනීමරුවා නම් ඔහුව අතුඅඩංගුවට ගන්න බැරි වුහොත් එම පුද්ගලයාගේ බිරිද හෝ අම්මා තාත්තා හෝ දරුවෙකු හෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ඇත. මේ වැනි නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සමහර මහේස්ත්‍රාත්වරු විසින් මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් යැයි පොලිසියට අවවාද කර මුද්‍ර හරින අතර බොහෝම මහේස්ත්‍රාත්වරු පොලිසියේ එම නීති විරෝධී ක්‍රියා නිහඩව අනුමත කරති.

කම්කරු -පීඩිත මහජනයාට එරෙහිව පොලිසිය එසේ කටයුතු කළත් පාලකයන්ට හෝ ධනකුවේරයන්ට හෝ  එරෙහිව පොලිසිය කටයුතු කරන්නේ නැත. ධනපති පොලිසිය නීතිය හා සාමය රැකීම යනු ධනකුවේරයන්ගේ  සහ පාලකයන්ගේ දේපල ආරක්ෂා කිරීමය. සුරා කෑ සහ මංකොල්ලා කෑ ධනපති දේපල ආරක්ෂා කරන්නේ කාගෙන්ද? කම්කරු -පීඩිත මහජනයාගෙන්ය . ධනපති නීතිය යනු මහජනයාට එරෙහිව පිහිටුවකි .

රාජ්‍ය නොවන සංවිධාන වලින් සහ ක්‍රිස්තියානි පල්ලි වලින් යැපෙන සමහර මාධ්‍යවේදීන් අපේ රටේ මේ සියලු ප්‍රශ්න වලට හේතුව ධනපති නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවිමයි කෑ මොර දෙති. ධනපති දේපල සහ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් සකස් කළ නීතිය අපේ නීතියක් වෙන්නේ කොහොම ද? මොහුන් මේ ඉල්ලා සිටින්නේ මහජනයාට එරෙහිව පිහිටු  නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් ධනපති ආණ්ඩු වලට බල කරති. අපිට බැලු බැල්මට පෙන්නේ මොහුන් ප්‍රගතිශීලි වැඩක් කරන බව පෙනුත් ඔවුන් කරන්නේ ප්‍රතිගාමී කොන්ත්‍රාත්තුවකි.

ආයුධ පෙන්වන්නැයි රැගෙන ගොස් මරා දැමු පලමු සහ අවසාන පුද්ගලයා ඉන්දික ප්‍රභාත් නොවෙයි. ආයුධ පෙන්වීමට යැයි රැගෙන ගොස් මරා දැමීම ආරම්භ වුයේ 1988 සහ 89 ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට එරෙහිවය. එම පෙරමුණේ නායකයා වන රෝහණ විජේවීර ඇතුළු බොහෝ නායකයින් මරා දැමුවේ ආයුධ පෙන්වන්ට යැයි රැගෙන ගොසින්ය.  89 කැරැල්ලෙන් පසු එම සුත්‍රය පාතාලය සහ පාලකයන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කිරීම සදහා ද යොදා ගත්තේය . මාකදුරේ මදුෂ් සිටියේ පොලිස් දෙපාර්මේන්තුව බාරේය.  අධිකරණ බාරේ සිටි කොස්ගොඩ තාරක රදවා සිටියේ බුස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේය. මදුෂ් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නට යැයි රැගෙන ගොස් මරා දැමු අතර තාරක ආයුධ පෙන්වන්නට යැයි රැගෙන ගොස් මරා දැමුවේය. 1989 පසු ආයුධ පෙන්වන්ට යැයි රැගෙන ගොස් මරා දැමු සංඛ්‍යාව දහස් ගණනකි . හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යටතේ ආරම්භ කළ ඊනියා යුක්තියේ මෙහෙයුම යටතේ මරා දැමු සංඛ්‍යාව විස්සක් පමණ වෙයි. මෙසේ මරා දැමු අයගෙන් බහුතරයක් දෙනා වෙනුවෙන් ඥාතීන් පෙනී නොසිටි අතර ඔවුන්ට යුක්තිය ඉෂ්ට වුයේ ද නැත.  නමුත් ඉන්දික ප්‍රභාත්ව වෙඩි තබා ඝාතනය කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ අයි. .පි. කොළඹගේ වරදකරු කරමින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය.එම නියෝගය ක්‍රියාත්මක කිරීමට යෑමේ දී බාහිර බලපෑම් හේතුවෙන් යම් ප්‍රශ්න මතු වි ඇතත් එම නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට අපේ ගෞවරය හිමි විය යුතුය.

ප්‍රභාත්ව ඝාතනය කර ඇත්තේ ඉතා මිලේච්ජ ආකාරයටය. කොළඹගේ ඔහුගේ නාසයට තබන ලද උණ්ඩය නාසයට ඉහලින් ආරම්භ වී හනුක අස්ථීය , ගෙලෙහි මංශ පේශී , රුධිර නාල, දකුණු පෙනහැල්ල සහ අක්මාව පාසාරු කරගෙන උදර කුහරය තුළ උණඩය රැදි තිබි සොයා ගෙන ඇත. වෙඩි උණ්ඩය මරණකරුගේ නාසය දෙසින් ශරිරය තුළට ඇතුල් වී පහල ගමන් කර ඇති බව පැහැදිලිව පෙනී යන බව වෛද්‍ය වාර්තාවේ සදහන් වේ . උණ්ඩය පිටවිමක් සිදු වි නැති බවත් එම වාර්තාවේ සදහන් වි ඇත.

ප්‍රභාත් සගවා තිබු ආයුධයක් ගෙන පොලිසියට වෙඩි තබද්දී, කොළඹගේ මිලි මිටර 09 ස්ව්‍යං ක්‍රිය ගිනි අවියකින් ප්‍රභාත් දෙසට වෙඩි තුනක් තබා ඇත. ප්‍රභාත් පොලිසියට වෙඩි තබද්දී  අයි.පී. කොළඹගේ සිට ඇත්තේ ඔහුට පිටු පසින්ය. කොළඹගේ ආත්මාරක්ෂාව සදහා ඔහුට වෙඩි තැබුවා නම් එම උණ්ඩ වැදිය යුත්තේ ප්‍රභාත්ගේ පිටුපසටය. නමුත් ඔහුගේ පිටුපසට වෙඩි වැදි නැති අතර වෙඩි වැදුනා නම් එම වැදුනු උණ්ඩ පිටවිය යුතුය . ප්‍රභාත්ට දුරක සිට කොළඹගේ වෙඩි තැබුවා නම් ඒ උණ්ඩය ඔහුගේ ශරීර අභ්‍යන්තරයට ගමන් කරන්නට විධියක් නැත. කොළඹගේ ඔහුට වෙඩි තබා ඇත්තේ , ප්‍රභාත්ව දණ ගස්සවාය . ප්‍රභාත්ව මරණය චේතනාන්විතව සිදු කළ ඒකාක් බව මහේස්ත්‍රාත්වරයා පවසයි.

ඉන්දික ප්‍රභාත් යුද හමුදා ඉජිනේරු බලකායට අනුයුක්තව සේවය කළ දක්ෂ වෙඩික්කරුවෙකි .ඔහු අතීතයේ මකොල්ලා කෑම් සිද්ධි කිපයකට සම්බන්ධ වී ඇතත්,මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හෝ පාතාල කණ්ඩායම් වලට සම්බන්ධයක් නැත. නාඔටුන්න ආචාරිගේ පියුම් හමු විමත් සමග නීති විරෝධි වැඩ වලින් ඉවත් වු ප්‍රභාත් වායු සමනය කළ ලොරියක් මිල දී ගෙන ධිවර සංස්ථාවට අයත් වෙළද සැල් වලට මාළු දමා ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ප්‍රභාත්ව අත්අඩංගුවට රැගෙන වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහු පියුමි සමග පිටරටකට යෑමට සුදානම්ව සිටියදීය.

ප්‍රභාත් ඝාතනයට දකුණේ පාතාලය ගෑ වී ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔහුව මරා දමන්නේ කොස්ගොඩ සුජිගේ කොන්ත්‍රාත්තුවකට බව දකුණේ පාතාල ආරංචි මාර්ග සදහන් කරයි.රත්මලනේ රෝහා මරා දමන්නේ රත්මලානේ අංජු‌ගේ කොන්ත්‍රාත්තුවකට පෑලියගොඩ අපරාධ කොට්ඨාශ මගින්ය. රෝහා මැරීමේ කොන්ත්‍රාත්තුව කොටි 04 කි . හිටපු පොලිස්පති දේශබන්දුගේ ද නම මෙන්ම එම සිද්ධියට ආදාළ හඩ පට ද සමාජ මාධ්‍ය ජාලයෙන් සැරිසැරිණි.

පියුමිගේ ධ්‍යෛීය, කැපවීම සහ සල්ලිත් නොතිබෙන්නට, ජනාධිපති නීතිඥ අනුර මැදගොඩත් ඇතුළු නීතිඥ කණ්ඩායම ප්‍රභාත්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටියේ නම් ප්‍රභාත් ආරාධකරයෙකු ලෙස වැලි තලාවෙන් වැසි යන්නට ඉඩ තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරලාට ප්‍රභාත් නඩුව ඇද ගෙන යන පියුමි මාරක අනතුරක් වී ඇත. ප්‍රභාත්ව අත්අඩංගුවට ගත් 2022 ඔක්තෝම්බර් 12 වනදා නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර කොට්ටේගෙඩ නිවසට පැමිණි සිටි බවට පියුමි අධිකරණයෙදී ලබාදුන් කටඋත්තරය ඊට හේතු වී ඇත. ඇයගේ ජිවිතයට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් මෙන්ම එම බලකායට හිතවත් පාතාල සංවිධාන වලින් ජිවිත අනතුරක් ඇතැයි ලංකා ස්කයි නිව්ස් හෙළි කළේය.

ප්‍රභාත්ගේ ඝාතකයා බේරා ගැනීම සදහා නීතිපති, පොලිස් දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විශාල උත්සහයක් දරයි. එම අධම උත්සහය පැරදවීම සදහා නොවැම්බර් 05 වනදා බලපිටිය අධිකරණය ඉදිරිපිටට පැමිණෙන්නැයි අපි මේ රටේ ප්‍රගතිශිලී කම්කරු -පීඩිත මහජනයාගෙන් ඉල්ලමු.

ධනපති සමාජයේ පරස්පරතා හේතුවෙන් නිර්මානය වන මිනිසුන් මරා දමා ධනපති ක්‍රමය බේරා ගත නොහැකිවා සේම ධනපති ක්‍රමය පෙරළා දැමිමෙන් මෙපිට එම පරස්පරතා විසදිය ද නොහැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *