අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත – ජෙහාන් පෙරේරා
ණය ආපසු ගෙවීමේ අර්බුදවලට මුහුණ දී සිටින අනෙකුත් රටවල් කම්පනයට පත්කළ කෝලාහල සහ දේශපාලන අස්ථාවරත්වයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් බේරී ඇත. කෙන්යාව සහ වඩාත් මෑතක දී බංග්ලාදේශය මහාපරිමාණ කැරලිවලට මුහුණදී ඇති අතර, ඒවා මහජනතාවට දැනෙන වේදනාව තියුණු කර ඇති ආර්ථික ගැටලුවල සෘජු ප්‍රතිවිපාක වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු බලය ලබාගන්නා විට ශ්‍රී ලංකාව ද ගමන් කරමින් සිටියේ එවැනිම මගක ය. ජනාධිපතිවරයාගේ ආර්ථිකය හැසිරවීම සහ අන්තර්ජාතික ණය සඳහා ප්‍රවේශය නැවත ලබාගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඔහු ලබාගෙන ඇති සහයෝගය අන්තර්ජාතික ප්‍රජාවේ ප්‍රශංසාවට හේතු වී තිබේ. උත්ප්‍රාසාත්මක ලෙස, ඉවසීමින් සහ නිහඬ බවින් සිටියත්, බහුතර ශ්‍රී ලාංකීය ජනතාව වෙනස් මතයක් දරමින් සිටින අතර, එය ජනාධිපතිවරණයේදී ඔහුගේ ජනප්‍රියත්වය උරගා බැලීමට ජනාධිපතිවරයා දක්වන මැලිකම මගින් පැහැදිලි කළ හැකිය.
කෙසේවෙතත්, ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන්නේද යන ප්‍රශ්නය, අවසානයේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් සැප්තැම්බර් 21 මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සමථයකට පත් වී ඇති බව පෙනේ. මෙම ගැටළුව පසුගිය මාස කිහිපය තුළ මහජන සැකසංකාවල කේන්ද්‍රස්ථානය විය. මීට මාස කිහිපයකට පෙර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කළ අතර ආණ්ඩුවේ ඇමැතිවරු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කතාකරන්නට වූහ. ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකළ අවස්ථාවේදී 22 වැනි සංශෝධනය ගැසට් කරන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවීමෙන් පසු, ඔහුගේ පත්වීමට එරෙහි නඩුවේ තීන්දුව ලබාදෙනතුරු මැතිවරණය පැවැත්විය හැකිද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සැක පහළ කළේය.
අන්තර්ජාතික ප්‍රජාව විසින් පවා, ඔවුන්ගෙන් සමහරෙක් අන්තර්ජාතික ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය අඩපණ කරන මැතිවරණ පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කරන අතරතුර වුවද, ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සැකසංකා මේ වන විට පහව ගොස් ඇත. කෙසේවෙතත්, එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට දින නියම කිරීම සාදරයෙන් පිළිගත් විට, මැතිවරණය සඳහා පිළිගැනීමක් එක්විය. අන්තර්ජාතික දේශපාලනය පිළිබඳ ඔහුගේ අවබෝධයට අනුව, මැතිවරණ කල්දැමීම විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රජාව විසින් නොඉවසන බවත්, එසේ කල්දැමුවහොත් එය ඔහුගේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට බෙහෙවින් බාධාවක් වනු ඇති බවත්, ජනාධිපති වික්‍රමසිංහට වැටහෙන්නට ඇත. අන්තර්ජාතික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ එහි නියෝජිතයන් විශාල වශයෙන්, බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇත්තේ තමන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ද සහාය දක්වන බවයි.
ජනතාව දුක් විඳිමින් සිටිති
දුප්පත් රටවලින් සම්පත් උකහා ගන්නා වත්මන් ආර්ථික ක්‍රමයේ ප්‍රධාන ප්‍රතිලාභීන් ධනවත් රටවල් වන බැවින්, අන්තර්ජාතික ප්‍රජාව විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට ලබාදෙන සහයෝගය ගැන පුදුම විය යුතු නැත. IMF ප්‍රමුඛ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට ප්‍රකෘතිමත් වීමේ මාර්ගය ලෙස දැකීම ඔවුන්ගේ ප්‍රබුද්ධ ආත්ම අභිලාෂයයි. ශ්‍රී ලංකාවේ තවත් සංචාරයකින් පසු IMF ඔවුන්ගේ නවතම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ මෙසේය. “ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදී ඇත. සැබෑ දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු තුනක් ප්‍රසාරණය වීමත් සමඟ ප්‍රකෘතිමත් වීම අඛණ්ඩව සිදුවන අතර, 2024 පළමු කාර්තුවේ දී වසරින් වසර සියයට 5.3 දක්වා වර්ධනය වේගවත් වේ. උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ සියයට 5 ඉලක්කයට වඩා අඩු මට්ටමක පවතින අතර දේශීය ණය ගැනීම් අනුපාතද පහත වැටී ඇත. 2024 පළමු අර්ධය තුළ දළ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කින් වැඩිවී ඇමරිකානු ඩොලර් බිලියන 5.6 දක්වා ළඟාවී තිබේ.”
කෙසේවෙතත්, සාමාන්‍ය ජනතාවට තවත් දුෂ්කරතා ඇති වන බවට අනතුරු ඇඟවීමට IMF කණ්ඩායමට කාරුණිකවී තිබිණි. “ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක සිට සිදුකළ ප්‍රකෘතිමත් වීමත් සමඟ, ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වාගැනීම සහ සියලුම වැඩසටහන් කැපවීමකින් කාලානුරූපව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට, අද දක්වා දුෂ්කර ලෙස ජයග්‍රහණය කර ඇති ආර්ථික ප්‍රගතිය තහවුරු කිරීමට සහ ආර්ථිකය ස්ථිර පදනමක් මත තැබීමට ඉතා වැදගත් වේ. සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගැනීම සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත්කිරීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා තවදුරටත් උත්සාහයන් අවශ්‍ය වේ. වෙනත් වචන වලින් කිවහොත්, රට තුළින් තවත් මුදල් උකහා ගැනීමට අවශ්‍ය වන අතර, එයින් ඇඟවෙන්නේ වසර තුනකට පෙර ලබාගත් ආදායමට සමානව අඩු වැඩි වශයෙන් උපයන අතරම, දැනටමත් මූලික අත්‍යවශ්‍ය දේ සඳහා දෙතුන්ගුණයක් ගෙවන සාමාන්‍ය ජනතාවට ඊටත් වඩා ගෙවීමට සහ ඊටත් වඩා අඩුවෙන් පරිභෝජනය කිරීමට සිදුවනු ඇති බවයි.”
ප්‍රශ්නය වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී ඇති ආර්ථික පෙරළිය ඇත්ත වශයෙන්ම ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන්නේද යන්නයි. දරිද්‍රතා මට්ටම සියයට 26 දක්වා දෙගුණයක් වී ඇති බැවින් ආර්ථික පෙරළිය පිළිබඳ සාක්‍ෂි සෘණාත්මක වන අතර, මන්දපෝෂණය ළමුන්ට වැඩි වැඩියෙන් බලපාන බව පෙන්වන සංඛ්‍යාලේඛනවලින් ද ඒ බව සනාථ වේ. 2015 දී ඒකපුද්ගල මාළු පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 30 ක් පමණ විය. අද වන විට එය කිලෝග්‍රෑම් 19ක් පමණ දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලාංකිකයන් විසින් පරිභෝජනය කරන සත්ව ප්‍රෝටීන්වලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් මාළුවලින් ලැබෙන බැවින් මෙය ව්‍යසනකාරී පහත වැටීමකි. පරිභෝජනය පහත වැටීමට හේතු වී ඇත්තේ මාළු මිල ඉහළ යෑම වන අතර, ඉන්ධන මිල තුන්ගුණයකින් වැඩිවීම නිසා මාළු ඇල්ලීම අඩුවීම සහ වැඩි මසුන් ඇල්ලීම සඳහා ධීවරයන්ට ගැඹුරු මුහුදට යෑම ලාභදායී නොවන බැවින් ඔවුන්ට අඩු මිලට සිය අස්වැන්න අලෙවි කළ නොහැක.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සහ එහි බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම සැළකිය යුතු විවාදයක් සහ විවේචනයක් නිර්මාණය කර තිබේ. Verite Research හි ආචාර්ය නිශාන් ද මෙල් පවසන පරිදි, ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ණය තිරසාරතා පරාමිතීන් ක්‍රියාත්මක කළ නොහැකි අතර, දැනට දක්වා ඇති මාවතේ දී රට ණය තිරසාර බවක් ලබානොගනු ඇත. එය වෙනස් කළ යුතු අතර, නැතහොත් අනාගතයේදී එය තවදුරටත් පෙර අර්බුදයේම ගොදුරක් වනු ඇත. එහිදී ඔහු විකල්ප දෙකක් ඉදිරිපත් කරයි. පළමුවැන්න නම් “අන්තර්ජාතිකව පළමු චතුරශ්‍රයට ආපසු යන්න: ශ්‍රී ලංකා රජයට සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ණය තිරසාර පරාමිතීන් නැවත සකස් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීම, එය සිදුකිරීම සහ සාකච්ඡා නැවත ආරම්භ කිරීම. ක්‍රියාවලියේ සියලුම පාර්ශ්වයන් වෙතින් අවශ්‍ය කැමැත්ත අහිමි නොවනු ඇත”
නරක ගනුදෙනුවක්
ආර්ථික ප්‍රකෘතියේ සිට දූෂණයට එරෙහිව කටයුතු කිරීම සහ ආර්ථික බිඳවැටීම අලුත් ජනවාර්ගික ගැටුමේ විභව ගැටලු ආමන්ත්‍රණය කිරීමට නොහැකි වීම යන ගැටළු දිගටම පැවතුණහොත් හෝ නරක අතට හැරේ නම්, ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ නව පාලනය දැවැන්ත අභියෝගවලට මුහුණදෙනු ඇත. මෙම ගැටළු විසඳීම සඳහා පරිපූර්ණ සහ එකාබද්ධ ප්‍රවේශයක් අවශ්‍ය වේ. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ අභියෝගයයි. අනාගතය පිළිබඳ ශුභවාදී ප්‍රකාශයන් රජය සතුව තිබුණද, ආර්ථික ප්‍රකෘතියේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ උතුරේ හෝ දකුණේ, නැඟෙනහිර හෝ බටහිර ජනතාවගෙන් බහුතරයකට ළඟා වී නැත. මෙය තවදුරටත් අස්ථාවර තත්වයක් නිර්මාණය කරයි. එළැඹෙන මැතිවරණයේදී ආණ්ඩුව වෙනස් කිරීමෙන් අනතුරුව, පැමිණෙන අලුත් ආණ්ඩුව ඉක්මණින් ප්‍රතිඵල පෙන්වනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව විශාල වශයෙන් ඉවසීමෙන් හා නිහඬව සිටිති. භයානකම කාරණය වන්නේ එය අසාර්ථක වුවහොත්, දැනට සැඟවී සිටින අතීත යක්ෂයන් නැවත මතුවිය හැකි වීමයි.
බහුතර ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වේ. රජය සාර්ථක යැයි කියන සාකච්ඡා, වෙනත් ණය ලබාගත් රටවල් විසින් පනවා ඇති කොන්දේසිවලට සාපේක්ෂව සාර්ථක යැයි කිව නොහැක. දැනට සිදුකර ඇති ණය ගනුදෙනුවද සාර්ථක යැයි කීමට හැකියාවක් නැත. Graf von Luckner C.M., Meyer J., Reinhart C.M., Trebesch C.(ප්‍රකාශන දිනය, 06/2024) විසින් කරන ලද පර්යේෂණ අධ්‍යයනයක් මගින් තොරතුරු අනාවරණය කර ඇත්තේ, “පසුගිය වසර 200 පුරා, ණයහිමියන්ගේ පාඩු හෝ “ණය සහන ලබාදීම්” කෙරෙහි අවධානය යොමුකරමිනි. මෙම අධ්‍යයනය 1815 සිට බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ සිදුකර ඇති ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් 327 ක් ආවරණය කරයි. ණයහිමියන්ගේ පාඩු පුළුල් ලෙස වෙනස් වේ (0% සිට 100% දක්වා). එහිදී සංඛ්‍යානමය ව්‍යාප්තිය ශතවර්ෂ දෙකක් පුරා කැපීපෙනෙන ලෙස ස්ථාවරව පවතී. එනම්, සාමාන්‍ය ණය කප්පාදුව සියයට 45ක් පමණ වේ.” ඊට සාපේක්ෂව, ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය දහනය කෙතරම් නොසැළකිව යුතුද යත්, IMF හෝ රජය එය කුමක්දැයි පැහැදිලිව නොකියයි.
නව ආණ්ඩුවේ පළමු ප්‍රමුඛතාව විය යුත්තේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ අනෙකුත් අන්තර්ජාතික ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කොන්දේසි නැවත සාකච්ඡා කිරීමයි. ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය නිසා, බංකොලොත්භාවයෙන් බේරීමට රජය කඩිමුඩියේ විදේශ ණයහිමියන් සමග බැරෑරුම් කොන්දේසිවලට එකඟවූ අතර, රටේ මංමුලා සහගත බව ප්‍රයෝජනයට ගැනීමට එහිදී බාහිර පාර්ශව කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ. දෙවනුව, අතිරේක මූල්‍ය ආතතියට උරදීම සඳහා අවම හැකියාවක් ඇති දුප්පතුන්ගෙන් ආර්ථික බර ඉවත්කිරීම තීරණාත්මක ය. ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල (EPF) රජය විසින් ඉලක්ක කිරීම, කම්කරුවන්ට ගෙවිය යුතු විශ්‍රාම වැටුප් අඩුකිරීම, බැංකුවලට බිලියන ගණන් ණය වී සිටින අයට සහන සැලසීම යන තත්වයන්, අවදානමට ලක්විය හැකි අයට අසමාන ලෙස බලපා ඇති අසමාන ප්‍රවේශයන් සඳහා නිදසුන් සපයයි. එමනිසා, ආර්ථික ප්‍රකෘතිය සඳහා වන පිරිවැය සාධාරණ ලෙස බෙදාහැරීමටත්, ශ්‍රී ලංකාව කෙන්යාවේ සහ බංගලාදේශයේ මාවතට නොයන්නටත්, වඩා සමබර උපාය මාර්ගයක් අවශ්‍ය වේ.