අමානුෂික පාහරදිමක් සම්බන්ධයෙන් වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුරාධපුර පොලිසියට නියෝග කරයි

අපරාධයක් පිළිබඳව පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය පොලිසියට අවශ්‍ය ආකාරයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් එම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් අනුරාධපුර පොලිසියේ නිලධාරින් තිදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය
අනුරාධපුර, මීගොඩ වැව ප්‍රදේශයේ පදිංචි සචිත්ත ප්‍රභාත් විජේරත්න නමැති තරුණයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමය වර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ අනුරාධපුර පොලිසියේ පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි, පොලිස් සැරයන් සම්පත් සහ පොලිස් සැරයන් නිශාන්ත යන නිලධාරින් එම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවලට වරදකරු කරන බවත් තීන්දුවේ සඳහන් කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි නැමත්තා මියගොස් ඇති බව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ඒ අනුව සෙසු සැරයන්වරු දෙදෙනාට ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි සහ රුපියල් 25000/- බැගින් නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන්ය.
එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත්කළ දින සිට මාසයක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු යැයි වග උත්තරකාර පොලිස් නිලධාරීන් දෙදෙනාට නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුවේ පිටපතක් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජාතික පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙසත් නියෝග කළහ.
තීන්දු ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ 2020 වසරේ ඔක්තෝම්බර් මස 03 වනදා යකල්ල නමැති ග්‍රාමයේදී දහවල් 1.30 ට පමණ ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව කියමින් වග උත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කාර තරුණයාව පොලිසියට රැගෙන ගොස් ඇති බවයි.
” අපරාධ විමර්ශන අංශයට රැගෙන ගිය එම තරුණයා වග උත්තරකරුවන් විසින් සොරකමක් ගැන ප්‍රශ්න කර ඇති බවත් පෙත්සම්කරු ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළේය. පසුව පෙත්සම්කරුගේ අත් සහ පාද බැඳ එල්ලා පොල්ලකින් වග උත්තර කාර පොලිස් නිලධාරීන් විසින් පහරදී ඇති බවත් එසේ පහර දෙමින් අදාළ සොරකම ගැන පාපොච්චාරණයක් කරන ලෙස ඔවුන් පෙත්සම්කරුට බල කර ඇත. එහෙත් පෙත්සම්කරු එවැනි පාපෝච්චාරණයක් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් පසුව ඔවුන් පැය ගණනාවක් පෙත්සම්කරුට අමානුෂික ලෙස පහර දෙමින් කෘෘර වධ හිංසනයට භාජනය කර පසුව හිස් කඩදාසියකට පෙත්සම්කරුගේ ඇඟිලි සලකුණු සහ අත්සන් වගඋත්තරකරුවන් විසින් ලබා ගත්තා.”යනුවෙන් සඳහන් කළ විනිසුරුවරු මෙම අවස්ථාවේදී පෙත්සම්රු විසින් තමන්ට පානය සඳහා ජලය ලබා දෙන ලෙස ආයාචනා කළත් වග උත්තරකරුවන් විසින් එය පසුදින තෙක් ලබා නුදුන් බව නඩු විභාගයේදී අනාවරණය වූ බවත් සඳහන් කර සිටි.
පෙත්සම්කරු ජලය හා ආහාර ලබාදීමට කටයුතු කර ඇත්තේ පසුදා බවත් නඩුවට ඉදිරිපත් කෙරුණු දිවුරුම් පෙත්සම් වල සඳහන් කර තිබෙන බවත්ය.
ඉන් අනතුරුව පසුදා අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ලෙස තුවාල ලබා සිටි තරුණයා රෝහල් ගත කෙරුණු බවත් තීන්දුවේ සඳහන් කර ඇත.
ඉන් අනතුරුව පෙත්සම්කරු වෙත හෙරෝයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනා ව්‍යජ ලෙස එල්ල කරමින් වැඩ බලන මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.
ඉන් අනතුරුව රෝහලට පැමිණි වග උත්තර කාර පොලිස් නිලධාරීන් මෙය තමන් අතින් සිදුවූ වරදක් බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටි අතර ගොනුකර තිබෙන චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන් බවත් පෙත්සම්කරු සිය පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
එහෙත් පොලිසියේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් ඔහු සඳහන් කර සිටියේය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු ප්‍රකාශ කළේ පෙත්සම්කාර තරුණයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී වගඋත්තරකරුවන් නීතිය අභිබවා ගොස් තමන්ට පැවරී තිබෙන බලය අත්තනෝමතික ආකාරයෙන් පරිහරණය කරමින් කටයුතු කර ඇති ආකාරය පෙනී යන බවයි.
තමන් විසින් සිදුකළ නීති විරෝධී ක්‍රියාව යටපත් කිරීම සඳහා ගොතන ලද චෝදනා පෙත්සන්කරු වෙත ඉදිරිපත් කරමින් අනවශ්‍ය ආකාරයට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වග උත්තරකරුවන් ක්‍රියාකර ඇති බවත් විනිසුරුවරු චෝදනා කළේය.
සමාජයේ බලය අහිමි සහ අව වරප්‍රසාදිත පිරිස් පොලිසියේ මෙවැනි මානුෂික ක්‍රියාවන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් විනිසුරුවරු මෙය කණගාටුදායක තත්ත්වයක් ලෙස අධිකරණය නිරීක්ෂණය කරන බවත් තීන්දුවේ සඳහන් කෙරිණ.
ඒ අනුව උත්තරකාර පොලිස් නිලධාරීන් තුන්දෙනා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) , 13(1) යන ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.