ආරුගම්බේ, ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඇමරිකානු අනතුරු ඇඟවීම: සිංහල, දෙමල, මුස්ලිම් ජනයාගේ එකමුතුවට සටන් වදිනු!
නන්දන නන්නෙත්ති විසිනි
කොලඹ, ඇමරිකානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශයක් වන නැගෙනහිර පලාතේ අරුගම්බේ එල්ල කර ගත් ප්‍රහාරයක් සිදුවීමේ හැකියාවක් ගැන විශ්වාස කටයුතු ඔත්තුවක් ලැබී ඇති බව 23 උදෑසන නිවේදනය කිරීම, ලොව පුරා අවධානය දිනා ගත් කරුනක් විය. ශ්‍රී ලංකාවේ සංචාරය කරන හෝ පදිංචි ව සිටින ඊශ්‍රායල ජාතිකයන් එල්ල කරගත් ප්රහාරයක සැලසුමක් ගැන පුලුල් සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. එය ඇමරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ සහායෙන් ඊශ්‍රායල ෆැසිස්ට් තන්ත්රය දැන් මැද පෙරදිග සිදු කරන සමූලඝාතනයට පක්ෂපාතීත්වය ඉල්ලා සිටින උද්ඝෝෂණයකි.
එය විශේෂයෙන් ම මෙරට පීඩිත මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල බෞද්ධයන් උසිගැන්වීම ඉල්ලා සිටී. එසේ ම එය, පොදුවේ ලෝකය පුරා ඉස්ලාමිකයන්ට එරෙහි ව අධිරාජ්‍යවාදීන් විසින්, 1990 ගනන්වල ආරම්භ කරන ලද ප්රකෝපකාරී ව්‍යාපාරයේ සැර බාල වෙමින් පැවතීමට දැක් වූ ප්‍රතිචාරයක් ද වේ.
ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින ඊශ්‍රායල පුරවැසියන් ගනන 575 ක් පමන වන බව සඳහන් ය. පසුගිය මාස 9 තුල මෙරටට පැමිනි මිලියන 1.5 ක් වූ සංචාරකයන් අතර ඊශ්‍රායල්වරු සංඛ්‍යාව සියයට දශම 1.5 ක්, එනම් 20,000ක් පමනි. මෙහි සිටින යුදෙව්වන්ට විරුද්ධ ව ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානම ගැන උක්ත ප්රචාරයත් සමග ආරුගම්බේ බොක්ක, වැලිගම, අහංගම, ගාල්ල සහ හික්කඩුව යන ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය එහි පුරවැසියන්ට දැනුම් දුන්නේ ය. මේ සමග ම සමාජයට විවෘත වූ තවත් රහසකි. මෙහි රැදී සිටින ඊශ්‍රායල්වරුන්ට සංචාරක වීසා හැර වෙනත් බලපත්‍ර කිසිවක් නැතත්, ඔවුහු විවිධ ව්‍යාපාර පවත්වා ගෙන යති. සියොන්වාදී ප්‍රජා මධ්‍යස්ථාන (Chabad House) පවත්වා ගෙන යති. ඊශ්‍රායල සියොන්වාදී තන්ත්රය මැද පෙරදිග සිදු කරන සමූලඝාතනයට සහාය පිනිස උද්ඝෝෂනය කරති. මේවා සිදු වන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන නැගෙනහිර හා දකුනු මුහුදුබඩ ප්‍රදේශවල ය. තානාපති අනතුරු හැඟවීමෙන් පසු දින ගනනක් මේ කරුනු සඟවා ගෙන සිටීමට ආන්ඩුව උත්සාහ කලේ ය. අරුගම්බේ චබාඩ් මධ්‍යස්ථානය ගැන පොලිස් ප්‍රකාශක නිහාල් තල්දූව කීවේ, ඊශ්‍රායල් ජාතිකයන් මුහුදු රල මත ලිස්සා යාම (surfing) ප්‍රිය කරන අතර, ඒ සඳහා පැමිනෙන ඊශ්‍රායල ජාතිකයන් සඳහා හෝල් එකක් වැනි යමක් සාදා ගෙන ඇති බව ය.
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම උපදේශනය, “ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වයට අදාළ විරෝධතා ඕනෑම වේලාවක පුපුරා යා හැකි” යයි අනතුරු අඟවා ඇති බව ABC news වාර්තා කර ඇත. එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිලිබඳ මෙම වාර්තාව සකස් කර ඇත්තේ ඔක්තෝබර් 2දා ය. ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව එහි අවදානම් උපදේශන මාර්ගෝපදේශයෙහි ශ්‍රී ලංකාව “2 වන මට්ටමේ” අවදානමක් සහිත රටක් ලෙස ලැයිස්තුගත කරයි. එයින් අදහස් කරන්නේ එහි සිටින ඇමරිකානුවන් “වැඩි අවධානයකින් ක්‍රියා කළ යුතු බවය”යි ABC පෙන්වා දෙයි. ඇති විය හැකි උද්ඝෝෂනවල දී කඳුලු ගෑස් භාවිත වන නිසා එවැනි තැන්වලින් ඈත්ව සිටීම ද උපදේශයේ සඳහන් ය. “ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවී ඇත්තේ සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ය”. ඒවායේ ඉලක්කවලට සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සවාරි ප්‍රදේශ, රජයේ පහසුකම් සහ විනෝදාස්වාද ස්ථාන ඇතුලත් ව තිබූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. එහෙත් කොලඹ ඇමරිකානු තානාපති කර්යාලය 23 දින අනතුරු ඇඟවීම නිකුත් කලේ යුදෙව් ව්‍යාපාර වර්ජනය කරන ලෙස පල වූ ෆේස්බුක් පෝස්ට් එකක් නිසා ය.
එම 24 දා, පොලොන්නරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී, වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසිංහ කර ඇති ප්‍රකාශයට අනුව, ශ්‍රී ලංකාවේ ආන්ඩුව මෙවන් ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිට ඇත. 2023 ඔක්තෝම්බර් 7 ඊශ්‍රායලයට එල්ල කල හමාස් ප්‍රහාරයට වසරක් ගත වීම නිසා එවන් නිගමනයකට ආරක්ෂක අංශ යොමු වූ බව ඔහු පවසයි. එදින ම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මන්ඩලය රැස් වෙයි. එසේ අවස්ථා කිහිපයක දී රැස් වෙමින් ආරක්ෂක තත්ත්වය ගැන සාකච්ඡා කර ඇත. බුද්ධි අංශ ඉතා හොඳීන් රාජකාරි කල බව නියෝජ්‍ය පොලිස්පති සඳහන් කර ඇත. පොලිසිය හා හමුදාව විශේෂයෙන් යුදෙව්වන් බොහෝ ක්‍රියාකාරකම්වල යෙදෙන නැගෙනහිර පලාතේ යුදෙව් පල්ලි (Chabad House), ව්‍යාපාරික ස්ථාන හා නේවාසික ස්ථාන වටා ආරක්ෂාව දැඩි කල අතර. මහා මාර්ගයේ මුර කපොලු දමා, යන එන මිනිසුන් සෝදිසි මෙහෙයුමකට ලක් කලේ ය.
“ජනාධිපතිවරනය සමයේ ආරුගම්බේ ඉඳලා පොතුවිල් නගරය වෙනකම් හදිසියේ පොලිස් මාර්ග බාධක තුන හතරක් දැම්මා.ජනාධිපතිවරණයේ ආරක්ෂාවට තමයි දාලා තියෙන්නෙ කියල අපි හිතුවා. නමුත් ජනාධිපතිවරනය ඉවර වෙලා පාර්ලිමේන්තු මැතිවරනය ඇවිල්ල තියනවා. පොලිස් මාර්ග බාධක තාම ඉවත් කරලා නැහැ..” මෙවන් ප්‍රකාශ ප්‍රදේශවාසී මුස්ලිම් ජනයා මාධ්‍යයට පවසා ඇත.
මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කල බව සඳහන් කල කැබිනට් ප්‍රකාශක විජිත හේරත්, සැක පිට තිදෙනකු අත් අඩංගුවට ගත් බව අනතුරු ඇඟවීමට පසුදින වාර්තා කලේ ය. ඉන් එක් අයෙකු ඉරාකයේ කලක් ගත කල කෙනෙකැයි තහවුරු නො කල වාර්තා සඳහන් කරන බව එදින
ටැමිල් ගාර්ඩියන් (Tamil Guardian) පුවත්පත වාර්තා කර ඇත. එය, මාලදිවයින පදනම් වූ ප්රවෘත්ති ආයතනයක් වන MV Crisis උපුටා දක්වමින්, තුන්වන සැකකරු මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි 30 හැවිරිදි බිලාල් මොහොමඩ් අහමඩ් ෆෙරෝස් යයි වාර්තා කර තිබේ. ඔහුගේ පියා මාල දිවයින් ජාතිකයෙකු වන අතර මව ශ්‍රී ලාංකික කාන්තාවකි. 2015 නොවැම්බර් මාසයේ දී මාල දිවයින් ජාතික හුසේන් “රබරේ” රසීන් ශ්‍රී ලංකාවේ තුම්බෝවිල පාලම මත ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඔහු 2020 පෙබරවාරි මාසයේදී “මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සමඟ දෙහිවල දී අත්අඩංගුවට ගන්නා ලද” බව එම වාර්තාවේ සඳහන් ය. යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා 2016 වසරේ අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි 40 හැවිරිදි තනිකඩයෙකු බව ද එම වාර්තාව පවසයි..
28 දින දිවයින වාර්තාවට අනුව බිලාල් මොහොමඩ් සමග සිටි හිටපු කොටි සාමාජිකයකු වන යෝගරාජන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. එසේම සුබ්‍රමනියම් නම් දෙමළ ජාතිකයෙක් සහ සිංහල ජාතිකයෙක් ද දැනට ත්‍රස්ත විමර්ශන අංශය භාරයේ සිටිති. සිංහල පුද්ගලයා පාතාල සාමාජිකයෙකි. බිලාල් මොහොමඩ් සමග සම්බන්ධතා පැවැත්වූ විදේශගත ව සිටින තවත් පුද්ගලයන් දෙදෙනකු සොයා පොලිසිය සෝදිසියෙන් සිටින බව ද එම වාර්තාව සඳහන් කර ඇත. අත් අඩංගුවට ගත් කිසිවෙකු සම්බන්ධයෙන් දේශපාලන කුමන්ත්රනයක හෝ දේශපාලනික ප්රහාරයක සූදානමක් පිලිබඳ සාක්ෂි මෙතෙක් හෙලිදරව් වී නො මැත.
නමුත් ඉස්ලාම් විරෝධී දෙරන රූපවාහිනිය වාර්තා කලේ රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත ප්‍රහාරය සූදානම් කල බවයි. ලක්ෂ 100 ක කොන්ත්‍රාත්තුවක් ගැන ද කියැවුනි. ජනාධිපති දිසානායක මේවා බොරු වාර්තා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය. උක්ත මාධ්‍ය වාර්තා, අදාල පුද්ගලයන් මැද පෙරදිග ඉස්ලාම් ත්රස්තවාදීන් විසින් මෙහෙය වනු ලැබූ බවට බොරු බිල්ලෙක් මවා පෑමට පල කල ඒවා ය. දෙරන යනු මැද පෙරදිග ඉතිහාසය 2023 ඔක්තෝම්බර්වලින් ආරම්භ වූවා සේ ඊශ්‍රායල සමූලඝාතන යුක්ති සහගත කරන ආයතනයකි.
මේ අතර වාර්තා වන වැදගත් සිද්ධියක් නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් පිලි නො ගන්නා බවට කල ඊශ්‍රායල ආන්ඩුවේ ප්‍රකාශයයි. එයත් සිදු වන්නේ ඔක්තොම්බර 2 දා ය. ඊශ්‍රායලය ඉරානයට එල්ල කල ප්‍රහාරයට මහ ලේකම් වරයාගේ විරෝධය පල වීම මීට ආසන්නම හේතුව ය. ඊශ්‍රායලය, සිය සමූල ඝාතන ප්‍රහාරයට සහයෝගය නො දෙන්නේ යයි, දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතික්ෂේප කලේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ තීරණයට එරෙහිව අප්‍රිකානු සමූහය ඇතුළත්ව රටවල් 104 ක් සහ සාමසාධක හමුදා මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය දෙන රටවල් 34 ක් ලිපියකට අත්සන් තබා ඇත. කල් පසුවී එනම් ඔක්තෝම්බර් 11දා ශ්‍රී ලංකා ආන්ඩුව එම විරෝධතාවට සහාය වීමට කැමැත්ත පල කර තිබේ.
23 අනතුරු හැඟවීම හා එය ජාත්‍යන්තර කැලඹීමක් වීම සිදු වන්නේ මෙවන් පසුබිමක ය. පසු දින “The times of Israel“ වහාම ප්‍රකාශ කලේ, “ගාසාවේ හමාස්, ලෙබනනයේ හිස්බුල්ලා යන ත්‍රස්තවාදී කන්ඩායම්ලට විරුද්ධ ඊශ්‍රායල යුද්ධය ට එරෙහි ප්‍රාදේශීය මුස්ලිම් කන්ඩායම්වල විරෝධතාවන්ට, දකුනු ආසියාවේ බෞද්ධ ආගම මූලිකවන ජාතියේ, පුලුල් ප්‍රජාවගේ සහයෝගය ලැබී ඇති“ බව ය.
මෙම පුවතට මොනිකා නමැත්තියක් මෙසේ ප්‍රතිචාර දක්වා තිබිනි: “මම තුන් වරක් ශ්‍රී ලංකාවට සංචාරය කර තිබෙනවා. මට මුනගැසුනේ ඉතාම සුහද මිනිසුන් හා කදිම පරිසරයකි. මම බෞද්ධයන්ට කැමති ය. කනගාටුවට කරුන නම් ඉස්ලාමුන් නැවතත් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමයි. සිවිල් මිනිසුන් 400 කට වඩා මරා දමමින් සහ තුවාල සිදු කරමින් කොලඹ දී එල්ල කෙරුනු ඉස්ලාමුන්ගේ ත්‍රස්ත ප්‍රහාරය මට කිසි දිනක අමතක නො වේ.“
ඒ සමග ම ප්‍රංශ පුවත්පත් ඒජන්සියක් වන AFP මෙම චෝදනාව එලෙසින් ම එල්ල කර තිබිනි. එතනින් නො නැවතුනු AFP ශ්‍රී ලංකාවේ පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති නමුත් බලධාරීන් ක්ෂනික ප්‍රතිචාර නො දැක් වූ බවට චෝදනා කරයි. ඉතා කෙටි එම වාර්තා 2019 වසරේ, විදේශිකයන් 45 ක් සමග 279 දෙනෙකුගේ ජීවිත බිලිගත් පාස්කු ප්‍රහාරය විශේෂයෙන් සිහි ගන්වා තිබේ.
ශ්‍රී ලංකා ආන්ඩුව ක්ෂනික ප්‍රතිචාර නො දැක් වූයේ ය යන්න බොරුවකි. ඒ සමග ම සමූලඝාතන විරෝධී මුස්ලිම්වරුන්ගේ උද්ඝෝෂනයට බොදු ජනයාගේ සහයෝගය ලැබීම ගැන සටහන් කිරීම විශේෂ දෙයකි. එහි දෝංකාරය මෙබඳු ය. මැද පෙරදිග ඊශ්‍රායල් සමූලඝාතනයට සහයෝගය දෙනු! යුද විරෝධින්ට ඉඩ නො දෙනු. සිංහල බෞද්ධයන් තමන්ගේ ම සහෝදර ජන කොටසකට එරෙහි ව මෙහෙයවනු! 1990 මුල සිට ඉස්ලාම් ආගමිකයන් ත්රස්තයන් ලෙස නම් කරගෙන පවත්වා ගෙන යන ඇමරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ, පූර්ව භංග යුද්ධයක මූලෝපායික අවශයතාව මෙයින් නියෝජනය වෙයි..
මැතිවරනයක් ආසන්නයේ සිටින ශ්‍රී ලංකාවේ ආන්ඩුව මෙයින් දැඩි පීඩනයකට හසු කර ගෙන ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව රුසියාව සහ ඊශ්‍රායලය වැනි රටවලින් පැමින කාලය ඉක්මවා රැඳී සිටින සංචාරකයින් සොයා නොවැම්බර් මස මුල දී දකුණු වෙරල තීරයේ සංචාරය කරනු ඇති බව වාර්තා වී ඇතැයි, ඹක්තෝම්බර් 26 දින Daily mirror සඳහන් කර ඇත. දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගිය මාර්තු සහ ජුනි මාසවලදී ආරුගම් බොක්ක ඇතුළු නැගෙනහිර වෙරල තීරයේ සංචාරය කල නමුත්, ඊශ්‍රායල ජාතිකයන් ඇතුලු කල් ඉක්මවා රැඳී සිටි සංචාරකයින් අත්අඩංගුවට ගැනීමට නො හැකි වූ බව ආගමන විගමන නිලධාරියෙකු පුවත්පතට පවසා ඇත.
ඔක්තෝම්බර් 26දා The Sunday Morning වාර්තාව අනුව, වීසා කාලය ඉක්මවා රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවා ඇති අතර, රට තුළ සිටින සියලුම ඊශ්‍රායල ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි දැන් අවධානය යොමු කර ඇති බව සංචාරක සහ සමුද්‍රීය අංශයේ නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල ජාතිකයන් අතර නීතිවිරෝධී ව්‍යාපාර පවත්වාගෙන යාම සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටීම සම්බන්ධයෙන් කනස්සල්ල මතුව ඇති අතර, මෙම කරුනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනට ප්‍රමුඛතාවයක් නො දෙන බව ද ඔහු පවසා ඇත. සංචාරක ව්‍යාපාරය සඳහා සුරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාමේ වැදගත්කම විජය ශ්‍රී විසින් අවධාරනය කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ආරක්ෂක ගැටලු නිසා ඇති විය හැකි බලපෑම ඔහු පිලිගත්තේ යයි වාර්තාව පවසයි.
ආරම්භයේ සිට ම, අනුර කුමාර දිසානායකගේ බංකොලොත් ආන්ඩුවට අධිරාජ්‍යවාදීන්ගේ ජන ඝාතක සාපරාධීත්වය මඟ හැර යන්නට මාවතක් නැත. ඔවුහු නය උගුලක හිර වී සිටිති. අධිරාජ්‍යවාදී නියෝග ඉවත දැමිය නො හැකි වීමට මූලික හේතුවක් වන්නේ එයයි.. සංචාරක ව්‍යාපාරය ආන්ඩුවේ ඉමහත් අපේක්ෂාවකි. අපනයන ආර්ථික සිහිනය ද, ආයෝජකයන් කැඳවා ගැනීම ද පෙර නො වූ විරූ මර්ධන ව්‍යාපාරයක් ද ධනවාදය විසින් ඉල්ලා සිටීනු ලැබේ. ඊශ්‍රායලය හා සෙසු අධිරාජ්‍යවාදී ධනපතීන් ලංකාවේ පාලක පන්තියට තරවටු කරන්නේ මේ කොන්දේසි යටතේ ය.
ප්රශ්නය යුදෙව් ජනයා මෙහි පදිංචි වීම නො වේ. ලොව ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති රටක ජීවත්වීමට අයිතිය තිබිය යුතු ය. එහෙත් මුස්ලිම් පීඩතයන්ට එල්ල වන තර්ජනය හා වාර්ගික ආගමික භේද කිරීම් මගින් ලේ හලන ගැටුම්වල මාවත පාදා ගැනීමේ උපායට ඉඩ නො දිය යුතු ය. යුදෙව්වරුන් ජන ඝාතක සියොන්වාදී යුද්ධයේ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ගෙන යන ව්‍යාපාරය මුස්ලිම් ජනයාට එරෙහි ප්රකෝපකාරී ක්‍රියාවන් සඳහා මාවත පාදා ගැනීමකි. ආන්ඩුව කොතනකවත් මෙම ප්රකෝපකාරී ක්‍රියාවන්ට විරුද්ධ ව පියවර ගත් බවක් වාර්තා නො වේ. අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ සියලු පීඩිත ජනයා වාර්ගික ආගමික භේදයන්ට එරෙහි ව නැගී සිටීම ය. ඒ සඳහා අවශ්‍යය ස්වාධීන කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම කල් දැමිය නො හැකි කර්තව්‍යයකි. එවන් කමිටු දකුනු ආසියාව පුරා ධනේශ්වර පාලනයට එරෙහි කම්කරු පීඩිත ජනයාගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනයට මාවත සකස් කරනු ඇත.