ඇඟලුම් කම්කරුවනි, ස්ටාර් ගාමන්ට් කොත්මලේ ශාඛාවේ කම්කරු අරගලය අරක්ෂා කිරීම සඳහා පෙරට එනු!
එච්. ඩබ්ලිව්. හේරත් විසිනි
ස්ටාර් ගාර්මන්ට් සමූහයට අයත්, කොත්මලේ, ඩබ්ලිව් ටී මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ කම්කරුවෝ රුපියල් 5000ක වැටුප් වැඩි වීමක් ඉල්ලා, දෙසැම්බර් 4 දා වැඩ වර්ජනයක් දියත් කළහ. එහි සේවයේ නියුතුව සිටින කම්කරුවන් 1080 දෙනා ම සහභාගි වූ මෙම වර්ජනයට පාලකයන් ප්‍රතිචාර දැක් වූයේ දෙසැම්බර් 17 දක්වා කම්හල වසා තැබීමට පියවර ගැනීමෙනි. ඒ සමග ම කම්හලේ නේවසිකාගාරවල සිටි කම්කරුවන් 60 දෙනෙකු ද එවායින් ඉවත් කරන ලදී.
දැනට කම්කරුවන් ලබන රුපියල් 35,000ක වැටුප රුපියල් 2000කින් වැඩි කිරීමේ පාලකයන්ගේ යෝජනාව කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. වර්තමාන ආර්ථික තත්වය යටතේ ජීවිතය ගැටගසා ගැනිමට රුපියල් 5000ක් වත් වැඩිපුර ලැබිය යුතු බව කම්කරුවන්ගේ යෝජනාව ය. රුපියල් 5000ට කිට්ටු කිරීමටවත් නො හැකි යයි ද එය ෆැක්ටරි දෙකට දරා ගත නො හැකි බව ද පාලකයන් ප්‍රකාශ කළ බව කම්කරුවෝ මාධ්‍යයට වාර්තා කළහ. තව දුරටත් සමාගම කම්කරුවන්ට කියා ඇත්තේ සමාගමේ සෙසු ශාඛාවල සේවකයන් රුපියල් 2000 වැඩි කිරීමට එකඟ වී ඇති බව ය.
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනදා මෙන් ම කාර්යාලයට ගොස් පාලකයන් සමග සාකච්ඡා කර පිටව ගිය බවත් ඔවුන් පාලකයන්ගෙන් තෑගිබෝග ලබනවා ඇතැයි තමන්ට වැටහෙන බවත් කම්කරුවෝ තව දුරටත් කියති. කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වෙමින් මෙම කම්කරුවන් ඉල්ලා සිටින්නේ, කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින අය සිටිත් නම්, මෙම තත්වය තේරුම් ගෙන තම ඉල්ලීම් දිනා ගැනීමට සහාය වන මෙන් ය.
මෙහි සේවයේ නිරත කම්කරුවන්ගෙන් කිහිප දෙනෙකු හැරුන විට සියලු දෙනා කාන්තාවන් ය. සිය වැටුපට දිරි දීමනාවක් ලෙස යම් මුදලක් ලබා ගැනීම සඳහා ඔවුන් තමන්ට නියම කර ඇති ඉලක්ක (Target) ලබා දිය යුතු වන අතර, එම ඉලක්ක කිසි දා ලඟා විය හැකි එවා නො වේ. දිනකට කෑලි 500ක් ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලැබේ. ඉලක්කය 600කි. 500යේ ඉලක්කය ලබා ගැනීම සඳහා එක පෙලකට පරීක්ෂකයන් දස දෙනෙකු සේවයේ යොදවනු ලැබ සිටී. මෙම ප්‍රමානය ලබා දීමට පවා වතුර ටිකක් බීමටවත් කාලය වැය නො කර වැඩ කළ යුතු ය. වතුර බෝතලය තමන් අසල තබා ගැනීමට අවසර නැති අතර වතුර බීම සදහා සෑහෙන දුරක් යාමට සිදු වන බව කම්කරුවෝ ප්‍රකාශ කළහ. පසු ගිය 10 දා, කම්හල ඉදිරිපිට උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය ඇමතූ කාන්තාවක් තමන් මුහුන දෙන තත්වය විස්තර කලේ මෙසේ ය. “අපට වතුර පෙවෙන්නෙ නැහැ. වැඩ කරන වෙලාවට වතුර බොන්න ඕනෙ කියා හිතෙන්නෙ නැහැ. වැඩ තමයි කරන්න හිතෙන්නෙ. ඒ තරම් ලොකු ටාගට් එකක් අපෙන් ඉල්ලනවා.“
කම්කරුවන්ගේ ප්‍රකාශ අනුව, පරීක්ෂකයෝ වැඩ වේගවත් කිරීම ඉල්ලා ඉතා පරුෂ ලෙස කම්කරුවන් අමතති. එසේ නොකලහොත් “තොපේ දරුවන්ට කන්න වෙන්නේ නෑ“ යනාදී වශයෙන් කම්කරුවන්ට ශාප කිරීම නිතර සිදුවේ. සවස 6ට වැඩ හමාර කිරිම සලකුනු කිරීමෙන් පසු හා ඉරිදා දිනවල බලහත්කාරයෙන් වැඩ ගන්නා බව ද කම්කරුවෝ මාධ්‍යයට ප්‍රකාශ කළහ. වැඩ කරන කාන්තාවන් මුහුන දෙඅසීරු තතු ගැන එක් කම්කරු කාන්තාවක් මෙසේ ප්‍රකාශ කඝාය. “ලැජ්ජ නැතිව කියන්න ඕනෙ, ළමයි ඔසප් වෙන වෙලාවට පාවිච්චි කරන්න පෑඩ් ලග තියාගෙන ඉන්නවා. ඒවා සිද්ධ වෙන වෙලාවක් කියන්න බැහැ. සුපවයිසර්ල ඒ පෑඩ් ඇදල එලියට විසි කරල හිනා වෙනවා.“
1977න් පසු ආරම්භ කළ නිදහස් වෙලඳ කලාප, රැකියා සම්පාදනය කිරීමේ හා දුප්පත්කම නැති කිරීමේ උල්පත් ලෙස උත්කර්ෂයට නංවා තැබීම, ඉන් පසු බලයට පත් සියලු ආණ්ඩු විසින් ද නොකඩවා සිදු කරන ලදී. නමුත් ඇත්තට ම ලාභ සහ සෙසු පහසුකම් සලසන ලද්දේ දේශීය සහ විදේශීය ධනපතීන්ට ය. වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව ද ව්‍යාපාරිකයන්ට සියලු පහසුකම් සලසන බවට පොරොන්දු වී ඇත. අප මේ අත් දකිමින් සිටින්නේ ඒ කියන පහසුකම්වල ස්වභාවය යි.
කම්කරුවන්ගේ අරගල කුමන්ත්‍රණ ලෙස නම් කිරීම වත්මන් ආණ්ඩුව දැනටමත් සිදු කර ඇත. එය කියා සිටින්නේ තමන්ට ඡන්දය දුන් අය යහපත් දේශපාලන සංස්කෘතියක්, දූෂණවලින් තොර රටක් යනාදිය හැර වෙනත් දේ බලාපොරොත්තු නො වූ බව ය. ආණ්ඩුවේ කිසිදු ආයතනයකට කම්කරුවන්ගේ පැත්ත ගැනීමට මොන ම අවසරයක් හෝ නැත. කම්කරු දෙපාර්තමේන්තුව යනු කම්කරුවන්ගේ අවශ්‍යතාවන් නියෝජනය කරන ආයතනයක් නො වේ. එයට පැවරී ඇති වගකීම වන්නේ කම්කරු අරගලවලින් ධනපති ලාභවලට එල්ල වන තර්ජනය වලක්වා, එම කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම ය. දැන් අඳෝනාවක් තරමට රැව් දෙන රට ගොඩ නැගීම යන සටන් පාඨයේ අරුත එයයි.
මෙරට අපනයන ආදායමෙන් 48% ක් උපයන ඇඟලුම් කර්මාන්තය, කම්කරුවන් මිරිකා හප කිරීමේ කොන්දේසිවලින් තොරව පවත්වා ගෙන යාමේ කිසිදු හැකියාවක් නැත. පලමුව එය සෙසු රටවල නිෂ්පාදන වියදම සමග තරඟ කළ යුතු ය. එහිදී කපා හැරිය හැකි එක ම මූලික පිරිවැය වන්නේ ශ්රමයට ගෙවන මිල ය. එසේ කිරීමට අවස්ථාව නැති නම් ධනපතියන් ආයෝජන සඳහා කැඳවා ගත නො හැකි අතර, දැනටමත් මෙහි ආයෝජනය කර සිටින ව්‍යාපාරිකයන් සිය කර්මාන්තය වෙනත් රටකට මාරු කරනු ඇත. පාලක පන්තිය හා ආන්ඩුව පැත්තෙන් ගතහොත් අපනයන ආදායමෙන් භාගයකට සමාන මෙම ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ උදෙසා ගම්බද ගොවි පවුල්වල පීඩිත කාන්තාවන් අතිශය දුෂ්කර වහල් කොන්දේසිවලට යටත්ව අඩු වැටුප් ලබන කම්කරුවන් බවට පත් නො කර බැරි ය. අඩ සිය වසකට ඉතා ආසන්න කාලයක් ඇඟලුම් කම්කරුවන්ගේ නිදහස ඉහත සඳහන් ආකාරයෙන් පාගා ගෙන සිට ඇත. දවසින් දවස ඔවුන්ගේ තත්වය අසීරු වූවා මිස යහපත් වූයේ නැත. ධනපති පාලනය පවතින තාක් මෙම කම්කරුවන්ට නිදහස අත් නො වන බව වටහා ගත යුතු ය. ඒ වෙනුවට මෙම තත්වයට සෙසු කම්කරුවන් ද ඇද දැමෙමින් පවතී.
කම්කරුවන්ගේ ජීවිතය රැකියාව ය. ස්ටාර් ගාමන්ට් කම්කරුවෝ සමාගම විසින් ෆැක්ටරිය වසනු ලැබ තිබීමට විරුද්ධ වෙති. තමන්ට ෆැක්ටරිය අවශ්‍ය බව කියන ඔවුහු, එය වසා දමන්නේ නම් සෑහෙන වන්දියක් ලැබිය යුතු ය යි කියති. මේ උවමනාවන් දෙක ම ජය ගැනීමට නම්, සමස්ත ඇඟලුම් කම්කරුවන් ඒකාබද්ධ වෙමින් සහ ඒ සඳහා සෙසු කම්කරුවන්ගේ සහාය දිනා ගැනීමේ අරගලයකින් තොරව එය සිදු වනු නැත. මෙම මෘග තතු හුදෙක් දේශීය තත්වයක් නොව, ලෝකය පුරා ලාභ ශ්‍රමය සොයා ධනපතියන් දරන වියරු ප්රයත්නය සමඟ ඍජු ව බැඳී තිබෙන්නකි. අරගලය සිදු වන්නේ කො තැනක ද නො තකා, සෙසු රටවල ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ අවශ්‍යතා එකට බැඳී තිබේ. එනිසා කල් පවතින ජයග්රහනයක් සඳහා එම කම්කරුවන් සමග සන්ධානගත වීම අත්‍යවශ්‍ය වන අතර, එහි මුල් පියවර වන්නේ, ධනපති සංවිධානවලින් හා ධනපති ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ෆැක්ටරි කමිටු ගොඩ නැගීම ය. මෙය තවදුරටත් කල් දැමිය නො හැකි, හා කල් නොදැමිය යුතු කටයුත්තකි. අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද, සෙසු කම්කරු පීඩිත ජනතාවගේ සහාය ගොනු කර ගන්නේ කෙසේ ද, එය ජය ගන්නා මාවත කුමක් ද යන කරුනු එවන් කමිටු තුළ කෙරෙන ප්රජාතන්ත්රවාදී සාකච්ඡා තුලින් තීන්දු කෙරෙනු ඇත. මෙම පිලිවෙත ඔස්සේ ගමන් කිරීමෙන්, අවසානයේ ෆැක්ටරි කම්කරු පාලනය යටතට ගන්නා තෙක් අරගලය ඉදිරියට ගැනීමට මාවත පෑදෙනු ඇත. කම්කරුවන්ගේ රැකියා වැටුප් ආරක්ෂා කෙරෙන එකම මාවත එයයි.