ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය අහෝසී කිරීමට ගොනු කළ පෙත්සම නීතිපති මුලික විරෝධතා

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය අහෝසී කිරීමට ගොනු කළ පෙත්සම නීතිපති මුලික විරෝධතා

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ගොනු කර තිබූ එම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.එම්.එස්.දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම තුළ ඉතා වැදගත් අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් වගඋත්තරකරුවන් ලෙස නම් කර නොමැති බවය.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම්වරයා නම් කර නොතිබීම බරපතළ නීතිමය ඌනතාවක් බව පෙන්වාදුන්නේය. 

ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සිය මූලික විරෝධතාවලින් පෙන්වා දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා කියා සිටියේ පෙත්සම පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මූලික විරෝධතා මතුකර ඇති නිසා ඒ සම්බන්ධයෙන් මුලින්ම තීන්දුවක් ලබාදීමට තමාට සිදුවන බවය. 

ඒ අනුව මූලික විරෝධතාවලට අදාළව ලිඛිත දේශන අත්නම් නම් ඒවා මාර්තු මස 18 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සමේ සියලු පාර්ශ්වකරුවන්ට නියෝග කළහ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *