උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතා දක්වති – ඉදිරි මාවත කුමක්ද?

උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතා දක්වති – ඉදිරි මාවත කුමක්ද?
එන් රංගේෂ්

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත්වල රැකියා විරහිත උපාධිධාරීහු රජයේ රැකියා ඉල්ලා සිටිමින්, පසුගිය වසරේ දෙසැම්බර් 13 වන දින සිට විරෝධතා කිහිපයක් සංවිධානය කලහ.

මෙම ක්‍රියාවන්හි කොටසක් ලෙස, ජනවාරි 31 වන දින, ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ නිල සංචාරයක යෙදී සිටි අවස්ථාවේදී ඔවුහු විරෝධතාවක් පැවැත්වූහ. පොලිසිය විසින් මෙම තරුනයින් අමානුෂික ලෙස විසුරුවා හරින ලදී. පෙබරවාරි 8 වන දින යාපනයේදී ඔවුහු තවත් විරෝධතාවක යෙදී ගත්හ.

උපාධි ලැබූවේ රජයේ අනුමත විශ්ව විද්‍යාලයකින් ද නැතහොත් විදේශීය අනුබද්ධිත ආයතනයකින් ද, එම උපාධිය බාහිර ද නැතහොත් අභ්‍යන්තර ද යන්න නොතකා සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

අනුප්‍රාප්තික ආන්ඩු යටතේ උපාධිධාරීහු වසර ගනනාවක් තිස්සේ රජයේ රැකියා බලාපොරොත්තුවෙන් සිටිති. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ලිපි හෝ හමුවීම් හරහා ඔවුන්ගේ අභියාචනාවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග සංවිධානය කල බව, උතුරු පලාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ (යූජීඒඑන්පී) නායකයෝ පැවසූහ.

උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතා දක්වති – ඉදිරි මාවත කුමක්ද?
2025 ජනවාරි 31 වන දින යාපනයේ විරෝධතා දැක්වූ උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් (ෆේස්බුක්)

රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව, උතුරු නැගෙනහිර පලාත්වලට පමනක් සීමා නොවී, රට පුරා ඉහල යමින් පවතී. 2024 වන විට රැකියා නොමැති උපාධිධාරීහු 35,000 ක් පමන සිටියහ.

රැකියා විරහිත උපාධිධාරීන් අතර කෝපය ඉහල යමින් තිබියදී, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඔවුන්ගෙන් 50,000 ක් පමන “සංවර්ධන නිලධාරීන්” ලෙස බඳවා ගැනීමට සිදුවිය. රාජ්‍ය අංශයේ උපාධිධාරීන්ට හිමි වැටුප දැඩි ලෙස කප්පාදු කරමින්, ඔවුන්ට අඩු වැටුපක් ගෙවන ලදී.

ඔවුන්ගෙන් 20,000 ක් පාසල් සංවර්ධන නිලධාරීන් (පාසංනි) ලෙස පාසල්වල සේවය කලහ. තවමත් මෙම පාසංනි 16,000 ක් රජයේ ගුරුවරුන්ට සාපේක්ෂව අඩු වැටුපක් සහිත පාසල් ගුරුවරුන් ලෙස සේවය කරන අතර දුෂ්කර සේවා කොන්දේසි වලට මුහුන දෙමින් සිටිති.

කොරෝනා වෛරස් වසංගතය නිසා ඇති වූ ගෝලීය ආර්ථික කැලඹීම් හේතුවෙන් රටේ ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමඟ නව බඳවා ගැනීම් නතර විය. 2019 සිට 2024 දක්වා උපාධිධාරීන් දස දහස් ගනනකට රැකියා අහිමි වී ඇති අතර සමාජීය හා ජීවන තත්වයන් විනාශ වී ඇත.

ඔවුන් අතර, වයස අවුරුදු 42 ට වැඩි, අවුරුදු දහයකට ආසන්න කාලයක් තිස්සේ බලා සිටින උපාධිධාරීන් ද සිටිති. බොහෝ උපාධිධාරීන් රජයේ රැකියාවක් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් විවාහ වී ඇති නමුත්, එය මෙතෙක් ඉටුව නැත. නිසි රැකියාවක් නොමැතිව, බොහෝ දෙනෙකුට පෞද්ගලික සමාගම්වල කුරිරු සූරාකෑමේ තත්වයන් යටතේ අඩු දෛනික වැටුපකට තාවකාලික රැකියාවක් හරහා ජීවිකාව ගෙන යාමට බල කෙරේ. ඇතැම්හු පෙදරේරු, රියැදුරු, පින්තාරු කිරීම, විදුලි රැහැන් ඇදීම, වඩු වැඩ සහ වෙනත් තාවකාලික රැකියා වල නිරත වෙති.

ජනවාරි 16 වන දින යාපනය නගරයේ සංවිධානය කරන ලද විරෝධතාවයේදී මාධ්‍ය අමතමින්, එන්‍යූජීඒ නායක සර්වානන්දසිවම් සසිකරන් පැවසුවේ, තම සංවිධානය මේ දක්වා උතුරු නැගෙනහිර ආන්ඩුකාරවරුන්ට සහ කොලඹ ආන්ඩුවට ලිපි 800 ක් ලියා ඇති මුත්, එය නිෂ්ඵල වී ඇති බවයි.

ඔහු උපාධිධාරීන් අතර කෝපය විසුරුවා හැරීමට මෙවැනි නිෂ්ඵල ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර අධිරාජ්‍ය ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රවර්ධනය කරයි. එය පැමිනියේ, මාස හතරකටත් අඩු කාලයකට පෙර බැවින්, ආන්ඩුවට “කාලය ලබා දිය යුතු” බව සසිකරන් පැවසීය.

උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතා දක්වති – ඉදිරි මාවත කුමක්ද?

එලෙස, රැකියාවකට බඳවා ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් උපාධිධාරීන් තවත් වසර ගනනාවක් බලා සිටිය යුත්තේ ඇයි? ආන්ඩුව ලබා දෙනුයේ බොරු බලාපොරොත්තු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම්වලට සහාය දක්වන අතර ජීවන වියදම සහ රැකියා අහිමිවීම් සමඟ ඉහල යන ප්‍රමානවත් වැටුප් සහිත යහපත් විශ්‍රාම වැටුප් සහිත රැකියා සඳහා ඔවුන්ගේ අයිතිය ආරක්ෂා කරයි.

ජනාධිපති දිසානායක ජනවාරි 31 දා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරන කොමිටිය (ඩීසීසී) සමග පැවැත්වූ සාකච්ඡාවේදී, රැකියා විරහිත උපාධිධාරී ගැටලුව ගැන කිසිවක් කීවේ නැත. රටේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු 30,000 ක් පමන හඳුනාගෙන ඇති බවත්, ස්ථාපිත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියට අනුව මෙම පුරප්පාඩු පුරවන බවත් ඔහු පැවසීය.

දිසානායකගේ යාපනය සංචාරයේ අරමුන වූයේ යුද්ධයෙන් විනාශ වූ ජනතාවගේ ගැටලු විසඳීම නොවේ. යුද්ධයේදී හමුදාව විසින් අල්ලා ගන්නා ලද යාපනයේ බොහෝ ජනයාගේ ඉඩම් නිසි ක්‍රියා පටිපාටියෙන් පසු අයිතිකරුවන්ට ලබා දෙන බව ඔහු නැවත වරක් පැවසීය. පෙර පාලන තන්ත්‍රයන් ද පැවසුවේ මෙයයි.

ධනවාදී ආයෝජකයින් දිරිමත් කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔහු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ යාපනයට ගියේය. පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල කාර්මික කලාප පිහිටුවන බව ජනාධිපතිවරයා පැවසීය. ධීවර අමාත්‍ය චන්ද්‍රසේකර්, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ආයෝජනය කරන ලෙස දෙමල ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියේය.

උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතා දක්වති – ඉදිරි මාවත කුමක්ද?
උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් 2025 ජනවාරි 31 වන දින යාපනයේදී විරෝධතාවයක

දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ඩීසීසී හි සාමාජිකයින් ලෙස කටයුතු කරයි. ඉලංකෙයි අරසු කච්චි, සමස්ත ලංකා දෙමල කොංග්‍රසය සහ ජාජබ වැනි දෙමල ජාතිකවාදී පක්ෂවල මන්ත්‍රීවරු මෙම රැස්වීමට සහභාගී වූහ.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඇමතිවරු උපාධිධාරීන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටින්නේ, රජයේ රැකියා එනතුරු බලා නොසිට පුද්ගලික අංශයේ රැකියා සොයා යන ලෙසයි.

දෙසැම්බර් 13 වන දින පැවති විරෝධතාවයේදී, අමාත්‍ය චන්ද්‍රසේකර් රජයේ රැකියා සඳහා වන අරගලය අධෛර්යමත් කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කරමින් මෙසේ පැවසීය; ‘අපේ ජාතියේ සංවර්ධනය රඳා පවතින්නේ ආන්ඩුව මත පමනක් නොවේ. රජයේ රැකියා වල සිටින්නේ මිලියන 1.3 ක් පමනි, නමුත් අනෙක් අයගෙන් බොහෝ දෙනෙක් පුද්ගලික රැකියා වල සිටිති.’

ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ අමාත්‍යවරුන්ගේ පනිවිඩය නම්, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා කාර්මික කලාප පිහිටුවන තුරු රැඳී සිටිනු යන්නයි. ඔබට එම සමාගම්වල කැඹිරිය හැකිය!

පුද්ගලික සමාගම්වල රැකියා සොයා යන ලෙස පවසන අමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එක් උපාධිධාරියෙක් මෙසේ කීය: “රජයේ රැකියාවක් ලැබුනු විට අපි රැකියා අතහැර යන බව පවසමින්, පුද්ගලික සමාගම් හිමිකරුවන් අපව බඳවා ගැනීම ප්‍රතික්ෂේප කරනවා.”

මෙම වසර පහ තුල බොහෝ රජයේ සේවකයින් විශ්‍රාම ගොස් ඇති බවත්, බොහෝ දෙනෙක් විදේශගත වී ඇති බවත්, නමුත් රජයේ පුරප්පාඩු පුරවා නොමැති බවත් විරෝධතාවයේ නිරත උපාධිධාරීන් පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, මෙම බලාපොරොත්තු නිෂ්ඵල ය.

ඇත්ත වශයෙන්ම, රජය රාජ්‍ය අංශය කප්පාදු කිරීමට උත්සාහ කරමින් සිටින අතර, ජාමූඅ යෝජිත පියවරවල කොටසක් ලෙස සේවකයින් 500,000 කට වැඩි පිරිසක් සේවයෙන් පහ කිරීමට නියමිතය. ආන්ඩුව, රාජ්‍ය ව්‍යවසායන් (රාව්‍ය) පුද්ගලීකරනය කිරීම ඇතුලු ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක ද නිරත ව සිටින අතර එමඟින් ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ වේ.

උපාධිධාරී විරෝධතා අතරතුර සියලුම දෙමල පක්ෂ නිහඬව සිටියහ. එය පුදුමයක් නොවේ. මෙම පක්ෂවල මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඩීසීසී රැස්වීමට සහභාගී වූහ. ඔවුන් සියලු දෙනාම ජාමූඅ ප්‍රතිපත්තිවලට සහාය දක්වන අතර කම්කරුවන් ඒකාබද්ධව සූරාකෑමට හැකි වන පරිදි විදේශීය සහ දේශීය ආයෝජන උතුරට සහ නැගෙනහිරට පැමිනෙන තෙක් කෑදර ලෙස බලා සිටිති.

විශේෂයෙන් සඳහන් කල යුතු කරුනක් නම්, ජනාධිපති අනුර කුමාර දිසානායක දෙමල කතා කරන තරුනයින්ට පොලිස් බලකායට බැඳෙන ලෙස දිරිමත් කිරීමයි. මෙය රැකියා සැපයීමට නොව, කම්කරුවන්, ගොවීන්, තරුනයින් සහ ග්‍රාමීය දුප්පතුන්ගේ අරගල මර්දනය කිරීමට සූදානම් වීම සඳහා රාජ්‍ය යන්ත්‍රෝපකරන ශක්තිමත් කිරීමට යි. ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර රැකියා විරහිත උපාධිධාරීන් සැලසුම් කර තිබූ විරෝධතාවය තහනම් කරන ලෙස ඉල්ලා යාපනය මහේස්ත්‍රාත් අධිකරනයට පෙත්සමක් ගොනු කලේ මෙම පොලිසියම ය.

ජාමූඅ කප්පාදු පියවර මුදාහරින ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පන්ති යුද්ධ න්‍යාය පත්‍රය තේරුම් ගන්නා ලෙස සසප සහ සසජාතශි, රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අර්බුදයක සිටින ධනවාදය අනුකම්පා විරහිත සූරාකෑම සහ ලාභ වැඩි කර ගැනීම සොයමින් සිටී. මෙය සියලුම ධනේශ්වර රටවල සිදුවෙමින් පවතී. රැකියා විරහිත උපාධිධාරීන් සහ අනෙකුත් තරුනයින් සඳහා, විශේෂයෙන් කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් සඳහා, ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නොමැත.

සසප සහ සසජාතශි රැකියා විරහිතයින්ට කැඳවුම් කර සිට්න්නේ, කම්කරු පන්තියේ සහයෝගය ගොනුකර ගෙන සමාජවාදී ඉල්ලීම් සඳහා සටන් කිරීමෙන් තම ඉල්ලීම් දිනා ගත හැකි බව යි.

කම්කරු පන්තිය මෙම රැකියා විරහිතයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතු අතර, යහපත් වැටුප්, විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් සහ නිසි සේවා කොන්දේසි සහිතව සියලුම තරුනයින්ට රැකියා ලබා දෙනු! යන්න ඔවුන්ගේ එක් ඉල්ලීමක් විය යුතුය.

වෘත්තීය සමිති නිලධරයන්ගෙන් බිඳී තමන්ගේම ස්වාධීන සංවිධාන එනම් ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කිරීමට කම්කරුවන් දිරිමත් කල යුතුය. මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගිය යුතුය. මෙම සටනට එක්වීමේදී රැකියා විරහිත තරුනයින්ට තීරනාත්මක කාර්යභාරයක් පැවරේ.

එවැනි බලගතු සම්මේලනයක් ගොඩනැගීමෙන්, ධනවාදය පෙරලා දැමීම සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල හැකි කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනකට ග්‍රාමීය ජනතාව සහ තරුනයින් එක්සත් කල හැකිය.

සුලු පිරිසකගේ ලාභ අවශ්‍යතා මත පදනම් වූ ධනවාදී නිෂ්පාදනය අවසන් කිරීම සහ මානව වර්ගයාගේ අවශ්‍යතා සඳහා සමාජවාදී ක්‍රමයක් යටතේ තාර්කික සහ සැලසුම්ගත නිෂ්පාදනයක් ස්ථාපිත කිරීම, විරැකියාව ඇතුලු සමාජ රෝග තුරන් කිරීමේ පදනමයි.

මෙම අරගලය, පහත සඳහන් ඉල්ලීම් සඳහා සටන් කිරීම මත පදනම් විය යුතුය.

  • ජාමූඅ කප්පාදු පියවර එපා! විදේශ නය ප්‍රතික්ෂේප කරනු!
  • බැංකු, විශාල සමාගම් සහ වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරනු!
  • සැමට රැකියා! රැකියා ලබාදෙනතෙක්, ශිෂ්ඨසම්පන්න ජීවිතයක් සහ සමාජ තත්වයන් පවත්වා ගැනීම සඳහා සහනාධාර ලබාදෙනු!
  • ග්‍රාමීය ගොවීන් සහ අවශ්‍යතා ඇති අය සඳහා වන සියලුම සහනාධාර සහ සමාජ වැඩසටහන් ප්‍රතිෂ්ඨාපනය කර පුලුල් කරනු!
  • දුප්පත් ගොවීන්ගේ, කුඩා ධීවරයින්ගේ සහ කුඩා ව්‍යාපාරිකයන්ගේ සියලු නය අවලංගු කරනු!
  • කොලඹ සංස්ථාපිතයේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සහ දෙමල ධනේශ්වරයන්ගේ දෙමල ජාතිකවාදය ඇතුලුව සියලු ආකාරයේ ජාතිකවාදයන්ට සහ වර්ගවාදයන්ට විරුද්ධ වනු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *