උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති
පී .ටී. සම්පන්ධර් විසිනි.
“මී උන” නමින් ප්‍රකට, ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) නම් රෝගය යාපනය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ පුරා පැතිර යමින් පවතී. යාපනය ශික්ෂන රෝහලේ නිවේදනයකට අනුව, මී උන වැලඳුනු රෝගීන් හත් දෙනෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. වයස අවුරුදු 20ත් 60ත් අතර වූ ඔවුන් අතරින්, හය දෙනෙක් යාපනය දිස්ත්‍රික්කයේ ද, එක් අයෙක් මුලතිව් දිස්ත්‍රික්කයේ ද පදිංචිකරුවෝ වෙති.
මී උන රෝගයේ මුල් ලක්ෂන වන්නේ අධික උන, වමනය, හිසරදය සහ අප්‍රානිකභාවය යි. එවැනි රෝග ලක්ෂන ඇති කෙනෙකුගේ රුධිරය දැඩි පරීක්ෂාවට ලක්කල යුකුය. රෝගියාට වැලඳී ඇත්තේ මී උන බව තහවුරු වුවහොත්, අනිවාර්යයෙන්ම සුදුසු ප්‍රතිකාර ලබාදිය යුතු ය. එසේ නොමැතිවුවහොත් එම රෝගියා මරනයට පත්වීමේ දැඩි සම්භාවිතාවක් පවතී.
අවශ්‍ය පරීක්ෂන පහසුකම් යාපනය රෝහල තුල නොමැති බැවින්, රෝගීන් මියයන තෙක්ම ඔවුන්ට වැලඳී තිබුනේ මී උන බව නිශ්චය කිරීමට වෛද්‍යවරුන්ට නොහැකිවී ඇත. එය නිශ්චය කෙරුනේ, මියගිය රෝගීන්ගේ රුධිර සාම්පල, කොලඹ පිහිටි රජයේ වෛද්‍ය පර්යේෂන ආයතනයට යැවීමෙන් පසුවය.
ලෙප්ටොස්පයිරෝසිස් (මී උන) යනු මිනිසුන්ට සහ සතුන්ට බලපාන බැක්ටීරියා විශේෂයකින් ඇති වන රෝගයකි. එය ආසාදිත සතුන්ගේ මුත්‍රා වලින් පැතිරෙයි. සුලි කුනාටුවකින් හෝ ගංවතුරකින් පසු, එම බැක්ටීරියා වලින් දූෂිත ජලය හෝ පස සමඟ මිනිස් සබඳතා ඇතිවීමේ සම්භාවිතාව වැඩිවන බැවින්, එවන් කාල වලදී ලෙප්ටොස්පයිරෝසිස් අවදානම බොහෝ විට ඉහල යයි.
මාසයක පමන කාලයක සිට ඇද හැලෙන මෝසම් වර්ෂාවෙන් උතුරු සහ නැගෙනහිර පලාත්වල ජනාකීර්න ප්‍රදේශයන් හි ගංවතුර තත්ත්වයක් ඇති වූවා පමනක් නොව පහත් බිම් මෙතෙකුදු ජලයෙන් යටවී ඇත. මී උන රෝගය ඇතුලු බොහෝ බෝවන රෝග පැතිරීමට හේතුව මෙම තත්ත්වයයි. මෝසම් වර්ෂාවත් සමඟ නැගෙනහිර පලාතේ මඩකලපුව දැඩි ගංවතුරකින් යට විය. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ද මී උන රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඊ.මුරලීස්වරන් පවසයි.
ඉහත රෝග ලක්ෂන සහිත 58 දෙනකු තවමත් යාපනය ශික්ෂන රෝහලෙන් ප්‍රතිකාර ලබන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.කේතීස්වරන් පවසයි. මේ අතර එම රෝග ලක්ෂනම සහිත පුද්ගලයින් 05 දෙනෙකු පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුලත් කර ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් වීරකේසරී පුවත්පත දෙසැම්බර් 13 දා වාර්තා කලේය. යාපනය නගරයට කිලෝමීටර් 30ක් පමන උතුරින් පිහිටි වාරනි ප්‍රදේශයේ පදිංචි ඔවුන් ද මී උන රෝගයට ගොදුරුවූවන් විය හැකිය.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල විවිධ කාලවකවානු වලදී මී උන රෝගය පැතිර ගිය බවට සාධක ඇත. කෙසේ වෙතත්, යාපනයේ මෙන්ම, රෝගය හඳුනාගෙන පාලනය කිරීමට ප්‍රමානවත් පර්යේෂන පහසුකම් සහ ඖෂධ හිඟයෙන් එම පලාත් වල මහජනතාව ද දැඩිලෙස පීඩා විඳිති.
දීර්ඝ වාර්ගික යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පලාතේ සෞඛ්‍ය සේවා තත්ත්වයන් වඩාත්ම දරුනු ය. උතුරු පලාත් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ කේතීස්වරන්ගේ මාධ්‍ය ප්‍රකාශයකින් ඒ බව පැහැදිලි වේ. “නිවාරන ඖෂධ වෙනත් දිස්ත්‍රික්කවලින් ගෙනැවිත් බෙදාහරිනවා. ඖෂධ තොගයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.’
යාපනය ශික්ෂන රෝහල යනු, උතුරු පලාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියා යන දිස්ත්‍රික්ක සඳහා සේවය ලබාදෙන ප්‍රධානතම රෝහලයි. එහි පවත්නා දැඩි මානව සහ භෞතික සම්පත් ඌනතාව, සමස්ත කම්කරු-පීඩිත මහජනතාව සම්බන්ධයෙන් පොදුවේ ද, දෙමල පීඩිත ජනතාව සම්බන්ධයෙන් සුවිශේෂිතව ද, ධනපති පාලක පංතියේ නොතැකීම පිලිබිඹු කරයි.
යාපනය ශික්ෂන රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ, විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු කාර්ය මන්ඩලයන්ගේ ද, රසායනාගාර, ඖෂධ සහ වෛද්‍ය උපකරන ඇතුලු භෞතික සම්පත් වලද දැඩි ඌනතාවකින් එම රෝහල පෙලෙන බවයි. ‘හැම ආන්ඩුක්ම ගෙනගිය කප්පාදු හේතුවෙන් සෞඛ්‍ය සේවය අගාධයකට ඇදවැටි’ ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
‘මී උන ශ්‍රී ලංකාවට හදිසියේ පැමිනි රෝගයක් නොවේ. වාර්තාවන්ට අනුව 1953 දී පලමු වරට ලංකාවේ මී උන රෝගියෙක් සොයාගෙන තියෙනවා. ඒත් ඒ ගැන මහජනතාව දැනුවත් කිරිමේ හෝ එයට අවශ්‍ය පරික්ෂන සහ ප්‍රතිකාර සඳහා ප්‍රමානවත් පහසුකම් කිසිවක් මේවනතුරු වර්ධනය කරල නෑ.’
දකුන, බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පලාත්වලට රෝගයෙන් වැඩි බලපෑමක් එල්ල කර ඇති බවත්, දැන් එය උතුරට ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බවත් ඔහු පැවසීය. ‘2023 දී ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 900 ක් මෙම රෝගයට ගොදුරු වුනා. ඉන් 200 ක් මිය ගියා. එසේ තිබියදීත් මෙම රෝගය පැතිරීම වලක්වා ගැනීමේ නිසි පියවර නොගැනීම රෝගය පැතිරීමට සහ මරන වලට හේතුවයි.’
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පුද්ගලයින් 10,000ක් පමන මෙම රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ‘වර්ෂා කාලය දිගටම පවතින විට වසංගතය තවත් වැඩි විය හැක’ යනුවෙන් මහජන සෞඛ්‍ය විශේෂඥ කුමුදු වීරකෝන් අනතුරු ඇඟවීය.
ගොවීන් සහ පශු සම්පත් පාලකයින් මෙම රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින අතර, මීයන් සහ වෙනත් සතුන්ගේ අපද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම හේතුවෙන්, එම ජලය ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයින් ආසාදනය වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පැහැදිලි කරති.
ගංවතුර සහ වැසිදිය පාලනය කිරීමේ යටිතල පහසුකම් විද්‍යානුකූලව ගොඩනැගීමෙන්, කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන මහජනතාව සඳහා ආරක්ෂක අත්වැසුම්, පාවහන් ඉතා අඩුමිලකට සම්පාදනය කරමින් ඔවුන් ඒ සඳහා හුරු කිරීමෙන්, ඔවුන්ට රැකියාවේදී ස්පර්ශ කිරීමට සිදුවන පස සහ ජලය නිරන්තරව පරීක්ෂාවට ලක් කිරීමෙන් මෙම රෝගය වැලඳීම විධිමත්ව පාලනය කල හැක.
කෙසේ නමුත්, මහජනතාවගේ ජීවිත වලට ඉහලින් මහධනපතියන්ගේ ලාභ අවශ්‍යතා තැබීම ලොවපුරා ධනපති පාලකයන්ගේ පිලිවෙතයි. 2020 දී කෝවිඩ් වසංගතය පැමිනීමත් සමග එය වඩාත් ඉස්මත්තට පැමිනුනි. වසංගතය පාලනය කිරීමේ සියලු ක්‍රමවේදයන් අත්හල ලොවපුරා පාලක පංතීහු, වසංගතය වේගයෙන් පැතිරෙද්දීඝ කම්හල් විවෘතකොට කම්කරුවන් වැඩට දැක්වූහ. දැන් කෝවිඩ් ඇතුලු සියලු වසංගත සාමාන්‍යකරනයට ලක්කොට ඇත. මෙම පිලිවෙතේ ප්‍රතිඵලය වී ඇත්තේ, මිලියන සංඛ්‍යාත මහජනතාව මරනයට පත්කරමින් වසංගතය තවදුරටත් ඉදිරියට ඇදී යාමයි.
ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට කැප වී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය දැවැන්ත පරිමානයෙන් කප්පාදු වීමට නියමිතය. එම වැඩපිලිවෙලට, සමගි ජන බලවේගය ඇතුලු කොලඹ ධනපති පක්ෂ, උතුරු නැගෙනහිර පලාත් නියෝජනය කරන දෙමල ධනපති පක්ෂ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති මුලුමනින්ම එකඟය.
මේ සියල්ලෙන් තහවුරු කෙරෙන්නේ, ධනපතියන්ගේ ලාභය වෙනුවට මහජන අවශ්‍යතා සපුරාලන සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටන් වැදීමේ දැවෙන අවශ්‍යතාවය යි.