උසාවියේ ඝාතනය සහ “නීතිය හා විධානය” සහ “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ උද්ඝෝෂණය

උසාවියේ ඝාතනය සහ “නීතිය හා විධානය” සහ “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ උද්ඝෝෂණය
වසන්ත රූපසංහ විසිනි.

අපරාධ සැකකරුවෙකු වූ ගනේමුල්ල සංජීව, පෙබරවාරි 19දා අලුත්කඩේ උසාවිය තුල දී වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කර ගෙන, “නීතිය හා විධානය” ද “ජාතික ආරක්ෂාව” ද රැකීම පිලිබඳව ආන්ඩුවත් විපක්ෂයත් එකිනෙකාට ඇඟිල්ල දික්කරමින් වාදයක් අරඹා ඇති අතර දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ද දියත්ව තිබේ.

මාධ්‍ය හා පොලිස් වාර්තාවලට අනුව, සැකකරු එදින බූස්ස සිට නඩු කටයුත්තක් සඳහා තදබල ආරක්ෂක විධිවිධාන සහිත උසාවි භූමියට ගෙනවිත් ඇත්තේ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දුසිමකට වැඩිදෙනෙකුගේ “දැඩි ආරක්ෂාවක්” ඇති ව ය. නීතිඥයෙකු ලෙස හැඳපැලඳ උසාවිය තුලට පැමිනි ඝාතකයා, පොතක් තුල සූක්ෂම ව සැඟ වූ පිස්තෝලයක් ගෙන වාර කීපයක්ම විත්තිකූඩුවේ සිටි සැකකරුට වෙඩි තබා නිරුපද්‍රිත ව පලා ගියේ ය. ඝාතක සැකකරු පුත්තලම ප්‍රදේශයේ දී එදින ම අත්අඩංගුවට ගැනුනු අතර, ඔහු හිටපු හමුදා සෙබලෙකු ලෙස හඳුනාගෙන තිබේ.

කව්බෝයි චිත්‍රපටියක දර්ශනවලට සමාන සිදුවීමට අදාල සීසීටීවී දර්ශන රැගත් පුවත් විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා සිසාරා වේගයෙන් පැතිර ගියේය. මෙම සිද්ධිය වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුව කියවමින් සිටින පසුබිමේ ය.

උසාවියේ ඝාතනය සහ “නීතිය හා විධානය” සහ “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ උද්ඝෝෂණය
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට එරෙහි “දැඩි නීති ක්‍රියාත්මක කරන බව සහතික කරමින්” ආරක්ෂ අමාත්‍යංශය 22දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව. ආරක්ෂක ලේකම් එයාර්වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා හා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඩී.ඩබ්.ආර්.ඩී සෙනෙවිරත්න. [Photo: Defence Ministry of Sri Lanka]

“ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව තිබීම” ගැන විවාදයකට ආන්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැනගත්තේ, ආන්ඩුව උත්සන්න කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රහාර මගින් උග්‍ර කෙරුනු, දසලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනයා ඇතුලු පීඩිත මහජනයා මුහුන දෙන විරැකියාව, දරිද්‍රතාව සහ ඉහල යන උද්ධමනය ඇතුලු යෝධ සමාජ ප්‍රශ්න යටපත් කරමිනි. වාදය දිගටම යයි.

වැඩිවෙන ඝාතන රැල්ල නතර කිරීමට ඉක්මන් විසඳුමක් අවශ්‍ය බවත්, රට තුල “නීතිය හා විධානය” සහතික කිරීමට ආන්ඩුව ගන්නා පියවර වලට විපක්ෂයේ සහාය ලැබෙන බවත් පෙබරවාරි19දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායක (සජබ) සජිත් ප්‍රේමදාස සඳහන් කලේය. ව්‍යාජ විවේචන වලට මුවා වී ආන්ඩුව ගෙන යන ජාමුඅ හි මුර්ග වැඩපිලිවෙලට සහය දෙන ප්‍රේමදාස, පාතාලය මැඩීමේ නමින් ආන්ඩුවේ වේගවත් කරන මර්දන වැඩපිලිවෙලට ද සහය දීමට ඉදිරිපත්වීම පුදුමයක් නොවේ. ආන්ඩුවේ ද විපක්ෂයේ ද පන්ති අවශ්‍යතා ව එකකි, දෙපාර්ශවය ම සේවය කරන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ ලංකාවේ මහා ව්‍යාපරිකයන්ටය.

සිද්ධියෙන් පසු, පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිලිබඳ කාරක සභාවේ පලමු රැස්වීමට සම්බන්ධ වූ ජනාධිපති දිසානායක, “ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතම් පුද්ගලයින් දක්වා ම පාතාලය පැතිර ඇති” බවත් “ඉදිරි කාලය තුල පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියලු කටයුතු කරන” බවත් සඳහන් කලේ ය.

පසුගිය ඉරිදා, දිසානායක අලුත් අදහසක් මුදා හැරියේ ය. මහනුවරට ගොස්, බෞද්ධ සංස්ථාපිතයේ මහනායක හාමුදුරුවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යයට ඔහු ප්‍රකාශ කලේ මෙම ඝාතන, පාතාල කල්ලි අතර ගැටුමක් ද නැතහොත් ආන්ඩුව අපහසුතාවට පත් කිරීමට පාතාල කල්ලි මෙහෙයවීමක් ද යන්න ගැන තොරතුරු ලැබෙමින් පවතින නිසා ඒ ගැන ආන්ඩුව සොයා බලමින් සිටින බවයි.

නීතිය හා විධානය තහවුරු කිරීමේ උද්ඝෝෂනයට තෙල් වත්කරමින්, පාතාලය මැඩීම සඳහා දැඩි මර්දනකාරී නීති ඉල්ලන මෙහෙයුමකට රටේ ප්‍රධාන පුවත්පත් සියල්ල ම පාහේ සම්බන්ධ වී තිබේ. දක්ෂිනාංශික පුවත්පතක් වන දි අයිලන්ඩ් සහ දිවයින මෙහිදී කැපී පෙනේ. “විත්තිකූඩුවේ මරන දන්ඩනය” මැයෙන් පෙබරවාරි 20දා කතුවැකිය ලියමින් දිවයින අනීතික පොලිස් ඝාතනවලට උඩගෙඩි දුන්නේ, ආයුධ පෙන්වීමට ගොස් කෙරෙන පොලිස් ඝාතන “ඉතා ජනප්‍රිය ක්‍රියාවක්” බවට සහතික දෙමිනි. “..එම අපරාධකරුවන් එසේ මියයනු දැකීම සිවිල් ජනතාවගේ අභිලාෂය” බව දිවයින කතුවරයා නරුම ලෙස සඳහන් කලේ ය.

කතුවැකිය ලියා දින දෙකක් තුල පොලිසිය, කොටහේන ප්‍රදේශයේ දී සාප්පුවක සිටි අයෙකු වෙඩි තබා ඝාතනය කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කාක දූපතේ සඟවා තිබෙන උන්ඩ තොගයක් පෙන්වීමට කියා ගෙන ගියේ ය. කුප්‍රකට පොලිස් තැටිවාදනයට අනුව, එම ස්ථානයට ගිය අවස්ථාවේ දී සැකකරුවන් පොලිස් නිලධාරියෙකු අත තිබූ තුවක්කුවක් උදුරා පොලිසිය දෙසට වෙඩි තබා ඇත. එවිට පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් තුවාල ලබා සැකකරුවන් දෙදෙනා මරනයට පත්ව තිබේ.

එදින පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී, පසුගිය ආන්ඩු සමයන්හි දී මෙන් ම වත්මන් ආන්ඩුව යටතේ ද පොලිසිය එවන් ක්‍රියා සිදුකරමින් සිටින බව මෙම ඝාතන මගින් සනාථ කරන බව සඳහන් කල විට, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, අධිකරන ක්‍රියාවලියෙන් බැහැර එවන් අනීතික ක්‍රියාවලට බලපත්‍ර ලැබෙන සේ මෙසේ සඳහන් කලේය: “ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ, පවතින නීතිය යටතේ පොලිසිය කටයුතු කිරීම ගැටලුවක් නෑ.”

ලංකාවේ පාලක පන්තිය බරපතල දේශපාලන හා අර්ථික අර්බුදයන්ට කඩා වැටුනු සෑම අවස්ථාවක ම, නීතිය හා විධානය බලගැන්වීමේ ප්‍රචාරය අවුස්සමින් රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමේ වැඩකටයුතුවල නියැලී ඇත. අද දින ද සිදුවෙමින් පවතින්නේ එයයි.

1948 ඊනියා නිදහසේ පටන් ම, අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වෙමින් මහජන වෛරයට පාත්‍ර ව සිටින මෙරට පාලක පන්තියට ඇත්තේ, මහජන අරගල ලෙයින් මර්දනය කිරීමේ කුප්‍රකට ඉතිහාසයකි. 1971 දී ජවිපෙ කැරැල්ල තලා දැමීමත් සමග පොලිසිය හා මිලිටරිය තර කිරීම අලුත් මට්ටමකට ගන්නා ලදී. ධනපති පන්ති පාලනයේ කැත ඉතිහාසයේ තීරනාත්මක ලක්ෂ්‍යය වන්නේ, කොලඹ ආන්ඩු විසින් සුලුතර දෙමල ජනයාට එරෙහි ව සිදුකල වාර්ගික වෙනස්කම් එල්ටීටීඊ ත්‍රස්තවාදය මැඩීමේ නමින් දශක තුනක් පුරා දිවුනු ලේවැකි යුද්ධයක් කරා නැංවීමයි. 2019 අප්‍රේල් පාස්කු දින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාරය බලයේ සිටි ආන්ඩුව හා විපක්ෂය, මුස්ලිම් විරෝධය අවුලුවමින් මහජනයාට එරෙහි ත්‍රස්තය මුදා හැරීමට යොදා ගත්තේය.

මේ අනුව, ලංකාවේ නාමික නිදහසෙන් පසු ගතවී ඇති 77 වසරින් අඩක් පැවතියේ හදිසි නීතිය යටතේ ය. තුනෙන් එකක කාලයක් පැවතියේ යුද්ධයක් තුලය. ත්‍රස්තවාදය වැලැක්වීමේ නීතිය දශක පහකට ආසන්න කාලයක සිට ක්‍රියාත්මක වේ. පොලිසිය හා හමුදා නිදැල්ලේ නිතිය අතට ගෙන ක්‍රියාකිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ.

පාතාලය, පොලිසිය හා ආරක්ෂක අංශ තුල ද සම්බන්ධතා සාදා ගනිමින් වර්ධනය වී ඇතිබව දිසානායක පවසා ඇත. මෙය අලුත් සොයා ගැනීමක් නොවේ. 1983 පටන් අනුප්‍රාප්තික ආන්ඩු වර්ගවාදී යුද්ධය ගෙන යමින්, කම්කරුවන් හා ගම්බද දුගීන් මැඩීමට රාජ්‍ය යන්ත්‍රය බලමුලු ගන්වන අතර නිලනොවන මැරකල්ලි රහසේ ගොඩනගාගෙන තිබේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සමග සම්බන්ධතා සහිත පාතාලය වර්ධනයවීමට මෙය රුකුලක් විය. ප්‍රධාන පෙලේ දේශපාලකයන්, ඇතැම් ධනපතියන් හා පාතාල මැරකල්ලි, මිලිටරියේ හා පොලිසියේ පහල හා ඉහල නිලධාරීන් ද අතර සම්බන්ධතා ගැන තොරතුරු එලියට ආවේ හා වහාම යට ගැසුනේ වරක් දෙවරක් නොවේ.

මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ ධනේශ්වර පන්ති පාලනයේ ආන්තික කුනුවීමේ ලක්ෂනයන් ය. නාමික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා අහෝසි කෙරෙමින් පවතී.

වෙනස් හා සමාන රූපාකරයන් සහිතව ධනපති පන්ති පාලනයන් යටතේ ගෝලීය ව වර්ධනය වන්නේ මේ තත්වයයි. ආන්තික සමාජ අසමානතාව, ආඥාදායක හා ෆැසිස්ට් පාලනක්‍රම වලට හැරීම හා ලෝක යුද්ධය මෙහි ප්‍රකාශනයන් ය. ෆැසිස්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ මෙය කුලු ගැන්වෙමින් පවතී. මෙම ව්‍යසනය නැවත්විය හැක්කේ, අතලොස්සක් බිලියනපතියන්ගේ ගිජු ලාභ අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක ධනේශ්වර ක්‍රමය පෙරලා දමා, ලාභය සඳහා නොව මානව අවශ්‍යතාවලට අනුකූල ව නිෂ්පාදනය සහ බෙදාහැරීම ප්‍රතිසංවිධානය කරන සමාජවාදී සමාජයක් පිහිටුවීමෙන් පමනි.

දිසානායකගේ ආන්ඩුව පාතාලය පිලිබඳ විශේෂයෙන් උනන්දු සහගත වන්නේ, මහජනතාවට විශාල පොරොන්දු ප්‍රමානක් දී බලයට පැමිනීමෙන් අනතුරුව ඒ පොරොන්දු සියල්ල කඩාදැමීමෙන් මහජන නොසන්සුන්තාව දැල්වෙමින් තිබෙන තත්වය තුල ය. මෙම තත්වය වර්ධනය වී, 2022 මහජන අරගලට සමාන තත්වයක් ඇවිලවිය හැකි බවට අනතුරු අඟවමින්, එවැන්නක් වැලැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ප්‍රධාන මාධ්‍යයන් වන දි අයිලන්ඩ් හා ඩේලි මිරර් අනතුරු අඟවා ගෙවුනේ දින කීපයක් පමනි.

ජාමුඅ රුදුරු වැඩපිලිවෙල උත්සන්න කිරීම දිසානායක ආන්ඩුවට පැවරී තිබේ. පාතාලය මැඩීම, පිවිතුරු ලංකාවක් ගොඩනැගීම, මාතෘභූමිය වෙනුවෙන් සියල්ලන් කැපවීම ආදී සටන්පාඨ යටතේ පොලිසිය හා මිලිටරිය කම්කරු පන්තියේ අරගල තලා දැමීම සඳහා මෙම නීතියේ හා විධානයේ උද්ඝෝෂනය යහමින් යොදාගනු ඇත.

කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට මේ උද්ඝෝෂනය සමග පොදු කිසිවක් නැත. ඔවුන් කල යුත්තේ, මේ විසකුරු ප්‍රචාරවලට මුවාවී ආන්ඩුව ඇතුලු පාලක පන්තිය මාධ්‍යවලද පිටුබලය සහිතව තමන්ට එරෙහිව ගෙනයන සුදානමට එරෙහි ව බලමුලු ගැන්වී ගැනීමයි.

කම්කරු පන්තිය කල යුතුවන්නේ අවශේෂ පීඩිත ජනයා ද රැලි කර ගෙන, ධනේශ්වර පංති පාලනය පෙරලා දමා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කමිකරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමයි. සමාජවාදී සමානතා පක්ෂය ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිවෙල මත පාදක ව මෙම අරගලය වර්ධනය කිරීමේ අරගලයේ යෙදී සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *