එම්.පී. ඇල්බට් සහෝදරයා – මතකයේ රඳවා ගත යුතු අව්‍යාජ විප්ලවවාදී සටන්කරුවෙක්
ආර්. ඒ කරුනාසේන සහ නන්දන නන්නෙත්ති විසිනි
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෙකු වූ එම්.පී.ඇල්බට් සහෝදරයා 2022 දෙසැම්බර් 9 වන සඳුදා අලුයම අභාවප්‍රාප්ත වූ බව පසු ගිය පෙබරවාරි 25 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශය වාර්තා කර තිබිනි. වයස අවුරුදු 74 පසු කරමින් සිටිය දී ඔහු අපෙන් සමු ගත්තේ සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන දැරනියගල වැඩිහිටි නිවාසයේ දී ය. තම ආර්ථික සහ කායික දුබලතා සලකා බැලූ ඇල්බට් සහෝදරයා, පක්ෂය සමග සාකච්ඡා කොට, වැඩිහිටි නිවාසයේ ජීවත්වීමට තීන්දු කල බව ලෝසවෙ අඩවියේ වාර්තාව සඳහන් කර ඇත.
කලක් වාමාංශික බලකොටුවක් ලෙස ප්‍රකටව පැවති, වතු කම්කරුවන් හා පීඩිත ගොවීන් ඒකාබද්ධව සටන් වැදීමේ ඉතිහාසයක් ඇති රුවන්වැල්ල ප්‍රදේශයේ ඔහු හැදී වැඩුනේ ය. 1930 ගනන් අග දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කල කම්කරු පන්තික පක්ෂයක් වූ ලංකා සමසමාජ පක්ෂය, ප්‍රදේශයේ පීඩිත ජනයා පාගා ගෙන සිටි ධනේශ්වර ප්‍රභූ පැලැන්තියට විරුද්ධව ගෙන ගිය අරගලයේ ආශ්වාදය එම පක්ෂය කල මහා පාවාදීමෙන් අනතුරුව පවා ප්‍රදේශවාසීන්ගේ මතකය තුල රැඳී පැවතිනි. ඇල්බට් සහෝදරයාට ධනේශ්වර පීඩනයට එරෙහිව සටන් වැදීමට එවන් සමසමාජ පක්ෂයක් දැක ගැනීමට අවස්ථාවක් නො වීය. සසප ගැන දැන හඳුනා ගැනීමට පෙර ඔහු ධනේශ්වර පීඩනයට විකල්පයක් ලෙස දැකගත්තේ ජනතා විමුක්ති පෙරමුන ය.
1995 මැයි දිනය, ඇල්බට් සහෝදරයාගේ දේශපාලන ජීවිතයේ තීරනාත්මක හැරවුම් ලක්ෂය සටහන් කල දිනයකි. එම වසරේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කොටහේනේ පැවැත් වූ මැයි දින රැලියට ඔහු සවන් දුන්නේ ය. ඉන් පෙර වසරේ ඇල්බට් ජවිපෙ මැයි දිනයට සවන් දී තිබිනි. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දී දොඩමලු නො වන ඇල්බට්, පක්ෂ ජීවිතය ගැන සහෝදරවරුන් සමග කල සාකච්ඡාවල දී මහත් අභිරුචියෙන් සිහිපත් කරන්නේ, තමන් එවකට පක්ෂයේ ප්‍රධාන ලේකම්, අභාවප්‍රාප්ත විජේ ඩයස් සහෝදරයා එම මැයි දිනයේ කල කතාවට සවන් දීමෙන් පසු විකොසට බැඳීමට තීරනය කල බව ය. 1994 බලයට පැමිනි චන්ද්‍රිකා බන්ඩාරනායකගේ ආන්ඩුව අතට ගත් ජන වාර්ගික යුද්ධයට, පෙර පැවති ජනාධිපති ප්‍රේමදාසගේ ආන්ඩුවේ ගම්බද ඝාතන ව්‍යාපාරයට, කම්කරු පන්තියට එරෙහිව ජවිපෙ දේශප්‍රේමයේ නාමයෙන් ගෙන ගිය දේශපාලනයට, වෘත්තීය සමිතිවලට හා මේවාට මාවත පාදා දුන් අවස්ථාවාදී නායකත්වයන්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියා මාර්ගය වර්ධනය කිරීමේ හා විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ අරගලයට එක් වන ලෙස විජේ සහෝදරයා ඉල්ලා සිටියේ ය.
වාර්ගික යුද්ධයටත්, ජවිපෙ භීෂනයටත්, 60,000 ක් ගම්බද තරුනයන් ඝාතනය කල රාජ්‍ය මර්දනයටත් එරෙහිව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙන ගිය අරගලය තුලින් පක්ෂයට ඇදී ආ දුසිම් ගනනක් අතරට ඇල්බට් සහෝදරයා ද එක් විය. 1988 ජවිපෙ ඝාතන රැල්ල ආරම්භ කලේ ශ්‍රී ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නායක එල්. ඩබ්ලිව්. පන්ඩිත පිහියෙන් ඇන ඝාතනය කිරීමෙනි. ‘පලමුව මවු බිම; දෙවනුව වැඩ බිම’ ජවිපෙ සටන් පාඨය වූ අතර සිය දහස් ගනනක් කම්කරුවෝ, කම්කරු සංවිධානවල නායකයෝ සහ ජවිපෙට සහාය දීම ප්‍රතික්ෂේප කල ජනයා ඝාතනය කරන ලදහ. විකොස සාමාජිකයන් තිදෙනෙක් ද ඔවුන්ගේ දේශප්‍රේමී ව්‍යාපාරය විසින් බිලි ගැනුනි. අනෙක් පැත්තෙන් අන්ඩුව ජවිපෙ භීෂනය මැඩීමේ මුවාවෙන් දස දහස් ගනනක් තරුනයන් මරා දැමීමේ ත්‍රස්ත ව්‍යාපාරයක් දියත් කලේ ය.
විකොස මෙම දෙපාර්ශ්වයට ම විරුද්ධව ගොවීන්, තරුනයන් හා සෙසු පීඩිතයන් තමන් වටා පෙල ගස්වා ගත් කම්කරු පන්තියේ එක්සත් පෙරමුනක් සඳහා වෘත්තීය සමිති ඇතුලු එවක කම්කරු පන්ති පක්ෂ ලෙස පිලිගෙන තිබූ පක්ෂවලට යෝජනා කලේ ය. එසේ යෝජනා කිරීමේ දී පක්ෂය පදනම් වී සිටියේ, කල් පසු වී ගොඩ නැගුනු පසුගාමී රටවල ධනේශ්වර රාජ්‍යය පීඩිත ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් පවා විසඳීමට සමත් නො වේ ය යන, නො නවතින විප්ලව න්‍යාය මත ය.
විකොස උද්ඝෝෂනය වටා මහ බැංකු සේවකයන් ඇතුලු ආයතන සෑහෙන සංඛ්‍යාවක කම්කරුවන්ගේ සහයෝගය ගොනු වූයේ ය. ආයතන ගනනාවක සමිති ශාඛා එක්සත් පෙරමුනු යෝජනාවට හා ගම්බද ඝාතනවලට එරෙහි විකොස ආරම්භ කර ඇති අරගලයට සහාය දිය යුතු යයි යෝජනා සම්මත කලහ. කම්කරුවන්ගේ මෙම සූදානම මුලුමනින් ම නො තකා සිටි කම්කරු නායකයෝ තමන්ගේ ආරක්ෂාව සඳහා ධනපති ආන්ඩුවේ පිහිට පැතූහ. නො නවතින විප්ලව න්‍යායට පරම හතුරු වූ මෙම නායකයෝ, එවන් බලමුලු ගැන්වීමක් ධනවාදයට කෙලින්ම අභියෝග කරන දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වීමේ කොන්දේසි පවතින බව දැන සිටියෝය.
එම කාල පරිච්ඡේදයේ පක්ෂයට බැඳුනු තරුනයන් අතර සිටි ඇල්බට්, තරුන විය ඉක්මවමින් සිටි ඉතා පරිපීඩිත තනිකඩයෙක් වූයේ ය. දේශපාලන අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහුට තිබුනේ නොතිත් වුවමනාවකි. ගමේ හැදෙන කෙසෙල් වැනි පලතුරක් නගරයට ගෙන අවුත් අලෙවී කිරීමෙන් යන්තම් ජීවිකාව සලසා ගත් ඔහු නිතර නිතර පක්ෂ කාර්යාලයට ආවේ ය. ඒ පක්ෂ පුවත්පත හා අලුතෙත් නිකුත් වූ පොත්, පත්‍රිකා ගෙන යාමට මෙන් ම පවතින දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමට ය. දිනක් පක්ෂ කාර්යාලයේ සිටි උදය සහෝදරයා සමග ඔහු සාකච්ඡා කරමින් සිටිය දී, කාර්යාලයට පිවිසුනු එවකට ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා, ඒ කවුදැයි උදයගෙන් විමසා දැන, ඔහු සමග කෙටි සාකච්ඡාවක් කලේ ය. එම සාකච්ඡාවෙන් අනතුරුව, මෙවන් පීඩිතයන් පක්ෂය වෙත නැඹුරු වීම බැරෑරුම්ව සලකන ලෙස විජේ සහෝදරයා උදයට උපදෙස් දී ඇත.
එය ඉතා නිවැරදි තක්සේරුවකි. ඒ වන විටත් ඇල්බට් විඥානවාදයට විරුද්ධව සිටියේ ය. ආගම ප්‍රතික්ෂේප කර සිටියේ ය. ඇල්බට් ඉහල අධ්‍යාපනයක් ලත් අයෙකු නො වේ. එහෙත් ඔහු ලිපි ලේඛන කියවූයේ ය. ජාත්‍යන්තර කමිටුවේ ලේඛන ඉංග්‍රිසි භාෂාවෙන් ම කියවා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු ඉංග්‍රීසි පන්තියකට ගියේ ය. ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය කට පාඩම් කර ගැනීමට පවා උත්සාහ කලේ ය. කම්කරුවන් පීඩිතයන් අතරට ජාත්‍යන්තරවාදී දේශපාලන ගෙන යාම සඳහා සටන ඔහුගේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක් විය.
සසප තුල ක්‍රියාකාරී වූ මෙවන් සහෝදරවරුන් පිලිබඳ මතකය විප්ලවවාදී ආශ්වාදයක් මෙන් ම ධෛර්යයක් ද ලබා දෙයි. මින් දශක දෙකකට පෙර ජීවිතයෙන් සමු ගත් වැලිසර ගබඩාවේ මුට්ට කරගසන්නෙකු ලෙස සේවය කල සිරිල් ඇන්ටනී තවත් එවන් එක් සහෝදරයෙකි. ජාඇල ශාඛාවේ වැඩ කල එක් දරු පියෙකු වූ ඔහුට බිරිඳක් සිටියේ නැත. ඔහු සිය වැටුප ගත් වහා ම කලේ පක්ෂයට දෙන සාමාජික මුදල වෙන් කිරීම ය. වැඩි මුට්ට ප්‍රමානයක් කර ගැසීමට ලැබුනු විට එයින් ලබන වැටුපෙන් කොටසක් පක්ෂ අරමුදලට වෙන් කිරීමට ඔහු අමතක කලේ නැත. මෙවන් කම්කරුවෝ මත්පැන් පානයට පුරුදුව සිටිති. ඇන්ටනී වරක් උද්ඝෝෂනයකට පැමිනි විට ඇන්ටනි වෙතින් මත්පැන් ගඳක් වහනය විය. සහෝදරියක් ඔහුට දොස් කීවා ය. “හරි සහෝදරී එහෙනම් වෙන දවසක කරමු“ හැරී ගිය ඇන්ටනී, ඉන් පසු කිසි දිනෙක වත් පක්ෂ කටයුත්තකට සහභාගී වීමේ දී මත්පැන් භාවිත කර පැමිනියේ නැත. කවදත් ඇන්ටනී පක්ෂ ශාඛාවේ රැස්වීමකට හෝ ප්‍රසිද්ධ උද්ඝෝෂනයකට සහභාගී වීමේ දී මැනවින් මදින ලද කලිසමක් හා ෂර්ට් එකකින් සැරසී ආවේ ය. ඇන්ටනී ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් පක්ෂය මෙහෙය වන උද්ඝෝෂනයකට සහභාගී වන විට බොහෝ නිවැසියෝ, ‘ඇන්ටනී අයියා ඇවිල්ලා’යි පවසමින් කිසිදු ඉල්ලීමක් කිරීමටත් පෙර පක්ෂ අරමුදල් සඳහා ආධාර කිරීමට ඉදිරිපත් වූහ.
විප්ලවවාදී පක්ෂයකට මෙවන් පීඩිත කම්කරුවන් දැවැන්ත ශක්තියකි. ඔවුහු න්‍යායඥයෝ හෝ දර්ශනවාදියෝ නො වෙති. එහෙත් ඔවුහු න්‍යායයේ හා ව්‍යාපාරයේ දෘඩතර ආරක්ෂකයෝ වෙති. ඔවුන් තවමත් කැපී පෙනෙන නායකයන් නො වන නමුත්, තමන්ගේ ක්ෂේත්‍රය විවෘත වූ කල තීරනාත්මන නායක කාර්ය භාරයක් කම්කරු පන්තිය තුල ඉටු කිරීමට නියමිත ය. මෙවන් සහෝදරවරුන් විශේෂයෙන් දේශපාලනිකව රැක බලා ගැනීමත් ඔවුන් තීරන ගැනීමේ පක්ෂ කටයුතුවලට සහභාගී කර ගනිමින් අධ්‍යාපනය ලබා දීමත් අත්‍යවශ්‍ය කර්තව්‍යයක් වන්නේ එබැවිනි.
ඇන්ටනී මෙන් ම ඇල්බට් සහෝදරයා ද කවර කලෙකවත් නැතිබැරිකම් කීවේ නැත. ඔහු තමන්ට හැකි තාක් කල් ගමෙන් එකතු කර ගන්නා කෙසෙල් කැනක් හෝ වෙනත් පලතුරක් විකුනා ජීවත් වූයේ ය. ප්‍රදේශවාසීහු ඇල්බට්ගේ ප්‍රතිපත්ති ගරුක බවට ගරු කලහ. කලක් ඔහුට නවාතැන් දුන් ලේඛකයෙක් අප සමග කීවේ කිසිම අවස්ථාවක ඇල්බට් වංචනික ක්‍රියාවක් සිදු නොකරන බව තමන්ට සහතික බැවින් එහි නවාතැන් ගැනීමට ඉඩ දුන් බව ය.
අවසාන කාලයේ ඔහු සම්බන්ධ වී සිටියේ සසප අවිස්සාවේල්ල ශාඛාවට ය 2021 වසරේ ශාඛාව විසිරී ගිය විට ඇල්බට්ට එය පිලිගත හැකි දෙයක් වූයේ නැත. එයින් ඇති කල හුදකලාවට විරුද්ධව ඔහු තමන්ට පැවති දුෂ්කරතා නො තකා පක්ෂය සමග සබඳතා තබා ගැනීමට වැඩ කලේ ය. 2022 වසරේ සසප වාම කන්ඩායම පක්ෂයෙන් නෙරපීමට ගත් තීන්දුව අනුමත කල නො හැකි බව ඔහු අප සමග පැවසී ය. එහෙත් පක්ෂය ගොඩ නැගීමට පක්ෂය තුල රැඳී වැඩ කල යුතු බව ඇල්බට් සහෝදරයා නිවැරදිව තීන්දු කලේ ය. යල් පැන ගිය අධිරාජ්‍යවාදී ධනවාදය මුලිනුපුටා දමා සමාජවාදී සමාජයක් ගොඩනැඟීම සඳහා අරගලය කරනු හැර අන් කවර හෝ වැඩ පිලිවෙලක් පීඩිත මහජනතාවන්ට නැත යන වැටහීම ඇල්බට්ගේ ජීවිතයේ හරය වූ බව සඳහන් කිරිම වැරදි නැත.
විප්ලවවාදී දේශපාලනයට යොමු වූ පමනින් පුද්ගලයින් සිය පෞද්ගලික සිතුම් පැතුම් හා චර්යාවන්ගෙන් ගැලවෙන්නේ නැත. පුද්ගලයෙකු සමාජය තුල හැඩ ගැසී ඇති ආකාරය අනිවාර්යයෙන් ම ඔහුගේ දේශපාලන දෘඩතර භාවයට බල පෑමක් කරයි. ඉහත සදහන් ගුනාංග ඇල්බට්ගේ දේශපාලනය සමග ගැලපුනේ ය.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එලඹෙන දශකය විප්ලවයේ දශකය බව ප්‍රකාශ කලේ ය. ධනේශ්වර ලෝක වෙලඳපොල අර්බුදය දැනටමත්, නොවැලැක්විය හැකි යුද්ධයකට ජාතික රාජ්‍ය ගනනාවක් ම ඇද දමා ඇත. අධිරාජ්‍යවාදී නැටෝව යුක්රේනය මැදි කරගෙන රුසියාව සමග දිග්ගැසුනු යුද්ධයක පැටලී සිටී. එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් අතර – එනම්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අවදියේ ගොඩ නැඟූ ලෝක පර්යාය සමඟ – කලක් පවත්වා ගෙන ආ සබඳතා අවසාන වශයෙන් බිඳ දැමීමේ දිසාවට ගමන් කරමින් සිටී. එක්සත් ජනපදය හා චීනය අතර මෝරා වැඩෙමින් පවතින ගැටුම්, මැද පෙරදිග ඇවිලෙමින් තිබෙන තත්වය, ලෝක ආර්ථිකයට – විශේෂයෙන් දුබල රටවල ආර්ථිකයට – ඔරොත්තු දී සිටීමට නො හැකි තත්වයක් නිර්මානය කරයි. ශ්‍රී ලංකාව එහි ගොදුරකි. මේ තතු යටතේ ‘රට ගොඩ නැගීමේ’ ජාතික වැඩ පිලිවෙලවල් නැත. ‘රට ගොඩ නැඟීමේ’ ජාජබ ආන්ඩුවේ ජාතික පිලිවෙත, කම්කරුවන්ට, ගොවි ජනතාව ඇතුලු ශිෂ්‍යයන්ට, ක්ෂමා විරහිත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තොරව ක්‍රියාවට දැමිය හැක්කක් නො වේ. ඊට විරුද්ධව සටන් කිරිමට ක්‍රියා මාර්ගයක් අවශ්‍යය ය. මේ තත්වය යටතේ ඇල්බට් සහෝදරයා ගත් මගෙහි නිර්වද්‍යතාව කම්කරු පන්තිය විසින් වටහා ගනු ලබනු ඇති බව අපට විශ්වාස ය.