ඔක්ස්ෆෑම් වාර්තාව: “සමාජ අසමානතාවය මෙතෙක් වාර්තා වූ ඉහලම අගයට නගී – සහ තව දුරටත් නගිමින් පවතී”
[මෙය Oxfam report: “Inequality is at an all-time high – and rising” මැයෙන් 2024 නොවැම්බර් 3 වන දා පල කල ලිපියේ පරිවර්තනය යි.]
ඔක්තෝබර් 21 වනදා ඔක්ස්ෆෑම් සහ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඉන්ටනැශනල් (DFI) ලෝකය පුරා වාර්තාගත අසමානතාවය සහ ඉහල යන කප්පාදු පියවර පිලිබඳව විස්තර කරමින් “අසමානතා දර්ශකය පහත හෙලීම සඳහා කැපවීම” යන මැයෙන් වාර්තාවක් නිකුත් කලේය. ඊට අනුව සමීක්ෂනයට භාජනය කෙරුනු රටවල් 164 කින් සියයට අනූවක් “ආර්ථික අසමානතාවය ඉහල නැංවීමේ වැඩි සම්භාවිතාවක් සහිත පිලිවෙත්” ක්‍රියාවට දමමින් සිටී.
වාර්තාව රටවල් 164 තුල අසමානතාවයේ මට්ටම් තක්සේරු කිරීම සඳහා “කාරනා” තුනක් මත පදනම් ව විමර්ශනය කරයි: මහජන සේවා සඳහා වියදම් කිරීම (අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂනය මත); ප්‍රගතිශීලී බදු අයකිරීම් (පරි:ඉහල ආදායම් ලබන අයට ඉහල බදු); සහ කම්කරු අයිතීන් සහ වැටුප්. 2022 අවසානයට නිකුත් වූ වාර්තාවෙන් පසු රටවල් සියයට 84ක් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ/හෝ සමාජ ආරක්ෂනයට වන වියදම් කප්පාදු කර ඇත. බදු ප්‍රතිපත්ති රටවල් සියයට 81 ක අහිතකර මට්ටම් වලට ගෙනැවිත් ඇති අතර “කම්කරු අයිතීන්, අවම වැටුප්. අනාරක්ෂිත සේවයේ යෙදවීම් සහ/හෝ කම්කරු ආදායම් අසමානතාව රටවල් සියයට 90 ක නරක අතට හැරී ඇත.
ඔක්සෆෑම් සහ ඩීඑෆ්අයි මෙම වාර්තා 2017 සිට නිකුත් කරයි. 2024 වාර්තාව පලමු වතාවට රටවල් අතරින් බහුතරයක මෙම කාරනා තුනම සම්බන්ධයෙන්ම පරිහානියක් පෙන්නුම් කරන බව හෙලිදරව් කලේය. වාර්තාව පෙන්නුම් කරන්නේ මෙම සමාජ පිලිවෙත්වල පරිහානිය හේතුවෙන් “සමාජ අසමානතාවය වාර්තාවන ඉහලම අගයට නැග ඇති අතර – තව දුරටත් තියුනු වෙමින් පවතින බවයි.
විශ්ලේෂනයට ලක් කල රටවල් 164න්, 112 ක්ම අයවැයෙන් සියයට 15-20 අතර ප්‍රමානයක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමේ අවම නිර්දේශයටත් පහලින් සිටියි. 2022 පටන්, වාර්ෂික අධ්‍යාපන වියදම් සාමාන්‍යය සියයට 14 පටන් සියයට 13.7 දක්වා පහල බැස ඇත.
සෞඛ්‍ය සඳහා වියදම් 2022 වාර්තාවේ පටන් සියයට 11 එකතැන පල් වී ඇති අතර දුප්පත් රටවල් වල වියදම් වසංගතයට පෙර මට්ටම් වලට නැවත පැමින නැත. 2022 වාර්තාව හෙලිදරව් කලේ පහල සහ පහල-මැදි ආදායම් ලබන රටවල් සෞඛ්‍යය සඳහා කරන වියදම් වසංගතයේ පලමු අවුරුදු දෙක තුලදී කප්පාදු කර ඇති බවයි. සමාජ ආරක්ෂනය සඳහා වියදම් පවා 2022 සහ 2024 අතර සියයට 18.3 එක තැන ඇත.
ලෝක ධනවාදී පද්ධතියේ කුලුනු දෙක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) සහ ලෝක බැංකුව පසුගිය වසර දෙක තුල මෙම සමාජ වියදම් කප්පාදුවේ සහ වැඩෙන සමාජ අසමානතාවයෙහි ලා සුවිශේෂී විනාශකාරී භූමිකාවක් ඉෂ්ට කලේය. 2022 පටන්, ලෝක බැංකු වැඩපිලිවෙල යටතේ පාලනය වන රටවල් සියයට 94ක් සහ ජාමුඅ නය යටතේ ක්‍රියාත්මක වන සියයට 95 අධ්‍යාපනය, සෞඛ්‍යය සහ/හෝ සමාජ ආරක්ෂනය සඳහා වන වියදම් කප්පාදු කරමින් සිටී.
වාර්තාව සඳහන් කලේ “ජාමුඅ පශ්චාත් වසංගත කාලයේ නය සහ හිඟයන් අඩු කිරීම සඳහා විශේෂයෙන් වියදම් කප්පාදු නිර්දේශ කරමින් ලෝකය පුරා කප්පාදු පියවර ඉහල දැමීමට නියෝග කොට ඇත,” යනුවෙනි. 2023 අප්‍රේල් ඔක්සෆෑම් වාර්තාව සඳහන් කල පරිදි:
“කප්පාදුව විනාශ කරයි. එය ජීවිත සුන්නද්දූලි කරන අතර විභවයන් නැති භංග කර දමයි. එය ආර්ථිකයන් කඩා වට්ටමින් වර්ධනය වසර කිහිපයක් පසුපසට ඇද දමයි. එය සමාජ අසමානතාවය සහ දුප්පත්කම වර්ධනය කරයි.” මෙම දර්ශකයේ ඉහලම රටවල් දහයෙන් අටක්ම අයත් වන්නේ අප්‍රිකා සහරාවටයි. මෙම කලාපයේ සියලු රටවල් ජාමුඅ සහ ලෝක බැංකු පිලිවෙත් මත ක්‍රියාත්මක වෙයි.
යුක්‍රේනය සහ ආජන්ටිනාව 2022 පටන් මහජන සේවාවන් කෙරෙහි වියදම් වැඩිම ප්‍රමානයකින් කප්පාදු කල රාජ්‍යයන් යුගලයයි. ආජන්ටිනාවේ ෆැසිස්ට් ජනාධිපති යාවියර් මිලෙයි කම්කරු ආරක්ෂන නීති ඉවතලමින්, සෞඛ්‍ය වියදම් සියයට 76 කින්ද, අධ්‍යාපන වියදම් සියයට 60 කින්ද කප්පාදු කර ඇත. මිලෙයි රටෙහි බදු රේට්ටු පහල දමමින්, බදු වලට හසුවන අවම වත්කම තුන්ගුනයකින් ඉහල නංවමින් ධන බද්දට ප්රතිගාමී වෙනස්කම් ගෙන ආවේය.
යුක්‍රේනය සම්බන්ධයෙන් ගත් කල ආන්ඩුවේ වියදම් වලින් සියයට 58 ක් මිලිටරියට වෙන් කෙරෙන අතර තවත් සියයට 15 ක් නය ගෙවීම සඳහා වෙන් කෙරේ. 2022 පටන්, යුක්‍රේනය ලෝකයේ රටවල් අතරින් සමාජ ආරක්ෂන වියදම් කප්පාදු කිරීම අතින් තුන්වන තැන ගනී.
වාර්තාව පැහැදිලි කරන පරිදි යුක්‍රේනය “එහි පෙර පැවති දුප්පත්කම සහ අසමානතාවයට තීරනාත්මක බලපෑමක් ඇතිකල සාර්ව පද්ධතියෙන් මිදී, මෑත ම ජාමුඅ නය ගිවීසුමේදී එකග වූ පරිදි ආරක්ෂන වියදම් තවදුරටත් කපා හැරෙන පද්ධතියකට ගමන් කර ඇත.”
බදු ප්‍රගතිකරනය අතින් ගත් කල රටවල් 164 අතුරින් යුක්‍රේනය 158 වන තැන ගෙන ඇත.
සමාජ වියදම් ප්‍රහාරයේ මුඛ්‍ය ගාමක බලවේගය වන්නේ රාජ්‍ය නයයි. වාර්තාව පැහැදිලි කරන පරිදි මෙය “මෙතෙක් පැවති දරුනුතම ගෝලීය නය අර්බුදයයි.” 2024 නය ගෙවීමට රාජ්‍ය අයවැය ආදායම් වලින් සියයට 41.5 වෙන් වූ අතර , රාජ්‍ය වියදමින් සියයට 41.6 වෙන් වූ අතර දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 8.5 ගිල ගෙන ඇත. ජාමුඅ මෙම තත්වය තවත් දශකයක් යන තෙක් ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බවට බලාපොරොත්තු වෙයි.
සාමාන්‍ය පහල සහ පහල මැදි ආදායම් ලබන රටවල් සමාජ අවශ්‍යතා සඳහා ඒකාබද්ධ වියදම ඉක්මවා යමින් සිය අයවැයෙන් සියයට 48 නය ගෙවීමට වියදම් කරයි. මෙම රටවල් වල නය ගෙවීමට අධ්‍යාපනය වියදම් මෙන් 2.7 ගුනයක්ද, සෞඛ්‍ය වියදම් මෙන් 4.2 ගුනයක්ද, සමාජ ආරක්ශන වියදම් මෙන් 11 ගුනයක්ද වියදමක් කැප කිරීමට සිදුව ඇත. ජාමුඅ 2025-2029 කාලය පෙරදකින පරිදි මෙම රටවල් වලින් සියයට හැටක අයවැය ඩොලර් බිලියන 336 කින් කප්පාදු කරනු ඇත.
දැවැන්ත නය බරකට මුහුන දී සිටින සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර, ඒවා වඩ වඩාත් තව දුරටත් සමාජ වියදම් කප්පාදුව තියුනු කිරීමට මග පාදන ඇප ගැනීම් සඳහා ජාමුඅ දෙසට නැඹුරු වෙමින් සිටී. 2023 ඔක්සෆෑම් වාර්තාව පෙන්වා දුන් පරිදි කොවිඩ් 19 සමයේ ලබා දුන් ජාමුඅ නය 107න් සියයට 85කදීම කප්පාදු පියවර ක්‍රියාවට දමන ලෙස නියෝග කර හෝ යෝජනා කර ඇත.
සමාජ වියදම් කප්පාදුවෙහි අනෙක් ගාමක බලවේගය වන්නේ මිලිටරිය සඳහා ඉහල යන වියදම්ය. 2022 දී මිලිටරි වියදම් ඩොලර් ට්‍රිලියන 2.24 දක්වා ඉහල ගිය අතර එය 2021 පටන් සියයට 3.7 ක වැඩි වීමකි. 2023 දී එම වියදම ඩොලර් ට්‍රිලියන 2.443 දක්වා සියයට 6.8 කින් ඉහල ගියේය. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේශන ආයතනයට අනුව 2009 න් පසුව 2023 තුලදී ඉහලම වාර්ශික මිලිටරි වියදම් ඉහල යාම අත් දුටු අතර එය වාර්තා වූ ඉහලම අගය විය.
සාමාන්‍යයක් ලෙස ගත් කල, මිලිටරි වියදම් රාජ්‍ය අයවැයෙන් සියයට 8ක් අත් කර ගනී. යුක්‍රේනයට අමතරව බෙලරුසයද මිලිටරි වියදම් සඳහා අයවැයෙන් අඩකට වඩා වෙන් කරයි. පකිස්ථානය සහ මාලිද සෞඛ්‍යය වියදම් මෙන් තුන් ගුනයක් මිලිටරියට වියදම් කරයි.
වාර්තාවේ සිත් කලඹවන සුලු හෙලිදරව් කිරීම් පැවතියත් ඔක්සෆෑම්/ඩීඑෆ්‍යි යෝජනාවන් කිසිදු ඉදිරි මාවතක් සම්පාදනය නොකරයි. රචකයන් වාර්තාව සමාලෝචනය කරන්නේ “අසමානතාවය අනිවාර්ය දෙයක් නොවේ. එය තෝරාගත හැකි පිලිවෙතකි. සෑම රටකටම අසමානතාවය අඩු කිරීම සඳහා විභවය පවතී.” යනුවෙන් පවසමිනි.
ඉන් පසුව ඔවුන් ධනපති ආන්ඩු ක්‍රියාවට දැමීම සඳහා කිසිදු උනන්දුවක් නොමැති පියවර මාලාවක් යෝජනා කරයි:
“අත්‍යාවශ්‍ය මහජන සේවා සඳහා වියදම් වලට ප්‍රමුඛතාවය ලබා දෙනු;”
“ප්‍රගතිශීලී බදු අයකිරීම් වර්ධනය කරනු;”
“සියලු කම්කරුවන් ආරක්ෂා කිරීමට ශ්‍රම වෙලඳපොලට මැදිහත් වනු;”
“ලෝක බැංකුවේ සහ ජාමුඅ උත්සාහයන් අසමානතාවය අඩු කිරීම සඳහා යොදවනු;”
“සුපිරි ධනවතුන්ගෙන් සහ සංගත වලින් බදු අය කර ගැනීමේ ගෝලීය එකඟතා ගිවිසුම් ඇති කර ගෙන ඒවා ක්‍රියාවට දමනු;
මේ කිසිදු පියවරක් ධනපති පාලක ප්‍රභූව ක්‍රියාවට නොදමනු ඇත. “මරලතෝනි” යුගයකට පැමින ඇති ආර්ථික පද්ධතියකින් ගාමකය ලබන ධනවාදය යටතේ නැවතත් මොනම හෝ සමාජ සුභසාධන පිලිවෙත් ක්‍රියාවට දැමිය හැකිය යන්න මනෝරාජ්‍යයකි.
ධනවාදී පද්ධතිය අඛන්ඩව ක්‍රියාත්මක වීම සඳහා කම්කරුවන් සූරාකෑම ඉහල නැංවීම සහ සමාජ අසමානතාවය තියුනු කිරීම අවශ්‍ය වන අතර, සමාජ වියදම් ඉහල නැංවීමෙන්, සංගත හෝ සුපිරි ධනවතුන් මත බදු පැනවීමෙන් හෝ ඉහල වැටුප් ලබා දීමෙන් කම්කරු පන්තියෙන් උකහා ගන්නා අතිරික්ත වටිනාකම් යම් හෝ ආකාරයකින් පහල දමන ඕනෑම පියවරයකට ලෝකය පුරා ආන්ඩු පාලනය කරන ධනපතියන් සහමුලින්ම විරුද්ධය.
සමාජ අසමානතාවය තුරන් කල හැක්කේ සහ සමාජ වියදම් සහ වැටුප් මත අත්‍යාවශ්‍ය වියදම් දැවැන්ත පරිමානයෙන් ඉහල නැංවිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය බලය තමන් අතට ගන්නා සමාජවාදී විප්ලවයකින් පමනකි
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.