කට වෙනුවට අත පාවිච්චි කිරීම

බූපති නලින් වික්‍රමගේ ලියූ ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ පිළිබඳ දේශපාලනික මැදිහත්වීමක්

තිලක් කෝදාගොඩ විසිනි.

1848 පැරීසියෙන් පටන්ගෙන යුරෝපය හරහා හඹා ගිය විප්ලවය සාර්ථක වූයේ නැත. නමුත් එය අසාර්ථක වූයේද නැත. එය 1789 හෝ 1917 මහජන පරිකල්පනයට හා ක්‍රියාවට සමාන හැඟීමක් ඇති කළේ ද නැත. එම විප්ලවය විසින් උණුසුම් හා ක්ෂණික වෙනසක් ඇති කරනවා වෙනුවට,1848 හි කල්පවත්නා ප්‍රතිඵලය සීතල සහ මන්දගාමී පරිවර්තනයක් සිදු කරන ලදී. එය දිගු කාලීනව අගය අඩු නොකළ ප්‍රතිවිපාක සමූහයකි. වැදගත්ම දෙය වන්නේ, 1848 න් පසු එතෙක් තිබූ කිසිවක් නොනැසී මතුව නොඒමයි. 1848 ගැන මෙනෙහි කිරීමට අප අද උත්සාහ කළ යුත්තේ ඇයි? පළමුව, 1848 විප්ලවය ඇත්ත වශයෙන්ම අසාර්ථක නොවූ බව පිළිගැනීමයි. බොහෝ යුරෝපීය රටවලට එය වේගවත් හා කල්පවත්නා ව්‍යවස්ථාමය වෙනසක් සඳහා මාර්ගය සකස් කළ අතර 1848 න් පසු යුරෝපය බොහෝ වෙනස් ස්ථානයක් බවට පත් කළේය. සමාජවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී රැඩිකල්වාදයේ සිට ලිබරල්වාදය, ජාතිකවාදය,සහ ගතානුගතිකත්වය දක්වා වූ දේශපාලන ව්‍යවහාරයන් සහ අදහස් මෙම සිදුවීම තුළ පරීක්ෂාවට ලක් විය. යුරෝපයේ නූතන ඉතිහාසයට විවිධ ප්‍රතිවිපාක ඇති කරමින් මන්දගාමීව සියල්ල වෙනස් විය. මෙම මහජන නැගිටීම් රාශිය විසින් ඒවා ගැන සිතීමේ මාර්ගයක් ලෙස ‘අසාර්ථකත්වය’ නොනැසී පැවතීම නොතකා ගැඹුරු පරිවර්තනයක් ඇති කරන ලදී. ‘දුප්පත්කම’ පිළිබඳ අවතාරය 1840 ගණන්වලදී යුරෝපය තුළ බහුල ලෙස මතු විය. පූර්ණ කාලීන රැකියාවක නියුතු මිනිසුන්ට පවා තමන්වම පෝෂණය කිරීමට නොහැකි වූයේ කෙසේද? 

1840 ගණන්වල මැද භාගයේදී ප්‍රංශය ඇතුළු යුරෝපයේ ‘බඩගින්න’ මාරාන්තික අර්බුදයක් විය. එහෙත් “බඩගින්න” තිබීමෙන් පමණක් එය ඇති කළ දේශපාලන පර්යායට තිරසාර ප්‍රහාරයක් එල්ල කළ නොහැකිය. පෙබරවාරි සහ මාර්තු අතර, ස්ථීර හා නිශ්චල බවක් පෙනෙන්නට තිබූ දේශපාලන බලය විසින් අවසානයේ ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීම දක්වා අර්බුදයට යවන ලදී. පැරීසිය පුරා දැවැන්ත, සුසුමක් නැති ප්‍රීතියක් ඇති විය. ඉතිහාසය ඛණ්ඩනයකට ලක් වූ අතර ඕනෑම දෙයක් කළ හැකි විය. පැරිසියේ බෝල්වාර්ඩ්වල (boulevards in Paris) උද්ඝෝෂණයේ යෙදී සිටි ජනයා ගැන එක් ප්‍රංශ දේශපාලඥයෙක් ලිවූයේ, “ළමයෙකුගේ ව්‍යාකූලත්වය මෙන් බොළඳ සහ යෝධයෙකුගේ වියරුව තරම් භයානක” තැනක් ලෙස ය. ජයග්‍රහණය පැමිණියේ කොහේ සිටද? ලිබරල් ප්‍රභූන්ගේ සිට මුඩුක්කු නිවාසවලින් නැගී එන කැරලිකාර රැඩිකල්වාදීන් අතර ඇති වූ පොදු සංධානය කලින් සැළසුම් කරන ලද එකක් නොවේ. එවැනි සංධානයක් කොහොමටත් කලින් සැළසුම් කළ හැකි එකක්ද නොවේ. එය ප්‍රතිවිරෝධී සමාජ පන්තීන්වල එකතුව (a coming together of antagonistic social classes)කි. 1848 පැරීසිය හරහා යුරෝපය පුරා හඹා ගිය මහජන විරෝධතා රැල්ල යුරෝපය පුරා පැතිර තිබූ රාජාණ්ඩු ක්‍රමය වෙනස් කිරීමේ මුල් ජයග්‍රහණ ඉතිහාසයේ එම දුර්ලභ දෙයට උදාහරණයක් විය.

රේඛීය නොවන, එහෙත් කම්පන සහගත, කඩින් කඩ ප්‍රචණ්ඩකාරී සහ දීර්ඝකාලීන පරිවර්තනීය ‘නොනිමි විප්ලවයක්’ (An unfinished revolution) ලෙස, 1848 විප්ලවය වර්තමාන පාඨකයන්ට දේශපාලන අධ්‍යයනයක් ලෙස පවතී. 2010-11 වසරවලදී, බොහෝ දේශපාලන විචාරකයන්, ඉතිහාසඥයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පාර්ශ්වයෝ ටියුනීසියාවෙන් පටන්ගෙන අරාබිකරය පුරා හඹාගිය  ‘අරාබි වසන්තය’ (Arab Spring) ලෙසින් හඳුන්වනු ලැබූ මහජන කැළඹීම්වල අපිරිසිදු අනුපිළිවෙළ සහ ‘විප්ලවීය වසන්තය’ (Revolutionary Spring) ලෙසින් ක්ලාක් හඳුන්වන 1848 විප්ලවය අතර ඇති අපූර්ව සමානකම දුටූහ. 1848 විප්ලවයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔවුන්ගේ සමකාලීනත්වයයි. ඒවා විශාල සම්බන්ධක සිතුවිලි අවුලුවාලීමට තරම් සමාන වේ. වැදගත් කරුණ නම් සාමාන්‍ය කරුණකි. බොහෝ බලවේගවල අනපේක්ෂිත අන්තර්ක්‍රියා තුළ, ඔවුන්ගේ රැලි සහිත බහුවිධත්වය තුළ, දහනව වන සියවසේ මැද භාගයේ ඇති වූ කැලඹීම්, පැහැදිලිව නිර්වචනය කරන ලද අවසාන ලක්ෂ්‍යයන් දුෂ්කර වන අපගේම දවසේ අවුල් සහගත කැලඹීම්වලට සමාන විය. හරියටම මෙය සිදු වූයේ 1848 මැයි 15 වැනි දින පැරිසියේදී, මහජනයා එරට ජාතික සභාවේ සැහැල්ලු ආරක්‍ෂිත කුටියට කඩා වැදී, නඩු කටයුතු කඩාකප්පල් කර, ලියාගෙන යන ලද ලියවිල්ලක් කියවා, ‘කැරලිකාර රජයක්’ ප්‍රකාශ කිරීම සඳහා හොටෙල් ඩි විල් (Hôtel de Ville) වෙත පා ගමනින් ගිය අවස්ථාවේදීය. මෙවැනි සිදුවීම් සැළකියයුතු ප්‍රමාණයක් අන්තර්ගත ‘විප්ලවීය වසන්තය’විසින් යුරෝපය වෙනස් කළ ආකාරය වඩාත් පැහැදිලිව දැකීමට අපට හැකියාව ලබා දෙනු ලැබේ. මුල් දිනවල දීප්තිමත් සතුට කලකිරීම, ආවේගය සහ ශෝකය මුසුව පසුව එය පැමිණියේ ‘ප්‍රතිවිප්ලවයේ යකඩ දැල’ කැරලිකාර නගරවලට බැස ආ විටය. ප්‍රීතිය සහ බලාපොරොත්තු සුන්වීම මෙම කතාවේ කොටසක් වූ නමුත් පසුව ඊට බිය ද එකතු විය. මුලින්,කෝපාවිෂ්ඨ නගර වැසියන්ට සොල්දාදුවන් බිය වූවා සේම, පසුව සොල්දාදුවන්ට කලින් තරම්ම නොවුණත් නගරවැසියෝ ද බිය වූහ. හමුදා භට පිරිස් පැමිණ මර්දනයේ හස්තය මුදා හැරීමත් සමග මුහුණ දුන් ජනකායේ හදිසි භීතිය නිසා සෑම කැරලිකාර නගරයකම අනපේක්ෂිත සිදුවීම් ඇතිවීම ආරම්භ විය. එතැන් සිට විප්ලවීය සංවේදීතාවයේ ප්‍රකාශනයන් ලෙස විශේෂිත හැඟීම් මුදා හැරීම ආරම්භ වූ අතර එය බොහෝ විට ‘මධ්‍යම පාන්තික කැරැල්ලක මොහොතක්’ (A moment of middle class rebellion) ලෙස අවශ්‍ය නම් ප්‍රකාශ කළ හැකිය. 

1848 මෙම විප්ලවීය රැල්ල විසින් උතුරු ඇමෙරිකාවේ චිලියේ ප්‍රබල දෝංකාරයක් ඇති කරන ලදී. පැසිෆික් සාගරයේ වෙරළ තීරයේ ජීවත් වූ දුප්පත් යටත් විජිතයන් වූ රටවලට, එහි පූර්වගාමියා වූ “1789” ඉතිහාසයේ සමරනු ලැබුවේ අපගේ එතෙක් පැවැති අන්ධකාරයට ආලෝකයක් ගෙන දුන්නක් ලෙසය.

1848 දී, ප්‍රංශය හරහා ස්විට්සර්ලන්තය සහ පෘතුගාලයේ සිට වල්ලචියා සහ මෝල්ඩේවියාව දක්වා, නෝර්වේ, ඩෙන්මාර්කය සහ ස්වීඩනයේ සිට පලර්මෝ සහ අයෝනියන් දූපත් දක්වා සමස්ත මහාද්වීපය පුරා සමාන්තර දේශපාලන කැලඹීම් ඇති විය. නමුත් මෙම නැගිටීම් ‘විප්ලවයන්’ ලෙස දැක්විය හැකිද යන්න පිළිබඳව තවමත් මතභේද පවතී. එය සමහර පැතිවලින් ගෝලීය පෙරළියක් හෝ අවම වශයෙන් ගෝලීය මානයක් සහිත යුරෝපීය පෙරළියක් විය. 

1848 පෙබරවාරියේදී පර්සියානු රාජ්‍ය තාන්ත්‍රික ජෝසප් වොන් රඩෝවිට්ස් අනතුරු ඇඟවීය. ඔහු කතා කරමින් සිටියේ පුදුමාකාර වේගයකින් යුරෝපය පුරා විප්ලවය පැතිර ගිය වසර ගැන ය. ජනවාරි මාසයේදී සිසිලියේ බෝර්බන් රජුට හා 2 වැනි ෆර්ඩිනන්ඩ්ට එරෙහිව කැරැල්ලක් පුපුරා ගියේය. සති හයකට පසු, පැරිසියේ කැරැල්ලකින් ප්‍රංශ රජු ලුවී පිලිප් බලයෙන් පහ කළේය. (1848 ජනවාරි මාසයේදී ඇරඹුණු  ප්‍රචණ්ඩකාරී පෙළපාලි මාලාව විසින් බොහෝ යුරෝපීය පාලකයන්ට සිංහාසනයෙන් බැස යාමට බල කරන ලදී. පෙබරවාරි 23 වන දින පැරිසියේදී ලුවී පිලිප් රජු ඉල්ලා අස් වූ අතර, ප්‍රධාන අමාත්‍ය ෆ්‍රැන්කොයිස් ගුයිසොට් සිය ජීවිතය රැක ගැනීම පතා පලා ගිය අතර ප්‍රංශයේ දෙවන ජනරජය ප්‍රකාශයට පත් කරන ලදී)මාර්තු වන විට, විප්ලවයේ ගිනිදැල් මිලානෝ සිට වියානා දක්වාත්, බර්ලිනයේ සිට බුඩාපෙස්ට් දක්වාත් අවට රටවල ප්‍රධාන නගර ගිල ගනිමින් තිබුණි. බොහෝ අය මෙම මහජන නැගිටීම් “ලෝකය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යය”ක් ලෙස අර්ථ නිරූපණය කළ අතර තවත් සමහරු මෙය “නූතන ඉතිහාසය හැරවීමට අසමත් වූ හැරවුම් ලක්ෂ්‍යය” ලෙස ද සැලකූහ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය, කිෂ්ටෝපර් ක්ලාක් කැරලි අසාර්ථක වූ බවට ඉතිහාසඥයන්ගේ එකඟතාව දැඩි ලෙස ප්‍රතික්ෂේප (කියවන්න: Revolutionary Spring: Fighting for a New World 1848-1849 by Christopher Clark) කරමින්, අසාර්ථක වර නැගීම යනු කාරණය මඟ හැරීම”යැයි කියයි. ඔහු අවධාරණය කරන්නේ, අපට මහජන නැගිටීම් විනිශ්චය කළ හැක්කේ, ඒවායේ බලපෑම අනුව පමණක් වන අතර, ඔහුගේ මතය අනුව, 1848 හි උරුමය අතිමහත්ය. ක්ලාක් සිය ලියවිල්ල ආරම්භ කරන්නේ විප්ලවයේ වාස්තවික පසුබිම, සාගින්නෙන් හා වසංගතයෙන් විනාශ වූ යුරෝපීයයන් විශාල සංඛ්‍යාවකගේ “ආර්ථික අවිනිශ්චිතතාවය”(Economic uncertainty)සහ හාම්පුතුන්ගේ, ඉඩම් හිමියන්ගේ සහ පාලකයන්ගේ කෑදරකම සහ දුරාචාරය (The greed and immorality) ඉතා විස්තරාත්මකව විස්තර කිරීමෙනි. කෙසේ වෙතත්, විප්ලවය හුදෙක් එවැනි සමාජ තත්ත්වයන් තුළ ඇති වූ අතෘප්තියක නිෂ්පාදනයක් නොවේ. ක්ලාක් පවසන පරිදි “බඩගින්නේ භූගෝලය”, “විප්ලවයේ භූගෝලය” වෙත සිතියම් ගත නොවේ. දේශපාලනික, ආර්ථික හෝ සමාජීය කාරණා වැනි වාස්තවික කාරණා එක්කම ඊට මිනිසුන්ගේ සිතුම් පැතුම් හා බලාපොරොත්තු පිළිබඳ ආත්මීය උත්සුකයන්ද කැරැල්ලට හේතු විය. ක්ලාක් විසින් ආඛ්‍යානය සෑදෙන අසංඛ්‍යාත කෙඳි එකින් එකට ගෙතීම කැපී පෙනෙන කාර්යයක් කරනු ලබයි. ක්ලාක් යුරෝපය පුරා හඹා ගිය සිදුවීම් කැටිති සවිස්තරාත්මකව සහ සාරාංශික ලෙස ‘බැලීමට’ (For viewing) වඩා සීරුවෙන් ‘සිතීමට’ (for thinking) ඉඩ සලසයි. 

විවිධ යුරෝපීය රටවල කැරළි ඉක්මනින් එකිනෙක පසුපස ගියද, එය එකක් ඊළඟ එකට ගිනි පුපුරක් නොවේ. ඒ වෙනුවට, සියලු කැරලි ඇති වූයේ මහාද්වීපය පුරා පැතිරී ඇති පොදු සමාජ හා දේශපාලන කොන්දේසි සමූහයක් විසින් මුල් බැස ගත්, “එකම අන්තර් සම්බන්ධිත ආර්ථික අවකාශයක, ඥාති පවුල් පාලන සංස්කෘතික හා දේශපාලන නියෝග තුළ දිග හැරෙමින්” ය. නව පාර්ලිමේන්තු පණත්, නව නිදහස සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එමින් නැගිටීම් මුලදී කැපී පෙනෙන ලෙස සාර්ථක විය. කෙසේ වෙතත්, වසරක් ඇතුළත, බොහෝ විට මහත් රුදුරු ලෙස පැරණි පිළිවෙළ නැවත තහවුරු වීමට පටන් ගත් අතර, අලුතින් ලබා ගත් දේශපාලන හා සමාජ නිදහස බොහොමයක් ආපසු හැරවිය. “ප්‍රතිවිප්ලවවාදී ජාත්‍යන්තරය විසින් එල්ල කරන ලද තර්ජනයට” ඔරොත්තු දිය හැකි ප්‍රමාණවත් තරම් ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට විප්ලවවාදීන්ට නොහැකි වූ බව කතාවේ ‘සදාචාරාත්මක සාරය’ (Moral essence) ගැන ක්ලාක් ලියයි. සමහර විට “විප්ලවවාදී වසන්තය” (Revolutionary Spring) හරහා දිවෙන වැදගත්ම නූල ලිබරල්වාදීන් සහ රැඩිකල්වාදීන් අතර පිරුණු සම්බන්ධතාවය සහ බොහෝ විට විවෘත ගැටුම විය හැකිය. කම්කරු පන්තිය සහ දුප්පතුන් මුහුණ දෙන කම්පන සහගත තත්ත්වයන් සමනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ විවාදයන්, එයින් පැන නැගුනේ වැඩ කිරීමේ අයිතිය,අවම වැටුප්,මිල පාලනය සඳහා වන ඉල්ලීම් ය. ලිබරල්වාදීන් වැඩි අවධානයක් යොමු කළේ ඡන්ද බලයේ ප්‍රමාණය,මාධ්‍ය නිදහස,කාන්තාවන්ගේ සමානාත්මතාවය,වහල්භාවය අහෝසි කිරීම සහ යුදෙව්වන්ගේ විමුක්තිය වැනි දේශපාලන නිදහස පිළිබඳ ප්‍රශ්න කෙරෙහි ය. රැඩිකල්වාදීන්,සමාජ ප්‍රශ්නය විවාදයේ ප්‍රමුඛස්ථානයේ තැබූවද,බොහෝ විට ලිබරල්වාදියෝ ද මෙම දේශපාලන ප්‍රශ්නවලදී බොහෝ සෙයින් ඉදිරියට ගියහ. ඔවුහු සර්වජන ඡන්ද බලය, වඩා විශාල මාධ්‍ය නිදහසක් සහ වඩාත් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා සිටියහ. භූ දේශපාලන පරිවර්තනය සඳහා බලය සහ ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට ඔවුන්ගේ කැමැත්තෙන් ඔවුන් බොහෝ දුර ගිය බව ක්ලාක් ලියයි. 

ක්‍රිස්ටෝපර් ක්ලාක්ගේ 1848 අසාමාන්‍ය නව ඉතිහාසය, කවරයේ නිදර්ශනයේ සිටම අපට වෙනස් දෙයක් පෙන්වයි. සෙනඟ නොව, ඔබ හොඳම දේ බලාපොරොත්තු වන විට, නරකම දේට බිය වී වෙඩි හඬින් සැඟවී සිටින විට පැරිස් වීදියක බාධක අතර ඇති භයානක හිස්බව ඔහු අපට පසක් කරයි. ප්‍රධාන චරිත යන්තම් හඳුනාගත නොහැකි, අඳුරු, දුෂ් වර්ණ ගැන්වූ ලෝකයක් අප ඉදිරියේ ඇති බවත්,”සියල්ල සහ සෑම කෙනෙකුම චලනය වෙමින් පැවති” බවත් ක්ලාක් විසින් අපට අපූර්ව ලෙස පෙන්වනු ලැබේ. ඇත්තටම ක්ලාක් පෙන්වනු ලබන චලනය යනු කුමක්ද?

මහාචාර්ය ක්‍රිස්ටෝපර් ක්ලාක් මෙම කෘතියෙන් තීරණාත්මක සහ බොහෝ විට බොහෝ අය වරදවා වටහාගත් කාල පරිච්ඡේදයක් ගැන වසර එකසිය හැත්තෑපහකට ආසන්න කාලයක් ආපසු ගමන් කරවයි.  එය විසින් අද දක්වා යුරෝපය පුරා ඇති කරන ලද බලපෑම සිය  විෂයට අදාළව එනම් ඉතිහාසය තුළ තබා පැහැදිලි කර, මෙතෙක් සිදු වූ එකම සැබෑ යුරෝපීය විප්ලවය මෙය යැයි කියයි. 

එසේ කියන ක්ලාක් සිය කෘතිය තුළ මෙසේද කියයි.

“බර්ලිනයේ, ප්‍රාග්, වියානා, බර්ලින් සහ වෙනත් තැන්වල ප්‍රති-විප්ලව දිග හැරුණු සරත් ඍතුවේ සටන ගැන ඔහු පසුව විස්තර කරයි. “පිළිවෙළ” යථා තත්ත්වයට පත් කිරීම සඳහා මිනිස්සු ආශාවෙන් සිටියහ. කැරලි තුරන් කරන ලදී, පාර්ලිමේන්තුව වසා දමන ලදී. කැරලිකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී. හමුදා විශාල වශයෙන් නගර වීදි වෙත ආපසු එවන ලදී. රැඩිකල්වාදීන් බලපෑම් සහිත තනතුරුවලින් ඉවත් කරන ලද අතර රජවරුන් ඔවුන්ගේ සිංහාසනවලට නැවත පත් කරන ලදී. ජනරජය බේරා ගැනීම සඳහා 1848 සිට 1849 දක්වා ගෙනගිය අරගලයෙන් පසුව තමා අධිරාජ්‍යයා බව ප්‍රකාශ කළ 3 වැනි නැපෝලියන්, කියා සිටියේ “පිළිවෙළ යථා තත්ත්වයට පත් වූ බවයි”. 

විප්ලවවාදී වසන්තයෙන් ක්‍රිස්ටෝපර් ක්ලාක් පවසන සංකීර්ණ කතාව මෙයයි. ඔහු 1848 නැවත 19 වන සියවසේ ඉතිහාසයේ කේන්ද්‍රස්ථානයට තැබීමට හොඳ අවස්ථාවක් ඉදිරිපත් කරයි. ඔහුගේ ඓතිහාසික විශ්ලේෂණයට අදාළව බොහෝ දේ එකතු කරමින් ඊට අදාළව බොහෝ දේ අනුගමනය කරමින් ජනනය වූ විවිධ ප්‍රතිවිපාක අධ්‍යයනය කරමින් විවිධ සන්දර්භයන් තුළ, විවිධ හේතූන් සහිතව, අසමාන සිදුවීම් පරාසයකින් සංගත ආඛ්‍යානයක් ගොඩනැගීමට සමත් වෙයි. ක්ලාක් විසින් කළ නොහැකි දේ සාක්ෂාත් කර ඇත. ප්‍රතික්ෂේප කරන සාරාංශික විෂයයක සාරාංශගත ඉතිහාසයක් ඔහු මෙමගින් අපූර්ව ලෙස අප වෙත ගෙන එයි. 

විශේෂයෙන්ම “Revolutionary Spring” තුළින් ක්ලාක් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ, මෙම මහජන විප්ලවයන් ජාතිකවාදය, ලිබරල්වාදය හෝ සමාජවාදය වැනි අදහස් තුළට ඔබ්බවා කතා කර පැහැදිලි කළ හැකි සිදුවීම් නොවන බවයි. ඔහුට අනුව, ඒවා දැකිය යුත්තේ ඊනියා ‘සමාජ ප්‍රශ්නය’ පිළිබඳ ප්‍රායෝගික විවාදයේ සම්ප්‍රදායන් තුළ සහ 1815 න් පසු විටින් විට වියානා ප්‍රමුඛ කොටගත් යුරෝපය පුරා පැතිර ගිය විප්ලවවාදී ප්‍රචණ්ඩත්වයේ සංදර්භය තුළ බවයි. විප්ලවයේ ප්‍රගතිය සහ අවසාන පරාජය ඇති කිරීමට සහ හැඩගැස්වීමට ප්‍රායෝගික හා ලෞකික ගැටළු සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේ යැයි ඔහු තර්ක කරයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇති සියලු විවාදයන් තවමත් අවසන් නිගමනයකට ඒමට නොහැකි වී ඇතිවා පමණක් නොව, එය අදටත් මොන තරම් සමාජ කම්පනයක් ඇති කරන සමාජ සංසිද්ධියක් ද යන්න ක්ලාක්ගේ ඒ සම්බන්ධ මෙම  ලිවීම මොනවට ඔප්පු කර පෙන්වයි. ක්ලාක්ගේ ලිවීම හෙවත් කියවීම කුමක් දැයි හරියටම සටහන් කළ හොත්, ඔහුගේ ලිවීම යනු හුදු වසරක් (1848-1849) තුළ ඇතිවු දේශපාලන සංසිද්ධියක් වෙනුවට ඒ වසර විසින් ඉදිරි වසර එකසිය හැත්තෑ පහට කරන ලද බලපෑම ගැන කියවන ඓතිහාසික ලිවීමකි.  

1848 විප්ලවයේ සම්පූර්ණ ප්‍රතිවිපාක ඇත්ත වශයෙන්ම කීමට තවමත් ඉක්මන් වැඩි යැයි සිදුවීමෙන් වසර එකසිය හැත්තෑපහකට පසුවත් ඔහු ලියයි. ඔවුන් නිසැකවම ජාත්‍යන්තරව හෝ දේශීය වශයෙන් යුරෝපයේ සියලු ගැටලුවලට පිළිතුරු දුන්නේ නැතැයි යනුවෙන් ක්ලාක් දක්වයි.  එමෙන්ම  1848 විප්ලවයට තුඩු දුන් දේශපාලන ප්‍රචණ්ඩත්වයට සමාන දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ව්‍යාකූලත්වයට වැඩි වැඩියෙන් යටත් වන ලෝකයක, යටත් නොවී ඊට එරෙහිවීම ම සුබවාදී හැඟීමක් ගෙන දෙන්නක් බව කියයි.

කෙසේ වෙතත්, ක්ලාක් ප්‍රබල නිගමනයකින් පසු, විප්ලවයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය යනු කුමක්දැයි අවධාරනාත්මකව අපෙන් අසයි. “ප්‍රංශ විප්ලවය, ඇමෙරිකානු විප්ලවය සාර්ථකද? ඒවා සාර්ථකද අසාර්ථකද යන්නට වඩා අපි සරලව ඔවුන්ගේ බලපෑම් මනිනවා,” යනුවෙන් ලියයි. මා කළේ එය අධ්‍යයනය කිරීම, එය තේරුම් ගැනීම හා පසුව එහි තත්ත්වයන් නිරීක්ෂණය කර එය අගය කිරීම”යනුවෙන් ක්ලාක් ලියයි. “…නන්නා ඳුණන මිනිස්සු එකට හමුවුණා. ඔවුන් එකිනෙකා වැළඳ ගත්තා.  අත දුන්නා. විවිධ පන්ති ස්තරවලට අයත් එකතු වූ සෑම කෙනෙකුටම බලාපොරොත්තුවක් ඇති කළා. ඇත්තටම ඒ සැමරුම්වලට සීමාවක් තිබුණේ නැහැ….”ක්ලාක් ආශ්වාදයෙන් ලියයි.

දැන් අපි මේ ලියමනේ ප්‍රස්තුත කාරණයට එමු. මෙම ලියමනේ ප්‍රස්තුත කාරණය අප මිත්‍ර බූපති නලින් වික්‍රමගේ විසින් ලියූ’අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ වූවත් ඊට එළඹීමට පෙර ඉහත දීර්ඝ පෙරවදන විසින් එයට අත්‍යවශ්‍ය එක්  වැදගත් ප්‍රවේශයක් ලබා දෙන බව මගේ හැඟීමයි. මේ වසරේ (2023) ජුනි මස පාඨකයා අතට පත් වූ කීර්තිමත් ඉතිහාසඥයෙක් වන මහාචාර්ය ක්‍රිස්ටෝපර් ක්ලාක් ගේ “Revolutionary Spring: Fighting for a New World 1848-1849” මැයෙන් වන පිටු 900 ක පමණ අපූරු විශ්ලේෂණාත්මක දීර්ඝ ලියවිල්ල මම කියවීමි. ඉන් සුරතාන්තමය භාෂා තෘප්තියකට මෙන්ම දැඩි කම්පණයකටද පත්වීමි. එනම්,1848 සිට 1849 දක්වා වසර 175 කට පෙර පැරීසියෙන් ආරම්භව  මුළු යුරෝපය හරහා හඹාගිය වැඩවසම් ලක්ෂණ සහිත රාජාණ්ඩු පාලන තන්ත්‍රයන්ට විරුද්ධ මහජන නැගිටීම් රැල්ලේ ස්වභාවයක් අප රටේ ගෝල්ෆේස් මූලික කරගත්  මහජන නැගිටීම තුළ  බෙහෙවින් සමාන මෙන්ම අසමාන ලක්ෂණ සහිතව  හඳුනා ගතහැකිය. මෙම ලියවිල්ලට පෙරවදනක් ලෙස ක්ලාක්ගේ ‘Revolutionary Spring’ ගැන සඳහන් කිරීමට බෙහෙවින්ම හේතු වූයේ මෙයයි. එය  කිසියම් භෞතිකව සිදු වූ දේශපාලන සංසිද්ධියක් ගැන ඓතිහාසිකව සිතන්නේ හෝ ඒ ගැන ලියන්නේ කෙසේ දැයි යන්නට කුමන පැතිමානයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුදැයි ‘Revolutionary Spring’ අපට කියාදෙයි.  ඊටත් වඩා එය තමන් අදාළ සිදුවීමට දායක වෙන අය දෙස බලා සිදුවීමට යන දේ ගැන කලින්ම එළඹි අදහස් පද්ධතියට අදාළ මොහොතේ සිදුවන සිදුවීම් එබ්බවීමේ නොමේරූ නිගමනවලට එළඹ හතර අතේ නෙලීමේ ‘ළදරු වලිප්පුව’ට  ප්‍රතිලෝමයකි. එය සිදුවීම්වලට බලපාන දේශපාලන වටපිටාව හා එයට ප්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් වන අයගේ ප්‍රතිචාර අඩංගු මුළු සිදුවීම් ජාලය ඓතිහාසික සන්දර්භයක තබා පරිණත ලෙස  සංයමයෙන් රචිත විග්‍රහයකි. තවද  එය ප්‍රයෝජනවක් ඓතිහාසික විශ්ලේෂණයක් කරන්නේ කෙසේ දැයි දේශපාලනික උනන්දුවක් ඇති පරිනත ඉතිහාසඥයෙක් ලෙස ක්ලාක් අපට බොහෝ දැනුමක්   කියාදෙයි. 

“දේශපාලනය යනු මැදිහත්වීම”යි. මෙය මේ විචාරයේ තේමා පාඨයයි. මෙගින් උත්සාහ කරන්නේ අප මිත්‍ර බූපතිගේ ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ ලියවිල්ලේ ඔහු හිතාමතාම මගහරින හෝ නිරායාසයෙන් මගහැරුණු ඉතාම පැතැලි හෝ අති සරළ ආකාරයකට ලියා ඇති වඩාත් වැදගත් දේශපාලන කාරණා මතුකර ගැනීමයි. 

මෙය කියවන්නියට මුලින්ම සෘජුව කීමට ඇත්තේ මෙයයි. මෙම ලියවිල්ල බූපතිගේ බුද්ධිමය නිමැවුමක් ලෙස හෝ  “බරපතල සංකීර්ණ මනසක” නිෂ්පාදනයක් ලෙස හෝ සැළකීමට යාම අප මිත්‍ර බූපතිට හෝ ඔහුගේ මේ මහන්සියට කරනා අවමානයකි. නොඑසේ නම් අවතක්සේරුවකි. කෙටියෙන්ම කිවහොත් බූපතිගේ පොත ගැන මෙතෙක් ලියූ කියූ අය කළාක් මෙන් තවත් ඇන්ඳවීමකි. ඒ වෙනුවට මා මෙමගින් කිරීමට අදහස් කරන්නේ අපගේ මිතුදම දේශපාලන වංකගිරියක අතරමං කරදමා බූපතිගේ පොතට ඇතුල්වීමටයි. 

KO2023-3-12254
KO2023-3-12251

ගෝලීයව පැණනැගුණු මහජන නැගිටීම් ගැන

බූපතිගේ නොදැනුම නිසා නොලියවුණු හෝ දැනගෙන හෝ නොලියා අමතක කළ එදා මෙදා තුර ලෝකය පුරා හඹාගිය මහජන නැගිටීම් ගැන කිසියම් ඡායා මාත්‍රයක් සටහන් කිරීම මෙම අනු මාතෘකාවේ අරමුණයි. ලෝකය පුරා හඹාගිය මෙම මහජන විරෝධතාවන් ඉතා ක්ෂණිකව හට ගනියි. එම ක්ෂණික මහජන ඒකරාශී වීම් සඳහා සංනිවේදනයේ නව තාක්ෂණික වර්ධනය බෙහෙවින් ඉවහල් වී ඇත. නමුත් එය නූතන ධනේශ්වර ක්‍රමයේ සංකීර්ණ ඇත්ත ගැටළුවල ව්‍යුහාත්මක ස්වභාවය නොසලකා හරින ස්වභාවයක් හෝ ඒ පිළිබඳව අති සරළ අවධානයක් යොමු කිරීම මෙවායෙහි ඇති පොදු දේශපාලන අසමත්කමක් ලෙස මුලින්ම සඳහන් කළ යුතුය. මේ මහජන ඒකරාශීන්වල ජනතාවාදී දේශපාලන නියෝගය වන්නේ සංකීර්ණත්වය මිනිස් පරිමාණයකට අඩු කිරීමයි. මෙම ආවේගය අව්‍යාජත්වය ප්‍රවර්ධනය කිරීම, තනි පුද්ගල කථා හරහා තර්ක කිරීම සහ පවතින සමාජ දේශපාලන ක්‍රමයේ අභ්‍යන්තරයේ ඇති වෙනස ගැන ක්‍රමානුකූලව සිතීමට ඇති නොහැකියාව ප්‍රවර්ධනය කරයි. නමුත් මේ දුර්වලතාවන් තිබිය දී පවා පසුගිය අඩ සියවසක රැඩිකල් මහජන චලනයන් ගැන පර්යේෂණාත්මක කෘතියක් වන එල්.ඒ. කවුෆ්මාන්ගේ “සෘජු ක්‍රියාව: විරෝධතාව සහ ඇමරිකානු රැඩිකල්වාදයේ ප්‍රතිනිර්මාණය” (Direct Action: Protest and the Reinvention of American Radicalism by L. A. Kauffman) හි තර්ක කරන්නේ, විසිරුණු නැගිටීම් ලෙස නොව පුළුල් දේශපාලන ව්‍යාපෘතියක ප්‍රථම අදියර ලෙසය. අද විරෝධතා විලාසය එක්දහස් නවසිය හැටේ දශකයෙන් ස්වභාවිකව ගලා ආ බව ඔහු උපකල්පනය කරයි.

මෙම මහජන විරෝධතාවයේ අවතාරය රාජ්‍ය පරිපාලනය කම්පනයට පත් කළ බව ඔහු පෙන්වා දෙයි. එපමණක්ද නොව, එය අප අදටත් අනුගමනය කරන උපක්‍රම මත පදනම් වූ ප්‍රවේශය වෙත මාරුවීම සලකුණු කළේ යැයි ද ඔහු පවසයි. වියට්නාම් යුද්ධයට එරෙහි අවසාන ප්‍රධාන ජාතික විරෝධතාව වන “May day” නව ආකාරයේ රැඩිකල්වාදයක් සමගින් තීරණාත්මක පළමු අත්හදා බැලීමක් වූවා යැයි, ඔහු ලියයි. 

ඉතිහාසඥයින් 2023 වසරේ මේ තාක් දෙස ආපසු හැරී බලන විට, වසරේ කතාව පලස්තීනුවාට එරෙහි ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතානියාහුගේ හුදු සාහසික කෲරත්වයක් හා කැලඹීමක් ලෙස නොගනු ඇත. ඒ වෙනුවට එය ගෝලීය පද්ධතිය පුරා පැතිර යන සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, අනුකම්පා විරහිත ඒකාධිපතිත්වය මුසුවූ යටක්විජිත ප්‍රචණ්ඩත්වය සහ ජන සංහාරක ප්‍රචණ්ඩත්වයට අදාළ භූ දේශපාලනයට අයත් විජිතවාදී අරගල යන සියල්ල ගිලගත් විරෝධතාවල සුනාමියක් ලෙස ගනු ඇත. කෙටියෙන්ම කිවහොත්, යටත් විජිත අපරාධ පිළිබඳ මතකය යළි අවදි කිරීමක් ලෙස ගනු ඇත. 

2019 දී හරාරේ, සන්තියාගෝ, සිඩ්නි, සෝල්, ක්විටෝ, ජකර්තා, ටෙහෙරාන්, ඇල්ජියර්ස්, බැග්ඩෑඩ්, බුඩාපෙස්ට්, ලන්ඩන්, නවදිල්ලිය, මැනිලා සහ මොස්කව් පවා එකට ගත් විට, මහජන විරෝධතා පෙර නොවූ විරූ දේශපාලන බලමුලු ගැන්වීමක් පිළිබිඹු කරයි.

“වාර්තාගත ඉතිහාසයේ ඕනෑම අවස්ථාවකට වඩා වර්තමානයේ බොහෝ රටවල මිනිස්සු ජන බලය භාවිතා කරති. අවිහිංසාවාදී මෙන් හිංසාවාදී මහජන ව්‍යාපාර වර්තමාන ආණ්ඩුවලට (ක්‍රමයට නොවේ) ඇති මූලික අභියෝගය,” යැයි හාවඩ්හි දේශපාලන විද්‍යාඥවරියක වන එරිකා චෙනොවෙත් (Erica Chenoweth) පවසන්නීය. මෙය විසම්මුතියේ ගෝලීය භූ දර්ශනයේ කැපී පෙනෙන වෙනසක් නියෝජනය කරන බව ඇයගේ අදහසයි. 

නූතන යුගයේ මහජන විරෝධතා දිගු කලක් තිස්සේ මිනිස් කතාවේ කොටසක් වී ඇත. දහසයවන සියවසේ ‘රෙපරමාදු පෙරළිය’ (ඒ  විරෝධතාවේ නම), දහඅටවන සියවසේ ප්‍රංශ විප්ලවය සහ බොස්ටන් තේ සාදය මෙන්ම විසිවන සියවසේදී බර්ලින් තාප්පය සහ සෝවියට් දේශය බිඳ දැමූ නැගිටීම් යනු එවැනි ප්‍රධාන මහජන නැගිටීම්වලින් කිහිපක් පමණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද විරෝධී හා වර්ණභේදයට එරෙහිව සංවිධානය වූ පෙළපාලි, ප්‍රංශයේ කම්කරුවන්ගේ වැඩවර්ජන, නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට්වාදයට එරෙහි ප්‍රාග් වසන්තයේ අභියෝගය සහ ප්‍රංශයේ ,මෙක්සිකෝවේ, බ්‍රසීලයේ ,ස්පාඤ්ඤයේ පමණක් නොව, බ්‍රිතාන්‍යය ,ජර්මනිය, ඉතාලිය සහ පෝලන්තය ආදී යුරෝපියානු රටවල ශිෂ්‍ය විරෝධතා ඇතුළත් සමාජ ක්‍රියාකාරීත්වයේ වසරක් වූ 1968 දී වඩාත් ප්‍රසිද්ධ මහජන නැගිටීම් රැල්ලක් විය. ජාතීන් සහ සංස්කෘතීන් තවමත් වෙන් වූ හා බෙහෙවින් වෙනස් වූ කාලයක ලොව පුරා කැරලිකාරී ආත්මයන්ගේ ස්වයංසිද්ධ නැගිටීම් ගැන මාර්ක් කුර්ලන්ස්කි (Mark Kurlansky) විග්‍රහකරයි. “1968 වැනි වසරක් කිසි දිනෙක නොතිබූ අතර, නැවත කිසි දිනෙක එවැනි වසරක් නොතිබෙනු ඇතැයි සිතිය නොහැක” යනුවෙන් ඔහු අනාවැකියක් ද පළ කරයි. 

2019 ජනවාරි මාසයේ සුඩානය තුළ පැනනැගුණු ගිනි පුපුර වූයේ වැඩි කළ පාන් මිලයි. ඒ වසරේ අගෝස්තු මාසයේදී පාසල් පෙළපොත් සඳහා අරමුදල් කප්පාදුවට එරෙහිව බ්‍රසීලයේත්, ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ ලූණු මිල ඉහළ දැමීම, එම මාසයේම ලෙබනනයේ WhatsApp භාවිතය සඳහා බද්දක් පැනවීමට එරෙහිවත්, උමං මාර්ග ගාස්තු වැඩි කිරීමට එරෙහිව චිලියේත්, ඉරානයේ නොවැම්බර් මාසයේදී ගෑස් ලීටරයක් සත හතරකින් වැඩිවීමට එරෙහිවත් මහජන විරෝධතා ඇතිවිය. ගෝල්ෆේස් වාඩිලා ගැනීම මෙන් ලොව පුරා ඇරඹී  සියලුම විරෝධතා ඉතා ඉක්මනින් උත්සන්න වූ අතර, ඔවුන්ගේ ආණ්ඩුවලට විශාල වෙනස්කම් වැළඳ ගැනීමට හෝ පසෙකට වී සිටීමට හෝ අවසාන සිය ජීවිත බේරා ගැනීමට රටින් පළා යාමට හෝ සිදුවිය.

මේ කාලවකවානුවේ සංඛ්‍යා දත්ත අන්ධ වී විරෝධතාකරුවන්ගේ ශක්තිය සහ විඳදරාගැනීම පුදුම සහගත වී ඇත. ඇස්තමේන්තුගත ඇල්ජීරියානුවන් මිලියන තුනක ජනගහනයෙන් සියයට දහයකට ආසන්න පිරිසක් ජනාධිපති අබ්ඩෙලාසිස් බුටෙෆ්ලිකා (Abdelaziz Bouteflika) ගේ විසි අවුරුදු පාලනය අවසන් කරන ලෙස ඉල්ලා 2019 පෙබරවාරි මාසයේදී පාරට පැමිණියහ. ඒ රෝගාතුරව සිටි බූටෙෆ්ලිකා පස්වන වරටත් බලයට ඒම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කිරීමෙන් පසු පෙබරවාරි මැද භාගයේදී විරෝධතා පැන නැගීමයි. කැකෑරුණු විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ඔහු 2019 අප්‍රේල් 02 වැනිදා ඉල්ලා අස්විය. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්, ඇල්ජීරියාවේ ඉහල මට්ටමේ හමුදා නිලධාරීන්, දේශපාලනඥයන් හොඳින් සම්බන්ධ වූ අතර දූෂිත දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් ඇතුළත් “ක්‍රමය” ඉවත් කිරීම පසුවට තබා ඇත. ඇල්ජීරියාව නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත් අතර අලුත් කිසිවක් සිදුවී නැත. සිදුවී ඇත්තේ, බූටෙෆ්ලිකාට සමීපතම සගයෙකුගේ නැවත පැමිණීම සලකුණු කිරීමයි. එනම් තේරී පත් වූ පුද්ගලයා වන අබ්දෙල්මජිඩ් ටෙබූන්(Abdelmajid Tebboune)හිටපු පාලක බුටෙෆ්ලිකාගේ ගජමිතුරෙකු වීමයි.

2019 ජුනි මාසයේදී, කුඩා හොංකොං හි මිලියන ගණනක් විරෝධතාකරුවන් (ජනගහනය මිලියන 7.4) ආන්ඩුවට සහ බීජිං හි එහි ආධාරකරුවන්ට චීනයේ නඩු විභාගය සඳහා පදිංචිකරුවන් පිටුවහල් කිරීමට ඉඩ සලසන මතභේදාත්මක සැලැස්මක් ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. එය දශක තුනක කාලය තුළ ආසියාවේ බොහෝ විට (ජනගහනය බිලියන 1.4) විශාලතම අභියෝගය විය. සැප්තැම්බරයේ, හොංකොං විරෝධතාකරුවන් ජයගත් අතර පසුව නිර්භීතව සර්වජන ඡන්ද බලය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විමර්ශනයක් ඉල්ලා සිටියහ. නොවැම්බරයේ, විරෝධතාකරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගැති කඳවුර වාර්තාගත ඡන්දය ප්‍රකාශ කිරීමකින් පළාත් පාලන මැතිවරණය අතුගා දැමීය. විරෝධතා හත්වන මාසය අවසන් වන තෙක් ගමන් කළේය.

මෙම ව්‍යාපාරයන් හුදෙක් විරෝධතා ලෙස සිතීම සරලය. මෙම මහජන නැගිටීම් අවශ්‍ය නම් අපට “නායකත්වයකින් තොර අරගල” (The Leaderless struggle) ලෙස හැඳින්විය හැකිය. නායකත්වයකින් තොරව සාමාන්‍ය ජනතාව 21 වන සියවසේ බලය ලබාගෙන දේශපාලනය වෙනස් කරන්නේ කෙසේද යන්න ගැන “The Leaderless Revolutions” නමින් වන පොතේ කතුවරයා වන කාර්න් රොස් (Carne Ross) සඳහන් කරන්නේ, එවැනි ශක්තියක් එක්රැස් කළ විට, පාලකයින්ගේ අවසාන ආයුධය වන මර්දනය කැඳවා එය යටපත් කිරීමට යාම ඕනම පාලකයෙකුට දුෂ්කරම කටයුත්ත හා අභියෝගය වන බවය.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි දේශපාලන සමාජ විද්‍යාඥයෙකු “The Mask and the Flag: Populism, Citizenism and Global Protest” හි කතුවරයා වන Paolo Gerbaudo පැවසුවේ මෙම පෙළපාලි අනාගතයේ දී ඊටත් වඩා විශාල අර්බුදයක් සංඥා කළ හැකි බවයි. “මෙම මහජන විරෝධතා වනාහි ගෝලීය යුගයේ ජාතික රාජ්‍යයන්ගේ අසාර්ථකත්වය පිළිබිඹු කරන අතරම ඒවා රාජ්‍යයේ පැවැත්ම අර්බුදයට යවයි. මෙම චලනයන් නව ගෝලීය අර්බුදයක මුල් රෝග ලක්ෂණ විය හැකිය. ඒවා භූ කම්පන යන්ත්‍ර වැනි ය” යනුවෙන් ඔහු පවසයි. පුද්ගල විරෝධතාවල න්‍යායපත්‍ර කුමක් වුවද, එකට ගත් විට, ඔවුන් කතා කරන්නේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතිසංස්කරණ, ආර්ථික ගැලපීම් හෝ ඉහළම තැන්වල වාඩි වී සිටින පුද්ගලයන්ගේ මාරුවීම්වලින් ඔබ්බට ගිය මහජනයා සහ රාජ්‍ය බලය අතර නව සමාජ ගිවිසුමක් සඳහා පුළුල් අවශ්‍යතාවයක් ගැන ය. 1989 දී, චීනයේ, නැගෙනහිර යුරෝපයේ සහ දකුණු අප්‍රිකාවේ නොසන්සුන්තාව සඳහා කැපී පෙනෙන තවත් වසරක්, විරෝධතා කලාපීය වශයෙන් කේන්ද්‍රගත විය. “1989 දී යුරෝපයේ නොසන්සුන්තාව ඇති කළ භූ-දේශපාලන සාධක අභිබවා යන ව්‍යුහාත්මක හා ගෝලීය යමක් අද තිබේ. විරෝධතාකරුවෝ විසිඑක්වන සියවසේ පමණක් නොව නූතන යුගයේ දේශපාලන පර්යායට අභියෝග කරති. එබැවින් මහජනයා යනු තවදුරටත් නිද්‍රාශීලී, නිශ්ක්‍රීය ප්‍රපංචයක් නොවේ. 

මෙම විරෝධතා සිවිල් ප්‍රතිරෝධයේ උපක්‍රම, මෙවලම් සහ උදඝෝෂණ ආකෘතිය ද වෙනස් කර ඇත. බොහෝ දෙනෙක් ලිහිල් හා නායකත්ව විරහිත අය වන අතර තමන් දේශපාලන හෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් නොවන බව සලකන පුද්ගලයින් ආකර්ෂණය කර ගෙන ඇත. ඔවුහු සියල්ලෝම නියෝජිතායතනයේ ම අර්බුදය නියෝජනය කරති. ඒ හේතුව නිසා, දාර්ශනිකව, ඒවා ඉහළ සිට පහළට චලනයන් නොවේ. මිනිසුන්ට ඔවුන්ගේම හඬ අවශ්‍ය නම්, කවුරුන් හෝ නැගී සිට ඔවුන් ඔබව නියෝජනය කරන බව පැවසුවහොත් ඔවුන් සතුටු වන්නේ නැත. ‘අපි අපවම නියෝජනය කරනවා’ යන්න මෙම විරෝධතාවල පොදු ලක්ෂණයයි.

නව තාක්‍ෂණය 2019 දී විරෝධතා සංවිධානය කිරීම සහ කාර්යක්ෂමතාව වේගවත් කර ඇත. 1968 දී, ස්ථාවර දුරකථන, පත්‍රිකා හෝ කටින් කට විරෝධය පතුරුවා හරින ලදී. 1989 දී විරෝධතාකරුවන්ට ෆැක්ස් පණිවුඩ ඒ සඳහා භාවිතා කළ අතර 2011 දී, මැද පෙරදිග උදඝෝෂණය කරන විට, විරෝධතාකරුවන්ට ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය, විශේෂයෙන් ට්විටර් සහ ෆේස්බුක් තිබුණි. 2019 වන විට, Telegram, WhatsApp, AirDrop හා Zoom වැනි සංකේතාත්මක යෙදුම්, වඩාත් ආරක්ෂිත සන්නිවේදන මාධ්‍යයක්, නිර්නාමික භාවයක් සහ තනි නායකයෙකු බලමුළු  ගැන්වීම සඳහා අඩු අවශ්‍යතාවයක් ලබා දුන්නේය. සමාජ මාධ්‍ය නිසා ගෝලීය බෝවීමක් ඇති වූ අතර එය, වෙනත් ස්ථානවල විරෝධතා දැකීම තම රටවල වීදි බැසීමට කැමැත්තෙන් සිටින මිනිසු පොළඹවති.

විඳදරාගැනීමට නම්, අද දින චලනයන් සාධක හතරකින් සාර්ථක විය යුතු බව එරිකා චෙනොවෙත් පවසන්නීය. ඔවුන්ට විශාල සහ විවිධ සහභාගීත්වයක් අවශ්‍ය වේ. ව්‍යාපාරයේ වේවා, දේශපාලනයේ වේවා, හමුදාවේ වේවා, ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ ආධාරක කුළුණුවල ඉරිතැලීම් ඇති කළ යුතුය. ඔවුන් වැඩ වර්ජන, වර්ජනය කිරීම් හෝ රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම වැනි විවිධ උපක්‍රම මාලාවක් යෙදිය යුතුය. එමෙන්ම ඔවුන් පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට රජයේ බලපෑම් එල්ල වන විට ඔවුන් විනය පවත්වා ගත යුතුය. අද බොහෝ ව්‍යාපාර නායකත්ව නැති නිසා පාලනය හෝ එකමුතුකම පවත්වා ගැනීම ඔවුන්ට අපහසු වී ඇතැයි තවදුරටත් ඇය පවසන්නීය. 

එමෙන්ම, සංඛ්‍යාලේඛන අනුව, අවම වශයෙන් පුද්ගලයන් දහසක් සහභාගී වූ විසිවන සියවසේ විරෝධතාවලට වඩා සියයට පනහක සාර්ථකත්ව අනුපාතයක් වර්තමන විරෝධයට තිබෙන බව ඇය සඳහන් කරන්නීය. ඇයට අනුව, 2000 සහ 2010 අතර, ප්‍රචණ්ඩත්වය රහිත විරෝධතාවලින් සියයට හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් සාර්ථක වී ඇති අතර 2010 සිට 2019 දක්වා සාර්ථකත්ව අනුපාතය සියයට තිහේ සිට සියයට දහය දක්වා අඩු වී ඇත.”එක් උත්ප්‍රාසයක් නම්, ඔවුන්ගේ නිරපේක්ෂ සාර්ථකත්වය පහත වැටී තිබියදීත්, අවිහිංසාවාදී ප්‍රතිරෝධයේ සාපේක්ෂ සාර්ථකත්වය වැඩි වී තිබීමයි” යනුවෙන් ඇය පවසන්නීය. “සන්නද්ධ ගැටුමේ සාර්ථකත්වයේ වේගය ඉස්සර දෙකට එකක් විය. දැන් තුනෙන් එකයි.”ඇය තවදුරටත් පවසන්නීය. 

මේ තාක්, 2019 සිවිල් ප්‍රතිරෝධය ඇල්ජීරියාවේ, බොලිවියාවේ, ඉරාකයේ, ලෙබනනයේ සහ සුඩානයේ නායකයන් සමහර ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ, තවත් ඒකාධිපතියන් දිගු කලක් බලයේ සිට පහළට ඇද දැමීය. මෙවැනි ව්‍යාපාර තවමත් ඉක්වදෝරය, ඊජිප්තුව, ජෝර්ජියාව, හයිටි, පේරු, පෝලන්තය, රුසියාව සහ සිම්බාබ්වේ යන රටවල පාලන තන්ත‍්‍රවලට තර්ජනය කරයි. චීනයේ, චිලීයේ සහ ප්‍රංශයේ, සහමුලින්ම වෙනස් දේශපාලන පද්ධති, ආර්ථිකයන් සහ සංස්කෘතීන් ඇති රටවල මතභේදාත්මක ප්‍රතිපත්තිවල ගමන් මග ආපසු හැරවීමට සාමකාමී මාර්ග හරහා ආණ්ඩුවලට බල කළහ.

ඇයට අනුව අද වෙනස වන්නේ, 1968 දී තුවක්කු කටෙන් සැබෑ බලය ගලා එන බවට පුළුල්ව පැතිරුණු විශ්වාසයක් තවමත් පැවතුනද පෙර පරිදි මිනිස්සු තුවක්කු අතට නොගැනීමයි. ඔවුහු ඒ වෙනුවට ඔවුන්ගේ හිමිකම් තහවුරු කිරීමට සහ පරිවර්තනයක් කිරීමට සිවිල් ප්‍රතිරෝධයක් අපේක්ෂා කිරීමයි.

2008 ලෝක ආර්ථික අර්බුදයට ආසන්න කාලයේ සිට 2020 දක්වා සෑම කලාපයකම හටගත් මහජන විරෝධතා ගැන විවිධ පැතිමානයන් හරහා යමින් ඒවායෙහි ගැටළු පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක්  පසුගිය වසරේ එනම්, 2022 දී ප්‍රකාශයට පත්විය. ඒ “ලෝක විරෝධතා : 21 වැනි සියවසේ ප්‍රධාන විරෝධතා හි ගැටලු පිළිබඳ අධ්‍යයනයක්” (World Protests: A Study of Key Protest Issues in the 21st Century) නමින් ඉසබෙල් ඔර්ටිස්, සාරා බර්ක්, මොහොමඩ් බෙරාඩ්, හර්නාන් සෙන්ස් කෝටේස් (Isabel Ortiz,Sara Burke,Mohamed Berrada,Hernán Saenz Cortés) යන සිව් දෙනාගේ කර්තෘත්වයෙනි. ඔවුන්ගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ ලොව පුරා සිටින මිනිසුන්ට විරෝධය දැක්වීමට වඩාත්ම ස්ථාවර හේතුව ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වයයි. 2006 සහ 2020 අතර කාලයේ සලකා බැලූ සියලුම විරෝධතාවලින් 54% ක් පමණ (සමස්ත විරෝධතා සිදුවීම් 1503 ක්) දේශපාලන නියෝජනයේ සහ දේශපාලන පද්ධතිවල අසාර්ථකත්වයට සම්බන්ධ වේ. මෙය අත්තනෝමතික ආණ්ඩු ඇති රටවල හෝ අඩු ආදායම්ලාභී රටවල පමණක් නොව, ඉහළ ආදායම් ලබන රටවල ද අත්‍යවශ්‍ය සේවා, යුක්තිය සහ වගවීම සැපයීමට රජය අසමත් වීම නිසා සිදු වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස විරෝධතාවලින් 53% කි. විරෝධතාවලින් 48% කට වඩා වැඩි ප්‍රමාණයක් දේශපාලන නියෝජනයේ අසාර්ථකත්වයට සම්බන්ධ වූ අතර, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල විරෝධතාවලින් 61%කට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ විය. විධිමත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලොව පුරා සැලකෙන්නේ ජනතාව වෙනුවට ප්‍රභූන්ට සේවය කර ඇති බවයි. තමන් සමාජ හෝ දේශපාලන ක්‍රියාකාරීන් ලෙස නොසලකන සාමාන්‍ය පුරවැසියන්ට (උදා: මධ්‍යම පන්තිකයන්ට) පවා දේශපාලන නියෝජනයේ ගැඹුරු අර්බුදයක් දැනීමට පටන්ගෙන ඇතැයි මේ අය වැඩිදුරටත් පවසති.

KO2023-3-12256
KO2023-3-12257

බැස්ටීලයට පහර දුන් පසුදා ප්‍රංශ ජනරජය බිහිවූයේ නැත

බැස්ටීලයට පහරදුන්දාට පසුදා ප්‍රංශ ජනරජය බිහිවූයේ නැතිවා මෙන්ම කළු ජාතික ඇමෙරිකානු දේශපාලන ක්‍රියාකාරිනී “රෝසා පාක්ස්” (Rosa Louise McCauley Parks)  සුද්දන්ට වෙන්වූ අසුනේ ඉඳගත් දිනට  පසුදා පමණක් නොව අදටත් ඇමරිකානු කළු ජනතාවට සිවිල් අයිතිවාසිකම් අවශ්‍ය පමණට ලැබී නැත. එනම්, 1789 ජූලි 14 වන දින, බැස්ටිල කුණාටුව හෙවත් බැස්ටිල බලකොටුවට ප්‍රහාරය සිදු කළ දිනයයි. එය ප්‍රංශ විප්ලවයේ ආරම්භය සහ XVI වන ලුවීගේ පරම රාජාණ්ඩුවේ අවසානය සනිටුහන් කළ මුල් සිදුවීමයි. බැස්ටීලය යනු අත්තනෝමතික රාජකීය බලයේ සංකේතයක් ලෙස පැවතුනකි. පැරීසියේ මහජන නැගිටීමට සම්බන්ධවූවන්ගෙන් කොටසක් බැස්ටීලයේ වැටලීම සිදු කරන විට, බැස්ටිලයේ ආරක්ෂාවට සිටි ප්‍රධාන නිලධාරියා ඒ වන විටත් බලකොටුව තුළ සිටි ප්‍රහාරාත්මක පිරිසේ නියෝජිතයන් හමුවීමට එකඟ විය. නමුත් බැස්ටිලයට ඇතුළු වූ පිරිස එහි සිටි ප්‍රධාන අණදෙන නිලධාරියා සහ පැරීසියේ වැඩබලන නගරාධිපතිවරයා ඇතුළු ආරක්ෂකයින් පිරිසට වෙඩි තබා සිය ගණනක් මරා දැමූහ. දින තුනක් පැවැති ප්‍රහාරයෙන් පසුව එනම්, 1789 ජූලි 17 වැනිදා බැස්ටීලය සම්පූර්ණයෙන් විනාශ කළහ. බැස්ටිලයට කඩා වැදීම විප්ලවයකට පූර්වාදර්ශයක් තැබීය. නූතන ඉතිහාසයේ පළමු වතාවට, සාමාන්‍ය පිරිමින් සහ ගැහැනුන්, වීදිවල සාමූහික ක්‍රියාකාරකම් හරහා, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කිරීම සහතික කළහ. කෙසේ වෙතත්, වසර කිහිපයක් ඇතුළත, ප්‍රංශ විප්ලවය පෙන්නුම් කරන්නේ, ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන බව කියන ආණ්ඩුවලට පවා මහජනතාව භයානක විය හැකි බවය. සියවස් ගණනාවක් පුරා, ලෝකයේ සියලුම ප්‍රධාන රටවල් මෙන් ප්‍රංශයද පාලනය කරනු ලැබුවේ පාරම්පරික රාජාණ්ඩුවකිනි. පල්ලිය, පාසල් සහ වෙනත් බලධාරීන් උපකල්පනය කළේ සමාජය ක්‍රියාත්මක විය හැක්කේ සාමාන්‍ය මිනිසුන් විසින් පාලනය කිරීමට දෙවියන් වහන්සේ විසින් හෝ සම්ප්‍රදායෙන් තෝරාගනු ලැබූ අය වෙත බලය පැවරුවහොත් පමණක් බවය. බලයේ සිටි අයට, පහළ පංතිය, පොලිසිය, උසාවි සහ අනෙකුත් සියල්ල අසාර්ථක වුවහොත් මිලිටරි බලය විසින් බියෙන් තබා ගත යුතු අතාර්කික බලවේගයක් වූයේ ඉංග්‍රීසියේ වචනයක් වන ‘Rabble’ හෙවත් නොහික්මුණු කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කළ මහජනයාය. 1789 දී ප්‍රංශයේ ජනගහනයෙන් පහෙන් හතරකට වඩා වැඩි වූ ගොවීන්,වෘත්තිකයන් සහ කම්කරුවන් සිටි සමාජයක ඉතිරි පහෙන් එක වූයේ මේ නාගරික පහළ පන්තිය නියෝජනය කළ අති ධාවනකාරී නොහික්මුණු කඩාකප්පල්කාරී මහජනයාය. එදා ප්‍රංශයේ පිටි මිල ඉහළ ගිය විට, දුප්පත් පවුල් සඳහා පාන් සෑදීම ඉතා මිල අධික එකක් විය. මීට විරුද්ධව පෙරට ආවේ පහළම පන්තිය නියෝජනය කළ නූගත් ගැහැණුන්ය. මොවුහු ධාන්‍ය තොග අල්ලා ගත් අතර, මහජනයාට සාධාරණ මිලකට තම භාණ්ඩ විකිණීමට වෙළඳුන්ට බල කරන ලදී. 

1789 දී, පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් ප්‍රංශ XVI වන ලුවී රජුට බදු වැඩි කිරීමට බල කෙරුනි. ඔහු වසර 175කින් නොකැඳවූ, දිගු කලක් තිස්සේ අමතක ව තිබූ නියොජිත සභාවක් වන වතු ජනරාල්වරුන්ගෙන් සැදුම් ලත් සභාවක් මේ පසුබිම තුළ ක්ෂණිකව කැඳවීය. තම යටත්වැසියන්ගේ තෝරා ගන්නා ලද නියෝජිතයන් බංකොලොත්භාවය වළක්වා ගැනීම සඳහා බදු වැඩි කිරීමට එකඟ වනු ඇතැයි රජු බලාපොරොත්තු විය. මැතිවරණය ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමට පෙර නොවූ විරූ අවස්ථාවක් උදා කළ අතර මැතිවරණ ප්‍රතිඵලය XVI වන ලුවී හොල්මන් කළේය. වතු ජනරාල්වරු සඳහා නියෝජිතයන් තෝරා ගත් එම ප්‍රාදේශීය සභාවන් විසින්ම පැමිණිලි ලැයිස්තු සහ ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම් ද කෙටුම්පත් කරන ලදී. බැස්ටීලයට කඩා වැදීම නියෝජිත ආන්ඩුව පිළිබඳ අදහසේ ජයග්‍රහණයක් වූ නමුත් එය ප්‍රංශ විප්ලවයේ පසුකාලීන ගමන් මග හැඩගස්වන පූර්වාදර්ශයක් ද ස්ථාපිත කළේය. විප්ලවය අතරතුර මහජන පෙලපාලි සහ රජයේ ගොඩනැගිලිවලට පහරදීම් නිතර සිදු වූ අතර, ඒවායින් බොහොමයක් ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළේය. 

මෙහි සඳහන් අනෙක් සිදුවීමට මුල් වූ චරිතය වන්නේ අමෙරිකාවේ කළු කාන්තාවක් වන රෝසා පාර්ක්ස් ය. රෝසා පාර්ක්ස්(1913-2005) 1955 දී ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ අගනුවර වන මොන්ට්ගොමරි හි බස් රථයක සුදු ජාතිකයින්ට වෙන්ව තිබූ ආසනයක හිඳ ගැනීම හා ඇයට පසුව බසයට ගොඩ වූ සුදු ජාතිකයෙකුට එය ලබා දීම ප්‍රතික්ෂේප කළාය. ඇයගේ මෙම ක්‍රියාව විසින් ප්‍රාදේශීය කළු ප්‍රජාව සුදු අධිපතිවාදයට එරෙහිව සංවිධානය කිරීමට පෙලඹවීමක් ඇති කළ සිදුවීමක් විය. මොන්ට්ගොමරි බස් වර්ජනය තරුණ මාර්ටින් ලූතර් කිං විසින් මෙහෙයවන ලද අතර වර්ජනය වසරකට වැඩි කාලයක් පැවතුනි. එය අවසන් වූයේ සුදු ජාතිකයන්ට බස්රථවල ආසන වෙන් කිරීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ විට පමණි. ඒ 1956 නොවැම්බර් 13 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය බස්රථවල ආසන වෙන් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට තීන්දු කළේය. අධිකරණයේ ලිඛිත නියෝගය මොන්ට්ගොමරි වෙත පැමිණ දිනකට පසුව දෙසැම්බර් 20 වැනිදා වර්ජනය අවසන් විය. තම රැකියාව අහිමි වූ සහ වසරක් පුරා හිරිහැරවලට මුහුණ දුන් රෝසා පාර්ක්ස් “සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ මව” ලෙස ඉන් පසුව ප්‍රකට වූ අතර මීළඟ අර්ධ ශතවර්ෂයේ දී වාර්ගික වෙන් කිරීම අවසන් කිරීමේ අරගලයේ ගෞරවය සහ ශක්තිය පිළිබඳ සංකේතයක් බවට ඇය පත්වූවාය. නමුත් මෙහිදී අත්‍යවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු වන්නේ රෝසා පාර්ක්ස්ට පෙර එනම්, 1955 වසරේම මොන්ට්ගොමරිහි ‘ක්ලෝඩෙට් කොල්වින්’ නම් කළු ජාතික පහළොස් හැවිරිදි තරුණියක් බස් රථයක සිය ආසනය අත්හැරීම ප්‍රතික්ෂේප කළාය.  එහිදී  ඇය මොන්ට්ගොමරිහි පොලීසිය  විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පාර්ක්ස් අත්අඩංගුවට පත් වන්නේ කොල්වින්ගේ සිදුවීමෙන් මාස අටකට පසු එනම්,1955 දෙසැම්බර් 1 වැනිදාය. එදින රාත්‍රියේ, ඇලබාමා ප්‍රාන්ත විද්‍යාල මහාචාර්යවරයෙකු වන රොබින්සන්, එක් කොලයක වර්ජනය කිරීමේ නිවේදනය තුන් වරක් ටයිප් කර, කළු සමාජ සංවිධානවල ප්‍රාදේශීය ජාලයක් හරහා බෙදා හැරීම සඳහා පාසලේ mimeograph යන්ත්‍රය හරහා එය ධාවනය කිරීමට පටන් ගත්තේය. සඳුදා උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය එක් දිනක් පැවතිය යුතු විය. නමුත් බොහෝ දෙනෙක් එකතු වූ නිසා සංවිධායකයින් එය දිගු කිරීමට තීරණය කළහ. මිලියන හතරක පෙළපාළිකරුවන් විරෝධයට එක් වූ අතර විරෝධයට නායකත්වය දෙන ලද්දේ මාර්ටින් ලූතර් කිං විසින්ය. කොල්වින් සහ තවත් කාන්තාවන් හතර දෙනෙකු ගේල් හි පැමිණිලිකරුවන් බවට පත් විය. ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය නඩුව, බස් වෙන් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරන ලදී.

බූපති ඇතුළු වරම අතට ගෙන ‘විචාරය’ නමින් හතර අතේ නෙලන අයට අප මෙහිදී ඉතාම සෘජුව හා පැහැදිළිව ලියා තබන්නේ, අමෙරිකාවේ මහා බස් වර්ජනයට පසු දින රෝසා පාක්ස්ගෙන් අයිතීන් ලැබුණාද කියා විමසූවන්ගේ නාමලේඛන, ඇමෙරිකානු දේශපාලන සටන් ඉතිහාසයේ ලියැවී නැත යන්නයි. එහි තේරුම වන්නේ අදාළ දේශපාලන මොහොත වඩා තාර්කික අවසානයකට ගමන් කරවන්නට එහි දුර්වලතා මග හරවන්නට ඊට “මැදිහත් නොවී” ඊට පිටින් සිට විවේචනය කරමින් සාධනීය දේශපාලන සමාජ ප්‍රතිඵල අපේක්ෂා කිරීමයි. ජනතා පරමාධිපත්‍ය නිසිලෙස ක්‍රියාත්මක වීමේ පළමු පියවර ජනතාව තමන්ට පරමාධිපත්‍ය බලය ඇති බව දැනගැනීම සහ මහජනයා පාලනය කරන පාලකයින් මහජනයා සතු බලය පිළිබඳව තැති ගැන්මකට ලක්වීම අප තේරුම් ගන්නේ කෙසේද?

ගෝල්ෆේස් මහජන නැගිටීම යනු එය මුල් වරට සටන්කාමී ලෙස ප්‍රකාශ වූ වැදගත් දේශපාලනික මොහොතක් ලෙස අපි නිර්භයව ප්‍රකාශ කරන්නෙමු. එදා ලංකාවේ ජනතාව ද පාලකයන් ද එතෙක් මායාවක්ව කටවචනයක්ව පැවති ජනතාව සතු බලය පිළිබඳව පළමුවරට සටන්කාමී ලෙස අභ්‍යාස කළහ. අප මිත්‍ර බූපතිට මග හැරෙන හෝ එක්හෝ හිතාමතාම මග හරින වැදගත් ම දේශපාලන සාධකය ඇත්තේ එතනය.

ජනතාව හා ජනතාවාදය ගැන

“…… ලෝකය පුරා බහුතර ජනප්‍රියවාදී වාම ව්‍යාපාර අනූව දශකයෙන් පසු පංතිය වෙනුවට මහජනයා මූලික ජනප්‍රිය දේශපාලන ව්‍යාපාර ලෙස අවධානය දිනා ගත්තේ ජාතිකවාදය භාවිත කරමිනි. ලතින් ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ ඇතැම් ව්‍යාපාර ද බොහෝ ආසියාතික වාමාංශික ව්‍යාපාර ද මේ කාල වකවානුවේ අවධානයක් දිනා ගත්තේ නම් එහි රහස ඇත්තේ සැඟවුණු ජාතිවාදයක් තුළය. බ්‍රසීලය, වේනසුවේලාව, බොලීවියාව, ආජන්ටිනාව ආදී ලතින් ඇමරිකානු රටවල් මේ සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලයි. එසේම ඉන්දියාවේ ද නැගෙනහිර ආසියාවේ ද එවැනි ජාතිකවාදී ජනප්‍රියවාදයන් සඳහා ප්‍රකටය. මේ හරහා සාම්ප්‍රදායික – සම්භාව්‍ය මාක්ස්වාදයේ දී වැඩි අවධානයකට ලක්වූ දේශපාලන ආර්ථිකය වෙනුවට දෘෂ්ටිවාදය විවේචනය සඳහා ‍න්‍යායිකව ද වැඩි අවධානයක් යොමුවූයේ මිනිස් විඤ්ඤාණයට අදාල ආගමික අන්තවාදයන් සහ ජාතිය වැනි ප්‍රස්තුත වාම ව්‍යාපාර වෙත ද සිදු කළ තීරණාත්මක බලපෑම නිසාවෙනි……”

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්”
(පිටුව 94)

“…… සමාජයේ දක්ෂිණාශික ජනප්‍රියවාදයේ නැගීම සමග සංස්කෘතික කලාපය තුළ බුද්ධිය වෙනුවට ජනප්‍රිය ප්‍රතිරූප මූලික දේශපාලනය නැග ගෙන ඒම ද ජනතා විමුක්ති පෙරමුණට වාසි සහගත විය. කොමියුනිස්ට් පක්ෂය හෝ විකල්ප කොමියුනිස්ට් සංගමය වැනි පක්ෂවල වූ න්‍යායික නැඹුරුව ජනතා විමුක්ති පෙරමුණට කවදත් නොවූ අතර 90 දශකය වන විට නැගී ආ නව ජනප්‍රියවාදය හරහා වමේ බුද්ධිමය දේශපාලනයට හිමි උරුමය සමාජ විද්‍යාඥයන්ගේ සංගමය වැනි නව සමාජ ව්‍යාපාර වෙත විතැන් විය. කුමාරි ජයවර්ධන විසින් තවදුරටත් පංති දේශපාලනයේ සමාජ විද්‍යාව සැළකියුතු මට්ටමකට ප්‍රසාරණය කල නමුත් එහි ජනප්‍රිය සංකේත බලය හිමි වූ ජයදේව උයන්ගොඩ වාම කතිකාවේ සිට ලිබරල් කතිකාවකට මාරුවීමත් සමග ඔහුගේ උනන්දු වූයේ පංතිය වෙනුවට ‘පුරවැසියා’ හෝ ‘මහජනයා’යි. අවසානයේ එය කෙළවර වූයේ 2017 වර්ෂයේ එජාපය විසින් සංවිධානය කළ රුසියානු විප්ලවයේ සියවස් සැමරුම් දේශනය උයන්ගොඩ විසින් සිදු කරමිනි. උයන්ගොඩ න්‍යාය ගතකළ පුරවැසි දේශපාලන න්‍යාය ඉතා සීඝ්‍රයෙන් ලංකාවේ විකල්ප පත්තර සහ නව සමාජ ව්‍යාපාර විසින් ප්‍රචලිත මාතෘකාවක් බවට පත් කළ අතර ඉන් අනතුරුව සමාජ පංතිය ගැන කතා කිරීම කල් ඉකුත් වූ විලාසිතාවක් වැනි විය. X කණ්ඩායම වැනි ව්‍යාපාරයක් ද මුල්කාලීනව එතුවක් පැවතුණු සමාජ පංතිය පිළිබඳව බරපතල විවේචනයක් රැගෙන ආ අතර පශ්චාත් මාක්ස්වාදයේ බහුත්වවාදී කතිකාව ලංකාවට න්‍යායිකව හඳුන්වා දුන්නේය. ඒ වන විටත් ලංකාවේ වෙන් වෙන්ව අභ්‍යාස ගත වෙමින් පැවති කොමියුනිස්ට්වාදී පංතිය වෙනුවට ලිංගික අනන්‍යතාවය, ස්ත්‍රීවාදය, පරිසරවාදය, වාර්ගික, ශිෂ්‍ය ආදී අනන්‍යතා දේශපාලනය සඳහා අවශ්‍ය න්‍යායික පසුබිම X කණ්ඩායම හරහා සැකසිණ…….”

‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ 
2022 ජුනි 10
(පිටුව 96)

KO2023-3-12253

බූපතිගේ ලියවිල්ලේ “නිමිත්ත” ලෙස හඳුන්වන වන ‘ගෝල්ෆේස් අරගලය’ නම් මහජන නැගිටීම කිසියම් ආකාරයකට ජනතාවාදී (Populist) එකක් ලෙස අපට හඳුනා ගත හැකිය. නමුත් අප මිත්‍ර බූපති ලියූ ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ පොතේ ඉංග්‍රීසියේ populist යන්න සිංහලට ගෙන ඇත්තේ ජනප්‍රිවාදී අර්ථයක් ලෙසය. ඒ ‘බුද්ධිය වෙනුවට ජනප්‍රිය ප්‍රතිරූප මූලික කරගැනීම’ වැනි සරල මතික අර්ථයකින් මිස ජනතාවාදය (Populism) පිළිබඳ න්‍යායික සංකල්ප අනුසාරයෙන් නොවේ. බූපති කිසිදු වග විභාගයක් නැතිව උඩින් පල්ලෙන් අතගා ලියාගෙන යන ඇතැම් න්‍යායික සංකල්ප ගැන කෙටි අදහසක් ලිවිය යුතුය. එය අප මිත්‍ර බූපතිටද සිතන්නට යමක් ඉතිරි කරයි. ඒ අනුව බූපති හුදු වචනයක් ලෙස ලියන හා අද අපේ කතාබහට ලක්වන ජනතාවාදය (Populism)ට මෑත කාලීනව දේශපාලන න්‍යායික පසුබිම නිර්මාණය කරන්නේ ආජන්ටීනියානු දේශපාලන න්‍යායාචාර්යවරයෙකු වූ අර්නස්ටෝ ලක්ලාව් (Ernesto Laclau) හා බෙල්ජියමියානු දේශපාලන න්‍යායාචාර්යවරියක් වන සන්තාල් මූෆ් (Chantal Mouffe) විසින් 70 දශකයේ මුල සිට වන අතර ඒ සඳහා 1969 මැයි මාසයේ ආර්ජන්ටිනාවේ දේශපාලන අර්බුදය විශ්ලේෂණය කරමින් “ආර්ජන්ටිනාව: අධිරාජ්‍යවාදී උපායමාර්ගය සහ මැයි අර්බුදය” (Argentina: Imperialist Strategy and the May Crisis) යන ලිපියෙන් ලක්ලාව් විසින් පන්ති ප්‍රතිවිරෝධතාව (Class Contradiction) වෙනුවට ‘සමාජ පසමිතුරුතාව’ (Social Antagonism)පිළිබඳ සංකල්පය මුලින්ම සළකා බලයි. ඔහු එම ලියවිල්ලේ 13 වැනි පිටුවේ, “……ඉතිහාසය නැවත ජන සමූහයේ නව ධ්‍රැවයක් සඳහා කොන්දේසි නිර්මාණය කරමින් සිටි අතර එය අවසානයේ මධ්‍යම පංතිය සහ නිර්ධන පංතිය අතර ඇති එදිරිවාදිකම් මඟ හැරීමට ඉඩ සලසයි…..” යනුවෙන් ලියයි.

ඉන්පසු Laclau සහ Mouffe එක්ව 1985 දී’පශ්චාත් මාක්ස්වාදී ප්‍රවේශයක්’ ලෙස ලියා පලකළ “ආධිපත්‍යය සහ සමාජවාදී උපායමාර්ගය: රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් කරා”(Hegemony and Socialist Strategy:Towards a Radical Democratic Politics)කෘතිය ඊට න්‍යායික අඩිතාලම දමනු ලැබේ. Laclau සහ Mouffe දෙදෙනා මේ කෘතිය තුළින් අධිපතිවාදී සමකාලීන සමාජ අරගලවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය සඳහා ඒවායේ අදාළත්වය පරීක්ෂා කරති. මේ න්‍යායික ප්‍රවේශය ඉදිරිපත් කරමින් මේ දෙදෙනා කියා සිටින්නේ, නව සමාජ හා දේශපාලන අනන්‍යතා මතුවීමත් සමග, එහි අත්‍යාවශ්‍යවාදී යටිපෙළ සඳහා වාම න්‍යායට නිරන්තර ප්‍රහාර එල්ල වන බවයි. එය ආධිපත්‍යය සහ සමාජවාදී මූලෝපාය වෙන කවරදාටත් වඩා අදාළ වන අතර, වම අතර ඇති ප්‍රතිවිරෝධය ජය ගැනීමට දරන උත්සාහයට එරෙහිව ඉතා අවශ්‍ය ප්‍රතිවිරෝධයක් මෙමගින් ඉදිරිපත් කරන බවයි. පළමුව, මධ්‍යම හා කම්කරු පන්තිය අතර එදිරිවාදිකම් අඛණ්ඩව පවතියි.  දෙවනුව, ජනතාවාදී සන්ධානයක් මිලිටරි ප්‍රභූවට එරෙහි ප්‍රතිවිරෝධී ලෙස එක්සත් වූ දේශපාලනයේ විවිධ අංශ අතර ප්‍රකාශවීමත් සමග පංති රේඛා ඔස්සේ තව දුරටත් අරගලයේ ප්‍රතිවිරෝධතා ඇදී යන්නේ නැති බවයි.  තෙවනුව, දේශපාලන මතවාදය පන්ති ස්ථාවරය අනුව කලින් තීරණය නොවේ යැයි(මෙහිදී අවධාරණය කළ යුත්තේ පශ්චාත් මාක්ස්වාදය තුළින් ‘පන්ති ප්‍රතිවිරෝධතාව’ සමාජයේ අනෙකුත් ප්‍රතිවිරෝධතාවලින් අධිනිශ්චය වීම වළකාලන්නට කොතරම් මහන්සි ගත්තද ‘මණ්ඩිය’ ලෙස මේ සෑම තැනම පන්තිය ඉතිරි වන බවයි)යනුවෙන්  සිය දේශපාලන ප්‍රවේශය පැහැදිළි කරයි.

ලක්ලාව් හා මූෆ් දෙදෙනාගේ මේ ප්‍රවේශය විසින් එක් වැදගත් දේශපාලන සංඝටකයක් ඔසවා තබන ලදී. ඒ මහජනයා හෙවත් ‘ජනතාව’ (the people) යන්නයි. මෙම ස්ථානයේදි එනම්, ඒකරාශී වන මහජන අවකාශයේදී දේශපාලන සතුරාට එරෙහිව කරන අරගලය මෙහෙයවීමට මෙතෙක් සිටියා වූ වෙනස් කරන ඒජන්තයා (agent of change) මෙහිදී අතුරුදන් වේ. මහජන අරගල සිදුවන්නේ නායකයෙකු නොමැතිවය. ලක්ලාව් පැහැදිලි කරන පරිදි ජනතාවාදය තුළ කිසිදු නිශ්චිත අන්තර්ගතයක් හඳුනාගත නොහැකිය. ජනතාව හිස් හැඟවුම්කාරකයක් (a empty signifier) ලෙස බොහෝ විට ගෙනෙන අර්ථය එහි පවතින මෙම අස්ථාවර ගතිකත්වය විසින් ඇති කරනු ලබන්නකි. එනම්, පාවෙන හැඟවුම්කාරකයන් (the floating of the signifiers) ලෙස ක්‍රියා කරන බවයි. එහෙයින්, ජනතාව  හිස් (empty) යන්න වෙනුවට පාවෙන (floating) යන අස්ථාවර අර්ථය ඇති ප්‍රපංචයකි. දාර්ශනිකව ගතහොත් ශූන්‍ය හෙවත් හිස් තැනක ප්‍රපංචයක් තිබිය නොහැකිය. ප්‍රපංචයක් යනු කිසියම් ආකායකට පිරුණු තැනකි. මහජනයා යනු ප්‍රපංචයකි. එදා ගෝල්ෆේස් භූමියට අතුරු සිදුරු නැතිව පැමිණියේ ඒ මහජනතාව නමැති ප්‍රපංචයයි. එහෙයින් මෙය ගෝල්ෆේස් මහජන නැගිටීමට සම්බන්ධ කළහොත්  ‘පසමිතුරුතාව’ ව්‍යුහාත්මකව නිර්මාණය වූයේ ජනතාව හා ජනතාවට එදිරිව යන එනම්, ආණ්ඩුව යන කොටස් දෙක අතරය. ලක්ලාවූ සහ මූෆ් ලියන පරිදි ජනතාවාදී දේශපාලනයේදී වඩා මූලික වන්නේ ‘පාලක ප්‍රභූන් එරෙහිව ජනතාව’ යන පසමිතුරුතා අක්ෂය වටා සමාජය දෙකට බෙදීමයි. මෙතෙක් සමාජයේ තිබූ වෙනත් ප්‍රතිවිරෝධී වෙස්කම් (Contrasting differences) මෙහිදී කිසියම් ආකාරයක එකතුවක් (togetherness) ලෙස මුහුණ දෙයි. 

මෙහිදී අපට කාල් ස්මිට් (හිට්ලර්ගේ නීති උපදේශකයා) නම් ජර්මානු නෛතික දේශපාලන න්‍යායවේදියා අමතක කර යා නොහැකිය. ‘සතුරා හා මිතුරා’ (Enemy and friend) යන දේශපාලන මූලධර්මය මත සියල්ල තීරණය වන බව ඔහු අවධාරණය කළේය. ස්මිට්ට අනුව දේශපාලන යනු වඩාත් තීව්‍ර සහ අන්ත ප්‍රතිවිරෝධතාව හඳුණා ගැනීමයි. සෑම සංයුක්ත ප්‍රතිවිරෝධතාවක්ම වඩාත් දේශපාලනික වන්නේ එය සතුරු-මිතුරු කාණ්ඩගත කිරීම යන අතිශය අන්ත ලක්ෂ්‍යයට සමීප වන තරමට යැයි ඔහු විශ්වාස කළේය. ඔහුට අනුව පන්තිමය, ආර්ථිකමය, වාර්ගික හෝ සදාචාරාත්මක යන ඕනෑම ආකාරයේ ප්‍රතිවිරෝධයක් දේශපාලනික එකක් බවට පරිවර්තනය වන්නේ එය සතුරා සහ මිතුරා අනුව ඵලදායී ලෙස මහජනයා කණ්ඩාංකගත කිරීමට ප්‍රමාණවත් තරම් ශක්තිමත් නම්ය. මෙම හැකියාව මගින් තීරණය කරනු ලබන හැසිරීම් රටාව තුළ, සංයුක්ත තත්ත්වය පැහැදිලිව ඇගයීමට ලක් කිරීමෙන් සහ එමගින් සැබෑ සතුරා සහ සැබෑ මිතුරා නිවැරදිව වෙන්කර හඳුනා ගැනීමට හැකි යැයි (කියවන්න:1932 දී ඔහු විසින් ලියන ලද” The Concept of the Political” කෘතිය) කාල් ස්මිට් විශ්වාස කළේය. 

බූපති ගෝල්ෆේස් අරගල භූමියේ මැදිහත්වීම කළ මහජනයාට කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ මෙමගින් පද්ධති වෙනසක් කිරීමට අසමත් වූ බවයි. 

“…… ‘පද්ධති වෙනස’ හෙවත් ‘සිස්ටම් චේන්ජ් ‘ යනු ධනවාදයේ කේන්ද්‍රයක් වූ ඇමරිකාවේ ඔබාමාගේ සිට පරිවාරයේ රටක් වූ ලංකාවේ ගෝඨාභය දක්වා වූ උදාන වාඛ්‍යකි. එපමණක් නොව ඔවුන්ට විරුද්ධව නැගීසිටිනා ඊනියා මහජනයාගේ ද ජනප්‍රිය සටන්පාඨය වන්නේ සිස්ටම් චේන්ජ්ය. කිසිවෙකුත් මේ කරන්න යන පද්ධති වෙනස කුමක්දැ’යි තමන්ගෙන් විමසා ගන්නේද? පද්ධතිය යනු කුමක්ද? එය වෙනස් කළ  යුත්තේ ඇයි? වෙනස් කිරීම යනු කුමක්ද? එය කල යුත්තේ කෙසේද? මේ අයෙක් බැරෑරුම්ව දේශපාලනයේ නිරත වන්නේ නම් තමන්ගෙන්ම නිරන්තරයෙන් අසාගත යුතු මූලික ප්‍රශ්නයි……” (අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ 2022 ජුනි 17, පිටුව 109)

එය ඇත්තකි. ගැටළුව වන්නේ මහජනයා කරන්නට අසමත්වූ පද්ධති වෙනස යනුවෙන් බූපති අදහස් කරන්නේ කුමක්දැයි ලිවීමට භූපතිද අසමත් වීමයි. එය නොලියා සිටීමට වග බලා ගැනීමයි. ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’පොතේ ගෝෆේස් අරගලකරුවන් ඉතාම සරළව වර නැගූ පද්ධති වෙනස(system change) ගැන බූපති කෝචොක් දායි. කිංඩි දායි. ඔවුන්ව උස්සා පොළොවේ ගසයි.  නමුත් අරගලකරුවන්ට කෝචොක් දාන, කිංඩි දාන හා ඔවුන්ව උස්සා පොළොවේ ගසන බූපති තමන් සිතන තමන් අපේක්ෂා කරන පද්ධති වෙනස ගැනද කිසිවක් නොකියයි. ගෝල්ෆේස් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණකරුවන් කිරීමට අසමත් වූ මෙන්ම බූපති ලිවීමට අසමත් වූ පද්ධති වෙනස (system change) මෙය විය හැකි යැයි සිතා අපි ලියන්නට උත්සාහ කරමු. ඒ ඓතිහාසික භෞතිකවාදී සම්ප්‍රදාය විසින් මෙතෙක් බිහි කර ඇති ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගෙන් කෙනෙක් ලෙස ඇතැමුන් විසින් සළකන ‘ඉට්ස්වාන් මෙසාරොස්’ගේ අදහස් ණයට ගනිමිනි. මේ ඉට්ස්වාන් මෙසාරෝස් නම් හංගේරියානු දේශපාලන න්‍යායාචාර්යවරයා නිතැතින්ම මතකයට නැගෙන්නේ ඇයි දැයි ඉතාමත් කෙටියෙන් ලියන සටහනයි. ඒ ඔහුගේ මරණයෙන් පසුව ඵල කළ “ලෙවියාතනින් ඔබ්බට: රාජ්‍යය විවේචනය” (Beyond Leviathan: Critique of the State) නමැති කෘතියේ එක් තැනක කරන සඳහනක් නිසාය. මෙසාරොස් සිය අවසාන කෘතියේ දී, උත්සාහ කරන්නේ සාරභූත සමානාත්මතාවය සහ සාරභූත ප්‍රජාතන්ත්‍රවාදය (substantive equality and substantive democracy) සහිත සමාජයක් සඳහා දේශපාලනික පූර්ව කොන්දේසි ආලෝකමත් කිරීමට ය. මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ එන ‘රාජ්‍යය’ පිළිබඳව නව  විවේචනයක් වර්ධනය කිරීමත්,’ප්‍රාග්ධනය’ පිළිබඳ විවේචනයට එරෙහිව නව විචාරශීලී සම්ප්‍රදායයක් ගොඩ නැගීමත් මෙසාරෝස්ගේ මේ ප්‍රයත්නයේ අභිප්‍රාය වූ බව පෙනේ. ඔහු එමගින් කියන්නට උත්සාහ කළේ සමාජවාදයට ඇති සතුරා ප්‍රාග්ධනය(the capital)පමණක් නොව, ඊට ධනවාදී සමාජයක ජීවත් වන මිනිසුන්ගේ බලාපොරොත්තු විරහිතභාවයද (Hopelessness) ඊට තදින්ම බලපානු ලබන බවයි. මෙවැනි සමාජයක ජීවත් වන්නන්ගේ විමුක්තිය ලඟා කර ගත හැකි වන්නේ බලාපොරොත්තු සහගතභාවය (hopefulness) කින් යුතුව ප්‍රාග්ධනයට එරෙහිව වැඩ කිරීමෙන් බව ඔහු තදින් අවධාරණය කරයි. මාක්ස්ගේ අන්සතු කිරීමේ න්‍යාය (Marx’s theory of alienation), ප්‍රාග්ධනයේ ව්‍යුහාත්මක අර්බුදය (the structural crisis of capital), සෝවියට් පන්නයේ පශ්චාත් විප්ලවවාදී සමාජවල අභාවය (the demise of Soviet-style post-revolutionary societies) සහ සමාජවාදයට සංක්‍රමණය වීමට අවශ්‍ය කොන්දේසි (the necessary conditions of the transition to socialism) පිළිබඳ වඩාත් ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. දැන් අපි ඔහුගේ සමස්ත ඉදිරිපත් කිරීම යම් ආකාරයකට වඩාත් සංශිප්තව තනි වාක්‍යයකට ගතහොත්, ඔහුට අවශ්‍ය වූයේ හුදු ධනේශ්වර පාලන ක්‍රමය අහෝසි කිරීම හෙවත් එය මුලිනුපුටා දැමීමෙන් නොනැවතී ඉන් එහාගිය සමස්ත ප්‍රාග්ධනයම අහෝසි කිරීම (Abolition of entire capital)යි. කම්කරු පන්තිය ප්‍රමුඛකොටගත් විප්ලවයකට ධනේශ්වර පාලන ක්‍රමය වෙනස් කළ හැකිය. එය තවත් විධියකින් කිවහොත් ධනේශ්වර ආයතනික ආකෘතිය ඉක්මවා යා හැකිය. එමෙන්ම නිෂ්පාදන මාදිළියේ පෞද්ගලික සම්බන්ධතා මෙන්ම රාජ්‍යය හා වෙළඳපොළ අතර පවතින සම්බන්ධයද වෙනස් කළ හැකිය. 1917 ඔක්තෝබර් විප්ලවය විසින් ඔප්පු කළේ එයයි. නමුත් 17 ඔක්තෝබර් විප්ලවය විසින් කළ යුතුම අත්‍යාවශ්‍ය වෙනස ඉටු කිරීමට එය අසමත් විය. එනම්, ඊට ප්‍රාග්ධනයයේ තර්කනය වෙනස් කිරීමට නොහැකි විය. සමාජ පරිවෘත්තීය පාලනය (social metabolic control)ක් යන්න සිය සමාජ පාලනයේ අවශ්‍යතාවය (The Necessity of Social Control) ලෙස ඔහු අවධාරණය කරයි. මෙසාරෝස් අදහස් කළ පද්ධති වෙනස (system change) යනු එවැනි සංකීර්ණ එකකි.

ඓතිහාසික භෞතිකවාදී සම්ප්‍රදාය විසින් මෙතෙක් බිහි කර ඇති ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගෙන් කෙනෙක් ලෙස ඇතැමුන් විසින් ඉට්ස්වාන් මෙසාරොස් ව හඳුන්වන්නේ ඒ නිසා විය හැකිය. බූපති මෙම පොතේ ජනප්‍රියවාදය ගැන ලියන තැනක වෙනිසියුලාව ඇතුළු ලතින් අමෙරිකානු රටවල් හඳුන්වා දී ඇත්තේ වාම ජනප්‍රියවාදී රාජ්‍යයන් ලෙසය. අපේ අදහස එය නිවැරදි නොවන බවය. 2000 දශකයේ මැද භාගයේ බූපතිගේ දේශපාලන ගුරුවරයාද ලියූවේ ද බූපති කියූ මේ අදහසමය. මේ බොහෝ දෙනාට අනුව වෙනිසියුලානු නායක සහ බොලිවියානු විප්ලවයේ ඉදිරිපෙළ නායකයෙකු වන හියුගෝ චාවේස් යනු ජනප්‍රියවාදී ලාමක ටිංටිං ඝනයේ සරළ චරිතයෙකි. එය තනිකරම බාහිරින් බලා කරන තක්සේරුවක් මිස ඔහුව ගැඹුරට කියවා කරන ප්‍රකාශයක් නොවේ. ලතින් අමෙරිකානු රටවල ක්‍රියාත්මක වූ වාම ප්‍රවේශය යනු ජනප්‍රියවාදී එකකට වඩා එය ජනතාවාදී එකකි. මේ කියන්නට අදහස් කරන්නේ ජනතාවාදය ජනප්‍රියවාදයට වඩා උසස් හෝ ජනප්‍රියවාදය තරමක් පහත් හෝ වැනි සරළ තක්සේරු කිරීමක් නොවේ. එය ඒ යුගයේ තිබූ තත්ත්වයන් සැළකිල්ලට ගෙන කරන කිසියම් ආකාරයක න්‍යායාත්මක නිවැරදි කිරීමකි. වෙනිසියුලාවේ, බොලිවේරියාවේ මෙන්ම කියුබාව ඇතුළු ලතින් අමෙරිකානු රටවල්වල විප්ලවය විසින් ගෙන එන ලද්දේ මහජනතාව වාම අර්ථයකින් දේශපාලනීකරණය කිරීමයි. දේශපාලනීකරණය කිරීම සහ බැහැර කළ අය බලමුළු  ගැන්වීම හොඳින් පටන් ගත් නමුත් පසුව සම්ප්‍රදායික ජනතාවාදී හිරගෙයින් නිදහස්වීමට මේ අයට නොහැකි වීම විසින් අදාළ දේශපාලන කලාපයම කඳුළු ගංගාවක දියකර හරින ලදී. අප සඳහන් කළ චාවේස්, 20 වැනි සියවසේ ජීවත් වූ විශිෂ්ට මාක්ස්වාදී චින්තකයෙකු වන ඉට්ස්වාන් මෙසාරෝස්ගේ සංකීර්ණ මාක්ස්වාදී පොතපත ගැඹුරින් කියවා ඒ කියවූ දෙය මහපොළොවේ ක්‍රියාත්මක කිරීමට යම් උත්සාහයක් දැරූ සමාජවාදී ලෝකයේ අන්තිමයාය. එහෙයින් ජනතාවාදි නායකයෙකු ලෙස අපට හියුගෝ චාවේස් හඳුන්වා දිය හැකිය. 

පසු කාලයේ චාවේස්  මෙසාරොස් ව දුටුවේ “සමාජවාදයේ මග සොයන්නා” හැටියටය. සමාජවාදී ගොඩනැගීමේ ප්‍රධාන මූලෝපායික අංගය ලෙස කොමියුනය වෙත හැරීමට තරම් චාවේස් මෙසාරොස්ගේ බලපෑමට විවෘත වූයේ කෙසේදැයි වටහා ගැනීමට, නිෂ්පාදන ක්ෂේත්‍රයේ (විචල්‍යතා ඇතුළුව) බොලිවේරියානු ක්‍රියාවලියේදී පෙර අත්හදා බැලීමේ ගමන් පථය දෙස බැලීම ප්‍රයෝජනවත් වේ. එවැනි අත්හදා බැලීම්වල මිශ්‍ර ප්‍රතිඵල හේතුවෙන් විප්ලවයෙන් පසු වෙනිසියුලාවේ ආර්ථිකයේ සමස්ත ස්වභාවය වෙනස් කිරීමට ගත් පළමු උත්සාහයන්ගෙන් එකක් වූයේ සමූපාකාර ක්‍රමය රටපුරා ගෙන යාමයි. 2003 දී පමණ ආරම්භ වූ මෙම මුලපිරීම, විශේෂ නීතිමය රාමුවක් සහ විශාල සම්පත් බලමුළු  ගැන්වීමක් ඇතුළත් වූ අතර, මෙම උත්පාත දශකයේ තෙල් ලාභයෙන් වැඩි වශයෙන් ලබා ගන්නා ලදී. බොලිවේරියානු ක්‍රියාවලියට ආවේණික වූ උද්‍යෝගිමත් මහජන සහභාගීත්වයක් ඇතිව, වෙනිසියුලාව පුරා සමුපකාර ආරම්භ විය, කහ කවයක් තුළ පැත්තකින් ෆයින් ගස් දෙකකින් සමන්විත ලාංඡනයක් ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කළේය. කුලී රථ, හොට්ඩෝග් සහ කොණ්ඩා කැපීමේ සමුපකාර ඇතුළු සේවා සමුපකාර ව්‍යාපෘති රාශියක් මෙන්ම කෘෂිකර්මාන්තයට කැප වූ නිෂ්පාදන සහ සැහැල්ලු කර්මාන්ත වැනි නිෂ්පාදන සමුපකාර ගණනාවක් තිබුණි. මෙසාරෝස් පිළිබඳ චාවේස්ගේ සම්බන්ධය හරියට හිටපු කියුබානු නායක පිදෙල් කැස්ත්‍රො හා ජෝසේ මාටි (Jose Marti) අතර පැවැති දැනුවත් කිවීමට සමානය.

මේ උප මාතෘකාවේ අවසානයට බූපති මෙම පොතේ තැනක සඳහන් කරන “…. වාමාංශික දේශපාලනය තුළ සිදු වී ඇති මූලධාර්මික බෙදීම් ද මෙහිදී තීරණාත්මක භූමිකාවක් දරනු ඇත. එක් අතෙකින් සාම්ප්‍රදායික – සම්භාව්‍ය කොමියුනිස්ට් දේශපාලන පක්ෂ ක්‍රමය බරපතළ සීමා සහිතව අර්බුදයට ගොස් ඇත. ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ සමාජවාදී සමානතා පක්ෂය මීට උදාහරණය. ලංකාවේ තත්ත්වය සුවිශේෂීය. ලංකාවේ වාම න්‍යායික සංවාදය පසුගිය දශක කිහිපයක් තිස්සේ පක්ෂ යාන්ත්‍රණයකින් එපිට වර්ධනය වූ අතර න්‍යායික සංවාදය කරනා පිරිස කිසිදු බැරෑරුම් දේශපාලන සංවිධානාත්මක උත්සාහයක නිරත නොවන්නන්ය. පවතින සාම්ප්‍රදායික පක්ෂ ක්‍රියාධරයන් යනු චාරිත්‍ර මෙන් සාදාගත් කාලසටහනක් ක්‍රියාවේ යොදවමින් සිටිනා පිරිසක් වී ඇත. අනෙක් පසින් වාම ජනප්‍රියවාදය හරහා කොමියුනිස්ට් දේශපාලනයේ දාර්ශනික හා සංවිධානාත්මක සංකල්ප විකේන්ද්‍රීය කර ඇත. ඉහත දැක්වූවේ සම්ප්‍රදායික පක්ෂ හා නව ජනප්‍රියවාදී ව්‍යාපාර ලෙස අද දවසේ වාම දේශපාලනය සීමා වී ඇති අන්ත දෙකයි…..”

2022 ජුනි 17
පිටුව 113

“…….කොමියුනිස්ට්වාදියෙක් විධියට මට කියන්න තියෙන්නේ, අරගලයට තිබුනේ හුදු මධ්‍යම පාන්තික සටන් පාඨයක් කියලා. මධ්‍යම පාන්තික අවශ්‍යතා ටික නැති වුණ නිසයි අරගලය නිර්මාණය වුණේ. ඇත්තටම ඇතිවුණේ  බලශක්ති අර්බුදයක්. ගෑස්, තෙල්, ලයිට් නැති වුණ නිසයි මිනිස්සු පාරට ආවේ. මහජනයා කියන්නේ තක්කඩි ජාතියක්. මම බය නැතිව කියනවා මහජනයා කියන්නේ තක්කඩි ජාතියක්…….”

අනිද්දා පුවත්පත
2023 අප්‍රේල් 09

Ko2302M7

කලා විචාරකයෙකුට ජාතික ගැටළුව අභිමුඛ වීම

“…….ඉන් අනතුරුව ලංකාවේ වමේ දේශපාලනය ලෙස ඉතිරිව පැවති අධිපති දේශපාලන පක්ෂය බවට පත්වූ ජවිපෙ දිගින් දිගටම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රභූ දේශපාලනය සඳහා හොඳ හැටි කඩේ ගොස් ඔවුන් කලක් තිස්සේ සෙල්ලම් කළ ජාතිකවාදයේ කූටප්‍රාප්ති ජනප්‍රිය දක්ෂිණාංශික රෙජීමයක් නිර්මාණය කිරීමට දායක විය. දශක තුනක් ඇදී ගිය දමිළ විමුක්ති අරගලය නිසාවෙන් ඉතිරි වාම පක්ෂ ද පංතිය වෙනුවට ජාතික ප්‍රශ්නය මූලික කරගත් දේශපාලනයක් සඳහා අවතීර්ණ විය. වික්‍රමබාහු කරුණාරත්නගේ නව වාමාංශික පෙරමුණ ද රෝහිත භාෂණ අබේවර්ධනගේ හිරු කණ්ඩායම ද සිරිතුංග ජයසූරියගේ එක්සත් සමාජවාදී පක්ෂය ද ජවිපෙ මූලික ජාතිකවාදී ජනප්‍රිය වාම ප්‍රවාහය අනෙකා කරගත් දේශපාලනයක නිරත වූ අතර ඔවුන්ට පංති ප්‍රතිවිරෝධය ද්විතියික විය. ඒ අර්ථයෙන් ඉතා කුඩා පරිමාණයෙන් වුව ද ජාතිකවාදයට ශක්තිමත් න්‍යායික ප්‍රතිචාරයක් ද දක්වමින් පංති දේශපාලනයක නිරත වීමට උත්සාහ කළේ සමාජවාදී සමානතා පක්ෂයයි. නමුත් ලෝකය පුරා සිදු වූවා සේම මේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට මහා පරිමාණයෙන් කම්කරුවන් හෝ වෙනයම් සමාජ කොට්ඨාශයක් සංවිධානය කිරීමට කිසිදු හැකියාවක් නොවූ අතර ඉතා කුඩා කණ්ඩායම් ලෙස අද දක්වා දේශපාලනයේ නිරත වෙමින් සිටිති…..”

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්”
(පිටුව 94)

අප මිත්‍ර බූපති සිය ලියවිල්ලේ “විමුක්තිය වෙනුවට විමුක්තීන්” නම් අනු මාතෘකාව යටතේ උතුරේ දෙමළ ජනයාගේ ජාතික ගැටළුවට අදාළ වාම දේශපාලන ප්‍රවේශය ගැන හසරක් නොදැන ලියන ලද කොටසේ ඉහත උපුටා ගැනීමෙන් මතු කරන්නේ වියුක්ත න්‍යායික ප්‍රශ්නයකි. නමුත්, උතුරේ දෙමළ ජනයාගේ ජාතික ගැටළුව යනු ලංකාවේ දේශපාලන විප්ලවයේ මගහැර යා නොහැකි සංයුක්ත දේශපාලන ප්‍රශ්නයකි. ඒ පිළිබඳ ස්ථාවරය තීරණය කීරීම යනු සැළකිය යුතු දුරකට සංයුක්ත දේශපාලන උපාය මාර්ගික ප්‍රශ්නයකි. එමෙන්ම දෙමළ ජනයාගේ ජාතික ගැටළුවට අදාළ ස්වයං තීරණය යනු ද ඔවුනට අදාළ සංයුක්ත දේශපාලන ප්‍රශ්නයකි. බූපති කලා විචාරකයෙකු නිසා ඔහු දේශපාලනයට අයත් ජාතික ගැටළුව දකින්නේ කලා කෘතියක් දකින ආකාරයටය. ජාතික ගැටළුව යනු කලා කෘතියක් මෙන් ප්‍රබන්ධයක් නොවේ. එය එකී ජන වර්ගයට නිදහස පිළිබඳ ප්‍රශ්නයකි. ඔවුන්ගේ ජීවිතය පිළිබඳ භෞතික ප්‍රශ්නයකි.

ලංකාවේ මුල් වරට උතුරේ දෙමළ ජනයාගේ ජාතික නිදහස පිළිබඳ ප්‍රශ්නය අන් සියලු ප්‍රශ්න අභිබවා කේන්ද්‍රීය ප්‍රශ්නය බවට අනාගතයේදී පත්වන බවට න්‍යායාත්මක දේශපාලන සටහන් තැබූ නිව්ටන් ගුණසිංහය. ගුණසිංහගේ ඒ පිළිබඳ අදහස ගැන යමක් ලිවිය යුතුය. මන්ද? බූපති ලයිස්තු ගත කළ නම් අතර ඔහුගේ නම හැලී ගොස් ඇති බැවිණි. නිව්ටන් 1983 කළු ජූලිය ඇසින් දුටු නිසා ඔහු එහි විනාශයේ දිග පළලට අනුව දේශපාලනිකව හා න්‍යායාත්මකව ගණන් බැලීය. පන්ති ප්‍රශ්නය හා ජාතික ප්‍රශ්නය එකට තබා මුලින්ම අදහස් ඉදිරිපත් කළේ ඔහුය. 

ජූලි සමූල ඝාතනයට පසු මැයි දිනය (May Day After July Holocaust) නමින්,1983 ජූලි සංහාරයෙන් පසු එළඹෙන ප්‍රථම මැයි දිනය දා (1984 මැයි 01 දා) ඔහු ලංකාවේ අනාගත දේශපාලන සිතියම නව ආකාරයකට ඉතාමත්ම කෙටියෙන් න්‍යායිකව සිතියම් ගත කළේය. 

පන්ති ප්‍රතිවිරෝධය හා ජාතික ගැටළුව සම්බන්ධයෙන් ඉතාම පරිණත දේශපාලන දැක්මක් තිබුණේ බූපති කියන ආකාරයේ සමාජවාදී සමානතා පක්ෂයට නොව නිව්ටන් ගුණසිංහටය. ඔහු එහිදී කියා සිටියේ මග හැර යා නොහැකි ලෙස උතුරේ දෙමළ ජනයාගේ ජාතික නිදහස පිළිබඳ ප්‍රශ්නය අප ඉදිරියට පැමිණ තිබෙන බවත් මේ ප්‍රශ්නය ප්‍රතිපත්තිමය කාරණයක් කර නොගෙන කම්කරු පන්තියට ඉදිරියට යාමට නොහැකි බවත්ය. විශේෂයෙන්ම ඔහු කළේ, 83 කළු ජූලියෙන් පසු වමට මේ ප්‍රශ්නය මග හැර යා නොහැකි වග හා ඒ නිසාම වම මේ ප්‍රශ්නය නිසා උභතෝකෝටිකයක සිරවන වග ඔහුගේ දියුණු දේශපාලන අවබෝධයට අනුව පුරෝකථනය කිරීමයි. එමගින් ඔහු ‘වාම බලවේග න්‍යායික ව්‍යාකූල තත්ත්වයක’ සිටින බව නිරීක්ෂණය කළේය.

උතුරේ දෙමළ ජනයාගේ ජාතික ගැටළුව අන් සියලු ගැටළු අභිබවා යනු ඇති බවට ඔහු මෙම න්‍යායික කෙටි ලියවිල්ල මගින් පුරෝකථනය කළේය. ඔහු ඒ සඳහා ලුවී අල්තුෂර්ගේ’අධිනිශ්චය'(overdetermination) පිළිබඳ න්‍යායික සංකල්පය භාවිතා කරමින් මෙම තත්ත්වය විග්‍රහ කළේය. ඔහුගේ තර්කය වූයේ කුමක්ද? මෙමගින් ඔහු අපේක්ෂා කළේ ජාතික ගැටළුව විසින් අනාගතයේ දී අනිවාර්යයෙන්ම සිදු කරනු ලබනු ඇති බවට උපකල්පනය කළ එහි පන්ති ස්වභාවය මැකීයාම වැලැක්වීමයි. පන්ති අරගලය ජාතික ගැටළුවෙන් යටපත් වීමේ අනතුරට අප මුහුණ දෙනු ඇතැයි ඔහු කලින්ම අනතුරු ඇඟෙව්වේය. නිව්ටන්ගේ ප්‍රකෝපකාරී තර්කය වූයේ ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ පන්ති විග්‍රහයකට වාර්ගිකත්වය ‘අධිනිශ්චය’ කළ 1983 හි ප්‍රචණ්ඩත්වයට කිසිවකු වග නොකියන නිසා විශ්ලේෂණ ඒකකයක් ලෙස පන්තිය වාර්ගිකත්වය විසින් අභිබවා යනු ඇති බවයි.  එබැවින් ඔහුගේ තර්කය වූයේ අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වය සඳහා කැපවී සිටින විද්වතුන් ශ්‍රී ලංකා දේශපාලනයේ ගැටළු අවබෝධ කර ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා වාර්ගික ප්‍රශ්නය සමඟ වඩ වඩාත් සම්බන්ධ විය යුතු බවයි. ඔහුගේ මෙම ප්‍රයත්නය අවශ්‍ය නම් අපට ලංකාවේ ජනවාර්ගික ගැටුම අවබෝධ කර ගැනීම සඳහා ‘තාර්කික’ පදනමක් සැපයීමට කරන ලද මුල්ම උත්සාහය ලෙස හැඳින්විය හැකිය. 

1983 දෙමළ විරෝධී සංහාරයෙන් පසු ශ්‍රී ලාංකේය දේශපාලනයේ විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත් වූයේ ශාස්ත්‍රීය නිෂ්පාදනය සිදු වූ දේශපාලන සන්දර්භය කෙරෙහි මෙම සංවේදිතාවයි. ලිබරල් සහ වාමාංශික දේශපාලනයට ජාතිකවාදයේ අතිරික්තයන් සමඟ සම්බන්ධ වීමට සහ විවේචනය කිරීමට සදාචාරාත්මක බල කිරීමක් දැනුණු බව ද එයින් අදහස් විය.

ගුණසිංහගේ න්‍යායික ප්‍රහේලිකාව වඩාත් බැරෑරුම් එකක් නොවුණත් එය වාම දේශපාලන ලෝකය තුළ විශාල කම්පනයක් ඇති කිරීමට සමත් වීය. 1983 සිදුවීම් ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම පිලිබිඹු කරන ලද ශ්‍රී ලංකා දේශපාලනය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය නැවත සලකා බැලීමට වාමාංශිකයින් පමණක් නොව, දෘෂ්ටිවාදාත්මක ඒත්තු ගැන්වීම් පරාසයක විද්වතුන් ද පොළඹවන ලදී. මාතෘකාවෙන් පෙන්නුම් කරන පරිදි, ඔහු මෙම ලියවිල්ල මගින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම අවබෝධ කර ගැනීම සඳහා ‘තාර්කික’ පදනමක් සැපයීමට උත්සාහ කළේය. මෙම උත්සාහයේ එක් පොදු ලක්ෂණයක් වූයේ වර්තමානය තුළ තබා ශ්‍රී ලාංකීය අතීතය නැවත සළකා  බැලීමයි. ජාතිකවාදී ගැටුම පෝෂණය කළ වාර්ගික-ජාතික අනන්‍යතාවයේ අත්‍යාවශ්‍යවාදී ගුණය සංකල්ප ගත කිරීමටද මෙමගින් ඔහු උත්සාහ කළේය. 1980 ගණන්වලදී වැඩි දෙනෙක් සිංහල සමාජය සහ සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කළේ සිංහල ජාතිකවාදය ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයට සහ රටේ සුළුතර ප්‍රජාවන්ගේ පැවැත්මේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකූ බැවිනි. 1990 දශකයේ දී, බොහෝ දුරට සිංහල ආධිපත්‍යය දරන රාජ්‍යයට එරෙහි දෙමළ සටන්කාමීත්වය වඩාත් අධිකාරී ස්වභාවයක් ගෙන දෙමළ ප්‍රජාව තුළ විසම්මුතිය මැඩපැවැත්වීමත් සමග  විද්වත්හු දෙමළ සමාජය සහ සංස්කෘතිය දෙස සමාන විවේචනාත්මක තීව්‍රතාවයකින් බැලීමට පටන් ගත්හ.

දැන් අපි භූපති විසින් හසරක් නොදැන හුවාදක්වන,

“……ඒ අර්ථයෙන් ඉතා කුඩා පරිමාණයෙන් වුව ද ජාතිකවාදයට ශක්තිමත් න්‍යායික ප්‍රතිචාරයක් ද දක්වමින් පංති දේශපාලනයක නිරත වීමට උත්සාහ කළේ සමාජවාදී සමානතා පක්ෂයයි……”

යන්න තරමක් කෙටියෙන් හෝ විමසා බැලීමට උත්සාහ කරමු. මන්ද? උතුරේ දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ කාරණයේදී දකුණේ ජවිපෙ ඇතුළු වෙනත් දේශපාලන බලවේග ගැන ඇති පදං සාකච්ඡා කර ඇතත් සමාජවාදී සමානතා පක්ෂය ඒ සම්බන්ධයෙන් දරණ අදහස අවශ්‍ය පමණින් සාකච්ඡාවට ගෙන නැති නිසාය. බූපතිගේ පොත තුළ බැරෑරුම් ව සාකච්ඡාවට ගත හැකි යමක් නොමැති නිසාත් බූපති මෙලෝ අවබෝධයක් නොමැතිව හෝ මතු කරන මේ සම්බන්ධ දේශපාලන ස්ථාවරය ගැන එහි ඉතිහාසයට අයත් යමක් ඉතාම කෙටියෙන් හෝ මතු කර ගැනීම කිසිවෙකුටත් වඩා බූපතිට වැදගත් විය හැකිය. 

1987 වසරේ වයස 39 දී හෘදයාබාදයකින් මියගිය එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයා ලෙස ක්‍රියා කළ කීර්ති බාලසූරිය සහෝදරයා සිටි කාලයේ ම පක්ෂයක් ලෙස ජාතීන්ගේ ගැටළුවට ප්‍රායෝගික විසඳුමක් ලෙස ගෙනා ‘ජාතීන්ගේ ස්වයං නීර්ණය අයිතිය’ පිළිබඳ ලෙනිනියානු සූත්‍රය පිළිගෙන පසුව අතහැර තිබුණි. නමුත් ඒ අතහැරීමට  කිසිදු පිළිගත හැකි සාධනීය දේශපාලන කරුණක් ගෙනහැර නොදක්වමින් සමාජවාදී සමානතා පක්ෂය ජාතීන්ගේ ස්වයං නීර්ණය අයිතිය අදටත් ප්‍රතික්ෂේප කරයි. සංයුක්ත ප්‍රායෝගික දේශපාලන ප්‍රශ්නයකට ගෙන ආ සංයුක්ත න්‍යායික විසඳුමක් අතහැරීම එවකට ‘විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය’ ලෙස තිබූ හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව පසුව ‘සමාජවාදී සමානතා පක්ෂය’ ලෙස කිසිදු වැදගත් තාර්කික හේතුවක් නොමැතිව කළ පක්ෂයේ නම වෙනස් කිරීමට සමානය. අප මිත්‍ර බූපති කියන ආකාරයේ උතුරේ දෙමළ ජනයාගේ ජාතික විමුක්තිය ගැන සමාජවාදී සමානතා පක්ෂයේ “ශක්තිමත්” න්‍යායික ස්ථාවරය බූපති කොහොමටත් නොදන්නා අතර සමාජවාදී සමානතා පක්ෂයටද ඒ ගැන නිසි අදහසක් නැත. ඒ සම්බන්ධයෙන් තියෙන ඡායාමාත්‍ර අදහසත් ලෙනින් ජාතික ගැටළුව සම්බන්ධයෙන් ආරම්භක අවදියේදී එනම් 1913 දී මතු කළ ආරම්භක එකකි. එය හරියටම පෙරටුගාමී සමාජවාදී පක්ෂය පීඩිත ජාතීන්ගේ ගැටළුව ගැන මාක්ස් මුල් කාලයේ දී මතු කළ අදහසේ එල්බගෙන සිටීම මෙනි. 

“….. 1913 දී ලෙනින් විසින් ස්වයං නිර්ණ අයිතිය ඉල්ලා සිටි අතිශය කොන්දේසි සහිත ස්වරූපය,මෙම විෂයට අදාළව කරන ලද කෘතිය තුළින් උච්චාරණය කරන ලදී. ඔහු මෙම අයිතියට සදාකාලික හෝ විශ්වීය වැදගත්කමක් ලබා නොදුන් බව ඔහු විවිධ රටවල් වර්ග තුනක් යටතේ වෙන්කර හඳුනාගත් ආකාරයෙන් පැහැදිලි විය…..”

මේ පිළිබඳ වන සමාජවාදී සමානාත්මතා පක්ෂයේ නිල සම්පූර්ණ දේශපාලන අදහස මෙම සබැඳියාවෙන් (www.wsws.org) දැන ගැනීමට හැකිය.

ලෙනින් ජාතීන්ගේ ස්වයං නීර්ණය අයිතිය ජාතික ගැටළුවට විසඳුමක් ලෙස ගෙනෙන අවස්ථාවේ ඔහු ගෙනාවා යැයි පාරම්බාන කොන්දේසි ලෙනිනියානු දේශපාලන සාහිත්‍යයේ සඳහන් තැන් හැකිනම් පෙන්වන ලෙස (භූපතිගෙන් නොව) අපි සමාජවාදී සමානාත්මතා පක්ෂයෙන් මුලින්ම සහෝදරාත්මකව ඉල්ල සිමු. 1913 එනම් විප්ලවයට පෙර හා 1922 එනම් විප්ලවයට පසු රෝගී අවධිය දක්වා දශකයකට ආසන්න කාලයක් පීඩිත ජාතීන්ගේ ගැටළුවට විසඳුමක් ලෙස ගෙනා ‘පීඩිත ජාතීන්ගේ ස්වයං නීර්ණය අයිතිය’ විසඳුමක් ලෙස සිය පක්ෂයේ බෝල්ෂෙවික්වරු සමග දරුණු වාද විවාද මැද පවා ලෙනින්ගේ දේශපාලන මැදිහත්වීම තුළ කොන්දේසි දැමීමක් ගැන අප අසා නැත. 

ලෝකයේ ඕනෑම තැනක ජීවත් වන කිසියම් ජාතියක් අධිපති ජාතියක හෝ අධිරාජ්‍යයක පීඩාවට පත්වන තාක් එම ගැටළුවට ප්‍රායෝගික විසඳුමක් ලෙස ගෙනා ‘පීඩිත ජාතීන්ගේ ස්වයං නීර්ණය අයිතිය’ පිළිබඳ ලෙනිනියානු සූත්‍රය වලංගු වන බව බූපති වැනි දේශපාලන ළදරුවෙකුට කෙසේ වෙතත් ‘සම්භාව්‍ය මාක්ස්ලෙනින්වාදය’ අතැඹුළක් සේ දන්නවා යැයි පරසක්වල ගසන සමාජවාදී සමානතා පක්ෂයේ දැනට ඉතිරි වී සිටින වැඩිහිටි සහෝදරවරුන්ට සහෝදරත්වයෙන් අපි මතක් කර සිටිමු. ලෝකයේ ඕනෑම කලාපයක ජීවත්වන කිසියම් ජාතියක් අධිපති ජාතියක අධිපති අධිරාජ්‍යයක හෝ පීඩාවට පත්වන තාක් ‘ ‘ජාතීන්ගේ ස්වයං නීර්ණය අයිතිය’ පිළිබඳ ලෙනිනියානු සූත්‍රය වලංගු වන බව පමණක් ජාතීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් කතා කරන්නට යාමේදී වලිගය පාගාගෙන සිටින වම්මුන්ගේ දැන ගැනීම පිණිස මෙසේ සටහන් කර තබන්නෙමු. 

බූපති ඉහත කියන ආකාරයට ජාතිකවාදයට ශක්තිමත් න්‍යායික ප්‍රතිචාරයක් දක්වමින් පංති දේශපාලනයක නිරත වූවා යැයි කියන සමාජවාදී සමානතා පක්ෂය හෙවත් අතීතයට අදාළව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට ලංකාවේ පීඩිත දෙමළ ජනයාගේ ප්‍රශ්නය පන්ති ප්‍රශ්නය කෙසේ වෙතත් එය වඩාත් සිය පක්ෂ අභ්‍යන්තරයට කොතරම් බලපෑමක් කළේද යන්න ඔවුන්ගේම නිල වෙබ් අඩවිය වන ‘ලොක සමාජවාදී වෙබ් අඩවියේ’ ම සඳහන් ඇතැම් තැන් උපුටා ගනිමින් අපි දැන් කරුණු කාරණා ඇතුව ඉතාම කෙටියෙන් සාකච්ඡා කරන්නට උත්සාහ කරමු.

1979 පටන් එල්ටීටීඊය සමග ගණුදෙණු කිරීම ඇතුළු තවත් ප්‍රධාන දේශපාලන කාරණා කිහිපයක් මුල් කර ගනිමින් හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛාවක් වූ බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවකාරී පක්ෂය (Workers Revolutionary Party) ලෙස වැඩ කළ ටෝනි බණ්ඩා, ජෙරී හීලි (ජෙරී හීලි යනු,”අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනය” නමින් මාක්ස්ගේ අපෝහක හා ඓතිහාසික භෞතිකවාදය ගැන න්‍යායික ලියවිල්ලක් ලියා ඇත) හා ක්ලිෆ් ස්ලෝටර් යන අයට එරෙහිව,හතරවැනි ජාත්‍යන්තරයේ ‘වර්කර්ස් ලීගයේ’ අදහස පිළි ගනිමින් “දෙමළ අරගලය සහ හීලි බන්ඩා හා ස්ලෝටර්ගේ ද්‍රෝහීත්ව ය (www.wsws.org) නම් දීර්ඝ ලිපියක් කීර්ති බාලසූරිය සහෝදරයා1986 සැප්තැම්බර් 12 වැනිදා ලිවීය. එහි එක් තැනක,”මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික විමුක්ති අරගලයේ උග්‍රතම ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් පැරණි කම්කරු විප්ලවකාරී පක්ෂයේ හීලි සහ එහි දැන් විසිරී යන කණ්ඩායම විසින් පවත්වාගෙන යන දිගුකාලීන ද්‍රෝහී ක්‍රියාවක් හෙලිදරව් කිරීම අවශ්‍ය යැයි සඳහන් කරන අතර එහිම තවත් තැනක “දෙමල ජාතියේ ස්වයං නිර්ණ අයිතිය තහවුරු කිරීම සඳහා කම්කරු පන්තිය බලමුළු ගැන්වීමට සටන් වදින ශ්‍රී ලංකාවේ එකම කම්කරු පන්ති පක්ෂය”(මේ කාලයේ විකොස ස්වයං නිර්ණ අයිතියට පක්ෂ ය)තමන් බව ප්‍රකාශ කරයි. මෙතැන් සිට මේ සූත්‍රය අත හරින තුරු උතුරේ දෙමළ ජනතාවගේ ජාතික නිදහසට සහයෝගය පළ කරමින් ඔවුන්ගේ නිල පුවත්පත වන ‘කම්කරු මාවත’හි තම ආදර්ශ සටන් පාඨයක් ලෙස සඳහන් කළේ ‘දකුණු ඉන්දීය උප මහද්වීපික ඊළාම් සමාජවාදී සමූහාණ්ඩු සංගමය පිහිටුවව්’යන්නය.

ටෝනි බණ්ඩා යනු කම්කරු විප්ලවකාරී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකි. ඔහු 1985 ඔක්තෝබර් 25 දා හතරවැනි ජාත්‍යන්තරයේ ‘වර්කර්ස් ලීගයේ මධ්‍යම කාරක සභාව’ වෙත ලිපියක් (www.wsws.org) ලිවීය. එහි මූලික කාරණා දෙකක් ඇතුළත් වේ. පළමු වැන්න ජෙරී හීලි හතරවැනි ජාත්‍යන්තරයෙන් නෙරපා හැරීම හා බ්‍රිතාන්‍ය ශාඛාවේ අර්බුදය පිළිබඳවයි. දෙවැන්න, දේශපාලන අර්බුදයේ මූලය “කම්කරු විප්ලවකාරී පක්ෂයේ නායකත්වය දිගු කාලයක් තිස්සේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ මූලෝපායික කර්තව්‍යය වෙතින් ඉවතට හැරී වඩ වඩා ජාතිකවාදී ඉදිරි දර්ශනයක් හා භාවිතයක් දෙසට ඇදී යාම” ගැන තමන්ට කරන චෝදනාව පිළිබඳවයි. කම්කරු විප්ලවකාරී පක්ෂය,1986 පෙබරවාරි 8 දින පවත්වන ලද සමුළුවේදී, “ජාත්‍යන්තර කමිටුව සදහට ම වල දමා හතරවන ජාත්‍යන්තරය ගොඩනැගිය යුත්තේ මන් ද යන්නට හේතු 27ක්” යන මැයෙන් වන ලියවිල්ල එහි මධ්‍යම කාරක සභිකයෙකු ලෙස ටෝනි බණ්ඩා ඉදිරිපත් කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ කම්කරු විප්ලවකාරී පක්ෂය හතරවන ජාත්‍යන්තරයෙන් නෙරපා දැමීමයි. කොහොමටත්, හතරවැනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව ලෙස එවකට වැඩ කළ විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය ස්යං නීර්ණ අයිතිය අතහැරීමට මෙතෙක් සැළකියයුතු වැදගත් දේශපාලනික යමක් ප්‍රකාශකොට නැත. ඒ නිසා ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තර දේශපාලන බෙදීම් ඊට බලපා ඇති ප්‍රධාන කාරණාවක් ලෙස සඳහන් කිරීමේ වරදක් නැත. ලංකාවේ ජාතික ගැටළුව හා ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතියට විරුද්ධ වීම ගැන සමාජවාදී සමානතා පක්ෂය තෙපරබාමින් කියන්නට උත්සාහ කරන ලෝක භූ දේශපාලන වෙනස්කම්(?) හා ලෙනින් ඉදිරිපත් කළා යැයි පාරම්භාන කොන්දේසි කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයේ පක්ෂ අභ්‍යන්තර දේශපාලන ගැටළු ඊට තදින් බලපා ඇති බව අපගේ අදහසයි.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ න්‍යායාචාර්යවරයා වූ ඇන්ටන් බාලසිංහම් විසින්,

“සමාජවාදී දෙමළ ඊළමක් කරා” යන හිසින් 1980 දී ලේබර් රිවීව්හි තීරු ලිපියක පල කළ විවාදාත්මක සටහනේ අවසානයට මෙසේ සඳහන් කරන ලදී. “…..කම්කරු පන්තියේ එක්සත්කම පිළිබඳව හා ලංකාවේ සමාජවාදී විප්ලවය පිළිබඳ කුණු වූ දෘෂ්ටිවාදයෙන් දෙමළ ජනතාව හෙම්බත්ව සිටියි. බහුතරයේ පීඩාකාරී ග්‍රහනය යටතේ සිටින ජාතික සුලුතරය පළමුව තමන්ගේ ජාතික විමුක්තිය සඳහා සටන් වැදිය යුතුය…..” (බාලසිංහම් ඉදිරිපත් කළ මෙම සමාජවාදී දෙමළ ඊළම පිළිබඳ කෙටි අදහස පසුව 1986 දී තම සංවිධානයේ වැඩ පිළිවෙළ ලෙස දීර්ඝව ඉදිරිපත් කර ඇත.  www.puradsimedia.com

පන්තිය ජාතියට යට කළා යැයි නව වාමාංශික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය හා හිරු කණ්ඩායමට නොදන්නාකමට චෝදනා කරන බූ පති, ඔවුහු දෙමළ ජනයාගේ ජාතික නිදහස දිනා ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේ ජාතීන්ගේ ප්‍රශ්නයට අදාළව මාක්ස් ලෙනින්වාදී ස්ථාවරය වැරෙන් ඉදිරියට ගනිමින්ය. මේ ඒ පිළිබඳව මාක්ස් ලෙනින්වාදී දේශපාලන සාහිත්‍යයේ ලිඛිත සාක්ෂීන්හි බිඳක් පහතින් උපුටන්නට කැමතිය. 

“…….සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ ප්‍රශ්නය ලෙස නිල වශයෙන් මම විශ්වාස කරන ස්වයං පාලනය පිළිබඳ අශුභ ප්‍රශ්නයට ප්‍රමාණවත් ශක්තියකින් සහ තියුණු බවකින් මැදිහත් නොවීම සම්බන්ධයෙන් රුසියාවේ කම්කරුවන් ඉදිරියේ මා ඉතා වැරදිකරු වී ඇති බව පෙනේ.

ගිම්හානයේදී මෙම ප්‍රශ්නය මතු වූ විට මම රෝගාතුර වූ අතර පසුව සරත් සෘතුවේ දී මගේ සුවය ලැබීමට වැඩි බලාපොරොත්තු තබාගෙන සිටි අතර ඔක්තෝබර් සහ දෙසැම්බර් සැසියේදී මෙම ප්‍රශ්නයට මැදිහත් වීමට මට හැකි වනු ඇත……..මගේ දිනපොතේ කලින් සටහනක මා සඳහන් කළ පරිදි, අපි සාර්වාදයෙන් භාරගෙන එය සෝවියට් තෙල්වලින් සැහැල්ලුවෙන් ආලේප කළ එකම රුසියානු උපකරණයෙන් විය හැකිය….

……නිසැකවම, මෙම මිනුම බලා සිටිය යුතුව තිබුනේ අප අපගේ උපකරණය අපගේම බවට සහතික වන බව පවසන තෙක්ය. නමුත් දැන්, අපට අවංක වීමට අවශ්‍ය නම්, අපට අනෙක් අතට කිව යුතුව ඇත්තේ, අපි උපකරණයක් අපගේම ලෙස හඳුන්වමු, එය යථාර්ථයේ දී තවමත් අපට සම්පූර්ණයෙන්ම ආගන්තුක වන අතර හොඳම කැමැත්තෙන් ධනේශ්වර-සාර්වාදී මිශ්‍රණයක් නියෝජනය කරයි. ලෝකයේ, අපි අවුරුදු පහකින් දැකලා නැහැ, අපට වෙනත් රටවලින් උදව් නොලැබුණු සහ මූලික වශයෙන් “ක්‍රියාකාරී” හමුදාමය වශයෙන් සහ සාගතයට එරෙහිව සටන් කළ තත්වයෙන් මිදීමට අපට හැකි විය……

……මෙම තත්වයන් යටතේ, අප සාධාරණීකරණය කරන “යුනියන් එකෙන් ඉවත් වීමේ නිදහස” වටිනාකමක් නැති කඩදාසි කැබැල්ලක් බවට පත්වීම ස්වාභාවිකය. රුසියාවේ රුසියානු නොවන වැසියන් එම සැබෑ ආක්‍රමණයෙන් ආරක්ෂා කිරීමට සම්පූර්ණයෙන්ම අසමත් ය. රුසියානු ආරක්‍ෂාව, මහා රුසියානු ස්වෝත්තමවාදියා, මූලික වශයෙන් දුෂ්ටයන් සහ ප්‍රචණ්ඩ අපරාධකරුවන්, සාමාන්‍ය රුසියානු නිලධාරියා වැනිය. සෝවියට් හා සෝවියට්කරණය වූ කම්කරුවන්ගේ අතුරුදහන් වන ප්‍රතිශතය කිරිපිටි මැස්සෙකු මෙන් ස්වෝත්තමවාදී මහා රුසියානු සමුද්‍රයේ මෙම මුහුදේ ගිලී යනු ඇති බවට සැකයක් නැත……

“…… “ධනේශ්වර විප්ලවයේ කාල පරිච්ඡේදය තුළ සියලුම ජාතීන් විසින් ගෙන ඇති පිම්ම තුළ, ජාතික රාජ්‍යයක අයිතිය සම්බන්ධයෙන් ගැටුම් සහ අරගල ඇති විය හැකි සහ සම්භාවිතාවක් ඇත. නිර්ධන පංතිකයන් වන අපි මහා-රුසියානු වරප්‍රසාදවලට විරුද්ධ බව කල්තියාම ප්‍රකාශ කරන අතර, අපගේ සමස්ත ප්‍රචාරණයට සහ උද්ඝෝෂණයට මඟ පෙන්වන්නේ මෙයයි……”

වී. අයි. ලෙනින්
ජාතිකත්වය හා ස්වයං නීර්ණය අයිතිය පිළිබඳ ප්‍රශ්නය
දෙසැම්බර් 1922

ලෙනින් ජාතික ප්‍රශ්නයට අද්විතීය අපෝහක හා ගතික දායකත්වයක් ලබා දුන් අතර, එය කම්කරු ව්‍යාපාරයේ න්‍යායික නිධානයකි. ධනවාදය විසින් නිර්මාණය කරන ලද ජාතික දේශසීමා බොහෝ කලකට පෙර සමාජ සංවර්ධනයේ විලංගු බවට පත් වූ බව ඔහු ප්‍රකාශ කළේ නිකං නොවේ. 

නිදසුනක් වශයෙන්, “ස්වයං-නිර්ණය සඳහා ජාතීන්ගේ අයිතිය” පිළිබඳ ඔහුගේ සම්භාව්‍ය අධ්‍යයනයේදී ලෙනින් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ ආකාරය උපුටා දක්වමු.

“……කෙසේ වෙතත්, අපි සියලු ජාතිකවාදයන්ට එරෙහිව සටන් කරන්නේ නම් සහ විවිධ ජාතීන්ගේ සමානාත්මතාවය ආරක්ෂා නොකළහොත් අපට එම ඉලක්කය කරා ගමන් කළ නොහැක. නිදසුනක් වශයෙන්, යුක්රේනය ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට දෛවෝපගත ද යන්න අනපේක්ෂිත සාධක දහසක් විසින් තීරණය කරනු ලබන කාරණයකි. නිෂ්ක්‍රීය ‘අනුමාන කිරීමට’ උත්සාහ නොකර, අපි සැකයෙන් ඔබ්බට යමක් තරයේ තහවුරු කරමු: ඒ එවැනි රාජ්‍යයක් පිහිටුවීමට යුක්රේනයට ඇති අයිතියයි. අපි මෙම අයිතියට ගරු කරමු; අපි යුක්රේනියානුවන් සම්බන්ධයෙන් මහා-රුසියානුවන්ගේ වරප්‍රසාද ආරක්ෂා නොකරමු; ඕනෑම ජාතියකට රාජ්‍ය වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීමේ ආත්මය තුළ එම අයිතිය පිළිගැනීමේ ආත්මය තුළ අපි ජනතාව දැනුවත් කරමු…..

…….ප්‍රායෝගිකත්වය” සඳහා වූ ඇගේ ගවේෂණයේ දී, රෝසා ලක්සම්බර්ග් මහා-රුසියානු නිර්ධන පංතියේ සහ අනෙකුත් ජාතිකයන්ගේ නිර්ධන පංතියේ ප්‍රධාන ප්‍රායෝගික කර්තව්‍යය: සියලු රාජ්‍ය සහ ජාතික වරප්‍රසාදවලට එරෙහිව දිනෙන් දින උද්ඝෝෂණ සහ ප්‍රචාරණය පිළිබඳ අවධානයෙන් ගිලිහී ගියේය. සහ සියලු ජාතීන්ට ඔවුන්ගේ ජාතික රාජ්‍යයට ඇති අයිතිය, සමාන අයිතිය සඳහා. ජාතික ප්‍රශ්නයේදී මෙය (වර්තමානයේ) අපගේ ප්‍රධාන කර්තව්‍යය වේ. මන්ද අපට ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවය සහ සියලු ජාතීන්ට අයත් සියලුම නිර්ධන පංතියේ සන්ධානය සමාන පදනමකින් ආරක්ෂා කළ හැක්කේ මේ ආකාරයෙන් පමණි……

……මෙම ප්‍රචාරණය මහා-රුසියානු පීඩකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් මෙන්ම පීඩිත ජාතීන්ගේ ධනේශ්වරයේ දෘෂ්ටි කෝණයෙන් ‘ප්‍රායෝගික නොවන’ විය හැකිය (දෙදෙනාම නිශ්චිත ‘ඔව්’ හෝ ‘නැත’ ඉල්ලා සිටින අතර, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ‘නොපැහැදිලි’ වීම). යථාර්ථයේ දී මහජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී, අව්‍යාජ සමාජවාදී අධ්‍යාපනය සහතික කරන්නේ මෙම ප්‍රචාරණය සහ මෙම ප්‍රචාරණය පමණි. ඇය බහුජාතික රාජ්‍යයක් ලෙස පැවතිය යුතුද, වඩාත් සාමකාමී (සහ නිර්ධන පංති අරගලය සඳහා, හානිකර නොවන) වෙනම ජාතික රාජ්‍යයන් වලට බෙදීමද, එවැනි බෙදීමක් පිලිබඳ ප්‍රශ්නය මතු වුවහොත් රුසියාවේ ජාතික සාමයේ විශාලතම අවස්ථාවන් සහතික කිරීම සඳහා ඇති එකම ප්‍රචාරණය මෙයයි. නැඟිටින්න……”

(ලෙනින්, එකතු කරන ලද කෘති, වෙළුම 20, පිටු. 413-14)

උග්‍ර කොමියුනිස්ට්වාදියෙකුගේ පිරිසිදු විප්ලවය ගැන

කළ යුත්තේ කුමක්ද? යන බරපතළ ලෙනින්වාදි දේශපාලන මැදිහත්වීමක් සනිටුහන් කළ ප්‍රබල දේශපාලනික උදෘතයක් කිසිදු අවබෝධයකින් තොරව හුදු වචන විසි කිරීමක් කරන මෙම ලිපි මාලාවේ අවසන් ලිපියේ තැනක භූපති මෙසේ සඳහන් කරයි.

“….. මේ ලිපි මාලාව මාතෘකා දහයක් ඔස්සේ මේ දක්වා රචනා කෙරුනේ ලංකාවේ සමාජය දැනටමත් සංවිධානය වී ඇති සංකීර්ණ සමාජ පදනම් දේශපාලනිකව විශ්ලේෂණයට හා විචාරයට ලක්කර ගැනීමටයි. ඊට යොදාගත් නිමිත්ත වූයේ අප්‍රේල් මස සිදු වූ සමාජ නැගිටීමයි. අප්‍රේල් නැගිටීමට මේ ලිපි මාලාව තුළ සවිඥානිකවම ‘අරගලය’ නම් යෙදුම භාවිත නොකොට ‘නැගිටීම්’ නම් යෙදුම භාවිත කලේ සමාජය සංවිධානය වී ඇති පුද්ගලවාදය, ජාතිකවාදය, ප්‍රභූවාදය, දේශපාලන ආර්ථිකය, භු දේශපාලනය, ජනප්‍රියවාද ආදී කිසිදු දේශපාලන ප්‍රපංචයක් පදනම් සහගත ලෙස ප්‍රශ්න කිරීමක් හෝ ඒවා ඉලක්කගත සංවිධානාත්මක ‘අරගලයක්’ 2022 අප්‍රේල් නැගිටීම් තුළ නිරීක්ෂණය කල නොහැකි නිසාය. ගෝල්ෆේස්හි වූයේ රාජපක්ෂ විරෝධයකි. එහි මුල් සටන්පාඨය වූ ‘ගෝටා ගෝ හෝම්’ යන්න හෝ අවම වශයෙන් තාමත් ජයගෙන නොමැත. ඒ අර්ථයෙන් මේ ක්‍රියාවලියම යනු හුදු ‘ජනප්‍රිය නාගරික මධ්‍යම පංතික මහජන නැගිටීමකි’. බොහෝ විකල්ප බුද්ධිමතුන් හා ක්‍රියාධරයන් හඳුනාගන්නා ආකාරයේ බරපතළ සමාජ වෙනසක් මේ මගින් සිදු නොවුන බවට මේ ලිපි මාලාව මගින් තර්ක කෙරෙයි. ඒ වෙනුවට අප්‍රේල් නැගිටීම්වල නිරීක්ෂණය කල හැක්කේ සිද්ධිවාචික සුවිශේෂී දේශපාලන සන්ධිස්ථානයකි. ඒ බව තෝරාගත් දේශපාලනික තේමා දහයක් ඔස්සේ දීර්ඝව, නමුත් හැකිතාක් සරළව මේ ලිපිපෙළ හරහා විචාරයට ලක්කෙරිණ. විවිධ පරම්පරා දේශපාලනය අත්විඳින්නේ විවිධ ආකෘති මගිනි. ගෝල්ෆේස් නැගිටීමේ එකම සාධනීය කාරණය ලෙස නව තරුණ පරම්පරාවක් මේ හරහා ‘පොදු සාමූහික දේශපාලනය’ යනු කුමක්දැ’යි යන්න පිළිබඳව ඡායාමාත්‍ර අත්දැකීමක් හෝ ලැබූ බව පමණක් නම් පිළිගත හැකිය.

නමුත් ඉතා ශක්තිමක් කේන්ද්‍ර සහිතව සංවිධානය වන ගෝලීය ධනවාදය හා සසඳන විට ගෝල්ෆේස් නැගිටීම්හි දේශපාලනයක් සලකුණු කිරීම ඉතා අසීරුය. එය හුදු ලිබරල් උප සංස්කෘතියකි. ජූනි මස මේ ලිපිපෙළ අවසන් වනවිට දැන් ගෝල්ෆේස් ගෝටා ගෝ ගම යනු මිනිසුන් රහිත කූඩාරම් පමණක් සහිත බිමක් වී ඇත. ගෝටා ගෝ ගමට ආරම්භක ජනප්‍රිය ජවය රඳවා තබා ගැනීමේ සංවිධානාත්මක ව්‍යුහයක් නොවීය. මේ තත්ත්වය ගෝල්ෆේස් නැගිටීමට දායක වූ අයගේ පමණක් නොව අප සැමගේම යුගයේ දේශපාලන සීමාවකි. එනම් සාමූහික සංවිධානය වීම් යනු දැන් ව්‍යාජ,කෙටිකාලීන පැවැත්මවල් වීමයි. පොදු, ඉලක්කගත,බැරෑරුම්,කැපවීමේ හා වෙනස්වීමේ දේශපාලන භාවිතයක් සංවිධානය කිරීම මේ යුගයේ අසීරුම දේශපාලන අභ්‍යාසය වී ඇත.   එනිසා ව්‍යාජ, කෙටිකාලීන සම්මුතිගත වීම් බහුල වී ඇත. ගෝල්ෆේස් නැගිටීමේ ද දක්නට ලැබුනු බරපතළම දුර්වලතාවක් වූවේ බහුජන තලයේ එය උත්කර්ෂවත් කිරීමට මිස ඊට සාධනීය විවේචනයක් එල්ල කිරීමට කිසිවෙකුත් නොසිටීමයි. අභ්‍යන්තර විවේචනය යනු දේශපාලනයේ තීරණාත්මකම සංඝටකයකි. දෘෂ්ටිවාදය විචාරය මිස අපට විමුක්තිය පවත්වාගත හැකි අන් මගක් සලකුණු කල හැකිද? අලංකාරික හරහා ගෝටා ගෝ ගම වැනි නාගරික උප සංස්කෘතියක් බරපතළ දේශපාලනයක් ලෙස බොහෝ දෙනා සැලකීමම එක් අතකින් මේ යුගයේ දේශපාලන චින්තනයේ සීමාවන් බරපතළ ලෙස හෙළිදරව් කල අවස්ථාවකි…..”

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්
2022 ජූනි 17
(පිටුව110,111)

එසේම ගෝල්ෆේස් අරගලයට වසරක් පිරීම නිමිත්තෙන් “අනිද්දා” පුවත්පත විවිධ සමාජ ක්‍රියාධරයින්ගේ අදහස් ලබා ගනිමින් ලිපියක් පල කර තිබුණි. “අනිද්දා” පුවත්පතේ පලවී ඇති එම ලිපියට බූපති ද තම අදහස් පල කර තිබුණි.

“….. අරගලය ගැන පළ කරන අදහස්වලට මට ලොකු විවේචනයක් තියෙනවා. මම ඒ ගැන පොතකුත් ලිවුවා. මේ මහා ජන නැගිටීම එක පුද්ගලයකුට එරෙහිව සිදු වුණ දෙයක්. ඒ කිවුවේ ගොඨාභය රාජපක්ෂ කියන තනි පුද්ගලයාට එරෙහි ව ආපු සටන් පාඨයක්. තව පොඩි පොඩි සටන් පාඨ තිබුණා. එක පුද්ගලයෙක් ප්‍රශ්ණයක් වුණා  කියලා, ඒ පුද්ගලයාව මාරු කළා කියලා සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ. එහෙම බැලුවම මට තේරෙන්නේ අරගලයෙන් මුකුත් ම වුනේ නෑ කියලා. වුනේ චීනය මූලික කරගත්ත ලංකාවේ භූ දේශපාලනය ආයෙමත් ඉන්දියාව-ඇමරිකාව දෙසට හැරුණ එක. නැවත වටයකින් රනිල් වික්‍රමසිංහ පුරුදු දේශපාලනය ම කරමින් ඉන්නවා. එයා කරන්නේ ඔක්කොම විකුණ විකුණ යමින් ඉන්න එක. ඕක මහා අමාරු දෙයක්වත් බුද්ධිමත් දෙයක්වත් නෙමෙයි. ඕක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. දැන් තිබුණටත් වඩා සුභසාධන රාජ්‍යය කප්පාදුවෙමින් යනවා. කොමියුනිස්ට්වාදියෙක් විදියට මට කියන්න තියෙන්නේ, අරගලයට තිබුනේ හුදු මධ්‍යම පාන්තික සටන් පාඨයක් කියලා. මධ්‍යම පාන්තික අවශ්‍යතා ටික නැති වුණ නිසයි අරගලය නිර්මාණය වුණේ. ඇත්තටම ඇතිවුනේ බලශක්ති අර්බුදයක්. ගෑස්, තෙල්, ලයිට් නැති වුණ නිසයි මිනිස්සු පාරට ආවේ. මහජනයා කියන්නේ තක්කඩි ජාතියක්. මම බය නැතිව කියනවා මහජනයා කියන්නේ තක්කඩි ජාතියක්….

…… පාරිභෝගික භාන්ඩවල මිළ පොඩ්ඩක් අඩු කළාම මිනිස්සුන්ට ඔක්කොම මතක නැහැ. ඒ නිසා මගේ ප්‍රධාන විවේචනය තියෙන්නේ මිනිස්සු ගැන. මේ රටේ මිනිස්සු හරිම මෝඩයි. හරිම පරිභෝජනවාදියි. මිනිස්සුන්ට ඕනා කන්නයි, අදින්නයි, බොන්නයි විතරයි. එතකොට පාලකයන්ට ලේසියි මිනිස්සුන්ව රවට්ටන්න. අරගලයේ සටන් පාඨයක් තිබුනා, ඔයාලා හැප්පුනේ වැරදි පරම්පරාවක් එක්ක කියලා. මට අනුව ඒක වැරදි සටන් පාඨයක්. ඇත්තටම පාලකයා හැප්පුනේ වැරදි පංතියක් එක්ක. ඕන පාලකයෙක් මධ්‍යම පංතිය ෂේප් එකේ තියාගන්නවා. ඒ නිසා මේක නිකම් ජන නැගිටීමක් මිසක් අරගලයක් නෙමෙයි. අරගල මීට වඩා වෙනස්. ඊටත් එහාට ගියොත් විප්ලව තවත් වෙනස්…..”

බූපති නලින් වික්‍රමගේ
අනිද්දා පුවත්පත
2023 අප්‍රේල් 09

සමාජවාදී විප්ලවය සිදුවන්නේ එක පැත්තකින් අධිරාජ්‍යවාදීන්ට සේවය කරන හමුදා අතර හා අනෙක් පැත්තෙන් විප්ලවකාරී කම්කරු පන්තික බලවේගය අතර කෙරෙන අරගලයකට යැයි විප්ලවය ගැන සරළ චිත්‍රයක් හදාගෙන සිටින බූපති වැනි සරල මතික උග්‍ර කොමියුනිට්වාදීන්(බූපති ඔහුවම හඳුන්වා දෙන්නේ උග්‍ර කොමියුනිස්ට්වාදියෙකු ලෙසය)එල්බ සිටින සුළභ අදහසකි. නමුත් එය එසේ නොවේ. ඒ වෙනුවට විය හැක්කේ පීඩිත කම්කරු පන්තිය තුළ මෙන්ම සෑම ජාතියකම, සෑම අතරමැදි පීඩිත පන්ති ස්ථරයකම කඩා වැදීමක් විප්ලවය නියෝජනය කරන බවයි. ඔවුන්ගේ ඉච්ඡාභංගත්වය, කලකිරීම මේ සමාජ පරිවර්තනට මග පාදයි. ලෙනින්ට අනුව විප්ලවය යනු පරම පවිත්‍ර දෙයක් නොවේ. ඕනෑම සමාජ පන්තියක තිබෙන වෛරය තුළ කිසියම් ආකාරයක විප්ලවකාරී විභවයක් අන්තර්ගත වේ යනුවෙන් ලෙනින් කියන්නට උත්සාහ කළේ රුසියානු විප්ලවයටත් කලිනි. ලෙනින්ගේ මේ අදහස,”1916 අයර්ලන්ත කැරැල්ල”(The Irish Rebellion of 1916)තිසීසයේ දී තම බෝලෂෙවික් පක්ෂය තුළ සිටි භූපති වැනි දේවල් දෙස පැතලි ආකාරයකට දකින්නට උත්සාහ කරන අයට කියූවකි. එනම් අයර්ලන්ත අයිරීශ් ජනයාගේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් සිය බෝල්ෂෙවික් පක්ෂය තුළ සිටි යාන්ත්‍රිකව සිතන බූපති පන්නයේ හාදයන්ට දුන් පිළිතුරක් විදියටය.

“….. යටත් විජිතවල සහ යුරෝපයේ කුඩා ජාතීන්ගේ කැරලිවලින් තොරව, සිය සියලු අගතීන් සහිත සුළු ධනේශ්වරයේ කොටස්වල විප්ලවවාදී පිපිරීම්වලින් තොරව,දේශපාලනිකව සවිඥානික නොවන නිර්ධන පංතික හා අර්ධ නිර්ධන පංතික ජනතාවගේ ව්‍යාපාරයකින් තොරව සමාජ විප්ලවය සිතාගත හැකි යැයි සිතීම මුලාවකි. ඉඩම් හිමියන්ගේ,පල්ලියේ සහ රාජාණ්ඩුවේ පීඩනය හා ජාතික පීඩනය යන සියල්ලට පිටින් සිතීම සමාජ විප්ලවය ප්‍රතික්ෂේප කිරීමකි. අයර්ලන්ත කැරැල්ලට ‘පර්ජ්’(purge)යැයි කියමින් එය අපකීර්තියට පත් කළ හැක්කේ එවැනි හාස්‍යජනක පාදඩ මතයක් දරන අයට පමණි.

‘පිරිසිදු’ සමාජ විප්ලවයක් අපේක්ෂා කරන කවුරුන් හෝ එය දැකීමට කිසිදා ජීවත් නොවනු ඇත. එවැන්නෙක් විප්ලවය යනු කුමක්දැයි වටහා නොගෙන විප්ලවයට තොල ගායි (www.marxists.org).

වී. අයි. ලෙනින්
1916 අයර්ලන්ත කැරැල්ල

පිදුම විසින් මතු කරන ප්‍රතිගාමීත්වය

ඕනෑම පොතක ‘පිදුම’ යනු එම කෘතියේ හෘදය සාක්ෂිය යැයි ලියුවහොත් එය එම කෘතියට කරන අවමානයක් නොවේ. මන්ද? පොතක පිදුම එම කෘතියට සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධය. එය තවත් පැත්තකින් පොත කියවන්නට යන පළමු මොහොතේම මුලින්ම හමුවන නිසා කිසියම් ආකාරයකට පොත ඇතුලේ ඇති දේට හෘදයාංගම සම්බන්ධයක් සාදන කෙන්දයි. නමුත් බූපති පොත පුදන්නේ මේ පොතේ කේන්ද්‍රීය කාරණය වන ගෝල්ෆේස් මහජන නැගිටීම හමුදාව හෝ ලවා මර්දනය කරන්නැයි ඒ මොහොතේ සිය සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ හඬ නැගූ දේශපාලන පමණක් නොව ආත්මීය ප්‍රතිගාමියෙකුටය. මෙම මහජන නැගිටීමට විරුද්ධව මර්දනකාරී ආණ්ඩුවට සහාය දෙමින් එහි වරප්‍රසාද වෙනුවෙන් වාචාළ ලෙස මැදිහත්වූවෙකුටය. මොහු 2015 ‘යහපාලන’ (good governance) නමින් රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධානයන්හි වැඩ කළවුන් භෞතීෂ්ම කර බලයට ගෙන ආ ආණ්ඩුවේ ප්‍රධානී ජනාධිපති සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් වූ චතුරිකා සිරිසේනගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස රජයේ පඩි ලබමින් හා රජයේ වාහන භාවිතා කරමින් ‘වමට තඩිබෑමේ’කොන්ත්‍රාත්තුව භාරගත් දේශපාලන හොරිකඩයෙකි. එපමණක් නොව, ජූලි 09 වැනිදා ගෝල්ෆේස් භූමියේ වාඩිලාගෙන සිටි විරෝධතාකරුවන් රාජපක්ෂලාගේ උසිගැන්වීම පිට මර්දනය කරන්නට ආ මැරයින්ට නායකත්වය දුන් සනත් නිශාන්ත වැනි මරිමෝඩ ගමේ චන්ඩින් ‘ආණ්ඩුවේ කුණු සෝදන මාධ්‍ය මැසිම’හෙවත් ස්වාධීන රූපවාහිනියට දමා පිරිසිදු කරන්නට ගිය හාදයෙකුටය. කෙටියෙන්ම කිවහොත්, උග්‍ර අනන්‍යතා අර්බුදයකින් පෙළෙන ‘පත්තර මල්ලියෙකුටය. බූපති සිය කෘතිය මෙවැනි දේශපාලන ප්‍රතිගාමියෙකුට පුදන්නට හේතු වන්නට ඇත්තේ බොහෝ විට මෙවැන්නක් විය හැකිය. එනම්, බූපතිගේ ‘පිදියයුත්තා’ සම්බන්ධයෙන් යම් අතීත වටිනාකමක් තිබුණාය වැනි අදහසක් විය හැකිය. මෙය මේ දේශපාලන ප්‍රතිගාමියා ගැන බූපතිට මෙන්ම  තව කිහිප දෙනෙකුටම ඇති පොදු අදහසක් යැයි කිවහොත් එහි වරදක් නැත. නමුත් එහි දේශපාලනික වරද ඇත්තේ මෙතනය. එනම්, බූපති ඇතුළු සමහරුන් මොහු තුළ ඇතැයි සිතන වටිනාකම යනු අන් කිසිවක් නොව තමන්ගේම විවේචනයට ලක් වන මේ පවතින සමාජ ක්‍රමය වන ධනවාදයට ඇති කැමැත්තය. ඊට ඇති ආශාවය. බූපති සිය කෘතිය දීප්ති කුමාර ගුණරත්න නම් අපරාධකාරී රාජ්‍යයේ මර්දනකාරී ප්‍රතිපත්තිය හා එහි නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය සාධාරණීකරණය කරන අවස්ථාවාදී දේශපාලන ප්‍රතිගාමියෙකුට හෙවත් දේශපාලනික කසළ සෝදන්නෙකුට පිදීමෙන් කර ඇත්තේ අන් කිසිවක් නොව සමස්ත මහජන නැගිටීම ම ඔහුද සිය කෘතිය තුළ අති සරළව හෝ කිසියම් විවේචනයක් ගෙන ඒමට උත්සාහ කරන මේ පවතින ක්‍රමයටම පාවාදීමක් යැයි අපි වඩාත් නග්නව හා සෘජුව ලියා තබන්නෙමු. එමෙන්ම බූපති සිය කෘතිය ගැන ඔහු විසින්ම සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී පවසා තිබුණේ දීප්ති කුමාර ගුණරත්න තමන්ගේ “දේශපාලන ගුරුවරයා” බවයි. සමහර විට සිය පොත පුදන්නට එය හේතුවූවා ද විය හැකිය. එය එසේ නම්, දීප්ති කුමාර ගුණරත්න තමන්ගේ “දේශපාලන ගුරුවරයා” බවට පත්වූවෙකුගෙන් හා බූපතිම සිය පොතෙහි 124 පිටුවේ සටහන් කරන “……මගේ ජීවිතයෙන් භාගයක් ගෙවුණේ x කණ්ඩායමේ දේශපාලනය තුළය. නිසැකවම අද සිටිනා මා බිහිවුණේ එම සංවිධානයේ සාමූහික ජීව ගුණය සමගය……” යන අන්තර්ගතයට අදාළව ගත්තත් මීට වඩා සාරවත්,ප්‍රමාණවත් හා බැරෑරුම් දෙයක් කොහොමටත් අපේක්ෂා කළ නොහැකිය. කෙටියෙන්ම කිවහොත් හාපුරා කියා x කණ්ඩායමෙන් දේශපාලනයට අවතීර්ණ වූවෙකුගෙන් හා ඒ තුළ ජීවිතයෙන් භාගයක් ගෙවා දැමූවෙකුගෙන් මීට වඩා සාරාත්මක දෙයක් අපේක්ෂා කළ නොහැකිය. එහි පැවැතිය හැක්කේ උද්දච්ච ලෙස, වාචාළ ලෙස හා අපහාසාත්මක ලෙස අනෙකා උස්සා පොළොවේ ගසා ඉතාම නරුම ලෙස තමන් දේශපාලන ප්‍රතිගාමී වැඩවල නිරතවීම හා දේශපාලන ප්‍රතිගාමීත්වයට සේවය කිරීමය. (බලන්න දීප්ති කුමාර ගුණරත්නගේ භාවිතය දෙස). එමෙන්ම බූපතිගේ දේශපාලන ගුරුවරයා මීට දශකයකට පෙර උද්දච්ඡ හා වාචාළ ලෙස ඉදිරිපත් කළ අධිකාරීවාදී බව ‘දේශපාලන ගුරුගෝල’සම්බන්ධයේ අනුහසින් දෝ ඊට දශකයකට පමණ පසුව වර්තමානයේදී අප මිත්‍ර බූපති තුළද ඒසා පමණටම දක්නට ලැබීම පුදුමයට කාරණයක් නොවේ. ඒ අර්ථයෙන් අප මිත්‍ර බූපති යනු දීප්ති කුමාර ගුණරත්නගේම කපාපු පළුවකි. විචාරය යනු තමන් නිවැරදි යැයි තමන්ම  සිතා අධිකාරිවාදී ලෙස හෝ උද්දච්ච ලෙස තමනට හමුවන සැමට හතර අතේ නෙලීම නොවේ. මෙය මීට දශකයකට පමණ පෙර මෙම ලියුම්කරුටද අදාළ ප්‍රදේශයකි. මෙය තනිකරම පරණ වැඩකි. එනම් අතීතයට අයිති වැඩකි. අප මිත්‍ර භූපති ඔහුගේ දේශපාලන ගුරුවරයාගේ මේ පරණ එනම් අතීයට අයත් චණ්ඩිකම අලුත් වටයකින් රඟ දැක්වීම යනු, කුමක්ද? එනම්, දේශපාලන ගුරුවරයාගේ මීට අදාළ රංගනය ව්‍යසනයක් වුයේ නම් ඔහුගෙ දේශපාලන ගෝලයෙකු වූ භූපතිගේ මීට අදාළ රංගනය විගඩමක් වී ඇති බවයි. කොහොමටත් තමන්ට තමන් ගැන කියවීමක් නොමැතිකම මෙන්ම තමන්ට  ලැජ්ජාව නොමැතිකම මේ යුගයේ විලාසිතාවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ තමන්ට අදාළ තමන් ලඟ සිටින අය තමන්ගෙන් වේගයෙන් ඈත් වීමත් තමන්ට කිසිදු අන්තර් සම්බන්ධයක් නැති අදාළ නොවන තාවකාලික ඇමැමෙක් ලංවීමත්ය. 

අප වහා ම සොයා බැලිය යුත්තේ අප කරන කාර්යයන් සේවය කරන්නේ කාටද? යන්නය. අප කරමින් සිටින කාර්යයන්වල අවසාන සමාජ ප්‍රතිඵලය (Social outcome) කුමක්ද යන්නය. අප සමාජයේ කරමින් ඉන්නා කාර්යයන් ගැන අපම තක්සේරුවකට ඒමය. බූපතිගේ’අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ ගැන මෙතෙක් අදහස් දැක්වූවන්ට පොතේ “පිදුම” අමතක වූයේද නිකම්ම නොවන වග කාට කටත් මතක් කර දිය යුතුය. ඒ අන් කිසිවක් නොව පොතේ කර්තෘ වන අප මිත්‍ර බූපතිගේ සිට පොත ගැන කතා කළවුන්ගේද හෘදයසාක්ෂිය එළියට ඇද අපට පෙන්වීමය. සමාජයේ සැරිසරද්දී හැමෝම ඇස ගැටෙන භූපතිට දීප්ති කුමාර ඇස නොගැටෙන්නේත් නිකම්ම නොවේ. ඒ සෑම තැනකදීම මගහැර ගොස් “පුදන්නට”පමණක් ඉදිරිපත් වීම අප තේරුම් ගත යුත්තේ කෙසේද?

අප කැමති වූවත් නැතත් අපගේ මේ දේශපාලන ඉතිහාසය කිසියම් ආකාරයකට ඛණ්ඩන ලක්ෂ්‍ය‍ක් සළකුණු කරගත යුතුය. බූපතිගේ පොතේ පිදිය යුත්තා වන දීප්ති කුමාර ගුණරත්න යනු එක්තරා විදියකට සමාජ විද්‍යාත්මකව ගතහොත්, වීදුරු මිනිසෙක් හෙවත් glass man කෙනෙකි. එහි අර්ථය ඊට කිසිදු සාරයක් නොමැති, එය කිසිවකට අයත් නැති හෝ එහි ඇතුළත කිසිවක් නැති බාහිර පෙනුමක් පමණක් ඇත යන්නයි. වෙනත් විදියකින් කිවහොත් දීප්ති කුමාර ගුණරත්න යනු මේ කාලයේ ලීයෙන් සාදන ලද ‘පිනෝකියෝ’ කෙනෙකි. මොහු කර ඇත්තේ, තමාව සනාථ කර ගැනීම එසේත් නැතිනම් තමාව සැඟවීම සඳහා පශ්චාත් නූතනත්වය සහ ඉතාම සිල්ලර ආකාරයකට දර්ශනවාදය උපයෝගී කර ගැනීමකි. එහි ප්‍රතිඵලය වන්නේ මේ පිනෝකියෝ කතා කරන්න ගැනීමයි. ඒ කතා කිරීමට ෆූකෝගෙන් පටන් ගෙන ඩෙරීඩා හරහා ලැකාන්, ජිජැක් දක්වා එකී නොකී ගෝලීය දාර්ශනික නම් වැලක් දම්මවැලක ආකාරයෙන් එකට අමුණයි. ප්‍රතිඵලය වන්නේ සමාජයට පමණක් නොව කාලයක් ඔහු ඇසුරේ සිටි අපට පවා ඇත්තටම ඔහු තුළ සිටි පිනෝකියෝ මගහැරී යාමය. එත්තරා ආකාරයකට වමේ දේශපාලන රික්තයක් පිරවීමට ඒ මොහොතේ අපගේ දේශපාලන හා සංස්කෘතික ගැලවුමුකාරයා ලෙස දීප්ති කුමාර ගුණරත්න තෝරා ගත්තේ වෙන කව්රුවත් නොව අපය. දැන් මේ දේශපාලන වැරැද්ද නිවැරදිව වටහා ගතයුත්තේ වෙන කව්රුවත් නොව මුලින්ම අප අපය. ඒ වැරදි තෝරා ගැනීම දෙවියන් කළ දෙයක් නොව අප විසින් කළ දෙයක් ලෙස නිහතමානීව භාර ගත යුතුය. බූපතිගේ කෘතියේ’ පිදුම’ නමැති හෘදය සාක්ෂිය මේ ගැන තවත්  ලියන්නට ඉඩක් ලබාදෙන අතර තවත් ඉදිරියට ලිවීමට මාව පොළඹවයි. බූපතිගේ කෘතියේ දී ඔහුගේ පිදීමට ලක්වන දීප්ති කුමාර ගුණරත්නගේ ආගමනය දෙස යම් ඓතිහාසික භෞතිකවාදී අර්ථයකින් විමසා බලා සාරාංශගත කළහොත් මෙවැනිය. 1971 සහ 1989 තරුණ නැගිටීම් දෙකක් ම්ලේච්ඡ ලෙස මර්දනය කර ඉන් පසු 1983 න් පටන් ගත් දෙමළ ජන සංහාරක දේශපාලන අපරාධකාරී රාජ්‍ය මැදිහත්වීම විසින් ඇති කළ දේශපාලන රික්තයට බලෙන් ආදේශ වූ හා බූපතිත් මෙම ලියුම්කරුත් ඇතුළු තවත් යම් පිරිසක් විසින් බලෙන් ආදේශ කළ ආදේශකයා යැයි අපි අපිටම කර ගන්නා විවේචනයක් ලෙස අවශ්‍ය නම් අපට අර්තකථනය කළ හැකිය. ඒ අනුව එහි ආදේශකය හෙවත් සාමූහිකය යනු x කණ්ඩායමයි. එය තවත් විදියකින් කිවහොත්, මේ කාලය තුළ විශේෂයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂය මැදිහත්ව ගෙන ආ,පසුව ජනතා විමුක්ති පෙරමුණ හරහා බෞතීෂ්ම කළ ‘ජනතාවාදී සංස්කෘතික තර්කනය’ විසින් පටු ලෙස සීමා කරන ලද මිනිස් මනසට ගෙන ආ ඊනියා පශ්චාත් නූතන සංස්කෘතික විවෘත අස්වැසිල්ලයි. මේ ඉතිහාසය යනු කුමක්ද? එනම් දේශපාලන හා සංස්කෘතික පරාජයන් ගොඩක ඓක්‍යයයි. වර්තමාන ලංකාවේ මිලිටරි පන්නයේ පාලකයන් මෙන්ම මිලිටරි පන්නයේ සාහසික පාලක ආණ්ඩු ඇතිවීමට මේ පරාජයන් යම් පිටු බලයක් සැපයූ බව කිව යුතුය. පරාජයේ ඉතිහාසය මේ රික්තය විසින් පිරවීම අනිවාර්යය. මන්ද?ලෝකය ඉදිරියට ගලා යයි. දීප්ති කුමාර ගුණරත්න කරන්නේ මේ පිරවීම සිල්ලර ලෙස ගසා කෑමද? එමෙන්ම x කණ්ඩායම යනු ඒ ගසාකෑම සඳහා ගොඩ නගන ලද සාමූහික කඩතුරාවද? තවත් විදියකින් කිවහොත්, දීප්ති කුමාර ගුණරත්න යනු විකල්පීය රික්තය පිරවීම සඳහා x නම් සාමූහිකය විසින් තෝරා ගත් වැරදි තේරීමද?”එය එසේ නම්”, දීප්ති කුමාර ගුණරත්න යනු අසාර්ථක දේශපාලන මැදිහත්වීම්වල ඉතිහාසයක් දායාද කළ ජාතික සමාජවාදී රෝහණ විජේවීර විසින් දෙන ලද පශ්චාත් නූතන නව ලිබරල්වාදී විගඩම් සහගත අශිෂ්ඨ තෑග්ගද?

ගෝල්ෆේස් අරගලය ගැන අපේ අදහස

1968 දී ප්‍රංශ වීදිවල දැවැන්ත ශිෂ්‍ය හා කම්කරුවන්ගේ පෙළපාලි, සෝෂියරියානු ව්‍යුහවාදයේ දී මෙන්, සමාජයේ ව්‍යුහාත්මක වෙනස්කම් මගින් නිර්ණය කරන ලද ව්‍යුහවාදයේ නියමයන් තුළ පැහැදිලිව තව දුරටත් පැහැදිලි කළ නොහැකි විය. ප්‍රංශ මනෝවිශ්ලේෂකයෙකු වන ජාක් ලැකාන්ගේ ප්‍රතිචාරය වූයේ 68 හි සිදුවූයේ සෝෂියර්ගේ ප්‍රතිලෝමය බවයි. එනම්, සොෂියර් සඳහන් කළ නොඇවිදින ‘ව්‍යුහයන්’ වීදිවලට බැස ඇවිදීමයි. 1968 දී පැරීසියේ ඇත්තටම සිදුවූයේ වීදිවල දිගහැරුණු පුපුරණ සුලු සිදුවීම් අවසානයේ ව්‍යුහාත්මක අසමතුලිතතාවයක ප්‍රතිඵලයක් වීමයි. 

මීට 17 මසකට පෙර ගෝල්ෆේස් මහජන විරෝධතාවේ අති මූලික කාරණය ලෙස ඉස්මතු වූයේ ‘ගෝඨා ගෙදර යනු’ යන්නය. බලයෙන් ඔද්දල් වී උද්දච්ච ලෙස මෝඩ තීන්දු ගැනීමෙන් රටේ ජීවන තත්ත්වය හා එදිනෙදා ජන ජීවිතය කඩා වැටීම තව දුරටත් ඉවසුම් නොදුන් ජනයා ස්වයං සාමූහිකයකට පැමිණ ‘ගෝඨා’ ගෙදර යවා ම පස්සා බැලූහ. එය වූ කලි අවසානයක් නැති අවසානයක් සනිටුහන් කළ අහඹු ක්ෂිතීමය ක්‍රියාවකි.

ගෝඨා යනු තනි පුද්ගලයෙකු ලෙස නොව, එය නග්න ජාතිවාදය හා උමතු ආගම්වාදය පදනම් කරගත්, විනාශකාරී බල අධිකාරිය (A destructive authority of power) කි. නොඑසේ නම් චෞර කල්ලියක රාජ්‍ය පාලනයකි. එදා ගෝල්ෆේස් මහජන නැගිටීම නම් වූ අහඹු ක්ෂිතීමය ක්‍රියාව විසින් ඛණ්ඩනය කරන ලද්දේ එයයි. එම ඛණ්ඩනය කිරීම ගෝල්ෆේස් මහජන නැගිටීමේ පළමු වැදගත්කමයි. එහි දෙවැනි වැදගත් සාධකය වන්නේ, අධිපතිවාදී දේශපාලන ධාරාවට එරෙහිව පැවැති මහජන කෝපය මේ හරහා නිර්භයව හා අමුවෙන්ම ප්‍රකාශ වීමයි. තෙවැනි වැදගත් සාධකය ලෙස සටහන් කළ හැක්කේ සිදුවෙමින් යන දේ ගැන කිසිදු අදහසක් නැතිව මාරාන්තික නිද්‍රාවක ගිලී සිටිමින් පුරුද්දට විරෝධය පෑම පමණක් නොව, විනය ගරුක ලෙස අරගල කරන්නේ කෙසේ දැයි කයිවාරු ගසමින් සිටි ඇල්මැරුණු වම මහජනයා විසින් ඕල්ටෙක් කිරීමයි. මීට අමතරව රාජපක්ෂලාට කඩේ ගිය ඊනියා සිංහල බෞද්ධ ජාතික නඩය නන්නත්තාර කිරීමද මේ මගින් සිදුවිය. නිදර්ශනයක් ලෙස, එම සිංහල බෞද්ධ ජාතිකවාදී චින්තනයේ න්‍යායාචාර්යවරයා වූ නලින් ද සිල්වා (මොහු 70 දශකයේ තම ආචාර්ය උපාධිය සඳහා සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් පල කළ අනාවැකිය 80 දශකයේදී බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය) 2020 දී තුනෙන් දෙකක බලයෙන් ගෝඨාභයගේ නායකත්වයෙන් බලයට ආ සිංහල බෞද්ධ ජාතිවාදී හා ආගම්වාදී ‘දකුණ ආසියාවට ආවේනික නව හිට්ලරියානු’ ආණ්ඩුවක තානාපතිකම ඉල්ලා මියන්මාරයට ගියේ නිකම්ම නොවේ. එහි අභිප්‍රාය වන්නට ඇත්තේ, ගොඩනගාගත් ජාතිකවාදී බල අධිකාරියට අවශ්‍ය ජාත්‍යන්තරය ගොඩ නැගීම විය හැකිය. ගෝල්ෆේස් විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස ඒ නලින් ද සිල්වා අද සැඳෑ සමය ගත කරන්නේ තමා විසින්ම තමන්ගේ අංක එකේ ‘හතුරා’ ලෙස හැඳින්වූ පරදේශය වන ඇමෙරිකාවේය. ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ වචනයෙන් කිවහොත්, ‘ඉතිහාසයක අවසානය’ සනිටුහන් කළ එමගින් සමකාලීන දේශපාලන සමාජය කිසියම් කණ්ඩනයකට ලක් කළේය. එබැවින්, ගෝල්ෆේස් ජන නැගිටීම ධනාත්මක අන්තර්ගතයකට වඩා අපට වැදගත් වන්නේ, ඒ තුළ ‘ප්‍රතික්ෂේප කිරීමේ අභිනයක්’ (a gesture of rejection) අන්තර්ගත වීමය. මන්ද එවැනි අභිනයකට නව ධනාත්මක අන්තර්ගතයන් සඳහා අවකාශය විවර කළ හැකිය. එබැවින් අපි ප්‍රශ්නයෙන් අවධානය වෙනතකට යොමු නොකළ යුතුය. මනෝවිශ්ලේෂණාත්මක නියමයන්ට අනුව, විරෝධතා යනු ස්වාමියා කුපිත කරන, ඔහුගේ අධිකාරීත්වය යටපත් කරන උමතු පිපිරීමක් වන අතර, ස්වාමියාගේ ප්‍රශ්නය එනම්, ‘ඔබට අවශ්‍ය කුමක්ද?’ යන එහි යටි අරුත වෙස්වලා ගනියි.  ‘මගේ වචනවලින් මට පිළිතුරු දෙන්න, නැතහොත් කට වහගන්න!’, 1968 සිසුන් වෙත ලැකාන් එල්ල කළ විවේචනයට තමන් නිරාවරණය වීමෙන් වැළකී සිටීම විරෝධතාකරුවන් හොඳින් කළාක් මෙන්, 2022 දී අන්තරය ප්‍රමුඛ විරෝධතාකරුවන් ලැකාන් එල්ල කළ විවේචනයට තමන් නිරාවරණය නොවීමෙන් විරෝධතාකරුවන් ලෙස, ඔබ නව ස්වාමියෙකු ඉල්ලා සිටින හිස්ටරිකයන්ගේ තැනට වැටුණේද? ලැකාන් පැහැදිළිව කියූයේ මෙවැන්නකි. “අරගලකාරීන් ලෙස ඔබ අපේක්ෂා කරන්නේ නව මාස්ටර් කෙනෙකි. ඔබට එවැන්නෙක් ලැබෙනු ඇත.” තමන් ඉල්ලූ සහ බලාපොරොත්තු වූ මාස්ටර් නොවුණත්, ලැකාන් 68 දී කියූ පරිදිම, ගෝල්ෆේස් විරෝධතාකරුවන් ඇතුළු අපි හැමෝටම දැන් නව මාස්ටර්කෙනෙකු ලැබී ඇත. ඒ අන් කවරෙකුවත් නොව, අප කැමති වූවත් නැතත්, මහජනයා විසින් මැතිවරණ දේශපාලනයේ කුණු බක්කියට විසි කළ, නව ලිබරල් දේශපාලන ආර්ථිකය ඉදිරියට ගෙන යන හා ඒ පන්ති යුතුකම වෙනුවෙන් කැපවී සිටින ඒ වෙනුවෙන් ඕනෑම වන්දියක් ගෙවීමට සූදානම් ජේ ආර්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහය. 

පැරණි නියෝගය වෙනුවට නව නියෝගයක් සඳහා සාධනීය වැඩපිළිවෙළක් නොමැතිව, හුදු ප්‍රකෝපකාරී විරෝධයෙන් පමණක් ප්‍රතිචාර දැක්වීමෙන්, එය ප්‍රතික්ෂේප කළද, අපේක්ෂා කළ නව මාස්ටර් ලැබෙන්නේ නැත. මහජන නැගිටීම තාර්කික අවසානයක් දක්වා ගෙන යාමට අවශ්‍ය සාධනීය වැඩපිළිවෙළක් සහිත ඊට අදාළ වමේ සක්‍රීය දායකත්වය නොලද තැනක මීට වඩා දෙයක් අපේක්ෂා කළ හැකිද? 

ගෝල්ෆේස් ජනතා නැගිටීමෙන් පසුත් අප ජීවත් වන්නේ ඊට කලින් තිබූ සමාජ වටපිටාවේම නොවුණත් කොහෙත්ම ඊට වඩා හොඳ වටපිටාවක නොවේ. 1990 දී නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන් විසුරුවා හැරීමේ දී ක්‍රියාත්මක වූයේ ද එවැනිම තත්ත්වයක් නොවේද? උද්ඝෝෂණ කළ ජනතාවට අවශ්‍ය වූයේ දූෂණයෙන් හා සූරාකෑමෙන් තොර නිදහසක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් වන අතර ඔවුන්ට ලැබුණේ සහයෝගීතාවයෙන් හා යුක්තියෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයයි. අපගේ අතීත දේශපාලන අත්දැකීම යනු එයයි.

මහජන නැගිටීමේ උත්කෘෂ්ට උද්යෝගය අවසන් ව වසර එකහමාරක් ගත වන මෙම මොහොතේදී  විරෝධතාවේ මාරාන්තික දුර්වලතාවය අපට මුණගැසෙයි. එය සමාජ-දේශපාලන වෙනසක අවම ධනාත්මක හැඩයක් බවටවත් පරිවර්තනය කර ගැනීමට නොහැකි වූ අව්‍යාජ කෝපයක් ප්‍රකාශ කිරීමක් හා උද්දච්ච පවුල් පාලනයක් පළවා හැරීමක් දක්වා ලගු වූවකි. ඔව්හු කැරැල්ලකින් තොරව කැරලිකාරී ආත්මයක් ප්‍රකාශ කළහ.

‘ගෝල්ෆේස් අරගලය’ ගැන අපගේ අදහස තනි වාක්‍යයකට ගතහොත්,

කළු ඉවත් කර ඇත. සුදු වෙනුවට අළු ලැබී ඇත.

නිගමනය

මනෝ විශ්ලේෂණය අපට කියාදෙන වැදගත් ම පාඩමක් වන්නේ සමාජය හා අප අතර පරතරයක් පවතින බවත් එම පරතරය සම්පූර්ණ කරන්නට යාමේදී අර්තකතන ලෝකය බිහිවන බවත්ය. එනම්, මේ පරතරය සම්පූර්ණ කරන්නට යාමේදී ඊට මැදිහත් වන්නාගේ ආත්මය වැඩ කරන්නට පටන් ගැනීමයි. ගෝල්ෆේස් භූමියේ සිදුවූ දේශපාලනික සංසිද්ධිය අකුරුවලට ගැනීමට යාමේදී භූපති කරන්නේ එය තමන්ගේ අර්තකතන ලෝකයට (ආත්මීය සිතීමට) අනුව ගොඩ නැංවීමයි. ලිවීම යනු කොහොමටත් ප්‍රබන්ධයට අයත් වැඩ බිමකි. භූපතිගේ වචනයෙන්,’ඊනියා අරගලය’ හෙවත් ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ යනු තමන්ගේ ආත්මීයත්වය (subjectivity) ට අනුව එලෙස පින්තාරු කරන ලද දෘෂ්ටිවාදී වෙස් මුහුණයි. වෙන විදියකින් කිවහොත්, ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ යනු කිසියම් දේශපාලන සාංසිද්ධියක් පිළිබඳව ගොඩනගන ලද ඕපාදූප දේශපාලනයක සංකේතාත්මක වෙස් මුහුණයි. මුලින් කී පරිදි තමා හා සමාජය අතර පරතරය කෙසේ හෝ පුරවා දැමීම සඳහා භූපති විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කර ඇත්කේ තම ආත්මීය උවමනාවට අනුව කිසියම් ආකාරයක ෆැන්ටසි යතාර්ථයක් ගෝල්ෆේස් අරගලයට සවි කිරීමයි. ඒ නිසා භූපතිගේ ආත්ම මූලික (subjectivity) යතාර්තය පවත්නා දේශපාලන යතාර්තයෙන් විගලිත වූ ලියවිල්ලක් ලෙස ද අවශ්‍ය නම් මෙය නම් කළ හැකිය. භූපති තමන්ගේ පරිකල්පිත යථාර්තය තමාගෙන් එළියේ පවතින දේ ලෙස ගැනීම අප තෙරුම් ගත යුත්තේ කෙසේද? භූපතිට බොහෝ අවස්ථාවල සිදු වන්නාක් මෙන් මෙහිදීද සිදුව ඇත්තේ පවතින යතාර්තය දෙස බලන්නට තිබෙන අසමත්කම හෝ අකමැත්ත නිසා එය මගහැරී යාමයි. එමෙන්ම ඔහුගේ ජීවන විලාශය බවට පෙනෙන පරිදි පවතින යතාර්තය තමන්ට අනුව කපා ගැනීම (යථාර්තය යනු හුදු මනසේ නිර්මාණයක් වන නිසා ඒ අනුව ‘ධනවාදය’ ද මනසේ නිර්මාණයක් ය යන ඔබගේ දේශපාලන ගුරුවරයා මෙන්ම ඔබගේ පිදියයුත්තා’ (පොතේ පිදුම) ගේ විකාරරූපී අවකාශයට අවශ්‍ය නම් අප මිත්‍රයාටද ඇතුල් විය හැකිය) 

මිනිසුන් පරාර්ථකාමී ලෙස හෝ ක්‍රියා කරන්නේ ඇයි සහ ඔවුන් එසේ කරන විට එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීම් සෙවීම සඳහා සමාජ මනෝවිද්‍යාව, දර්ශනය සහ දේශපාලන න්‍යායේ සොයාගැනීම් ලබා ගැනීම සඳහා සදාචාරාත්මක සීමා තරණය කරමින් අදාළ දේශපාලන ගැටළු තේරුම් ගැනීමට අවශ්‍ය න්‍යායක් එසේත් නැතිනම් ,සංකල්පීය යමක් බූපතිගේ’ ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ ලියවිල්ලේන් යෝජනා නොකරයි. මෙම කෘතිය සමස්තයක් ලෙස සමාජය මුහුණ දෙන වත්මන් අර්බුදය සහ වමේ ගැටලු පිළිබඳ බූපති කියන ආකාරයේ මූලික දේශපාලනික මූලධාර්මික අවබෝධයක් ලබා නො දෙනවා පමණක් නොව, අනාගතය සඳහා අපට ඇති අවස්ථා පිළිබඳ කිසියම් ඉඟියක් හෝ මෙමගින් ලබා නො දෙයි. කෙටියෙන්ම කිවහොත්, භූපතිගේ මෙම වියමන විසින් කිසිදු ආකාරයක තර්කානුකූල අදහසක් ජනනය කරනු නොලැබේ. 

බූපති ලියන පරිදි ‘මේ කිසිවෙකුටත් තමන්ගේම සටන්පාඨ පවා බැරෑරුම් නැත’යන්න තරමක් වෙනස් කොට බූපති ලියන දේ භූපතිටම බැරෑරුම් නැත යනුවෙන් අවශ්‍ය නම් ලිවිය හැකිය. මේ තුළ අති සරළ නොමේරූ ලිවීමකට එහා ගිය යමක් අන්තර්ගත වී තිබේද? වෙනකක් තබා ගෝල්ෆේස් මහජන නැගිටීමේ අවසාන ජයග්‍රහණය එනම් 2022 ජූලි 09 දා තුනෙන් දෙකක බලයක් සහිතව විධායක ජනාධිපති වී බලයෙන් මත් වී උද්දච්ච ලෙස හැසිරුණු ගෝඨාභය බලයෙන් පහ කිරීම හෙවත් ගෙදර යැවීම නම් අරගලයේ වැදගත්ම දේශපාලන සිදුවීම ගැන සඳහනක් ප්‍රධාන ලිපි අතර නැත. එය මෙම මහජන උද්ඝෝෂණයේ වැදගත්ම මෙන්ම ඊට සහභාගී වූ බහුතරයකගේ ප්‍රධානම අභිලාශය විය. බූපතිගේ ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ පොතෙහි 2022 ජුනි 17 න් පසු පොතෙහි ප්‍රධාන ලිපි අවසන් වේ. ඒ අනුව මෙම පොතට පාදක වන ගෝල්ෆේස් අරගලය ගැන ලියන ලද අති සරළ එසේම එම අරගලය ගැන අසම්පූර්ණ හා දුර්වල ලිවීමකි. බූපතිගේ කෘතිය කියවීමෙන් පාඨකයාට ලබා ගත හැකි වන්නේ ‘හිස් බලාපොරොත්තුවක්’ (vacuous hope) පමණි. ප්‍රමාණවත් අවබෝධයක් හා ඊට අදාළව ශික්ෂණයක් නොමැතිකම විසින් ප්‍රමාණවත් නොවන දේශපාලන ලිවීමකට මඟ පාදනු ලැබේ. බූපති ගේ “අප්‍රේල් නැගිටීම පිළිබඳ අප්‍රේල් සටහන්” ලියවිල්ල පොදුවේ ඇත්තේ එවන් මගහැර යා නොහැකි සිරවීමකය. ක්‍රිස්ටෝපර් ක්ලාක්ගේ වචනයෙන් කිවහොත්, බූපතිගේ මේ ප්‍රයත්නය වූ කලි, අසාර්ථක වර නැගීමක් නිසා අදාළ කාරණය මඟ හැරීයාමයි. එනම්, බූපති කලින්ම තීන්දු කළ අදහසක් ලිපියෙන් ලිපියට තහවුරු කිරීමට යාමෙන් ගෝල්ෆේස් මහජන නැගිටීම නම් භෞතිකය ඓතිහාසිකව මග හැරීයාමයි. කෙසේ වෙතත් අප මිත්‍ර බූපති ද දකින පරිදි වර්තමාන මහජන විරෝධතා ව්‍යාපාරවල බරපතල සීමාවන් ඇත. මන්ද ඒවා සංවිධානමය ආකාරයෙන් ස්ථිතික නොවන අතර එබැවින් ඒවාට දීර්ගකාලීනව පැවතිය නොහැක. ඔවුහු මුහුදේ රළ පහර මෙන් හෝ අහසේ අකුණු සැර මෙන් වේගයෙන් පැමිණීමට නැඹුරු වෙති. කාලයක් තිස්සේ පවතින ක්‍රමය විසින්ම ජනිත කරාවූ එහෙත් හිටි ගමන් ප්‍රසිද්ධියේ ක්ෂණිකව මතුවන සමාජ ප්‍රශ්නවලට හඬ දෙති. සිය ශරීරය දෙති. කෙටියෙන්ම කිවහොත්, මෙවැනි තත්ත්වයක ඇති පොදු දුර්වලතාව වන්නේ, නායකයෙකු නැති ව්‍යාපාර පාලනය කිරීමට හා එය දිගු  කාලීනව ගෙන යාමට කිසිදු සාමූහික සැලසුමක් තනා ගත නොහැකි තෝතැන්නක් වීමයි. නමුත් එය බොහෝ විට ඔවුන්ගේ අරමුණු භාර ගන්නා හෝ ගසාකන දේශපාලනඥයන් අතර ගම්‍යතාවයක් ජනනය කරයි. “වෝල් වීදියේ වාඩිලාගැනීමේ සිට ගෝල්ෆේස් වාඩිලාගැනීම” දක්වා දශකයකට එහා ගෝලීයව මතුවෙමින් තිබෙන මහජන නැගිටීම්වල දුර්වලකමේ පොදු ගුණාකාරය එබඳුය. 

ගෝල්ෆේස් අරගලය විසින් රාජපක්ෂ පාලනයට සැබෑ විකල්පයක් පිළිබඳ අපගේ බලාපොරොත්තු සංකීර්ණ කර සුන් කර දමා ඇතත්, අපගේ අර්ථ නිරූපණයට අනුව, ගෝල්ෆේස් මහජන නැගිටීම සහ ආන්තිකකරණය (marginalization)ට ලක් වූවන් දේශපාලනීකරණය කිරීමේ විප්ලවීය විභවය පිළිබඳ අංශුමාත්‍රයක් එහි ගැබ්ව පැවැති බව අප තේරුම් ගත යුතුය. 

දැන් අපි බූපතිගේ පොතෙහි ඇතුළත් අපට මගහැර යා නොහැකි අවධාරණය කළ යුතු තැන් කිහිපයක් ගැන කෙටියෙන් විමසා බලමු. බූපති, අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් ලියන ආරම්භක මොහොතේදීම මෙසේ ලියයි.

“…. දේශපාලනය යනු දේවල් ඉබේ වෙන්න දී බලා සිටීමද? නැත්නම් දැනුවත් මැදිහත්වීම්ද?…..” (04 පිටුව)

‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ නම් වූ භූපතිගේ පොත ගැන ලියන මේ නිර්ධය විචාරයේ තේමා පාඨය ලෙස මුලින්ම ලියා තැබුවේ,”දේශපාලනය යනු මැදිහත්වීම” යන්නයි. බූපති ද සිය ලියවිල්ලේ පළමු ලිපියේ 04 වැනි පිටුවේ “….දේශපාලනය යනු දේවල් ඉබේ වෙන්න දී බලා සිටීමද? නැත්නම් දැනුවත් මැදිහත්වීම්ද?…..” යනුවෙන් ලියයි. 

එනම්, දේශපාලනය යනු මැදිහත්වීම යන්නට අමතර ‘දැනුවත්’ යනුවෙන් ඊට අලංකාරිකයක්ද එකතු කරයි. නමුත් ගැටළුව වන්නේ මේ සම්බන්ධයෙන් බූපති විසින් සිදු කළ’දැනුවත් මැදිහත්වීම’කුමක්ද යන්නයි. ඔහු දැනුවත් මැදිහත් වීම යන්නෙන් අදහස් කරන්නේ උඩින් පල්ලෙන් ලියා ඇති මේ සිතට නැගෙන සිතුවිලි ඇතුළත් ලියවිල්ලදැයි අසන්නට සිදුවේ.එතනින් නොවතින භූපති මෙසේද ලියයි. 

“……දැන් අප කල්පනාවෙන් මේ සමස්ත උද්ඝෝෂණ රැල්ල දේශපාලනිකව ස්ථානගත කිරීමට උත්සාහ කරමු. මෙහිදී නැවතත් මෙනෙහි කළයුතු යුතු මූලිකම කරුණක් වන්නේ මෙවන් බහුජන (?) නැගිටීමක ඇති අවිනිශ්චිත බවයි. එනම් මේ තත්ත්වය ගැන දේශපාලන කේන්දර කිසිවකුටත් ලිවිය නොහැක. කුමක් සිදුවේද යන්න කිසිවකුට නිශ්චිත නැත. ඉතිරි විග්‍රහයන් කළ හැක්කේ සිදුවීම් අවසන් වූ පසුවය. එනම් පසු ආවර්තීයවය. නමුත් එතෙක් සිදුවීම් අතරවාරයේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වටහා ගැනීමට හා කළයුත්තේ කුමක්ද?’ යන්න නීර්ණය කිරීමට මූලධර්ම මත පිහිටි දේශපාලන විශ්ලේෂණයක් අත්‍යවශ්‍යය. අපට අර්ථයට නැංවිය හැකි දේශපාලනිකය හා අර්ථයට නැංවිය නොහැකි දේශපාලන ක්‍රියාවන් අතර වෙනස සලකුණක් කරගත යුතුය……”
(පිටුව 06,07)

“……නමුත් බොහෝදෙනා අප්‍රේල් නැගිටීම් ඇතුළුව බොහෝමයක් ලංකාවේ දේශපාලන සංසිද්ධි වටහා ගන්නේ පරීක්ෂාවට ලක්නොකරන ලද අදහස් හරහාය. “දේශපාලන අදහස්” යනු විශේෂඥ භාවිතයකින් බිහිවන්නක් බව ඊනියා බහුජනයා කොහොමත් නොදනී. ලංකාවේ නම් දේශපාලඥයන් ද මේ බවක් නොදනී. ඒ බව ඔවුන්ගේ සරළමතික තර්ක හා භාවිතයන්ගෙන් කොතෙකුත් ඔප්පු වේ. මේ ලිපිපෙළ හරහා නැවත මූලධාර්මික දේශපාලන ප්‍රශ්න සදහා වටිනාකමක් අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන විචාරශීලීත්වය උදෙසා අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව නිර්මාණය කිරීමේ අරමුණිනි. එනිසා අප කොන්දේසි විරහිතව අප්‍රේල් නැගිටීම් ප්‍රශ්න කළ  යුතුය. මන්ද පාලකයන් යනු ඊනියා මහජනතාවගේ ප්‍රතිබිම්බයයි…… මේ කිසිවෙකුටත් තමන්ගේම සටන්පාඨ පවා බැරෑරුම් නැත. ඒ ඊනියා මහජනයාගේ භාවිතයයි !……”

‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’
(පිටුව 9,10)

බූපති කියන ආකාරයේ විචාරශීලීත්වයක් උදෙසා අවශ්‍ය දේශපාලන සාක්ෂරතාවක් බූපතිගේ ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ කියවීමෙන් පාඨකයාට අත් කර ගත හැකිද? බූපතිගේ ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ යනු ඇත්තටම කුමක්ද? එනම්, මෙම මහජන නැගිටීම් රැල්ල ආරම්භ වී සතියක් ගෙවුණු තැනේ සිට ඊට සමගාමීව ඔහු සිය නමින් සයිබවකාශයේ ඇති බ්ලොග් පිටුවකට සතිපතා ලියන ලද සාමාන්‍ය අති සරළ සිතට නැගෙන සිතුවිලිවල සටහන් (ලිපි) පෙළකි. එහි කිසිදු ආකාරයක බූපති කියන ආකාරයේ ‘විශ්ලේෂණීය යමක්’ තබා අඩුම තරමේ විචාරශීලී යමක් හෝ හමු නොවේ. මෙහිදී පැහැදිලි වන වැදගත්ම කාරණය නම් මෙතෙක් මුද්‍රිත මාධ්‍යයට කලා සංස්කෘතික කාරණාවලට අදාළව ලිපි ලියූ (ඔහුම ලියා ඇති පරිදි) බූපති මෙම පොත හරහා  ඔහුගේ ‘ලිවීම’ දේශපාලනයට මාරු වී තිබේ. ඒ මාරුවීමේ ප්‍රතිඵලය වන්නේ මුහුණු පොතේ ‘ලයික්’ දැමීමේ තත්ත්වයට පත් වීමය. මේ ලියවිල්ලේ තැනක ඒ පිළිබඳව අප මිත්‍ර බූපති ම සඳහන් කරන පරිදි, “…….මගේ දේශපාලන ස්ථාවර මා ලියන්නට සිටියේ නිවීහැනහිල්ලේ හොඳින් සිතාමතාය. නමුත් සිදුවූයේ එහි ප්‍රතිපක්ෂයයි. අනපේක්ෂිත දේශපාලන සිදුවීමක් හිටි හැටියේ සිදුවිය……” (පිටුව 116). ලේඛකයා මේ කියන්නේ කුමක්ද? මෙහි පළමු වාක්‍යයට අනුව,භූපතිගේ ‘දේශපාලන ස්ථාවර’, ‘දේශපාලන අස්ථාවර’ බවට පත්වී ඇත. අනෙක,’නිවීහැනහිල්ලේ’ ලියන්නට අදහස් කළ දෑ ‘දඩිබිඩි’ ලෙස ලියා ඇත. ඊළඟට බූපති ‘හොඳින් සිතාමතා’ ලියන්නට සිටි දෙයක් කිසිදු සිතීමකින් තොරව ඔහේ ලියාගෙන ගොස් ඇත. ඒ ඇයි? බූපතිම කියන පරිදි, ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ යනු නිවීහැනහිල්ලේ හොඳට සිතාමතා ලියන්නට සිටි සිය දේශපාලන ස්ථාවර (?) යන්හි “ප්‍රතිපක්ෂය”යි. 

එතැනින් නොනැවතුණු භූපති අපට මෙසේද කියයි. “……සංස්කෘතික තලයේ කලා විචාර සඳහා සීමාවී තිබූ දශක දෙකක මගේ ලේඛන භාවිතය එක්වරම දේශපාලන ලිවීම උදෙසා මාරුවීමක් සිදුවිය…..” (පිටුව 116) බූපති අපට මේ කියන්නේ කුමක්ද? එනම්, කලා විචාරකයෙකු ලෙස දශක දෙකක කාලයක් සිටි තමා නොසිතූ අහඹු සිදුවීමක් නිසා දේශපාලනය ගැන ලිවීමට මාරුවූ බවයි. ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ බූපති පවසන අහඹු දේශපාලන ලිවීම කුමක් දැයි ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ අමුවෙන්ම අපට පෙන්වයි. එනම්, දේශපාලන ගැන ලිවීමට බූපති සරළ වැඩි බවයි. 

සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වටහා ගැනීමට හා කළ යුත්තේ කුමක්ද?’ යන්න නීර්ණය කිරීමට මූලධර්ම මත පිහිටි දේශපාලන විශ්ලේෂණයක් අත්‍යවශ්‍ය බව ලියූවද පොත අවසන් වන තෙක් බූපති කියන ආකාරයේ ‘මූලධර්ම මත පිහිටි දේශපාලන විශ්ලේෂණයක්’ කර නැතිවා පමණක් නොව සිදුවීම් අවසන් වී වසර එකහමාරක් ගතවී ඇතත් ඔහු ඉහත කියන ආකාරයේ’පසුආවර්තීය’ ලෙස හෝ මීට වඩා යමක් ලිවීමට තවමත් අසමත් වී ඇත. ඉතාම පැතැලි ආකාරයට මහජනයා හෙවත් ජනතාව පිළිබඳව දක්වන අදහස සාමාන්‍ය අවබෝධය (common sense) ට එහාට සාකච්ඡා කරන්නට බූපති අසමත්වේ.  2011 දී නිව් යෝර්ක් නගරයේ වෝල් වීදිය මුල් කර ගනිමින්, ආර්ථික අසමානතාවයට සහ දේශපාලනයේ මූල්‍ය බලපෑමට එරෙහිව දින 59ක ජනතාවාදී ව්‍යාපාරයක හැඩයෙන් පැවැති වාඩිලාගැනීමේ ව්‍යාපාරයේ (The Occupy Movement) මහජන විරෝධතා එක්සත් ජනපදයේ සහ අනෙකුත් බටහිර රටවල පුළුල් වාඩිලාගැනීමේ ව්‍යාපාරයන්ට හේතු විය.

පාරිභෝගික විරෝධී සහ ධනේශ්වර විරෝධී ලෙස, පාරිභෝගිකවාදයට අභියෝග කිරීම සඳහා කැප වූ කැනේඩියානු ක්‍රියාකාරික සඟරාවක් වන ‘Adbusters’ පාඨක සහාය ඇතිව සඟරාවේ නිර්මාතෘ Kalle Lasn විසින් කරන ලද බ්ලොග් සටහනකින් පසු ලෝකය පුරා ගිනිගත් විරෝධතාවන් විසින් මතු කරන ලද ප්‍රධාන ප්‍රශ්න වූයේ සමාජ හා ආර්ථික අසමානතාවය, කෑදරකම, දූෂණය සහ ආන්ඩු මත සංගතව අනිසි ලෙස ඒකරාශී කරගත් බලයට එරෙහි බලපෑමයි.

විකල්පයක් ගොඩනැගීමේ පළමු කාර්යය සිදු කරන්නේ ‘දේශපාලනය සහ විනය’ගැන නොදන්නා එය  ‘විනාශ වූ ජනතාව’විසින් ය යන වග භූපති කොහොමටත් දන්නේ නැති බව ඔහුගේ පොතින් තහවුරු වේ.

වෙනසක් කිරීමට නම්, ‘ප්‍රශ්නවල සැබෑ මූලයට පැමිණීමට වඩා රැඩිකල් ලෙස සිතන මිනිසුන් ද අපට අවශ්‍ය වේ. අප විශ්වාස කරන්නේ ‘න්‍යායේ කඩාකප්පල්කාරී භාවිතය (subversive use of theory) යි. එය සැබෑ වෙනසක් ඇති කළ හැකි න්‍යායක් වන අතර එය “හුදෙක්” විශේෂඥ අදහස් ඉදිරිපත් නොකරයි.

අපට පවතින අධිපති දේශපාලන සංස්කෘතිය පිළිබඳ පැත්තක සිට කරන “හුදු” විවේචනයක් පමණක් නොව, ඒ ගැන මනා වැටහීමක් මෙන්ම ඇත්ත මැදිහත්වීමක්ද තිබිය යුතුය. ඒ අනුව සමකාලීන දෘෂ්ටිවාදය පිළිබඳ විවේචනය සැබවින්ම තීක්ෂණ බුද්ධියෙන් විශ්ලේෂණය කළ යුත්තක් වේ. කොහොමටත් පශ්චාත් නූතන ප්‍රවණතාවල පෙනෙන රැඩිකල් බව අපව නොමඟ යවන සුළු නිසා හුදු ආක්‍රමණශීලී ආකෘතිය තවදුරටත් අපගේ ආදර්ශය නොවිය යුතුය.

“….අලංකාරික හරහා ගෝටා ගෝ ගම වැනි නාගරික උප සංස්කෘතියක් බරපතළ දේශපාලනයක් ලෙස බොහෝ දෙනා සැලකීමම එක් අතකින් මේ යුගයේ දේශපාලන චින්තනයේ සීමාවන් බරපතළ ලෙස හෙළිදරව් කල අවස්ථාවකි…..” (අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්-පිටුව 112)

බූපතිගේ මේ අදහස කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් ‘ගෝටා ගෝ ගම’ යන්න වෙනුවට ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් ‘ලෙස හා මෙහි ‘බොහෝ දෙනා’ යන්න යන්න වෙනුවට ‘බූපති’ පමණක් වෙනස් කොට අවසානයට පෙර මෙසේ සටහන් කළ හැකිය. ඒ අලංකාරික වචන හරහා ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ බරපතළ දේශපාලනයක් ලෙස බූපති විසින් සැලකීමම එක් අතකින් මේ යුගයේ දේශපාලන චින්තනයේ සීමාවන් බරපතළ ලෙස හෙළිදරව් කළ අවස්ථාවක් යන්නය.

අප මිත්‍ර බූපතිට අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි. 

මාක්ස් Feuerbach පිළිබඳ සුප්‍රසිද්ධ එකොළොස්වන නිබන්ධනයේ ප්‍රකාශ කළේ, “දාර්ශනිකයන් මෙතෙක් ලෝකය විවිධ ආකාරවලින් අර්ථකථනය කර ඇත; කාරණය එය වෙනස් කිරීමයි” යන්නයි. පැරණි අත්තිවාරම් ගරා වැටෙමින් පවතින අතර නව ඒවා තවමත් සිතින් මවා ගෙන නොමැත. සත්‍යය සැමවිටම සංයුක්ත වේ. සෑම ගැටළුවකටම එකම වට්ටෝරුවක් සහිත ආහාර පිසීමේ පොතක් නොමැති අතර එහි එකම විසඳුම නිවැරදි නිගමනවලට එළඹීමට අපට ඉඩ සලසන අපෝහක භෞතිකවාදයේ සහ පන්ති විශ්ලේෂණයේ මාක්ස්වාදී ක්‍රමය පශ්චාත් නූතන කැඳ හැලියට නොවැටෙන්නට වඩාත් වැරෙන් අල්ලා ගැනීමයි. 

රැඩිකල් වීමට මිනිසුන්ට පරිපූර්ණ ‘මතවාදී එන්නත්’ අවශ්‍ය නොවේ. ඔවුන් රැඩිකල් වීමට ඉගෙන ගන්නේ සාමූහික අරගලයෙනි.

https://leftwin.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *