ග්‍රේෂන් ගීකියනගේ ඝාතනයෙන් වසර 35 ක්

පරාක්‍රම කුරුප්පු විසිනි

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හලාවත ශාඛාවේ සාමාජිකයෙකු වූ ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ජවිපෙ තුවක්කුකරුවන් විසින් මරා දමා ලබන ජූනි 24 වන දිනට වසර 35 ක් සපිරෙයි. සමාජවාදී විප්ලවයේ ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය වෙනුවෙන් සටන් වැදුණු විප්ලවවාදියෙකු වූ ග්‍රේෂන් සහෝදරයා ඝාතනය වන විට 27 වියැති තරුණයෙකු ව සිටියේ ය. ඔහු මරා දමන ලද්දේ එවකට ජවිපෙ විසින් පවත්වා ගෙන ගිය “දේශප්‍රේමී” කැරැල්ලේ ප්‍රහාරකයන් විසිනි. මේ මරණය සම්බන්ධයෙන් පසුගිය ධනපති ආණ්ඩු කිසිවක් යටතේ කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත.

1988-89 ජවිපෙ “දේශප්‍රේමී” කැරැල්ල වූ කලී, ශ්‍රී ලංකාවේ ධනපති ආණ්ඩුව උතුරු නැඟෙනහිර පවත්වා ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ මූලෝපායයට අතිශය පක්ෂපාතී උද්ඝෝෂකයෙකු ලෙස කටයුතු කරන අතරතුර ම, ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙන් මංමුලාවට හා දරිද්‍රතාවයට ගොදුරු වූ ගැමි තරුණයන් උණ්ඩ ලෙස යොදා ගනිමින්, ඉන්දීය හමුදා ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහයට ගෙන්වා ගැනීම ද ඇතුළු ධනපති රාජ්‍යයේ රාජ්‍යොපායයන් පිලිබඳ සන්නද්ධ කැරැල්ලක් හරහා කෙරුණු කේවෙල් කිරීමක් විය. එහි දී පාලක එජාපයේ ම කොටස් වල ද, ධනපති ශ්‍රීලනිපයේ ද, මඑපෙ, එජාපයෙන් ගැලවී ගිය පතුරක් වූ එක්සත් ලංකා ජනතා පක්ෂය නම් සංවිධානය ඇතුළු විවිධ ධනපති සංවිධානවල ද සහාය වරින්වර භුක්ති විඳිමින්, ඒ ඒ ධනපති කොටස් සමඟ චපල කේවෙල් කිරීමක යෙදෙන අතරතුර, කම්කරු පන්තිය තමන්ගේ අණසක යටතට ගනු වස් ඔවුන්ගේ තුවක්කු කම්කරුවන් වෙතට ද මානනු ලැබුනේ, ඔවුන් නියෝග කරන දිනවල සේවා ස්ථානවලින් ඉවත් වී “වර්ජනය” කරන ලෙස කම්කරුවන්ට මරණ තර්ජන නිබඳ ව එල්ල කිරීම් වශයෙනි. මේ තර්ජනයට එරෙහිව කම්කරුවන් ස්වාධීන ව බලමුළු ගන්වා ගැනීම සඳහා කම්කරු පන්තියේ එක්සත් පෙරමුණු ක්‍රියා මාර්ගයක් සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කළ කැඳවීමට පසුපස හැරවූ ලසසප, කොප හා නසසපය සිය ආරක්ෂාව සඳහා ධනපති රාජ්‍යයේ සරණ පැතීය. ප්‍රතිඵලය වූයේ එකී පක්ෂවල ම වෘත්තීය සමිති නායකයන් ද ජවිපෙ තුවක්කුවලට ගොදුරු වීමයි. මෙකී කම්කරු විරෝධී ප්‍රහාරවල කුළු ගැන්වීම වූයේ වර්ගවාදී යුද්ධයට හා ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී සමාජවාදී ක්‍රියා මාර්ගයක් තුල කම්කරු පන්තිය බලමුළු ගැන්වීමට ක්‍රියාත්මක වූ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස පැවැති විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය වෙත ජවිපෙ ආයුධ එල්ල වීමයි. 1988 නොවැම්බරයේ දී ගුරුවරයෙකු වූ ආර්.ඒ. පිටවල සහෝදරයා ද, දෙසැම්බරයේ දී සරසවි අනධ්‍යයන සේවකයෙකු වූ පී.එච්. ගුණපාල සහෝදරයා ද ගොදුරු කර ගත් ඔවුන්ගේ අවි වල තෙවැනි බිල්ල වූයේ ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ය.

G-geekiyanage-funeral-procsn.png
ජවිපෙ තර්ජන මැද සිය ගනනින් කම්කරුවන්, ධීවරයන් හා ප්‍රදේශවාසීන් ග්‍රේෂන් සහෝදරයාගේ දේහය රැගත් පෙලපාලියට එක්වේ

ජවිපෙ නායකත්වයෙන් ධනපති ආණ්ඩුව සමඟ පවත්වා ගෙන ගිය මෙම සන්නද්ධ කේවලය කෙලවර කෙරුනේ 60,000 ක් ඉක්මවා ගිය ගම්බද තරුණයන් මරා දැමුණු රුධිර ස්නානයක් හරහා ධනපති රාජ්‍යය සිය මෘග මර්දනකාරී බලය තහවුරු කර ගැනීමකිනි. ඉන් දශක එක හමාරක ඇවෑමෙන් ජවිපෙ 2015 දී තම සාමාජිකයන් ඇතුළු තරුණ ජීවිත රාශියක් වනසා ලූ යූඇන්පීයේ නායකත්වයෙන් පැවැති ඊනියා යහපාලන ආණ්ඩුවට දේශපාලන සහයෝගය පිදීය.

ග්‍රේෂන් සහෝදරයා ඝාතනය කිරීමෙන් 35 වසරක් ගෙවී ඇති මේ මොහොත වන විට ජනතා විමුක්ති පෙරමුණ සිය “වාම” සළුපිලි හැර පියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වෙනුවෙන් විවෘතව ම පෙනී සිටී. ඒ කරුණ සම්බන්ධයෙන් එජාපය, සමඟි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රීලනිපය හා ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අතර විවාදයක් නැත. එකම විවාදය පවතින්නේ කම්කරුවන් හා දුගීන් ද පීඩිතයන් ද තලා දමන මෙම ධනේශ්වර යාන්ත්‍රණයේ සුක්කානම කවුරුන් සතු විය යුතු ද යන කරුණ සම්බන්ධයෙන් පමණි. ධනපති රාජ්‍යයේ මර්දන යාන්ත්‍රනය වඩාත් ම “කාර්යක්ෂම” ආකාරයෙන් ක්‍රියා කරවිය හැකි තමන්ට යැයි කරන පාරම් බෑම් වලින් ද, ව්‍යාපාරිකයන්ට “නිදහසේ” සූරාකෑමට දෙන අවස්ථාව පිලිබඳ සහතික කිරීම් වලින් ද සිය “අවංක” අභිලාශය ධනපති පන්තියට ඒත්තු ගැන්වීමේ ප්‍රයත්නයක යෙදී සිටින අතර ම ජවිපෙ නායකත්වය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දකුණු ආසියානු මූලෝපායයන් සමඟ ගැට ගැසී ගැනීමට තමන්ගේ සූදානම පෙන්වා දීම සඳහා ඉන්දීය ධනපති රාජ්‍යයේ විශ්වාසය දිනා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙමින් සිටී. අධිරාජ්‍යවාදයේ දකුණු ආසියාතික නියෝජිතයා වන ඉන්දීය ධනපති පන්තියට ඔවුන් මේ දෙන සහතිකවල බර කිරා බැලිය යුත්තේ, අධිරාජ්‍යවාදයේ වර්තමාන ලෝක මූලෝපායය වන ලෝක යුද්ධ වැඩ පිළිවෙලේ අන්තරාය ද, අප හිස මත ලඹ දෙන ලෝක පරිමාන න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය ද සමඟිනි.

graetion-at-Keerthi-funeral.png
1987 දෙසැම්බර් විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයාගේ අවමංගල පෙරහැරේ ඉදිරියෙන් යන ග්‍රේෂන්

ග්‍රේෂන් සහෝදරයාගේ ඝාතනයෙන් මෙපිට ගත වූ දශක තුන හමාර තුල ජවිපෙ විකාශනය පෙන්නුම් කරන්නේ විනාශකාරී යුද්ධයේ ව්‍යසනයෙන්, දරිද්‍රතාවයෙන්, රැකියා විරහිතභාවයෙන්, අධ්‍යාපන කප්පාදු වලින්, අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය අහිමි කරනු ලැබීමේ පීඩනයෙන් අත් මිදීම සඳහා තරුණයන්ට පවතින එකම මාවත වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධය වැලැක්වීම සඳහා සහ අර්බුද ග්‍රස්ත ධනපති ක්‍රමය පෙරළා දැමීම සඳහා ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩ පිළිවෙලක් මත කම්කරු පන්තියේ ස්වාධීන ලෝක ව්‍යාපාරය ගොඩ නැඟීම පමණක් බවයි. ග්‍රේෂන් සහෝදරයාගේ ජීවිතය හා මරණය අපට උගන්වන පාඩම වන්නේ එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *