ගාසාවේ ජනසංහාරයට වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ දී විරෝධතාවක් පවත්වයි
පානි විජේසිරිවර්ධන විසිනි
ඊස්රායලයේ නෙතන්යාහු තන්ත්රය විසින් ගාසාව තුල ගෙනයන ජන සංහාරය අරඹා වසරක් පිරීම නිමිත්තෙන්, ඔක්තෝබර් 7 වනදා, කොලඹ, එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වින. “උතුරු-දකුනු සහෝදරත්වය” සහ එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) තරුන සංවිධානය වන “තරුන සමාජවාදියෝ” සංවිධානය කර තිබූ මෙම විරෝධතාවට, ශ්‍රී ලංකාවේ නිදහස් පලස්තීන ව්‍යාපාරය (Free Palastene Movment of Sri Lanka) ද එක්ව සිටියේය.
කොලඹ දී මෙම විරෝධතාව පැවැත්වූයේ, ගාසා ජන සංහාරය ඇරඹි වසරක් ගතවූ ඔක්තෝබර් 7 දින, ඊට එරෙහිව මිලියන සංඛ්‍යාත ජනයාගේ සහභාගිත්වයෙන් ලොවපුරා පැවති උද්ඝෝෂන මධ්‍යයේය. දහවල් දොලහේ සිට පැයකට ආසන්න කාලයක් පැවති විරෝධතාවට, සිංහල, දෙමල සහ මුස්ලිම් ඇතුලු විවිධ ජනවර්ගයන් සහභාගි වී සිටි අතර, ඔවුහු, “පලස්තීනය නිදහස් කරනු!”,“ඊස්රායල රාජ්‍ය ත්‍රස්තවාදය නතර කරනු!” සහ “පලස්තීනයට සාධාරනය!” ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් ඒවා හඬ නැගූහ.
ගාසාවේ ජන සංහාරක යුද්ධය සිදුකොට ඇති ව්‍යසනය අති දැවැන්ත ය. නිල සංඛ්‍යා ලේඛන වලට අනුව, එය පලස්තීනුවන්ගේ ජීවිත 40,000 ක් බිලිගෙන ඇත. නමුත්, ද ලාන්සට් නම් වූ ලොව පිලිගත් වෛද්‍ය සඟරාවට අනුව, ඊස්රායල උන්ඩ සහ බෝම්බ මගින් හෝ සාගතය සහ වැලැක්වියහැකිව තිබූ රෝගාබාධ හේතුවෙන්, 186,000 ක් පලස්තීනුවන් මියගොස් තිබේ.
ලොව වඩාත්ම ජනාකීර්න ප්‍රදේශයක් වන ගාසාවේ, බහුතරයක් ගොඩනැගිලි අර්ධ වසයෙන් හෝ මුලුමනින් විනාශ කෙරී ඇති අතර, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය පොලවට සමතලා කෙරී ඇත. සිතාමතා ගනන් බලා සිදු කරන ලද මෙම ප්රහාරයන් හේතුවෙන්, රෝහල්, පාසල් සහ සංස්කෘතික මධ්‍යස්ථාන වලින් අතිමහත් බහුතරයක් සුන්බුන් වී ඇත.
මෙම ජනඝාතක යුද්ධයට මුලුමනින් ම සහයෝගය දෙන වොෂින්ටනය, යුද අවි තොග හා ඩොලර් බිලියන ගනන් මුල්‍යාධාර සපයමින් ෆැසිස්ට් නෙතන්යාහු පාලන තන්ත්රය තව අපරාධ වලට හා මැද පෙරදිග කලාපය පුරා යුද්ධවලට උසිගන්වමින් සිටියි. ගාසා ජනඝාතන එරෙහිව ලොව පුරා උද්ඝෝෂන පැන නැගුනු පසුගිය ඔක්තෝබර් 07 දා වන විට, ඊස්රායලය ලෙබනනය තුලට ගොඩබිමින් මෙහෙයුම් අරඹා තිබූ අතර ඉරානයට පහර දීම සඳහා බයිඩන් ආන්ඩුව සමග සාකච්ඡා කරමින් සිටියේය.
එසේ නමුත්, ෆැසිස්ට්වාදී නෙතන්යාහු තන්ත්රයට සහ එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කවර හෝ සටන්පාඨයක් කොලඹ විරෝධතාව තුල නොතිබීම සුවිශේෂිත ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය, “ගාසාවේ ජනසංහාරයට වසරක්” මැයෙන් ඔක්තෝබර් 07 දා පලකල ලිපියේ සඳහන් කෙරුනු පරිදි, “දැන් මැද පෙරදිග දිග හැරෙමින් පවතින යුද්ධය, 2001 ඇෆ්ගනිස්තානය ආක්රමනය, 2003 ඉරාකය ආක්රමනය, ලිබියාවේ සහ සිරියාවේ පාලන තන්ත්රය වෙනස් කිරීමේ මෙහෙයුම් ආදියෙහි අඛන්ඩ පැවැත්මක් වන සමස්ත මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ උතුරු අප්‍රිකාව යටත් කර ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දශක ගනනාවක් තිස්සේ දරන උත්සාහයේ කොටසකි.”
මෙම තතු තුල, ගාසාවේ ජනසංහාරයට එරෙහි විරෝධතාවක එක්සත් ජනපදයට එරෙහි සටන්පාඨයක් නොතිබීම, අත්වැරැද්දක් හෝ අහම්බයක් නොවේ. විරෝධතාව සංවිධානය කරන ලද “උතුරු-දකුනු සහෝදරත්වය” සහ “තරුන සමාජවාදියෝ” අනුයන දේශපාලනය සමග එය අත්‍යන්තයෙන් ම බැඳී පවතී.
“උතුරු-දකුනු සහෝදරත්වය” ට නායකත්වය දෙනු ලබන්නේ, විරෝධතා සංවිධානය කරන අයෙකු ලෙස ප්‍රකට පූජකයෙකු වන එම්.සතිවේල් සහ එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) ප්රමුඛයෙකු වන ශ්‍රීනාත් පෙරේරා විසිනි.
එසප යනු, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරය තුල 1950 ගනන්වල මුල් භාගයේ පැනනැගි පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්රවනතාවේ ධාරාවක් වන “කම්කරුවන්ගේ ජාත්‍යන්තරයක් සඳහා කොමිටිය (සීඩබ්ලිව්අයි)” ට අනුබද්ධ ව්‍යාජ-වාම සංවිධානයකි.
අනෙකුත් සියලු පැබ්ලෝවාදී සංවිධාන මෙන්ම, සීඩබ්ලිව්අයි සහ එහි අනුබද්ධ ජාතික ශාඛාවන්, කම්කරු පංතියේ පංති ස්වාධීනත්වය පාවා දෙමින්, අධිරාජ්‍ය ගැති ධනපති පක්ෂ සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් කුප්රකටය. එපමනක් නොව, තම උදව්වෙන් බලයට පැමිනි ධනපති ආන්ඩු, අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායික කර්තව්‍යයන් සඳහා ඒ ඒ රටවල් ඒකාග්ර කිරීම සම්බන්ධයෙන් ද මෙම සංවිධාන වගකිව යුතුය.
ශ්‍රීනාත් පෙරේරා නායකයෙකු වන එසප මත් ඒ සම්බන්ධයෙන් බලගතු උදාහරනයකි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන ගැත්තෙකු ලෙස කුප්‍රකට, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ “ලිබරලෙකු” ලෙස නම් කරමින්, එසප 2009 දී ඔහු සමග “නිදහසේ වේදිකාව” නම් වූ ධනපති අට්ටාලය සංවිධානය කිරීමට නව සම සමාජ පක්ෂය සමග මූලිකත්වය ගත් සංවිධානයකි. 2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනියේ මෙම “ලිබරල්” පින්තාරුව ගසාකමිනි.
සිරිසේන-වික්‍රමසිංහ තන්ත්රය පැවති 2015-2019 කාලය තුල, එක්සත් ජනපදයේ චීනයට එරෙහි යුද මූලෝපායික වැඩකටයුතුවලට ශ්‍රී ලංකාව වඩවඩාත් ඒකාග්ර කෙරුනු අතර, 2022 දී වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමත් සමග එය තීව්ර කෙරුනි. මෙම උපකාර සමිබන්ධයෙන්, වික්‍රමසිංහ, එසප නායක සිරිතුංග ජයසූරියට යලියලිත් ස්තුති කල බව ප්රකටය.
“උතුරු-දකුනු සහෝදරත්වය” හි කැඳවුම්කරු ශ්‍රීනාත් පෙරේරා, විරෝධතාව මධ්‍යයේ මාධ්‍යයට කල ප්‍රකාශයෙන් එසප යේ මෙම අධිරාජ්‍යගැති ස්වභාවය වඩාත් පැහැදිලි විය. එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදීන්ට මෙම සංහාරයේ වගකීම පවරනු වෙනුවට, ඔවුන් කොක්කෙන් මුදා හරිමින් පෙරේරා මෙසේ පැවසීය: “මුලු ලෝකයම අද නිහඬයි. බලවත් ජාතීන් නිහඬයි. ජාත්‍යන්තර සංවිධාන නිහඬයි.”
පෙරේරා පවසන අයුරින් “බලවත් ජාතීන්” නිහඬව සිටිනවා නොව, ඊට මුලුමනින්ම විපරීතව, ඔවුහු නෙතන්යාහු තන්ත්රයේ අපරාධයන්ට විවෘතවම සහයෝගය දෙමින් සිටිති.
විරෝධතාව සංවිධානය කර තිබුනේමත්, ගාසාවේ ජනසංහාරය නතර කරන ලෙස, අධිරාජ්‍යවාදීන්ගේම උපකරනයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කිරීමක් ලෙසිනි. පූජක සතිවේල් මාධ්‍යයට කියා සිටියේ, “මෙම යුද්ධය නතර කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ට බලපෑම් කරන” බවයි.
යුද්ධයට එරෙහිව ජාත්‍යන්තරව වර්ධනය වන අනෙකුත් විරෝධතාවන්ට නායකත්වය දෙන්නවුන් මෙන්ම, මෙහිදීද සිදුකරනුයේ, වඩාත් මානුෂීය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අධිරාජ්‍යවාදී බලවතුන්ට බලපෑම් කිරීමට එම විරෝධතා යොමු කිරීමයි.
ගාසාව කේන්ද්‍රකර ගනිමින් මැදපෙරදිග තුල සහ යුක්රේනය අරබයා රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධ මෙන්ම, චීනයට එරෙහිව සූදානම් කෙරෙමින් පවතින යුද්ධය ද එක්සත් ජනපදයේ සමස්ත භූ-මූලෝපායික වැඩපිලිවෙලේ ඒකාබද්ධ කොටස් ය. අධිරාජ්‍යවාදීන් ලෝකය යලි බෙදාගනුවස් ගෙනයන මෙම සමස්ත යුද ව්‍යායාමයන්ට එරෙහි ගෝලීය සටනක් දෙසට කම්කරු පංතිය ප්රමුඛ මහජනතාව යොමු වීමෙන් වලකනුවස්, මෙම සංවිධායකයෝ ඒ ඒ විරෝධතා එක් එක් යුද්ධයන්ට කොටු කරමින් හුදෙකලා කරති.
2003 ඉරාකය ආක්රමනය කිරීමට එරෙහිව පැනනැගි විරෝධතාවන් හි සිට, ගාසාවේ ජනසංහාරයට එරෙහි විරෝධතාවන් දක්වා, ජාත්‍යන්තර පරිමානව පැනනැගි දැවැන්ත මහජන විරෝධතා අවසානයේදී ඵල රහිතවූයේ, ඉහත දැක්වූ අයුරු, අධිරාජ්‍යවාදී බලවතුන්ට බලපෑම් යෙදීමේ සහ එක් එක් යුද්ධයට හුදෙකලා කිරීමේ අපසරනයන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. ගාසා ජන සංහාරක යුද්ධයේ වසරක අත්දැකීම වනුයේ ද, එයට එරෙහි විරෝධතාවන්, ප්රතිසංස්කරන හෝ අර්ධ පියවර සඳහා ඉල්ලීම් වලට අපසරනය කිරීමයි.
යුද්ධයට එරෙහිව සටන් කිරීම සඳහා නව මූලෝපායක් අවශ්‍ය ය. ඉහත ලෝසවෙඅ ලිපිය පෙන්වාදුන් පරිදි,
“යුද්ධයට එරෙහි සටනට ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීම සහ සියලු ධනේශ්වර පක්ෂවලින් එහි දේශපාලන ස්වාධීනත්වය අවශ්‍ය වේ. යුද්ධයට එරෙහි ව්‍යාපාරය ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මගින් සජීවීකරනය කල යුතු අතර, අධිරාජ්‍යවාදී යුද්ධය හා යටත්විජිතවාදය සමග වෙන් කල නොහැකි ලෙස බැඳී ඇති යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය අවසන් කර එය සමාජවාදයෙන් ප්‍රතිස්ථාපනය කිරීම අරමුනු කර ගත යුතුය.”
න්‍යාෂ්ටික ලෝක යුද්ධයක් දෙසට සිදුවන ව්‍යසනකාරී වර්ධනය පිලිබඳව පසුගිය ජනාධිපතිවරනයේදී කම්කරුවන්ට, තරුනයන්ට සහ අනෙකුත් පීඩිත කොටස් වලට පැහැදිලි කලේ සහ එය වැලැක්වීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කලේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. එසප ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ සහ ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂ එම අන්තරාය ගැන වචනයක් හෝ කතා නොකරමින් මහජනතාව අන්ධකාරයේ තැබීමට කටයුතු කලහ.
යුද්ධයේ අති මූලික හේතුවක් වන, මෙම යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කරනු වෙනුවට ව්‍යාජ-වාම එසප, ගාසා ජනසංහාරයට විසඳුම ලෙස යෝජනා කරනුයේ, “ස්වාධීන, සමාජවාදී පලස්තීන රාජ්‍යයක් හා සමාජවාදී ඊශ්‍රායලයක් සමග ජෙරුසලමේ අගනුවර දෙකක්” පිහිටුවීමයි. මෙම ද්විත්ව-රාජ්‍ය විසඳුම වනාහි, ගාසාවේ රුධිර ගංගාව තවදුරටත් ඉදිරියට ගලායාමට සැලැස්වීමේ අන්ත ප්රතිගාමී යෝජනාවකි. ඊට විපරීතව කම්කරු පන්තියේ පිලිවෙත විය යුත්තේ, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා අරාබි සහ යුදෙව් කම්කරු පන්තියේ ඒකාබද්ධ සටනක් වර්ධනය කිරීමයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි .