ගාසා ජනඝාතනයේ යෙදෙන ඊස්රායලය සමඟ ජවිපෙ පෙ ගැසෙයි

රෝහන්ත ද සිල්වා විසිිනි

ගාසා තීරයේ ඊස්රායලය ගෙනෙයන පලස්තීන ජන ඝාතන උත්සන්න වන තත්වය තුල කලක් කටපියාගෙන සිටි ජාතික ජන බලවේගයේ (ජාජබ) අදහස් දැක්වීමට ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඔක්තෝබර් 16 වැනි දින බත්තරමුල්ලේ පිහිටි තම පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වූයේය. .එම මාධ්‍ය හමුවට ජාජබ ප්‍රධාන නායිකාවක් වන මහාචාර්ය හරිනි අමරසූරිය ද සම්බන්ධ වී සිටියාය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක [Photo: Facebook]

ජවිපෙ ද එහි පෙරමුනු සංවිධානයක් ලෙස ගොඩනගාගෙන තිබෙන ජාජබය ද ලංකාවේ ධනපති ක්‍රමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා තමන් අතට බලය ලබාදෙන ලෙස අඛන්ඩ උද්ඝෝෂනයක යෙදෙන සංවිධානයන් ය. මේ සඳහා, ජවිපෙ/ජාජබ එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල පාලකයන් පිලිගන්නා සංවිධාන ලෙස තමන් තහවුරු කරගැනීමේ උත්සාහයක යෙදී සිටියි.

එම මාධ්‍ය හමුවේදී සිල්වා මෙසේ පැවසුවේය: “සිවිල් වැසියන් ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්‍රජාව පලස්තීනයටත් ඊස්රායලයටත් බලපෑම් කල යුතු ය. [අපට මෙහිදී] පැත්තක් තෝරාගන්න බෑ’

ඔහු තවදුරටත් මෙසේ සඳහන් කලේය: “ඒ නිසා දැනුත් මේ ගැටලුවට තිබෙන විසඳුම තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේදීම සම්මත කර ගත් ද්වි-රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැගීම. ස්වාධීන නිදහස් ඊස්රායලයකුත් ස්වාධීන නිදහස් පලස්තීනයකුත් පිලිගැනීමෙන් තමයි. එම ප්‍රතිපත්තිය මත කටයුතු කිරීමෙන් මේ ගැටුම් නිරාකරනය කරගනිමින් රටවල් දෙකටම පවතින්නට හැකියාව ඇතිවේවි.”

දෙපාර්ශවයේම සිවිල් වැසියන් ඝාතනය කිරීම් නැවැත්වීමේ මානුෂීය ප්‍රයත්නයක තමන් යෙදෙන බව සිල්වා කුහක ලෙස මවා පෙන්වුවද, මෙම ප්‍රකාශ මඟින් පෙන්නුම් කරන්නේ දශක ගනනාවක කුරිරු ඊස්රායල මර්දනයට එරෙහිව කැරලි ගසා නැඟී සිටින ගාසාහි වෙසෙන පලස්තීනුවන්ට එරෙහිව නෙතන්යාහු පාලන තන්ත්‍රය සමඟ ජවිපෙ විවෘතව පෙල ගැසී සිටින බවයි.

ජවිපෙ ‘ලෝක ප්‍රජාව’ ලෙස සඳහන් කරන්නේ ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන්ට යි. මහබලයන්ට අමතරව, රටවල් කිහිපයක් හැර, අන් සියලු ධනපති රටවල් විවෘතව හෝ තුනී කඩතුරාවලට මුවාවී පෙලගැසී සිටිති. මේ බලයන් සියල්ල ඊසරායල ජනඝාතනවලට මුලුමනින් සහායදෙන බව, ඔවුන් ලවා යුද්ධය නතර කරගැනීම ගැන පච දොඩවන සිල්වා හොඳින් ම දනී.

ඔක්තෝබර් 7 දා, හමාස් සංවිධානය ඊස්රායලයට තුලට කඩාවැදීම, අධිරාජ්‍යවාදීන් හා එහි පන්දම්කාර ඉන්දියාවේ මෝඩිගේ හා කොලඹ වික්‍රමසිංහගේ ආන්ඩු හඬ තලන පරිදි ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ හෝ ‘සිවිල් ජනඝාතන ක්‍රියාවක්’ නොවේ. ඉන් සලකුනු කෙරුනේ, 75 වසරකට පෙර පිහිටුවන ලද ඊස්රායල රාජ්‍යයේ පාලකයන්, එක්සත් ජනපදයේ හා අනෙකුත් මහබලයන්ගේ සහාය ඇතිව, පලස්තීන ජනයාට එරෙහිව ගෙනගිය නිමක් නැති ජනඝාතන හා කුරිරු වධ හිංසාවලට එරෙහි මහජන නැගිටීමකි. මෙම මහජන නැගිටීම ජනඝාතනයකින් මැඩලීමේ කුරිරු යුද්ධයක යෙදී සිටින්නේ ඊස්රායලයයි.

අධිරාජ්‍යවාදී බලයන්ගේ කුටෝපක්‍රම මධ්‍යයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය 1947 දී පලස්තීනය කුඩා අරාබි සහ යුදෙවේ රාජ්‍යයන් ලෙස බෙදීමේ ප්‍රතිගාමී යෝජනාව ගෙන ආ අතර 1948, ‘යුදෙව් මහජන කවුන්සිලය’ අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ඇතිව ඊස්රායලය ප්‍රකාශයට පත්කලේය. ජවිපෙ වැලඳගෙන සිටින්නේ මේ ප්‍රතිගාමී යෝජනාවයි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ඔක්තෝබර් 10 දා නිකුත්කල ප්‍රකාශයේ සඳහන් කල පරිදි, “අලුතින් පිහිටුවන ලද ඊස්රායලය රාජ්‍යය විසින් පලස්තීනය ආක්‍රමනය කර එහි ජීවත් වූවන් ඔවුන්ගේ නිජබිමෙන් නෙරපා හැර අදට වසර 75 කි. බටහිර ඉවුර ඊස්රායලය ආක්‍රමනය සහ ඈඳා ගැනීම ආරම්භ කල 1967 දී සිදුවූ සය දින යුද්ධයෙන් වසර 56 කි.

“හියුමන් රයිට්ස් වොච් හි වදන්වලින් කියතොත්, “එලිමහන් සිරගෙයක්” බවට පත් කල ගාසා තීරයට එරෙහි 2006 ඊස්රායල යුද්ධය සහ ඉන් අනතුරුව සිදුකල වටලෑමෙන් වසර 17 කි. දශක ගනනාවක් පුරා, පලස්තීනුවන් සංකේන්ද්‍රනය වී ඇති ප්‍රදේශවලට මෙන්ම—1982 දී පලස්තීනුවන් සමූලඝාතනය කරන ලද සබ්‍රා සහ ලෙබනනයේ ෂටිලා සරනාගත කඳවුරුවලදී මෙන්—ඔවුන් පලා ගිය, වඩ වඩාත් කුඩාවන බිම් කැබලි මතට ගනන් කල නොහැකි නොගිනිය හැකි තරම් ඝාතන සහ බෝම්බ ප්‍රහාර එල්ල වී ඇත.”

1948 ඊස්රායල පිහිටුවීමට පෙර මෙම ප්‍රදේශවල පදිංචිව සිටි ජනතාවගෙන් සියයට 90ක් පමන සරනාගතයන් බවට පත්ව ඇත. මෙය නූතන ඉතිහාසයේ සිදු වූ විශාලතම වාර්ගික පලවාහැරීම් වලින් එකකි. නමුත්, පීඩකයා සහ පීඩිතයා සමාන කිරීම මඟින්, ජවිපෙ, ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ඔහුගේ නාසි සගයන් සමඟ ප්‍රසිද්ධියේ පෙල ගැසී සිටියි.

සිය සම්භාව්‍ය කෘතියක් වන ‘උන්ගේ සදාචාරය සහ අපගේ සදාචාරය’තුල ට්‍රොට්ස්කි සඳහන් කලේ “කපටිකමෙන් හා ප්‍රචන්ඩත්වයෙන් වහලෙකු දම්වැල්වලින් විලංගු දමන වහල් හිමිකරුවෙකු, සහ කපටිකමෙන් හෝ ප්‍රචන්ඩත්වයෙන් එම දම්වැල් කඩන වහලෙකු, සදාචාර අධිකරනයක් ඉදිරියේ එක සමාන නොවේ!” කියාය.

පිඩකයන් හා පීඩිතයන් සමාන කිරීමේ ජවිපෙ ප්‍රයත්නයේ ප්‍රතිගාමීත්වය නෙතන්යාහු තන්ත්‍රය දිනපතා සිදුකරන අපරාධවලින් එලිදරවුවෙයි. ඔක්තෝබර් 17දා, ඊස්රායල හමුදාව විසින් ගාසා නගරයේ අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට ජීඑස්පී-පහසුකම් සහිත දැවැන්ත බෝම්බයක් පුපුරුවා හරිමින් රෝහල් සේවකයන්, රෝගීන් සහ සරානාගතයින් 500කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම එම තිරස්චීන ප්‍රහාරවලින් එකකි.

ජවිපෙ මවා පෙන්වීම උත්සාහ කරන පරිදි මෙය “සමාන යුද්ධයක්’ නොව, විසිවන සියවසේ අඳුරුතම අපරාධවලින් එකකි. ඊස්රායලයේ ආරක්ෂක ඇමති යොවා ගැලන්ට්, පලස්තීනුවන් “මිනිස් සතුන්” ලෙස හඳුන්වමින් “අපි මිනිස් සතුන් සමඟ සටන් කරනවා” යනුවෙන් ප්‍රකාශ කලේය.

ඊස්රායල පලස්තීන ජනතාව සමූලඝාතනය කිරීමට එරෙහිව, වැඩකරන ජනතාවගේ ලෝක ව්‍යාප්ත විරෝධය ඉහල නැගෙද්දී, ජවිපෙ නායකයෝ ඔවුන්ගේ ප්‍රතිගාමී ආස්ථානය වහංගු කරගැනීමට තැත් කරති. ජවිපෙ හා ජාජබයේ නායක අනුර කුමාර දිසානායක, පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් හමුවීමට ඔක්‍තෝබර් 18 දා, ඔහුගේ තානාපති කාර්යාලයට ගියේය. ජාජබයේ විධායක සභික, හා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද ඊට සහභාගි විය.

ජවිපෙ ලංකා ටෘෘත් වෙබ් අඩවියට අනුව, “මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවෝ දරුවෝ ඇතුලු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්‍ය පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිලිබඳව ජාතික ජන බලවේගයේ කනගාටුව පලස්තීන තානාපති වෙත පලකර තිබේ.”

මෙම විනාශය ගැන මතක් වීමට දිසානායකට දින දහයකට වඩා ගත විය. කෙසේවුවද, අවමංගල්‍යයකට ගිය අයෙකු ලෙස හැසුරුනු දිසානායක කර ඇති මෙම ප්‍රකාශ අතිශයින්ම කුහකය. ඔහු පලස්තීන ජනයාට මෙම විනාශය අත්කර දෙන ඊස්රායලය හෙලා දැක්කේ නැත.

ප්‍රතිගාමී වාර්ගික දේශපාලනයේ මුලුමනින්ම ගිලී සිටින ජවිපෙ, දෙමල ජනතාවට එරෙහිව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති කුරිරු ජන සංහාරක යුද්ධයේ දී කොලඹ පාලක ප්‍රභූවට මුලු හදින්ම සහයෝගය දුන්නේය. 100,000කට වැඩි ජීවිත අහිමි කල මෙම බිහිසුනු යුද්ධය – මූලික වශයෙන්, දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් වල ප්‍රධාන වසයෙන් වෙසෙන දෙමල සුලුතරයේ බොහෝ දෙනෙකුගේ සහ සිංහල, මුස්ලිම් ජනයාගේ ජීවන තත්වයන් විනාශ කලේය. මෙම පක්ෂය, රතු තරුව නම්වූ තම තරුන සංවිධානය කොලඹ හමුදාවට යුද අගල් කපා දීමට මෙහෙය වුයේය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි හමුදාව මිලිටරිමය වශයෙන් තලා දැමීම හා දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීමත් සමග, යුද්ධය 2009 මැයි මාසයේදී ලේ වැකි අවසානයකට ගෙන ඒමද ජවිපෙ අනුමත කලේය. ජවිපෙ පලස්තීන ජනයාට එරෙහිව ඊස්රායල හා ඇමරිකාව සමග පෙලගසිම අහම්බයක් නොවේ.

ජවිපෙ ද අත්සන් කල 2020 ජුලි මස නිකුත් කල ප්‍රකාශනයක කියා සිටියේ, “ඊස්රායලයේ ස්වෛරීභාවය පිලිබඳ ව්‍යාජ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම, ඈඳා ගැනීමේ උපක්‍රමයක් මිස අන් කිසිවක් නොවේ. එය ඊස්රයලය, වාඩිලාගෙන සිටින බලය, ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමට භාවිතා කරන එක් යෙදුමකි.”

අතීතයේ තොරොම්බල් කල ධනේශ්වර ජාතිකවාදයේ ඉතිරිපහදු මෙසේ ඉඳහිට ප්‍රකාශයට පත්වුවද පසුගිය දශක තුනේ වේගයෙන් දකුනට ගමන්කර ඇති ජවිපෙ, ගෝලීය ධනපති ක්‍රමයට මුලුමනින්ම ඒකාග්‍ර වී, ලංකාවේ ධනේශ්වර සංස්තාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී තිබේ.

ජවිපෙ මෙම මාරුව අහම්බයක් නොවේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ දැඩි අර්බුදයක ගිලී සිටින මෙම අවස්ථාවේ, ධනපති ක්‍රමයට කම්කරු පීඩිත මහජනතාවගෙන් එල්ල වන අභියෝගය වැලැක්වීම සඳහා මහා ව්‍යාපාරික සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් ජවිපෙ සහ ජාජබ නායකයන් ඉල්ලා සිටින්නේ තමන්ට රාජ්‍ය පාලනයේ සුක්කානම භාර දෙන ලෙසයි.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පිලිගනිමින්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට හා ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට එහි වටිනාකම පෙන්නුම් කිරීමට ඔවුහු ක්‍රියා කරති. ජාජබ/ජවිපෙ ආන්ඩුවක් බලයට පැමිණිය හොත් එය ක්‍රියා කරනු ඇත්තේ ජනාධිපයිති වික්‍රමසිංහ ආන්ඩුවට නොදෙවෙනි මුර්ග භාවයකින් ජාමූඅ වැඩපිලිවෙලට ක්‍රියාවට දමමින් මහජන විරෝධය තලා දැමීමටයි. හිටපු හමුදා නිලධාරීන් සංවිධානය කරගනිමින් ඔවුන් ඒසඳහා ලකලෑස්තිවෙති. ආර්ථිකය ගොඩගැනීමට නම්, තම පාලනයක් යටතේ මුල් අවුරුදු තුනේ දුෂ්කරතා විඳීමට මහජනයාට සිදුවන බව දිසානායක පුනපුනා සඳහන් කරන්නේ මේ මර්දනකාරී පාලනය ගැනයි.

අධිරාජ්‍යවාදයේ සහ ගෝලීය ප්‍රාග්ධනයේ ඉල්ලීම් ක්‍රියාවට නංවන ශක්‍ය විකල්ප ආන්ඩුවක් ලෙස තමන්ව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ජවිපෙ නායකයින් පසුගිය වසරේ ජූලි මාසයේදී කොලඹ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් හමුවිය. ජවිපෙ නායකයෝ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ නවසීලන්තය යන රටවල මහ කොමසාරිස්වරුන් සමඟ ද සාකච්ඡා පැවැත්වූහ.

ඊස්රායලය සමග එක පෙලට, තමන් සිටිනබව ජවිපෙ ප්‍රකාශ කල පසුව, ජූලි චන්ග් දිසානායක හමුවීමට පැලවත්ත ජවිපෙ පක්ෂ මුලස්ථානයට ගියාය. වොෂින්ටනය, ජවිප/ජාජබ හා දිසානායකගේ පාලන බලයට ඒමේ සුදුසුකම් ගැන කිරාබලමින් සිටින බව නිසැකය.

ජවිපෙ මෙම දක්ෂිනාංශික කුනුවිම සමාජවාදී සමානතා පක්ෂයේ පෙර ගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රධානව සිටි ලේකම් කීර්ති බාලසූරිය පෙර දක්නා ලදි. 1970 තරම් ඈතදී ඔහු ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය’ නම්වූ කෘතියේ සඳහන් කලේ, “ජනතා විමුක්ති පෙරමුනේ වතු කම්කරු විරෝධය, අද නිකම් ම සිංහල ජාතිවාදය ලෙස හැඳින්වීම වැරදි ය. මන් ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම පන්ති උවමනාකම් මත සිට වතු කම්කරුවන් වැනසිමට යත්න දරන කාලයක, ඉස්මතු වන සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒකාධිකාරී ධනවාදයේ නග්න උපකරනයක් බවට කෙලින් ම පරිවර්තනය වන බැවිනි.”

බාලසූරිය මේ විශ්ලේෂනය කලේ, ජවිපෙ ව්‍යජ ලෙස තමන් මාක්ස්වාදී ව්‍යාපාරයක් ලෙසද හඳුන්වා ගනිමින් සිටි අවධියකි. මෙම තක්සේරුව,හජාජාකවේ න්‍යයික හා දේශපාලන උරුමයේ හා මාක්ස්වාදී විශ්ලේෂනයේ දීප්තිමත් බව පෙන්නුම් කරමින් සනාථ වී තිබේ.

සුුව පහසු ජීවතයක් සඳහා ජවිපෙ බෝහෝ කලකට පෙර තම කැලෑ සටන් ඇඳුම් සහ අවි ආයුධ ලාංකික දේශපාලන ප්‍රභූව භාරදෙන ලදි. සන්නද්ධ අරගලය, සිංහල දේශප්‍රේමය සමග සමාජවාදී වාක්‍ය කන්ඩ ඒකාබද්ධ කල මාඕවාදයේ සහ කැස්ත්‍රෝවාදයේ විෂ මිශ්‍රනයක් මත පදනම් වූ සුලු-ධනේශ්වර රැඩිකල්වාදයේ සිට ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සෘජු මෙවලමක් බවට ජවිපෙ දැන් පරිවර්තනය වී ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *