ගාසා තීරය ඇමෙරිකාවට ඈඳාගන්නා බවට ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල තර්ජනය ගැන ජවිපෙ – ජාජබ ආන්ඩුව නිහඬයි

ගාසා තීරය ඇමෙරිකාවට ඈඳාගන්නා බවට ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල තර්ජනය ගැන ජවිපෙ - ජාජබ ආන්ඩුව නිහඬයි
වසන්ත රූපසිංහ විසිනි

ගාසා තීරය එක්සත් ජනපදයට ඈඳාගන්නා බවට මෑතදී ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකල තර්ජනාත්මක නිවේදනය ගැන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව මුලුමනින්ම නිහඬව සිටීම, එම පක්ෂයේ අධිරාජ්‍යගැති දක්ෂිනාංශික දේශපාලනය පිලිබඳ තවත් සලකුනකි.

පලස්තීනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ මෙම නිවේදනය පිලිකුලෙන් හෙලාදකින සමාජවාදී සමානතා පක්ෂය (සසප), හිතනමතන කම්කරුවන් ඇතුලු සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ පලස්තීන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලෙසයි.

ඇමෙරිකාව තුල සිටින සංක්‍රමනිකයන්ට හා එරට කම්කරුවන්ට එරෙහිව පෙරනුවුවිරූ ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙන ට්‍රම්ප්, ඔහුගේ ඊස්‍රාලය සගයා වන ෆැසිස්ට්වාදී ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු සමග පෙබරවාරි 4දා ධවල මන්දිරයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූයේ ය. එහිදී, ට්‍රම්ප්, “වාර්ගික විශුද්ධිකරනය, ජනශුන්‍යකරනය හා ගාසාතීරය ඈදාගැනීම” සඳහා සැලස්මක් ප්‍රකාශයට පත් කලේ ය. මෙයට අනුව, දැනට ගාසා තීරයේ ඉතිරිව සිටින දශ ලක්ෂ 1.8 වන වන පලස්තීන ජනයා ඊජිප්තුවේ හා ජෝර්දානයේ කාන්තර බිම්වල ඇටවූ රැඳවුම් කඳවුරුවල ගාල් කෙරෙනු ඇත.

ඊස්‍රායලය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් 7 දා සිට එක දිගට බෝම්බ දමා වනසනු ලැබූ ගාසා තීරයේ පාසැල්, රෝහල්, මහල් නිවාස ඇතුලු ගොඩනැගිලිවලට අමතර යමක් ඉතිරිව තිබේ නම් ඒවා ද මුලුමනින්ම බිමට සමතලා කර, සමස්ත ගාසා තීරයම එක්සත් ජනපදයට අයත් බිම්කඩක් ලෙස ඈඳාගැනීමට ට්‍රම්ප්ගේ මෙම සැලස්මෙන් යෝජනා කර තිබේ.

ගාසා තීරය ඇමෙරිකාවට ඈඳාගන්නා බවට ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල තර්ජනය ගැන ජවිපෙ - ජාජබ ආන්ඩුව නිහඬයි
එක්සත් ජනපදයේ පූර්න අනුග්‍රහයෙන් ඊස්‍රායලය දියත් කල ජනසංහාරයෙන් බිමට සමතලා කල ගාසා තීරය [AP Photo/Mohammad Abu Samra]

යුද්ධයෙන් තලාදමා ඉතිරිව සිටින පලස්තීන වැසියන්ට විනාශයක් වනු ඇති මෙම සැලස්ම ක්‍රියාත්මක කිරීමට, අවශ්‍ය වන්නේ නම්, ඇමෙරිකානු සොල්දාදුවන් දිගේලි කිරීමේ අවශ්‍යතාව පවා සලකා බලනු ඇති බව ට්‍රම්ප් සඳහන් කලේ ය. දැන් මාස 15ක් තිස්සේ ඇමෙරිකාවේ පූර්න අනුබලය සහ යුද ආධාර ඇතිව නෙතන්‍යානු විසින් ගෙනයන ජනසංහාරක යුද්ධයෙන්, ලක්ෂකට අධික පලස්තීනුවන්- මෙයින් බහුතරය පලස්තීන ගැහැනුන් ලමුන් ය- මරා දැමූ භූමියේ ඔවුන්ගේ මලකඳන් මත ට්‍රම්ප් සහ සමාගම විසින් සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහ කැසිනෝ ශාලා ඉදිකරනු ඇත.

අන්තර්ජාතික නීතීන් අමුඅමුවේ උල්ලංඝනය කරන ට්‍රම්ප්ගේ මෙම සැලස්ම, නාසින්ගේ අපරාධවලින් මෙපිට අත්නොදුටු ම්ලේච්ඡ සහ සාපරාධී වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීමකි. මානව හිමිකම් සංවිධානවල විවේචන මගහැරීම සඳහා ඉකුත් දශකවල මානව හිමිකම් රැකීම ගැන කුහක කතා දොඩවමින් ගෙනගිය අධිරාජ්‍යවාදී යුද්ධය, දැන් එහි වහන්තරා ගලවා එලිපිටම කරන අධිරාජය්‍යවාදී ආක්‍රමනය වෙත නැවත හැරීම ට්‍රම්ප්ගේ විදෙස් පිලිවෙත යි.

ට්‍රම්ප්ගේ මෙම නිවේදනය දැනටමත් ලෝකය පුරා මහජන වෛරය අවුලුවා ඇත. ඊට විපරීතව, ධනපති පාලකයන් මේ පිලිබඳව මුනිවත රකිමින් සිටීම ද කුප්‍රකට කාරනයක්ව පවතී. දකුනු ආසියාව සම්බන්ධයෙන් ගත්විට, පලස්තීනයේ මිතුරෙකු වසයෙන් මවා පෙන්වන, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිහැඬියාව මේ අතරින් කැපී පෙනේ. ලංකාවේදී ද සියලුම ධනපති පක්ෂ, විශේෂයෙන් දෙමල ධනපති පක්ෂ සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු සංවිධාන රොත්තම මාරක නිහැඩියාවක් පවත්වාගෙන යමින්, ට්‍රම්ප්ගේ මෙම ෆැසිස්ට් පිලිවෙතේ වක්‍ර හවුල්කරුවන් බවට පත්ව සිටිති.

කෙසේවෙතත්, ට්‍රම්ප්ගේ නිවේදනයෙන් මේවනවිට දින පහක් ගත්වී ඇතත්, ශ්‍රී ලංකාවේ පාලක ජවිපෙ/ජාජබ ආන්ඩුව, එයට එරෙහිව ප්‍රකාශයක් නිකුත් නොකර දතකට පූට්ටුකරගෙන සිටීම, කම්කරු පන්තියේ විශේෂ අවධානයට ලක්විය යුතු කරුනකි. මන්දයත් දශක ගනනාවක් තිස්සේ, අතීතයේදී ජවිපෙ ගෝලීය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරවල සහායකයෙකු ලෙස මවා පෙන්වා තිබීමත්, පලස්තීනයේ මිතුරෙකු ලෙස පෙනී සිටිමින් ඊස්‍රායල ආක්‍රමනයන්ට එරෙහි ව්‍යාජ හඬතැලීම් සිදුකර තිබීමත් නිසාවෙනි. එම ආස්ථානයේ ප්‍රමුඛ අරමුනක් වූයේ, ඔවුන්ගේ ජාතිකවාදී දේශපාලනයට “ප්‍රගතිශීලි” වහන්තරාවක් දමා ගැනීමයි.

මෙහි කොටසක් ලෙස, ජවිපෙ, අතීතයේදී යසර් අර්ෆත්ගේ නායකත්වය යටතේ පලස්තීන විමුක්ති ව්‍යාපාරය හෙවත් පීඑල්ඕ සංවිධානය සමග එකමුතුව පලකරමින් එයට ප්‍රශංසා කොට තිබෙන අතර, ඊස්‍රායල ආක්‍රමනය හැඳින්වූයේ, මැදපෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුවක් ලෙසිනි. එමෙන්ම, 2014, 2018-2021 වසරවල පලස්තීනයට සිදුකල ඊස්‍රායල් ප්‍රහාර “දැඩිව හෙලාදකිමින්” ප්‍රකාශ නිකුත් කර තිබේ. ගාසාතීරය තුල වත්මන් ජනසංහාරයට එරෙහිව ලෝකය පුරා පැනනැගි විරෝධතාවල කොටසක් ලෙස ලංකාවේදී සියගනන් විරෝධතාවලට ඇදී ආ අවස්ථාවේදී ජවිපෙට සම්බන්ධ ඇතම් සංවිධාන ඒවායේ සහභාගී වෙනු දැකිය හැකිවිය. 


කෙසේවෙතත්, ජවිපෙ මෙන්ම පලස්තීනයේ මිතුරන් ලෙස මවා පෙන්වන බොහෝ ධනපති පක්ෂ මෙම විරුද්ධත්වයට පාදක කරගත්තේ, පලස්තීන ගැටලුව අරභයා එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලද ධනේශ්වර ද්වී-රාජ්‍ය පිලිවෙතයි: එනම් ඊස්‍රාලය සහ පලස්තීනය යන රාජ්‍ය දෙකක පිහිටුවීමේ පිලිවෙත යි.

අධිරාජ්‍යවාදී බලාත්කාරයෙන් පලස්තීනය මත අටවන ලද සියොන්වාදී ඊස්‍රාල රාජ්‍යයේ අධිකාරිය පිලිගන්නා මෙම ප්‍රතිගාමී පිලිවෙත මගින්, ඊස්‍රායලය පලස්තීන ජනයා ඉලක්ක කරමින් දශක ගනනාවක් තිස්සේ සිදුකෙරන ප්‍රජාතාන්ත්‍රවාදී අයිතීන් හා ජාත්‍යන්තර නීතීන් උල්ලංඝනය කිරීම යුක්තිසහගත කර ඇතිවා පමනි. මෙම ධනේශ්වර වැඩපිලිවෙලට විපරීතව, සැබෑ සාමය හා සමනාත්මතාව ගොඩනැගිය හැකි වන්නේ, ඊස්‍රායලයේ, ගාසා තීරයේ හා සමස්ත මැදපෙරදිග කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ඒකාබද්ධ කොට, සියොන්වාදී හා අරාබි ලෝකයේ සියලුම ධනේශ්වර රාජ්‍යයන් පෙරලාදමා ගොඩනගන මැදපෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයක් ස්ථාපිත කිරීම පමනකි. සසප සටන් වදින වැඩපිලිවෙල මෙයයි.

1960 ගනන්වලදී, මාවෝවාදය, කැස්ත්‍රෝවාදය හා වර්ගවාදයේ සම්මිශ්‍රනයක් ලෙස ලෝකය පුරා හතුපිපිනු සුලුධනේශ්වර ව්‍යාපාර අතරට වැටෙන ජවිපෙ බඳු ව්‍යාපාර, දැන් ඔවුන්ගේ අතීත රැඩිකල් වාචාල ඉවත හෙලා ධනේශ්වර ක්‍රමයේත් අධිරාජ්‍යවාදී යුද්ධ වලත් සෘජු ආරක්ෂකයන් බවට පත්ව තිබේ. එවකදී රැඩිකල් වාචාල මගින් කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක වර්ධනයට වලකපමින් වක්‍ර ලෙස ධනේශ්වර ක්‍රමය රැකීම සඳහා ඔවුන් ඉදිරිපත් වූයේනම්, අද ජවිපෙ මෙන් සෘජුවම එම මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රය තම අතට ගෙන කම්කරු පන්තිය මැඩීමේ කටයුත්ත, මෙම සංවිධාන විසින් භාරගෙන තිබේ.

ගාසා තීරය ඇමෙරිකාවට ඈඳාගන්නා බවට ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල තර්ජනය ගැන ජවිපෙ - ජාජබ ආන්ඩුව නිහඬයි
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක [Photo: Sri Lanka President’s Media Division]

දිසානායක ඇතුලු ජවිපෙ/ජාජබ නායකයින් විශේෂයෙන්ම පසුගිය වසර තුන තුලදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමග සීග්‍රයෙන් සබඳතා තරකර ගත්තෝ ය. 2022 මහජන අරගලය දිනවල හා මැතිවරන කාලයේදී, මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් හා ජවිපෙ නායකයින් අතර අවස්ථා කීපයදීම හමුවීම් සිදුවූයේ, අනාගත ජවිපෙ ආන්ඩුවකට එක්සත් ජනපදයේ සහාය ඇඟවුම් කරමිනි. දිසානායකගේ පලමු සංචාරය සිදුකෙරුනු ඉන්දියාව, කලාපය තුල චීනයට එරෙහිව එක්සත් ජනපදයේ ප්‍රමුඛ කසකාරයා ය. ඉන්දියාවේ ආරක්ෂාවට බාධාවන කිසිදු ක්‍රියාවකට මෙරට තුල ඉඩ නොතබන බව සපථ කිරීමෙන් දිසානායක ඇඟවුම් කලේ, චීනයට එරෙහි අධිරාජ්‍යවාදී පිලිවෙත් සමග සිට ගැනීමේ සූදානමයි.

බලයට පැමිනි වහාම අනෙකුත් ධනේශ්වර පාලකයන් මෙන්ම මැතිවරන පොරොන්දු කුනුකූඩයට දැමූ දිසානායකගේ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු (අයිඑම්එෆ්) න්‍යාය පත්‍රය මුලුමනින්ම ක්‍රියාවට දමා තිබේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී පිලිවෙත් අනුව ගෝලීය ආර්ථික හැඩගැස්සවීම අරමුන කරගත් අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත් එලෙසම ක්‍රියාවට දැමීමට තම කැපවීම, ජවිපෙ එලෙස ක්‍රියාවෙන්ම සනාථ කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස ජනාධිපතිවරනයේදී ජයගත් දිසානායකට එවක එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ට්විටර් ඔස්සේ සුභපැතුම් එක් කරමින්, දිවයින තුල එක්සත් ජනපදයේ උත්සුකතාවන් සිහිපත්කර දුන්නේය.

එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ගෝලීය ප්‍රතිවාදියා වන චීනයට එරෙහි මිලිටරි වැටලීම තුල ඉන්දියන් සාගරයේ තීරනාත්මක සන්ධිස්ථානයක පිහිටි ලංකාවේ වැදගත්කම, බොහෝ කලකට පෙරතුව එක්සත් ජනපද අධිරාජයවාදය විසින් හඳුනාගෙන තිබෙන අතර, චීනය හා ලංකාවේ සබඳතා දුරස්ථ කරනුවස් බලපෑම් දැමීමට දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේදී මිලිටරිය සිදුකල යුද අපරාධ කඩතුරාව ලෙස යොදා ගෙන තිබේ. දැනටමත් ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමග මිලිටරි ගිවිසුම් දෙකක්- අත්කර ගැනීමේ සහ අන්තර් සේවා ගිවිසුම (ඒසීඑස්ඒ) සහ හමුදාවන්ගේ තරාතිරම සම්බන්ධ ගිවිසුම හෙවත් සෝෆා- අත්සන් කර තිබෙන අතර ඒවායින්, රටේ මුහුද, අහස හා වරායවල් ඇතුලු මධ්‍යස්ථානවලට එක්සත් ජනපද මිලිටරියට බාධාවකින් තොරව ප්‍රවේශවීමට අවසර සලසාදීමට මෙරට පාලකයන් බැඳී සිටී.

එක්සත් ජනදයේ ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් අනතුරුව දිසානායක හුස්මක් කටක් නොගෙනම, ට්විටර්/එක්ස් ඔස්සේ ඔහුට සුබ පැතුම් එක් කරමින් ඔහු හා එක්ව වැඩකිරීමට දිවුරා සිටියේය. ඊලග දින කීපයේදී. ඔක්තෝබර් මුදලදී, එක්සත් ජනපදය ෆැසිපික් නාවුක බලඇනියට අනදෙන නිලධාරී ස්ටීව් කොහෙලර්, නව ආන්ඩුව සමග මිලිටරි සබඳතා තරකර ගැනීමට ශ්‍රී ලංකාවට සංචාරය කලේ ය.

විශේෂයෙන්ම චීනයේ බලපෑමට අභියෝග කිරීම සඳහා, ඉන්දු-පැසිෆික් කලාපය තුල එක්සත් ජනපද මූලෝපායික උත්සුකතාවන් වෙතට ශ්‍රී ලංකාව අන්තර්ග්‍රහනය කිරීමට පාලන තන්ත්‍රයේ කැමත්ත, මෙම සංචාරය තුලදී පෙන්නුම් කෙරුනි. මෙම සබඳතා තවදුරටත් ශක්තිමක් කර ගැනීම සඳහා, දිසානායකගේ හා ඔහුගේ ආන්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව, දෙසැම්බර් මුලදී, දකුනු හා මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ලංකාවට සංචාරය කලේය.

දැන් ලෝකයේ සෑම රටකටම පාහේ එරෙහිව යුද ප්‍රකාශකර තිබෙන ට්‍රම්ප් පාලනය, දිසානායක ඇතුලු පාලන තන්ත්‍රයන් විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් තොරොම්බල් කරන ඊනියා සමතුලනය නොඉවසනු නැති බව දැනටමත් ඇඟවුම් කර ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්‍රමනශීලි බලපෑමට, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ කන්කෙඳිරිගෑමකින් හෝ තොරව යටත්වීමයි. ගාසා තීරය ඈදාගැනීමට තර්ජනය කරන ට්‍රම්ප්ට විරුද්ධව එකදු ප්‍රකාශයක් හෝ ජවිපෙ/ජාජබ ආන්ඩුවට නිකුත්කර නැත්තේ ඇයිද යන්න මෙමගින් පෙන්නුම් කරයි.

ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කල ආකාරයට අධිරාජ්‍යවාදයට දහසක් හුයපටින් ගැටගැසී ඇති ධනපති පාලන තන්ත්‍රවලට අධිරාජ්‍යවාදයට වචනයකින්වත් විරුද්ධ වීමේ හැකියාවක් ඇත්තේ නැත.

ලේවැකි අධිරාජ්‍යවාදී ආක්‍රමනයන්ට එරෙහිවීමේ එකම ශක්‍යතාව ඇත්තේ, ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනි. ඒ සඳහා ඔවුහු, යුද්ධය, ෆැසිස්ට්වාදය, ජනසංහාරය, ප්‍රජාතන්ත්‍රවාදීන් අයිතීන් වලලා දැමීම යන මේ සියල්ලේ මූලය වන ලාභ පිපාසිත ධනේශ්වර ක්‍රමය පෙරලා දැමිය යුතුය. එය කල හැකිවන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝකය පුරා එහි ජාතික ශාඛාවන් වන සමාජවාදී සමාජවාදී පක්ෂ විසින් සටන් වදින ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයෙන් හා වැඩපිලිවෙලින් සන්නද්ධවීමෙන් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *