ජනාධිපතිවරණයේදී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

[මෙය Vote Socialist Equality Party in Sri Lankan presidential election යන මැයෙන් 2024 සැප්තැම්බර් 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප), සැප්තැම්බර් 21 දා පැවැත්වෙන ජනාධිපතිවරනයේදී, තම වැඩපිලිවෙලට සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනයට සහයෝගය ප්‍රකාශ කරනුවස්, සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට—සසප පක්ෂ ලාංඡනය වන කතුරට—ඡන්දය දෙන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් සහ ගම්බද දුගී ජනතාවගෙන් ඉල්ලා සිටී.

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන 2024 අගෝස්තු 8 වන දින කොලඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්

කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට සත්‍යය පවසන්නේ සසප පමනි: ඔබ මුහුන දෙන දැවෙන ප්‍රශ්න—වර්ධනය වන දරිද්‍රතාවය, විරැකියාව, ගැඹුරු වන සමාජ අසමානතාවය සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දීම—ධනවාදයේ රාමුව තුල හෝ ජාතික රාජ්‍ය සීමාවන් තුල විසඳිය නොහැක.

අන් සියල්ලටත් වඩා, න්‍යෂ්ටිකව සන්නද්ධවූ බලවතුන් අතර නැගී එන ලෝක යුද්ධය සම්බන්ධයෙන් එය සත්‍යයකි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දැනටමත් පෙරමුනු දෙකක යුද්ධ—යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව සහ මැද පෙරදිග පුරා පැතිර යන ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරය—උසිගන්වා සහාය දී ඇත. මේ වන විට, එය චීනයට එරෙහිව තුන්වන පෙරමුනක් විවෘත කිරීමට දුරදිග යන සූදානමක නිරතව සිටී—මේ සියල්ල ඇමරිකානු ගෝලීය ආධිපත්‍යය ඉහල නැංවීමේ මංමුලා සහගත උත්සාහයන් ය.

මනුෂ්‍ය වර්ගයාට එරෙහි න්‍යෂ්ටික සංහාරයක වැඩෙන අන්තරාය ගැන අනෙකුත් කිසිදු අපේක්ෂකයෙකු වචනයක්වත් පවසා නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජනතාව අඳුරේ තැබීමට ය. කවුරුන් මැතිවරනය දිනුවත්, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, වොෂින්ටනයේ යුද සැලසුම් වලට දිවයින ඒකාබද්ධ කිරීමේ වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත දිගටම ගෙන යනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස සසප, යුද්ධයේ මූල හේතුව වන ධනවාදයත්, ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් බවට බෙදීමත් අහෝසි කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී අනෙකුත් ශාඛාවන් සමග සහයෝගයෙන් කටයුතු කරයි.

ධනේශ්වර පාලනය පෙරලා දමා සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කිරීමට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ විප්ලවවාදී ව්‍යාපාරයක් තුල ග්‍රාමීය දුගීන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා අපි සටන් කරන්නෙමු. යුද්ධය, කප්පාදුව සහ ආඥාදායකත්වය යන ව්‍යසනයන් අහෝසි කල හැක්කේ ඒ ආකාරයෙන් පමනි.

කම්කරු පන්තිය එක්සත් කිරීමේ දේශපාලන අරගලයේ දී සසප සියලු ආකාරයේ ජාතිකවාදයට, ජාතිභේදවාදයට සහ වර්ගවාදයට විරුද්ධ වේ. දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන සටනේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා සහ ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.

මෙම මැතිවරනයේ ප්‍රමුඛ ධනේශ්වර අපේක්ෂකයින්—එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ (සජබ) සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජාජබ) අනුර කුමාර දිසානායක—වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුනු කිරීම පිලිබඳව ඡන්දදායකයින්ට බොරු ගොන්නක් පවසා ඇත. තේරී පත් වුවහොත්, සෑම කෙනෙකුම ඔවුන්ගේ ව්‍යාජ පොරොන්දු ඉක්මනින් කුනු කූඩයට දමනු ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් සපුරාලීම සඳහා නව දැඩි ක්‍රියාමාර්ග පනවනු ඇත.

ඔවුන්ට ඉටු කල නොහැකි බව ඔවුන් ම දන්නා පොරොන්දු මහජනතාවට දෙන අතරම, මෙම සියලු ධනේශ්වර නියෝජිතයින් මහා ව්‍යාපාරිකයින්ට සහ විදේශීය ආයෝජකයින්ට ඔවුන්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කරන බවට සහතික කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3 ක ඇප නය සඳහා කොන්දේසි ක්‍රියාත්මක කිරීමට තිදෙනාම කැපවී සිටිති. මහජන සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවාවන්හි රුදුරු කප්පාදුව, රජය සතු ව්‍යවසායන් 400 කට අධික ප්‍රමානයක් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයක් විනාශ කිරීම මෙයට ඇතුලත් ය.

වික්‍රමසිංහ ආන්ඩුව මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් වලින් වැඩි කොටසක් තවමත් ක්‍රියාත්මක කිරීමට ඉතිරිව ඇත. ජාජබ/ජවිපෙ සහ වෙනත් අය විසින් ජාමූඅ නය සමඟ ලිහිල් කොන්දේසි නැවත සාකච්ඡා කිරීම පිලිබඳ සියලු කතා වංචාකාරී වේ. 1930 ගනන් වලින් පසු ඇති වූ දරුනුතම ගෝලීය ධනේශ්වර අර්බුදය මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ මීලඟ ධනේශ්වර ආන්ඩුවට, දැනටමත් ඉහල යන මිල ගනන්, රැකියා අහිමිවීම් සහ අත්‍යාවශ්‍ය සේවා හිඟකම නිසා දැඩි පීඩාවට පත්ව සිටින වැඩකරන ජනතාව මත නව බර පැටවීම හැර වෙනත් විකල්පයක් නැත.

කම්කරු පන්තිය හා පීඩිත ජනතාව ඊටත් වඩා දරුනු කප්පාදු පියවරයන් පැනවීම නොඉවසනු ඇත. මීලඟ ආන්ඩුවේ නොවැලැක්විය හැකි ප්‍රතිචාරය විය හැක්කේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතිවල පිහිට පැතීම සහ පොලිසිය, හමුදාව සහ මැර කල්ලි යොදා ගනිමින් වර්ජන සහ විරෝධතා ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම බව අපි අනතුරු අඟවමු. වික්‍රමසිංහ යටතේ දැනටමත් පැහැදිලිව ඇති ආඥාදායක පාලන රූපයන් වෙත හැරීම වඩාත් තීව්‍ර වනු ඇත.

සසප මැතිවරනයට පෙනී සිටින්නේ ඉදිරි පන්ති සටන් සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමට ය. එසේ කිරීමේදී, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පලවා හල වැඩ වර්ජන සහ මහජන විරෝධතා ඇතුලු 2022 නැගිටීමේ දේශපාලන පාඩම් උකහා ගැනීම අවශ්‍ය වේ. එම ව්‍යාපාරය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය හෙලිදරව් කල අතරම, එහි දේශපාලන දුර්වලතා ද හෙලිදරව් කලේ ය. සජබ සහ ජාජබ/ජවිපෙ ඇතුලත් ‘අන්තර්වාර ආන්ඩුවකින්’ සියලු ප්‍රශ්න විසඳන බව ප්‍රකාශ කල වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම සංවිධාන විසින් විරෝධතාවයේ නිරත කම්කරුවන් සහ දුගීන් එම වැඩපිලිවෙලට යටත් කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධීව ස්ථාපනය වීම සහ සමාජ විනාශයයි.

2022 අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා, ශ්‍රී ලංකාවේ කොලඹදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිදුකල වැඩවර්ජනයක් [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තුව හා ධනේශ්වර විරුද්ධ පක්ෂ දෙසට යොමු කිරීමට උත්සාහ කරන අතරම, පෙසප සහ අනෙකුත් සුලු ධනේශ්වර වම්මු සසපට දැඩි ලෙස විරුද්ධ වූහ. ඔවුන්ගේ “දේශපාලනය එපා” යන සටන් පාඨය සියල්ලටත් වඩා සසප විප්ලවවාදී සමාජවාදී දේශපාලනය බැහැර කිරීමේ උත්සාහයකි. ඔවුන්ගේ වාරනය නොසලකා හරිමින් සසප, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ දේශපාලනිකව ස්වාධීන ව්‍යාපාරයක් සඳහා වැඩ වර්ජන හා විරෝධතා දක්වන කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් අතර අඛන්ඩව උද්ඝෝෂනය කලේය.

පසුගිය දෙවසර පුරා පැමිනි වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් රැල්ලක් පාසා, ඒවාට අනුබද්ධ ධනේශ්වර පක්ෂ වෙනුවෙන් ක්‍රියා කරන වෘත්තීය සමිති විසින් සීමා කර, හුදකලා කර, පාවා දී ඇත. ජවිපෙ විසින් මෙහෙයවන වෘත්තීය සමිතිවල භූමිකාව ගැන අපි විශේෂයෙන් අනතුරු අඟවන්නෙමු. ඒවා වැඩ වර්ජන පාවාදීමේ දී ප්‍රමුඛ වූවා පමනක් නොව, ජාජබ/ජවිපෙ බලයට පත්වීම සඳහා මැතිවරනයට පෙර සියලු කාර්මික ක්‍රියාමාර්ග වසා දැමීමේ ජවිපෙ අනට අනුව කටයුතු කලේය. මැතිවරනයෙන් කවුරුන් ජයග්‍රහනය කලත්, පාලක පන්තියට තම වටිනාකම ඔප්පු කර පෙන්වීමට ජාජබ/ජවිපෙ දරන උත්සාහයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ජාමූඅ න්‍යාය පත්‍රයට එරෙහි විරෝධය ජවිපෙ වෘත්තීය සමිති විසින් දැඩි ලෙස යටපත් කරනු ඇති බවයි.

කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගේ විරුද්ධත්වය පීලි පැන්නවීමට තැත් කිරීමේදී පෙසප ද නින්දිත දේශපාලන භූමිකාවක් ඉටු කරනු ඇත. එහි ප්‍රමුඛ සාමාජිකයෙකු වන නුවන් බෝපගේ ජන අරගල සන්ධානයේ (ජඅස)—එවැනිම බංකොලොත් ව්‍යාජ-වාම අවස්ථාවාදී එකතුවකි—අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටී. එහි ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතිගාමී ස්ටැලින්වාදී අදියර දෙකේ තවත් අනුවාදයකි—පලමුව ක්ෂනික කර්තව්‍යයන් සඳහා “ප්‍රගතිශීලී” ධනේශ්වරය සමග සන්ධානයක්, සහ ඈත අනාගතයේ දී පමනක් සමාජවාදය සඳහා අරගලය.

ලියොන් ට්‍රොට්ස්කි ශතවර්ෂයකට පෙර සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුලින් පෙන්නුම් කල පරිදි, ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා කැපවූ ‘ප්‍රගතිශීලී’ අංශයක් ධනේශ්වරය තුල නොමැත—සියල්ලන්ම කම්කරු පන්තියේ ඕනෑම මහජන ව්‍යාපාරයකට ගැඹුරින් ම සතුරු ය. අද එක්සත් ජනපදය ඇතුලු ලොව පුරා පාලක පන්තීන් අත්තනෝමතික පාලනයට හා ෆැසිස්ට්වාදයට හැරෙමින් සිටිති. 2022 දී නොපවත්නා “ප්‍රගතිශීලී” ධනේශ්වර පක්ෂ පසුපස පෙසප හඹා යාමේ ප්‍රතිඵලය වූයේ වික්‍රමසිංහ බලයට පැමිනීමය. ඕනෑම නව නැගිටීමකදී, පෙසප දේශපාලන මාවත වඩාත් නරකට තුඩුදෙනු ඇති බවට අපි අනතුරු අඟවන්නෙමු.

අතීතයේ සෑම අර්බුදයකදීම සිදු කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සහ එහි පක්ෂ කම්කරු පන්තිය බෙදීමේ ප්‍රයත්නයක් ලෙස දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහිව යොමු වූ සිංහල වර්ගවාදය වෙත යොමු වනු ඇත. සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ මෙම දේශපාලන වසවිස දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලෙසයි. දිවයින විනාශ කල, ලක්ෂ සංඛ්‍යාත ගනනක් මිය ගිය, තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබූ සහ ආබාධිත කල තවත් භාතෘ-ඝාතක 26 වසරක යුද්ධයකට ඇද දැමීම ශ්‍රී ලංකාවේ මහජනතාවට දරාගත නොහැක.

සසප ට හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට, වර්ගවාදී දෙමල විරෝධී යුද්ධයට විරුද්ධ වීම සහ දෙමල හා මුස්ලිම් ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ දීර්ඝ වාර්තාවක් ඇත. එහෙත් වත්මන් මැතිවරනයේ දී විශේෂයෙන් දෙමල ප්‍රභූන්ගේ නින්දිත වර්ගවාදී දේශපාලනයට ද අපි විරුද්ධ වෙමු. දෙමල කම්කරුවන් සහ ගම්බද දුගීන් ඔවුන්ගේ සිංහල හා මුස්ලිම් පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්ව පීඩා විඳිද්දී—අයිටීඒකේ, ප්ලොට්, ටෙලෝ, ඊපීආර්එල්එෆ්, ටීපීඑන්ඒ සහ අනෙකුත්—අසංඛ්‍යාත දෙමල ධනේශ්වර පක්ෂවලට ඔවුන්ගේ උපායික වෙනස්කම් කුමක් වුවත්, එකම අරමුනක් ඇත: දෙමල වැඩකරන ජනතාවගේ වියදමින් දෙමල ප්‍රභූන්ට වැඩි බලතල සහ වරප්‍රසාද සඳහා මීලඟ කොලඹ ආන්ඩුවට සහ මහ බලවතුන්ට පීඩනය යෙදීම සහ ඔවුන්ගෙන් හිඟමන් යැදීමයි.

සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඒවායේ වෘත්තීය සමිතිවලින් සම්පූර්නයෙන්ම ස්වාධීනව, සෑම වැඩපොලකම, කම්හලකම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනඟනු! කම්කරු පන්තිය සමඟ එක්ව සටන් කිරීමට ග්‍රාමීය දුගීන් අතර ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සහාය වෙමු!

ලොව පුරා කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමේ ජාත්‍යන්තර කමිටුවේ ව්‍යාපාරයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සසප දැනටමත් ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පටන් ගෙන ඇත.

සසප පහත ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටී:

  • ජාමූඅ කප්පාදු එපා! සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු!
  • කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කරනු!
  • පුද්ගලීකරනය ඉලක්ක කරගත් සියලුම රජය සතු ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු!
  • ග්‍රාමීය ගොවීන් සහ දුගීන් සඳහා සහනාධාර සහ සමාජ වැඩසටහන්!
  • කම්කරු පන්තියේ සමගිය! සියලු ආකාරවල වර්ගවාදය සහ ප්‍රජාගනවාදය ප්‍රතික්ෂේප කරනු! සියලුම පීඩිත කොටස්වල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු!
  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!

සසප සිය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල ප්‍රවර්ධනය කිරීම සඳහා මැතිවරනයට ඉදිරිපත් වන අතර, කම්කරු පන්තියට, පාර්ලිමේන්තුව හෝ ධනේශ්වර රාජ්‍යය හරහා තම අවශ්‍යතා ඉදිරියට ගෙන යා හැකිය යන මාරාන්තික මිත්‍යාව අපි ප්‍රතික්ෂේප කරමු. ධනේශ්වරයේ සියලු කන්ඩායම්වල කුමන්ත්‍රන සහ සැලසුම් වලට එරෙහිව තම පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීමට වැඩ කරන ජනතාවට ඔවුන්ගේම සංවිධාන අවශ්‍ය වේ.

2022 නැගිටීම අතරතුර, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වූ කැඳවීම සසප විසින් ආරම්භ කරන ලදී. එම කැඳවුම අද දැවෙන හදිසි ස්වභාවයක් ගනී. කම්කරු පන්තිය, දේශපාලන ප්‍රාරම්භකත්වය පාලක පන්තිය හා එහි පක්ෂ අතට පත්වීමට ඉඩ හැරියහොත්, එහි ප්‍රතිඵලය විය හැක්කේ ව්‍යසනයක් පමනි.

අප කියන්නේ ඔබ අපේ වැඩපිලිවෙලට එකඟ නම් දැන්ම ක්‍රියාත්මකවන ලෙස යි.

ඔබේ දේශපාලන සහයෝගය පෙන්වීමට සසපට සහ අපගේ අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන්න!

ඡන්දය වැදගත් නමුත් එයින් කිසිවක් විසඳෙන්නේ නැත. ඔබ ජීවත් වන හෝ වැඩ කරන ස්ථානයේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට පටන් ගන්න! ඔබට දේශපාලන උපකාර අවශ්‍ය නම් සසප අමතන්න!

ඔබ පාසැල් හෝ විශ්වවිද්‍යාල තරුනයෙකු නම්, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමග එක්වන්න! ඔබ සිටින ස්ථානයේ ශාඛාවක් නොමැති නම්, සසජාතශි හා සම්බන්ධ වී එවැන්නක් ගොඩ නගන්න!

අපගේ ඉතිහාසය සහ වැඩපිලිවෙල අධ්‍යයනය කරන්න. ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන්න; එවිට ඔබට ඉදිරි සටන් සඳහා දේශපාලනිකව දැනුවත් විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *