ජනාධිපති දිසානායකගේ ආන්ඩුව විසින්, ලක්‍ෂ 14 ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් අත්හිටුවීමට එරෙහි වෙනු!

ජනාධිපති දිසානායකගේ ආන්ඩුව විසින්, ලක්‍ෂ 14 ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් අත්හිටුවීමට එරෙහි වෙනු!
ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

[මෙය Oppose Sri Lankan government’s suspension of salary increase for 1.4 million state employees! යන මැයෙන් 2024 ඔක්තෝබර් 22 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මිලියන 1.4 කට අධික රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා 2025 ජනවාරි මස සිට ගෙවීමට නියමිතව තිබූ, කලින් පැවති වික්‍රමසිංහ ආන්ඩුව විසින් පූර්වයෙන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රමානවත් නොවන වැටුප් වැඩිවීමක්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව විසින් අත්හිටුවා ඇත.

වික්‍රමසිංහ පොරොන්දු වූ වැටුප් වැඩිවීම නැවත සලකා බැලිය යුතු බව, කැබිනට් අමාත්‍ය සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දේශපාලන මන්ඩල සභික විජිත හේරත් ඔක්තෝබර් 15 දා මාධ්‍යයට පැවසීය.

පෙර තීරනය ගෙන ඇත්තේ, මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු විමසීමකින් තොරව සහ රටේ මූල්‍ය තත්වය සැලකිල්ලට නොගෙන බව හේරත් කියා සිටියේ ය. “අපට මූල්‍ය තත්වය විමසා තීරනයක් ගැනීමට සිදුවනු ඇත” යි ඔහු පැවසීය.

සරල භාෂාවෙන් කිවහොත්, පසුගිය සිවුවසර තුල ජීවන වියදමේ දැවැන්ත වැඩිවීම් සමග ඉතා අසීරුවෙන් පොරබැදූ කම්කරුවන් සඳහා දැනටමත් එකඟ වී තිබූ වැටුප් වැඩිවීම අත්හිටුවීමට නව ජවිපෙ/ජාතික ජන බලය (ජාජබ) ආන්ඩුව තීරනය කර ඇත.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ තීරනයට විරුද්ධ වන ලෙස සහ මෙම ප්‍රහාරයට එරෙහිව සටන් කිරීමට පියවර ගැනීමට සූදානම් වන ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ක්‍රිකසා) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. ක්‍රිකසා යනු වතුකරයේ, ඇඟලුම් අංශයේ, දුම්රිය, වරාය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සංක්‍රමනික කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල සන්ධානයකි.

පැහැදිලි අනතුරු ඇඟවීමක් කල යුතුය. “මූල්‍ය තත්වය” යහපත් වන තුරු රාජ්‍ය අංශයේ සේවකයන් වැටුප් වැඩිවීමක් අපේක්ෂා නොකල යුතු බවට හේරත් කල ප්‍රකාශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) සහ ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ කප්පාදු ඉල්ලීම්වලට සෘජුවම ගැලපේ. එමෙන්ම, මෙම ප්‍රහාරය රාජ්‍ය අංශයේ සේවකයන්ට පමනක් සීමා නොවී පෞද්ගලික අංශයේ සේවකයන්ට ද පටවනු ඇත.

වික්‍රමසිංහ තන්ත්‍රය බලයේ සිටියදී, ජාමූඅ ප්‍රතිපත්ති නිර්දය ලෙස ක්‍රියාවට නංවා, සුබසාධනය සඳහා රාජ්‍ය අරමුදල් කප්පාදු කර, දඬුවම්කාරී බදු පනවා සහ රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කරා ගමන් කලේය. වික්‍රමසිංහ, පොලිසිය හා හමුදාව බලමුලු ගන්වමින්, කම්කරුවන් තම වැඩි වැටුප් සහ රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා දියත් කරන කාර්මික ක්‍රියා නැවැත්වීමට, කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා නීති ක්‍රියාවට නැංවීය.

ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්තියේ ප්‍රධාන කොටස්වල ආශිර්වාදය ඇතිව බලයට පත් වූ නව ජනාධිපති දිසානායක, තමා දිගටම කරගෙන යන්නේ වික්‍රමසිංහගේ ප්‍රතිගාමී න්‍යාය පත්‍රය ම බව පැහැදිලි කරමින් සිටී.

එකඟ වූ වැටුප් වැඩි කිරීම තම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනය කිරීමට උත්සාහ කරමින්, හේරත් පැවසුවේ, “[ජනාධිපතිවරන] ඡන්ද විමසීමට ආසන්නව” කැබිනට් මන්ඩලය විසින් ලබා දුන් මෙම පොරොන්දුව, වික්‍රමසිංහට ඡන්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කරන ලද්දක් බව ය. “අපි [ජවිපෙ/එන්පීපී] කවදාවත් මේ වගේ දෙයක් කිව්වේ නැහැ,” හේරත් ප්‍රකාශ කලේය.

වික්‍රමසිංහ ඡන්ද දිනා ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරමින් සිටියදී, ජූලි 8-9 දිනවල මිලියනයක් රාජ්‍ය සේවකයින් දෙදින අසනීප නිවාඩු වැඩ වර්ජනයක නිරත වීමෙන් පසු මෙම ප්‍රමානවත් නොවන වැටුප් වැඩි කිරීම ප්‍රකාශ කිරීමට ඔහුට සිදුවිය. වැඩි මාසික වැටුප් සහ වැඩිදියුනු කරන ලද කොන්දේසි සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම, 2023 මුල සිට පැවැත්වුනු වැඩවර්ජන සහ විරෝධතා මාලාවක වඩාත්ම මෑතකාලීන සිදුවීම විය.

සංවර්ධන නිලධාරීන්, මිනින්දෝරුවන්, ග්‍රාමීය හා රාජ්‍ය පරිපාලන කාර්යාල සේවකයන්, තැපැල් සේවකයන්, ගොවිපල පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය සේවකයින් ඇතුලත් වූ ජූලි 8-9 ක්‍රියාව, රාජයේ කාර්යාලවල සහ පාසල්වල එදිනෙදා කටයුතු බොහොමයක් ඇනහිටවූ සහ රාජ්‍ය අංශයේ විශ්‍රාමික සේවකයින් පවා සහභාගි වූ එකකි.

වික්‍රමසිංහ තන්ත්‍රය විසින් නිකුත් කරන ලද අගෝස්තු 14 ප්‍රකාශයට අනුව, 2025 ජනවාරියේ සිට රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා මූලික වැටුප් සියයට 24 ත් 50 ත් අතර ප්‍රමානයකින් වැඩිවීමට නියමිත විය. මෙයින් අදහස් වන්නේ, අවම මාසික දල වැටුප රුපියල් 55,000 ක් සහ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 ක් වන අතර වාර්ෂික වැටුප් වර්ධකය දෙගුන වනු ඇති බවයි.

නමුත්, යෝජිත වැටුප් වැඩිවීම ගෙවනු ලැබුවද, 2022 සිට සිදුවී ඇති ජීවන වියදමේ දැවැන්ත වැඩිවීම් හරහා මූර්ත වැටුප්වල සිදු වූ දැවැන්ත ඛාදනය හානිපූරනය නොවනු ඇත.

උද්ධමනය හේතුවෙන් කම්කරුවන්ගේ මූර්ත වැටුප්, 2022 දී සියයට 27 කින් සහ 2023 දී සියයට 22 කින් පහත වැටුනි. 2022 අප්‍රේල්-ජූලි මාසවල රාජපක්ෂ පාලනයට එරෙහිව පැන නැඟුනු මහජන නැගිටීමට හේතු වූ පසුබිම මෙය යි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2022 දී සිවුදෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් වීමට මසකට රුපියල් 88,704 ක් අවශ්‍ය වූ අතර 2023 දී එය රුපියල් 103,283 ක් විය.

මෙම දැවැන්ත සමාජ ප්‍රහාරයට ජවිපෙ වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති නායකත්වයේ ප්‍රතිචාරය කුමක් වීද?

ඔවුන් කම්කරු පන්තියේ කැකෑරෙන කෝපය පාලනය කර ගැනීම සඳහා සීමිත එක්දින මහා වැඩවර්ජන දෙකක් කැඳවූ අතර, එය ජවිපෙ/ජාජබ සහ සමගි ජන බලවේගය (සජබ) විසින් අන්තර්වාර පාලනයක් සඳහා කරන ලද කැඳවුම් තුලට හරවා යැවීය.

මහජන විරෝධතා නිසා ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට බල කෙරුනද, වෘත්තීය සමිති විසින් සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් අවහිර කලේය; එය, අපකීර්තිමත් පාර්ලිමේන්තුව මගින් එක්සත් ජනපද-ආවතේවකාර වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ඔසවා තැබීමට මග පෑදීය.

ජවිපෙ/ජාජබ තම සැබෑ ස්වභාවය හෙලිදරව් කරමින්, මෙම වසරේ ජනාධිපතිවරන ව්‍යාපාරයේ දී වැටුප් වැඩිකිරීමේ සියලු ඉල්ලීම්වලට විරුද්ධ විය.

සැප්තැම්බර් 4 දා කර්මාන්තකරුවන් හා ව්‍යාපාරිකයින්ගේ රැස්වීමක් අමතමින්, දිසානායක, රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමක් ලබා දෙන බවට පොරොන්දු වීම ගැන වික්‍රමසිංහ හා ඒ හා සමාන ප්‍රතිඥා දීම සම්බන්ධයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස හෙලා දුටුවේය.

දිසානායක, තම පක්ෂය “බැරෑරුම් නොවන” කවර හෝ පියවරක් නොගන්නා බවත්, “ආර්ථිකය අස්ථාවර කෙරෙන කිසිවක් නොකර” ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම මත විශ්වාසය තැබිය හැකි බවත් අවධාරනය කලේ ය.

පොරොන්දු වූ වැටුප් වැඩිවීම දිසානායක පාලනය විසින් ලබා නොදෙන බව හේරත් ප්‍රකාශ කර දැන් සතියකි. එයට වෘත්තීය සමිති නායකත්වය ප්‍රතිචාර දක්වා ඇත්තේ මරනීය නිහඬතාවයකිනි. මෙය අහම්බයක් නොවේ.

රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා සංගම් සාමූහිකය, තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන, සෞඛ්‍ය සේවක සන්ධානය, ලංකා ගුරු සංගමය සහ ජවිපෙ මගින් පාලනය වන සමහර වෘත්තීය සමිති මේ වසරේ ජූලි 8-9 වැඩ වර්ජන කැඳවූ නමුත් ජාමූඅ කප්පාදුවට එරෙහිව බලමුලු ගැන්වීම ප්‍රතික්ෂේප කලේය. ඇත්ත වශයෙන්ම, වෘත්තීය සමිති නිලධරය වික්‍රමසිංහ තන්ත්‍රයට නිෂ්ඵල ආයාචනා කිරීම් වලට මෙම ක්‍රියාවන් කොටු කරමින්, ඒවා සීමා කිරීමට, විසුරුවා හැරීමට සහ හුදකලා කිරීමට ක්‍රියා කලේය.

මේ වසරේ රාජ්‍ය අංශයේ දෙදින වැඩවර්ජනයෙන් පසුව ජනහමුවක් අමතමින්, ජවිපෙ ට අයත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන කේ.ඩී. ලාල් කාන්ත, එවන් වැඩවර්ජන දිසානායකගේ ජනාධිපති අපේක්ෂකත්වයට හානිකර බව ප්‍රකාශ කරමින් සියලු කාර්මික ක්‍රියාමාර්ග නතර කරන ලෙස කැඳවුම් කලේය. ලාල් කාන්තගේ කැඳවීමට අවනත වූ වෘත්තීය සමිති දැන් නිහඬව ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ජාමූඅ ගැති කප්පාදු පිලිවෙත් වලට සිය සහය පලකරයි.

මෙම ධනේශ්වර ආන්ඩුව මුහුන දෙන “මූල්‍ය තත්වය” යහපත් වන තෙක් කම්කරුවන් බලා සිටිය යුත්තේ ඇයි?

මෙයින් අදහස් කෙරෙන්නේ, මූර්ත වැටුප්වලට ප්‍රහාර එල්ල කිරීම, වඩාත් ම්ලේච්ඡ බදු පැටවීම, මිලියන ගනනක් කම්කරුවන් යැපෙන රාජ්‍ය සංස්ථා සහ සමාජ සේවා කුනු කොල්ලයට පුද්ගලීකරනය සහ රාජ්‍ය අංශයේ රැකියා සිය දහස් ගනනක් විනාශ කරමින් ජාමූඅ ප්‍රහාර තව දුරටත් තීව්‍ර කිරීමකි.

ජනාධිපති දිසානායකගේ ආන්ඩුව විසින්, ලක්‍ෂ 14 ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් අත්හිටුවීමට එරෙහි වෙනු!

රාජ්‍ය අංශයේ සේවකයන්ට පමනක් නොව සමස්ත කම්කරු පන්තියට හා ග්‍රාමීය ජනතාවට එරෙහිව එල්ල කෙරෙන, දිසානායක පාලනයේ දුෂ්ට සමාජ ප්‍රහාරයට එරෙහිව සටන් කරන ලෙස අපි සියලුම රාජ්‍ය අංශයේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. මේ සටනට පෞද්ගලික අංශයේ සේවකයන් ද එක්විය යුතු ය.

මෙම අරගලය ගෙන යාමේදී කම්කරුවන්ට වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැකි අතර මෙම දූෂිත ධනේශ්වර-ගැති උපකරන වලින් ස්වාධීනව සංවිධානය විය යුතුය.

මේ සඳහා වෘත්තීය සමිති උපකරනයේ සියලුම නියෝජිතයින්ගෙන් ස්වාධීනව, සෑම වැඩපලකම, වතුකරයේ සහ අනෙකුත් සෑම ප්‍රධාන කම්කරු පන්තික මධ්‍යස්ථානයකම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අවශ්‍ය වේ. අපි මෙසේ අවධාරනය කරමු:

* “අනුමත වැටුප් වැඩි කිරීමට අත නොතබනු!” යැයි කම්කරුවන් ඉල්ලා සිටිය යුතු ය. ගෙවන ලද වැටුප් වල මූර්ත වටිනාකමේ ඛාදනය හානිපූරනය වන පරිදි වැටුප් වැඩිවීම්. ජීවන වියදමට සරිලන පරිදි සියලුම වැටුප් වැඩි කරනු!

* ජාමූඅ කප්පාදු එපා! සියලුම විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු!

* පෞද්ගලීකරනයට එරෙහි වෙමු! පෞද්ගලීකරනයට මුහුන දෙන සියලුම රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කල යුතුය!

* සියලුම ජාතික හා වාර්ගික බෙදීම් ප්‍රතික්ෂේප කරනු! කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා!

කම්කරුවන්ගේ හා දුගීන්ගේ සියලු සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිලිවෙලට ක්‍රිකසා සහාය දක්වයි. එයට පහත කරුනු ඇතුලත් වෙයි:

* කම්කරු පන්තිය සූරාකෑම හරහා ධනවත් ප්‍රභූන් සමුච්ඡය කරගත් දැවැන්ත ධනය අත්පත් කර ගැනීම

* බැංකු, මහා සමාගම් සහ වතුයායන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම

කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් සහ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් හා ගම්බද දුගීන් අතර ගොඩනගන ඒ හා සමාන කමිටු වලින් තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පාදක වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම හරහා මෙම අරගලය සංවිධානය කල යුතුය.

සෑම රටකම කම්කරුවන් තම සමාජ කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලයට පැමිනෙමින් සිටින අතර, ඔවුන් පිය නගමින් සිටින්නේ, ග්‍රහලෝකය ව්‍යසනකාරී න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කරා ගෙන යන අධිරාජ්‍යවාදී බලවතුන් සමග ගැටීමේ මාවතක ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෝලීය ධනවාදයේ ප්‍රහාරයටත්, එහි යුද්ධය හා සමාජ අසමානතාවය දෙසට වන ධාවනයටත් එරෙහිව ජාත්‍යන්තරව මෙම අරගල සම්බන්ධීකරනය කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) ආරම්භ කර ඇත. මෙම ජාත්‍යන්තර අරගලය ගෙන යාමට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු එකතු වී කක්‍රික-ජාස ගොඩනැගිය යුතුය.

ඔබගේ සේවා ස්ථානයේ ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට, +94773562327 අංකයට දුරකථනයෙන් හෝ WhatsApp හරහා අප සමග සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *