ජනාධිපති දිසානායක ජාමූඅ නියෝග මත සැකසූ කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි

සමන් ගුනදාස විසිනි.
[මෙය Sri Lankan President Dissanayake presents IMF-dictated austerity budget යන මැයෙන් 2025 පෙබරවාරි 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක, පෙබරවාරි 17 වන දින, සිය 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු අප්‍රේල් 1 වන දින සිට එහි නිර්දේශ ක්‍රියාත්මක වනු ඇත.
පැය දෙකහමාරක කතාව අතරතුර දිසානායක මෙසේ පැවසීය: “පොදුජන අරගල සහ පසුගිය වසරේ පැවැති මැතිවරනවලදී ජනතාව තම දේශපාලන අයිතීන් තහවුරු කර ගත්තා. දැන් අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් ද තහවුරු කිරීමයි. මෙම අයවැයේ දර්ශනය වන්නේ එයයි.”
ශ්‍රී ලාංකික මාධ්‍ය තුල ‘ජනතා හිතකාමී’ අයවැයක් ලෙස ප්‍රශංසාමුඛයෙන් ප්‍රතිරාවය කරන මෙම ප්‍රකාශ, අරටුවට ම සාවද්‍ය වේ.
පලමුවෙන්ම, අයවැය, ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් ‘තහවුරු කිරීම’ සමඟ කිසිදු සම්බන්ධයක් නැත; ඒ වෙනුවට එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග සහ එහි ඩොලර් බිලියන 3 හි ඇප නය වෙනුවෙන් ඉල්ලා සිටින ම්ලේච්ඡ කප්පාදු පියවර අනුගමනය කරයි.
2022 අප්‍රේල් මාසයේ දී, රාජපක්ෂ ආන්ඩුව විදේශ නය පැහැර හැරීම ප්‍රකාශයට පත් කලේ ය; එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එවැන්නක් සිදුවූ පලමු අවස්ථාව විය. කෝවිඩ්-19 වසංගතයේ සහ යුක්‍රේන යුද්ධයේ බලපෑම යටතේ රටේ විදේශ සංචිත ක්ෂය විය. පසු ව බලයට පැමිනි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, 2023 මාර්තු මාසයේදී ජාමූඅ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ආරම්භ කලේය.
ශ්‍රී ලංකාව සඳහා වන ජාමූඅ කාර්ය මන්ඩලයේ ප්‍රධානී පීටර් බෲවර් පසුගිය නොවැම්බර් මාසයේ දී පැහැදිලි කල පරිදි, නය මුදලේ ඊලඟ වාරිකය ගෙවීම රඳා පවතින්නේ, “2025 අයවැය, (ජාමුඅ) වැඩසටහනේ අරමුනුවලට අනුකූලව ඉදිරිපත් කිරීමත්,” නය ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ “ප්‍රමානවත් ප්‍රගතියක්” පෙන්නුම් කිරීමත් මත ය.
දෙවනුව, දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ), ජනාධිපතිවරනය සහ මහ මැතිවරනය ජයග්‍රහනය කලේ, දේශපාලන සංස්ථාපිතයේ සාම්ප්‍රදායික පක්ෂවල විරුද්ධවාදීන් ලෙස පෙනී සිටිමින් සහ ජාමූඅ සමඟ නැවත කේවල් කිරීමට පොරොන්දු වෙමිනි. ඒ සමඟම, ශ්‍රී ලංකාවේ ධනවාදය ආරක්ෂා කරන බවටත්, කම්කරු පන්තියේ සියලු අරගල මර්දනය කරන බවටත්, ජවිපෙ/ජාජබ, පාලක ප්‍රභූවට සපථ කලේ ය.
දිසානායකගේ අයවැයේ සැබෑ “දර්ශනය” වන්නේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනය වෙනුවෙන්, සියලු වැඩ කරන ජනතාවගේ රැකියා, සමාජ තත්වයන් සහ මූලික අයිතිවාසිකම්වලට එල්ල කරන වඩා රුදුරු ම්ලේච්ඡ ප්‍රහාරයන් ය.
ඔහුගේ සමස්ත අයවැය වියදම රුපියල් ට්‍රිලියන 7 ඉක්මවන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එහි නය ගැනීම රුපියල් ට්‍රිලියන 4 කට සීමා වේ. විවිධ බදු සහ අනෙකුත් පියවරයන් හරහා, රජයේ ආදායම, පසුගිය වසරේ රුපියල් ට්‍රිලියන 4 සිට රුපියල් ට්‍රිලියන 4.96 දක්වා ඉහල යනු ඇතැයි එය පුරෝකථනය කෙරේ.
2023 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 ක් වූ ප්‍රාථමික අයවැය අතිරික්තය, 2025 දී සියයට 2.3 දක්වා ඉහල නංවමින් සහ 2023 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 ක් වූ අයවැය හිඟය අඩු කරමින්, ආදායම වැඩි කරන ලෙස ජාමූඅ ආන්ඩුවට නිර්දේශ කර තිබේ.
මෙම ඉලක්ක සපුරා ගැනීමට නම්, ජවිපෙ/ජාජබ ආන්ඩුව, 2025 දී එහි ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් වත්මන් සියයට 10 සිට සියයට 15 දක්වා වැඩි කල යුතු අතර වියදම් කපා හැර රාජ්‍ය අංශය අඩු කල යුතුය. හිඟය දැනටමත් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.7 දක්වා අඩු කර ඇති බව දිසානායක කියා සිටී.
මෙම අගය ජයග්‍රහනයක් ලෙස ඉදිරිපත් කරමින් දිසානායක පාර්ලිමේන්තුවට පැවසුවේ, ශ්‍රී ලංකාව “2028 සිට ඉදිරියට නය සේවා ගෙවීම් ක්‍රමයෙන් වැඩි කිරීම සපුරාලීමට හොඳින් ස්ථානගත වී සිටින” බවයි. මෙය ජාමූඅ සහ ජාත්‍යන්තර නයදෙන මිනී මෝරුන්ගේ ප්‍රධාන ඉල්ලීම ය.
ආන්ඩුව සැලසුම් කල වියදම් කප්පාදුව සාක්ෂාත් කර ගැනීම සඳහා දිසානායක කුරිරු සමාජ පියවර මාලාවක් යෝජනා කලේ ය. ජවිපෙ/ජාජබ තන්ත්‍රය රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය සහ වානිජකරනය සඳහා හෝල්ඩින් සමාගමක් ස්ථාපිත කරන අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පනතක් (Public Private Partnership bill) හඳුන්වා දෙනු ඇත; එමඟින් මෙම රාජ්‍ය ව්‍යවසායන් රජයේ මුදල් වෙන් කිරීම් සහ ලක්ෂ සංඛ්‍යාත රැකියා අහෝසි කරනු ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේ දී, ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ මහා ව්‍යාපාරික ලංකා වානිජ මන්ඩලයේ (සීසීසී) ප්‍රධානියා වන දුමින්ද හුලංගමුව පැවසුවේ, ආන්ඩුව රජයේ වත්මන් ශ්‍රම බලකාය මිලියන 1.3 සිට 750,000 දක්වා අඩු කරමින් රාජ්‍ය අංශයේ රැකියා 550,000ක් විනාශ කිරීමට සැලසුම් කර ඇති බවයි. ‘කාර්යක්ෂමතාව’ වැඩි කිරීම සඳහා ඉතිරි කාර්ය මන්ඩලය වෙනුවෙන් ‘තරඟකාරී වැටුප්’ හඳුන්වා දීමට ද සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය. සීසීසී ය දිසානායකගේ අයවැය කතාවට ප්‍රතිචාර දක්වමින්, එහි ‘දෘඨ යෝජනා’ පිලිගත්තේ ය.
සඳුදා අයවැය ඉදිරිපත් කිරීමට පෙර ම, ස්ථාවර තැන්පතු සඳහා රඳවා ගැනීමේ බදු සියයට 5 සිට සියයට 10 දක්වා දෙගුන කරන බවත්, මත්පැන් නිෂ්පාදන සඳහා සුරාබදු සියයට 6 කින් වැඩි කරන බවත්, සිගරට් හා අනෙකුත් දුම්කොල නිෂ්පාදන මෙන්ම පාන වර්ග සඳහා ද බදු වැඩි කරන බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කලේය. රඳවා ගැනීමේ බදු වැඩිවීම ස්ථාවර තැන්පතු ගිනුම්වලින් ලැබෙන පොලිය මත යැපෙන විශ්‍රාමිකයින්ට දැඩි ලෙස බලපා ඇත.
යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඇතුලු වාහන ආනයනය සඳහා වූ බදු ද, පැවති සියයට 300 සිට සියයට 400 සහ සියයට 600 දක්වා වැඩි කරන ලදී. මේවා පැනවෙන්නේ, ඉන්ධන, භාන්ඩ හා සේවා සඳහා කලින් පනවන ලද සියයට 18 ක එකතු කල අගය මත බද්දට (වැට්) සහ ආහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 64 ක් සඳහා විශේෂ වෙලඳ භාන්ඩ බද්දට අමතරව ය.
මහා ව්‍යාපාර සහ ධනවතුන්ගෙන් ඈත් නොවීමට අධිෂ්ඨාන කරගෙන සිටින දිසානායක, ශ්‍රී ලංකාවේ සංගත බදු අනුපාත සියයට 15 ත් 30 ත් අතර මට්ටමක තබා ගත් අතර නව වස්තු හෝ දේපල බදු යෝජනා නොකලේය. එසේම, ආන්ඩුව අතිරේක ආධාර ලබා දෙන බව ද මහා ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට දන්වන ලදී.
මෙයට, අපනයනයට නැඹුරු වූ කාර්මික කලාප; ව්‍යාපාර සඳහා රජය සතු ‘ඌන-භාවිත’ ඉඩම් බදු දීම; රාජ්‍ය සේවා ඩිජිටල්කරනය සඳහා ආයෝජනය; වරාය, ගුවන්තොටුපල සහ වැඩිදියුනු කල මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නව ආයෝජන; පුද්ගලික අයිතිය සහිත කාර්මික කලාප පිහිටුවීම සහ ආයෝජන ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීම යනාදිය ඇතුලත් වේ.
කම්කරු පන්තියේ සමාජ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සම්බන්ධයෙන් ගත් කල, ජවිපෙ/ජාජබ තන්ත්‍රය වෙනස් පියවරක් ගෙන තිබේ.
රාජ්‍ය අංශයේ සේවකයින්ට දශකයකට ආසන්න කාලයක් මූලික වැටුප් වැඩිවීමක් ලැබී නොමැති බව පිලිගත් දිසානායක, අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා සමානුපාතිකව වැඩිවීම් සමඟ රාජ්‍ය සේවකයින් සඳහා මාසික අවම මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා—උද්ධමන රේට්ටුවට වඩා පහත් රේට්ටුවක, වැඩිවීමක් (sub-inflation rise) යෝජනා කලේය.
රුපියල් 15,750 ක වැඩිවීමට, දැනටමත් පවතින රුපියල් 7,500 ක මාසික දීමනාව ඇතුලත් වන අතර ශුද්ධ වැටුප් වැඩිවීම රුපියල් 8,250 ක් පමනි. 2025 අප්‍රේල් වන තෙක් ආරම්භ නොවන, වසර තුනක් පුරා පැතිරෙන මෙම කාලකන්නි වැඩිවීමට, 2022 සිට සියයට 55 කින් ඉහල ගොස් ඇති නිල ජාතික පාරිභෝගික මිල දර්ශකයට අලගු තැබීමටවත් නොහැක.
පසුගිය ආන්ඩුව සහ වත්මන් ජවිපෙ/ජාජබ පරිපාලනය විසින් ‘දුප්පතුන් සඳහා සමාජ ආරක්ෂාව’ ලෙස ප්‍රචාරය කරන ලද අස්වැසුම සුභසාධන වැඩසටහන, පසුගිය වසර තුන තුල දරිද්‍රතාවයට ඇද දැමූ මිලියන සංඛ්‍යාත ජනතාව මුදා ගැනීමට කිසිවක් කර නැත.
මෙම වැඩසටහන යටතේ සමාජ කන්ඩායම් දෙකකට ගෙවනු ලබන මුදල්—දුප්පතුන් සහ අන්ත දුගීන්—පිලිවෙලින් රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වා සහ රුපියල් 15,000 සිට රුපියල් 17,500 දක්වා වැඩි කරන ලදී. මෙම යෝජනා ක්‍රමය මැයි මාසයේදී අලුත් කරනු ඇත, නමුත් මෙම ගෙවීම් ලැබෙන්නේ අඩු සංඛ්‍යාවකට පමනි. අස්වැසුම සඳහා සමස්ත අයවැය වෙන් කිරීම රුපියල් බිලියන 160.1 ක් හෙවත් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 කි.
මෙය සිදුවන්නේ, ශ්‍රී ලාංකික ජනගහනයෙන් සියයට 25 ක් හෙවත් මිලියන 5.5 ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇති තත්වයන් යටතේ ය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වාර්තාවක් මෑතකදී නිකුත් කල වාර්තාවකින් පෙන්නුම් කලේ, ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 55.7 ක් හෙවත් මිලියන 12.3 ක් බහුවිධ ආකාරවල දරිද්‍රතාවයෙන් (Multidimensional Poverty) පෙලෙන බවයි.
දිසානායකගේ අයවැයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 271 ක් පමනක් ලබා දී ඇති අතර එය පසුගිය වසරේ වෙන් කල මුදලට සාපේක්ෂව රුපියල් බිලියන 29 ක වැඩිවීමක් පමනි; වාර්ෂික මහජන සෞඛ්‍ය වියදම් පසුගිය වසරේ රුපියල් බිලියන 410 සිට රුපියල් බිලියන 383 දක්වා විශාල ලෙස අඩු කර ඇත.
අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු, පුද්ගලික ආයෝජන ප්‍රවර්ධනය කිරීමත් සමඟ, [රාජ්‍ය සහ පුද්ගලික යන] අංශ දෙක ම අනතුරුදායක තත්වයක පවතී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා වන වියදම, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමන වන අතර එය ලෝකයේ අඩුම අගයන් අතර වේ. අයවැය මඟින් විශ්වවිද්‍යාල සිසුන්ගේ දීමනා රුපියල් 5,000 සිට 7,500 දක්වා සුලු වශයෙන් වැඩි කිරීමට යෝජනා කරයි. විශ්වවිද්‍යාල සිසුන් ඉල්ලා සිටින්නේ, තම දීමනා දෙගුන කරන ලෙස ය.
සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නරුම ලෙස කියා සිටියේ අයවැය ‘රට ජාමූඅ වෙත පාවා දෙන’ අතර ජාමූඅ හි කප්පාදු ඉල්ලීම් සමඟ පෙල ගැසී ඇති බවයි. පසුගිය වසරේ මැතිවරනයේදී දිසානායක මෙන්ම ප්‍රේමදාස ද ප්‍රකාශ කලේ තමන් ජාමූඅ සමඟ වැඩ කිරීමට සහ වැඩසටහන ‘නැවත කේවල් කිරීමට’ සූදානම් බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) වැනි අනෙකුත් විරුද්ධ පක්ෂ මාධ්‍ය වෙත පැවසුවේ, ජවිපෙ/ජාමූඅ ආන්ඩුව ඔවුන් ආරම්භ කල ජාමූ අරමුදලේ මාර්ගය ම අනුගමනය කරන බවයි. ජවිපෙ පාලනය කරන වෘත්තීය සමිති අයවැයට පූර්න සහාය දක්වන අතරතුර, අනෙකුත් වෘත්තීය සමිති නිලධාරීන් උද්ධමන රේට්ටුවට පහල වැටුප් වැඩිවීම් ගැන චෝදනා කර ඇත. කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුල රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් සම්බන්ධයෙන් කම්කරුවන්ගේ අරගල හුදකලා කිරීමට සහ යටපත් කිරීමට මෙම සංවිධාන එක්සත් වී ඇත. මෙම පාවාදීම්, ජවිපෙ/ජාජබ ට බලය අල්ලා ගැනීමටත්, ජාමූඅ ආර්ථික නියෝග පැනවීමටත් මග පෑදීය.
ජවිපෙ/ජාජබ විසින් ජාමූඅ කප්පාදු දැඩි ලෙස පැනවීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කිරීම සහ වැඩ කරන ජනතාවගේ ජීවිතවලට එල්ල කරන ලද අනෙකුත් දරුනු ප්‍රහාර, කම්කරු අරගල දැවැන්ත ලෙස පුපුරා යාම සඳහා වේදිකාව සකසමින් සිටී.
කම්කරුවන් සහ දුගීන්, මෙම සටන් සඳහා, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත සූදානම් විය යුතු ය. මෙයට සියලු ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් බිඳී යාමත්, කර්මාන්තශාලා, වතුකරයේ සහ අනෙකුත් සේවා ස්ථානවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමත් ඇතුලත් වේ. මෙම සටන ඉදිරියට ගෙන යාම සඳහා ගම්බද ජනතාව ද ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය.
මෙම ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර ව කම්කරු අරගල එක්සත් කිරීමට සටන් කරන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමඟ සම්බන්ධ විය යුතු ය.
ජාමූඅ හි කුරිරු පියවරයන්ට එරෙහිව සටන් කිරීම සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එල්ල කරගත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙන යාමට, මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වන ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කර සිටීයි.