ජනාධිපති සහ පවිත්‍රා වන්නිආරච්චි තප්‍රොබේන් සීෆුඩ් සමාගම හා එක්ව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය වනසයි
පරිසරවේදී සංජිව චාමිකර විසිනි
මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ
තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ හා වනජීවී හා වන සම්පත්
සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ගේ මැදිහත් වීමෙනි. සමාගමක අවශ්‍යතාව මත
රක්ෂිත ප්‍රදේශයක ඉඩම් නිදහස් කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ. නීති විරෝධී
ව සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් වැරදි පූර්වාදර්ශ රැසක් ම වත්මන් ආණ්ඩුව විසින් සමාජයට ලබා
දී ඇත. මේ නිසා රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම පිළිබඳ ව
ජනතාව තුළ පැවති යහපත් ආකල්ප බිඳ වැටීම සිදු ව තිබේ.
විශේෂයෙන් යුද්ධය නිම වීමෙන් පසු ව උතුරු හා නැගෙනහිර පළාත්වල රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට
පත් කිරීම පිළිබඳ ව එම පළාත්වල ජීවත් වන ජනතාව තුළ යහපත් ආකල්පයක් නොතිබුණි. ඔවුන්
විශ්වාස කරන්නේ පොදුවේ භාවිත කළ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන රක්ෂිත ලෙස නම්
කර ඉන් පසු ව එම ඉඩම් සමාගම්වලට හෝ වෙනත් භාවිතයන් සඳහා ලබා දීමේ අරමුණ මත පදනම්
ව රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන බව ය. එම ජනතාව තුළ පැවති මෙම වැරදි
ආකල්ප සත්‍යය බවට තහවුරු කිරීම ජනාධිපතිවරයා ගේ හා පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ගේ
මැදිහත් වීම මත සිදු කළ, තප්‍රොබේන් සීෆුඩ් සමාගමට අයත් වෙඩිතලතිව්, පල්ලමඩු, නයාතුවේලි
ප්‍රදේශයේ පිහිටි ඉස්සන් ගොවිපොළ පුළුල් කර ජලජීවී වගා ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට
වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් ඉඩම් වෙන් කර දීම මගින් තහවුරු වේ.
වෙඩිතලතිව් රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පදනම
උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය නිම වීමෙන් පසු ව විශේෂයෙන් උතුරු පළාතේ
ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා වන සැලැසුමක අවශ්‍යතාවය මතු විය. ඊට පදනම වූයේ
ජාතික භෞතික සැලැස්ම ඇතුළු උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති
හේතුවෙන් හා යුද්ධයෙන් පසු ව ජනතාව නැවත පදිංචි කිරීමේ දී ඇති විය හැකි බලපෑම් නියාමනය
කිරීම ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ පරිසර
වැඩසටහනේ සහයෝගය මත රාජ්‍ය ආයතනවල සහ විශේෂඥ කණ්ඩායමක දායකත්වයෙන්
අධ්‍යයන කටයුතු සිදු කෙරින. ඒ මත පදනම් ව 2011 වසරේ දී සකස් කළ වාර්තාව මධ්‍යම පරිසර
අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2014 වසරේ නොවැම්බර් මස දී Integrated
Strategic Environment Assessment of the Northern Province of Sri Lanka නමින් ප්‍රකාශයට
පත් විය. මෙම වාර්තාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත ව ඇති වෙඩිතලතිව් ප්‍රදේශයේ පිහිටි
ස්වාභාවික පරිසර පද්ධති සංකීර්ණය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ආකාරය
හා එසේ ප්‍රකාශයට පත් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ ව සිතියම් ආශ්‍රයෙන් විස්තර කර තිබුණි.
එපමණක් නොව යුද්ධය පැවති කාල සීමාවේ හා ඉන් පසු ව ශ්‍රී ලංකා කුරුලු සංගමය (Ceylon Bird
Club) විසින් වාර්ෂික ව පක්ෂි සංක්‍රමණික සෘතුව තුළ සිදු කරන මෙරට ජලජ පක්ෂි සංගණනනයේ
දී වෙඩිතලතිව් තෙත් බිම් පද්ධතිය විශේෂ අවධානයකට ලක් විය. විශේෂයෙන් උතුරු පළාතේ වැඩි ම
තෙත් බිම් පක්ෂි ගහන ඝනත්වයක් පවතින ප්‍රදේශ අතුරෙන් ඉදිරියෙන් ම තිබෙන ප්‍රදේශයක් ලෙස
වෙඩිතලතිව් ප්‍රදේශය හඳුනා ගෙන තිබේ. ඊට අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට මෙම ප්‍රදේශය ලක් විය.
මීට අමතර ව පක්ෂි නිරීක්ෂණ කණ්ඩායම්වල හා පරිසර සංවිධානවල මෙන් ම පර්යේෂකයන් ගේ
වැඩි අවධානයකට මෙම ප්‍රදේශය ලක් වූ අතර විශේෂයෙන් වෙඩිතලතිව් ප්‍රදේශයේ සමුද්‍රීය
පරිසරය පිළිබඳ ව ද අධ්‍යයන ගණනාවක් සිදු කෙරින. මේ සියළු අධ්‍යයනවල ප්‍රතිඵලයක් ලෙස
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මන්නාරම හා මාන්තායි බටහිර යන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට අයත් ග්‍රාම නිලධාරී වසම් 25 ක ව්‍යාප්තව ඇති වෙඩිතලතිව්
ගොඩබිම් ප්‍රදේශයේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හා තෘණ බිම්, කලපු ආශ්‍රිත ව පිහිටි ලවණ
වගුරු හා කඩොලාන වනාන්තර මෙන් ම නොගැඹුරු මුහුදු තීරයේ පිහිටි මුහුදු තෘණ බිම්, කොරල්පර
හා මඩ තැනි ඇතුළු සමස්ත ප්‍රදේශය ම ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට සැලැසුම් සකස් විය.
ඒ අනුව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(1) උප වගන්තියට අනුව විෂය භාර
අමාත්‍යවරයාට ලබා දී ඇති බලතල ප්‍රකාර ව 2016 මාර්තු මස 01 වන දින අංක 1956/13 දරන
ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 29,180 ක් වන වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ප්‍රකාශයට පත්
කර ඇත. එම කාල වකවානුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ වත්මන් ජනාධිපති රනිල්
වික්‍රමසිංහ වන අතර එවකට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙස කටයුතු කළ
ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් මෙම ස්වභාව රක්ෂිතය ප්‍රකාශයට පත් කෙරිනි. නමුත්
කණගාටුදායක තත්ත්වය වන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා වශයෙන් වැඩ භාර
ගැනීමෙන් පසු ව තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ අවශ්‍යතාව මත වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන්
අක්කර 418 ක් ඉවත් කිරීමට තීරණය කිරීම ය. එම තීරණය ක්‍රියාත්මක කිරීම වනජීවී හා වන
සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි විසින් සිදු කර ඇත්තේ අදාළ සමාගමෙන්
ලබා ගත් විශාල අල්ලසකට බව එම සමාගමේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු හා ප්‍රධාන
උපදේශකයකු විසින් තහවුරු කර ඇත. ඔවුන් සඳහන් කරන පරිදි එය එසේ සිදු නොවුනි නම් මේ
ආකාරයෙන් නීති විරෝධී ලෙස රක්ෂිත ඉඩම් බැහැර කිරීමට අවධානම් තත්ත්වයන් සියල්ල භාර
ගනිමින් අමාත්‍යවරිය විසින් තීරණය කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි ය.
නීති විරෝධී රක්ෂිත ඉඩම් බැහැර කිරීම
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ දැක්වෙන 1 හා 4 උප
වගන්තිවලට අනුව විෂය භාර අමාත්‍යවරයාට ඇති බලතල භාවිත කර 2024 මැයි මස 06 වන දින
අංක 2383/05 දරන ගැසට් නිවේදනය මගින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් වෙඩිතලතිව්
ස්වභාව රක්ෂිතයෙන් කොටසක් ඉවත් කර තිබේ. නමුත් මෙම ගැසට් නිවේදනයේ ඉවත් කරන භූමි
ප්‍රදේශ පිළිබඳ ව නිවැරදි මායිම් සඳහන් නොකර අසම්පූර්ණ ගැසට් නිවේදනයක් ලෙස ප්‍රකාශයට
පත් කර තිබේ. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ
අමාත්‍යංශයේ නිලධාරීන් අනාවරණය කළේ ජනාධිපතිවරයා ගේ හා අමාත්‍යවරිය ගේ නියෝග මත
තප්‍රොබේන් සීෆුඩ් සමාගමට ජලජීවී වගා ව්‍යාපෘතියකට අක්කර 418 ක භූමියක් ලබා දීමට
ස්වභාව රක්ෂිතයට අයත් ඉඩම් නිදහස් කිරීම සිදු කළ බව ය.
මේ ආකාරයෙන් ඉඩම් නිදහස් කිරීමක් නීත්‍යානුකූල ව සිදු කළ නොහැකි ය. වනසත්ව හා වෘක්ෂලතා
ආරක්ෂක ආඥාපනතේ 2022 අංක 07 දරන අවසන් සංශෝධනයේ මූලික අර්ථ නිරූපනයේ
සවිස්තරාත්මක ව දක්වා ඇත්තේ වනජීවීන් හා වනජීවී වාසභූමි වාණිජමය වශයෙන් අනිසි ලෙස
ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා මෙම පනත ගොඩනංවා ඇති බව ය. එම මූලික අර්ථ නිරූපනය
මත පදනම් ව පනතේ සියලු වගන්ති අර්ථ නිරූපනය කළ යුතු වේ.
ඒ අනුව මෙම පනතේ 2(4)(අ) උප වගන්තිය ප්‍රකාර ව රක්ෂිත ප්‍රදේශයක මායිම් සංශෝධනය
කිරීමේ බලය අදාළ විෂය භාර අමාත්‍යවරයාට ඇති නමුත් එය සිදු කළ යුතු වන්නේ පනතේ මූලික අර්ථ
නිරූපනයට එකඟ ව සහ පනතේ 2(5) වන උප වගන්තියට එකඟ ව ය. එම උප වගන්තියට අනුව
රක්ෂිතයක මායිම් වෙනස් කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා අධ්‍යයනයක් සිදු කළ යුතු අතර එම මායිම්
සංශෝධනයෙන් සිදු වන පාරිසරික බලපෑම් පිළිබඳ විමර්ශනයක් ද එම අධ්‍යයනයට ඇතුළත් විය යුතු
ය. නමුත් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙවන් කිසිදු වාර්තාවක් පදනම් කර නොගෙන
වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් ඉඩම් බැහැර කිරීම සිදු කර ඇති බැවින් එය සම්පූර්ණයෙන් ම නීති
විරෝධී ක්‍රියාවකි.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2අ උප වගන්තියට අනුව ස්වභාව රක්ෂිතයක සියලු
ක්‍රියා සිදු විය යුතු වන්නේ අනුමත කළමනාකරණ සැලැසුමකට යටත් ව ය. ඒ අනුව වනජීවී අධ්‍යක්ෂ
ජනරාල්වරයා විසින් පත් කරන ලද කළමනාකරණ සැලැසුම් කමිටුවක් විසින් සකස් කළ වෙඩිතලතිව්
ස්වභාව රක්ෂිතයට අදාළ 2024 – 2028 වසර සඳහා වන කළමනාකරණ සැලැසුම පනතේ 2අ(3) උප
වගන්තියට අනුව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. සී. එම්. හේරත්
විසින් 2023 දෙසැම්බර් මස 27 වන දින අත්සන් කර අනුමත කර තිබේ. එම අනුමත සැලැසුම වසර 5 ක්
වලංගු වන අතර ඊට පිටතින් කිසිදු සංවර්ධන ක්‍රියාකාරකමක් ස්වභාව රක්ෂිතය තුළ සිදු කළ
නොහැකි ය. නමුත් මෙම කළමනාකරණ සැලැසුමෙහි ජලජීවී වගා ව්‍යාපෘතියකට ඉඩම් නිදහස්
කිරීමක් පිළිබඳ ව කිසිදු සඳහනක් නොමැත. ඒ අනුව අනුමත කළමනාකරණ සැලැසුම ද උල්ලංඝනය
කරමින් ස්වභාව රක්ෂිතයේ ඉඩම් නීති විරෝධී ව නිදහස් කිරීම පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය
විසින් සිදු කර ඇත.
හානි කර සමාගමකට ස්වභාව රක්ෂිතයේ ඉඩම් නීති විරෝධී ව ලබා දීම
නීති විරෝධී ව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් ඉඩම් වෙන් කර එම ඉඩම් ලබා දීම සිදු කරනු
ලබන්නේ පරිසර හානි කර හා මහජන පීඩා ඇති කරමින් ක්‍රියාත්මක වන තප්‍රොබේන් සීෆුඩ්
සමාගමේ වෙඩිතලතිව්, ඉස්සන් ගොවිපොළ පුළුල් කිරීම සඳහා ය. 2011 වසරේ දී තිමොති ඔරෙයිල්
හා ඩිලාන් ප්‍රනාන්දු යන ව්‍යාපාරිකයන් දෙදෙනා එක් ව ආරම්භ කරන ලද Taprobane Seafood
පුද්ගලික සමාගම සහ 2010 වසරේ දී ආරම්භ කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ Direct Source
Seafood සමාගම හා එක් ව තිරසර මුහුදු ආහාර නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම සඳහා
උපායමාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය වසරේ එළැඹ ඇත්තේ අපනයන ක්‍රියාවලිය පුළුල්
කිරීමේ පදනම මත ය. එම පදනම මත ඇමරිකා එක්සත් ජනපදයේ කකුළුවන් හා ඉස්සන් ආනයනය
කිරීමේ විශාලත ම සමාගම වන Direct Source Seafood සමාගම හා ගිවිසුම් ගත ව තිබේ. ඒ අනුව
වර්තමාන හා අනාගත පරපුරේ රැකවරණය තහවුරු කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ ස්වභාව
රක්ෂිතයේ ඉඩම් නීති විරෝධී ව ලබා ගෙන තිරසර මුහුදු ආහාර නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීම
යනු හාස්‍යයට කරුණකි.
තප්‍රොබේන් සීෆුඩ් සමාගම 2023 වසරේ දී ඩොලර් මිලියන 20 කට වඩා වැඩි විකුණුම් ප්‍රමාණයක්
සිදු කර ඇති අතර 2024 වසරේ දී හා ඉන් පසු ව වාර්ෂික ව ඩොලර් මිලියන 40 ඉක්මවීමට සැලැසුම්
කර ඇත. මේ සියල්ල සැලැසුම් කර ඇත්තේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයට අයත් ඉඩම් සමාගම
යටතට අත්පත් කර ගැනීමේ පදනම මත ය. මේ ආකාරයෙන් විදේශ විනිමය මෙරටට ගෙන එන බව
සඳහන් කරන සමාගම, 1983 වසරේ සිට 2010 වසර දක්වා උතුරු හා නැගෙනහිර පළාත්වල යුධ
ගැටුමට මැදි වී සිටි වෙඩිතලතිව් ප්‍රදේශයේ ධීවර ජනතාව ගේ ශ්‍රමය, ජීවත් වීමට ඇති අයිතිය හා
ස්වාභාවික සම්පත්වල පැවැත්ම මෙන් ම නිදහස් ජන දිවිය ද අහිමි කරමින් සිටී. ධීවර ජනතාව මෙම
සමාගම හා සම්බන්ධ ණයකරුවන් බවට පත් කර ගෙන ඒ මත පදනම් ව ඔවුන් ගේ මත්ස්‍යය
අස්වැන්න ඉතා ම අඩු මුදලකට මිල දී ගනිමින් සිටී. මීට අමතර ව මෙම සමාගමේ කිසිදු රැකියාවක්
සඳහා ප්‍රදේශවාසීන් සම්බන්ධ කර නොගනී. ඊට ප්‍රධාන හේතුව මෙම ඉස්සන් ගොවිපොළේ භාවිත
කරන රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ප්‍රදේශවාසීන්ට දැන ගැනීමට ඇති අවස්ථාව අහුරා දැමීම
ය.
මෙම ගොවිපොළේ සියලූ ම ජලීය අපද්‍රව්‍ය ඒ ආසන්නයෙන් ගලා යන නයාරු ඇළට සෘජු ව යොමු
කරයි. එම අපජලය මෙම ඇළ ඔස්සේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය තුළ පිහිටි කලපු, කඩොලාන හා
මුහුදු තෘණ බිම් ප්‍රදේශයට යොමු වේ. පසුගිය වසර කිහිපය තුළ ඉස්සන් ගොවිපොළේ ටැංකි පිරිසිදු
කිරීමේ දී ඉවත් කරන අපජලය මෙම ඇළට යොමු කිරීමෙන් මත්ස්‍යයන් ලක්ෂ ගණනක් එකවර මිය
යාමට ලක් ව තිබේ. මෙම අපජලයෙන් දූෂණය වී ඇති ඇළ මාර්ග හා ඒ ආසන්නයේ පිහිටි කඩොලාන
පද්ධතියට කලපුවේ හා නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන මසුන්, ඉස්සන් හා කකුළුවන් බෝවීම සඳහා
පැමිණීම ද විශාල මට්ටමකින් අඩු වී තිබේ. මේ නිසා කලපු ආශ්‍රිත සුළුපන්න ධිවර කර්මාන්තය බිඳ
වැටෙමින් පවතී. මේ ආකාරයෙන් හානි කර ලෙස ක්‍රියාත්මක වන සමාගමක ඉස්සන් ගොවිපොළ පුළුල්
කිරීම සඳහා තවත් ඉඩම් ලබා දීමෙන් සිදු වන්නේ සමස්ත වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ම ධීවර
ජනතාව ගේ ජන දිවිය ද සමඟ දැවැන්ත බිඳ වැටීමකට ලක් වීම ය.
ඉස්සන් ගොවිපොළකින් අපජලය පොදු ජල මූලාශ්‍රයකට පිරිපහදු කිරීමකින් තොර ව බැහැර කිරීමේ
හැකියාවක් නොමැත. එසේ අපජලය බැහැර කළ හැකි වන්නේ, සංශෝධිත 1980 අංක 47 දරන ජාතික
පාරිසරික පනතේ 23අ සහ 23ආ උප වගන්තිවලට අනුව ප්‍රකාශයට පත් කර ඇති 2008 පෙබරවාරි
මස 10 වන දින අංක 1534/18 දරන හා 2022 ජනවාරි මස 27 වන දින අංක 2264/17 දරන ගැසට්
නිවේදනවල සඳහන් ජලීය අපද්‍රව්‍ය බැහැර කිරීමේ ධාරණ සීමාවල් වලට යටත් ව ය. ඒ අනුව
සාගරයට අපජලය බැහැර කිරීමේ දී හා වෙරළාසන්න ජලයට අපජලය බැහැර කිරීමේ දී වන ධාරණ
සීමා සඳහන් කර තිබේ. නමුත් මෙම ඉස්සන් ගොවිපොළෙන් මෙම ධාරණ සීමා ඉක්මවා යමින් අපජලය
පිරිපහදු කිරීමකින් තොර ව සෘජු ව නයාරු ඇළ වෙත යොමු කරන්නේ ජාතික පාරිසරික පනත
උල්ලංඝනය කරමිනි.
මීට අමතර ව ජාතික පාරිසරික පනතේ 23අ වගන්තියට අනුව පරිසරයට අපද්‍රව්‍ය මුදාහරිමින් සිදු
කරන ඕනෑ ම කර්මාන්තයක් පවත්වා ගෙන යාම සඳහා 2022 ජනවාරි මස 27 වන දින අංක 2264/18
දරන ගැසට් නිවේදනයේ සඳහන් පරිදි පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු ය. ඒ අනුව මෙම
ඉස්සන් ගොවිපොළ පවත්වා ගෙන යාම සඳහා ද පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු වේ.
නමුත් ඒ සඳහා ලබා ගෙන ඇති පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් සෘජු ව
අපජලය ඇළ මාර්ගවලට බැහැර කරමින් ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් මෙම ඉස්සන්
ගොවිපොළ පවත්වා ගෙන යයි. එපමණක් නොව මෙම බලපත්‍රය ලබා ගැනීමේ දී ඉස්සන්
ගොවිපොළ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු, අපද්‍රව්‍ය බැහැර කිරීම හා
පිරිපහදු පද්ධතිය පිළිබඳ නිවැරදි තොරතුරු සැඟවීම ද සිදු කර ඇත.
මේ හේතුවෙන් ඉස්සන් ගොවිපොළ අවට ජීවත්වන ජනතාව පීඩාවට ලක් ව සිටී. 1883 අංක 02 දරන
දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තියට අනුව පොදුවේ අයිතිවාසිකම් භුක්ති විදීමේ හැකියාව
පවතින ප්‍රභවයන් අන්තරායකට හෝ බාධාවකට ලක් කිරීම මහජන පීඩාවකි. ඒ අනුව මෙම ඉස්සන්
ගොවිපොළ මහජන පීඩාවන් උද්ගත වන අන්දමින් පවත්වා ගෙන යාම ද සිදු කරයි.
පරිසර හානි කර ලෙස හා මහජන පීඩාවන් ඇති වන පරිදි පවත්වා ගෙන යන මෙම ඉස්සන්
ගොවිපොළ තවත් පුළුල් කිරීම හා සමාගමේ ඉලක්කය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක අපනයන
ආර්ථිකය අත්පත් කර ගැනීමට වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය විනාශ කිරීමට, මෑත ඉතිහාසය පුරා ම
පරිසරය හා ජන දිවිය පීඩාවට පත් කරමින් ක්‍රියාත්මක වන මෙම සමාගමට විශාල කාලයක් ගත
නොවනු ඇත. මුදලට ඇති කෑදර කම නිසා මේ පිළිබඳ ව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය අවබෝධ
කර නොගැනීම කණගාටුවට කරුණකි.
රජය ජනතාව ගේ පොදු අයිතිය නීති විරෝධී ව සමාගම් සතු කිරීම
මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය සහ ඒහා පදනම් වූ ජන දිවිය ප්‍රධාන වශයෙන් ම රැදී
ඇත්තේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය මත ය. නොගැඹුරු මුහුදු තීරයේ හා කලපු ආශ්‍රිත ව ජීවත් වන
මත්ස්‍යයන්, ඉස්සන් හා කකුළුවන් ප්‍රධාන වශයෙන් ම බෝවීම සිදු වන්නේ මෙම ස්වභාව රක්ෂිතයට
අයත් මඩ තැනි, මුහුදු තෘණ බිම්, කඩොලාන හා ලවණ වගුරු බිම්වල ය. එම මත්ස්‍යය සම්පත මත
මන්නාරමේ ධීවර ජනතාව ගේ ආර්ථිකය හා සමාජ ජීවිතය රැදී පවතී. ජන ජීවිතය, ආර්ථිකය මෙන් ම
රටේ ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය හා බැදී පැවති මෙම ස්වාභාවික පරිසර පද්ධති සියල්ල 2016
වසරේ දී ස්වභාව රක්ෂිතයක් බවට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දෙන තුරු ම ආරක්ෂා කර ඇත්තේ
ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව විසිනි. මේ නිසා එම පොදු භාවිත සම්පත් හා බැදී පවතින ඉඩම්
සමාගම් සතු කිරීමෙන් හෝ හානි කර ලෙස ක්‍රියාත්මක වන සමාගමක ඉස්සන් ගොවිපොළ පුළුල්
කිරීම සඳහා ලබා දීමෙන් සිදු වන්නේ සමස්ත ස්වභාව රක්ෂිතය ම බලපෑමට ලක් වීම ය. ඒ හේතුවෙන්
සාගර හා කලපු ජීවීන් ගේ ගහනය විනාශ වී ඒ මත පදනම් වූ ධීවර ජනතාව ගේ ජන දිවිය, ආර්ථිකය,
ජනතාව ගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මෙන් ම පෝෂණය ද මෙම පොදු ස්වාභාවික සම්පත ද
සමඟ ම බිඳ වැටීමට ලක් වේ. එවන් තත්ත්වයක් ඇති කිරීම සඳහා වන තීන්දු තීරණ ගැනීමේ බලයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ද ජනාධිපතිවරයාට හෝ අමාත්‍යවරියකට නොමැත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන පරිච්ඡේදය
යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14)
ව්‍යවස්ථාව යටතේ සඳහන් ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත
කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සඳහන් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත.
එම ව්‍යවස්ථාවට අනුව රජයට පරිසරය විනාශ කිරීම සඳහා වන තීරණ ගැනීමේ බලයක් නොමැති
බව එප්පාවල පොස්පේට් නිධිය ඇමරිකාවේ ෆීපෝට් මැක්මොරාන් සමාගමට බදු දීමට එරෙහිව ගොණු
කළ නඩුවේ තීන්දුව 2000 වසරේ දී ලබා දීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. ආර්. බී. අමරසිංහ විසින්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම 27(14) ව්‍යවස්ථාව අර්ථනිරූපණය කරමින් පෙන්වා දී ඇත. ඒ අනුව
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් සමාගමක අවශ්‍යතාව මත ස්වභාව රක්ෂිතයක ඉඩම්
ඉවත් කිරීමෙන් සිදු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
මීට අමතර ව පොදු භාවිත භූමියේ අයිතිය ජනතාව සතු බව ව නඩු තීන්දු ගණනාවකින් ද තහවුරු කර
ඇත. ඇමරිකාවේ මිචිගන් විලේ කොටසක් ගොඩ කර ඒ හරහා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට එරෙහි ව
1883 වසරේ දී ගොණු කළ නඩුවට අදාළ තීන්දුව 1892 වසරේ දී ලබා දෙමින් ඇමෙරිකා එක්සත්
ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ රජය මහජනතාව ගේ සුබසිද්ධිය සඳහා පස හා
ජලය වැනි පොදු දේපොළ යම් පුද්ගලයකු ගේ පෞද්ගලික පරිහරණය සහ පාලනය සඳහා ලබා
නොදිය යුතු බවත් රජය ජනතාව ගේ සුබසිද්ධිය සඳහා රටේ ස්වාභාවික සම්පත් පවත්වා ගෙන යා
යුතු බවත් ය.
මීට අමතර ව, ස්ලෝවැකියාව හා හංගේරියාව යන රටවල් අතරින් ගලා යන ඩැනියුබ් ගඟේ වේලි ඉදි
කිරීම හා ජලය ලබා ගැනීම පිළිබඳ ව 1977 වසරේ දී ඇති වූ ගැටළුවට අදාළ ව ජාත්‍යන්තර යුක්ති
අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 1997 වසරේ දී ලබා දෙමින් විනිසුරු සී. ජී. වීරමන්ත්‍රි විසින්
මිහිදු මාහිමි හා දේවානම් පියතිස්ස රජු අතර ඇති වු සංවාදයේ කරුණු පදනම් කර ගෙන, “රජය රටේ
ස්වාභාවික සම්පත්වල අයිතිකරු නොව භාරකරු පමණි” යන පොදු භාර නැතහොත් මහජන භාර
සංකල්පය මත පදනම් ව එම නඩු තීන්දුව ලබා දී තිබේ. එප්පාවල පොස්පේට් නීධියට අදාළ නඩු
තීන්දුවේ ද මහජන භාර සිද්ධාන්තය ඩැනියුබ් ගඟේ නඩු තීන්දුව උපුටා දක්වමින් ඒ. ආර්. බී. අමරසිංහ
විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, රටේ ස්වාභාවික සම්පත් වල අයිතිය ජනතාව සතු බවත්, රජයට
ඇත්තේ ජනතාව වෙනුවෙන් එහි භාරය දැරීම හා එම සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම පමණක් වන බව
ය. එහි දී රජු රටේ සම්පත් වල භාරකරුවා මිස හිමිකරු නොවන බවත්, එම සම්පත් භාරකරුට විනාශ
කිරීමට හෝ අන්සතු කිරීමට බලයක් නොමැති බවත්, ඒවා ආරක්ෂා කිරීමේ වගකීමේන් බැදී සිටින බවත්
නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයට අයත් ඉඩම්
තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ ඉස්සන් වගා ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා ලබා දීමට රක්ෂිත
භාවයෙන් ඉවත් කිරීමේ කිසිදු බලයක් ජනාධිපතිවරයාට හෝ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ
අමාත්‍යවරියට නොමැති බව තහවුරු වේ.
එපමණක් නොව රජය බලතල ක්‍රියාත්මක කළ යුතු ආකාරය විල්පත්තුව ජාතික වනෝද්‍යානයට
උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ වන රක්ෂිතවලට අයත් ඉඩම්,
නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ගේ ඉල්ලීම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ජනතාව
පදිංචි කිරීම සඳහා නිදහස් කිරීමට එරෙහිව 2015 වසරේ දී අභියාචනාධිකරණයේ ගොණු කළ රීට්
පෙත්සමට අදාළ නඩු තීන්දුවේ සඳහන් වේ. 2020 වසරේ දී ලබා දුන් එම නඩු තීන්දුවේ
අභියාචනාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න සඳහන් කර ඇත්තේ රාජ්‍ය අධිකාරීන්ට පවරා ඇති
බලතල නිරපේක්ෂ හෝ අසීමාන්තික නොවන අතර ජනතාව ගේ සුබසිද්ධිය සඳහා එම බලතල
ක්‍රියාත්මක කළ යුතු බව ය. ඒ අනුව ද වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයට අයත් ඉඩම් තප්‍රොබේන්
සීෆුඩ් සමාගමේ ඉස්සන් වගා ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා ලබා දීමට රක්ෂිත භාවයෙන් ඉවත්
කිරීමේ කිසිදු බලයක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරියට නොමැති බව තවදුරටත්
තහවුරු වේ.
ස්වභාව රක්ෂිතයේ පාරිසරික වටිනාකම් වනසා දැමීම
මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී
වසම් 14 ක හා මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 11 ක
ගොඩබිම හා නොගැඹුරු සාගරයේ පරිසර පද්ධති විශාල ප්‍රමාණයක් ආවරණය වී ඇති මෙරට එක ම
රක්ෂිත ප්‍රදේශය මෙය වේ. නොගැඹුරු සාගරයේ මුහුදු තෘණ භූමි, මඩ තැනි, කොරල් පර හා ගල්
පර පරිසර පද්ධති, වෙරළ තීරයේ කිවුල්දිය කලපු, කඩොලාන, ලවණ වගුරු හා වෙරළබඩ ශාක
ප්‍රජාව ඇතුළු පරිසර පද්ධති, ගොඩබිම් ප්‍රදේශයේ වියළි තෘණ භූමි, කටුපදුරු සහිත ලදු කැළෑ,
වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර සහ මිරිදිය ජලය සහිත නේආරු, පරංගි ආරු, වප්පයි ආරු හා පාලි ආරු
නම් ජල මාර්ග ඇතුළු පරිසර පද්ධති රැසක් මෙම ස්වභාව රක්ෂිතයට අයත් වේ. මේ නිසා ලංකාවේ
සුවිශේෂී ම රක්ෂිත ප්‍රදේශයක් ලෙස මෙය හැඳින්විය හැකි වෙයි.
මෙම ස්වභාව රක්ෂිතයේ විවිධ පරිසර පද්ධතිවල ශාක විශේෂ රාශියක් වාර්තා වේ. ඒ අතුරෙන්
ලංකාවේ කඩොලාන පරිසරවල පමණක් වාර්තා වන සත්‍ය කඩොලාන ශාක විශේෂ 22 අතුරෙන් 11
ක් ම මෙම ස්වභාව රක්ෂිතයෙන් හමු වේ. ඒ අතර මණ්ඩ (Avicennia marina) හා එල කඩොල්
(Rhizophora mucronata) ශාක විශේෂ දෙක ප්‍රමුඛ ව දැක ගත හැකි අතර ඊට අමතර ව පුංකණ්ඩ
(Ceriops tagal), මල් කඩොල් (Bruguiera cylindrica), බෑරිය (Lumnitzera racemosa), කිරල
(Pemphis acidula), තෙල කීරිය (Excoecaria agallocha), හීන් කඩොල් (Aegiceras corniculatum),
කඩොල් (Bruguiera gymnorhiza) වැනි කඩොලාන ශාක විශේෂ වෙයි.
නොගැඹුරු මුහුදු තීරයේ පිහිටි මුහුදු තෘණ බිම්වල Thalassia hempritchii, Enhalus acoroides,
Cymodocea rotundata, Cymodocea serrulate, Syringodium isoetifolium, Holodule pinifolia
වැනි මුහුදු තෘණ විශේෂ රාශියක් මෙහි වාර්තා වේ. ස්වභාව රක්ෂිතයේ ලවණ වගුරු බිම්වල මහා
සාරන (Sesuvium portulacastrum), ලුණු ගස් (Halosarcia indica) හා උමරි (Suaeda maritima)
වැනි ලවණ පරිසරවල පමණක් වාර්තා වන කුඩා ශාක විශේෂ දැක ගත හැකි වේ.
මෙම ස්වභාව රක්ෂිතයේ පිහිටි ගොඩබිම් පරිසරයේ තෘණ බිම්, කටු පදුරු සහිත ලදු කැළෑ හා වියළි
මිශ්‍ර සදාහරිත වනාන්තරවල සපුෂ්ප ශාක විශේෂ 52 ක් පමණ වාර්තා වන බව අධ්‍යයන වලින්
අනාවරණය වී තිබේ. මෙහි වාර්තා වන සපුෂ්ප ශාක අතර හීන් කරඹ (Carissa spinarum), පලු
(Manilkara hexandra), රණවරා (Senna auriculata), මා දං (Syzygium cumini), වීර (Drypetes
sepiaria), කුකුරුමාන් (Catunaregam spinosa), කඹරැස්ස (Smilax perfolata) වැනි ශාක දැක ගත
හැකි වේ.
මෙම ස්වභාව රක්ෂිතයේ ශාක විවිධත්වය මෙන් ම විවිධ පරිසර පද්ධතිවලට ආවේණික විශාල සත්ත්ව
විවිධත්වයක් ද දැක ගත හැකි ය. සාගරයේ මුහුදු තෘණ බිම් ආශ්‍රිත ව ඉතා ම දුර්ලභ, වඳවීමේ
තර්ජනයට දරුණු ලෙස මුහුණ දී ඇති මුහුදු ඌරා (Dugong dugon) නම් ක්ෂීරපායී විශේෂය
කලාතුරකින් වාර්තා වන අතර කබර මුල්ලා (Sousa plumbea) වැනි ඩොල්ෆින් විශේෂ ද මෙහි වාර්තා
වේ. මෙරට වාර්තා වන කැස්බෑ විශේෂ පහ අතුරෙන් විශේෂ 4 ක් මෙම රක්ෂිතය ආශ්‍රිත වෙරළ
තීරයට බිත්තර දැමීමට පැමිණේ. එම විශේෂ නම් බටු කැස්බෑවා (Lepidochelys olivacea), පොතු
කැස්බෑවා (Eretmochelys imbricate), ගල් කැස්බෑවා (Chelonia mydas) හා ඔලුගෙඩි කැස්බෑවා
(Caretta caretta) වේ.
වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ වැඩි ම විවිධත්වයක් ඇත්තේ පක්ෂීන් ගේ ය. ලංකා කුරුලු සංගමයේ
වාර්තාවලට අනුව සංක්‍රමණික හා ජලජ පක්ෂීන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මෙම රක්ෂිතයෙන්
වාර්තා වන බව සොයා ගෙන තිබේ. ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති පක්ෂි විශේෂ 512 න් විශේෂ 210
ක් ම මෙම ස්වභාව රක්ෂිතයෙන් වාර්තා වීම සුවිශේෂත්වයකි. තෙත් බිම් පරිසරවල වාර්තා වන
සංක්‍රමණික හා නේවාසික පක්ෂීන් වන පට්ටුදු තාරාවා (Northern Shoveler), තිත් හොට තාරාවා
(Indian Spot billed Duck), බැම සුදු සේරුවා (Garganey), පඬු තාරාවා (Ruddy Shelduck), දුඹුරු මුහුදු
ලිහිනියා (Sooty Tern), බැම සුදු මුහුදු ලිහිනියා (Bridled Tern), රෝස මුහුදු ලිහිනියා (Roseate
Tern), කැස්පියානු මුහුදු ලිහිනියා (Caspian Tern), මහ කොණ්ඩ මුහුදු ලිහිනියා (Great Crested
Tern), අලු උස් වටුවා (Grey Francolin), රජ උලු කැස්වටුවා (Greater Painted Snipe), ගෝමර
ඇවසෙට්ටා (Pied Avocet), වැලි සිලිවටුවා (Sanderling), බඩ කලු සිලිවටුවා (Dunlin), දෑකැති
සිලිවටුවා (Curlew Sandpiper), දාර මහ වටුවා (Bar tailed Godwit), දෑතුඩු වටුවා (Whimbrel),
ලොවිච්චි සිලිවටුවා (Ruff), පුංචි කුරුලුගොයා (Besra), වගුරු බිම් උකුස්සා (Eurasian Marsh Harrier),
ගෝමර බිම් උකුස්සා (Pied Harrier) වැනි විශේෂ රාශියක් මෙම ස්වභාව රක්ෂිතයේ වාර්තා වේ.
මෙම සමස්ත ජෛව ප්‍රජාව ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය
ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව ලංකාවට බිජු දැමීම සඳහා සංක්‍රමණය වන
කැස්බෑවුන් ගේ බෝවීම සිදු වන වෙරළ කලාපය ආරක්ෂා කිරීම සහ ශීත සෘතු හා ගිම්හාන සෘතු
සංක්‍රමණිකයන් ලෙස මෙරටට පැමිණෙන පක්ෂීන් ගේ ගොදුරු බිම් සුරක්ෂිත කර එම සතුන් ගේ
රැකවරණය තහවුරු කිරීමට බොන් සම්මුතියට අනුව අප රට බැදී සිටී. 1979 ජුනි මස 23 වන දින
සම්මත කර ගත් සංක්‍රමණික සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමේ බොන් සම්මුතියට (Convention on
the conservation of migratory species of wild animals – BONN Convention) 1990 ජුනි මස 06
වන දින අත්සන් තබා එකඟතාව පළ කර ඇති අප රට, මෙරටට සංක්‍රමණය වන කැස්බෑවුන් හා
සංක්‍රමණික පක්ෂීන් ගේ රැකවරණය තහවුරු කිරීමට අන්තර් ජාතික ව බැදී සිටී. එම සතුන් ගේ
වාසස්ථාන විනාශ කිරීමට හේතු වන තීන්දු තීරණ ගැනීමට මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමට බැදී
සිටින වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයට කිසිදු අයිතියක් නොමැත.
මෙම තත්ත්වයන් සියල්ල පදනම් කර ගෙන සුවිශේෂී පරිසර පද්ධති සංකීර්ණයකින් සමන්විත
වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ආරක්ෂා කිරීමට සැලැසුම් සකස් කිරීම වෙනුවට එය විනාශ කිරීමට
සැලැසුම් සකස් කිරීමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලයට ම රටේ
ස්වාභාවික සම්පත්වල වර්තමාන හා අනාගත පැවැත්ම පිළිබඳ ව හෝ මෙරට පාරිසරික නීති පද්ධතිය
පිළිබඳ ව හෝ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැති බව ය. මේ නිසා බුද්ධිමත්
ජනතාව එක් වී මෙම සම්පත් ආරක්ෂා කිරීමට පෙරමුණ ගත යුතු වේ. එසේ නොමැති වුවහොත්
සමාගම්වල හා දේශපාලඥයන් ගේ වුවමනාව මත ඉතා ම කෙටි කාලයක් තුළ මෙම ස්වාභාවික
සම්පත්, ජන දිවිය, ආර්ථිකය හා රටේ ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය යන සියල්ල සම්පූර්ණයෙන් ම
බිඳ වැටීමට ලක් කිරීම වළක්වා ගත නොහැකි ය.