ජවිපෙ කියන්නේ තවත් රතු බණ්ඩාරනායකලාගේ පක්ෂයක්

අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ ( NPP) ජනාධිපති අපේක්ෂකයා විදියට පහුගිය කාලයේ බොහෝම ලිබරල් ප්‍රතිපත්තියක් තමයි පෙන්නුම් ක‍රමින් හිටියේ. ඒ අතරතුර ලාල් කාන්ත තමයි අවංක ජේවීපීකාරයා (ජනතා විමුක්ති පෙරමුණ) ලෙස සිය කේඩරය ආමන්ත්‍රණය කළේ. නමුත් දැන් දැන් බලයෙන් ආතුර වුනු, අනුර කුමාරගේ චරිතය හොරු අරන් ජවිපෙ නායකයා බවට පත්වෙමින් ඉන්නේ. 

මොකද මෙයට පෙ‍ර ජවිපෙ ට ‍රටතුළ හා ජාත්‍යන්තරයේ මෙවැනි පිළිගැනීමක්, සමාජයේ විවිධ මට්ටම්වල පිරිස් ඔවුන්ට ඇහුම්කන් දීමක් සිද්ධ වුනේ නැහැ. ඒ නිසා එන්පීපී නායකයා ලෙසින් ලිබරල් වෙන්න ගියත් කණ කොක් සුද වගේ ඉගිල්ලෙන කොට පාට පෙනෙන්න අරගෙන.

මොවුන් පළමුවෙන්ම එළියට බැස්සේ දෑකැති මිටි, මාක්ස්, ලෙනින් උස්සාගෙන, රතු ඇඳුම් ඇඳගෙන. රෝහණ විජේවීර හිරෙන් නිදහස්වෙලා ඇවිත් පළමු රැස්වීම තිබ්බේ කොළඹ නව නගර ශාලා පිට්ටනියේ. මේ රටේ කම්කරු පංතිය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (SLFP) කරබදු කරදුන් එන්. එම්ලා ගේ වලටත් හෙණ ගහන්න ඕන කියලා තමයි ඒ ‍රැස්වීමෙදි විජේවීර කිව්වේ. ඒ තරම් වමෙන් හිටියේ. එකම සමාජ ස්ථරයන්ට පොර බැදූ නිසා ජේවීපී එකට මුලින්ම ආරෝව තිබුණේ SLFP එකත් එක්ක.

මාක්ස්වාදයේ සුළු ධනේෂ්වරය ලෙස හදුන්වන වාම සළුපිලි පැළඳ, වාම වෙස් මුහුණක් දාගෙන එන මෙවැනි පක්ෂ පිළිබඳ ඉතාමත් නිවැරදි විග්‍රයක් කළේ නව සම සමාජ පක්ෂය (NSSP) විතරයි. 1979 තරම් ඈතකදී NSSP ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කිව්වේ ජවිපෙ කියන්නේ තවත් රතු බණ්ඩාරනායකලාගේ පක්ෂයක් කියලා.

1982 පැවැත් වූ පළමු ජනාධිපතිවරණයට ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරත් තරඟ කළා. අද අනුර කුමාර 9 වැනි ජනාධිපතිවෙලා ඉන්නවා වාගේම එදත් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙනතුරු විජේවීර ජනාධිපතිවෙලා හිටියේ. වලංගු මුළු චන්ද ප්‍රමානය වුනේ 6,522,147 යි. එයින් විජේවීරට ලබා ගන්න පුලුවන් වුනේ ඡන්ද 2,73, 428 යි. නැතිනම් 4.19% යි.

විජේවීර හිතුවා දෙමළ ජාතික අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා තමයි ප‍රාජය වුනේ කියලා. ඒ නිසා පරාජයෙන් පස්සේ ජාතීන්ගේ ස්වංතීරණ අයිතිය ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉවත් කළා. ජේ ආර් ගේ ආණ්ඩුවේ මර්දනය පරාජය කිරීමට 1979 දී ජවිපෙ එක්ක වමේ පක්ෂ හතරක් සංධානගත වුණා. ඒ අතරතුර ගාල්ල අතුරු මැතිවරණයක් ආවා. වමේ සංධානය කඩාදාලා ජවිපෙ එයාලගේ අපේක්ෂකයෙක් සාකච්ඡාවකින් තොරව ඉදිරිපත් කළා. 

මේ විදියට තමයි ජවිපෙ තමන්ගේ වමේ සළුපිලි උනාදැමීම ආරම්භ කළේ.

82 ජනාධිපතිවරණයට SLFP නායිකා සිරිමාවෝ බණ්ඩාරනායකට ඉදිරිපත් වෙන්න බැරිවුණා. මොකද ජේආර්ගේ ආණ්ඩුව ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තිබුණේ. ඒ නිසා පක්ෂයෙන් තරඟ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව. SLFP නායකත්වය බණ්ඩාරනායකලාගෙන් විතැන්වන නිසා ඉහළ නායකන් මැතිවරන ව්‍යාපාරය මඟහැරියා.  මුළු ඡන්ද ව්‍යාපාරයේ බර කරට අරන් වැඩ කළේ විජය කුමාරණතුංග. 

කොබ්බෑකඩුවගේ පරාජ‍යෙන් පස්සේ SLFP එක ඇතුළේ ගිය වාද විවාද අවසන් වුණේ විජය කුමාරණතුංග එළියට ඇවිත් ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශ්‍රීලමප ) ගොඩනැගීමෙන්. SLFP එකේ සිදුවුනු මේ පිපිරීමෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේත්, අර්ධ රාජ්‍ය අංශයේත් විශාල වෘත්තීය සමිති ප්‍රමානයක් ශ්‍රීලමප ට හිමිවුණා. 

ශ්‍රීලමප ට ලැබුණු කම්කරු පංතියේ බලය අනෙක් වමේ පක්ෂවලට සාපේක්ෂව බලවත්. එය කොතරම්ද කියනවා නම් ශ්‍රීලමප, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) , කොමියුනිස්ට් පක්ෂය (කොප) හා NSSP එකතුවෙන් ගොඩනැගුණු එක්සත් සමාජවාදී පෙරමුණේ (එසපෙ) නායකයා වුනේ විජය.

1964 දී ලසසප, කොප විසින් ජාතිවාදී SLFP ට කරබදු කෙරූ කම්කරු පංතිය එයින් එළියට විත් මේ ලෙසට ස්වාධීන වමේ ගමනක් ආරම්භ කළා. මේ අත‍ර ජේආර්ගේ රජය ඉන්දු ලංකා ගිවිසුම මගින් දෙමළ ජනතාව මත පැට වූ පළාත් සබා වෙනුවෙන් එසපෙ පෙනී සිටිමින් තරග කළා. 

එයට විරුද්ධව ගොඩ නැගූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකත්වය ගත්තේ ජවිපෙ. එහි නායකයන්ගේ නියෝග මත ගම්වල සිටි ජවිපෙ කොල්ලො කුරුට්ටන් බෝක්කු, පාලම් උඩ උසාවි පැවැත්වූවා. විත්තිකරුවන් නැතිව නඩු අහලා පළාත් සබා වෙනුවෙන් පෙනී සිටි වාමාශිකයන් “දේශ ද්‍රෝහී” ලේබලය අලවා ගල්කටස් වලින් වෙඩි තියලා මරන්න පටන් ගත්තා. ටික කලක් යනකොට T 56 ත් ගත්තා.

6200 ක් මෙසේ මරා දැමුණු අතර වමේ වෘත්තීය සමිති නායකයන්, කලා කරුවන්, ජනමාධ්‍යවේදීන්, වාමාංශික නායකයන්ද මේ අතර වුණා. මේ විදියට වාමාංශිකයන් මරා දැමීම නිසා දකුණේ ගම් දනව් පිටින් දෙමළ වර්ග සංහාර යුද්ධයට දක්කාගෙන යන්න ජවිපෙ – රාජපක්ෂ සංධානයට පුලුවන් වුණා. 

මොකද වාමාංශිකයන් මරා දැමීම නිසා රටතුළ වමේ සාකච්ඡාවක් නැති සහරා කාන්තාරයක් බවට පත්වුණා.  ලෙයින් තෙත් වූ ජවිපෙ ඉතිහාසය ඒ වැලි කතරේ වසා දමා පොරවා ගත් ඊළඟ “සිල්වත් ‍රෝස රෙද්ද” තමයි NPP  “මාලිමාව” කියන්නේ. මාලිමාව අද වඩා ප්‍රශස්ත විදියේ වෛරයේ, පලිගැනීමේ ප්‍රකාශනයක් බවට පත්වීම අනිවාර්යක් වන්නේ මේ ඉතිහාසයේ පාදම මත ගොඬනැගුණු නිසා.

NPP නායක අනුර කුමාර කියනවා ලසන්ත ඝාතනය, කීත් නොයාර් ඝාතනය, ( කීත් නොයාර් පැහැරගෙන ගිහිල්ල තොල කට පුපුරන්න ගැහුවා විතරයි.) පෝද්දල ජයන්තට පහර දීම රාජ්‍ය ත්‍රස්තවාදයලු. ඒවා ගැන හොයන්න ඕනලු. ඒ ඔක්කොම ජවිපෙ විසින් වඩම්මාගෙන ආපු මහින්දගේ ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්චි එව්වා බව අනුරට අද අමතක වෙලා. නමුත් ජවිපෙ කරපු ඝාතන ගැන ඇහුවම ඒවා ඒ තත්වයන් තුළ සිද්ධ වෙනවලු. මේ ‘සුළු සුළු අපචාර’  කතාව ඇහුවාම මට ප්‍රශ්න කීපයක් මතුවුණා.

ලාල්කාන්ත පහුගිය දිනක කිව්වා මාලිමාවට බලය ලැබුණාම එයට ප්‍රතිවිරුද්ධව නැගෙන සතුරු බලවේග මර්දනය කරනවා කියලා. රාජ්‍ය බලය තියෙන්නේ ඒකට තමයි කියලා. ඉතිං රාජ්‍යයට විරුද්ධව ගොඩනැගෙන බලවේග අනීතික ලෙස මර්දනය කිරීම තම‍යි රාජ්‍ය ත්‍රස්තවාදය කියන්නේ. ඒක මාලිමා රජයකින් කළාම තේපැන් සංග්‍රහයක් වෙන්නේ කොහොමද කියලා දැන ගන්න කැමතියි. 

ජවිපෙ – රාජපක්ෂලාගේ වර්ග සංහාර යුද්ධයට විරුද්ධව ලියපු, කතා කරපු, පෙනී හිටපු නිසා, යුද්ධය අස්සේ සිදුවුනු වංචා, දූෂණ එළිදරව් කරපු නිසා තමයි ජනමාධ්‍යවේදීන් මැරුවේ. අතපය කැඩුවේ. පහර දුන්නේ. අතුරුදහන් කෙරුවේ. මාධ්‍ය ආයතයන්ට බෝම්බ ගැහුවේ. වෙඩි තිබ්බේ. ඒ රාජ්‍ය ත්‍රස්තවාදයට අවශ්‍ය මාවත එළිපෙහෙලි කරළා දුන්නේ අනුර කුමාරලා, ලාල් කාන්තලා තමයි. මේ මෑතකදීත් ලාල් කාන්ත බොහොම උජාරුවෙන් එය ප්‍රසිද්ධියේම පිලිගත්තා.

කොටි, ඩොලර් කාක්කෝ, එන්ජීඕකාරයෝ, දේශ ද්‍රෝහීන් වැනි ලාඩම් ජනමාධ්‍යවේදීන්ට එල්ලුවේ අනුර කුමාරලා, චම්පිකලා හැර වෙන කවුද? විමුක්ති කොටි සංවිධානය පවා විවේචනය කරමින් ලිපි ලියූ ජාත්‍යන්තර කීර්තියට පත් සිවරාම් (තරෑකී) මාධ්‍යවේදියා කොළඹදී පැහැරගෙන ගිහින් මරා දැම්මා. ජවිපෙ නිල පුවත්පත් වූ “ලංකා” පුවත් පතේ කතුවැකියේ ලිව්වේ සිවරාම් කොටියෙක් නිසා මරා දමීම යුක්ති සහගතයි කියලා. 

මේවා මොනයම්ම විදියකින් හරි දරාගෙන හිටියත් අනුරලා රාජ්‍ය බලය ගැනීම වෙනුවෙන් මේ සම්බන්ධව කිඹුල් කදුළු හෙලන එක තමයි දරා ගන්න අමාරු.

එදා ජවිපෙ අනුර කුමාරලා කරපු ඩියුටිය අද රාජ්‍ය බලය ගැනීමේ යුද්ධය වෙනුවෙන් බාරගෙන තියෙන්නේ සේපාල් අමරසිංහලා.  “මේරියන්ස්” සංගීත කණ්ඩායමත් එදා යුද පෙරහැරේ තප්පු ගැහුවා. ඒත් අද ඒවා වානා. “පූජනීය මාලිමාව” ට විහිළුවක් කරපු මේරියන්ස්ලාට විරුද්ධව පැමිණිලි නොකර ක්‍රියාත්මක වෙන්න කියලා මාලිමාවේ සේපාල් ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම කොතරම් සාර්ථකද කියනවා නම් මේරියන්ස්ලා ජීවිත ත‍ර්ජනවලට පවා ලක්වී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න තත්වයට පත්වුණා.  

අද මේ විදියට මාලිමා ලුම්පන්නලා දකුණේ අණසක පතුරුවද්දී මාලිමා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර උතුරට ගිහිල්ලා තග දානවා. සිංහල බෞද්ධ හමුදාවේ යකඩ සපත්තුවට පාගාගෙන ඉන්නා දෙමළාට කියන්නේ දකුණේ මනෝභාවය තේරුම් ගනිල්ලා. එදා ජවිපෙ, අද මාලිමාව. ඒ මනදොල සපුරා ලීමට විරුද්ධවුනු දකුණට අපි දුන්නේ ටින්කිරි ටින් එකෙන් හා ගල්කටස් එකෙන්, T 56 න් . උඹලාට දුන්නේ බර අවියෙන්.  21 මම ජනාධිපති වෙනවා. මට විරුද්ධව වැඩ කරළා මම දිනුවාම උඹලාගේ ඔලුවේ ඉන්න උකුණාටත් මොකක් වෙයිද කියන්න බැරිවෙයි කියලා.

අමතක නොකළ යුතු කාරණයක් තමයි, දේශපාලන විරුද්ධවාදීන් මර්දනය සඳහා ජවිපෙ තුන් වතාවක් ආයුධ ගත් බව. ඉන් දෙවතාවක්ම දෙමළාගේ අයිතියට විරුද්ධව. 71 දී සිරිමාගේ ආණ්ඩුවට විරුද්ධව ගල්කටස්. 87 දී පළාත් සභා පිහිටුවීමට විරුද්ධව T 56. 2009 දී උතුරට විරුද්ධව මල්ටි බැරල්.

එහෙව් අනුරලා මේ අනතුරු ඇගවීම කරන්නේ උතුරට විතරක් නෙමේ. මොකද මේ කතාව දකුණේදී කරන්න ඔහුට බෑ. ඒක නිසා ලංකාවේ දෙවැනි නගරය වන යාපනයට ගිහිල්ලා දකුණටත් එක්ක තමයි මේ කියන්නේ. මාලිමාව දිනුවාම ඒ මනෝභාවයට විරුද්ධව වැඩකරපු දකුණේ එවුනුත් හැංගෙන්න තැන් හොයා ගනිල්ලා කියලා. විශේෂයෙන්ම මාලිමාවට විරුද්ධ ඉහළ හා පහළ මැද පංතියට. 

ඒ වගේම ඔවුන් හිතනවා මේ චණ්ඩි කතාවලින් දකුණේ සිංහල, බෞද්ධ ජාතිවාදී ඡන්දත් වැඩි කරගන්න හැකිවේවි කියලා. 

ජා – ඇල රැලියකදී කළ ප්‍රකාශ‍යක් හා දකුණේ මහ ප‍රිමාණ කොම්පැණිකාරයන්ගේ හමුවීමකින් පස්සේ තමයි මාලිමා නායකයා උතුරට ගිහින් මේ අනතුරු ඇගවීම කළේ. මේවා අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. මේවා වෙන වෙනම සිදුවන සිදුවීම් නෙමේ. එකම දම්වැලක පුරුක්. 

ජා-ඇල රැස්වීමකදී අනුර කුමාර කියනවා එයා දිනුවාම පාර්ලිමේන්තුවේ අසුනක් හිස්වෙනවලු. පාර්ලිමේන්තුව විසුරුවා හරිනවලු. ඊළග මැතිවරනය තෙක් රජය පවත්වාගෙන යන්න ඔහුගෙන් හිස් වූ අසුනට කෙනෙක් දාලා ඒ හතර දෙනාගේ කැබිනෙට්ටුවෙන් රට පාලනය කරනවලු. (අලුත් කෙනා රාජ්‍ය ආරක්ෂක ඇමති ලාල් කාන්ත වෙන්න ඕන. මොකද ඔහු සේපාල් අමරසිංහ ලවා තමන් පොලිසිය බාර ඇමැතිකමට කැමතියි කියලා කලින්ම ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ).  නැතිනම් සියලු අමාත්‍යංශ තමන් යටතට පවරාගෙන ඒකාධිපතියෙක් විදියට පාලනය ගෙනියනවා කියලා.

මීට කලකට පෙර මාලිමා විධායක සභික ලාල් කාන්ත කිව්වා එයාල සමාජවාදේ ගොඩනගන්න නෙමේ යන්නේ. මේක කොම්පැණිකාරයොත් එකතු කරගෙන ගහන ගේමක් කියලා. ගුරු වැඩ වර්ජනයේදී කිව්වා ආර්ථිකය කඩා වැටිච්ච මේ වෙලාවේ වැඩ වර්ජන කරන්නේ නෑ. ඒවාට විරුද්ධයි කියලා. සෞඛ්‍ය වැඩ වර්ජනයේදී කිව්වේ ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩ වර්ජනවලට මාලිමාව විරුද්ධ බව. 

දුටු දා පටන් කළු ඝණ උඩු රැවුලක් තිබෙන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමාජවාදයේ අනුරාගයෙන් වේදිකා දෙවනත් කරන්නෙක්. කොච්චර කිව්වත් අහන්නේ නැති නිසා ජෝන් කීල්ස් අධිපති කෙන් බාලේන්ද්‍රන් ලවා ටිල්වින්ට කිව්වා පිස්සු කෙළින්නේ නැතිව ඉන්න කියලා. පූස් පැටියෙක් වගේ කෙන්බාලේන්ද්‍රන්ගේ කතාව අහගෙන ඉන්නා ටිල්වින් දැක්කාම මට මැවී පෙනුනේ බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාල දමනය.

මාලිමාවට සහතික දෙන ගාල්ලේ බටදූවේ ඩීඑස් අයි කොම්පැණිකාරයා කියන්නේ අදත් කම්කරු නීතිරීති තඹ දොයිතුවකට මායිම් නොකරන නොම්මර එකේ කුලවාදියෙක්.

ඉතිං ලාල් කාන්ත මුල් කාලයේ පටන්ම කියපු කතා සහ අනුර කුමාර දැන් දැන් කරන ප්‍රකාශත්, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් හා මාලිමා ලුම්පන්ලාගේ තර්ජනත් එක්ක මේ සමස්ථය අධ්‍යයනය කළාම ලැබෙන පින්තූරය මොකක්ද? කඩා වැට්ටූ ආර්තිකය නැවත ගොඩ ගන්න, ලාබ රේට්ටු වැඩි කරගන්න ෆැසිස්ට් පන්නයේ රාජ්‍යයක් කොම්පැණිකාරයන්ට හදා දෙන්නම් කියන සහතිකය තමයි මේ ඔවුන්ට දෙන්නේ.

අපි මොහොතකට උපකල්පනය කරමු මාලිමාව ජනාධිපතිවරණයෙන් දිනුවා කියලා. එතකොට එක්කෝ මාලිමා හතරදෙනාගේ කැබිනෙට්ටුව හෝ ඒකාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති තමයි ඊළ්ග පාර්ලිමේන්තු මැතිවරනයක් පවත්වන තාක් රට පාලනය කරන්නේ. 

රාජ්‍ය බලය නැතිව යම් පිරිස් බලයක් පමනක් දැකලා එයින් උන්මාදයට පත්වෙච්ච සේපාල්ලා අද කියනවා “පූජනීය මාලිමාව” එක්ක සෙල්ලම් කරන්න එන්න එපා කියලා. “අදිටන ” විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික ව්‍යාපාරයේ සාමාජිකයෙක් මැතිවරන ජයග්‍රහනයෙන් පස්සේ කරන්න යනදේ මොකක්ද කියලා කිසිඳු චකිතයකින් තොරව  කියනවා. 

දැනටමත් නිර්මාණය වී තිබෙන එවැනි පසුබිමක් තුළ ඒකාධිපති ජනාධිපති කෙනෙක් ආවම හෝ රාජ්‍ය බලය ලබුණාම එදාට සේපාල් අමරසිංහලා, “අදිටනලා” ලක්ෂ ගණනක් රටපුරා බිහිවේවි. මාලිමාවේ ආරක්ෂක අංශයේ ලොක්කා මේජර් ජනරාල් අරුණ ජයසේකර දැනටම කියලා තියෙන්නේ හතලිස් දාහක් එයා එක්ක ඉන්නවා කියලා. ඒ නිල නොවන මිලීෂියාව. එයාල උතුර දකුණ දෙකේම වැඩ පෙන්නපු අය.

එතකොට “පූජනීය මාලිමාව” හෝ එහි නායකයන් හෝ “සුප්‍රීම් ලීඩර්” අනුර කුමාරයාණන් හෝ විවේචනය කිරීම දඬුවම් ලබන වරදක් නොවී තියේවිද? නඩු අසා දඩුවම් දීමේ බලය ලාල් කාන්ත ගමට දෙන්නේ ඒකටනේ. නීත්‍යානුකූලව හෝ අනීතිකව දඬුවම් ලැබෙනවා. විරුද්ධ පක්ෂවලට තමන්ගේ ප්‍රතිපත්ති පමනක් කියලා චන්දය ඉල්ලන්න සිදුවේවි. එහෙම වුනොත් මාලිමාව ඊළඟ පාර්ලිමේන්තුවේ 6/5 වඩා අති විශිෂ්ට ජයක් අත්කර ගනීවි. 

ඉන්පස්සේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර වහල් කලාපයක් කිරීම නිසා විදෙස් ආයෝජකයන් වැහි වහීවි. වැඩ වර්ජන, විරෝධතා තහනම්. මෙනිසා ආර්ථික වර්ධනයක් ඇතිවේවි. බලා සිටියදී නි‍ර් ප්‍රභූන්, සුපිරි ප්‍රභූන් බවට රූපාන්තරනය වේවි. කෙන්බාලේද්‍රන්ලා, ඩීඑස් අයි වැනි දේශීය කොම්පැණිකරුවන් ජයගනීවි.

මේවන විට මාලිමාව වටා රොක්වී සිටින තර්ක බුද්ධියෙන් යමක් විමසා නොබලන්නන්ට මේ කිසිවකින් වැඩක් නෑ. අදාල නෑ. ඔවුන්ගේ එකම අරමුණ, එකම පැතුම හොරු ඇල්ලීම, හොරා කෑ සල්ලි ආපසු ලබා ගැනීම හා රාජපක්ෂලා හිරේ දැමීම විතරයි. මාලිමාවත් පොරොන්දු ඉටු කරයිද? නොකරයිද? යන දෙගිඩියාවටත් උත්ත‍රයක් තියෙනවා. ගෝටා එලෙව්වා වගේ මෙයාල එලවන්න අපි තමයි ඉස්සෙල්ලාම පාරට බහින්නේ.

2004 සුනාමියෙන් හෙල්පින් හම්බන්තොට උලා කෑ මහින්ද රාජපක්ෂ 2005 දී ජනාධිපති කළේ ජවිපෙ කියා ඒ අයට මතක නෑ. 

තවත් පිරිසක් ඉන්නේ නිර්ප්‍රභූ බලයක් 1947 න් පස්සේ පළමු වතාවට ලංකාවේ බිහිකර ගන්න.  නිර්ප්‍රභූන් තමයි රාජ්‍ය බලයත් එක්ක ප්‍රභූන් වෙන්නේ කියලා මේ ඇත්තෝ දන්නේ නෑ වගේ. කොහොම වුනත් ඒ ඒ කෙසෙල්වලට ඒ ඒ බනිස් ජවිපෙන් හදලා දීලා තියෙනවා.

ජවිපෙ නායකයන් මේ විදියට ඉතාම කෛරාටික, ඉතාමත් උපායශීලී ලෙස රටවැටී තිබෙන අගාධය රාජපක්ෂලා විරෝධ‍යකට නාභිගත ක‍රළා තිබෙන්නේ. එහෙම කරළා බලාපොරොත්තු, අපේක්ෂාවන් බිඳ දැමූ රාජපක්ෂ විරෝධී ජනප්‍රිය සටන් පාඨ හරහා මාලිමාවට ජනතාව දිනා ගැනීම තමයි පළමුව කළේ. දැන් ඒ ජනතාවට IMF එකත් එක්ක නෙමේ CITY FM එක්ක ගියත්, කොයි පාළමේ යනවා කිව්වත් තුට්ටු බාගයකට වැඩක් නෑ. කොම්පැණිකාරයන්ගේ විය ගහේ පැත්ත මාරු කරනා එක විතරයි වෙන්නේ කියලා පෙනෙන්නේ නෑ.

ඒ බව හොඳින් තේරුම්ගත් ජවිපෙ නායකයන් බස් එකට නංගා ගත්තාට පස්සේ තමයි ජනාධිපතිවරණයට කෙටි කාලයක් තිබියදී යන්නේ කොහෙද කියලා මාලිමා ආර්ථික වැඩ පිළිවෙල එළියට දැම්මේ. මොන තරම් සුන්දර කතා කිව්වත් පක්ෂයක දිශානතිය තීරණය වන්නේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියෙන්. 

ජවිපෙ වැනි සුළු ධනේෂ්වර පක්ෂයක නිරන්තර අභිලාෂය වන්නේ මහ ධනේෂ්වරය බවට පත් වෙන්නේ කොහොමද කියලා. කම්කරු පංතිය මූලික පදනම කරගත් විප්ලවවාදී පක්ෂයකට එවැනි පක්ෂයක් දිනාගත හැකිනම් ඔවුන් නි‍ර්ධනයන්ගේ හා නිර්ප්‍රභූන්ගේ උන්නතිය වෙනුවෙන් මෙහෙයවා ගන්න පුලුවන්. 

එහෙම බැරිවුනොත් “නැගිටපල්ලා, නැගිටපල්ලා, උඹලගේ වාරය ඇවිල්ලා” යි  71 සිට වසර 53 ක් තිස්සේ බෑගිරි ගසන නිසා නැගිට්ටත් “කුසට සා ගිනි, හදට සෝගිනි” තම‍යි.

– ඥානසිරි කොත්තිගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *