ජවිපෙ/ජාජබ නායකයා ලංකාව තුල වැඩ වර්ජන තහනම් කිරීමක් ගැන ඉඟි පල
සමන් ගුනදාස විසිනි.
[මෙය JVP/NPP leader foreshadows strike ban in Sri Lanka යන මැයෙන් 2024 නොවැම්බර් 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාලක ජාතික ජන බලවේගයේ (ජාජබ) අපේක්ෂක ලක්ෂ්මන් නිපුන ආරච්චි, නව ආන්ඩුව යටතේ කම්කරුවන්ගේ වැඩ වර්ජන අනවශ්‍ය යැයි ඔක්තෝබර් 31 දා කැස්බෑවේ පැවති මැතිවරන රැස්වීමකදී ප්‍රකාශ කලේය. ජාජබ යනු ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මැතිවරන පෙරමුනයි.
“මම අද කිව්වයි කියලා හිතේ තියාගන්න. ඒ ස්ට්‍රයික් ඉතිහාසයෙන් නැතිවෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නෙ? ආන්ඩුව එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා බේරගන්නනෙ තියෙන්නෙ.”
නිපුන ආරච්චි ජවිපෙ/ජාජබ පාලනය යටතේ “වර්ජනයක අවශ්‍යතාවය අවසන් වන” බවත්, ඒ සඳහා ආදර්ශයක් දීමට ජවිපෙ තමන්ගේම වෘත්තීය සමිති විසුරුවා හරින කීවේය.
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දකුනත වැන්නෙකු කල මෙම ප්‍රකාශයන් ඇඟවුම් කෙරෙන්නේ, වැඩ වර්ජන මගින් මිනිසුන්ට සිදුවන “දුක් ගැහැට” අවසන් කිරීමේ නාමයෙන්, කාර්මික ක්‍රියාමාර්ග තහනම් කිරීමට ආන්ඩුවේ සූදානමයි.
“අපි නොවැම්බර් 14 [මහ මැතිවරන දිනය] දක්වා සංක්‍රාන්ති සමයක් පසු කරමින් ඉන්නෙ. මේ නිසා ඔබ ශක්තිමත් ආන්ඩුවක් ගොඩනැගිය යුතුයි. ඇයි? ඒ, බාධාවකින් තොරව රට ඉදිරියට ගෙන යාම සඳහායි” නිපුන ආරච්චි තවදුරටත් කියා සිටියේය.
මෙහි තේරුම සරල ය: රට ඉදිරියට ගෙන යාම සඳහා වැඩ වර්ජන තහනම් කරමින් සංවිධානය වීමට කම්කරුවන්ට ඇති අයිතිය අහෝසි කරනු ඇත.
මෙම ප්‍රකාශයන් පැමිනෙන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ), බදු, පුද්ගලීකරනය සහ රැකියා සහ අත්‍යාවශ්‍ය සේවාවල දැඩි කප්පාදු වැඩපිලිවෙල ඔහුගේ පාලනය යටතේ සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක කරන බවට, අලුතින් තේරී පත් වූ ජනාධිපති දිසානායක මහා ව්‍යාපාරිකයින්ට සහ විදේශීය ආයෝජකයින්ට සහතික වීමෙන් පසුවය.
දිසානායක සහ සමස්ත පාලක පන්තිය ම, ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ විරෝධය පුපුරා යනු ඇතැයි බියෙන් සිටිති. 2022 දී, නොඉවසිය හැකි සමාජ තත්වයන් මත, මාස ගනනාවක් පුරා පැවති මහජන නැගිටීමක් නිසා රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බිඳ වැටුනි.
2023 මුල් භාගයේ පටන්, සිය දහස් ගනන් කම්කරුවන් තම ජීවන හා සමාජ කොන්දේසි මත, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පසුගිය ආන්ඩුව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට එරෙහිව වැඩ වර්ජන හා විරෝධතාවල නිරත වී ඇත.
දැන් දිසානායක ආන්ඩුව භාන්ඩාගාරයට මුදල් නැති බව අවධාරනය කරමින්, පසුගිය පාලන තන්ත්රය විසින් ප්‍රකාශ කරන ලද, රාජ්‍ය අංශයේ මිලියන 1.4 කට, ප්‍රමානවත් නොවන සියයට 25 ක වැටුප් වැඩිවීම ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත.
නිපුන ආරච්චිගේ ප්‍රකාශයන්, නව පාලන තන්ත්රය, කම්කරුවන්ගේ පන්ති අවශ්‍යතා සඳහා සංවිධානය වීමට හා සටන් කිරීමට ඇති මූලික ප්රජාතන්ත්රවාදී අයිතිය අහෝසි කිරීමට සූදානම් වන බවට තියුනු අනතුරු ඇඟවීමකි.
තවත් මර්දනකාරී ක්‍රියාමාර්ග සූදානම් කර තිබේ. සැප්තැම්බර් 21 ජනාධිපතිවරන ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දු වූ, කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) අහෝසි කිරීමේ ප්‍රතිඥාව ආන්ඩුව අතහැර දමා ඇති බව, නව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් ඔක්තෝබර් 30 දා, සතිපතා කැබිනට් හමුවේදී පැවසීය.
වර්ජන තහනම් කිරීම යුක්ති යුක්ත කිරීම සඳහා, නිපුන ආරච්චි නැවත නැවතත් ඒවා මගින් ඇති වන දුක් වේදනා ගැන සඳහන් කලේය—එය ඕනෑම කාර්මික ක්‍රියාමාර්ගයකට එරෙහිව මහා ව්‍යාපාරිකයන් සූදානම් කරගෙන තිබෙන තර්කය යි.
“ලමයින් පාසල් යනවිට ගුරුවරු හෝ විදුහල්පතිවරු වැඩ වර්ජනයක. රෝහලට ගියොත් වෛද්‍යවරු, හෙදියෝ, සේවකයෝ වැඩ වර්ජනක. කොහේ හරි යන්න ඕන වෙනකොට, එක්කෝ [රජය සතු] සීටීබී නැතිනම්, පෞද්ගලික බස් වර්ජනයේ. අපට වැඩ වර්ජනවල කටුක ඉතිහාසයක් තිබුනා,” ඔහු ප්‍රකාශ කලේය.
ජවිපෙ/ජාජබ වැඩවර්ජන කෙරෙහි දක්වන සතුරුකම, කම්කරු පන්තිය කෙරෙහි එහි ගැඹුරින් මුල් බැසගත් සතුරුකමේ ප්රකාශනයකි. එය, ක්‍රියාත්මක කිරීමට නියමිත කප්පාදු න්‍යාය පත්‍රය කෙරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වයට එරෙහිව ප්‍රහාරයක් දියත් කරන ලෙස මධ්‍යම පන්තියේ කොටස් සහ කම්කරු පන්තියේ අනෙකුත් පසුගාමී කොටස් වෙත කරන ආයාචයකි.
එය පිහිටුවීමේ සිටම, ජවිපෙ පදනම් වූයේ – දැන් ඉවතලා ඇති- ස්ටැලින්වාදයෙන් ව්‍යුත්පන්න වූ ඊනියා සමාජවාදී වාගාලාප වලින් සැරසූ ප්රතිගාමී සිංහල ජනතාවාදය මත ය. සියලු වැඩ වර්ජන තහනම් කිරීමට එහි සූදානම, උග්‍ර සිංහල දේශප්‍රේමයට ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවයේ පැහැදිලි ප්රකාශනයකි.
ශ්‍රී ලංකාවේ ධනවාදයේ ගැඹුරු අර්බුදය සහ ධනේශ්වර පාලනයේ සම්ප්‍රදායික පක්ෂවල කැඩී බිඳී යාම මධ්‍යයේ කම්කරු පන්තියේ ඕනෑම විරුද්ධත්වයක් තලා දැමීමේ මාධ්‍යයක් ලෙස, පාලක පන්තියේ කොටස් ජවිපෙ වෙත හැරී ඇත්තේ මේ හේතුව නිසා ය.
නිපුන ආරච්චිගේ ප්‍රකාශය මෑත මාසවල ජවිපෙ වෘත්තීය සමිති නායකයන්ගේ අදහස් ප්රතිරාවය කරයි.
මිලියනයක පමන රාජ්‍ය අංශයේ සේවකයින්ගේ ජූලි 8-9 වැඩ වර්ජනයෙන් දින දෙකකට පසුව, ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (එන්ටීයූසී) සභාපති කේ. ඩී. ලාල්කාන්ත එන්ටීයූසී හි තීරනය නිවේදනය කලේය. සැප්තැම්බර් 21 ජනාධිපතිවරනයට සූදානම් වෙමින් සිටින මේ මොහොතේ වැඩ වර්ජන පිලිබඳ ඕනෑම යෝජනාවක් “පට්ට ප්රතිගාමී ක්‍රියාවක්” බව ඔහු ප්‍රකාශ කලේය.
එන්ටීයූසී නායකයා තවදුරටත් මෙසේ පැවසීය: “අපගේ දැක්ම විය යුත්තේ මැතිවරන සටන් භුමිය ශක්තිමත් කිරීමයි… මේ වෙනස්වීමට සරිලන ආකාරයට වෘත්තීය සමිති ව්‍යාපාරයට වෙනස් වීමට බැරිනම්, ඒක ‘අපරාධයක්.” ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිති, ජනතාව පීඩාවට පත් කරන සහ ඔවුන්ට එදිරිවාදිකම් කරන වැඩවර්ජනවල නොයෙදෙන බව ඔහු ප්‍රකාශ කලේය.
ඊට දින කිහිපයකට පසු තවත් ඉහල පෙලේ ජවිපෙ නායකයෙකු වන නලින්ද ජයතිස්ස යූ ටියුබ් නාලිකාවකට පැවසුවේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ පක්ෂය සහ රාජ්‍යය එකක් බවට පත්වන බවයි. කලමනාකාරිත්වය සහ වෘත්තීය සමිති එකට වැඩ කරනු ඇත—මෙය ෆැසිස්ට් අංග ලක්ෂන සහිත සංගතවාදී පන්ති සහයෝගීතාවය සඳහා වට්ටෝරුවකි.
ජවිපෙ තුල සහ ඉන් පිටත අනෙකුත් වෘත්තීය සමිති නායකයින් දැන් කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහිව දිසානායක ආන්ඩුවේ ව්‍යාපාරය සමග විවෘතව ම පෙල ගැසෙමින් සිටිති.
පුද්ගලීකරනයට එරෙහිව ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන්ගේ අරගලය යටපත් කිරීමේ වගකීම, ලංවිම එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සහ ජාජබ පාර්ලිමේන්තු අපේක්ෂක රන්ජන් ජයලාල් දරයි. සේවකයන්ට බලපාන බදු සමාලෝචනය කිරීමටත්, මාස හයකට වරක් වැටුප් සකස් කිරීමටත් ආන්ඩුව ප්‍රතිඥා දී ඇති බැවින් වැඩ වර්ජන අවශ්‍ය නොවන බව ඔහු මාධ්‍ය වෙත පැවසීය.
ලංකා ගුරු සංගමයේ නායක ජෝසප් ස්ටාලින් මාධ්‍ය වෙත කියා සිටියේ, ආන්ඩුව ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් මුහුන දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ නම් රට තුල වර්ජන ඇති නොවන බවයි. 2021 අග භාගයේ දී ඉල්ලා සිටි වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් පමනක් භාර ගනිමින්, ගුරුවරුන්ගේ දින 100 වැඩ වර්ජනය පාවා දුන් වෘත්තීය සමිති නායකයා ඔහු විය.
කම්කරු පන්තියට, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ එහි ප්රතන්ත්රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව සටන් කල හැක්කේ, ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය වී, වෘත්තීය සමිති නිලධරයෙන් මිදී තමන්ගේම ස්වාධීන සටන් සංවිධාන පිහිටුවා ගැනීමෙන් පමනි.
සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් හා ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටින්නේ, කම්හල්, වැඩපලවල්, වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල, වෘත්තීය සමිති සහ ජවිපෙ ඇතුලු සංස්ථාපිත පක්ෂ වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙසයි. ජාත්‍යන්තරව කම්කරුවන් වෙත ලඟා වෙමින්, මූලික සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටන සම්බන්ධීකරනය කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ජාලයක් ස්ථාපිත කල යුතුය.
සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක පදනම මත ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට විරුද්ධ වීම සඳහා දේශපාලන හා කාර්මික මූලෝපායක් සාකච්ඡා කිරීමට, සම්පාදනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට, ක්‍රියාකාරී කමිටු නියෝජිතයන්ගෙන් සමන්විත, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සසප කැඳවුම් කරයි.
නොවැම්බර් 14 මහ මැතිවරනයේදී සසප මෙම වැඩපිලිවෙල සඳහා උද්ඝෝෂනය කරමින්, මැතිවරන දිස්ත්‍රික්ක තුනක් සඳහා—අගනුවර කොලඹ, උතුරේ යාපනය සහ මධ්‍යම වතුකරයේ නුවරඑලිය—අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරයි. අපගේ උද්ඝෝෂනයට සහය දෙන ලෙසත්, අපගේ අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසත්, අපි කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු; නමුත් සියල්ලටත් වඩා, පන්ති සටන් සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට සසප හා බැඳෙන්න.
ලෝක සමාජවාදී සමනතා පක්සයෙන් උපුටා ගත්තකි.