ජවිපෙ මැරයන් ගොවි සම්මන්ත්‍රනයක් කඩාකප්පල් කිරීම කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමක්

ජවිපෙ මැරයන් ගොවි සම්මන්ත්‍රනයක් කඩාකප්පල් කිරීම කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමක්

සමාජවාදී සමානතා පක්ෂය

“ගොවි තැනේ කූඩිත්තෝ සහ අම්බරුවෝ” මැයෙන් ජාතික ගොවි සමුලුව (ජාගොස) නම් වූ සංවිධානය පෙබරවාරි 12දා හම්බන්තොට, අඟුනකොලපැලස්ස, උස්වැව ගම්මානයේ පැවැත්වීමට ගිය රැස්වීම ජනතා විමුක්ති පෙරමුන / ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට සම්බන්ධ මැර කන්ඩායමක් විසින් තර්ජනය කොට විසුරුවා හැරීම සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස හෙලා දකී.

මැර පිරිස සම්මන්ත්‍රනයේ සංවිධායකයින් ඇතුලු පිරිසට අතපය විසිකරමින් හා ඔවුන්ට තර්ජනය කරමින් පහරදීමට වෑයම් කරන ආකාරය පෞද්ගලික රූපවාහිනී නාලිකාවන්හි ප්‍රවෘත්තිවල විකාශනය විය. ජාගොස සම කැඳවුම්කරු හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප)ට අයත් ගොවි අරගල ව්‍යාපාරයේ (ගොඅව්‍යා) නායක නිමල් වත්තුහේවා සඳහන් කලේ, සම්මන්ත්‍රන ශාලාවේ එල්ලා තිබූ පසුබිම් බැනරය ජවිපෙ/ජාජබ මැරයින් විසින් ගලවා ගෙන ගිය බවයි. ඊට අමතරව ඔවුන් ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් ගලවා දමා ඇත.

සම්න්ත්‍රනය කෙරේ ආන්ඩුවේ වෛරය සෘජුවම ප්‍රකාශයට පත් කලේ, දාමරිකයන් මෙහෙයවූ බැමිනියන්වල සුනිල් නමැති ජවිපෙ ක්‍රියාධරයෙකි. ඔහු තමන් හඳුන්වා ගත්තේ ජවිපෙට අයත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය (සලංගොජස) නියෝජනය කරන්නෙකු වසයෙනි. ජවිපෙ/ජාජබ වෙත ගොවිජනයා රැලිකරදීමේ මූලික භූමිකාවක් සලංගොජස විසින් ඉෂ්ට කල අතර එහි කැඳවුම්කරු නාමල් කරුනාරත්නට ඔහුගේ සේවය වෙනුවෙන් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති පදවිය පුද කෙරී ඇත.

ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමේදී ගොවිජනයා මූලික කාර්යභාරයක් ඉෂ්ට කල බවත්, වත්මන් ආන්ඩුව පිහිටුවා ගත වී ඇත්තේ යාන්තම් මාස තුනක් වුව ද පොහොර සහනාධාරය සහ වී කිලෝවක් සඳහා රු.120ක සහතික මිලක් ඇතුලු ගොවීන්ට අවශ්‍ය “සියලු දේවල්” ලබා දී තිබෙන ජවිප මැරයා කීවේ ය. මෙය බොරුවකි. වී කිලෝවක් සඳහා රු.120ක මිල කිසිසේත්ම ප්‍රමානවත් නොවනබව පවසමින් ගොවීන් විවිධ ප්‍රදේශවල විරෝධය පා තිබේ.

සම්මන්ත්‍රනයේ සංවිධායකයන් විපක්ෂයේ සමගි ජන බලවේගය සජබ සහ රනිල් වික්‍රමසිංහගේ “බත්ගොට්ටන්” යැයි ද ගොවීන් දැන් ඉන්නේ සලංගොජස හා ආන්ඩුව සමග බව ද ජවිපෙ මැරයා චෝදනා කලේ ය. මහජනතාව විසින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දී ඇති ආන්ඩුව වට්ටන්න ඉඩ නොදෙන බව පැවසූ ඔහු, “මෙතැනින් පස්සේ මේ දිස්ත්‍රික්කයේ කොහේවත් බොරු සම්මන්ත්‍රන තියන්න දෙන්නෙ නැති” බවට තර්ජනය කලේ ය.

සම්ම්න්ත්‍රනය කඩාකප්පල් කිරීමට ආන්ඩු ගැති මැරයින්ගේ සම්බන්ධය ඇති තරම් පැහැදිලිවී තිබියදීත්, මාධ්‍ය මේ පිලිබඳ විමසූ අවස්ථාවේ දී, එයට ආන්ඩුවේ සම්බන්ධය පිලිබඳ කතාව නිකම්ම ගසාබසා දැමූ හම්බන්තොට ජවිපෙ/ජාජබ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, මැර ක්‍රියාව සාධාරනීකරනය කලේ ය. “ආන්ඩුවේ ගමන නතර කිරීමට ජාතික ජනබලවේගයේ නොවන සියලු පාර්ශව එක්ව (මෙලෙස සම්මන්ත්‍රන පවත්වමින්) තැන්තැන්වල හොල්මන් කරමින්…කුමන්ත්‍රනය කරන” බවට ගලප්පත්ති චෝදනා කලේ ය.

ජවිපෙ දිගුකාලීන නායකයෙකු වන ගලප්පත්තිගෙන් මේ චෝදනා එල්ලවීම, මෙම මැරක්‍රියා උසිගැන්වීම පක්ෂයේ ඉහලම තැන්වල අනුමැතියෙන් සිදුවන බව පෙන්නුම් කරයි.

ජවිපෙ මැරයන් ගොවි සම්මන්ත්‍රනයක් කඩාකප්පල් කිරීම කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමක්

කම්කරුවන් හා දුගී ගොවීන් ඇතුලු ජනයා ජවිපෙ හි මෙම මැර ප්‍රකෝපකාරී ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතු අතර ම, බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. රැස්වීමේ සංවිධායකයන් සජබ හා වික්‍රමසිංහගේ “බත්ගොට්ට්න්” ලෙසට හංවඩු ගසා ඇත්තේ, තම අයිතීන් සඳහා අරගලයට එන ඕනෑ ම කොටසක්, විශේෂයෙන් ම කම්කරු පන්ති කොටස් දක්ෂිනාංශයේ ඒජන්තයන් ලෙස හෙලා දකිමින් එම අරගල රාජ්‍ය හා මැර මර්දනයට ලක්කරන බවට පෙර ඇඟවුම් කරමිනි.

ලේවැකි මැර ප්‍රහාර එල්ල කිරීමේ ඉතිහාසයක් ජවිපෙට ඇත. 1988-1990 කාලය තුල, ඉන්දියානු-විරෝධී සිංහල ස්වොන්ත්තමවාදී ව්‍යාපාරයක යෙදෙමින් දේශපාලන විරුද්ධවාදින්, කම්කරුවන් වෘත්තිය සමිති නායකයන් ඇතුලු දහස්ගනන් මරා දැමීමට ජවිපෙ වෙඩික්කරුවෝ ක්‍රියා කලහ. අනෙක් අතට, ගම්බද පෙරලිකාරීත්වය මැඩීමට මානබලමින් සිටි එම ප්‍රකොපකාරීත්වයන් ට ඇඟිල්ල දික්කරමින් දක්ෂිනාංශික යුඑන්පී ආන්ඩුව 60,000ක් පමන ගම්බද තරුනයන් ඝාතනයේ යෙදුනි.

මීට සති පහකට පෙර, ජනවාරි 3 දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසින් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කරන්නේ කෙසේ ද?” මාතෘකාව යටතේ විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම අන්තිම මොහොතේ වැඩබලන උපකුලපති විසින් තහනම් කරන ලදී. ඔහුගේ චෝදනාව වූයේ රැස්වීමේ මාතෘකාවෙන් ආන්ඩුවට “අභියෝග” කෙරෙන බවයි. එම තහනමේ දී ආන්ඩුව ක්‍රියත්මකවුයේ අත් සඟවා ගෙනය. එම රැස්වීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් විමසනු ලැබූ බව සසජාතශි ට දැනගන්නට ලැබුනි.

උත්ප්‍රාසය නම් ගොවි සංවිධානයක් විසින් පැවැත්වීමට ගිය රැස්වීමක් ප්‍රතිගාමී එකක් ලෙස දක්ෂිනාංශික අධිරාජ්‍ය ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කන්ඩායමක් විසින් හෙලා දැකීමයි. ජනාධිපති දිසානායක හා ඔහුගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) සහ ගෝලීය ප්‍රාග්ධනයේ, ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ ඒජන්තයෝ වෙති. ඔවුහු, ආර්ථිකය හා වැටී ඇති රට ගොඩනැගීමේ නමින්, වැඩකරන ජනතාවගේ සමාජ හා ජීවන අයිතීන් ඇටපොත්තටම කපාහෙලන ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට ඉස් මුදුනින් ප්‍රතිඥා දී විදේශ නය ගෙවීමටත්, ධනපතියන්ගේ ලාභ පොට්ටනි තරකිරීමටත් කොන්දේසි හදති.

යන්තම් සතියකට පෙර, ධනපති අපනයනකරුවන්ට තෑගී දීමේ උත්සවයේදී “ලංකාවට ප්‍රකෘතිමත් වීමට ඇති එකම සක්‍ය විකල්පය නම් ජාමුඅ පිටුබලය දෙන මාවත යයි අවධාරනය කල දිසානායක මෙසේ කීවේය : “එක්කෝ අපට මේ පදනමත් සමග කඩාවැටීමට හැකිය, නැතිනම් මේ [ජාමුඅ] පදනම මත ශක්තිමත්ව නැගී සිටිමින්, ශක්තිමත් අඩිතාලමක් මත අපේ ආර්ථිකය ගොඩනැගිය හැක.”

මේ අතර, මෙවන් ප්‍රකෝපකාරී ක්‍රියාවකට මුහුන දුන් නමුත්, ජාගොස කැඳවුම්කරු සහ එය සම්බන්ධ පෙසප විලිලජ්ජා නැති නිවට කමකින් ආන්ඩුව ඉදිරියේ බැගෑපත්ව සිටිති.

ජාගොස කැඳවුම්කරු විමල් වත්තුහේවා මාධ්‍යයට සදහන් කලේ සම්මන්ත්‍රනයේ අරමුනව පැවැතුනේ, වී මිල ඇතුලු ගොවීන් මුහුන දෙන ප්‍රශ්නවලට “මේ ආන්ඩුව ලව්වා යම් දේවල් ටිකක් කරගන්න අපිට පාරක් හදාගන්න පුලුවන්ද කියන කාරනාව සාකච්ඡා කිරීම” බවයි. ව්‍යාජ-වාම පෙසප ජවිපෙ ආන්ඩුව ජනතාවාදී යයි ද, එය රැකගතයුතු යයි ද දී සහතිකය අනුයමින් ඔහු කීවේ, වර්තමාන ආන්ඩුව බලයට ආවේ “ජනතා අභිලාෂ ගනනාවක් එක්ක” බවයි.

ජාගොසට අනුව, ආන්ඩුව ගොවිජනයාට “ඇහුන්කන්දී” වී මිලදී ගැනීම සඳහා පැනවූ රුපියල්120ක මිල තවත් රුපියල් 5කින් හෝ 8කින් වැඩකිරීමට, නැතිනම් හාල් මිල අඩුකිරීම මගින් පාරිභෝගිකයාට සහන සලසනු ඇත. සම්මන්ත්‍රන මාලාවේ අරමුන වන්නේ, ගොවිජනයා ආන්ඩුවට යටත් කර දීමට කේවට්ටකම් කිරීමය.

පෙසප තවමත් තම මාධ්‍යයන්හි මෙම මැර ක්‍රියාව වාර්තා කර හෝ නැත. සසප, පෙසපෙහි ප්‍රධාන නායකයෙකු වන පුබුදු ජයගොඩ ගෙන් මැර ක්‍රියාව ගැන විමසු විට, එවන්නක් සිදුවූ බව විස්තර කලේ සාමාන්‍ය සිද්ධියක් ලෙසය. ආන්ඩුව “හරිපාරේ ගෙන යාමේ” නමින් පිට අතගාන “විවේචන” කරන පෙසප, ආන්ඩුව වැට්ටීමට හදන “පරන හොරු රැලෙන්” එය “බේරාගත” යුතුයැයි ජනතාවට අවවාද දෙයි. කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ආන්ඩුවට අභියෝගයක් වනවිට, පෙසප නායකයන් ද “ප්‍රගතිශීලි ආන්ඩුව” රැකීමේ නමින් මහජනතාව මැඩීමට එය සමග පෙලගැසුනොත් පුදුමයක් නොවේ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ව්‍යාජ-වාම පෙසප දේශපාලනයට ඉඳුරාම විරුද්ධය. පෙසප, සමාජවාදී වැඩපිලිවෙලට ද කම්කරු පන්තිය ආන්ඩුවට ධනපති ක්‍රමයට එරෙහිව ස්වාධීනව බලමුලු ගැන්වීමට සතුරුය. පෙසපෙහි ක්‍රියාකලාපය වී ඇත්තේ, පාලක පන්ති පක්ෂ වලට කම්කරුවන්, දුගීන් හා තරුන ජනයා යටත් කර ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමයි.

ඉහත ප්‍රශ්න ඇතුලුව මහා ව්‍යාපාරිකයන් හා මහා සංගත විසින් කෘෂිකර්මාන්තය පාලනය කිරීම, ඉඩම් ප්‍රශ්නය ඇතුලු ගොවිජනයා මුහුනදී තිබෙන ප්‍රශ්න විසඳාගැනීමේදී ලාභය මුල්කරගත් ධනේශ්වර ක්‍රමය සමග සෘජු ගැටුමකට යාම වැලක්විය හැකි නොවේ. වෙනත් ලෙසකින් කිවහොත්, මෙම ප්‍රශ්න විසඳාගත හැක්කේ, ලාභය සඳහා නොව, මහජන අවශ්‍යතා සඳහා ආහාර ඇතුලු නිෂ්පාදනය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ සිදුකෙරෙන සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් තහවුරු කිරීමෙන් පමනි. මෙය කල හැක්කේ කම්කරු පන්තිය ගොවිජනයා මුහුන දෙන කටුක ප්‍රශ්න සඳහා ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් ඔවුන් තමන් වටා බලමුලු ගන්වා ගෙන ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමෙනි.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ඒ හා බැඳුනු මැර ප්‍රහාරයන්ට එරෙහිව සටන් වැදීම සඳහා ධනේශ්වර පක්ෂවලින් සහ ඒවායේ ඒජන්ත පෙසප වැනි කන්ඩායම් වලින් ස්වාධීනව සංවිධානය වෙමින් කම්කරු පන්තිය සෑම වැඩපොලකම, වතුකරයේ හා අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවල තමන්ගේ ම ක්‍රියාකාරී ගොඩනගා ගැනීම මෙන්ම ග්‍රාමීය ප්‍රරදේශවල ගොවිජන කමිටු හැදීමේ අවශ්‍යතාව මෙම ප්‍රහාරය මගින් ඉස්මත්තට පමුනුවා ඇත.

කම්කරුවන්ගේ හා දුගී ජනයාගේ අරගල මැරයන්ගෙන් හා රාජ්‍ය ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට ද ඉහත දැක්වූ ක්‍රියාමාර්ගයට සටන් කිරීමට ද මෙම ක්‍රියාකාරී කමිටු මහින් ඒකාබද්ධව සංවිධාන ගතවිය හැකි වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *