ජාජබ ආණ්ඩුවේ ජනප්‍රිය ප්‍රකාශවල මුවාවෙන් එබිකම් කරන ආඥාදායකත්වයට ඉඩ නොදෙනු!

නන්දන නන්නෙත්ති විසිනි

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මෙතෙක් වාර්තා නො වූ ජයග්‍රහනයක් ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලැබීම වර්ධනය වන පන්ති අරගලයේ විකෘති ප්‍රකාශනයකි. ජාජබය මන්ත්‍රීධුර 159 ක් අත්පත් කර ගෙන, තුනෙන් දෙක ඉක්ම වූ පාර්ලිමේන්තු බලයක් තහවුරු කර ගෙන ඇත. 1977 ව්‍යවස්ථාවෙන් සම්මත කල සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක බලයක් දිනාගත නො හැකි යයි එහි නිර්මාතෘ ජේ ආර් ජයවර්ධන ප්‍රකාශ කල අතර එය පොදු පිලි ගැනීම ද විය. මෙවන් බලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස නො කල බව, ජාජබට නායකත්වය දෙන, ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කලේ ය. තුන‍ෙන් දෙකක බලයක් අවශ්‍ය නැතැ යි ජනාධිපති අනුර කුමාර මැතිවරනයට පෙර ප්‍රකාශ කලේ ය. පෙර දැකීම් නිශ්ප්‍රභ කල මෙම විපර්යාසයේ අර්ථය පැහැදිලිව වටහා ගැනීම මග හැරිය නො හැකි අවශ්‍යතාවයකි.

2020 වසරේ 3% ක ඡන්ද ප්‍රමානයකට සීමා වූ ජාජබ මෙවර සියලු සම්ප්‍රදායික පක්ෂ බිම හෙලා ඇත. ජාජබ නැගී සිටින්නේ පෙර නූවූ විරූ ආර්ථික දේශපාලන අර්බුදයක් තුලිනි. රට බංකොලොත් විය. මහජන ආර්ථික අවශ්‍යතාවන් මෙන් ම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ද රුදුරු ප්‍රහාරයකට ලක් වෙමින් පැවතිනි. මහජනයා සිය ඡන්දයෙන් පත්ව සිටි පාර්ලිමේන්තු නියෝජිතයන් 225 ම එපායැයි උද්ඝෝෂනය කරමින් සිටියහ. 2022 මාර්තු මාසයේ කැරලිකාරී ව නැගී සිටි ඔවුහු අති විශාල ඡන්ද ප්‍රමානයකින් ජය ගෙන සිටි සිංහල බෞද්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරියහ. මෙම මහජන ව්‍යාපාරය, සිය අත යටට ගත් ප්‍රතිවිරෝධී පන්තිවල පෙල ගැසිමක් වූ ව්‍යාජ වාම ව්‍යාපාරය විසින් විලංගු දමා නතර කරනු ලැබිනි. මහජනයා සිය අභීත, ප්‍රහාරාත්මක  නැගී සිටීම පරාජයට පත් වීමෙන් හිරි වැටුනු තත්වයකට ඇද වැටුනි. නමුත් මහජන අරගලයට තුඩු දුන් සමාජ ආර්ථික ප්‍රශ්න වඩ වඩාත් උග්‍ර විය.  

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, රට ගොඩ ගැනීම, සොරකම හා දූෂනය පිටු දැකීම, යන ජාජබ ඉදිරිපත් කල මෙම යෝජනා විශේෂයෙන් මධ්‍යම පන්තියේ හා ගම්බද පීඩිතයන්ගේ ආකර්ශනය දිනා ගත්තේ මෙම කොන්දේසි යටතේ ය. දිගින් දිගටම පැවති ආන්ඩුවලින් කම්කරුවන්ට හා තරුනයන්ට එල්ල වූ ප්‍රහාර අනෙක් කාරනය යි. රාජ්‍ය හමුදා සමග ජාජබ ගොඩ නගා ගත් සම්බන්ධය ඡන්ද ප්‍රතිඵලයට බල පෑ බව ඉතා පැහැදිලි ය. මේ සියලු අංශවල ගැටලුවලට කිසියම් හෝ සහනයක් ලබා ගැනීමට වඩා සිය වෛරයට පාත්‍ර වූ සම්ප්‍රදායයික පක්ෂ බලයට ඒමට ඇති ඉඩ කඩ ඇහිරීම මහජන අභිප්‍රාය විය.

ජාජබට එරෙහිව තරග වැදුනු පක්ෂ කල් ඇතිවම සිය පරාජය අපේක්ෂා කලේ මෙම තත්වය නිසා ය. ඒවා ඡන්දය ඉල්ලා සිටියේ ජාජබ ආන්ඩුවේ හොද වැඩවලට සහාය දෙන විරුද්ධ පක්ෂයක් සඳහා ය. විසුරුවා හැරුනු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටි සමගි ජන බලවේගය 2020 දිනා සිටි 54 ක් වූ ආසන සංඛ්‍යාව 40 ට සීමා කලේ 27 ලක්ෂයේ සිට 19 ලක්ෂය දක්වා එම පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව පහල දමමිනි. 2020 සිට ආන්ඩු පක්ෂය වූ රාජපක්ෂ පවුල නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනට ලබා ගත හැකි වූයේ යම්තම් ආසන තුනකි.

2024 නොවැම්බර් 18 දිවුරුම් දුන් නව අමාත්‍ය මන්ඩලය (ශ්‍රී ලංකා ජනාධිපතිගේ නිල වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

දෙමල ජනයා නියෝජනය කල පක්ෂ ජාතික ජන බලවේගය හමුවේ දරුනු පරාජයකට මුහුන දුන්නේ ය. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට එම පක්ෂ දකුනේ පක්ෂයකට පරාජය වූයේ ය. වන්නි දිස්ත්‍රික්කය, ත්‍රි’මලය හා මධ්‍යම කඳුකරයේ දෙමල ජනයා වෙතින් එයට ලැබුනු ඡන්ද ප්‍රමානය විශේෂිත ය. ඔවුන් දෙමල ජාතිකවාදී පක්ෂවලට එරෙහිව ජවිපෙට ඡන්දය දී ඇත්තේ, එය උපතේ සිට දෙමල විරෝධී වර්ගවාදී පක්ෂයක් වීම මෙන් ම රාජපක්ෂ ආන්ඩුව දියත් කල දෙමල ජන සංහාරයේ ප්‍රධාන කොටස්කරුවකු වීම නො තකා හරිමිනි. දෙමල වර්ගවාදී පක්ෂ කොලඹ ආන්ඩුව හා ඉන්දීය තන්ත්‍රය සමග උපා මාරු දැමීමේ ප්‍රතිගාමී පිලිවෙතක එම පීඩිත ජනයා සිර කර ගෙන සිටිම කෙරේ වර්ධනය වන විරෝධය මෙයින් ඉස්මත්තට ගෙන  ඇත. එමෙන් ම එය දෙමල වර්ගවාදයට හා බෙදුම්වාදයට එරෙහිව උතුරේ හා දකුනේ ඒකාබද්ධ මහජන පෙල ගැසීමක් පිලිබද අපේක්ෂාව විකෘති ලෙස ප්‍රකාශයට පත් කිරීමකි..

අති විශාල සංඛ්‍යාවක්  එකදු පක්ෂයකටවත් ඡන්දය නොදීම මහජන ව්‍යාපාරයේ වාම හැරීමක සලකුනු පිලිබද තවත් නිදසුනකි. එම සංඛ්‍යාව 5,325,288කි. එනම් 31.07% කි. යුද්ධය වැනි විශේෂ හේතු නිසා ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකුනු අවස්ථා හැර මෙවන් ඛාදනයක් මෑත කාලයේ වාර්තා වී නැත. ඡන්දය පාවිච්චි නොකල අනුපාතය 2015 හා 2020 මැතිවරනවල පැවතියේ 22.34% හා 24.11% ලෙස ය. ප්‍රකාශිත ඡන්දවලින් ප්‍රතික්ෂේප වූ  5.65%, එනම් 667,000 ක ඡන්ද සංඛ්‍යාව ද මීට එක් කල යුතු ය.  සෑම අතින්ම ප්‍රකාශයට පත් වන්නේ පැරනි පක්ෂ කෙරේ මහජන අප්‍රසාදය පමනක් නො වේ. පාර්ලිමේන්තු මැතිවරන ක්‍රමයමත් ප්‍රතික්ෂේප වීමේ පියවර පෙරට තැබීමකි.

ධනේශ්වර ආර්ථික විශ්ලේෂකයන් දැනටමත් අනතුරු අඟවා ඇති පරිදි, ජාතික ජන බලවේගයට මහජන අභිලාෂයන්ට ප්‍රතිවිරුද්ධ අසීරු පියවර ගැනීමට සිදු වේ. ඒවා ආන්ඩුවේ මුල් දින සියය හෝ එකසිය පනහ ඇතුලත ක්‍රියාවට දමීම අත්‍යවශ්‍ය ය. මෙම කාලය ගෙවී යන විට අභිනව ආන්ඩුවේ ජනප්‍රියත්වය බිඳ වැටීමට නියමිත ය. පැවති වික්‍රමසිංහ ආන්ඩුව දියත් කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ එලෙසින් ම අනුගමනය කිරීමට ජාජබ බැඳී සිටි. ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලීකරනය, ආන්ඩුවේ වියදම් කැපීම හා ඒ යටතේ මහජන සුබසාධනය කප්පාදුව, රාජ්‍ය සේවයේ රැකියා අඩකින් පමන කප්පාදුව, ආර්ථිකයේ පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම ආන්ඩුවට මග හැරිය නො හැකි පියවරයන් ය. ජාජබය, ව්‍යාපාරිකයන්ට සිය කටයුතු නිදහසේ කර ගෙන යාමට පහසුකම් සැපයීම ප්‍රතිපත්තියක් ලෙස ඉදිරිපත් කර ඇත.

මධ්‍යම පන්තියේ, විශේෂයෙන් උගත් හා ඉහල මධ්‍යම පන්තියේ, අපේක්ෂා භංගත්වය ආන්ඩුවේ මෙම පිලිවෙත වැලඳ ගෙන සිටී. මහජන සුබසාධන වියදම් දැරීම, ආන්ඩුවේ රැකියා, ආන්ඩුවට අනවශ්‍ය බරක් බව ඔවුන්ගේ ද මතයයි. රට ගොඩ නැගීමේ සටන් පාඨය ඔවුනගේ ධජයේ කොටා ඇත. පීඩිත මහජනයාගේ අවශ්‍යතා දිනා  ගැනීම සදහා පැන නගින අරගල ඊට බාධා කරන නිසා ඒවා නතර කිරීම මෙම සමාජ ස්ථරයේ අභිලාෂයයි. ඔවුන අපේක්ෂා කරන්නේ බඩු මිල වැඩි කිරීම, සුබසාධන කැපීම වැනි නො වැලැක් විය හැකි දේ දරා ගැනීමේ ශක්තිය ඇති, තමන්ට නිදහසේ ජීවත් වීමට හැකි වටපිටාවකි.

මෙම බුද්ධිමතුන් අභිනව ආන්ඩුව මහජන හිතැති එකක් බවට න්‍යාය ගොතන්නට පෙරට පැමින සිටින්නේ මේ තතු තුල ය. සිදුව ඇත්තේ විප්ලවයක් යයි සිරස නාලිකාවේ මැතිවරන ප්‍රතිඵල  පිලිබද “විශ්ලේෂනාත්මක සාකච්ඡාවක“ දී මාධ්‍යවේදියෙකු කල ප්‍රකාශය එවන් එකකි. මධ්‍යම පන්තියට ධනපති පන්තියේ  හෝ කම්කරු පන්තියේ පැත්ත ගැනීමට සිදු වන බවත්, දැන් සිදුව ඇත්තේ මධ්‍යම පන්තිය නිර්ධන පන්තිය සමග එක් වීම බවත් ඔහු තව දුරටත් පැවසී ය. මෙය, මෙම ආන්ඩුවේ ධනේශ්වර ස්වභාවය වසන් කිරීමට දැරෙන විසකුරු ප්‍රයත්නයකි. සත්‍යය මෙහි අනෙක් පැත්ත ය. මධ්‍යම පන්තිය නිර්ධන පන්ති ක්‍රියා මාර්ගය පිලි ගැනීම යනු ධනේශ්වර පාලනය අවසන් කිරීමට තීන්දු කිරීම ය. ඒ වෙනුවට තවත් ධනපති ආනුඩුවක් නිර්මානය කිරීම නො වේ. ජාජබ යනු ජවිපෙ නායකත්වයෙන් ආචාර්ය මහාචාර්යාදීන් වැනි කම්කරු විරෝධී සුලු ධනේශ්වර බලවේග පෙල ගස්වා ගත් ධනපති පක්ෂයකි.

එය කල් ඇතිවම ජාතික හා විජාතික ධනපතීන් සමග සම්බන්ධතා තහවුරු කර ගැනීමට වැඩ කලේ ය. තමන් අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයන්ගේ සමිප සගයකු බව තහවුරු කර ගැනීමට දැඩි වෙහෙසක් දැරී ය. කෙසේ වෙතත් ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා සෙසු අධිරාජ්‍යවාදී බලයන්ගේ සිරකරුවෙකි. ඒවායේ අරමුනුවලට පිටින් එකදු පියවරක් හෝ තැබීමට වත්මන් ලෝක ආර්ථිකයෙන් හා ලෝක දේශපාලනයෙන් ඊට අවසරයක් නැත.

ජනාධිපති දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවේ – 2024 නොවැම්බර් 18 (ශ්‍රී ලංකා ජනාධිපතිගේ නිල වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

රට තුලට ආයෝජන කැදවා ගැනීම, සංචාරක කර්මාන්තය දියුනු කිරීම, අපනයන ආදායම වැඩි කර ගැනීම වැනි ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් විසින් පීඩිත ජනයාගේ ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තව තවත් කප්පාදු කිරීමට බල කෙරෙනු ඇත. පලමුව මේ සියල්ල සඳහා විදේශ විනිමය අවශ්‍ය ය. නය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් 2024 තෙක් නය කල් දැමීමේ ක්‍රියාවලිය තාවකාලික සහනයකි. එහෙත් ව්‍යාපාර උදෙසා මූල්‍ය ප්‍රාග් ධනය සොයා ගැනීම නැවත නය නො වී සිදු කිරීම කල නො හැකි දෙයකි. නයකාර රටකට නැවත නය ගැනීමේ දී දැඩි කොන්දේසිවලට මුහුන දීමට සිදු වන අතර වැඩි මිලක් ගෙවීමට සිදු වෙයි. එවන් පොලියක් ප්‍රාග්ධන වියදම් ඉහල දමන නිසා එය කර්මාන්තයේ තරඟකාරී පැවැත් ම අභියෝගයට ලක් කරනු ඇත.

අනෙක් අතින් විදේශ ආයෝජන කැඳවා ගැනීම ප්‍රශ්න කිහිපයක්ම මුන ගස්වනු ඇත. දූෂනය මර්දනය කර අවශ්‍ය පහසුකම් සැලසීම මගින්, දැනට කෙන්යාව, බංග්ලා දේශය, වියට්නාමය වැනි විදේශයන්හි ආයෝජනය කර සිටින ශ්‍රී ලාංකික ධනවතුන් මෙහි කැඳවා ගැනීමේ සක්‍යතාව ගැන ජාජබ විශ්වාසය පල කර ඇත. එම ව්‍යාපාරිකයන් ඊට සූදානම්ව සිටින බව ද ජාජබ ප්‍රචාරය කලේ ය. මෙහි දී විශේෂයෙන් ම බලපාන සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රමයේ මිල අධික වීම සහ කම්කරුවන් පාලනය සදහා පවතින නීති ප්‍රමානවත් නැත යන්න ය. සිංගප්පූර් මොඩලය මේ ප්‍රශ්නයට මුහුන දීම සඳහා යෝජනා වී ඇති එක් විසඳුමකි. අගය එකතු කල නිශ්පාදනවලට වැඩි අවධානයක් යොමු කිරීම සහ සිගප්පූරුවේ මෙන් කම්කරුවන්ට එරෙහි නීති දැඩි කල පාලනයක් එයින් යෝජනා වෙයි. පලමු කාරනය කොන්දේසි සහිත වන අතර අවධානය යොමු වන්නේ මෙහි දෙවන කාරනයටයි.

2020 නැවත සංශෝධනය කල 1941 වෙලඳ ආරාවුල් පිලිබද පනත (Trade disputes act 1941) සිංගප්පූරුවේ කම්කරු අරගල පාලනය කරන ප්‍රධාන නීතියකි. එය හැඳින්වෙන්නේ වෙලඳ ආරාවුල් හා එයින් පැන නගින තත්වයන් පාලනය කරන පනතක් ලෙසිනි. එය, සිංගප්පූරුවේ ආර්ථිකයේ ඵල ප්‍රයෝජනය සඳහා කම්කරුවන් සහ සේවා යෝජකයින්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම යෝජනා කරන්නකි. කිසියම් පුද්ගලයෙකුගේ ව්‍යාපාරය, රැකියාව හෝ වෙනත් ආදායම් මාර්ගයක් සම්බන්ධයෙන් සිදුවන හානියක් ක්‍රියාකාරී වරදක් වේ. පුද්ගලයෙකුට හෝ ඔහුගේ පවුලේ ඕනෑම සාමාජිකයෙකුට හෝ ඔහුගෙන් යැපෙන්නන්ට හෝ යම් පුද්ගලයෙකුට හෝ දේපලකට සිදු වන ප්‍රචණ්ඩත්වය හෝ හානි පිලිබඳව සාධාරන බියක් පුද්ගලයෙකුගේ මනසෙහි ඇති කිරීම බිය ගැන්වීමකි. එමෙන් ම වෙලඳ ආරාවුලක් හැර අන් හේතු හෝ, කාර්මික බේරුම්කාර මන්ඩලයකට යොමු කර ඇති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කාර්මික ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රජාවට දුෂ්කරතා ඇති කිරීම මගින් රජයට බල පැම් කිරීම ආදී වශයෙන් වර්ගීකරනය කල හැකි කාර්මික ක්‍රියා නීතී විරෝධී ය. මෙසේ නීතිවිරෝධී ලෙස නම් කෙරුනු කාර්මික ක්‍රියාවකට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකු වරදකට වැරදිකරු වන අතර, ඩොලර් 2,000 නොඉක්මවන දඩයකට හෝ මාස 6කට නොවැඩි සිර දඬුවමකට හෝ ඒ දෙකට ම හෝ එම පුද්ගලයා යටත් විය යුතුය. නීති විරෝධී ලෙස නම් කෙරුනු වැඩ නතරකිරීමක් (Lock out) ඩොලර් 5,000 නොඉක්මවන දඩයකට හෝ මාස 6 කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීමට හෝ ඒ දෙකටම යටත් විය යුතුය.

එමතු නො ව එරට අපරාධ නීතිය [CRIMINAL LAW (TEMPORARY PROVISIONS) ACT 1955 – (2024 සංශෝධනය)] ද කාර්මික ක්‍රියා සම්බන්ධයෙන් දරුනු සීමා පනවා ඇත.  ඒ අනුව,

සිංගප්පූරුවේ මහජන ආරක්ෂාවට හෝ එහි මහජන සාමය පවත්වා ගැනීමට හානිදායක වනනැතහොත් රට තුල ප්‍රචන්ඩත්වයට පොලඹවනඑසේත් නැතහොත් එහි නීතියට හෝ එහි නීත්‍යානුකූල නියෝගයකට අකීකරු වීමට උපදෙස් දෙන කිසියම් ප්‍රචාරයක් හෝ ප්‍රචාරක ද්‍රව්‍යයක්;

හෝ මහජන ආරක්ෂාවට හෝ මහජන සාමය පවත්වා ගැනීමට අගතියක් වන ක්‍රියාවන්ට අනුබල දෙනඋපදෙස් දෙන හෝනීතියටත් නෛතික නියෝගයන්ටත් අකීකරු වීමට අනුබල දෙනඋපදෙස් දෙන පුද්ගලයන්ගේ ඵල ප්‍රයෝජනය සඳහා සැපයුම් සඳහා කෙරෙන ඍජු හෝ වක්‍ර ඉල්ලීමක්එකතුවක් හෝ ඉල්ලීමක් පිළිබඳ කිසියම් සඳහනක්….එවන් ව්‍යාපාරයට මුදල්ආහාරබීමඇඳුම් පැළඳුම්වෙනත් වටිනා භාන්ඩඕනෑම ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය සැපයුම් සඳහාලිය කියවිලි මුද්‍රනය කිරීමක්යතුරු ලියනය කිරීමක් සඳහා කිසියම් දායකත්වයක් හෝ පරිත්‍යාගයක් ඍජු ව හෝ වක්‍රව ඉල්ලා සිටීමඑකතු කිරීම හෝ ඉල්ලීමක් පිළිබඳ කිසියම් සඳහනක් සිදු කිරීම …. තහනම් ය.

ලැබී ඇති තුනෙන් දෙකක බලය යෙදවීමට නියමිත ව ඇත්තේ, කම්කරු පන්තියට සතුරු මෙවන් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති සම්මත කෙරෙන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අවසර දීමට ය. 2022 මහජන අරගලය ආරම්භයේ දී හෙලා දුටු ජාජබ අනතුරුව පුද්ගලීකරනයට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීමට එරෙහිව පැන නැගි වැඩ වර්ජන හා විරෝධතා තම ආන්ඩුවක් එන තෙක් කල් දැමිය යුතු යයි යෝජනා කලේ ය. ජාජබය හා ජාතික වෘත්තීය සමිති සටන් මධ්‍යස්ථානය ප්‍රසිද්ධියේ වැඩ වර්ජන හෙලා දැකීමේ උද්ඝෝෂනය දියත් කලේ  ජනාධිපතිවරනය ආසන්නයේ  ය. ඒ වන විට පාසැල් ගුරුවරු, විශ්‍ව විද්‍යාල ගුරුවරු හා කාර්ය මන්ඩල, තැපැල්, දුම්රිය යනාදී ක්ෂේත්‍රවල වැටුප් සහ අනෙකුත් අයිතීන් සදහා අරගල පැන නැඟී තිබූ අතර, පුද්ගලීකරනයට එරෙහි විදුලිබල හා තවත් ක්ෂේත්‍රවල කම්කරුවෝ සටන් කරමින් සිටියහ. ජාජබ කියා සිටියේ, මේවා සිය මැතිවරන උද්ඝෝෂනයට  හා  එමඟින් “දූෂිත”පාලනය පරාජය කිරීමට බාධක බව ය. දශක තුනකට ආසන්න කාලයක් නො විසඳන ලද ගුරුවරුන්ගේ වැටුප් අරගලය, “දරුවන්ගේ අනාගතය කඩා කප්පල් කිරීම“ “දූ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පැහැර ගැනීම”, “ගුරු දෙගුරු හා ශිෂ්‍යයන් “භේද” කිරීම, ආදී වසයෙන් හෙලා දකිනු ලැබිනි. ඉන් නො නැවතුනු ජාවෘසමය, වැඩ වර්ජන “පීඩාවට පත්ව ඉන්නා පොදු මහජනයා තවත් පීඩාවට පත් කරනවා” පමනක් නොව “පීඩාකාරී පාලකයන්ට සහනයක් ලබා දෙන්නේ ය”යි හෙලා දකින ලදී.

එය තවත් ඉදිරියට ගෙන යමින්, “වෘත්තීය සමිති මොකටදැ”යි   ඔක්තෝබර් 31දා කොලඹ පැවති “මහජන හමුවක” දී ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙකු වන  ලක්ෂමන් නිපුනආරච්චි ප්‍රශ්න කලේ ය. ඉදිරියේ දී වැඩ වර්ජන  අතු ගෑවී යන බව ඔහු එහි දී නිවේදනය කලේ ය. තම පක්ෂයට අයත්  වෘත්තිය සමිති විසුරුවා හරින බව සඳහන් කරමින් ඔහු කීවේ, “ස්ට්‍රයික් කියන්නේ මොන වගේ දෙයක් දැ”යි අනාගතයේ උපදින දරුවන්ට කියා දීමට දෙමාපියන්ට සිදු වනු ඇති බව ය.

සොරකම හා දූෂනය නතර කිරීම, අමාත්‍ය මන්ඩලයේ සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම, මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම වැනි ජනප්‍රිය පියවරයන් පිටුපස සූදානම් වන්නේ මෙම සැලසුම් ය. ජාතිවාදය හා ආගම්වාදය පිටු දකින බව සහතික කරන ආන්ඩුව ඒ සමගම බෞද්ධ ආගමේ ප්‍රමුඛ තැන ආරක්ෂා කරන බවට පිලින දී ඇත. වත්මන් අධිරාජ්‍යවාදී පද්ධතියේ අර්බුදය පීඩිත ජනයා මත කඩා පාත් කිරීම උදෙසා ප්‍රතිඥා දී සිටින ජාජබ ආන්ඩුව, තමන් වටා පෙල ගැසී සිටින හමුදා පොලිස් නිලධරයේ ද, සුලු ධනේශ්වර බලවේගවල ද, ප්‍රතිගාමී ආගමික සංස්ථාවල ද සහාය ලබන ෆැසිස්ට් තන්ත්‍රයක් කරා පා තැබීමට හොඳටම ඉඩ ඇත. ලෝක අධිරාජ්‍යවාදී සැලසුම්වලට එරෙහි ක්‍රියා මාර්ගයකින් සන්නද්ධ එකම පක්ෂය වන හතරවන ජාත්‍යන්තරය වෙත හැරී ගැනීම කම්කරු පන්තියට හා පීඩිත ජනයාට ඇති එකම මාවතයි. කම්කරුවන් හා පීඩිතයන්, ධනේශ්වර ගැති සියලු සංවිධාන පිටු දකිමින් තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වීමට පියවර ගැනීම කල් නො දැමිය හැකි මහජන අවශ්‍යතාවකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *