ජාජබ ආණ්ඩුව හරි මැද පුපුරවන්න, රනිල් අයි.එම්.එෆ්. කාල‌ බෝම්බයක් අටවලා -දුමින්ද නාගමුව

IMF එක එක්ක රනිල් එකඟවුණ ණය ගිවිසුම රටට ඉතාම අහිතකරයි. ඒ ගිවිසුම අනුව ස්වෛරීත්ව බැඳුම්කර සඳහා 2024 සහ 25 අවුරුදුක් නොගෙවපු පොළිය අපි ගෙවන්න ඕන. 2024 අවුරුද්දේ නොගෙවපු පොළිය ඩොලර් මිලියන 700යි. 2025 අවුරුද්දේ පොලිය ඩොලර් මිලියන 700යි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර හිමියන් අපි දුන්න ගිවිසුම ප්‍රතික්ෂේප කරලා ඔවුන්ගේ ගිවිසුමක් අපිට දුන්නා. ඒ ගිවිසුමට අපි එකඟ වීමේදී එකඟතා ගාස්තු විදිහට ඩොලර් මිලියන 226ක් ගෙවන්න ඕන. මේ ඔක්කෝම එකතු වුනාම මේ ආණ්ඩුව 2025 අවුරුද්දේ ඩොලර් බිලියන 2.05ක ණය වාරිකයක් ගෙවන්න ඕන. 2028 අවුරුද්දේ ඉදල ඩොලර් බිලියන 4ක් 5ක් අතර ණය වාරිකයක් අපිට වාර්ෂිකව ගෙවන්න වෙනවා. අලුත් ආණ්ඩුවේ හරි මැදදි පුපුරන විදිහට ගානට රනිල් මේ කාල බෝම්බෙ අටවල ගොස් ඇතැයි ජන අරගල සන්ධානයේ විධායක සභික හා පෙරටුගාමී සමාජවාදී ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහෙයවන්නේ ඇමරිකා එක්සත් ජනපදය. IMF කියන්නේ USA බළල් අතක්. සමහරු ඒක නොදන්න තොත්ත බබාලා වගේ රඟපානවා. ඒ අතරේ ඇමරිකාවේ ආර්ථික සහ මිළිටරි ව්‍යාපෘති මෙහේ ක්‍රියාත්මක වෙනවා. අද මහබැංකු අධ්පති ඉන්නේ නන්දලාල්. මෙයාව ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අලුත් ආණ්ඩුවට බැරි වුනා ඒ පුද්ගලයව ඉවත් කරන්න. එතකොට අපිට පැහැදිලි IMF වැඩපිළිවෙළ එක්ක එන්නේ ගිවිසුමක් විතරක් නෙමෙයි. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න රූකඩ චරිත ටිකකුත් IMF ව්‍යාපෘතිය එක්කම පැමිනි බව නාගමුව පෙන්වාදුන්නේය.

ඔහු එසේ පෙන්වාදුන්නේ ජන අරගල සන්ධානය මගින් සංවිධානය කළ “IMF මර උගුලෙන් එළියට ද ? ඇතුලට ද ? ” යන මැයෙන් දෙසැම්බර් (28) අනුරාධපුර නගරයේදී පැවති සමන්ත්‍රණය අමතමින්ය.

සමහරු කියනවා එහෙම කිව්වට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එළියට එන්න ලෙහෙසි නැහැලු. හැබැයි අපි මීට කලින් IMF ගිය 16 වතාවෙන් 8 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාපෘතියෙන් ඉවත් වුණා. ඒ ඉවත් වුණේ ඔවුන්ගේ ජනතා ද්‍රෝහී කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක කරන්න තරම් නොහැකි වුණ නිසා. IMF වගේ ආයතන අපිට ණය දීලා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්නෙ නැහැ. මොකද ඇමරිකාව වගේ රටවලට අවශ්‍ය නෑ අපේ රට කර්මාන්ත නිශ්පාදනයෙන් දියුණු රටක් බවට පත් කරන්න. ඔවුන්ට ඕන අපේ රට හැම වෙලාවෙම අමුද්‍රව්‍ය අපනයනය කරන රටක් විදිහට තියාගන්න විතරයි. ඔවුන්ගේ ව්‍යාපෘතිය සකස් වෙන්නේ ඒ වෙනුවෙන් බව නාගමුව විසින් හෙළි කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

මේ ආණ්ඩුව දෙන සහතිකේ තමයි IMF ගහන පදේට හරියටම කස්තිරම් නටනවා. ඉන්දියාව කියන පදේට හරියටම නටනවා. රනිල් කලාටත් වඩා හොඳට ඒක කරගන ගමන් ආණ්ඩුව හිතනවා මේ ගිවිසුම්වලට හොරෙන් රටේ නිශ්පාදන ආර්ථිකය වර්ධනය කරන්න පුලුවන් කියලා. ඒක වැල්ලෙ මාලිගා හදනව වගේ බොරු වැඩක්. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කවදාවත් ඉඩ දෙන්නෙ නැහැ රටේ ආර්ථිකය වර්ධනය වෙන්න. ඒකට හේතුව තමයි මේ ව්‍යාපෘතිය ඇතුලේ එන්නේ ඇමරිකා එකසත් ජනපදයේ ආරක්ෂක උපායමාර්ගය. ඒ ආරක්ෂක උපායමාර්ගයේ එක් සැලසුමක් තමයි ආසියානු මුහුදේ බලය තහවුරු කරගැනීම. ඒ සඳහා ඔවුන්ට ඕන ලංකාවේ භූමිය. ලංකාවේ මුහුදු සීමාව. සෝෆා, ඇස්කා ගිවිසුම් එන්නෙ ඒ වුමනාව එක්ක. ඒ ගිවිසුම් ලංකාව ලව්ව බලහත්කාරයෙන් අත්සන් කරගන්න දවස එනකම් රටේ ආර්ථිකය වට්ටලා තියාගන්න එක තමයි ඇමරිකාවෙ වුමනාව. ඉන්දියාවේ සැලසුම අනුව අපේ රටේ බලශක්ති ස්වාධීනත්වය ඉන්දියාවට ගැටගහන්න කල්. ත්‍රිකුණාමලය නගරයේ ඉඩම් පවරාගන්නකල් රටේ ආර්ථිකය වට්ටලා තියාගන්න එක්ක තමයි ඉන්දියාවෙ වුමනවා. මේක පොඩි ළමයින්ටත් තේරෙන සරළ සූත්‍රයක්. අපිට කෙනෙක් ලව්වා ඕන දේ කරගන්න නම් ඒ පුද්ගලයා අසරණ වෙලා ඉන්න ඕන. ඒ සූත්‍රය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

පසුගිය මාස 6 ඇතුලත විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 100ක ලාභයක් උපයල තියනවා. ඉතිහාසේ ආයතනයක් ලබපු විශාලම ලාභය. නමුත් ඒ ලාභයේ සහනය ජනතාවට දෙන්න ආණ්ඩුව සූදානම් නෑ. ආණ්ඩුව විදුලිබිල අඩු කිරීමේ යෝජනාව පස්සට දාලා. අද ලංකාවේ විදුලි සැපයුම කප්පාදු කරපු පවුල් ගණන ලක්ෂ 11ක්. ඒ පවුල්වල දරුවෝ පාඩම් කරන්නෙ කොහොමද ? ඒ ගෙවල්වල ආරක්ෂාවට මොක ද වෙන්නේ ? ඇයි අර උපයපු බිලියන 100ක ලාභයෙන් කොටසක්  යොදවල ඒ මිනිස්සුන්ට විදුලිය දෙන්න බැරි ? මොකද ආණ්ඩුව සූදානම් නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් එලියට එන්න. මූල්‍ය අරමුදල තමයි කියන්නේ ආණ්ඩුවට විදුලිබිල අඩු කරන්න එපා කියලා.

එහෙම තියෙද්දි ජනතාව කියනවා ආණ්ඩුවට තව කල් දීලා බලාගෙන ඉමු කියලා. ආණ්ඩුවට කාලය දෙන්න ඕන. නමුත් අපි අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් ද අපිට කල් දෙන්නෙ නැහැ. අපි ලබන අවුරුද්දේ 2024 සහ 2025 අවුරුදු වල ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා නොගෙවපු පොලී වාරික ගෙවන්න ඕන. ඉන්දියාව සූදානම් ද අපිට කල් දෙන්න. ඉන්දියාව කලින්ම අනුර මල්ලිව ගෙන්න ගෙන රනිල්ගේ ගිවිසුම් වලට එකඟ කරගත්තා.

තවමත් ආණ්ඩුවට වෙලාව තියනවා මේ මර උගුලෙන් එලියට එන්න. මොකද මේ ගිවිසුමට ඇතුල් වුනොත් 2038 – 43 දක්වා එලියට එන්න බැරි පරම්පරා ගාණක් දැවැන්ත ණය පොලී වාරික ප්‍රමාණයක් ගෙවන්න වෙන විනාශකාරී ගිවිසුමක් මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු හැමෝටම කවදහරි දවසක ජනතාව ඉස්සරහ ස්වයං පාපොච්ඡාරණයක් කරන්න වෙනවා අපි රටේ ආර්ථිකය ඝාතනය කරන්න අත ඉස්සුවා කියලා. ආණ්ඩුව මේ කර තියාගෙන යන්න සූදානම් වෙන්නේ රනිල්ගේ අසූචි බාල්දිය. බාල්දිය පිටින් කිරි කියලා ගහගෙන ගියාට ඇතුලෙ තියෙන්නෙ අසූචි. කවදහරි බාල්දිය හෙල්ලිච්ච දවසට මුළු ආණ්ඩුවම ගඳ ගහන එක ස්ථිරයි. ඒක නිසා අපි කියනවා ආණ්ඩුවට ඒ රනිල් අටවපු උගුලෙ වැටෙන්න එපා. ජනතාව ඔබට ඡන්දය දුන්නේ විකල්ප වැඩපිළිවෙළක් සඳහා. ඒ විකල්ප වැඩපිළිවෙළ දැන්වත් අරගෙන එන්න. 

ඇයි අපි ආණ්ඩුවට මෙහෙම අනතුරු හඟවන්නේ. අද වෙද්දි ගොඩක් පාර්ශව බලාගෙන ඉන්නවා ආණ්ඩුව වැටෙනකල්. ඊලඟට බලය ඩැහැගන්න. නමුත් අපි කියනවා ඒ ව්‍යාපෘතියට අතගහන්න ජන අරගල සන්ධානය විදිහට අපි සූදානම් නැහැ. ආණ්ඩුව අර්බුදයට යනකල් බලාගෙන ඉදලා දේශපාලන වාසි ගන්න අපිට ඕන නැහැ. මොකද ඊලඟට බලයට එන්නෙ රනිල්ලා රාජපක්ෂලා සජිත්ලා ඇතුලු හොර කල්ලිය. ඒ කල්ලියට රටේ ආණ්ඩු බලය ආරං දෙන ව්‍යාපෘතියට අපි දායක විය යුතු නැහැ. ඒක නිසා ජනතාවට අපි කියනවා ඡන්දය දුන්නා දැන් හරි කියලා බලාගෙන ඉන්න එපා. දැන්වත් ආණ්ඩුවට මැදිහත් වෙන්න. ආණ්ඩුදේ දේශපාලන වැඩපිළිවෙළට මැදිහත් වෙලා ආණ්ඩුව හරි පාරේ ගෙනියන්න. ඒක තමයි මේ මොහොතේ ජනතාවගේ වගකීම. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *