ජාජබ ආන්ඩුව රකින්නේ කාට දුන් පොරොන්දු ද?


නන්දන නන්නෙත්ති විසිනි

දෙසැම්බර් 21 වැනි දා පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල උද්ඝෝෂනයක යෙදී සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයන් පිරිසකට, ජාතික ජන බලවේගය (ජාජබ)/ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුවේ අධාරකරුවෙකු, උද්ඝෝෂනය නතර කරන ලෙස තර්ජනය කල බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කර තිබිනි. තර්ජන කල පුද්ගලයා විශ්ව විද්‍යාල අනධ්‍යන අංශයේ සේවකයෙකු බව ද පැවසේ.

මෙම තර්ජනය එල්ල වී ඇත්තේ “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?” යන මැයෙන්, ජනවාරි 3 වැනි දා, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය තුල පැවැත්වීමට නියමිත රැස්වීමට හා එහි ප්‍රචාරක වැඩකටයුතුවලට විරුද්ධව ය. ජාජබ ආධාරකරුවා “ආන්ඩුව ඇවිත් තවම දවස් 30 යි. රට ගොඩනගන්න කල් දෙන්නෙ නැති ව ඒකට අකුල් හෙලනවා…ආන්ඩුව වට්ටන්න හදන ඇන්ජීඕවක්” යැයි සසපට චෝදනා කර ඇත. තමන් විශ්වවිද්‍යාලයේ “ප්‍රධාන ආරක්ෂක නිලධාරියා” ලෙස හඳුන්වා දෙමින්, ඊට මැදිහත් වූ තවත් පුද්ගලයෙක් “මෙවැනි වැඩකටයුතුවලට ඉඩ දිය නොහැකි” බවත් උද්ඝෝෂනය වහා ම නතර කලයුතු බවත් එසේ නො කලහොත් උද්ඝෝෂකයන් පොලිසියට භාර දෙන බවත් පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල වත්මන් ආන්ඩුවේ “රට ගොඩ නගන“ ආර්ථික සැලැස්මේ පදනම ය. ජාජබ මැතිවරන පොරොන්දු දැන් දැන් එය ක්‍රියාවට දැමීමට බාධාවක් ලෙස ඉස්මතු වෙමින් පවතී. වත්මන් ආන්ඩුව සිය නො හැකියාව මෙන් ම තමන් විසින් ක්‍රියාවට දැමීමට සැලසුම් කෙරෙන කම්කරු පන්තියට එරෙහි වැඩ පිලිවෙල වසන් කිරීමට හා ඒ සඳහා කල් ගැනීමට දරන මංමුලාසහගත ප්‍රයත්නයේ ප්‍රචාරක අවියක් ලෙස “ආවා විතරයි“ යන පාඨය යහමින් භාවිත කරන්නේ මේ තතු තුල ය.

මින් පෙර බලයට පත් ආන්ඩු තමන් මැතිවරනයේ දී දුන් පොරොන්දු ඉටු කල නො හැකි බව සාධාරනීකරනයට යො දා ගත් ඒ තර්කනය ම දැන් ජාජබ ආන්ඩුව විසින් ද යහමින් යොදා ගනු ලැබේ. හැත්තෑ ගනන්වල නිදහසට කරුන වූයේ ලෝක වෙලඳපොලේ මිල වැඩි වී ඇති බවයි. මාරුවෙන් මාරුවට පත් වන ආන්ඩු එය භාවිත කල අතර, පසුව එවන් වැඩිවීමක් සිදුවනු ඇති බව ඡන්දයට කලින් දැන නො සිටියේ ද යන ප්‍රශ්නය මහජනයා තුලින් මතු විය. තවත් වතාවක, පෙර පැවති ආන්ඩුවෙන් තමන්ට ලබා දුන්නේ හිස් භාන්ඩාගාරයක් බව පැවසිනි. මහින්ද රාජපක්ෂ තන්ත්‍රය උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වන තෙක් පටි තද කරගෙන සහයෝගය දෙන ලෙස යෝජනා කලේ, යුද්ධාවසානයේ යුද වියදම් මහජන අවශ්‍යතා ඉටු කිරීමට යොදවන බව පවසමිනි. 2015 බලයට පත් සිරිසේනගේ යහපාලන ආන්ඩුවට පෙර පැවති ආන්ඩුවේ නය ගෙවීමට සිදුව ඇති නිසා පොරොන්දු ඉටු කිරීමට නො හැකි බව පැවසීය.

දැන් ජාජබ වඩා ලොකු එකක් අල්ලා ගෙන ඇත. ඔවුහු පසු ගිය වසර 76ක ඒවා විසඳන්නට තමන්ට සිදු වී ඇති නිසා පොරොන්දු ඉටු කිරීම කල් යනු ඇති බව කියති. තව දුරටත් ආන්ඩුව කියන්නේ තමන්ට පැවරුනේ, “නය බරින් හිර කරල, සමස්ත නිශ්පාදනයම බිඳ වට්ටල, සාමාන්‍ය ජනතාව ආර්ථිකයෙන් පිටමං කරල තිබෙන” රටක් බව ය. පීඩිත මහජනයා සම්බන්ධයෙන් ගත් කල ආන්ඩුවට දැනට ලබා දිය හැකි දෙය වන්නේ මෙබඳු අඳෝනා හා, “අපි ගැන විශ්වාසය තියලා බලාගෙන ඉන්න. අපි කරනවාමයි..“ වැනි වාචාල කතා ය.

ජාජබ ආන්ඩුව දැන් මෙසේ කියයි: “අප මීට කලින් ආන්ඩු බලයේ හිටියා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක නො ගොස් වෙනත් පාරක් සොයා ගන්නා තිබුනා.“(ජාජබ කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ජාජබ ආර්ථික කමිටු සාමාජික, මහාචාර්ය සුනිල් ජයන්ත, දෙරන නාලිකාව) පොරොන්දු කඩ කිරීම ගැන සඳහන් කිරීමේ දී මෙම ඇමතිවරයා තමන් සැබෑ ම අවස්ථාවාදී කපටිකෙු බව පෙන්නුම් නරමින් මෙසේ කීය. “ප්‍රායෝගික තත්වය කියපු වෙලාවට වඩා වෙනස් වෙන්න පුලුවන්. සමහර දේවල් දවසකින් වෙනස් වෙන්න පුලුවන්“ මෙහි අර්ථය පොරොන්දුවල වලංගුභාවයක් නැති බව නො වේ ද?

කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය සුනිල් ජයන්ත

“ප්‍රායෝගික තත්වයේ වෙනස් වීම්“ බලයට පැන ගැනීම සදහා ජනතාව හමුවේ තැබූ පොරොන්දු කඩ කිරීමට ජාජබ “බුද්ධිමතුන්“ ලබා දුන් තවත් පාඨයකි. 2022-24 රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මූල්‍ය අරමුදලේ සැලසුම්වලට අනුව ආර්ථික පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික පරිවර්තන කෙටුම්පත ඉදිරිපත් කලේ ය. එය ආර්ථික පරිවර්තනය පිලිබද ජාතික ප්‍රතිපත්තිය බව රජය පෙන්වා දුන්නේ ය. එය 2032 වන විට රාජ්‍ය නය 95%ට අඩුවෙන් තබා ගැනීම, මධ්‍යම රජයේ දල මූල්‍යකරනය 13% අඩුවෙන් තබා ගැනීම වැනි මූල්‍ය අරමුදලේ නියමයන් අනුව සකස් වූවකි.-ධනේශ්වර ආර්ථික විද්‍යාවට අනුව මෙයින් අපේක්ෂා කෙරෙන්නේ ඉහල නය භාරය පාලනය කිරීම, අධික වියදම් පාලනය එනම් අවශ්‍ය නො වන පරිපාලන වියදම් යයි පවසන රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම යනාදිය සිදු කිරීම හා ආදායම් වර්ධනය යන මේවා ය. අපනයන කේන්ද්‍රීය ඩිජිටල් ආර්ථිකයක්, ජාතික ආර්ථිකය විවිධාංගිකරනය, තරඟකාරිත්වය ඉහල නැංවීම වික්‍රමසිංහගේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ යෝජනා ය. තරඟකාරීත්වය ඉහල නැංවීම හුදෙක් ධනපති ව්‍යාපාර අතර පමනක් නො ව, ශ්‍රම වෙලඳපොල ද වෙලා ගත්තකි. අවසාන විග්‍රහයේ දී රාජ්‍ය වියදම් කප්පාදුව යනු රාජ්‍ය අංශයේ ව්‍යාපාර හා සුබසාධන සේවා කප්පාදුව හා පෞද්ගලීකරනය යි. දැන් ජාජබ අනුගමය කරන්නේ එම පිලිවෙත ය.

එදා ජාජබය ආර්ථික පරිවර්තන කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බව ද, එයින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා අතට පත් කිරීමට කටයුතු යොදා ඇති බව ද කියා සිටියේ ය. තවත් සංවිධාන 17ක් සමග ශ්‍රේෂ්ඨාධිකරනයට ගියේ එම පනත ව්‍යවස්ථා විරෝධී බවට තීන්දුවක් ඉල්ලා ගෙන ය. දැන් ජාජබ ආන්ඩුව එම පනත සිය ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ලෙස අනුගමනය කරන බව සැඟවිය නො හැකි කරුනකි. ජාජබ ආන්ඩුව අදාල පනතෙන් යෝජිත, ආයෝජන මන්ඩලය වෙනුවට ආර්ථික කොමිසම වැනි මන්ඩල පත් කිරීම සිදු කර නැති බව සැබෑ ය. එපමනින් ම ඉහත පනත ඉවත ලූ බව නො ඇඟවේ. පනත අවලංගු කිරීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයක් පමනෙකි. තුනෙන් දෙකක වැඩි ඡන්ද හිමි ආන්ඩුව එය අහෝසි නොකිරීම යනු ප්‍රතිපත්තිමය තීරනයක් විනා අනෙකක් වන්නේ කෙසේද? මූල්‍ය කටයුතු සිය ජනාධිපති යටතේ පවත්වා ගැනීමේ යෝජනාව දැනටමත් අනුමත කෙරී ඇත.

ඔවුන් දැන් කියන්නේ තමන් විරුද්ධ වූයේ ආර්ථික පරිවර්තන කෙටුම්පතට නො ව එහි සමහර කොටස්වලට පමනක් බව ය. කෙටුම්පතට විරුද්ධව ජාජබ ආර්ථික කමිටුවේ ප්‍රකාශ දෙකක් අපට මතක ය. පනත ආයෝජන මන්ඩලය අහෝසි කරන්නේය යන්න එකකි. වානිජ මන්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගමය හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකු මෙවැනි පනතක් සඳහා ඉල්ලීමක් කර නැත යන්න අනික ය. එයින් පනත ආයෝජකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් යෝජනා වූවක් බව සමාජයෙන් වසං කලේ ය.

කෙසේ වෙතත් ගොවියන්ට කම්කරුවන්ට හා සෙසු පීඩිතයන්ට දුන් පොරොන්දු දවසින් දෙකින් වෙනස් වුවත් ධනපතීන් හා එම පාලනය වෙනුවෙන් වන සැලසුම් කල් පවතින ඒවාය. දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම කොන්දේසි සපුරා දෙන බවත්, ඔවුන්ගේ ව්‍යාපාර පවරා ගැනීමක් කිසි සේත් නො කරන බවත් ආන්ඩුව දිවුරා කියයි. මේ අතර ආන්ඩුවේ ආයතන පෞද්ගලීකරනය හෝ ඒවායින් කොටස් පෞද්ගලික ආයෝජකයන් සමග බෙදා ගැනීම, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා රැකියා කප්පාදුව හා වැඩ වේගවත් කිරීම යන ප්‍රතිව්‍යුහගත කිරීම් වෙනස් නො වන ඒවා ය. ධනපති ආර්ථිකය රැකීමට කැපවී සිටින ජාජබ ආන්ඩුව ධනපතියන්ට දෙන පොරොන්දු ආරක්ෂා කරමින්, කම්කරු පීඩිතයන්ට දෙන ලද ප්‍රතිඥා එකින් එක අතහරිමින් සිටී. ජාජබ ද ඇතුළු සියලු ධනපති පක්ෂ ‘ආර්ථිකය’ ලෙස සලකන්නේ ධනපති ලාභය මත ගොඩ නඟන ලද පර්යාය යි. ඔවුන් ආරක්ෂා කරන්නේ එම ‘ආර්ථිකය’ යි. ඒ සඳහා දුගියාගේ හා කම්කරුවාගේ ‘ආර්ථිකය’, එනම්, ඔවුන්ගේ මූලික ජීවන අවශ්‍යතාවලට පමනක් සරිලන සොච්චම් ඉපැයීම් කපා දැමීමට එම ධනපති පක්ෂ කිසිසේත් පැකිලෙන්නේ නැත.

වෙනස් වන ඒවා ගැන මනා නිදසුනක් නම් මාස හයකට වරක් ජීවන අංකයට අනුව වැටුප් ඉහල දැමීමක් ගැන පොරොන්දුව ය. ජාජබයට අනුව එය, හුදු වැටුප් ඉහල දැමීමකට නො ව, මූර්ත වැටුප් ඉහල දැමීමට සැලසුම් කර ඇත. එනම් ජීවත් වීමට අවශ්‍ය සියලු දේ හිඟයක් නැතිව ලබා ගත හැකි වැටුපක් ලබා දීමයි. මෙම බබා උකුං කතාවේ පල්ල ගැලවෙන තවත් කතාවක් ඇත. ඒ ප්‍රකාශය කම්කරු ඇමතිවරයාගේ ය. ඒ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම සම්බන්ධයෙනි. වතු කම්කරු වැටුප් 1000ක් දක්වා 1700 දක්වා වැඩි කිරීමේ ඉල්ලීම් පැවතුනු බවත් හාම් පුතුන් බැහැ යි කී බවත් ඔහු කීවේ ය. ඔහුට අනුව කල යුත්තේ “රංඩු කරන එක” නො වේ.නිෂ්පාදනය වැඩි කිරීමයි. ආන්ඩුවේ ඉලක්කය හැකි උපරිම බර කම්කරුවන් හා පීඩිත ජනතාව මත පැටවීම ය.

පැන නැගි සහල් හිඟය මාෆියාවක් නිසා සිදු වූ බව කීම එබඳු ම ප්‍රෝඩාවකි. බෙහෙත්, ආහාර වැනි අත්‍යවශ්‍ය භාන්ඩ මිල දවසින් දවස ඉහල යයි. සහල්වල තත්වයත් එයම ය. සහල් මිල වැඩි වන තෙක් සහල් සගවා ගෙන සිටීම නිසා සහල් හිඟයක් ඇති වී ඇතැයි ආන්ඩුව කියයි. එය ධනේශ්වර ක්‍රමයේ ආවේනික ලක්ෂනයකි. වෙලඳ මාෆියාවන් ද ධනේශ්වර වෙලඳාමේ ම නිෂ්පාදනයෝ ය. කාරනය මේ සත්‍යයයෙන් වෙන් කර ඕපපාතික මාෆියාවක් ගැන කතා කිරීම, සමාජ ආර්ථික සංවිධානය පිලිබඳ ගැටලුවක්, හුදු පුද්ගලයන්ගේ හොඳ නරක පිලිබඳ ප්‍රශ්නයකට සිඳවීමකි. ඇත්තට ම එය නො දැන සිදු වන්නක් නො වේ. මහජනයාගේ ඇස්වලට වැලි ගැසීම උදෙසා හිතා මතා ගොතන ලද්දකි.

සසප උද්ඝෝෂකයන්ට එරෙහි වූ ජාජබ හිතවතෙකු වන විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයා වැනි දශලක්ෂ ගනනක් එවන් උගුල්වලට හසු කර ගනු ලැබ ඇත. එය තේරුම් ගත හැකි ය. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්, ගුරුවරුන් හා සිසුන් සෙසු කම්කරුවන් වසර ගනනක් අධ්‍යාපන, රැකියා, වැටුප් හා ජීවන තත්වයක් ආරක්ෂා කර ගැනීමේ සටනක නිරතව සිටියහ. ජාජබ බලයට පත් කිරීම සිදු වූයේ ධනේශ්වරය අර්බුදය තමන් මත පැටවීමට පෙර පැවති ආන්ඩු ගෙන ගිය වැඩ පිලිවෙලට විරුද්ධව එකී අරගලය උත්සන්න වෙමින් පැවතිය දී ය. තමන් ගෙන ගිය අප්‍රතිහත අරගල වෘත්තීය සමිති හා අවස්ථාවාදී සංවිධාන විසින් පාවා දෙනු ලැබීම, ඒ අනුව ඒවා එක දිගටම පරාජයන්ගෙන් අවසන් වීම නිසා කම්කරුවෝ අවසන් සලකා බැලීම ලෙස ජාජබ පිලි ගත්හ. රාජ්‍ය සේවයෙන් සියට අනූවක් පමන මේ අතර වේ. ආන්ඩුවට ටික කලක් දී බැලිය යුතු යයි ඔවුන් අවංකවම සිතනවා ඇත. පීඩිත මිනිසුන් කල් අවශ්‍ය බව කියන විට ඉන් අදහස් වන්නේ සිය ආර්ථික, දේශපාලන නිදහස ය. ආන්ඩුවට කල් අවශ්‍ය ය යන්නෙන් අදහස් කරන්නේ ධනපතියන්ගේ හා ධනපති පාලනයේ ආරක්ෂාව ය. මේ දෙක පෑහෙනු නැත. ආන්ඩුවට කම්කරුවන්ට හා සෙසු පීඩිතයන්ට එරෙහිව පෙර නො දුටූ විරූ ප්‍රහාරයකින් මෙහා ඉදිරියට මාවතක් නැත.

සරසවි සේවක උද්ඝෝෂනයක්

ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා සඳහා ඇති මූලික අයිතිය කම්කරු පන්තියට මෙන් ම සියලු පීඩිතයන්ට ද තීරනාත්මක වන්නේ මේ නිසා ය. ජාමූඅ වැඩ පිළිවෙලින් අනවනු ලැබ ඇති කප්පාදු පරාජය කරන ආකාරය සාකච්ඡා කිරීම කම්කරු පන්තියට මෙන් ම සියලු පීඩිතයන්ට ද අත්‍යවශ්‍ය වන අතර, එකී සාකච්ඡාව පැවැත්වීම සඳහා ඇති අයිතිය ආරක්ෂා කර ගැනීම තීරනාත්මක ය. සසප / සසජාතශි උද්ඝෝෂනයට එරෙහි මැදිහත් වීමට විරුද්ධ වීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *