ජාජබ/ජවිපෙ ආණ්ඩුව, “අනවසර ඉදිකිරීම්” චෝදනාව මත කොළඹ දුගීන් නිවාස වලින් පලවා හැරීම අරඹයි
![ජාජබ/ජවිපෙ ආණ්ඩුව, "අනවසර ඉදිකිරීම්" චෝදනාව මත කොළඹ දුගීන් නිවාස වලින් පලවා හැරීම අරඹයි ජාජබ/ජවිපෙ ආණ්ඩුව, "අනවසර ඉදිකිරීම්" චෝදනාව මත කොළඹ දුගීන් නිවාස වලින් පලවා හැරීම අරඹයි](https://www.lankaskynews.com/wp-content/uploads/2025/02/b02ff74aa383f0576aa5891ff9bd0160574f6b0a.jpg)
ජේ.දැදිගම ,එස්.කීර්ති
ජනවාරී 21 වන දා, වැල්ලම්පිටිය, පොතුවිල් කුඹුරේ, අංක 101 වත්තේ පිහිටි පැල්පත් නිවාස පහක් ‘අනවසර ඉදිකිරීම්’ චෝදනාව මත නාගරීක සංවර්ධන අධිකාරිය (යූඩීඒ) විසින් බලහත්කාරයෙන් කඩා බිඳදැමීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුලු පහලොස්දෙනකු මහමගට ඇදවැටී ඇත.
පෙර දැනුම් දීමකින් පවා තොරව මෙම බලහත්කාරී ක්‍රියාව සිදුකර ඇත්තේ, කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනය හමුවේ යූඩීඒ ය ගොනු කරන ලද නඩුවක තීන්දුව ඉදිරිපත් කරමිනි.
ජනවාරි 21 දා පෙරවරු 9.00 ට පමන යූඩීඒ නිලධාරිනියක් සමග පැමිනි කන්ඩායමක් කඩා දැමිය යුතු පැල්පත් පහක් තෝරා ගත් බවත්, අනතුරුව මැෂින් තුවක්කු වලින් සන්නද්ධ වූ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් දහදෙනකු, විශේෂ කාර්ය බලකායේ නිලධාරීයෙකු, අංක 5 කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයේ තෝල්කමුදලි සහ එහි ෆිස්කල් නිලධාරීන් ඇතුලු තිහකට ආසන්න කන්ඩායමක් පැමින තම පැල්පත් නිවාස කඩාදැමූ බව උන්හිටිතැන් අහිමිවූවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසූහ.
ඉන් එක් අයෙක් මෙසේ කීවේය: ‘අපි ඇහුවා ආපු මහත්වරුන්ගෙන් ඇයි අපිට දන්වන්නේ නැතිව එක පාරටම ඇවිත් අපේ ගෙවල් කඩන්නේ කියලා. අපිට ගෙයක් දීල මේ ගේ කඩන්න. අපි දරු පවුල් එක්ක කොහේද යන්නේ, අපිට නඩු තීන්දුව දුන්නේ නෑ.. මේ ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දුන්නේ නෑ. අපි මේ අසාධාරනයට විරුද්ධ වුනාම, අපිව ගෙනිහිල්ලා හිරකරලා දානව කියල පොලීසිය අපට තර්ජනය කලා.’
වසර 18 ක් පුරා තමන් ජීවත්වූ නිවස පොලවටම සමතලා කල පසූව, එම සුන්බුන් අතරින්, ඉතිරි වූ තම බඩුමුට්ටු එකතු කරමින් සිටි සීතා කුමාරි තම නිවස කඩාදැමූ නිර්දය ආකාරය ලෝසවෙඅ වාර්තාකරුවන්ට විස්තර කලාය: ‘අඩු තරමේ එක පැයක් දුන්නානම් මට මගේ බඩූ ටික බේර ගන්න තිබුනා. ආපුගමන් දඩබඩ ගාලා කඩලා දැම්මා. බඩූ මූට්ටු කුඩු වුනා. මගේ මිනිබිරීගෙ ඉස්කොලේ යුනිෆෝම් ඔක්කොම විනාශ වුනා.’
තම නිවසත්, ඊට යාබදව පිහිටි තම පුතුගේ නිවසත්, කඩා දැමීම හේතුවෙන් අසරනව සිටින හැට හය හැවිරිදි දෙදරු වැන්දඹුවක් පැවසුවේ, වසර 18 ක් පුරා ඇය එම නිවසේ ජීවත්ව සිටි බව සහ එම කාලය තුල, ජලය, විදූලිය සහ වරිපනම් සඳහා ගෙවූ මුදල් වල බිල්පත් තමා සතුව ඇති බවයි.
තමා ජීවත්වූ නිවස බිඳ දැමිම හේතුවෙන් මහමගට වැටී ඇති තිදරු මවක් වන කුමාරි මානෙල්ට, ආහාර සකස්කොට විකිනීමේ තම දෛනික ජීවනෝපාය ද අහිමි වී ඇත.
101 වත්තේ සියලු දෙනාම පාහේ ජීවත් වන්නේ, දෛනික පදනමේ සුලු ආදායම් මාර්ග වලිනි. සමහර දිනවලට ඔවුනට කවර හෝ ආදායමක් නොමැත. මෙම තතු තුල, මෙතෙක් බිඳ නොදැමූ පැල්පත් වල නිවැසියන් ද පසුවනුයේ, කවර මොහොතක හෝ තමා ද මහමගට ඇද දමා තම ජීවනෝපායන් ද අහිමි කරනු ඇතැයි යන භීතියෙනි.
කොලඹ පැල්පත් ප්‍රදේශ වලින් දුගීන් පලවා හැර එම ඉඩම් ජාතික සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට ලබාදීමේ වැඩපිලිවෙල ඉස්මත්තට ගැනුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවෙනි. 2013 දී කොම්පඤ්ඤවීදියෙන් පදිංචිකරුවන් 456 දෙනකු පලවා හැර එම අක්කර හතක භූමිය ඉන්දීය ටාටා සමාගමට පැවරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව කටයුතු කලේය.
එම නිවැසියන්ට එරෙහිව, යූඩීඒ ලවා රාජපක්ෂ ආන්ඩුව පැවරූ නඩුවේ තීන්දුව දෙමින් අගවිනිසුරු මොහාන් පීරිස් ශ්‍රේෂ්ඨාධිකරනයේ දී කියා සිටියේ ‘කොලඹ දැන් සිදු කෙරෙමින් තිබෙන සංවර්ධන කටයුතුවලට කිසිවෙකුත් බාධා නොකල යුතු”බවයි. ඉන් අවධාරනය කෙරුනේ, ආයෝජකයින්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් මෙම පවුල්, නිවසක් සඳහා තමන් සතු මූලික අයිතිය අත්හල යුතු බවයි.
ඉන් අනතුරුව බලයට පැමිනි සෑම ආන්ඩුවක් විසින්ම එම පිලිවෙත ඉදිරියට ගෙන යමින් පවතී. 2023 වර්ෂයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුල, යුඩිඒ විසින් 101 වත්තේ ඉදිකර තිබූ පැල්පත් 20 හි නිවැසියන්ට එරෙහිව, ‘අනවසර ඉදිකිරීම්’ යටතේ, කොලඹ අංක 5 ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනය හමුවේ නඩු පවරා ඇත. නඩු වාර හතරකින් පසු අධිකරනය නිවැසියන්ට නියෝග කර ඇත්තේ යූඩීඒ ට ගොස් විසඳුමක් ලබාගන්නා ලෙසයි.
යූඩීඒ වෙත ගිය නිවැසියන්ට එහි නිලධාරීන් පවසා ඇත්තේ, රුපියල් ලක්ෂ 45 ක මුදලකට මහල් නිවසක් ලබාදිය හැකි බවයි. පලමූව රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා නිවසේ යතුර ලබාගෙන එහි පදිංචිවිය හැකි බවත්, වසරකට පසු තවත් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගිවිසුම් ඔප්පුව ලබාගත හැකි බවත් යූඩීඒ පවසා ඇත. ගිවිසුමට අනුව, ඉතිරි ලක්ෂ 35 ක මුදල රුපියල් 8000 බැගින් මාසික වාරික වලින් ගෙවා නිම කල යුතුය. මේ අනුව නිවසේ හිමිකාරිත්වය ලබා ගැනීම සදහා වසර 37 කට ආසන්න කාලයක් ගතවන බව ගනනය කිරීමේ දී පෙනී යයි.
‘අපිට ලක්ෂ පහක් දෙන්න නැති නිසා අපි යෝජනා කලා ලක්ෂ දෙකහාමාරක් කොහොම හරි හොයලා දෙන්නම්, අපිට ගෙයක් දෙන්න කියලා. යූඩීඒ එකේ මහත්තුරු කිව්වා එහෙම ගෙවල් දෙන්න බැහැ කියලා. ඒ වැඩේ එතනින් ඉවරවුනා.
ජනවාරි 21 දා 101 වත්තේ නිවාස කඩා දැමීමෙන් ඉක්බිති, ජනවාරි 22 දා, එම වත්තේ නිවැසියන් කන්ඩායමක්, නිවාස ඇමති අනුර කරුනාතිලක හමුවීමට බත්තරමුල්ලේ පිහිටි නිවාස අමාත්‍යංශයට ගොස් ඇත. ඇමති කරුනාතිලකගේ ලේකම්වරයා සහ යූඩීඒ නිලධාරීන් ඔවුනට පවසා ඇත්තේ ‘නඩු තීන්දුවට පිටතින් ක්‍රියාකල නොහැකි’ බවයි. යූඩිඒ ය පාලනය වනුයේ ජාජබ/ජවිපෙ ආන්ඩුවේ නිවාස ඇමති යටතේ බැවින්, නඩු තීන්දුව ඉදිරියට දමමින්, ඉහත නිවාස කඩා දැමීමට යූඩීඒ නිලධාරීන් සහ පොලීසිය වහා කටයුතු කලේ, ආන්ඩුවේ පූර්න අනුමැතිය මත බව ඉතා පැහැදිලිය.
මෙය, ජාතික සහ ජාත්‍යන්තර ප්රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් කැපවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුවේ පිලිවෙත් සමග මුලුමනින්ම පෑහේ. කම්කරු-පීඩිත මහජනතාවගේ නිවාස අයිතිය ඇතුලු අනෙකුත් අයිතීන් පාගා දමා හෝ ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරදීම, දිසානායක ආන්ඩුව අකුරටම ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලේ ප්‍රධානතම අංගයකි.
උන්හිටිතැන් අහිමි කරමින් පලවා හැරෙන දුගීන්ගේ නිවාස ප්රශ්නය සම්බන්ධයෙන් කවර හෝ විසඳුමක් ආන්ඩුවට නොමැත. ලෝසවෙඅ වාර්තාකරුවෙකු, අදාල ප්රශ්නය සම්බන්ධයෙන්, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාගෙක් විමසූවිට ඔහු කියා සිටියේ, නිවාස ඇමතිවරයා, යූඩීඒ නිලධාරීන් සහ තමා මේ පිලිබඳව ‘සාකච්ඡා’ කරන නමුත්, තවම විසඳුමක් නොමැති බවයි.
නිවාස කඩා දැමීම සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව මහජන කෝපය වැඩෙන තතුතුල එය ගසාකනුවස් සමගි ජන බලවේගයේ (සජබ) කොලොන්නාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඉදිරියට පැන ඇත. ප්රශ්නය විසඳා දෙන බවට 101 වත්තේ පදිංචිකරුවන්ට පොරොන්දු වූ ඔහු ඒ සම්බන්ධයෙන් තම මැදිහත්වීම, කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුව තුල දී ප්‍රශ්න කිරීමට පමනක් සීමාකර ඇත. මරික්කාර් යනු, කොලඹ නගරයෙන් දුගීන් පලවා හැරීමේ පිලිවෙත ඉදිරියට ගෙනයමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දැන් ඔහු නියෝජනය කරන සජබ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින්ම එකඟය.
යූඩීඒ මගින් තමන්ට ලබාදුන් නිවාස කුලියට දී මෙම පැල්පත්වල වාසය කරන බවට වත්මන් ආන්ඩුව මෙන්ම පෙර පැවති සෑම ධනපති ආන්ඩුවක්ම එල්ල කරන අසත්‍ය චෝදනාව ජනගත කිරීමට ධනපති මාධ්‍ය ක්‍රියා කරන ආකාරය පිලිබදව 101 වත්තේ පැල්පත්වාසින් තම විරෝධය ප්‍රකාශ කලේ මෙසේය: ‘හිරු (රූපවාහිනී නාලිකාව) කිව්වේ සම්පූර්න බොරු. ගෙවල් දීලත් අපි යන්නේ නැ කියල කිව්වා.’
කෙසේ නමුත්, 101 වත්තේ නිවැසියන් පලවා හැරීමේ සැබෑ අරමුන, 2024 ජුලි 21 වන දින ‘ද මෝනින් ‘ පුවත් පත වාර්තා කර තිබුනි. ජීවිත 32ක් (නිල සංඛ්‍යා ලේඛන වලට අනුව) අහිමි කරමින්, 2017 අප්‍රේල් 14 දා කඩා වැටුනු මීතොටමුල්ල කසල කන්ද පිහිටි අක්කර 14 ක භූමි ප්‍රදේශයේ නාගරීක උද්‍යානයක් ඉදිකිරීම සඳහා පෞද්ගලීක ආයතනයකට රුපියල් කෝටි 100 කට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවත් ඉඩම් අත්පත් කර නොගැනිම නිසා එම සංවර්ධනය පමාවී ඇති බවත් එම වාර්තාව පවසයි.
එම ස්ථානයේ, ‘වලාකුලු උද්‍යානය’ නමින් උද්‍යානයක්, කෞතුකාගාරයක් සහ නිවාස සංකීර්නයක් ඉදි කරන බවත් එසේ නැතහොත් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම සදහා සුර්ය බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවත්, 2023 දෙසැම්බර් 04 අරුන පුවත්පත වාර්තා කර තිබුනි.
මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ, පීඩිත මහජනතාවගේ ජීවිත සමතලා කරමින්, ජාතික සහ ජාත්‍යන්තර ප්රාග්ධනයේ අවශ්‍යතාව වෙනුවෙන් වත්මන් ජාජබ/ජවිපෙ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පාලක පංතිය කැපවි සිටින බවයි.
යලියලිත් මතු කෙරෙන්නේ, ප්රාග්ධනයේ ලාභ අවශ්‍යතාවන්ට විපරීතව, මහජනතාවගේ නිවාස අයිතිය ඇතුලු සමාජ සහ ප්රජාතන්ත්රීය අයිතීන් තහවුරු කෙරෙන, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමේ දැවෙන අවශ්‍යතාවය යි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.