ජාජබ, ජවිපෙ පාතාල සමඟ පෙළගැස්වීම හෝ එය තීරණාත්මකව තුරන් කළ යුතුයි!

ජාජබ, ජවිපෙ පාතාල සමඟ පෙළගැස්වීම හෝ එය තීරණාත්මකව තුරන් කළ යුතුයි!

ජෙහාන් පෙරේරා විසිනි.

මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේ අරගලය ජනතා ව්‍යාපාරය පිළිබඳව විදේශීය ප්‍රවෘත්තිවල තොරතුරැ පළවිය. සියලු වයස්වල සහ ප්‍රජාවන්හි දසදහස් සංඛ්‍යාත ජනතාව ආණ්ඩු වෙනසක් ඉල්ලා එක්රැස් වූ අතර, ලෝකය කොළඹ වීදිවල ප්‍රජාතන්ත්‍රවාදයේ සැමරීමක් පිටත සිට නැරඹුවේය. මැතිවරණ සමයේදී ආණ්ඩු පිහිටුවීමට සහ අවිහිංසාවාදී මහජන විරෝධතා හරහා වීදිවලදී ආණ්ඩු බිඳදැමීමට ජනතාවට බලය සහ අයිතිය ඇති බව අරගලය පෙන්වාදුන්නේය. මෙය කලාපයේ අනෙකුත් රටවල්, විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය සහ පාකිස්ථානය, උදාහරණයක් ලෙස ලබාගත් ඉතා ප්‍රබල පණිවිඩයක් විය. සංකීර්ණ ගැටළුවල අන්තර් සම්බන්ධිතභාවය පිළිබඳ අවබෝධයක් ඇති සහ රෝග ලක්ෂණ පමණක් නොව මූල හේතු ආමන්ත්‍රණය කරන විවිධ අංශ සහ මට්ටම් හරහා වැඩකරන ‘පද්ධති චින්තනය’ අනුගමනය කිරීමක් වෙනුවෙන් එවැනි ක්‍රියාවලියක් ඉල්ලා සිටින බව දැකගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අදහස් කරන්නේ, බලය ජනතාව සතුව ඇති බවත්, ඔවුන් එය රජයට භාරනොදී, විශේෂයෙන් එය ජාතික අවශ්‍යතාවට හානි කරන්නේ නම්, නිෂ්ක්‍රීය වීමට සහ රජයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩනොදෙන බවත්ය. අරගලය සමයේදී මෙන්, වෙනසක් සඳහා සාමූහික උත්සාහයක් නිර්මාණය කිරීම සඳහා දේශපාලන පක්ෂ, ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා කණ්ඩායම් ඇතුළු අංශ හරහා සහයෝගීතාවයක් ද මෙයින් ඉල්ලා සිටී.
අරගලය විරෝධතා ව්‍යාපාරය විසින් වීදි බලය හරහා පෙරළා දැමූ පාලනය, සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ රට තුළ පෙර නොවූ විරූ දැවැන්ත 2/3 බහුතරයකින් තේරී පත් වූ එකකි. එහි ධුර කාලයෙන් වසර තුනකට වැඩි කාලයක් ඉතිරිව තිබිණි. එහෙත් එය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට වඩා ජාතික අවශ්‍යතා අනතුරේ හෙළන බව පැහැදිලි වූ විට සහ ව්‍යසනකාරී ආර්ථික බිඳවැටීමක් ඇති කළ විට, ජනතාවගේ බලය නැවැත්විය නොහැකි විය.

මීට වසරකට පෙර බංග්ලාදේශයේ ද එවැනිම තත්වයක් ඇති වූ අතර, ෂෙයික් හසීනාගේ පාලනය විසින් ජනතාවට ලබාදීම වෙනුවට, තම පාලක පක්ෂයේ ආධාරකරුවන්ට  රජයේ රැකියා කෝටාවක් ලබාදීමට තීරණය කළේය. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ, මෙය බංග්ලාදේශ ජනතාවට ප්‍රකෝප කිරීමක් බවට පත්විය. ශ්‍රී ලාංකික ජනතාව මීට වසර දෙකකට පෙර තමන්ගේම රටේ අත්දුටු ආකාරයටම, රට පාලනය කළ පිරිස තුළ දූෂණය සහ ජනතා හිතවාදී නොවන බව පිළිබඳ හැඟීම ඔවුන් දුටුවේය. මෙම ප්‍රතිපත්තිය සිසුන් විසින් මෙහෙයවන ලද දැවැන්ත විරෝධතා ඇති කළ අතර, සාධාරණ අවස්ථා ලබාදී, ඥාති සංග්‍රහය අවසන් කරන ලෙස ඉල්ලා තරුණයෝ වීදි බටහ. පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නමුත් පොරොන්දු ඉටුනොකළ පාලනයක් පෙරළාදැමීමට ඔවුහු රූපවාහිනියෙන් සහ සමාජ මාධ්‍යවලින් දුටු ශ්‍රී ලාංකික ආදර්ශය අනුගමනය කළහ

ව්‍යවස්ථාමය ක්‍රියාවලිය

සමානකම් තිබියදීත්, බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ නැගිටීම් අතර ප්‍රධාන වෙනස්කම් ද තිබේ. ශ්‍රී ලංකාවේ, විරෝධතා ව්‍යාපාරය තම කාර්යය ඉටුකළේ අවම ජීවිත හානි සමඟිනි. බංග්ලාදේශයේ, ඒකාධිපති පාලනයක් මෙන් වූ සහ විරෝධතා මර්දනය කිරීමට උත්සාහ කිරීමේදී ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයක් භාවිත කළ රජයට එරෙහිව ජනතාව බලමුලු ගැන්විණි. ශ්‍රී ලංකාවේ, බල සංක්‍රාන්ති ක්‍රියාවලිය ව්‍යවස්ථානුකූලව නියම කර ඇති එකක් වූ අතර, එය ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සිදුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වූ විට, අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර, එය පාර්ලිමේන්තුවේ ඡන්දයක් හරහා ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට ඔහු සමත් විය. ජනාධිපති වික්‍රමසිංහ තම අමාත්‍ය මණ්ඩලය තෝරා පත්කර ගත් අතර, ඔහුගේ ජනාධිපති ධුර කාලය අවසන් වන තෙක් එම කණ්ඩායම සමග පාලනය ගෙනගියේය. රටේ ඉතිහාසයේ වඩාත්ම සාමකාමී මැතිවරණය වූ පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

බංග්ලාදේශයේ, අගමැතිනි හසීනා විදේශගතවීමෙන් පසුව පාර්ලිමේන්තුව නව අගමැතිවරයෙක් තෝරා පත්කර ගත්තේ නැත. ඒ වෙනුවට, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් රාජ්‍ය නොවන සංවිධාන නායක මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කළේය. බංග්ලාදේශයේ ඇති ප්‍රශ්නය නම්, මෙම අන්තර්කාලීන පාලනය මැතිවරණයකින් තොරව කොපමණ කාලයක් රට පාලනය කරනු ඇත්ද යන්නයි. බලයෙන් පහකරන ලද අගමැතිනිය ඇතුළු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කඩිනමින් මැතිවරණ ඉල්ලා සිටී. කෙසේවෙතත්, වීදිවල පාලනය පෙරළා දැමූ සහ ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයක් අත්විඳි විරෝධතා ව්‍යාපාරයේ නායකයන් මේ අවස්ථාවේ මැතිවරණ පැවැත්වීමට කැමති නැත. සිදු වූ දෙයෙහි සත්‍යය තහවුරු කරගැනීමට සහ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිත කළ අයව වගකිවයුතු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියකට යටත් කිරීම වෙනුවෙන් වූ අවශ්‍යතාව ඔවුහු ඉල්ලා සිටිති.

ඊට වෙනස්ව, ආණ්ඩු වෙනසක් ඇතිකර ගැනීම සඳහා නීතිමය හා ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් හරහා ගමන් කළ ශ්‍රී ලංකාවේ, අරගලය විරෝධතා පැවති අවස්ථාවේ තනතුරු දැරූ අයට එරෙහිව සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලීන් සඳහා ඇති ඉල්ලුම ඉතා අල්පය. එසේත් නැතිනම් ඇත්තෙම නැත. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දූෂණ චෝදනා ඇති අයට පවා නිදහසේ මැතිවරණවලට තරඟ කිරීමට අවසර ඇත. එහෙත් ඔවුන් මැතිවරණයේදී අන්ත ලෙස පරාජයට පත් වූ අතර, ජනතාව පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් සහිත නව ජාතික බලවේග ආණ්ඩුවක් තෝරා පත්කර ගත්හ. ඔවුන්ගෙන් බහුතරයක් දේශපාලනයට අලුත් වන අතර, අතීතයේ රට පාලනය කළ අය සමඟ ඔවුනට කිසිදු සම්බන්ධයක් නැත. මෙය ශක්තියක් මෙන්ම දුර්වලතාවක් යන තත්වයන් දෙකම නියෝජනය කෙරේ. නව ආණ්ඩුවේ සාමාජිකයන් ජනතාවගේ ජීවිතය වැඩිදියුණු කිරීමට දරන උත්සාහයන් පරමාදර්ශී සහ අවංකවීම ශක්තියකි. එහෙත් ඔවුන්ගේ උපදේශන ලබාගැනීම්වලින් තොර වර්තමාන ඇතැම් තීරණ, නිදසුනක් ලෙස, දෙමළ පීඨ සහ සිසුන් බහුතරයක් සිටින නැගෙනහිර විශ්ව විද්‍යාලයට සිංහල ජනවාර්ගිකත්වයෙන් යුත් කවුන්සිල සාමාජිකයන් බහුතරයක් පත්කිරීම වැනි අසාර්ථක වන අවස්ථා දැකගත හැකිය

නොවිසඳුණු ගැටළු

නව ආණ්ඩුවට ඇති ගැටලුව නම්, නොවිසඳුණු ජනවාර්ගික ගැටුම ඇතුළුව, සංවේදීතාව සහ උපදේශන යන දෙකම විසඳීමට අවශ්‍ය වන, දැවැන්ත නොවිසඳුණු ගැටලු සහිත රටක් ඔවුන්ට උරුම වීමයි. ඕනෑම මිනුමක් අනුව වඩාත්ම දැවෙන ගැටලුව වන්නේ ජනගහණයෙන් සියයට 25 ක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති ආර්ථික ගැටලුවයි. එය වසර තුනකට පෙර පැවැති ප්‍රතිශතය මෙන් දෙගුණයකි. ඉහළ මට්ටමේ පාරිභෝගික වියදම් පෙනෙන්නට තිබුණද, ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය සැළකිව යුතු ලෙස වැඩි වී තිබේ. බොහෝ මිනිසුන්ට ඇති ගැටලුව වන්නේ, එදිනෙදා ජීවිතය ආර්ථික වශයෙන් පවත්වාගන්නේ කෙසේද යන්නයි. පසුගිය ආණ්ඩුව විදේශ ණය ආපසු ගෙවීමේ සහ අයවැය තුලනය කිරීමේ ප්‍රධාන බර ජනගහණයේ දුප්පත් කොටස් මත පැටවූ අතර, ඉහළ අන්තයේ සිටින අය අතහැර දැමුවේ ඔවුන් ආර්ථිකයේ ඇන්ජිම වනු ඇතැයි අපේක්ෂා කරමිනි. නව පාලනයට මෙම අසමානතාව වෙනස් කිරීමට සිදුවුවද, අතීතයේ වැරදි ක්‍රියාවලින් රජයේ භාණ්ඩාගාරය හිස් වී ඇති බැවින් එය පහසුවෙන් කිරීමට ඉඩක් නැත.

පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් තිබියදීත්, ආණ්ඩුවට ආර්ථික සම්පත් නොමැතිකම සහ අතීතයේ ක්‍රමවලට ඇලී සිටින පවතින ක්‍රමයේ අවාසනාවන්ත තත්වය හේතුවෙන් සිය උත්සාහයන් අඩපණ වී ඇත. අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති දිසානායක මේ පිළිබඳව සෘජුව ප්‍රකාශ කර ඇත. ඔහු පැවසුවේ, “රට සෙවනැලි අපරාධකාරී රාජ්‍යයක් බවට පරිවර්තනය වී ඇත. මතුපිටින් ක්‍රියාකාරී පොලිස් බලකායක්, මිලිටරිය, දේශපාලන අධිකාරියක් සහ අධිකරණයක් අපට දැකිය හැකි වුවද, මෙම ව්‍යුහය යටතේ නීතිය ක්‍රියාත්මක කරන්නන්, ආරක්ෂක හමුදා සහ නීති වෘත්තිකයන් සමඟ සබඳතා ඇති සන්නද්ධ පාතාලයක් පවතී. මෙම සෙවනැලි රාජ්‍යය විසුරුවා හැරිය යුතුය. මෙම ගැටලුව සමඟ කටයුතු කිරීමට ප්‍රවේශයන් දෙකක් තිබේ: අපරාධකාරී පාතාල ලෝකය සමඟ පෙළගැස්වීම හෝ එය තීරණාත්මකව තුරන් කිරීම. සංවිධානාත්මක අපරාධ සමඟ සහජීවනයෙන් කටයුතු කළ පෙර පරිපාලන මෙන් නොව, ජාතික ජන බලවේග ආණ්ඩුව එය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමට අධිෂ්ඨාන කරගෙන සිටී.”

මැතිවරණවලට වඩා සංක්‍රාන්ති යුක්තිය සහ අතීත අපරාධ සඳහා වගවීම ප්‍රමුඛත්වය ගත යුතු යැයි ඉල්ලා සිටින බංග්ලාදේශයේ විරෝධතා නායකයන් මෙන් නොව, ශ්‍රී ලංකාවේ නව පාලනය මාස දෙකක් ඇතුළත පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරමින් සිටී. මෙම තීරණය ව්‍යවස්ථාමය ජනවරම සමඟ සමපාත වන අතර පෙර ආණ්ඩුව නොසළකා හැර තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තහවුරු කිරීමක් බවද දැකගත හැකිය. කෙසේවෙතත්, ප්‍රධාන දේශපාලන මාරුවකින් පසු මෙතරම් ඉක්මණින් මැතිවරණ පැවැත්වීම යම් අවදානම්කාරී තත්වයක්ද නිර්මාණය කරනු ලබයි. ආර්ථිකමය වශයෙන් අරගල කරන පවුල්වලට ආර්ථික සහන ගෙනඒම සහ දූෂණයට වගකිව යුතු අයට නඩු පැවරීම වැනි ප්‍රධාන පොරොන්දු නව පාලනය තවමත් ඉටු කර නොමැත. බෞද්ධ ප්‍රජාවේ සාමාජිකයන් ජීවත් නොවන ස්ථානවල බෞද්ධ ආගමික ස්ථාන ගොඩනැගීම වැනි දැවෙන වාර්ගික හා ආගමික දුක්ගැනවිලි ද විසඳාගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇත. ඡන්දදායකයන්ගේ ඉවසීම නැති වුවහොත්, දේශපාලන අස්ථාවරත්වය නැවත නිර්මාණය විය හැකිය. ඡන්දය දීමට තීරණය කරන විට ජනතාව දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය. පුරවැසියන් ලෙස ඔවුන් පද්ධතිමය වෙනසට කාලය ගතවන බව හඳුනාගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *