ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මීලඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට නීති පනවයි

සමන් ගුනදාස විසිනි.

[මෙය IMF mission lays down the law to next Sri Lankan president යන මැයෙන් 2024 අගෝස්තු 20 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ශ්‍රී ලංකා දූත මන්ඩලය, සැප්තැම්බර් 21 දා පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් කවුරුන් ජයග්‍රහනය කල ද, සිය කප්පාදු න්‍යාය පත්‍රය අකුරටම ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන බව එකාන්තව ම පැහැදිලි කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර්, 2023 සැප්තැම්බර් 27 වැනි බදාදා, ශ්‍රී ලංකාවේ කොලඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක. [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

ජාමුඅ මෙම පැහැදිලිකිරීම මගින් සංස්ථාපිතයේ පක්ෂ සහ ඔවුන්ගේ අපේක්ෂකයින් විසින් කරන සියලු බොරු ප්‍රකාශ මුලුමනින් ම හෙලිදරව් කරනු ලැබ තිබේ. මැතිවරනය අවසන් වූ විගස, නව ජනාධිපතිවරයා, වැඩකරන ජනතාව මුහුන දෙන සමාජ අර්බුදය ලිහිල් කිරීම සඳහා ඔවුන් දී ඇති පොරොන්දු සියල්ල කුනු කූඩයට වීසිකර, ජාමූඅ හි ම්ලේච්ඡ පියවර පනවමින්, ඊට එරෙහි වන ඕනෑම විරුද්ධවාදියෙකුට එරෙහිව පොලිස් රාජ්‍ය මර්දනය එල්ල කරනු ඇත.

අගෝස්තු 2 දා ප්‍රකාශයක් නිකුත් කල ජාමූඅ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර් කෙලින් ම මෙලෙස අනතුරු ඇඟවුයේය: “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිහි තුඩක රැඳී ඇති මෙම තීරනාත්මක සන්ධිස්ථානයේ දී, එය ස්ථිර පදනමක පිහිටුවීම සඳහා ප්‍රතිසංස්කරන ගම්‍යතාවය පවත්වා ගැනීමත්, සියලු වැඩසටහන් කැපවීමෙන් යුතුව කාලානුරූපව ක්‍රියාවට නැංවීම සහතික කිරීමත් ඉතා තීරනාත්මක වේ …”

ලංකාවට ඩොලර් බිලියන 3 ක ඇප නය අඛන්ඩව ලබා දීම සඳහා ආන්ඩුව ගත යුතු මීලඟ පියවර ගැන සාකච්ඡා කිරීමට ජාමූඅ දූත මන්ඩලය මැතිවරනයෙන් පසු නැවත කොලඹට පැමිනෙනු ඇත.

බෲවර් එතැනින් නතර වූයේ නැත. මීලඟ ආන්ඩුව, 2025 අයවැය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක මධ්‍ය-කාලීන ප්‍රාථමික අතිරික්ත ශේෂයක් සහතික කිරීම සඳහා “සුදුසු ආදායම් පියවරයන්ට රුකුල් දීම සමග අඛන්ඩව වියදම් සීමා කිරීම” අවශ්‍ය බව ඔහු සඳහන් කලේය.

වෙනත් වචන වලින් කිවහොත්, ඉහල බදු, රාජ්‍ය ව්‍යවසාය කුනු කොල්ලයට විකිනීම සහ මහජන සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබසාධන වැඩසටහන් කප්පාදු කිරීම දිගටම සිදුවනු ඇත. කුමක් සඳහා ද? ශ්‍රී ලංකාවේ “නය තිරසාරභාවය” ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා—එනම් ජාත්‍යන්තරව නය දෙන මිනීමෝරුන්ට එම නය ආපසු ගෙවීමට හැකිවීම සඳහා—වැඩකරන ජනතාව වන්දි ගෙවීමට සූදානම් විය යුතුය.

2024 පලමු කාර්තුවේ සියයට 5.3 ක දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සහ ආකර්ෂනීය ආදායම් එකතු කිරීම් මගින් “ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දී ඇති” බව පවසමින් බ්‍රුවර් වෙලඳපොල-ප්‍රතිපත්තිවල ගැත්තෙක් වන ජනාධිපති වික්‍රමසිංහගේ ‘ප්‍රතිසංස්කරන වැඩපිලිවෙල’ වර්නනා කලේය.

මුදල් ඇමති ලෙස ද කටයුතු කරන වික්‍රමසිංහ, තම ආන්ඩුව මේ වසරේ මුල් මාස පහ තුල ආදායම් ඉලක්ක ඉක්මවා ගිය බව පුරසාරම් දෙඩුවේ ය. 2022 මුල් මාස පහ තුල රුපියල් බිලියන 1,122 (ඩොලර් බිලියන 4) එය 2023 අදාල කාලය තුල රුපියල් බිලියන 1,620 (ඩොලර් බිලියන 5.4) දක්වා ඉහල ගොස් ඇත.

මේ ආදායම් එකතුකිරීම සූරා ගත්තේ කොහෙන්ද? එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 18 දක්වා ඉහල දැමීම, විදුලිය, ජලය ඇතුලු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දැමීම සහ මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වන වියදම් තවදුරටත් කප්පාදු කිරීම මගිනි.

එහි ප්‍රතිඵලය සමාජ විනාශයයි. දරිද්‍රතා අනුපාතය 2019 දී සියයට 11 සිට 2024 දී සියයට 26 දක්වා වැඩි වී ඇත. 2022 සහ 2023 යන වසර දෙක තුල සියලුම කම්කරුවන්ගේ මූර්ත වැටුප සියයට 40 කින් පමන පහත වැටී තිබේ. ආදායම පහත වැටීම ආහාර අනාරක්ෂිත භාවයේ මට්ටම් ඉහල යාම නිසා මන්දපෝෂනය සහ ශරීර වර්ධනය අඩාල වීම සිදුවී තිබේ. ජනගහනයෙන් සියයට 42 කට පමන “ආහාර පිරිමැසීමේ” ක්‍රම අනුගමනය කිරීමට බල කෙරී ඇත. මිලියනයකට අධික පිරිසකගේ විදුලිය විසන්ධි කර ඇත.

මෙම කම්කරු පන්ති විරෝධී වාර්තාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් අඛන්ඩව ක්‍රියාත්මක කිරීම මත ජනාධිපති වික්‍රමසිංහ නැවත තේරී පත්වීම සඳහා අභිමානයෙන් ඉදිරිපත්ව සිටියි. “ජාමූඅ සහ… නය දෙන රටවල් සමඟ ඇතිකරගත් කිසිදු ගිවිසුමක් කඩ කරන්න බැහැ. පවතින ඉලක්ක සහ මිනුම් සලකුනු වෙනස් කල නොහැක,” යනුවෙන් ඔහු අගෝස්තු 7 දා මාධ්‍යයට පැවසීය.

සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) යන ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙකම ජාමූඅ න්‍යාය පත්‍රයට කැපවී සිටින අතර ම එය වෙනස් කල හැකි බව ද ප්‍රකාශ කරති.

සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ මහා ව්‍යාපාරිකයන්ට මෙසේ පැවසුවේය “අපි ශ්‍රී ලාංකීය ජනතාවගේ හඬට ඇහුම්කන් දීම සහතික කිරීම සඳහා ජාමූඅ සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක කතා කරනවා”

ඔහු දිවට නොදැනී ම පච ඇදබායි. රට නය පැහැර හැරීමෙන් පසු, 2022 මාර්තු මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාමූඅ නය ඉල්ලා සිටි විට, එයට පිටුබලය දුන් අය අතර මුලින් ම සිටියේ ප්‍රේමදාසයි. ඔහු බ්ලූම්බර්ග් රූපවාහිනියට මෙසේ පැවසීය: “අපි හැමෝටම මේ තිත්ත බෙහෙත් පෙත්ත, එහෙමත් නැතිනම් පෙති කිහිපයක් පවා ගිල දමන්න සිදු වෙනවා… ඒක ඉතාමත් දුෂ්කර කාලයක් වෙන්නයි යන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාව මේ යථාර්ථය තේරුම් ගත යුතුයි.”

වික්‍රමසිංහ සහ ප්‍රේමදාසට තමන් පරයා යාමට ඉඩදීමට කොහෙත් ම සුදානම් නැති ජාජබ අපේක්ෂක අනුර කුමාර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැති තමන්ගේ ප්‍රතිපත්තිය නැවත නැවතත් ප්‍රකාශයට පත්කර තිබේ. අගෝස්තු 8 දා ඩේලි මිරර් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය: “අපි ජාමූඅ ගිවිසුම සමඟ දිගටම වැඩට කරනවා… ජාමූඅ හි ප්‍රවේශය වන්නේ රටට මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර කිරීමයි.”

ප්‍රේමදාස මෙන්ම දිසානායකද ප්‍රකාශ කරන්නේ තමන් ජාමූඅ සමඟ නය ගැන නැවත සාකච්ඡා කරන බවයි. කෙසේ වෙතත්, ජාමූඅ දූත මන්ඩලය අවධාරනය කල පරිදි, ශ්‍රී ලංකාව සිටින්නේ ‘තීරනාත්මක සන්ධිස්ථානයක’ ය. එය දැනටමත් ඉදිරි අයවැය සඳහා සැලසුම් සකසා ඇති අතර උපාමාරු දැමීම සඳහා ඉඩක් නොමැත.

ධනේශ්වර ගැති සියලුම අපේක්ෂකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ සිය දීනකම ප්‍රදර්ශනය කිරීම ඔවුන්ගේ වැරදි චින්තනයක ප්‍රතිඵලයක් නොවේ, එය ගලා එන්නේ ඔවුන්ගේ පන්ති ආස්ථානයෙනි. ලියොන් ට්‍රොට්ස්කි සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුල පැහැදිලි කල පරිදි, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ඉහේ සිට දෙපා දක්වා ගැටගැසී සිටින ශ්‍රී ලංකාව වැනි ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල ධනේශ්වරය වැඩකරන ජනතාවගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සපුරාලීමට ඓන්ද්‍රීයව ම අසමත් ය.

සියලු ධනේශ්වර පක්ෂවලට එරෙහිව, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන, සියලු විදේශ නය ගෙවීම නිෂ්ප්‍රභා කරන ලෙසත් ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටී.

අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු විසින් ගොඩගසා ඇති විදේශ නය කන්දට කම්කරු පන්තිය වගකිව යුතු නොවේ. අප අවධාරනය කරන්නේ, නය ආපසු ගෙවීම නවතා දැමීමෙන් ඉතිරි වන මුදල්, සහනාධාර නැවත ලබා දීමට සහ මිල අඩු කිරීමට මෙන්ම මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය නැංවීමට භාවිතා කරන ලෙස යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලැස්මෙන් වැඩි කොටසක් තවමත් ක්‍රියාත්මක කර නැත. ජීවන තත්වයන් දැනටමත් දැවැන්ත ලෙස නරක අතට හැරී ඇති වැඩ කරන ජනතාව මත එය විනාශකාරී බලපෑමක් ඇති කරනු නියත ය. රජය සතු සියලුම ව්‍යවසායන් විකුනා දැමීමට හෝ වානිජකරනය කිරීමට නියමිත ව තිබේ. රාජ්‍ය අංශයේ රැකියා මිලියන දෙකකට ආසන්න ප්‍රමානයක් විනාශ කිරීමට නියමිත ය. තවත් බදු අය කිරීමට සැලසුම් කර ඇත. සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවා තවදුරටත් පුද්ගලීකරනය කල යුතුය.

ඉදිරි අරගල සඳහා සූදානම් විය යුතු බවට සසප කම්කරුවන්ට අවවාද කරසිටී. එසේ කිරීමේදී, වෘත්තීය සමිති විසින් සීමා කරන ලද, කඩාකප්පල් කරන ලද සහ අවසානයේ පාවා දෙන ලද මෑත කාලීන වැඩ වර්ජන සහ විරෝධතා වලින් අවශ්‍ය පාඩම් උකහා ගැනීමට ඔවුන්ට සිදුවේ.

කාර්මික ක්‍රියාමාර්ග ගැනීමෙන් ආන්ඩුවට, තම ඉල්ලීම් වලට අවනත වීමට බල කරනු ඇතැයි යන මිත්‍යාව වෘත්තීය සමිති විසින් ප්‍රවර්ධනය කර යි. මීලඟ ආන්ඩුවට මොන තරම් පීඩනයක් එල්ල කලත් සුලු හෝ සහනයක් ලබා ගනීමට නොහැකිවන බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එකාන්තව ම පැහැදිලි කර ඇත.

කම්කරු පන්තියට සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැක්කේ සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඒවායේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සංවිධානය වීමෙන් පමනි. වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහි වීම සඳහා සියලු වැඩබිම්වල, වතුකරයේ, කම්කරු පන්තියේ තදාසන්න ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප කැඳවුම් කරයි.

ක්‍රියාකාරී කමිටුවලින් තෝරා පත් කරගත් නියෝජිතයින්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සිය කැඳවුම මහජනතාව අතර ප්‍රසිද්ධ කිරීමට සසප මැතිවරන ව්‍යාපාරය යොදා ගනී. ධනපති පක්ෂවල කතා සාප්පුව වන පාර්ලිමේන්තුවට එරෙහිව, අප අවධාරනය කරන්නේ, කම්කරු පන්තියට තම පන්ති අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන මූලෝපායක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට තමන්ගේම කේන්ද්‍රස්ථානයක් තිබිය යුතු බවයි.

සසප කම්කරු පන්තියේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යමින් සිටී. පුද්ගලීකරනය එපා! රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු! කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කරනු! එලෙස, සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ගෙනයායුතු සටනේදී ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් විසින් ඉදිරිපත් කල යුතු ඉල්ලීම් වන්නේ ඒවා ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *