ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනයට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම හෙලා දකිමු!

“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ජනවාරි 03 වන දින ප.ව. 3.30 ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත වූ දේශනය, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කර ඇතැයි වාර්තා වී ඇත.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වන පරිදි, උපකුලපතිවරයා දේශනය සංවිධානය කල පේරාදෙනිය සරසවියේ දේශපාලන විද්‍යා සංගමයට දැනුම් දී ඇත්තේ, “රැස්වීම ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බවක් නොපෙන්වන ලෙසට දේශනයේ මාතෘකාව සංශෝධනය කර ඒ අනුව ප්‍රචාරය කරන ලෙස”යි.

අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතියට එරෙහිව එල්ල කර ඇති මෙම ඍජු තර්ජනයට එරෙහි වෙමින්, රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීමට ඇති මූලික මහජන අයිතිය වෙනුවෙන් නැඟී සිටින ලෙසත්, මෙම දේශනය සංවිධානය කිරීමට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයටත්, ඒ පිලිබඳ ප්‍රචාරය කිරීමට ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයටත් ඇති අයිතිය පැහැර ගැනීමට එරෙහි වන ලෙසත් අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

සසජාතශි විසින් නිකුත් කරන ලදුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වී ඇති ප්‍රකාශය පහත උපුටා පලකරමු:

“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි-ශ්‍රී ලංකාව) දැඩි ලෙස හෙලා දකී.

දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිසං) විසින් අනුග්‍රහය දක්වන ලද දේශනය ඊයේ (03) ප.ව 3:30 ට පැවැත්වීමට නියමිතව තිබුනි. දේවිශිසං විසින්, දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්නගෙන් පූර්ව අනුමැතිය ලබාගෙන, දේශපාලන විද්‍යා අංශයේ අංක 86 කාමරයේ දේශනය පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

කෙසේ වෙතත්, දේවිශිසං ජ්‍යෙෂ්ඨ භාන්ඩාගාරික, දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සුමුදු වලාකුලුගේ, දේශනය අවලංගු කිරීමට සිදුවීම ගැන කනගාටුව පල කරමින්, සසජාතශි කැඳවුම්කරුට මෙසේ දන්වා සිටියේය: “රැස්වීම ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බවක් නොපෙන්වන ලෙසට දේශනයේ මාතෘකාව සංශෝධනය කර ඒ අනුව ප්‍රචාරය කරන ලෙසට වැඩබලන උපකුලපතිතුමාගෙන්, ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති සහ දේශපාලන විද්‍යා අංශාධිපති හරහා මට පනිවිඩයක් ලැබී ඇත. එසේ නොවුවහොත් රැස්වීම වහාම අත්හිටුවනු ඇත.”

උපකුලපතිවරයාගේ ක්‍රියාවන්, දේවිශිසං, සමස්තයක් ලෙස විශ්ව විද්‍යාල සිසුන්ගේ සහ සසජාතශි හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

වලාකුලුගේ ප්‍රකාශ කර ඇත්තේ “පනිවිඩයේ බරපතලකම නිසා” රැස්වීම අවලංගු කරන ලෙස දේවිශිසං සභාපතිට උපදෙස් දුන් බවයි. “… මාතෘකාව සංශෝධනය කිරීම, සැබෑ අර්බුදය පිලිබඳව විශ්ව විද්‍යාල ප්‍රජාව අතර අන්තර්ඥානය බෙදා ගැනීමට අපේක්ෂා කරන සංගමයේ අරමුනු සමග සමාන්තරව යන්නේ නැත.”

“මට ලැබුනු පනිවිඩය පිටුපස ඇති ආන්ඩුවේ යටි අරමුනු පිලිබඳ මගේ අවබෝධය මත පදනම්ව රැස්වීම අවලංගු කරන ලෙස” ඔහු සිසුන්ට උපදෙස් දුන් බව වලාකුලුගේ සැලකිය යුතු ලෙස සටහන් කලේය

සසජාතශි රැස්වීම කල් දැමීමට තීරනය කලද, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරුද්ධ වීමට එය කැපවී සිටී. මෙම වැදගත් රැස්වීම පැවැත්වීමේ සටනට සහාය දෙන ලෙස සසජාතශි ශිෂ්‍යයන්ගෙන්, විශ්ව විද්‍යාල බුද්ධිමතුන්ගෙන් හා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන් සහ ආන්ඩුව හෙලා දකින ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

දේශනය අවලංගු කිරීමේදී, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව භූමිකාවක් ඉටු කල බවට ප්‍රබල ඇඟවුම් තිබේ. ලැබුනු තොරතුරකට අනුව, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ කාර්යාලය, දේශනයේ අරමුන සහ ආකෘතිය පිලිබඳව විමසා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමට ආන්ඩුවේ කැපවීම – ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම කැපවීම නොවැම්බර් 21 දින සිය පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශයේදී පුනරුච්චාරනය කරන ලදී – ආමන්ත්‍රනය කිරීම ඉලක්ක කරගත් දේශනයේ විභව්‍ය බලපෑම පිලිබඳව ජවිපෙ/ජාජබ ඉහලම මට්ටම් වල සාකච්ඡා සිදු කෙරෙන්නට ඉඩ ඇත.

රැස්වීම “ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බව නොපෙනෙන ලෙස කථාවේ මාතෘකාව සංශෝධනය කිරීම” සඳහා වූ නියෝගය හෙලිදරව්කාරි වේ. ආන්ඩුව ජාමූඅ ප්‍රතිපත්ති තමන්ගේම ප්‍රතිපත්තිවලට සමාන කරන බවත්, ඕනෑම අභියෝගයක් මැඩපැවැත්වීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත් එය තහවුරු කරයි. පනිවිඩය පැහැදිලිය: “ඔබට රැස්වීම් පැවැත්විය හැකිය, එහෙත් ඒ ඒවා ආන්ඩුවට අභියෝග නොකරන්නේ නම් පමනි!” මෙය නියෝජනය කරන්නේ ජවිපෙ/ජාජබ තන්ත්‍රයට සම්පූර්න යටත්වීම බලාත්මක කිරීමේ උත්සාහයකි.

ජවිපෙ/ජාජබ බලයට පත්වූයේ, දූෂිත ප්‍රභූව විසින් ආධිපත්‍යය දරන සම්ප්‍රදායික පක්ෂ කෙරෙහි මහජන අතෘප්තිය ගසාකමින් සහ “ජාමූඅ ප්‍රතිපත්ති නැවත සාකච්ඡා කිරීමේ” ව්‍යාජ පොරොන්දු ලබා දෙමිනි. බලයට පත්වීමෙන් පසු දක්ෂිනාංශික ආන්ඩුව ජාමූඅ කප්පාදු පියවර වැලඳ ගනිමින් මෙම පොරොන්දු මුලුමනින්ම අත්හැර දැමීය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප-ශ්‍රී ලංකාව) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග වැඩ කරන සසජාතශි පමනක්, පූර්වයෙන් පැවති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් 2023 මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට නිරන්තරව විරුද්ධ වී ඇත. මෙම විනාශකාරී පිලිවෙත්වලට එරෙහිව සිසුන් ඇතුලු ගම්බද දුගීන් හා තරුනයින් පෙලගස්වා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ වැඩ පිලිවෙලක් සසජාතශි විසින් ඉදිරිපත් කර ඇත. මෙම අරගලය වර්ධනය කිරීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ඉල්ලා සිටිමු.

ආර්ථික අර්බුදයට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ 2022 අප්‍රේල්-ජූලි නැගිටීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමට හා පලා යාමට හේතු විය. කෙසේ වෙතත්, වෘත්තීය සමිති නිලධරයන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම් කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවහිර කිරීම සඳහා ජවිපෙ/ජාජබ වැනි ධනේශ්වර පක්ෂ සමග හවුල් විය. මෙම පාවාදීම රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමටත් දිසානායක ආන්ඩුව දැන් තීව්‍ර කරමින් සිටින ජාමූඅ කුරිරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමටත් ඉඩ සැලසීය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 17 පුරා සිටින 400,000 ක් පමන වන සිසුන්, අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාර, නිවාස හිඟය, අධ්‍යයන කාර්ය මන්ඩලවල උග්‍ර හිඟය, සොච්චම් ශිෂ්‍යාධාර සහ වෙනත් ගැටලු රාශියකට එරෙහිව අඛන්ඩ අරගලවල නිරතව සිටිති.

සසජාතශි දේශපාලන මැදිහත්වීමෙන්, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනයට එරෙහි අරගලයක දී කම්කරු පන්තිය සමග ශිෂ්‍යයන් ඒකාබද්ධ කරනු ඇතැයි ආන්ඩුව බිය වේ. සසජාතශි දේශනය අවහිර කිරීමට එහි මැදිහත්වීමේ සැබෑ හේතුව මෙයයි.

සසජාතශි දේශනය තහනම් කිරීම සම්බන්ධයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාල බලධාරීන් හෙලා දකින ලෙස අපි සිසුන්, ශාස්ත්‍රාලිකයන්, අනධ්‍යයන සේවකයන්, බුද්ධිමතුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගය කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. සසජාතශි වෙත පිටපත් සමග විශ්වවිද්‍යාල බලධාරීන්ට විරෝධතා ලිපි එවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

වෙත: වැඩ බලන උපකුලපති, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *