තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය සහ තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇගවුම්
නන්දන නන්නෙත්ති විසිනි
අයිඑම්එෆ් යෝජනාවලට අනුව,ආරම්භක අදියරේ දී, රාජ්‍ය ආයතන 7ක් හෝ 8ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩිනම් වැඩ පිළිවෙල යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් වශයෙන් පෞද්ගලික සමාගම් සතු කිරීමේ කැබිනට් පත්‍රිකාව මාර්තු 27 දින සම්මත කරනු ලැබ ඇත. මේ වනාහී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත 2022 ජුනි මාසයේ ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීන්දුවකි. (ආයතන 120ක් මෙසේ ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.)
අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි “ 2022 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන ) (සංශෝධිත) පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් නිෂ්පාදන, ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම හා විකිණීම සදහා පහත සදහන් ආයතන සමග ගිවිසුම්ගත වීම… අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
ඒ අනුව චීන සයිනොපෙක් ෆුවල් ඔයිල් පෞද්ගලික සමාගම (Sinopec), ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම (United Petroleum), එක්සත් ජනපදයේ ආර්.එම්. පාර්ක්ස් සමාගම (R.M. Parks) යන මේ ව්‍යාපාරවලට සංස්ථාව සතු පිරවුම්හල් 150 බැගින් වසර 20ක පරිහරනය සදහා පවරා දෙනු ඇත.
පුද්ගලීකරණයට තෙල් කම්කරුවන්ගේ ප්‍රබල විරෝධය වෘත්තීය සමිති විසින් දියකර කර හරිනු ලැබීමේ වසර ගනනක අද්දැකීම් මේ තීරනාත්මක අවස්ථවේ කම්කරුවන් වික්ෂිප්තභාවයට ඇද දමා තිබිණි .
වෘත්තීය සමිති පසු දින, (28) දහවල්, ආණ්ඩුවේ තීන්දුවට විරෝධය පෑම සඳහා ඉබාගාතේ කැදවූ වර්ජනයට අවශ්‍ය කම්කරු සහාය ලබාගත නො හැකි විය. එම අවස්ථාවේ දී සමිතිවල හැසිරීම, තෙල් කම්කරුවෝ ආණ්ඩුවේ මර්දනකාරි පාලනයේ ගොදුරක් බවට පත් කරනු ලැබීමේ අවස්ථාවක් උදා කලා පමණි.
බල ශක්ති ඇමති කාන්චන විජේසේකර, කම්කරු විරෝධතා පාලනය කිරීම උදෙසා වෘත්තීය සමිති හාම්පුතුන් සමග ඇති කරගත් ගිවිසුම් කෙල පිඩක් තරමටවත් තැකුවේ නැත. “මම සාමූහික ගිවිසුම කඩනවා” යි, ඔහු ගුගුලේ ය.
එසේ කරන්නේ “ඒකාබද්ධ ගිවිසුම් තිබෙන විට වැඩ කරන පුද්ගලයින්ටයි, නො කරන පුද්ගලයින්ටයි එක හා සමානව සැලකෙන නිසා”යයි ඔහු කීය. ඒ වෙනුවට කාර්යක්ෂමතාව මත පදනම් වූ වැටුප්, ප්‍රසාද දීමනා හා උසස් වීම් යන කරුනු ඉදිරියේ දී සලකා බැලෙනු ඇත. මේ කියන්නේ දැනටමත් නිදහස් වෙළඳ කලාපවල පවතින සූරා කෑමේ වහල් කොන්දේසි දිවයින පුරා කර්මාන්ත වල ක්‍රියාකාරීත්වයේ ආදර්ශ වන බව ය.
ඇමතිට අනුව ආයතන කඩා වැටී ඇත්තේ, වෘත්තීය සමිති නිසා “ආයතනවල විනය පිරිහී ආයතන ප්‍රධානීන්ට ආයතන පාලනය කිරීමට බැරි වී තිබෙන” බැවින් ය. ඒ නිසා පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත් කිරීමේ දී මානව සම්පත් විනයගත කිරීම පලමු කොන්දේසිය වන බව ඇමති නො වලහා සඳහන් කළේ ය. “රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වෙනකොට අනිවාර්යයෙන් වෘත්තීය සමිති කියා එකක් නැති වෙනවා” යි ඇමති කිහිප වරක් ම තහවුරු කළේ ය.
වෘත්තීය සමිති නායකයන් කෙරේ මහජනතාව තුළ ඇති විරුද්ධත්වය ගසා කෑමට තැත් කරමින් ඇමති විජේසේකර කරුනු කිහිපයක් ගෙනහැර පෑවේ ය. ඒවා මෙසේ ය. වෘත්තීය සමිති නැති වූ විට සමිති නායකයන්ට පැවැත්මක් නැති වේ, සේවයෙන් නිදහස් වී වැටුප් ලභා ගැනීමේ අයිතිය අහිමි වේ, ස්ථාන මාරු මණ්ඩලවල වාඩිවීමේ අයිතිය අවලංගු වේ.
මේ අතර සමිතිවලට ලබා දුන් වාහන හා ඉන්ධන දීමනා නතර කරන ලදී. වෘත්තීය සමිති නායකයන්ට මෙයින් බොහෝ පාඩු සිදුවන්නේ ය යන සත්‍ය බැලූ බැල්මට පෙනී යන දෙය වුවත්, යථාර්ථයේ දී මෙය සමිති නායකයන් පිිළිබඳ කරුනක් නො වන බව අප වටහා ගත යුතු ය. ඛනිජ තෙල් සේවකයන්ට රැකියා ස්ථානය තුළ රැස්වී සාකච්ඡා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරමින් චක්‍රලේඛයක් 2022 ඔක්තෝබර මාසයේ පාලනාධිකාරය විසින් නිකුත් කරන ලදී.
කම්කරු පන්ති සටන් මගින් අතීතයේ දී දිනා ගත් සියලු වරප්‍රසාද අහිමි කිරිම පෞද්ගලීකරණයේ අත්‍යවශ්‍යතාවකි. ඒ තුළ කම්කරුවන්ට සිය අයිතීන් වෙනුවෙන් සංවිධානය වීමට හෝ ඒවා සදහා සටන් කිරීමට මොන ම ඉඩක්වත් පෙර පරිදි ලැබෙනු නැත. ඇමති කියන්නේ ඒවා පාලන අධිකාරයට අයත් වැඩ බව ය. “ඒවා කරන්නට මානව සම්පත් දෙපාර්තමේන්තුවක් හැම ආයතනයකම තියෙනවා” යි ඔහු කියයි. එනම් පාලකයන්ගේ අත්තනෝමතිකත්වය පිළිගැනීම හැර කිසිදු විරෝධයකට ඉඩක් නැත.
28 රාත්‍රියේ ම ආයතනයේ කටයුතු නිර්බාධිතව පවත්වා ගැනීම, එනම් කම්කරුවන්ගෙන් එල්ල විය හැකි අභියොගය පූර්ව භංග කිරීම සදහා තෙල් පර්යන්තවලට යුද හමුදාව යොදවන ලදී. තෙල් බවුසර් ගමනාගමනයට හා තෙල් පිරවීමේ කටයුතුවලට බාධා පැමිණීම වැළැක්වීමට එම පියවර ගත් බව හමුදා ප්‍රකාශකයා මාධ්‍යයට ප්‍රකාශ කළේ ය. කල් ඇතිව සූදානම් ව සිට සිදු කළ මේ ක්‍රියාවන්ට එරෙහිව කිසිදු බලපෑම් සහිත දෙයක් කිරීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නො තිබිණි.
උද්ඝෝෂනයට සහභාාගී වූ වෘත්තීය සමිති නායකයන් ඇතුලු 20 දෙනෙක් අනිවාර්ය නිවාඩු යවන ලදහ. ඔවුන්ට තෙල් සංස්ථා පරිශ්‍රයන් තහනම් කෙරුණි .ඇමතිගේ ප්‍රකාශයට අනුව උද්ඝෝෂණයට සහභාගී වූ සියලු දෙනාට අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංඝණය කිරීම යටතේ නඩු පැවරීමට නියමිත ය. දැන් බලහත්කාරයට හා තර්ජනයට යටත්ව වැඩ කිරීමට කම්කරුවන්ට සිදු වී ඇත.
මෙසේ සිය ජීවනෝපායන් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සදහා වැඩකරන ජනතාවගේ අරගල කඩාකප්පල් ක්‍රියා ලෙස නම් කර පහර දෙන ආණ්ඩුව සහ සෙසු දක්ෂිණාංශික බලවේග ඉල්ලා සිටින්නේ දේශීය හා ජාත්‍යන්තර ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් දිවි දෙවෙනි කොට වැඩ කිරීම හැර අන් කිසිවක් නො වේ. එයින් පීඩිත ජනයාගේ ජීවත කඩාකප්පල් වීම අදාල වන්නේ වැඩ කරන ජනයාට පමණි.
මේ අතර ධනපති මාධ්‍ය විශේෂ සාකච්ඡා මෙහයවමින් අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකරන්නට අවුරුදු දෙකේ සිට පහ දක්වා සිර දඩුවම්, නිශ්චල හා චංචල දේපොල රාජසන්තක කිරීම හා රැකියා අහිමි වීමට මුහුණ දිය යුතු ය යි ත්‍රස්ත කිරීමේ ව්‍යාපාරයක් ද දියත් කර ඇත.
ආණ්ඩුව මෑතදී සම්මත කල ත්‍රස්ථ විරෝධී පනත, වැඩ කරන ජනයා මත සමස්ත අරබුදයේ බර හෙලන, අයිඑම්එෆ් ආර්ථික පිළිවෙත ක්‍රියාවට දැමීමට එරෙහි සෑම ප්‍රයත්නයක් ම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කර මර්දනය කිරීම පිනිස ය.
පසුගිය සිකුරාදා (31) අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකදී මිලිටරි ප්‍රධානියා වශයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශය කම්කරු මහජනතාව බැරෑරුම් ලෙස ගත යුතුය. ගිය වසරේ මහජන අරගල මර්දනය කිරීම සම්බන්ධයෙන් මිලිටරිය හා පොලීසිය පැසසුමට ලක්කළ වික්‍රමසිංහ කියා සිටියේ ‘ත්‍රස්තවාදය’ සාර්ථක ලෙස අවසන් කළ අයුරින්ම ආර්ථික යුද්ධයද ජයගන්නා බවත් තම ධූර කාලය තුළ නීතිය හා සාමය කඩ කිරීම තමන් නොඉවසනු ඇති බවත් ය. මේ ‘නීතිය’ නම් අන් කිසිවක් නොව IMF හි කප්පාදු නියෝගයි.
අමතර බල ඇනියක් ද පෙරමුනට කැදවනු ලබමින් සිටී. කම්කරුවන් ඉහල වැටුප් ලබන බවත්, අවංකව වැඩ නො කර රටේ ආර්ථිකය බිද දමනා බවත් ඒ වැනි අවලාදවලින් අවුස්සා, අවස්ථාවාදී මධ්‍යම පන්තික හා පසුගාමී සමාජ බලවේග වැඩකරන ජනයාට එරෙහි ලේ වැකි ව්‍යාපාරයක් ලෙස මෙහයවා ගැනීම සදහා ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද යොදාගෙන ඇත. බෞද්ධ භික්ෂූන්, දේශපාලනඥයන් ඇතුලු ප්‍රතිගාමී කන්ඩායම් ගනණාවක් මෙම පෙරමුනේ වැඩ කරති.
43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ අනතුරු ඇගවූයේ ය. “ මතක තියාගන්ඩ ඉතා බලගතු ආණ්ඩුවක් පලවා හැරපු ජනතාවක් මේ රටේ ඉන්නෙ. ඒ ජනතාව වෘත්තීය සමිති ගැනත් ඒ ආකාරයෙන් ම ක්‍රියා කරන්න බැරිකමක් නෑ. ඒ නිසා මේ අයිඑම්එෆ් එක පෙන්නා හෝ බඩු මිල නවත්තන්න බැහැ කියා කටයුතු කරන්න බැහැ වගේ ම, සේවා නවත්වන්න, ඒවා අඩාල කරනවා කියන තර්ජනයෙන් වෘත්තීය සමිතිවලටත් මේ රට කරන්න බෑ.”
රණවක මෙවැනි කණ්ඩායම් අතර එක් අයෙක් පමණි. මොහු 2017 මැයි දිනයේ දී මෙසේ කියයි. “ වැඩ වර්ජනවලින් පතුළටම එරී සිටින කොලඹ වරාය නැවත මුල් තැනට ගේන්න අපට අවශ්‍යයි.කොලඹ නගරයේ රත්තන්ට වැඩ වර්ජන බෑ.”
1988-89 ජවිපෙ ඝාතන ව්‍යාපාරයේ සිට ජනතා මිතුරෝ නම් වර්ගවාදී සංවිධානය ගොඩ නගා, 1988 දී ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරය, 2014 ජාතික හෙල උරුමය යන කුප්‍රකට ප්‍රතිගාමී සංවිධාන ගොඩ නගා වර්ගවාදය හා කම්කරු විරෝධය උසි ගැන් වූ, පසුගිය දසක දෙක තුළ , මෙරට සිදු වූ දෙමල හා මුස්ලිම් විරෝධී ජන ඝාතනවලට වග කිව යුතු හා ෆැසිස්ට් ව්‍යාපාරයකට අවශ්‍ය මොහොතක යොදා ගත හැකි අවස්ථාවාදියෙකි. 2001 සැප්තැම්බර් 5දා ශ්‍රී ලංකා ෆස්ට් සාම උද්ඝෝෂණයට කඩා වැදී, ඊට සහභාගී වූ අයට පහර දී විසුරුවා හැරීමට මැර කල්ලියක් කොළඹ නගරය පුරා මෙහයවීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී මැරකම් සම්බන්ධ වාරතාවක් ඔහු සතු ය.
මෙවන් අභියෝග නො තකා තෙල් කම්කරුවන් ඇතුලු සමස්ත කම්තරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ අරගලයට අඩියක්වත් එසවිය හැකි නො වේ.
(2වන කොටසින් වෘත්තීය සමිතිවල ක්‍රියා කලාපය ගැන ලියවේ.)