දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඓතිහාසික නඩු තීන්දුවක්

දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඓතිහාසික නඩු තීන්දුවක්

මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (මාර්තු 17 වැනිදා) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළේය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර සිටියේ ය.

එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉකුත් 12 වනදා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල

ඉදිරියේ සලකා බැලිණි.

‘පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොවෙයි’

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවයි.

රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළේය.

මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටීමට හේතුවන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ ය.

පහළ අධිකරණවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් සඳහන් කළේය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බවත් කියා සිටියේ ය.

සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනී නොයන හෙයින් ඔහුගේ පෙත්සම සහ අතුරු තහනම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

සියලු කරුණු සලකා බැලීමේදී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන්ගෙන් අධිකරණයට මෝසමක්

අද පෙරවරුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී නැගී සිටි දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ” ස්වාමීනි… මෙම නඩුකරයට අදාළ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවට පසුගියදා කරුණු ඉදිරිපත් කිරීම සිදුවුණා. ඒ අනුව අප සම්පූර්ණ නඩු ගොනුවේ පිටපතක් මාතර අධිකරණයෙන් අයදුම් කළා. එම සම්පූර්ණ නඩුගොනුවේ පිටපත ලැබුණේ පසුගිය සිකුරාදා සවස 4.00 පමණ. ඒ අනුව තමයි අද පෙරවරුවේ මෝසම ඉදිරිපත් කළේ. එම නිසා එම සම්පූර්ණ ලේඛනය සම්බන්ධයෙන් නැවත කරුණු සලකා බලා තීන්දුවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අයැද සිටියේ ය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් දැඩි විරෝධය පළ කළේය.

“ස්වාමීනී… එම ඉල්ලීමට මා තරයේ විරුද්ධ වෙනවා. මේ නඩුකරයේ පෙත්සම්කරු පසුගිය 28 වන දා සිට අධිකරණ නියෝග මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. මේ මෝසම ඉදිරිපත් කළේ අද පෙරවරු 8.40ට පමණ. තීන්දුව කල් දමා ගැනීමේ අරමුණින් තමයි මේක ඉදිරිපත් කර තිබෙන්නේ. යටි අරමුණු සහිතව ඉදිරිපත් කරන මෙවැනි ඉල්ලීම්වලට ඉඩ නොදෙන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ” ඒ අනුව පෙත්සම්කරුගේ මෝසම ප්‍රතික්ෂේප කොට නඩු තීන්දු ප්‍රකාශයට පත්කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනය ගැන අවධානය

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් ඊයේ දින නිකුත් කර තිබූ නිවේදනයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙන බව සඳහන් කර සිටියේ ය.

මෙම පොලිස් මාධ්‍ය නිවේදනයේ පිටපතක්ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එය පරීක්ෂාවට ලක් කළ අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු ලෆාර් කියා සිටියේ එම නිවේදනයේ හතරවන ඡේදයේ සඳහන් වන ආකාරයට තම අධිකරණය විසින් එවැනි නියෝගයක් නිකුත් කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ” ස්වාමීනී… ජනවාරි මාසයේ පමණ මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිසක් පෙත්සමක් ඉදිරිපත් කළා තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා. එය සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී විමර්ශන අවසන් වන තෙක් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට වග උත්තරකරුවන් විසින් අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. එම අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබුණේ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස්. දැන් සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක් තිබෙනවා. මේ අවස්ථාවේ අධිකරණ නියෝගයට අවනතව කටයුතු කිරීමට අපට සිදුවෙනවා. එම නිසා එම එකඟතාවය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නෑ. නීතිපතිවරයා විසින් එය ඉවත් කරගෙන තිබෙනවා. ඊයේ දින සිදුවුණේ සම්පූර්ණයෙන්ම මාධ්‍ය සංදර්ශනයක්. අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත නඩු තීන්දුවට බලපෑමක් සිදු කිරීමේ අරමුණින් තමයි මේ කරුණු ඊයේ දින මාධ්‍යවලින් ප්‍රකාශ වුණේ. අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත තීන්දුවට පීඩනයක් එල්ල කිරීමටයි මෙවැන්නක් සිදු වුණේ ” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ ඉකුත් 12 වනදා මෙම පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නීතිඥවරුන්ගෙන් පුළුල් ලෙස අධිකරණය කරුණු විමසීමක් කළ බවයි.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මෝසම ඉවත දමමින් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බව සිහිපත් කළා.

“මෙම නඩුකරයේ පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙක් නොවෙයි. ඔහු රටේ පොලිස්පතිවරයා. රටේ නීතියේ ආධිපත්‍යය සුරැකීමේ පරම වගකීම ඔහු වෙත පැවරී තිබෙනවා. එවැනි වගකිවයුතු පුද්ගලයකුට අධිකරණ නියෝග මගහරීමෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතන දෙකක්. එම නිසා පෙත්සම්කරුට මහජන විශ්වාසය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔහු නීතියට ඉහළින් සිටින පුද්ගලයෙක් යැයි සිතා කටයුතු කර ඇති බවක් අධිකරණයට හැඟී යනවා. මේ තුළින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීමටත් හේතු වෙනවා” යනුවෙන් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ” පෙත්සම්කරු මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින්. ඔහු නීතිගරුක අයෙකු වශයෙන් මුලින්ම කළ යුතුව තිබුණේ මාතර මහේස්ත්‍රාත් අධිකණයේ පෙනී සිට එම නියෝගයට අවනත වීමයි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ යම් දෝෂ සහගත තත්ත්වයක් තිබුණේ නම් පැමිණිලි කළ යුත්තේ ඊට පසුවයි. නමුත් පෙත්සම්කරු එම නීතිමය සම්ප්‍රදාය අනුගමනය කළේ නැහැ. පෙත්සම්කරු නීතිය ආධිපත්‍ය සුරැකීමට බැඳී සිටින පුද්ගලයකු වශයෙන් ඔහු අධිකරණ නියෝග වලට අවනත විය යුතුයි. සාමාන්‍ය පුරවැසියෙකුට එරෙහිව සුළු වරදක් සිදුවන අවස්ථාවක පවා ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා කටයුතු කරනවා. එහෙත් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආයතනයක ප්‍රධානියා වශයෙන් පොලිස්පතිවරයාට එරෙහිව මෙවැනි නියෝගයක් නිකුත් වී ඇති අවස්ථාවක එය බැහැර කරමින් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. එසේ කළහොත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටී “අරගලය” වැනි තත්ත්වයන් මතු වීමට හැකියාව තිබෙනවා.” යනුවෙන් තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම්කරු විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැරදි සහගත ලෙස මෙම මෙහෙයුම සඳහා ස්ථානගත කරවීම, මෙම මෙහෙයුම සම්බන්ධයෙන් කිසිදු සටහනක් යොදා නොතිබීම, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දකුණු පළාතේ මෙහෙයුමක් සඳහා පිටත් වීම පිළිබඳව ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් නොකිරීම, නීති විරෝධී ලෙස ටී 56 වර්ගයේ ගිනි ඇතුළු අවි ආයුධ ලබාගෙන ඒවා භාවිතා කිරීම , පෙත්සම්කරු යටතේ “පැරා මිලිටරි” කණ්ඩායමක් ක්‍රියාත්මක වී තිබීම, මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ළඟම රෝහලට ඇතුළත් නොකොට ඉමදූව අධිවේගී පිවිසුම දක්වා ප්‍රවාහනය කිරීම, මෙම මෙහෙයුම සඳහා සහභාගි වූ සියලුම නිලධාරීන්ගේ රාජකාරී ජංගම දුරකථන වසා තිබීම, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ නියෝගයට අවනත නොවී කටයුතු කිරීම යනාදී සැක කටයුතු කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ විනිසුරුවරයා පෙත්සම්කරු කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ මෙම ඉල්ලීම සිදුකර තිබෙන බව පෙනී යන්නේ යැයි කියා සිටියේ ය.

“සියලු කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බව සඳහන් කළ යුතුයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)1 වගන්තිය යටතේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය නොමැති බව පෙත්සම්කාර පාර්ශවය ප්‍රකාශ කර තිබුණා. එය පිළිගැනීමට හැකියාවක් නෑ. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත්වරයාට මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන බව සඳහන් කළ යුතුයි. සියලු කරුණු විශ්ලේෂණය කිරීමේදී පෙත්සම්කරු සහන පතා මෙම අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවයි පෙනී යන්නේ. එම නිසා ඔහු ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අදාළ පෙත්සම රුපියල් 10525 ක ගාස්තුවකට යටත්කොට නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමතු අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස්

මෙම නඩු තීන්දුව මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රකාශ වූ ඓතිහාසික නඩු තීන්දුවක් බවත් සඳහන් කළේය.

බී.බී. සි . සිංහල සේවයේ වෙබ් අඩියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *