නතාෂාගේ රැදවුම් නියෝගය දෙසතියකින් දිගු කෙරේ
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියට එරෙහිව ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (අපදෙ) පවරා ඇති නඩුව ඊයේ (07) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරියේ කැඳවිණි. නඩුව මෙසේ විවෘත අධිකරණයේ කැඳවූයේ ප්‍රථම වතාවටය. පසුගිය මැයි 28 දින ඇය අත්අඩංගුවට ගනු ලැබුනේ බෞද්ධ කටයුතු කොමසාරීස්ගේ පැමිණිල්ලකයට අනුව, ඇය විසින් පසුගිය අප්‍රේල් 01 වන දින “මෝඩාභිමානය” නම් ප්‍රහසන කලාත්මක නිර්මාණයක දී බුද්ධාමට හා බුද්ධ චරිතයට අපහාස කරන ලදැයි චෝදනා කරමිනි. එදින ඇය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
නතාෂා සිරගත කිරීමෙන් පසු ඇයගේ එකී නිර්මාණය තම යූ-ටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කරන ලද බෲනෝ දිවාකර ද අත් අඩංගුවට ගන්නා ලද්දේ නතාෂා කරන ලදැයි චෝදනා කරන වරදට ආධාර අනුබල දුන්නේ යැයි කියමිනි. දැන් නඩුව එම දෙදෙනාටම එරෙහිව පවත්වගෙන යන අතර මේ මර්දනයට රාජ්‍ය යාන්ත්‍රනය කැඳවා සිටි බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු වර්ගවාදී නඩ මෙම නිර්මාණයට හා එකී යූ-ටියුබ් නාලිකාවට සම්බන්ධ සෙසු අයද අත්අඩංගුවට ගන්නා ලෙස කැඳවුම් කර ඇත. වීඩියෝව පලකළ කොලම්බු කොමඩි සෙනට්‍රල් (Colombo Comedy Central) යන ෆේස්බුක් පිටුවට ද සම්බන්ධ අය ඇතුලු ඉහත කී සියල්ල පිිළීබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව අපදෙ නිලධාරියා උසාවියට දන්වා සිටියේය.
අපදෙ හි පරිගණක අපරාධ කොට්ඨාශය අදාළ වීඩියෝපටය නැරඹූ අය කරන ලද විවේචන (comments) පරීක්ෂා කළ බවත් ඒ අනුව සමාජයේ “ආන්දෝලනාත්මක” තත්තවයක් ඇතිව තිබූ බවත්, ඇය අත්අඩංගුවට නොගත්තා නම් “ඇයගේ ජීවිතයට ද තර්ජනයක් වීමට තිබුණා” යැයි අපරාධ දෙපාර්මෙන්තු නිලධාරියා ප්‍රකාශ කළේ ය. මේ සදහන් කරන්නේ අණ්ඩුවේ අනුග්‍රහය ලබන මැර කණ්ඩායම් වලට නිදැල්ලේ හැසිරීමට ඉඩ සලසා ඇති බවත්, පොලීසිය ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වීම වෙනුවට වින්දිතයා සිරකර තැබීම සිදුකරන බවත් නොවේ ද?
රැඟුම් පාලක මණ්ඩලය වෙත පෙළ (script) පිටපත් ලබා දී අවශ්‍ය අවසර ලබාගත යුතු වන නමුත් නතාෂා ඇයගේ නිර්මාණයට අදාල පෙළ ලබා දී නැති බවත්, ඒ අනුව ඇය තමන් ප්‍රකාශ කිරීමට යන දෙය නිසා “කැළඹීමක්” විය හැකි බව දැන සිටි බවට පොලිස් නිලධාරියා චෝදනා කළේය. රැඟම් පාලක යනු කලාව බැඳ තබා ගැනීමේ ආණ්ඩුවේ තවත් අඬුවකි. අනික් අතට, හිටිවන ප්‍රහසනයක් (Stand-up comedy) සම්බන්ධව පෙළ පිටපත් ඉල්ලා සිටීම යනු ලංකාවේ ප්‍රචලිත ජන කලාවක් වන ‘හිටිවන කවි’ සම්බන්ධයෙන් පෙළ ඉල්ලා සිටීමක් බඳුය.
“බෞද්ධ ජන සමාජය” තුළ “ජන කැළඹීමක්” සිදුවිය හැකි නිසා ඇයට ඇප ලබා දීම නොකල යුතුව ඇතැයි පොලිස් නිලධාරියා ඉල්ලා සිටියේ ය. සිවිල් සහ දේශපාලන අයිතිවාසිම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ”සැකපිට” අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇති බැවින් මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය නොහැකි උවත්, මහජන කැලඹීමක් වැළැක්වීමේ වහන්තරාව යටතේ පුද්ගලයෙකු සිරගත කිරීම කුමන නම් ප්රජාතන්ත්රවාදයක් ද?
නතාෂා හා දිවාකර වෙනුවෙන් උසාවියේදී ඉදිරිපත් කරන ලද විත්තියේ කරුනු දැක්විම තවත් හාස්‍යයක් ම විය! අදාළ ඉදිරිපත් කිරීමේ වීඩියෝ පටය උසාවිය තුළ ප්‍රදර්ශනය කර නතාෂා සැබවින්ම කලාත්මකව සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්නා පනිවිඩය පැහැදිලි කිරීමට වැඩි ඉඩක් ගැනීම වෙනුවට නීතීඥයන් හැසුරුණේ සිල්ගත් උපාසකයන් ලෙස ය. “වෛරයෙන් වෛරය නොසන් සිඳේ” යනුවෙන් වන ආගමික ප්‍රකාශයක් ගෙන හැර දක්වමින් ඔවුහු පැමිණිලිකරුවන්ට “හොඳ බෞද්ධයෙක්” වීම ගැන උපදෙස් දුන්හ. එ අනුව පැමිණිලිකරුවෝ “මෝඩ අභිමානයකට” පත් වූවෝය.
පැමිණිලිකරුවන් යනු ‘මෝඩ අභිමානයකට’ පත් වූවන් ලෙස හැඳින්වීම නොමඟ යැවීමකි. සැබෑව නම් බෞද්ධ කටයුතු කොමසාරීස් ඇතුලු බෞද්ධ චීවරධාරීන්ගේ හා වර්ගවාදීන්ගේ මෙම වියරුව දැනුවත්වම සිදුකරන ප්රතිගාමීත්වයේ ප්රතිප්රහාරයක කොටසක් බව යි. එය හරියටම සමපාත වන්නේ හා සංයෝග වන්නේ ධනපති පාලක පන්තියේ කප්පාදුවට එරෙහි කම්කරු හා පීඩිත මහජනතාවගේ අරගල මර්දනය කිරීමේ සැලසුම් සමගය.
සිදුහත් ළමා චරිතයට “කොලු පැටියා” ලෙස ඇමතිම නිවැරදි ලෙස පිළි නොගන්නා බව පැවසූ විත්තියේ නීතීඥයා අප කලාකාරිනියගේ ඉදිරිපත් කිරීම විකෘතියට ලක්කර ගැරහීමේ වර්ගවාදීන්ගේ උද්ඝෝෂණයට අනුකූලතාවය පල කළේය.
දිවාකර වෙනුවෙන් කරුනු දැක්වීම විත්තියේ මෙම ප්‍රවේශය ස්ථිර කළේය. ඔහු වෙනුවෙන් වූ නීතීඥ නියෝජනය, “සුද්ධෝධනගෙ පුතා කියල මම නම් පාවිච්චි කරයි කියල මට හිතෙන්නෙ නෑ” යනුවෙන් සඳහන් කරමින් කලාකාරිනියගේ ප්‍රහසනයේ අර්ථය පිළිබඳ එක්කෝ තම අනවබෝධය හෙළිදරව් කළේ ය. නොඑසේනම්, එය දැනුවත්වම අධිපති බෞද්ධ සංස්ථාපිතයේ ප්රතිගාමීත්වයේ උද්ඝෝෂණය සමග සිටගැනීම ප්‍රකාශයට පත් කළේය. මෙහි දෙවන වියහැකියාව සනාථ කරමින් ඔහු වැඩිදුරටත් කීවේ, “මම නම් මෙම වීඩියෝව උඩුගත (upload) කරන්නේ නෑ“, එය තමන් “සදාචාරයට අනුව පිළිගන්නා ආකාරය” යයි කියමිනි.
මෙම යටවීම ඩැහැගත් නතාෂාට එරෙහි තවත් එක් පැමිණිලිකාරුවෙක් හා කුප්‍රකට චීවරධාරියෙක් වන බලංගොඩ කස්සප වෙනුවෙන් පෙනීසිටි මනෝජ් ගමගේ යන නීතීඥයා තමා පෙනී සිටින “බෞද්ධයන්ගේ” හැටි ස්වභාවය විස්තර කළේ මෙසේය:
“බෞද්ධයො කියන්නේ සෝවාන් වූ අය නොවෙයි. අපහාසය කර තියෙන්නෙ අපේ විශ්වාස වලට. එහෙම කර මෛත්‍රිය ගැන කියනවා. ගහක් ගලක් වුවත් වඳින්න, පුදන්න, විශ්වාස කරන්න අපිට අයිතිය තියෙනවා”.
ආගමික අන්තවාදීන් නිර්මාණාත්මක කලාකරුවන්ට, කලාවට හා ප්රකාශනයට එරෙහිව ෆැසිස්ට් බලවේග ලෙස සූදානම් කිරීමේ ආණ්ඩුවේ සැලසුම් හෙළිදරව් කළ, පැවති හා පවතින ආණ්ඩුවල වරදාන, වරප්‍රසාද බුක්තිවිඳින මෙම නීතීඥයා ඊ ලඟට කී දෙයින් සෙනඟ පිරී ගිය අධිකරණ ගැබම කම්පාවට පත් කළ බව විද්‍යාමාන කළේය:
“මේක බෞද්ධ රටක් නිසා තමයි මේ කාන්තාවගෙ පවුලෙ අයත් බේරිලා ඉනෙ. වෙනත් රටක උනානම් දැනටමත් මරල, කපල කොටල, ගෙවල් ගිනි තියල. ඉන්දි්යවෙ නම් එහෙම තමයි වෙන්නෙ.”
ඔහු මෙසේ ඉදිරිපත් කළේ දැනටමත් ආගමික අන්තවාදී චීවරධාරීන් විසින් හා වර්ගවාදී ප්රකෝපකාරීන් විසින් තැන තැන විවෘතවම, කිසිදු වගවීමකින් තොරවම, ඉදිරිපත් කරන වෛරි සහගත තර්ජනයන්ගේ ප්රකාශනයකි.
කුප්‍රකට වර්ගවාදී සංවිධානයක් වන සිහල රාවයේ ප්‍රභාත් මධුභාෂන යන පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටිමින් සුසන්ත කුමාර නීතීඥයා ගමගේගේ ප්‍රකාශයන් විස්තීරණය කළේ ය.
ඔහුගේ ඊලඟ ඉල්ලීම ආණ්ඩු විරෝධී විකල්ප දේශපාලන ප්රවනතාවයන් දඩයම් කිරීමේ ප්රතිවිප්ලවයේ සැළසුම් ක්‍රියාවට නැගීම සඳහා මෙම නඩුව කැප කර ඇති බවට දෙස් දුන්නේ ය. ඔහු කියා සිටියේ, නතාෂාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට සහාය පල කරමින්, ඇය “නිදොස් කොට නිදහස් කර ගැනීම සඳහා” [ආන්ඩුවට] “බල කරනවා” යනුවෙන් කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් වන විදර්ශන කන්නංගර, තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවගෙදර, ලක්මාලි හේමචන්ද්‍ර හා බ්රීටෝ ප්‍රනාන්දු යන අය “අධිකරණයට අපහාස කිරීම” යටතේ අත්අඩංගුවට ගත යුතු බව යි.
මෙම ඉල්ලීම වහා ක්‍රියාත්මක කරමින් අධිකරණය අපදෙ අධ්යක්ෂ වෙත නියෝග කළේ කරුනු විමර්ශනය කර කරුනු වාර්තා කරන ලෙස යි.
භික්ෂූන් හා වර්ගවාදීන් වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කළ සැක කිරිම් කිසිවක් සම්බන්ධව කට නොසෙල්වීමට විත්තියේ නීතීඥවරු වග බලා ගත්තෝය!
විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම සම්බන්ධව ලිඛිත දේශන අද දින (08) ගොනුකිරීමටත් විරෝධතා ඉන් සතියකින් ගොනු කරන ලෙසත් නියෝග කළ අධිකරණය ඇප නියෝගය ඊලග දිනයට කල් තැබීය. පොලීසියේ ප්රජාතන්ත්ර විරෝධී ඉල්ලීමට ඉඩදෙමින්, “මහජන නොසන්සුන්තාවයක් ඇතිවීමේ ඉඩ සලකා” නතාෂාගේ හා දිවාකරගේ බන්ධනාගාරගත කිරීම ඊලඟ දිනය වන ජුනි 21 දක්වා දිගු කරනු ලිබිණි.
නතාෂා යනු දේශපාලන සිරකරුවෙකි. දේශපාලන සිරකරුවන් පිළිබඳ තීන්දු ගැනෙන්නේ දේශපාලන සම්මන්ත්රණ කාමර තුලය. ඒ නිසා ඔවුන් නිදහස් කරගැනීම අති මූලිකවම මෙම මර්දනයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ හා ශක්තිමත් කිරීමෙි දේශපාලන සටනකි. සිරගත කෙරුනු ශක්තික සත්කුමාර, අහ්නාෆ් ජසිම්, රම්සි රසීක් වැනි කලාකරුවන්, නිදහස් සිතන්නන් මෙන්ම ජුලියන් අසාන්ජ්, එඩ්වඩ් ස්නෝඩන් වැනි මාධ්‍යවේදීන්, තොරතුරු හෙළිදරව්කරුවන් (whistle blower) නිදහස් කරගැනීමේ උද්ඝෝෂණ වල ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම එය යි. මෙම අත්දැකීම අත්හැරීම එක් අතකින් සටනින් පලා යාම හා ප්රතිගාමීත්වයට ඉඩ සැලසීමක්ද, අනික් අතට පන්ති අරගලයට එරෙහි රාජ්‍ය මර්දනය ඉක්මන් කිරීමට ඉඩ සැලසීමක් ද වේ.
වැඩකරන මහජනතාව සෙසු පීඩිතයන් සමග පන්තියක් ලෙස එකමුතුව බඳී සිටින තාක් ආගමික හෝ වාර්ගික බෙදීම් කිරීමකට ඉඩ නැත. කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) එම එකමුතුව තහවුරු කරමින් නතාෂා හා දිවාකර ද, කලාවේ හා ප්රකාශනයේ ද, ප්රජාතන්ත්රවාදී අයිතීන්ද ආරක්ෂා කර ගැනීමේ සටනට පිවිස සිටී. ආගමික වර්ගවාදීන්ට අභියෝග කරමින්, ඔවුනට මුහුණට මුහුණ ලා සිටගනිමින් නතාෂා නිදහස් කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට බලකිරීමට හා එකී අයිතීන් මර්දනයට එරෙහිව කම්කරු මහජනතාව රැලිකර ගැනීම උදෙසා උසාවිය අසල ඊයේ උද්ඝෝෂණයට පිවිස සිටියේ කොක්‍රික පමණි.
කොළඹ ක්‍රියාකාරි කමිටුව