නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගල

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

එය මානව ඉතිහාසයේ අතිශය කැළඹිලිකාරී හා වියවුල්සහගත කාල පරිච්ඡේදයක් විය. ලෝකයේ ප්‍රථම කම්කරු රාජ්‍යය ස්ටැලින්වාදී නිලධරයේ දඬු අඬුවට හසු ව තුබූ අතර, බෝල්ෂෙවික් පක්ෂය කායිකව විනාශ කිරීමට පියවර ගත් ස්ටැලින්වාදයේ රුදු ග්‍රහණයට කොමියුනිස්ට් ජාත්‍යන්තරය ද නතු වී තිබිණ. ස්ටැලින්වාදයේ පාවාදීම යහමින් ප්‍රයෝජනයට ගනිමින් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි පක්ෂය බලයට පත් වූ අතර, සමස්ත ලෝකය පෙර නො ඇසූ විරූ විනාශකාරී විභවයකින් යුත් තවත් ලෝක යුද්ධයක් කරා කඩා වැටෙමින් තිබිණ. ලියොන් ට්‍රොට්ස්කිගේ මූලිකත්වයෙන් යුතුව වාම විපාර්ශ්වය කම්කරු පන්තියේ විප්ලවවාදී ලෝක පක්ෂය ලෙස හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමේ ඓතිහාසික තීරණයට එළඹුණේ මෙම තතු යටතේ ය.

ඇමරිකානු එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික ලේකම් ධුරය දැරුවා වූ ද, හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමෙහි ලා ප්‍රමුඛ වැඩ කොටසක් ඉටු කළ නායකයෙකු වූ ද ජේම්ස් පී. කැනන් විසින් රචිත, මෙතැන් පටන් මෙම වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළ කෙරෙන ‘නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය’ නම් කෘතිය, හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එයි.

මතභේදයට මුල් වී තිබුනේ, නිලධරයේ ග්‍රහණයට හසු වූ සෝවියට් රාජ්‍යයේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන් ය. සෝවියට් රාජ්‍යය හා එහි දේපළ අධිරාජ්‍යවාදයට එරෙහිව කොන්දේසි විරහිත ව ආරක්ෂා කිරීමේ සප්‍රතිපත්තික ට්‍රොට්ස්කිවාදී ආස්ථානයට සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයන් තිදෙනෙකු ප්‍රමුඛ සුළුතර කණ්ඩායමක් අභියෝග කළෝය. බැලූ බැල්මට සංවිධානාත්මක ප්‍රශ්නවල රූපය ගත් මෙම අභ්‍යන්තර අරගලයෙන් සැබැවින්ම පරදුවට තැබී තුබුණේ කුමක් ද යන්න මෙම කෘතිය තුල ගැඹුරින් සාකච්ඡා වෙයි.

එදාට ද වඩා අතිශය රුදුරු න්‍යෂ්ටික යුද්ධයක් අප හිස මත ලඹ දෙමින් පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති ස්ටැලින්වාදයේ අත් වාරුව ලබමින් ගොඩනඟන ලද ලෝක පර්යාය ඉරි තලා පුපුරා යමින් පවතී. දැනටමත් වෙනස් වෙමින් පවතින, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අඳින ලද ලෝක සිතියම, පීඩිතයන්ගේ ජීවිතවල වියදමින් අලුතින් ඇඳීම සඳහා මුල් පියවර තැබී ඇත. සමස්ත ලෝකය යුද පිටියක් බවට හැරවීමේ අධිරාජ්‍යවාදී යුද්ධය යුක්‍රේනය තුල රුසියාවට එරෙහි නැටෝ යුද්ධය ලෙස ද, මැද පෙරදිග දී පලස්තීන ජනයා සමූලඝාතනය කිරීමේ ජන සංහාරයක් ලෙස ද දිග හැරෙමින් පවතී. අධිරාජ්‍යවාදයේ යුද උන්මාදය පරාජය කළ හැකි එකම පන්තිය වන ලෝක කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීමේ කර්තව්‍යය වෙන කවදාටත් වඩා හදිසි හා තීරණාත්මක එකක් බවට පත් ව ඇත. කොටස් වශයෙන් මෙහි පල වන මෙම කෘතිය කියවන පාඨකයෙකුට, එහි සාකච්ඡා කෙරෙන ප්‍රශ්නවල අදට ද ඇති නොමඳ අදාලත්වය පෙනී යනු ඇත.

මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර, ඩේවිඩ් හෝම්ස් විසින් ලියන ලදුව එහි එන හැඳින්වීම මෙහි අද දින පළ කෙරේ. කෘතියේ පසුබිම පිලිබඳ වඩාත් පුළුල් අවබෝධයක් සඳහා එය ඉවහල් වෙතැයි යන්න අපේ විශ්වාසයයි. කෘතියේ සෙසු කොටස් ඉදිරි දිනවල දී පිළිවෙලින් පළ කෙරෙනු ඇත.

හැඳින්වීම

ඩේවිඩ් හෝම්ස්

1939 අගෝස්තු 22 වන දා හිට්ලර් හා ස්ටැලින් අතර එළැඹ ගත් උනුනුන් ආක්‍රමණය නොකිරීමේ ගිවිසුම ලෝකය පුරා කම්පන රැල්ලක් ජනිත කළේය. කිසිදු පූර්ව සංඥාවකින් තොරව හදිසියේ සෝවියට් සංගමය හා නාසි ජර්මනිය අතර ඇති වූ මෙම එකඟතාවය විසින් මොස්කව් පාලනය සමඟ පෙළ ගැසී හුන් කොමියුනිස්ට් ව්‍යාපාරය අර්බුදයේ හෙලනු ලැබීය.  

ඉක්බිති ව සිදු වූ සිදුවීම් වලින් මෙම බලපෑම තවදුරටත් තීව්‍ර කෙරින. සැප්තැම්බර් 1 වන දින ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළ අතර, ඉන් දෙදිනක් ඇවෑමෙන් බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළෝය. සැප්තැම්බර් 17 වන දින රතු හමුදාව නැගෙනහිර පෝලන්තය අත්පත් කර ගත්තේය. ඉනික්බිති නොවැම්බර් 30 වන දින සෝවියට් සංගමය පින්ලන්තය ආක්‍රමණය කළේය. මෙකී සිදුවීම් බටහිර ලෝකය පුරා සෝවියට් විරෝධී දැවැන්ත ප්‍රචාරක රැල්ලක් පැන නැංවීය. මෙම තතු තුල, කවර හෝ පදනමක් මත වේවා සෝවියට් සංගමයට සහාය දීම, සාතිශය අප්‍රසාදයකට තුඩු දෙන්නක් වී තිබිණ.

ධනපති ප්‍රචාරක ව්‍යාපාරයේ මෙම අතිමහත් පීඩනය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කෙරේ ද බලපෑම් කළේය. නාසි – සෝවියට් ගිවිසුම අත්සන් තැබීමත් සමඟ ම, හතරවැනි ජාත්‍යන්තරයේ එක්සත් ජනපද ශාඛාව වූ සමාජවාදී කම්කරු පක්ෂය (සෝෂලිස්ට් වර්කර්ස් පාර්ටි – SWP) තුල තියුණු අරගලයක් පැන නැඟුනි. අධිරාජ්‍යවාදය සමඟ ඇති වන කවර හෝ අරගලයක දී ස්ටැලින්වාදී නිලධර තන්ත්‍රය නොතකා සෝවියට් සංගමයේ ආරක්ෂාව සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටීමේ චිරකාලීන එස්ඩබ්ලිව්පී ආස්ථානය අත්හැර දැමීමට අවශ්‍ය වූ පක්ෂයේ සැලකිය යුතු සුළුතර කණ්ඩායමකට, පක්ෂයේ ප්‍රධාන නායකයන් වූ මැක්ස් ෂැට්මන්, ජේම්ස් බර්න්හැම් හා මාර්ටින් ඇබර්න් නායකත්වය දුන්නෝය.      

එවකට මෙක්සිකෝවේ පිටුවහලේ සිටි ලියොන් ට්‍රොට්ස්කි සමඟ සමීප සහයෝගීතාවයකින් යුතුව එස්ඩබ්ලිව්පීයේ ජාතික ලේකම් ජේම්ස් පී. කැනන් විසින් නායකත්වය දෙන ලද බහුතර කණ්ඩායම පක්ෂයේ සාම්ප්‍රදායික ආස්ථානය රැක ගැනීම සඳහා සටන් වැදුනෝය. 1940 අප්‍රේල් මාසයේ ෂැට්මන් – බර්න්හැම් කණ්ඩායම පක්ෂයෙන් බිඳී යන තෙක් ම මෙම මතභේදය පැවතුනි. කැනන්ගේ ‘නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය‘ හා ට්‍රොට්ස්කිගේ ‘මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා‘ 1යන කෘතීන් දෙක තුල මේ අරගලය ලේඛනගත කර තිබේ.  

ජේම්ස් පී. කැනන්

ට්‍රොට්ස්කිගේ කෘතිය, අරගලය තුල මතු වූ දේශපාලන – හා දාර්ශනික පවා – ප්‍රයුක්තීන් කෙරේ යොමු වූ අතර කැනන්ගේ කෘතියේ අවධානය යොමු වූයේ සුළුතරය විසින් මූලික ලෙස අභියෝගයට ලක් කරන ලද, විප්ලවවාදී පක්ෂයේ සංවිධානය කෙරේ ය. කෙසේවෙතත් මෙහි යලි දැක්වෙන කැනන්ගේ “රුසියානු ප්‍රශ්නය පිලිබඳ දේශනය” මතභේදය හා බැඳුනු දේශපාලන කරුණු සාකච්ඡා කරයි.   

මෙම පොතේ විවිධ කාණ්ඩ, අරගලය පිලිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දෙයි. “නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය” නම් කැනන්ගේ ලිපිය ලියන ලද්දේ මතභේදයේ අවසානය ආසන්නයේ ය. එහි අරමුණ වූයේ පක්ෂ සාමාජිකත්වයට අධ්‍යාපනය ලබා දීමයි. පාඨකයාට මෙම සම්පූර්ණ පරිච්ඡේදය සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ලබා දෙමින් එහි සෙසු ලේඛන වඩාත් පහසුවෙන් වටහා ගැනීමට ඉවහල්වීම සඳහා එම ලිපිය මෙම වෙළුමේ ආරම්භයේ ඇතුලත් කර ඇත.

සහෝදරවරුන්ට ලියූ ලිපි” යන කොටසේ අරගලය දිගහැරුනේ කෙසේ ද යන්න පෙන්නුම් කෙරෙයි. ඒවායින් වැඩිදුරටත් පෙනී යන්නේ එම අරගලයට කැනන් හා ට්‍රොට්ස්කි විසින් දැනුවත් ව නායකත්වය දෙනු ලැබූ බවයි. “කණ්ඩායම් අරගලයක් යනු නායකත්වය පිලිබඳ පරීක්ෂාවකැ“යි 1953 දී කළ දේශනයක දී කැනන් නිරීක්ෂණය කළේය: “කණ්ඩායම් අරගලය යනු බහුජන විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමේ ක්‍රියා සන්තතියේ කොටසකි; එය එම සමස්ත අරගලය ම නොවේ, එහි කොටසකි.” 

ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි: “සිය ප්‍රයෝජනවත් කටයුතුවල කාර්යබහුල ලෙස නියැලීමට අවශ්‍ය, වාද විවාද, ආරාවුල් හා කාණ්ඩමික අරගල වලින් කලබල වන සහ කෝප වන ඇතැම් සහෝදරවරුන් – විශේෂයෙන් ම කම්කරු ජනයා – ඉගෙන ගත යුත්තේ, සාමය සඳහා ඉදින් ඔවුන් සටන් නොවදින්නේ නම්, ඔවුන්ට සාමය නොලැබෙනු ඇති බවයි. කණ්ඩායම් අරගලය යනු සාමය දිනා ගැනීමේ එක් ක්‍රමයකි.”

ඔබ දන්නා පරිදි, 1940 සිට 1951 දක්වා වූ සමස්ත කාල පරිච්ඡේදය තුල පක්ෂය අභ්‍යන්තර සාමය හා සහයෝගීතාව භුක්ති වින්දේය. … 11 වසරක සාමකාමී හා සාමාන්‍ය පක්ෂ අභ්‍යන්තර ජීවිතය … එකී අභ්‍යන්තර සාමය හා සහයෝගීතාව අහසින් කඩා වැටුණු දෙයක් නොවේ. එය අපට “දෙන ලද” දෙයක් නොවීය. අපි, 1939 සැප්තැම්බරයේ සිට 1940 අප්‍රේල් දක්වා මාස අට තුල සුළු ධනපති විපක්ෂයට එරෙහි කණ්ඩායම් අරගලයක් තුලින් ඒ සඳහා සටන් කර එය දිනා ගතිමු.   

සවිඥානක නායකත්වයක් විසින් නිසි ලෙස මෙහෙයවනු ලබන සෑම බැරෑරුම් කණ්ඩායම් අරගලයක් ම වර්ධනය වන්නේ ක්‍රමයෙන් ඉදිරියට යන අවධීන් තුලිනි; එයට ආරම්භයක්, මැද භාගයක් හා අවසානයක් ඇති අතර එකී සෑම අවධියක දී ම නායකත්වය පරීක්ෂාවට භාජනය කෙරේ. දැනුවත් නායකත්වයකින් තොර වූ කල්හි, කණ්ඩායම්වාදයට පක්ෂයක් ගිල දමා විනාශ කළ හැකිය. හිසකින් තොර කණ්ඩායම්වාදය – ඇතැම් විට කුඩා ම ආරාවුල පවා – පක්ෂයක් කැබැලිවලට ඉරා දැමීමට ඉඩ ඇත. මෙය සිදුවන අයුරු එක් වරකට වඩා අපි දැක ඇත්තෙමු. සියල්ල නායකයන් මත – ඔවුන්ගේ දැනුවත්භාවය මත – රඳා පවතී. කණ්ඩායම් අරගලය ආරම්භ කළ යුත්තේ කෙසේද හා කුමන අවස්ථාවේ ද, එය සිදු කළ යුත්තේ කෙසේද, එය අවසාන කල යුත්තේ කෙසේද හා කවර අවස්ථාවේ ද යන්න ඔවුන් දැන සිටිය යුතුය. 2  

කැනන්ගේ ලිපි වලින් නිශ්චිත ලෙස ම විදහා දැක්වෙන්නේ සුළුතරය සමඟ අරගලයේ පැවැති මෙම දැනුවත් නායකත්වයයි. එමෙන් ම එය දැවැන්ත ලිඛිත හා වාචික සාකච්ඡා සම්භාරයකින් සමන්විත වූ ද, සුළුතරයට සාමාජිකයන් ඉදිරියේ සිය මතය ඉදිරිපත් කිරීමට දෙනු ලැබූ අප්‍රමාණ අවස්ථා සහිත වූ ද අතිශය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් විය.

මෙම වෙළුමේ  තුන්වැනි කාණ්ඩය වන “අරගලයේ ලේඛන” නම් කොටසේ ඇතුලත් වන පක්ෂයේ සම්මේලන අභියෝජනා, සුළුතරයේ අභියෝගයට – විශේෂයෙන් ම ෂැට්මන් හා බර්න්හැම්ගේ අරමුණ ව තුබුණේ 1940 අප්‍රේල් සම්මේලනයේ තීරණ නොතකා හැර පක්ෂයෙන් බිඳී යාම බව පැහැදිලි ව පෙනී ගිය අවසාන අවස්ථාවේ – පක්ෂය මුහුණ දුන්නේ කෙසේදැයි පෙන්නුම් කරයි.

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය‘ කෘතිය වූ කලී ලෙනින්වාදී සංවිධානය පිලිබඳ අත්පොතකි. දියුණු ධනපති රටක් තුල විප්ලවවාදී කම්කරු පක්ෂයක් සංවිධානය කිරීමෙහි ලා ලෙනින්ගේ අදහස් අදාළ වන්නේ කෙසේදැයි එය පෙන්වා දෙයි.

ව්‍යාපාරයට කැනන් විසින් කෙරුණු ප්‍රතිපදානයන් පිලිබඳ ට්‍රොට්ස්කිගේ මතය ඉහල එකක් විය. මෙම කෘතියේ මුල් කාණ්ඩය සමන්විත වන පුස්තිකාව සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි පැවසූයේ මෙසේය: “එය අව්‍යාජ කම්කරු නායකයෙකුගේ ලිවීමකි. ඉදින් මෙම ලේඛනයේ එන දෙයට වඩා වැඩි යමක් සාකච්ඡාවෙන් ඉදිරිපත් නොවී නම්, එය යුක්තියුක්ත වනු ඇත.” 3   

************************

භේදයේ නායකයන් තිදෙනා ඉනික්බිති ව පරිනාමය වූ ආකාරය මේ කරුණු මත ආලෝකයක් විහිදුවයි.

1940 අප්‍රේල් මස එස්ඩබ්ලිව්පීයෙන් වෙන් වූ තැන් සිට ෂැට්මන් සහ ඔහුගේ අනුගාමිකයෝ කම්කරු පක්ෂය (WP) පිහිටුවා ගත්හ. එය ලේබර් ඇක්ෂන් නම් පුවත්පතක් ආරම්භ කළ අතර, එස්ඩබ්ලිව්පීයෙන් සොරා ගත් නිව් ඉන්ටර්නැෂනල් සඟරාව ද පළ කරන්නට වූහ.  

යුද්ධයෙන් අනතුරු ව ඩබ්ලිව්පීය හා එස්ඩබ්ලිව්පීය අතර සමඟි සාකච්ඡා ගණනාවක් පැවැත්වුණු නමුත් ඒ කිසිවක් සංයුක්ත ප්‍රතිඵලයක් ජනනය නො කෙළේය. ශීතල යුද්ධය සමයේ ෂැට්මන් තවත් දකුණට ගිය අතර; සෝවියට් සංගමය පිලිබඳ සිය “නිලධාරීවාදී සාමූහිකත්වයේ” හා “තුන්වැනි කඳවුරේ” දෘෂ්ටියේ සිට ඔහු අධිරාජ්‍යවාදයට ඍජු සහයෝගය දැක්වීම කරා මාරු වූයේ ය.

1949 දී ඩබ්ලිව්පීය ජාත්‍යන්තර සමාජවාදී ලීගය (ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ලීග් – ISL) ලෙස සිය නම වෙනස් කළේය. 1958 දී අයිඑස්එල් සංවිධානය සමාජවාදී පක්ෂයට (සෝෂලිස්ට් පාර්ටි – SP) එක් විය. එහි දී ෂැට්මන් කණ්ඩායම, ඩිමොක්‍රටික් පක්ෂය තුල වැඩ කිරීමේ ඉදිරි දර්ශනය වර්ධනය කළේය. (මෙම දිශාවට හැරීම පිළිබඳව විරුද්ධ වූ හල් ඩ්‍රේපර් නායකත්වය දුන් ධාරාවක් බිඳී ගිය අතර, අවසානයේ එය ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට්ස් පිහිටුවා ගත්තේය) සමාජවාදී පක්ෂය (සෝෂලිස්ට් පාර්ටි) තුල ෂැට්මන් එහි දක්ෂිනාංශයේ කොටසක් විය. ඔහුගේ කොමියුනිස්ට් විරෝධය, 1861 දී කියුබාවට එරෙහි බේ ඔෆ් පිග්ස් ආක්‍රමණයට හා වියට්නාමයේ එජ මැදිහත්වීමට සහාය දීම කරා ම ඔහුට මඟ පෙන්වීය. 

සමාජවාදී කම්කරු පක්ෂය හැර යාමෙන් පසු ආධුනික කම්කරු පක්ෂයේ සති කිහිපයක් පමණක් රැඳී සිටි බර්න්හැම්, උන්මත්තක ප්‍රති-සෝවියට්වාදය කරා වූ සිය ශීඝ්‍ර පරීණාමයේ මාවතේ ඉදිරියට ගියේය. ඔහු ‘කළමනාකරණ විප්ලවය’ (1941) නම් වූ ප්‍රකට කෘතිය රචනා  කළේය. එහි ප්‍රධාන තේමාව වූයේ, “කළමනාකරුවන්”ගේ නව පන්තියක් විසින් සෝවියට් සංගමය අත්පත් කර ගෙන ඇති බව සහ ජර්මනිය හා එක්සත් ජනපදය ද ඇතුළු ව ලෝකය පුරා ම ද එය සිදු කෙරෙමින් පවතින බවයි. ඔහුගේ අනෙකුත් ඇතැම් කෘතීන්හි මාතෘකා ඔහුගේ දේශපාලන දෘෂ්ටිය පෙන්නුම් කරයි: ලෝකය වෙනුවෙන් කෙරෙන අරගලය (1947), කොමියුනිස්ට්වාදයේ එළඹෙමින් පවත්නා පරාජය (1950), කැරලිකාරීත්වයේ ජාලය (1954) සහ බටහිර (ලෝකයේ) සිය දිවි නසා ගැනීම (1964). 1950 ගණන්වල මුල් කාලයේ ඔහු CIA සංවිධානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය; එක්සත් ජනපද යුද විදුහලේ ඔහු කොමියුනිස්ට් විරෝධී දේශනා පැවැත්වීය; තව ද, 1950 ගණන්වල අග භාගයේ පැවැති අධිකරණ දෙපාර්තමේන්තු පරීක්ෂණයක දී ඔහු, ෂැට්මන්ගේ කණ්ඩායම “කැරලිකාරී” එකක් වී යැයි සාක්ෂි දුන්නේය. 1955 සිට 1977 දක්වා ඔහු අන්ත දක්ෂිනාංශික නැෂනල් රිවිව්හි කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු වූ අතර, එම ප්‍රකාශනය තුලින් ඔහු මොස්කව් හා පීකිං සතුටු කිරීමට ක්‍රියා කරන බවට එජ ජනාධිපති රිචඩ් නික්සන්ට චෝදනා කළේය; එමෙන් ම ඔහු ෆැසිස්ට්වාදය පිලිබඳ සාධනීය යලි ඇගයීමක් ඉල්ලා සිටියේය.         

විපක්ෂ නායකයන් තිදෙනා අතරින් සිය රැඩිකල් අතීතයට විශ්වාසවන්ත ව සිටියේ මාර්ටින් ඇබර්න් පමණෙකි. ඔහු වර්කර්ස් පාර්ටිහි රැඳී සිටි නමුත්, 1940 ගණන්වල අග භාගයේ වඩවඩාත් අක්‍රිය විය. 1949 සිදු වූ ඔහුගේ අකල් මරණයට පෙර ඔහු, සිය ඉහත අනුගාමිකයන් ගණනාවක් සිදු කල පරිදි පෙරලා එස්ඩබ්ලිව්පීයට බැඳීම පිළිබඳව සලකා බලමින් සිටියේය. 

පසු සටහන්

  1. ට්‍රොට්ස්කි, In Defense of Marxism ↩︎
  2. කැනන්, “Factional Struggle and Party Leadership”, The Struggle for Socialism in the “American Century” (Resistance Books: Chippendale, 2000), පිටු 205-206. ↩︎
  3. ට්‍රොට්ස්කි, In Defense of Marxism, Marxists Internet Archive edition.    ↩︎

Leave a Reply

Your email address will not be published. Required fields are marked *