නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 7

ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ අද පළ කෙරෙන්නේ හත්වැනි පරිච්ඡේදයයි.
මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයකි. මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.
7. සංයෝජනතාවාදයේ අනර්ථය
විපක්ෂය අයත් වන්නේ, විප්ලවවාදී කම්කරුවන්ගේ පක්ෂයක පැවැතිය හැකි සියලු ආකාරයේ කණ්ඩායම් මාදිලි අතරින් නරක ම හා වඩාත්ම ද්‍රෝහී ප්‍රවර්ගයට ය: එනම්, එය ප්‍රතිපත්ති විරහිත සංයෝජනයකි. සංයෝජනතාවාදය යනු පක්ෂයට එරෙහිව සිදු කළ හැකි දරුණුතම අපරාධයයි. මක්නිසාද යත්, එය දේශපාලන මූලධර්ම උල්ලංඝනය කරයි; එය, දේශපාලන හා මූලධර්මාත්මක මතභේද පැහැදිළි කිරීමකින් හා තීන්දු කිරීමකින් තොරව අත්හැර දමා සංවිධානාත්මක තීන්දු කරා එළැඹීමට මාන බලයි. ඒ අනුව, අරගලය සාර්ථක වන තාක් දුරට එය පක්ෂයේ අධ්‍යාපනයට අවහිර කරමින්, මතභේදය ප්‍රතිපත්තිමය පදනමක් මත විසඳීම වළකා දමයි. සෑම අවස්ථාවක දී ම, ප්‍රතිපත්ති විරහිත ඒකාබද්ධතාවාදය යනු සුළු ධනපති දේශපාලනයේ මුඛ්‍යාර්ථයයි. එය දේශපාලන අරගලය පිළිබඳ මාක්ස්වාදී විධික්‍රමයෙහි විරුද්ධාර්ථයයි.
මාක්ස්වාදීහු සෑමවිට ම ක්‍රියා මාර්ගයෙන් පටන් ගනිති. ක්‍රියා මාර්ගය වටා ආධාරකරුවන් ඒකරාශී කරගන්නා ඔවුහු, අරගලයේ ක්‍රියාවලිය තුළ එහි අර්ථය පිළිබඳව ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙති. මාක්ස්වාදීන්ගේ දේශපාලන ජයග්‍රහණ සෑම විටෙකමත්, පළමුකොට ම ඔවුන්ගේ ක්‍රියා මාර්ගයේ ජයග්‍රහණයන් ය. පක්ෂ කණ්ඩායම් අරගලයක දී නිශ්චිත අපේක්ෂක පිරිසක් තේරී පත්වීමේ සිට සන්නද්ධ අරගලයකින් බලය ගැනීම ද ඇතුළත්ව ඒ දක්වා ම, ජයග්‍රහණයේ සංවිධානාත්මක පාර්ශ්වය සෑම විටම දරන්නේ එකම එක වැදගත්කමකි: එනම්, දේශපාලන වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහා උපක්‍රම හා ආම්පන්න සම්පාදනය කිරීමයි. මාක්ස්වාදී දේශපාලනය යනු සප්‍රතිපත්තික දේශපාලනයයි. මෙම තතු අනෙකුත් දේ අතර මාක්ස්වාදී වින්‍යාසයේ සමජාතීයතාව පැහැදිළි කර දෙයි. ඉදින් එය පක්ෂයක කුඩා කණ්ඩායමක් වූයේ වී වුව, නො එසේ නම් පන්ති සතුරාගේ පක්ෂවලට ඍජුව මුහුණ දී සිටින මනාව පරිණත හා පූර්ණ ලෙස වර්ධිත පක්ෂයක් වූයේ වී වුව මෙය සත්‍ය වේ. මාක්ස්වාදී සංවිධානයක දෘඩ විනය, එහි මධ්‍යගතභාවය හා ප්‍රහාරක බලය ශක්‍යතාවයක් බවට පත් කෙරෙන්නේ මෙම සමජාතීයතාව විසිනි.
සුළු ධනපති දේශපාලනය සෑමවිට ම අවුල් ජාලයකි. එය කිසි දා සම්පූර්ණයෙන් වර්ධනය කෙරුණු හා සංගත වැඩ පිළිවෙලක් සාක්ෂාත් නො කරයි. කණ්ඩායමක් වේවා, ස්වාධීන පක්ෂයක් වේවා සෑම සුළු ධනපති සැකසුමක ම මෙම ලාක්ෂණික ගුණාංගය පවතී. ඒවා සටන් කරන්නේ වැඩි ම වුවහොත් පාර්ශ්වික ඉලක්ක වෙනුවෙන් වන අතර, සිය ආකෘතික එකමුතුව රැක ගැනීමට සාමාජිකත්වය තුළ පවතින ප්‍රතිවිරෝධතා හා වෙනස්කම් මතින් ලිස්සා යමින් ඒවා මඟ හරිනු ලැබේ. සුළු ධනපති කණ්ඩායම් අරගල කරන්නේ ශ්‍රේෂ්ඨ මූලධර්මවල නාමයෙන් නො ව සංවිධානාත්මක අරමුණු වෙනුවෙනි. මෙම අරමුණු ළඟා කර ගැනීම සඳහා ඔවුහු බොහෝ දුරට නිරතුරුව ම පාහේ, වෙනස් දෘෂ්ටීන් දරන පුද්ගලයන් හා ප්‍රවණතා එක්සත් කර, ඔවුන්ගේ වෙනස්කම් පැහැදිළි කර ගැනීම සංවිධානාත්මක අරගලයේ සාර්ථකත්වයන්ට යටත් කර දමති. ඔවුන්ගේ අභ්‍යන්තර විනයක් නො තිබීම හා, විෂමජාතීය දේශපාලන සංයුතියක් සමඟ සංගත නො වන මධ්‍යගතභාවය කෙරේ ඔවුන් දක්වන අරුචිය ද මෙයින් පැහැදිළි කෙරේ. කර්කශ අරගලයක් තුළ, නැතහොත් එවැන්නක් අවසාන වූ වහා, ඉදින් ඔවුන් ඉන් ක්ෂණික සංවිධානාත්මක ජයග්‍රහණයක් ලැබුවේ වී වුව, ඔවුන්ගේ ප්‍රවණතාව බිඳී විසිර යාම නිර්ණය වන්නේ මෙම තතු තුළිනි.
සුළු ධනපති දේශපාලනය යනු නිශ්ඵලත්වයේත්, න්‍යාය පහත් කොට තැකීමේත් දේශපාලනයයි; සාමාන්‍ය සාමාජිකත්වයට වැරැදි දේ කියා දීමේත්, මූලික හා තීරණාත්මක ප්‍රශ්නවලින් – එනම්, මූලධර්ම සම්බන්ධ ප්‍රශ්නවලින් – සංවිධානාත්මක පාලනය සඳහා අරගලය ද ඇතුළුව සියලු ආකාරයේ ද්වීතීයික මට්ටමේ ප්‍රශ්න කරා වෙන’තක හරවා යැවීමේත් දේශපාලනයයි. අපේ පක්ෂයේ නිර්ධන පන්ති හා සුළු ධනපති ප්‍රවණතා අතර ඇති වත්මන් අරගලය, සප්‍රතිපත්තික දේශපාලන විධික්‍රම හා ප්‍රතිපත්ති විරහිත සංයෝජනය අතර විලක්ෂණය පිළිබඳ සම්භාව්‍ය නිදර්ශනයකි.

සාකච්ඡාවේ මුල් කාලයේ දී ම පැහැදිළි ලෙස තහවුරු වූයේ විපක්ෂය, රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් දේශපාලන ප්‍රවණතා අවම වශයෙන් තුනක සංයෝජනයක් නියෝජනය කළ බවයි. ඔවුන් එකිනෙකාට එකඟ ව සිටි පොදු කරුණු පැවතියේ එකක් පමණෙකි. ඒ, “පක්ෂ තන්ත්‍රය”ට ඇති විරුද්ධත්වයයි. වර්තමාන කණ්ඩායම් අරගලය රූපික ව ආරම්භ කෙරුනේ පසුගිය ඔක්තෝබරයේ පැවැති පක්ෂ පුන්සැසියේ දී රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙනි; වඩාත් නිවැරැදි ව කිවහොත්, එකම ප්‍රශ්නයේ පාර්ශව දෙකක් සම්බන්ධයෙනි: එනම්, සෝවියට් රාජ්‍යයේ ස්වභාවය හා එය ආරක්ෂා කිරීම සම්බන්ධයෙනි. “ආරක්ෂකවාදී” ඇබර්න්, සෝවියට් සංගමය පිරිහී ගිය කම්කරු රාජ්‍යයක් ලෙස ලක්ෂණනය කරමින් හා අධිරාජ්‍යවාදයට එරෙහිව කොන්දේසි විරහිතව එහි ආරක්ෂාව සඳහා පෙනී සිටින බවට ප්‍රකාශ කර සිටිමින් අපේ යෝජනාවට ඡන්දය දුන්නේය. “සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයක් ලෙස සැලකීමට කොයි හැටියකින්වත් නො හැකියැ“යි ප්‍රකාශ කෙරුණු ලේඛණයක් ඒ වනවිටත් දේශපාලන කමිටුවට ඉදිරිපත් කර තිබූ “පරාජකවාදී” බර්න්හැම් එමඟින් “වර්තමාන යුද්ධයේ දී” එහි ආරක්ෂාව සඳහා කවර හෝ ක්‍රියා මාර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණ. “දෙගිඩියාවාදී” ෂැට්මන් “මේ මොහොතේ සෝවියට් රාජ්‍යයේ පන්ති ස්වභාවය පිළිබඳ ගැටලුව මතු කිරීමන් වැළකී” සිටි අතර, එය ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නය අනාගත වර්ධනයන්ට භාර දී සිටියේය.
මාක්ස්වාදීන් දෙන ලද රාජ්‍යයක් කෙරේ සිය ආකල්පය නිර්ණය කරන නිර්ණායකය වන පන්ති ස්වභාවය පිළිබඳ – සෝවියට් සංගමයේ පන්ති ස්වභාවය පිළිබඳ – මූලික න්‍යායික ප්‍රශ්නයට හා, එය ආරක්ෂා කිරීම පිළිබඳ මූලික දේශපාලන ප්‍රශ්නයට විපක්ෂයේ නායකයන් තිදෙනා ලබා දුන් පිළිතුරු එකිනෙකාට වෙනස් ඒවා ය. එය කණ්ඩායමක් ගොඩනැඟීමෙන් ඔවුන් වළකා නැත. සෝවියට් සංගමයේ ස්ටැලින් තන්ත්‍රයේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයට පොදු පිළිතුරක් දීමට ඔවුන්ට හැකියාවක් නො තිබීම, අපේ පක්ෂයේ “තන්ත්‍රය”ට එරෙහිව සටන් කිරීමට පොදු කණ්ඩායමක් ගොඩ නැඟීමෙන් ඔවුන් වැලැක්වීමට හේතු වී නැත. ඔවුන්ගේ ඇසින්, අන් සියලු ප්‍රශ්න මෙයට යටත් ය.
සංයෝජනතාවාදය කෙතරම් දළදඬු ලෙස මාක්ස්වාදී සම්ප්‍රදාය උල්ලංඝනය කරන්නේ ද යත්, එහි නියුක්ත ව හිඳින්නෝ සෑම විට ම, සිය ක්‍රියාකාරීත්වයන් රැවටිලි හා ප්‍රතික්ෂේප කිරීම් මාර්ගයෙන් ආවරණය කර ගැනීමට තමන් බැඳී සිටිතැයි හඟිති. අපේ වත්මන් සංයෝජනතාවාදීහු මෙම හුරුපුරුදු ක්‍රමචර්යාව අනුගමනය කරති. ඇබර්න් අපේ නිශ්චිත යෝජනාවටත්, ෂැට්මන්ගේ සංදිග්ධ (බහු අරුත් සහිත) යෝජනාවටත් යන දෙකට ම ඡන්දය දීම පැහැදිළි කිරීමට ඔවුහු පුන්සැසියේ දී ඇබර්න් විසින් කෙරුණු “නිවේදනයෙන්” උපුටා දක්වති:
මෙම මූලික අගැයීමත් සමඟ ෂැට්මන්ගේ යෝජනාවේ කිසිදු පරස්පර විරෝධයක් මට නොපෙනේ. එය මූලික පක්ෂ ස්ථාවරය අවලංගු නො කරන, එහි සඳහන් කෙරෙන නිශ්චිත වත්මන් ගැටළු පිළිබඳ අර්ථ නිරූපණයක් හෝ විශ්ලේෂණයක් ලෙස මම පිළිගනිමි. මෙහි ඇතැම් සහෝදරවරුන් විසින් අවධාරණය කෙරුණු, ෂැට්මන්ගේ යෝජනාවේ ඇති “පාලමක (දෙ පස යා කිරීමේ)” ස්වභාවය සම්බන්ධ අර්ථකථන හෝ ගම්‍යයන් පිළිබඳව වේවා, නැතහොත් එයට වෙන් වෙන් අවස්ථාවන්හි ස්වාධීනව පැවතිය හැකි ද යන කරුණ සම්බන්ධයෙන් වේවා, ඊළඟ කාල පරිච්ඡේදයේ දී මේවා දිග හැරීමට හෝ එහි ප්‍රතිබද්ධය සිදුවීමට ඉඩ හැර බලා සිටීමටත්, ඒ අනුව සෑම එක් එක් කාරණාවක දී ම යෝග්‍යතාවය මත මගේ තීන්දුව ගැනීමටත් මා සූදානම් ය.
මේ අනුව ඔවුන් පවසන්නේ, “කැනන්වාදී තර්කය සම්මත කිරීමේ දී ඔවුන්, සුළුතරය ‘ප්‍රතිපත්ති විරහිත කාණ්ඩයකැ‘යි යන්න බැහැර කරන” බවයි. ප්‍රකාශනය “සම්මත කිරීමෙන්” ඔප්පු වන්නේ එහි ප්‍රතිවිරුද්ධයයි. ප්‍රකාශනයේ මා විසින් අවධාරණය කෙරුණු කොටස් මෙය පැහැදිළිව පෙන්වා දෙයි. ෂැට්මන්ගේ සංදිග්ධ යෝජනාව, බර්න්හැම්ගේ පරාජකවාදී ආස්ථානය සමඟ “පාලමක්” ඇති කිරීමක් ලෙස පුන්සැසියේ බහුතරයේ ප්‍රහාරයට ලක් විය. ඇබර්න්ගේ ප්‍රකාශය මෙම විවේචනයට දුන් පිළිතුරක් ද, ෂැට්මන්ගේ යෝජනාව තමන් විසින් ඡන්දය දෙන ලද (සෝවියට් සංගමය) “කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමේ මූලික පක්ෂ ආස්ථානය අවලංගු නො කරන්නක්” ලෙස තමා වටහා ගත් බවට කළ පැහැදිළි කිරීමක් ද, `තමන් “ඊළඟ කාල පරිච්ඡේදයේ දී” “දිග හැරීමට හෝ එහි ප්‍රතිබද්ධය සිදුවීමට ඉඩ හැර” සිටින බවට කළ නිවේදනයක් ද විය. “දිග හැරීමට හෝ එහි ප්‍රතිබද්ධය සිදුවීමට” – කුමක් දිග හැරීමට ද? නො එසේ නම් කුමක ප්‍රතිබද්ධය සිදුවීමට ද? “ෂැට්මන්ගේ යෝජනාවේ ‘පාලමක’ ස්වභාවය” පිළිබඳ බහුතරයේ අවධාරණයන් ය! එය ඇති තරම් “දිග හැරී” ඇත. එහි ප්‍රතිබද්ධය සිදු වී නැත. ෂැට්මන් ඉක්මණින් ම සිය ගමන් මළු ද සමඟ බර්න්හැම්ගේ පරාජකවාදී කඳවුරේ පෙනී සිටියේය. ඉදින් ඇබර්න්? ෂැට්මන්ගේ ආස්ථානය “පාලමක්”දැයි දැන ගැනීම සඳහා බලා සිටීමට තීරණය කළ ඔහුට කුමක් සිදුවී ද? ඔක්තෝබර් පුන්සැසියේ “කොන්දේසි විරහිත ආරක්ෂකවාදියා” වූ ඔහු නොසැලකිලිමත් ලෙස “පාලම” තරණය කර “කොන්දේසි විරහිත පරාජකවාදය” කරා සේන්දු වී ඇත. ඉන් පසු ට්‍රොට්ස්කිට ලියූ විවෘත ලිපිය තුළ ඔහු ඇල්මැරුණු ආකාරයෙන් මෙසේ අසයි: “එහි ඇති වරද කුමක් ද?”
එක් දේශපාලන ආස්ථානයක් දරමින්, එහිදී තමන් මූලික එකඟතාවය නිවේදනය කර ඇති පුද්ගලයන්ට එරෙහිව, ඊට අත්‍යන්ත ලෙස පටහැනි ආස්ථානය දරන්නන් සමඟ එකතු වීම; ඊළඟට, මාස කිහිපයක ඇවෑමෙන් තමන්ගේ මුල් ආස්ථානය ආපසු හැරවීම; ඉනික්බිති කිසිවක් සිදු වී නැතැයි කියා සිටීම – සත්තකින් ම එහි “ඇති වරද”ක් නැත. ඉදින් යමෙකු පක්ෂය කෙරේ, එහි මාක්ස්වාදී සම්ප්‍රදායයන් කෙරේ හා එහි සාමාජිකයන්ගේ බුද්ධිය කෙරේ ගෞරවයක් නැති නරුම සංයෝජනතාවාදියෙකු නම්, එහි කිසිදු වරදක් නැත. එහෙත් මාක්ස්වාදියෙකුගේ ඇසින් බැලූ කල එය, පක්ෂයට එරෙහි සමාව නො දිය හැකි වරදකි – ප්‍රතිපත්ති පාවාදීමකි.
මෙවැනි චර්යාවක් ගුනාංගීකරණය කොට පැහැදිළි කර දීමට ෂැට්මන් දැන සිටි කාලයක් තිබිණ. වර්කර්ස් පාර්ටිහි 1936 අංක 3 දරන අභ්‍යන්තර බුලටිනයේ “මාක්ස්වාදී දේශපාලනය ද ප්‍රතිපත්ති විරහිත සංයෝජනතාවාදය ද?” යන මැයින් ලියූ ලිපියක, “මෙම ප්‍රශ්නය පිළිබඳ මාක්ස්වාදී දෘෂ්ටිය” පහදා දෙමින් ඔහු මෙසේ ලියයි:
අවසානයේ, මාක්ස්වාදී නොවන බවට තමන් විසින් අර්ථ කථනය කරන ලද ප්‍රංශ වාම විපක්ෂයේ කණ්ඩායමක් සමඟ, මාක්ස්වාදී ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලද නමුදු නො මනා “සංවිධානාත්මක විධික්‍රම” සම්බන්ධයෙන් ඔහු චෝදනා කළ තවත් කණ්ඩායමකට එරෙහිව “කුඩා සංවිධානාත්මක කාණ්ඩයක්” – හුදෙක් තාවකාලික එකක් – ගොඩ නඟා ගත් මිල් සම්බන්ධ සිද්ධිය විමසා බලමු. ස්ටැලින්වාදීන් වෙත යමින් මිල් මෙම දේශපාලන භාවිතය තාර්කික නිශ්චයකට ගෙන ආවේය. එක් දහස් නවසිය තිස් දෙකේ ඔක්තෝබර් 13 දින ලියන ලද ලිපියක ට්‍රොට්ස්කි තතු මෙසේ පිඬු කොට දැක්වීය: මිල්ට පැහැදිළිව ම, පොදුවේ මූලධර්මවල කිසිදු වැදගත්කමක් නැත; මූලධර්ම හා මතයන්ට වඩා ඉහළ මට්ටමකින් ඔහුගේ දේශපාලන චර්යාව නිර්ණය කෙරෙන්නේ පෞද්ගලික ප්‍රතිෂ්ඨාවන්, සහානුභූතීන් හා නුරුස්නාවන්ගෙනි. තමන් විසින් මාක්ස්වාදියෙකු නො වන්නෙකු ලෙස අර්ථ කථනය කර ඇති මිනිසෙකු සමඟ තමන් මාක්ස්වාදීන් ලෙස පිළිගෙන ඇති සහෝදරවරුන්ට එරෙහිව කාණ්ඩ ගැසීම සඳහා යෝජනා කිරීමට මිල්ට හැකි විය යන සත්‍ය කරුණ පැහැදිළිව පෙන්වා දී ඇත්තේ, මිල් දේශපාලනිකව හා සදාචාරාත්මකව අවිශ්වාසදායක බව සහ ඔහු ධජයට පක්ෂපාතීත්වය පවත්වා ගෙන යාමට අසමත් බවයි. එම දිනයේ ඔහු කුඩා පරිමාණයකින් පාවා දී ඇත්නම්, හෙට දිනයේ ඔහු වඩාත් විශාල පරිමාණයකින් පාවාදීමෙහි ලා සමත් ය. එම දිනවල සියලු විප්ලවවාදීන් විසින් උකහා ගනු ලැබිය යුතුව තුබූ නිගමනය එයයි.
….” මේ සාතිශය ප්‍රබල ඡේදයට අන් කිසිවක් එක් කිරීමට අවශ්‍ය නො වේ. එක් දහස් නවසිය තිස් හයේ දී තමන් හෙළා දුටු විධික්‍රම ආරක්ෂා කිරීමට ෂැට්මන් දැන් යොදා ගන්නා නීතිඥ තර්කවලින් එකී විධික්‍රමවල ගුණය වේවා, ඒවා පිලිබඳ මාක්ස්වාදී තක්සේරුව වේවා කිසියම් ම හෝ ආකාරයකින් වෙනස් කෙරෙනු නැත. එවැනි විධික්‍රමවලට ගර්හාවෙන් සැළකීමටත්, ඒවාට එරෙහිව දේශපාලනික හා සදාචාරාත්මක බාධක ගොඩ නඟා ගැනීමටත් අපි පක්ෂ සාමාජිකයන්ට උගන්වන්නෙමු.
පෙර කොටස් බලන්න: