නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – I

ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ පරිච්ඡේද හතක් මේ දක්වා පරිවර්තනය කර පළ කළෙමු. තරමක දීර්ඝ පරිච්ඡේදයක් වන අටවැන්න කොටස් හතරකින් පළ කිරීමට බලා පොරොත්තු වෙමු.
ඒ අනුව අද පළ කෙරෙන්නේ අටවැනි පරිච්ඡේදයේ මුල් කොටසයි.
මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.
8. ඇබර්න්වාදය: ව්‍යාධියක ඉතිහාස වාර්තාව – I කොටස
වසර 11 කට වැඩි කාලෙකට ඉහත මේ රටේ (ඇඑජ) ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ආරම්භ කළ තැන් පටන් ම පාහේ, පක්ෂයේ ජෛව දේහයේ රුධිර ප්‍රවාහයට විෂ කැවූ අභ්‍යන්තර රෝගයකින් එහි වර්ධනය හා ක්‍රියාකාරීත්වයට බාධා පැමිණුනි. මෙම රෝගයේ නම ඇබර්න්වාදයයි. වසර 10 කට වඩා වැඩි කාලයක් නිරන්තරව හා අවිච්ඡින්නව විද්‍යමාන වී ඇති පරිදි ඇබර්න්වාදයේ ලක්ෂණ වන්නේ: කල්ලි දේශපාලනය; පක්ෂ තන්ත්‍රය පිළිබඳව අතොරක් නො තබා පතුරුවා හරින ප්‍රලාප හා ආඩාපාලි; ප්‍රතිපත්තිමය ප්‍රශ්න, සංවිධානාත්මක හා පෞද්ගලික අභ්‍යර්ථයන්ට (සලකා බැලීම්වලට) යටත් කිරීම; සෑම කණ්ඩායම් ගැටුමක් තුළ ම ප්‍රතිපත්ති විරහිත සංයෝජනවාදය; සහ දෘෂ්ටිවාදාත්මක ද්‍රෝහීත්වය යි.
මෙම අභ්‍යන්තර රෝගය සෑම විටම පැවැතී ඇති අතර එය සෑමවිටම හානිකර ය. විවෘත කණ්ඩායම් අරගල නො පවතින “සාමාන්‍ය” කාල පරිච්ඡේදවල දී එය, පක්‍ෂයේ ඕජෝ ගුණය උරා බොමින්, එය දුබල කරමින්, නිද්‍රාශීලීව වැතිර සිටී. සෑම තියුණු හැරීමක දී ම, කණ්ඩායම් අරගල තුළ බැරෑරුම් දේශපාලන වෙනස්කම් ඇවිල යන සෑම විටෙක ම, රෝගය ක්ෂණිකව ම අත්‍යන්ත දරුණු ස්වරූපයක් අත්පත් කර ගනිමින්, දෘෂ්ටිමය අරගල සංකුලතාවයේ උච්ඡතම මට්ටමට නංවා, භේදයක අද්දරට ඒවා තල්ලු කර දමයි.
ඇබර්න් කණ්ඩායම යනු, එහි අවිච්ඡින්න පැවැත්ම හා ද්‍රෝහී භාවිතයන් පිළිබඳව පක්ෂයේ වඩාත් පැරැණි සාමාජිකයන් සියලු දෙනා හොඳින් දන්නා, නිත්‍ය පවුල් කල්ලියකි. වසර 10කට වැඩි කාලයක් මුළුල්ලේ එය පක්ෂ කායකත්වයට එරෙහිව විටෙක විවෘත වූත්, තවත් විටෙක සැඟවී තුබුණා වූත්, එහෙත් කිසිදු අතුරු බිඳුමකින් තොරව දිගට ම පැවැත්තා වූත් කණ්ඩායම් අරගලයක් දියත් කොට තිබිණි. අතීතයේ එක් හෝ තවත් අවස්ථාවක ප්‍රධාන සහෝදරවරුන්ගෙන් වැඩි දෙනා එකිනෙකාට වෙනස් මත දරා ද, පරස්පර විරෝධී දේශපාලන දෘෂ්ටීන් සඳහා අරගල කිරීමට තාවකාලික කණ්ඩායම් ගොඩ නඟා ද ඇත්තාහ. මතභේද සමථයකට පත් වූ කල්හි සාමය ඇති වී ඇති අතර, යහපත් සහයෝගයක් යළි පැවැතී ඇත; විරුද්ධවාදීන් කෝන්තර තබා නො ගත් අතර, බොහෝ සෙයින් නිරතුරුව ඔවුහු හොඳ ම මිතුරන් බවට පත්වූහ. එහෙත් කිසිදු පදනමක් නො වූ, කිසිදු ස්වාධීන දේශපාලන ආස්ථානයක් කිසිදා ඉදිරිපත් කර නොමැති ඇබර්න්, කිසිදා සමථයකට පැමිණියේ නැත; ඔහුගේ නො විසඳිය හැකි කණ්ඩායම් අරගලය කිසිදා නවතා දැමුවේ නැත.
වර්තමාන මතභේදයේ දී ඇබර්න් හුදෙක් ඔහුගේ කල් ගතව දිරාපත් වූ භාවිතයන් පුනරාවර්තනය කරනු පමණෙකි. ඔහු සංවිධානාත්මක සංයෝජනයකට ඇතුළු වෙයි; තන්ත්‍රයට එරෙහි කාණ්ඩයක් වෙනුවෙන් ඔහු රුසියානු ප්‍රශ්නය පිළිබඳ සිය ආස්ථානය විකුණා දමයි; සාකච්ඡාවේ වාතාවරණයට ඔහු විෂ එක් කරයි; ඉනික්බිති දැන්, සෑම තීරණාත්මක අවධියක දී ම සිදු කළ පරිදි, ඔහු ඕනෑ කමින් ම භේදයක දිශාවට කටයුතු කරයි. ජනවාරි 29 දාතම සහිත ව ට්‍රොට්ස්කි සහෝදරයාට යැවූ ලිපිය තුළ ඔහු, “අවසානය දක්වා මේ සටන ගෙන යාම සඳහා” සිය අභිප්‍රාය නිවේදනය කරයි.
තව ද අවසානයේ, ඔහු පැහැදිළිව ම දැන් අදහස් කරන්නේ අතීතයේ සමාන තත්ත්වයන් තුළ සැමවිට ම තමන් අදහස් කර ඇති දේ මය: සම්මේලනයක දී පක්‍ෂ බහුතරයක ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් නො ව, පක්‍ෂ සාමාජිකත්වයේ විනාශකාරී භේදයක්.
ආරක්ෂා කළ නොහැක්කක් වන ඇබර්න් පිළිබඳ වාර්තාව අපේ පක්ෂයේ ඉතිහාසය තුළ ලියැවී ඇත. තරුණ සහෝදරවරුන් මේ ඉතිහාසය දැන සිටිය යුතු අතර, එය උඩින් පල්ලෙන් මඟ හැර යමින් අකාමකා දැමීමට ඔවුන් ඉඩ නො දිය යුතුය. මෙම දැනුම, කල්ලි දේශපාලනයේ හා සංයෝජනවාදයේ ද්‍රෝහී බොරු වළවල්වලින් ආරක්ෂා වීමට ඔවුන්ට ආධාරකාරී වනු ඇත. අපගේ අතීතයේ පොහොසත් ඉතිහාසය, කිසිදු පාඩමක් උකහා ගත නොහැකි ආරාවුල් මාලාවක් ලෙස වෙස් ගැන්වීමේ උත්සාහයක නියැලී සිටින ෂැට්මන් මේ දිනවල ඉතා කාර්යබහුල ය. ඔහුගේ මෙම වෙස් ගැන්වීම අසත්‍යයකි. අපි සුළු දේ සම්බන්ධයෙන් සටන් වැදී නැත්තෙමු. අතීත වාර්තාව කෙරේ යොමු කිරීම්වලට ෂැට්මන් විරුද්ධ වන්නේ හුදෙක් එම වාර්තාව ඔහුගේ වර්තමාන ගමන් මඟට එරෙහිව ඒ සා පරිභවාත්මක ආකාරයෙන් කථා කරන නිසා ය. වර්තමාන කණ්ඩායම් අරගලය සඳහා ඔහු “කැනන් කල්ලිය”ක් පිළිබඳ මිත්‍යාව සොයා ගනී. ඒ, ඔහු ම විසින් ලියන ලද, අදට ද වලංගු ලේඛන තුළ අධිචෝදනා නඟා ඇති සැබෑ කල්ලියක වාර්තාව පිළිබඳ විමර්ශනය කිරීම වළක්වා ලීමේ සුපිරි බුහුටිතාවයකින් යුත් කූටෝපායයක් ලෙස ය. ඉදින් ඇබර්න් – “චිරස්ථාපිත මාක්ස්වාදියා” – සංශෝධනවාදී බර්න්හැම් සමඟ සංයෝජනයකට ඇතුළත් වීමේ දී දැක්වූ උපශාන්තභාවය පිළිබඳව යම් සහෝදරවරුන් කම්පනයට පත් වී හෝ තෝන්තු වී ඇත්නම්, පක්ෂ ඉතිහාසය පිළිබඳ විමර්ශනයක් ඔවුන්ට පෙන්වා දෙනු ඇත්තේ, ඇබර්න් සම්බන්ධයෙන් ගත් කළ එවැනි ක්‍රියාවන් කිසිසේත් අලුත් ඒවා නො වන බවයි. පක්‍ෂ නායකත්වයට එරෙහි ඔහුගේ අතීත අරගල තුළ ඔහු නිකායවාදී උයිලර් සමඟ; මාක්ස්වාදියෙකු නො වන මස්ට් සමඟ; සහ පක්ෂය තුළ ස්ටැලින්වාදී ඒජන්තයන් සමඟ පවා සංයෝජනය වීමට පසුබට වූයේ නැත. වර්තමාන අරගලයේ දී ඇබර්න් හුදෙක් ඔහුගේ අසමසම ලෙස ස්ථාවර ගමන් මඟේ ඉදිරියට යනු පමණෙකි.
අපේ ඉතිහාසය මෙන් ම අපේ ක්‍රියා මාර්ගික වැඩ පිළිවෙල ද සංශෝධනය කිරීමට විපක්ෂයේ ලියන්නන් විසින් දැරෙන උත්සාහය කවරාකාර ද යත්, එය, කල්ලි-කලහකරුවෙකු හා සංයෝජනවාදියෙකු ලෙස වූ සිය වාර්තාව තමන් සහයෝගය දෙන ඕනෑම කණ්ඩායමකට කැළලක් එක් කරන ඇබර්න්ට පිදෙන්නා වූ “සහනය”කි. එහෙත් ෂැට්මන් හා බර්න්හැම් අවශ්‍ය පමණට වඩා දේ ලියන අතර, තමන් ලියා ඇති දෑ අවශ්‍ය පමණට වඩා ඉක්මණින් අමතක කර දමති. ඇබර්න් කණ්ඩායම ප්‍රතිපත්ති විරහිත හා ද්‍රෝහී කල්ලියක් ලෙස ඔවුන් ම සංලක්ෂණය කරමින් එහි ප්‍රතිපත්ති විරහිත සංයෝජනවාදය හෙළා දැක ඇත; ඔවුන් එහි ඉතිහාසය වාර්තා කර ඇත. මෙම ඉතිහාසය කෙරේ වන සියලු යොමුකිරීම්, විශේෂයෙන් ම ඒ සම්බන්ධයෙන් ඔවුන් ම ලියූ දෑ, වර්තමාන සාකච්ඡාවට කිසිදු අදාළත්වයක් නැතැයි සළකා ඉවත් කර දැමීමට ඔවුන්ට දැන් අවශ්‍ය වී ඇත. එසේ අවශ්‍ය වී ඇත්තේ, අපේ ව්‍යාපාරය තුල ඇබර්න්ගේ “ඉතිහාසයෙන්” තමන් විසින් ආරක්ෂා කරනු ලැබීමට වටනා කිසිවක් සොයා ගැනීමට ඔවුන්ට මෙතෙක් නොහැකි වී ඇති නිසා ය.
වර්තමාන තීරණාත්මක තත්ත්වය තුළ ඇබර්න් විසින් යොදා ගනු ලබන්නේ ඉහත පක්‍ෂ අර්බුදවල දී ඔහු සෑම විටම යොදා ගත් එකී භාවිතයන් හා විධික්‍රම ම බව අපි කියන්නෙමු, අපි එය ඔප්පු කරන්නෙමු. වර්තමාන මතභේදයට කිසිදු සම්බන්ධයක් නැති, කල් ඉකුත් වූ දේශපාලන වෙනස්කම් ඇවිස්සීම ගැන අපට චෝදනා කිරීම මඟින් ප්‍රස්තුත කරුණ මාරු කිරීමට ඔවුහු තැත් කරති. නැත. සැබෑ තතු එය නො වේ. පක්ෂ තන්ත්‍රයට එරෙහි ඇබර්න්ගේ “සංවිධානාත්මක අරගලය”ට දේශපාලන ප්‍රකාශනයක් ලබා දීමට ඔහු වෙර දැරූ සෑම අවස්ථාවක දී ම ඔහු සිදු කර ඇත්තේ දෝෂ විනා අන් කිසිවක් නො වේය යන්න සත්‍යයක් නමුදු, අප කථා කරමින් සිටින්නේ ඔහුගේ අතීත දේශපාලන දෝෂ පිළිබඳව නො වේ. සමාජවාදී පක්ෂයට ඇතුල්වීම පිළිබඳව ඔහුගේ විරුද්ධත්වය; නැතහොත් ඊට පෙර, මස්ට්වාදීන් සමඟ සම්බන්ධවීමට බාධා පැමිණවීම සඳහා ඔහු දැරූ ප්‍රයත්න; නැතහොත් ඊට ද වඩා පූර්වයෙන්, වෘත්තීය සමිති ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ අවාසනාවන්ත හා කඩිමුඩියේ නිමා වූ ප්‍රයත්නයන්; මේවා ගැන අපි කථා නො කරන්නෙමු. මේ කල් ඉකුත් වූ අරගල, රුසියානු ප්‍රශ්නය පිළිබඳ වර්තමාන ජීවිතයත් මරණයත් අතර අරගලය සමඟ ගැට ගැසීමට අපි උත්සාහ නො කරමු.

ඡායාරූපය: ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී
අප නිශ්චිතව යොමු වී සිටින්නේ වර්තමානයට ඍජු සම්බන්ධයක් දරන ඇබර්න්ගේ අතීත චර්යාව – එනම්, ඔහුගේ විධික්‍රම; ඔහුගේ කල්ලි දේශපාලනය; ඔහුගේ ප්‍රතිපත්ති විරහිත සංයෝජනතාවාදය; ඔහු කණ්ඩායම් අරමුණු වෙනුවෙන් ප්‍රතිපත්ති පාවාදීම – කෙරෙහි ය. මේවා වර්තමාන අරගලය තුළ ඔහු උපයෝගී කර ගන්නා භාවිතයන් ය; මේවා අතීතයේ දී අචලව ඔහුගේ භාවිතයන්ව පැවැතී ආ ඒවා ය. ඒ අනුව, මේ කාරණය සම්බන්ධයෙන් අතීතය විමර්ශනය කිරීම වර්තමාන අරගලයට උදක් ම අදාළ ය. අතීත අත්දැකීම් හරහා ගමන් කොට ඇති, පක්‍ෂ සාමාජිකත්වයේ එම කොටස මෙම වාර්තාව ඉතා හොඳින් දනියි. ඇබර්න්වාදය පක්ෂයේ මූලික ක්‍රියාධරයන් විසින් පිළිකුල් කරනු ලබන්නේ එබැවිනි. පක්‍ෂයේ නව සාමාජිකයන් හා තරුණයන් මෙම වාර්තාව දැන ගත යුතුය, ඉදිරි සම්මේලනයේ දී මෙම දූෂිත ප්‍රවණතාව සමඟ අවසාන වශයෙන් ගනුදෙනු බේරා ගැනීම සඳහා, එම වාර්තාව වර්තමානය සමඟ පවතින අකාමකා නො දැමිය හැකි සම්බන්ධය ඔවුහු වටහා ගත යුත්තාහ.
වර්තමාන කණ්ඩායම් අරගලයේ මූලාරම්භයේ පටන් ම, ඇබර්න් සමඟ ඔවුන්ගේ සංයෝජනය නිසා, ෂැට්මන් හා බර්න්හැම් වඩාත් ම අපහසුතාවයට පත් කෙරෙන ආකාරයේ විරෝධෝක්තීන්ගෙන් පීඩාවට පත් ව ඇත්තාහ. ඔවුන්ට ඇබර්න් කණ්ඩායමේ අතීත වාර්තාව ආරක්ෂා කළ නො හැක. අනෙක් අතට, ඇබර්න්ගේ කණ්ඩායම සංයෝජනයේ සංවිධානාත්මක කොඳු නාරටිය වන තතු යටතේ ඔවුන්ට ඇබර්න් අත්හැර දැමීමට ද නො හැකිය. ඇබර්න් කල්ලියක පැවැත්ම එහැමපිටින් ප්‍රතික්ෂේප කිරීම මඟින් මෙම ගැටලුව විසඳා ගැනීමට ඔවුහු තැත් කළෝය. “ඇබර්න් ප්‍රශ්නය යනු කූටෝපායකැ”යි ෂැට්මන් සිය යෂ්ටිය වනමින් කියා සිටී. “එවැන්නක් නො පවතී.” “ඕනෑම දැනුවත් පක්ෂ නායකයෙකු හා බොහෝ සාමාජිකයන් දන්නා දේ කැනන් දනී. ඒ, අඩුම තරමින් පසුගිය අවුරුදු ගණනාව පුරා ‘ඇබර්න් කණ්ඩායම’ක් ලෙස හැඳින්විය හැකි යමක් නො වූ බවය.”
මෙය හොඳ ආරංචියකි. එකම පලුද්ද වන්නේ එය සත්‍යයක් නො වීමයි. තව ද, ෂැට්මන් හා බර්න්හැම්ට වඩා හොඳින් මේ ගැන “දන්නා” අන් කිසිවෙකු නැත. ඔවුන්ගේ ම මුවින් අපි එය සනාථ කරමු. මෙම කල්ලියේ පැවැත්ම, එහි ස්වභාවය හා එහි ක්‍රියාකාරීත්වයේ විධික්‍රම තහවුරු කොට මාරක නිරවද්‍යතාවයකින් යුතුව එය වාර්තා කළේ අන් කිසිවෙකු නො ව, බර්න්හැම් ය, ඒ “අවුරුදු ගණනාව”කට ඉහත නො ව වර්තමාන කණ්ඩායම් සටනේ ආරම්භයට යන්තම් මාස තුනකට ඉහතිනි. එක් දහස් නවසිය තිස් නවයේ ජූනි 13 වන දින දේශපාලන කමිටුවට ඉදිරිපත් කළ ලේඛනයක් තුළ බර්න්හැම් මෙසේ ලියා ඇත:
මීට වසර කිහිපයකට ඉහත ඇබර්න් දේශපාලනික ප්‍රතිෂ්ඨාවන් මත නො ව ප්‍රමුඛ ලෙස පෞද්ගලික ප්‍රතිෂ්ඨාවන් මත අනුගාමිකත්වයක් ගොඩ නඟා ගත්තේය. මෙය ජීවමානව පවත්වා ගන්නා ලද අතර, පුළුල් පෞද්ගලික හා ලිපි හුවමාරු සබඳතාවලින් ද, පක්ෂ කර්තව්‍යයන් හා තනතුරු සම්බන්ධ කරුණුවල දී අන්‍යොන්‍ය ආධාර හා ආරක්ෂාව සම්පාදනයෙන් ද, රහසිගත තොරතුරු ද ඇතුළත්ව, ඕපාදූප හා තොරතුරු හවුලේ බෙදා හැරීමෙන් ද, කැනන් කෙරේ එදිරිවාදීකමින් ද පෝෂිතව අද ද එය ජීවමානව පවතී. ඇබර්න් පක්ෂයේ කවර තනතුරු දැරුවේ වී වුව, ඒවා දක්ෂ ලෙස කළමනාකරණය කරන අතර ම, එසේ කළමනාකරණය කරන්නේ සිය කල්ලිය පවත්වා ගෙන යාමට ආධාරකාරී වන ආකාරයකිනි. [“Toward Brass Tacks.” අවධාරණයන් මගේ ය (කැනන්)]
මෙම විනාශකාරී චරිතායනය නිල ලේඛණයක ලිඛිතව සටහන් කර තැබීමට බර්න්හැම් පොළඹවන ලද්දේ කුමක් විසින් ද? ඇබර්න් කල්ලියේ සම්භවය, විධික්‍රම, අභිචේතනයන් හා එහි වත්මන් පැවැත්ම ඒ සා නිරවද්‍ය ලෙස තහවුරු කිරීමට ඔහු පෙළඹුනේ කුමකින් ද? ඔහු හුදෙක් සාමාන්‍ය කාර්ය පටිපාටියට අනුව, ෂැට්මන් ද ඇතුළු “සෑම දැනුවත් පක්ෂ නායකයෙකු ම” “දන්නා” තත්ත්වයක් වාර්තා කළා පමණෙකි. විපක්‍ෂ කණ්ඩායමට ඇබර්න්ගේ සහයෝගය අවශ්‍ය වන, ඇබර්න්ගේ කල්ලියේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම අත්‍යවශ්‍ය වන හා එකී පැවැත්ම ගැන හුදු සඳහන් කිරීම ම “කූටෝපායකැ”යි හෙළා දැකීමට සිදුවන කාලය ඉදිරියේ එළැඹෙන බව පෙනීයාමට තරම් මාස කිහිපයක් ඉදිරියට දැකීමට බර්න්හැම් අසමත්වීම හුදෙක් ඔහුගේ ම අදූරදර්ශීත්වය පිළිබඳව සාක්ෂ්‍ය දරනු පමණෙකි. එයින් ඔහු වාර්තා කළ කරුණු කවරාකාරයකින් හෝ වෙනස් නො කෙරේ.
පෙර කොටස් බලන්න: