නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – පළමු කොටස
ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
මෙම ලිපි මාලාව, හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එයි.
මතභේදයට මුල් වී තිබුනේ, නිලධරයේ ග්‍රහණයට හසු වූ සෝවියට් රාජ්‍යයේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන් ය. සෝවියට් රාජ්‍යය හා එහි දේපළ අධිරාජ්‍යවාදයට එරෙහිව කොන්දේසි විරහිත ව ආරක්ෂා කිරීමේ සප්රතිපත්තික ට්‍රොට්ස්කිවාදී ආස්ථානයට සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයන් තිදෙනෙකු ප්රමුඛ සුළුතර කණ්ඩායමක් අභියෝග කළෝය. බැලූ බැල්මට සංවිධානාත්මක ප්රශ්නවල රූපය ගත් මෙම අභ්‍යන්තර අරගලයෙන් සැබැවින්ම පරදුවට තැබී තුබුණේ කුමක් ද යන්න මෙම කෘතිය තුල ගැඹුරින් සාකච්ඡා වෙයි.
එදාට ද වඩා අතිශය රුදුරු න්‍යෂ්ටික යුද්ධයක් අප හිස මත ලඹ දෙමින් පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති ස්ටැලින්වාදයේ අත් වාරුව ලබමින් ගොඩනඟන ලද ලෝක පර්යාය ඉරි තලා පුපුරා යමින් පවතී. දැනටමත් වෙනස් වෙමින් පවතින, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අඳින ලද ලෝක සිතියම, පීඩිතයන්ගේ ජීවිතවල වියදමින් අලුතින් ඇඳීම සඳහා මුල් පියවර තැබී ඇත. සමස්ත ලෝකය යුද පිටියක් බවට හැරවීමේ අධිරාජ්‍යවාදී යුද්ධය යුක්රේනය තුල රුසියාවට එරෙහි නැටෝ යුද්ධය ලෙස ද, මැද පෙරදිග දී පලස්තීන ජනයා සමූලඝාතනය කිරීමේ ජන සංහාරයක් ලෙස ද දිග හැරෙමින් පවතී. අධිරාජ්‍යවාදයේ යුද උන්මාදය පරාජය කළ හැකි එකම පන්තිය වන ලෝක කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීමේ කර්තව්‍යය වෙන කවදාටත් වඩා හදිසි හා තීරණාත්මක එකක් බවට පත් ව ඇත. කොටස් වශයෙන් මෙහි පල වන මෙම කෘතිය කියවන පාඨකයෙකුට, එහි සාකච්ඡා කෙරෙන ප්රශ්නවල අදට ද ඇති නොමඳ අදාලත්වය පෙනී යනු ඇත.
මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර, එහි ප්‍රථම භාගයේ පළමු කොටස ලෙස එන “සාකච්ඡාවෙන් හෙළි වී ඇත්තේ කුමක් ද” යන පරිච්ඡේදය මෙහි අද දින පළ කෙරේ. කෘතියේ සෙසු කොටස් ඉදිරි දිනවල දී පිළිවෙලින් පළ කෙරෙනු ඇත. මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.
බලන්න: හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්
1. සාකච්ඡාවෙන් හෙළි වී ඇත්තේ කුමක් ද?
(1940 අප්‍රේල් 20)
පක්ෂයක් තුල ඇති වන බැරෑරුම් කණ්ඩායම් අරගල ද ඇතුළු ව පොදුවේ දේශපාලන අරගල, හුදු රික්තයක ඇති වන ඒවා නොවේ. එම අරගල පවත්වා ගෙන යනු ලබන්නේ සමාජ බලවේගවල පීඩනය යටතේ වන අතර, ඒ හෝ මේ ප්‍රමාණයට ඒවායින් පන්ති අරගලය පිළිබිඹු වේ. අපේ පක්ෂය ඇතුලත වර්තමානයේ පවත්නා සාකච්ඡාවේ වර්ධනය තුල, මෙම නියාමය අතිශය සිත් කාවදින සුළු ආකාරයෙන් විදහා දැක්වේ.
වර්තමානයේ නිර්ධන පන්තියේ පෙරටු බලඇණිය මත ක්‍රියාත්මක වන පිටස්තර පන්තිවල පන්ති පීඩනය සුවිශේෂී ලෙස තීව්ර ය. අපි සියල්ලට ම පළමුව ඒ බව වටහා ගත යුත්තෙමු. පක්ෂයේ වර්තමාන අර්බුදය පිලිබඳ වැටහීමක් කරා අපට එළඹිය හැකි වන්නේ එවිට පමණෙකි. එය අපේ ව්‍යාපාරය කවර කලෙක හෝ ජාත්‍යන්තර පරිමාණයෙන් අත්දකිනු ලැබ ඇති, කටුකතම වූ ද ප්රගාඪතම වූ ද අර්බුදයයි. සාමාජිකත්වය තුල පවතින පෙර නුදුටුවිරූ ආතතිය විසින් ඉහළට ඔසොවා තැබෙන්නේ, නිසැක ලෙස ම ශමනය කළ නොහෙන මූලධර්ම පිලිබඳ ගැටුමකි. පක්ෂයේ කඳවුරු දෙක සටන් වදින්නේ වෙනස් වැඩ පිළිවෙලවල්, වෙනස් විධික්රම හා වෙනස් සම්ප්රදායයන් වෙනුවෙනි.
ඒ සා කෙටි කාලයක් තුල පක්ෂය මේ තතු කරා පමුණුවනු ලැබුවේ කුමක් විසින් ද? නිසැකව ම, ඒ වූ කලී ඊට සම්බන්ධ තනි තනි නායකයන්ගේ පෞද්ගලික නොගැලපීම් හදිසියේ අනාවරණය වීම පිලිබඳ ප්‍රශ්නයක් නොවේ; එබඳු සුළු කරුණු ගැටුමේ ලක්ෂණ විනා එහි හේතූන් නොවේ. එමෙන් ම, සංවිධානය පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් පැවැති පැරැණි මත වෙනස්කම් විසින් මේ සා ගැඹුරක් හා විෂයය පථයක් අලලා ගත් ගැටුමක් අවුළුවනු ලැබ ඇතැයි සත්‍යරූපී ආකාරයෙන් පැහැදිලි කළ හැකි වන්නේ ද නොවේ. අර්බුදයේ සැබෑ අර්ථාන්විතභාවය වටහා ගැනීමට නම්, එහි ප්රගාඪ හේතූන් විමසා බැලීම අත්‍යවශ්‍ය ය.
දේශපාලනය යනු පන්ති අරගලයේ ප්‍රකාශයට පත්වීමක් බව වටහා ගන්නා අයට – මාක්ස්වාදීන් වන අප එය වටහා ගන්නේ ඒ ආකාරයෙනි – පක්ෂය අභ්‍යන්තරයේ පවතින අර්බුදයේ මූලික හේතුව සොයා ගැනීම අසීරු නොවේ. අර්බුදය විසින් හඟවනු ලබන්නේ, පරිබාහිර සමාජ පීඩනයට අපේ සාමාජිකත්වය තුලින් දැක්වෙන ප්රතික්රියාවයි. පසුගිය සැප්තැම්බරයේ; සෝවියට් – නාසි ගිවිසුම අත්සන් තැබීමෙන් හා ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් ඉක්බිති වහා එළැඹි සමයේ; පැන නැඟුණු අර්බුදයේ මුල පටන් ම අප එය අර්ථ දක්වා තිබූ ආකාරය එයයි. වඩාත් නිරවද්‍ය ව කිවහොත් අප කියා සිටින්නේ, එකී අර්බුදය, පක්ෂ නායකත්වයේ කොටසක් මත ධනපති ප්රජාතන්ත්රවාදී මහජන මතය විසින් හෙලනු ලැබ ඇති පීඩනයේ ප්‍රතිඵලය බවයි. අපේ පක්ෂයේ නිර්ධන පන්තික හා සුළු ධනේශ්වර ප්රවණතා අතර අසීමාන්තික ව දිග හැරෙන අරගලය පිලිබඳ අපේ පන්ති විශ්ලේෂණය එයයි.
අප, උනුනුන් සමඟ සටන් වැදී සිටින කණ්ඩායම් අර්ථ කථනය කරන්නේ, “ගතානුගතික” හා “ප්රගතිශීලී” වැනි වියුක්ත පොදු යෙදුම්වලින් නොවේ. අප කණ්ඩායම් විනිශ්චය කරන්නේ එක් එක් පුද්ගලයන්ගේ මනෝමය ගති ලක්ෂණ මත නොව ඔවුන් ආරක්ෂා කරන වැඩ පිළිවෙල කුමක්ද යන්න මත ය. සාකච්ඡාව විසින් අනාවරණය කරනු ලැබ ඇත්තේ, වැඩ පිළිවෙල භාවිතයට ගැනීම සම්බන්ධ මත වෙනස්කම් නොව – එවැනි වෙනස්කම් නිරතුරු ව ඇති වන අතර, සාමාන්‍යයෙන් ඒවා නිත්‍ය වැදගත්කමකින් යුතු ඒවා නොවේ – එක් වැඩ පිළිවෙලක් තවෙකෙකට එරෙහිව පිහිටුවීමේ ප්රයත්නයකි. පක්ෂය කඳවුරු දෙකකට බෙදා ඇත්තේ මෙයයි. ස්වභාවිකව ම, පක්ෂයේ ප්රවණතා දෙක ලක්ෂනනය කිරීමට මෙම සාකච්ඡාව ආරම්භයේ පටන් අප විසින් යොදා ගැනුණු එකී යෙදුම්වල අදහස වූයේ එම ප්රවණතා අර්ථ දැක්වීම විනා ඒවාට විරුද නාමවල ආකාරයෙන් – ගුණවාචක ආකාරයෙන් – එම යෙදුම් භාවිත කිරීම නොවේ. මාක්ස්වාදීන් හා සකලාකාර සුළු-ධනපති දේශපාලනඥයන් අතර ඇති වන සෑම විවාදයක දී ම මෙය පුන පුනා පැවසීම අත්‍යවශ්‍යය; ඔවුන්ට දරා ගත හැකි නොවන එක් දෙයක් වෙයි – එනම්, තමන්ගේ සැබෑ නමින් තමන්ට අමතනු ලැබීමයි.
සිය එකම වරද සෝවියට් සංගමයට පිටුපෑම හා ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල එය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීම පමණක් ව තිබිය දී මෙම පන්තිමය නාම පුවරුව අප විසින් සිය කණ්ඩායමේ හිසට උඩින් එල්ලනු ලැබීම වූ කලී සාහසික හා ද්වේශසහගත නිර්මාණයක් ලෙස විපක්ෂයේ නායකයෝ සලකති. එහෙත් එබඳු ආකල්පයක් පිලිබඳ අපේ අර්ථකථනය හා විස්තර කිරීම අලුත් දෙයක් නොවේ. ෂැට්මන් විසින් බර්න්හැම් නොව, ට්‍රොට්ස්කි අර්ථෝද්ධාරය කෙරුණු ඒ අතීත දිනවල දී ඔහු ම ලියූ පරිදි:
“සෝවියට් සංගමය කම්කරු රාජ්යයක්යැයි කෙරෙන කවර හෝ කියා සිටීමක් ප්‍රතික්ෂේප කිරීමේ අන්ත-වාම ආස්ථානය එහි පතුලෙන් ම පිළිබිඹු කරන්නේ සුළු ධනේශ්වරයේ දෙගිඩියාවන් ය; නිර්ධන පන්ති හා ධනපති පන්ති කඳවුරු අතරින් එකක්, විප්ලවය හා අධිරාජ්‍යවාදය යන දෙකින් එකක් ස්ථිරසාර ලෙස තෝරා ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාවයි.”
මීට දෙ වසරකට ඉහත දී ෂැට්මන් විසින් නිව් ඉන්ටර්නැෂනල්හි පල කරන ලද ලිපියකින් කළ ඉහත උපුටා ගැනීම, එක ම සුළු සංශෝධනයක් සහිත ව, විපක්ෂයේ සංයුතිය හා එහි වර්තමාන ආස්ථානය පිලිබඳ විද්‍යාත්මක අර්ථ කථනයක් ලෙස භාර ගත හැක. අවශ්‍ය එක ම සංශෝධනය වන්නේ, ඔවුන්ගේ ආස්ථානය “අන්ත-වාම” ලෙස විස්තර කිරීම කිසිසේත් නිරවද්‍ය නො වීමයි.
පෙර දිනවල දී, විරුද්ධ පක්ෂයේ නායකයෝ මෙම ඉහත දැක්වූ උපුටනයේ සඳහන් රේඛාවන් ඔස්සේ බොහෝ දේ ලියා හා කියා ඇත්තාහ. අවුරුද්දෙන් අවුරුද්ද අපමණ ලිපි ලේඛන, නිබන්ධ හා දේශන මඟින් විපක්ෂ නායකයෝ සෝවියට් සංගමය ආරක්ෂා කිරීමට – “අන්තරායකර හෝරාවේ දී අප අපේ මුරපළවල්වල සිටිනු ඇත!” වශයෙන් – ප්‍රතිඥා දී හා තර්ජනය කර පවා ඇත්තෝ ය; එහෙත් එකී හෝරාව සමීප වන විට, සෝවියට් සංගමයට මෙම ආරක්ෂාව අවශ්‍ය වන මොහොත ම පාහේ එළඹුණු කල, ඔවුහු සිය ප්‍රතිඥා අත්හැර දමා ඇත්තාහ.
එලෙස ම, පොදුවේ වැඩ පිලිවෙල, මතවාදය, විධික්රම හා මාක්ස්වාදයේ සම්ප්රදායයන් ද අත්හැර දමා ඇත. මේ සියල්ල සාහිත්‍යමය අභ්‍යාස ලෙස පැවැති සමථයේ සමය අහෝසි වී, ඒවා යුද්ධ කාල පරිච්ඡේදයක ක්‍රියාවන්ට මඟ පෙන්වීම් ලෙස ගත යුතු තතු එළැඹි කල, ඔවුන්ට තමන් ලියූ හා කියූ සියල්ල අමතක ව ගොස් ඇති අතර “නව්‍ය හා නැවුම් අදහස්” සඳහා වියරුහුනු සෝදිසියක් අරඹා ඇත. ප්‍රථම අඩ-බැරෑරුම් පරීක්ෂණය තුලින් ඔවුහු තමන් “සාමකාමී-සමයේ ට්‍රොට්ස්කිවාදීන්” බව ඔප්පු කර ඇත්තාහ.
තව ද, හතරවැනි ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව තුල මෙම ලැජ්ජා සහගත කල්ක්‍රියාව, මාක්ස්වාදය මෙසේ පාවාදීම, සිදු කරනු ලැබ ඇත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදය යුද්ධයට විධිගත අයුරින් සම්බන්ධ වීමට පවා පූර්වයෙනි. විපක්ෂයේ බයිබලය වන The War and Bureaucratic Conservatism (යුද්ධය හා නිලධාරිවාදී ගතානුගතිකත්වය) [4] තුල ඔවුහු, පක්ෂයේ අර්බුදය “යුද්ධය විසින් කුපිත කරන ලද්දකැ”යි අපට සහතිකයක් දෙති. මෙය එතරම් නිරවද්‍ය නොවේ. ඇමරිකාව තවමත් විධිමත් ලෙස යුද්ධයට අවතීර්ණ වී නැත. ඒ අනුව මේ දක්වා අප විසින් අත්දකිනු ලැබ ඇත්තේ යුද්ධයක තතු යටතේ නිර්ධන පන්තියේ පෙරටු බලඇණියට දරන්නට සිදු වන සදාචාරමය හා ද්‍රව්‍යමය පීඩනයේ ඉතා සුලු සංඥාවක් පමණෙකි. බර්න්හැම්, ෂැට්මන් හා ඇබර්න් උන්මත්තක ආකාරයෙන් කුලප්පුවෙන් පලා යවන්නට යුද්ධය නොව, එළඹෙන යුද්ධයේ හුදු සෙවනැල්ල පමණක් ප්‍රමාණවත් වී ඇත.
මේ පලායාමේ හා යටත්වීමේ දාර්ශනිකයෝ තමන්ගේ ම සන්ත්රාසය පක්ෂයට අහේතුකව ආරෝපණය කරමින්, පක්ෂ තන්ත්රය පිලිබඳ තම ලිපි කියවන සහෝදරවරුන් ඉන් “සර්වදෝෂදර්ශී හෝ, දිරියබල සිඳී ගිය හෝ පරාජිතවාදී නිගමන උපුටා ගනු ඇතැ”යි යන අදහස පල කරති. “අනාගතය අඳුරු ය” යනුවෙන් ද ඔවුහු ඊට එක් කරති. තව ද, Science and Style (විද්‍යාව හා ශෛලිය) [5] ලෙස නම් කෙරුණු විශේෂ ලේඛනයක් තුල සිය සුළු ධනේශ්වර ආත්මය නිරාවරණය කර දක්වන බර්න්හැම්, ද්වේශ සහගත තෘප්තියකින් යුතුව හතරවැනි ජාත්‍යන්තරයේ බිඳ වැටීම නිවේදනය කර සිටී. බලාපොරොත්තුව සිතුවිලිවල පියා ය! එහෙත් යථාර්ථය මෙකී සංවේගප්රාප්ත නිරීක්ෂනවල අත්‍යන්ත ප්‍රතිබද්ධයයි.
පක්ෂයේ නිර්ධන පාන්තික බහුතරය තුල අසාරවාදයේ ඡායාමාත්‍රයක්වත් නැත. ඊට පටහැනි ලෙස, පක්ෂ නායකත්වයේ කොටසක් පක්ෂය හැර යාම විසින් යුද්ධයට පූර්වයෙන් ද, එම ක්‍රියාව සමඟ විවෘත ව පොර බැදිය හැකි සහ නිදහස් සාකච්ඡා තුල පරාජය කල හැකි වන පරිදි කල් තබා ද එය තමන් හෙළිදරව් කර ගනු ලැබීම ගැන සෑම තන්හි ම පැතිර පවත්නා සංතෘප්තියක් පවතී. පක්ෂයේ සහ හතරවැනි ජාත්‍යන්තරයේ ආරක්ෂාව සඳහා ඒකරාශීවීමෙහි දී නිර්ධන පන්ති ක්‍රියාධරයන් දැක්වූ සැබෑ ඒකමතිකත්වය හා, බර්න්හැම්, ඇබර්න් සහ ෂැට්මන්ගේ ප්‍රහාරයට මුහුණදීමේ දී ඔවුන් දැක්වූ සටන්කාමීත්වය සහ අශමනීයභාවය අපේ ව්‍යාපාරයේ ජීවගුණය හා විනාශ කළ නොහැකි බව පිලිබඳ ජීවමාන සාක්ෂි වෙයි. එය අනාගතය සඳහා සුබ ලකුණකි. යුද්ධයේ සැබෑ පරීක්ෂණය එළැඹි කල ඊට එරෙහි ව නැඟී සිටීමට එය සමත් වෙතැයි යන විශ්වාසය එමඟින් එය අපට ලබා දෙයි. හතරවැනි ජාත්‍යන්තරය හුදු “සුරක්ෂිතවීම” පමණක් නොව, එය අරගලය තුල විජයග්‍රහණය කරනු ද ඇතැයි යන වඩාත් ම සුභවාදී ගණනය සඳහා පසුබිම ඉන් සම්පාදනය කෙරේ.
“දුෂ්කර අනාගතය” සම්බන්ධයෙන් කිවහොත්; ධනවාදයේ මරලතෝනියේ අවධිය, කම්කරු පෙරටු බලඇණි පක්ෂය ද ඇතුළු කම්කරු සංවිධාන තුල නොවැලැක්විය හැකි පසුවිපාක දනවන, අර්බුද හා යුද්ධ විනා අන් කිසිවක් නිර්මාණය කිරීමෙහි සමත් වෙතැයි බෝල්ෂෙවික් මාක්ස්වාදීහු කිසිදා අපේක්ෂා නො කළෝය. මෙම “දුෂ්කර” වාතාවරණය තුලින් හතරවැනි ජාත්‍යන්තරය උකහා ගන්නේ, අයෝමය අවශ්‍යතාවයන්ගෙන් පොළඹවනු ලබන පීඩිත මහජනතාවන් සමාජ විප්ලවය මුදුන් පමුණුවමින් ලෝකය සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමේ කර්තව්‍යයට එළඹීම සඳහා, අප පෙරදැක තිබූ සහ කල් තබා විශ්ලේෂණය කොට තිබූ උත්කර්ෂවත් සමාජ කැළඹීම් විසින් කොන්දේසි නිර්මාණය කෙරෙමින් පවතින බව පමණෙකි. අවශ්‍ය කෙරෙන්නේ එක් දෙයක් පමණි: එනම් පෙරටු බලඇණියේ අව්‍යාජ බෝල්ෂෙවික් පක්ෂයයි. එවැනි පක්ෂයක වැඩ පිළිවෙල විය හැක්කේ මාක්ස්වාදය ම පමණි. බර්න්හැම් සහ ඔහුගේ නිවට අනුගාමිකයෝ – හිටපු මාක්ස්වාදීහු, හිටපු ට්‍රොට්ස්කිවාදීහු – මාක්ස්වාදය හෝ නිර්ධන පන්ති විප්ලවය සමඟ පොදු කිසිවක් හෝ නොමැති වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරති. බහුතරය සහ විපක්ෂය අතර මූලික ගැටුම පැන නඟින්නේ එතැනිනි. එම ගැටුම ප්රත්යක්ෂ ලෙස ම සමනය කළ නොහෙන එකක් වන අතර, අනෙක් සියලු ප්‍රශ්න, ඉදින් ඒවා කෙතෙක් වැදගත් වුව, ඊට වඩා අප්‍රධාන වේ.
මාස කිහිපයක් පුරා පැවැති සාකච්ඡා තුල, බහුතරය හා විපක්ෂය අතර වෙනස්කම් කෙතෙක් ගැඹුරක් හා පුළුල් පරාසයක් අත්පත් කොට ගෙන ඇත්ද යත්, එය පක්ෂ තන්ත්රය පිලිබඳ සියලු ප්‍රශ්න මුළුමනින් වසා පැතිර ගත් යෝධ සෙවනැල්ලක් බවට පත් ව ඇත. පක්ෂ තන්ත්රයේ දෝෂ පිලිබඳ ව නඟා ඇති සියලු චෝදනා සත්‍යයැයි සැලකුවේ වුව, එය දශ ගුණයකින් වැඩි කෙරුණු කල පවා, සටන් වැද සිටින කණ්ඩායම් දෙක දැන් පැහැදිලි ව වෙන් කොට දක්වන මූලික වෙනස්කම් හමුවේ ඒවා හුදු මලානික නො වැදගත් ඒවා බවට පත් වනු ඇත. විපක්ෂයේ අරගලය පෙනී ගිය ආකාරයට ආරම්භ වූයේ “කැනන් තන්ත්රය”ට එරෙහි අරගලයක් ලෙස සහ, “වෙනස්වෙමින් පවතින” ට්‍රොට්ස්කිගේ ස්ථානය ආරක්ෂා කිරීමේ, හෝ කෙසේ වුව ඒ පිලිබඳ පූර්වාපේක්ෂණයේ, අරගලයක් ලෙස ය. එහෙත් කෙටි කලක් තුල එය අපේ වැඩ පිළිවෙලේ, අපේ විධික්රමයේ හා අපේ සම්ප්රදායයේ සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් හතරවැනි ජාත්‍යන්තරය සමඟ පවතින මූලික ගැටුමක් ලෙස දිග හැරී ඇත.
1939 ඔක්තෝබරයේ සැසිවාරයේ දී රුසියානු ප්රශ්නය සම්බන්ධයෙන් බහුතරයකගේ සප්රතිපත්තික අභියෝජනාවට ඡන්දය දෙමින්, වෙනස්කම් නිර්මාණය කිරීම හා ඒවා අතිශයෝක්තියට නැංවීම ගැන අපට චෝදනා කළ ඇබර්න්, අවසානයේ ඔහුගේ ප්‍රතිපත්ති විරහිත සංයෝජනයේ තර්කනය විසින් බර්න්හැම්ගේ සංශෝධනවාදී කඳවුරෙන් කෙළවර වී ඇත. (එකී) සැසිවාරයේ දී බර්න්හැම් කරා ළඟා විය හැකි පාලමක් ඉදිකිරීම ගැන පමණක් චෝදනාවට ලක් විය හැකිව තිබූ ෂැට්මන්, බර්න්හැම් වෙනුවෙන් ට්‍රොට්ස්කි සහෝදරයාට “විවෘත ලිපි” ලියමින් ද, තමන්ට සිය සිය ඊයේ දිනය පිලිබඳ සිහි කැඳවන පක්ෂයේ නිර්ධන පන්ති බහුතරයට එරෙහිව අතිශය විෂකුරු ප්‍රහාර එල්ල කරමින් ද බර්න්හැම්ගේ නීතිඥයා බවට පත් විය. බර්න්හැම්, “විද්‍යාව හා ශෛලිය” පිලිබඳ සිය නවතම ලේඛනය තුල, නිර්ධන පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය හා ඊට විශ්වාසවන්තව සිටින සියලු දෙනා කෙරේ බද්ධ වෛරයෙන් බැඳී සිටින්නෙකුගේ භාෂාව කථා කරයි.
මාස කිහිපයක දේශපාලන සාකච්ඡාව තුලින් හෙළි වී ඇත්තේ එයයි.
පසු සටහන්
[4] මෙම කෘතියේ වෙළුමට උප ග්රන්ථයක් ලෙස එක් කර ඇත
[5] ට්‍රොට්ස්කිගේ In Defense of Marxism කෘතියේ උප ග්රන්ථයක් ලෙස එක් කර ඇත