නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – දෙවැනි කොටස

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

මෙම ලිපි මාලාව, හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එයි.

මතභේදයට මුල් වී තිබුනේ, නිලධරයේ ග්‍රහණයට හසු වූ සෝවියට් රාජ්‍යයේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන් ය. සෝවියට් රාජ්‍යය හා එහි දේපළ අධිරාජ්‍යවාදයට එරෙහිව කොන්දේසි විරහිත ව ආරක්ෂා කිරීමේ සප්‍රතිපත්තික ට්‍රොට්ස්කිවාදී ආස්ථානයට සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයන් තිදෙනෙකු ප්‍රමුඛ සුළුතර කණ්ඩායමක් අභියෝග කළෝය. බැලූ බැල්මට සංවිධානාත්මක ප්‍රශ්නවල රූපය ගත් මෙම අභ්‍යන්තර අරගලයෙන් සැබැවින්ම පරදුවට තැබී තුබුණේ කුමක් ද යන්න මෙම කෘතිය තුල ගැඹුරින් සාකච්ඡා වෙයි.

එදාට ද වඩා අතිශය රුදුරු න්‍යෂ්ටික යුද්ධයක් අප හිස මත ලඹ දෙමින් පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති ස්ටැලින්වාදයේ අත් වාරුව ලබමින් ගොඩනඟන ලද ලෝක පර්යාය ඉරි තලා පුපුරා යමින් පවතී. දැනටමත් වෙනස් වෙමින් පවතින, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අඳින ලද ලෝක සිතියම, පීඩිතයන්ගේ ජීවිතවල වියදමින් අලුතින් ඇඳීම සඳහා මුල් පියවර තැබී ඇත. සමස්ත ලෝකය යුද පිටියක් බවට හැරවීමේ අධිරාජ්‍යවාදී යුද්ධය යුක්‍රේනය තුල රුසියාවට එරෙහි නැටෝ යුද්ධය ලෙස ද, මැද පෙරදිග දී පලස්තීන ජනයා සමූලඝාතනය කිරීමේ ජන සංහාරයක් ලෙස ද, සිරියාව, ඉරානය ඇතුළු මැද පෙරදිග රුධිර ගංගා වලින් නැහැවීමේ යුද සැලසුමක් ලෙස ද දිග හැරෙමින් පවතී. අධිරාජ්‍යවාදයේ යුද උන්මාදය පරාජය කළ හැකි එකම පන්තිය වන ලෝක කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීමේ කර්තව්‍යය වෙන කවදාටත් වඩා හදිසි හා තීරණාත්මක එකක් බවට පත් ව ඇත. කොටස් වශයෙන් මෙහි පල වන මෙම කෘතිය කියවන පාඨකයෙකුට, එහි සාකච්ඡා කෙරෙන ප්‍රශ්නවල අදට ද ඇති නොමඳ අදාලත්වය පෙනී යනු ඇත.

මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර, එහි ප්‍රථම භාගයේ දෙවැනි කොටස ලෙස එන “ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ වර්ධනයේ නව අවධියක්” යන පරිච්ඡේදය මෙහි අද දින පළ කෙරේ.මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

2. ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ වර්ධනයේ නව අවධියක්

“ට්‍රොට්ස්කිවාදය” ලෙස හඳුන්වනු ලබන දෘෂ්ටිය හා ක්‍රමවේද සමූහය නිසැකව ම, අපේ කාලයේ මාක්ස්වාදය ද, ලෙනින්ගේ බෝල්ෂෙවික්වාදයේ, රුසියානු විප්ලවයේ හා මුල්කාලීන කොමින්ටර්නයේ උරුමකරුවා හා එහි අඛණ්ඩතාව පවත්වා ගෙන යන්නා ද වෙයි. ලෙනින්ගේ කාල පරිච්ඡේදයෙන් පසු සිදු වූ සියලු දැවැන්ත සිදුවීම් විශ්ලේෂණය කිරීමෙන් හා ඒවා අර්ථකථනය කිරීමෙන් ද, නිර්ධන පන්තියේ අරගලය හා විජයග්‍රහණය සඳහා වැඩ පිළිවෙල සූත්‍රණය කිරීමෙන් ද බෝල්ෂෙවික්වාදය වර්ධනය කෙරුනේ, ට්‍රොට්ස්කිවාදය ලෙස හඳුන්වනු ලබන ව්‍යාපාරයෙන් විනා අන් කිසි ව්‍යාපාරයක් විසින් නොවේ. අන් කිසිදු ව්‍යාපාරයක්, අන් කිසිදු ගුරුකුලයක් මේ කිසිවකට හෝ පිළිතුරු ලබා දී නැත. නිර්ධන පන්ති විප්ලවවාදීන්ගේ මොහොතක හෝ සැලකිල්ල දිනා ගැනීමට වටිනා ගුරුකුලයක් නොමැත. හතරවැනි ජාත්‍යන්තරය තුල මූර්තිමත් වන ට්‍රොට්ස්කිවාදය එකම විප්ලවවාදී ව්‍යාපාරය වේ.     

එහෙත් වැඩ පිළිවෙල විස්තාරණය කිරීමේ සිට දෘඩ ක්‍රියාධරයන් සංවිධානය කිරීම දක්වා ද, ඉන් නොනැවතී හතරවැනි ජාත්‍යන්තරයේ බහුජන පක්ෂ ගොඩ නැඟීම කරා ද යන මාවත දුෂ්කර හා සංකීර්ණ එකකි. එය අඛණ්ඩ තෝරා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස, නව බලවේග ආකර්ෂණය කර ගනිමින් සහ සම-පියවර තැබීමට අසමත් වූවන් අතහැර දමමින්, පරිනාමයේ හා වර්ධනයේ අඛණ්ඩ ක්‍රියාදාමයක විවිධ අදියර හරහා ඉදිරියට යයි. හතරවැනි ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව මේ මොහොතේ පසුවන්නේ මෙකී පරිනාමීය ක්‍රියාවලියේ දී මතු වී ඇති අර්බුදයක මධ්‍යයේ ය. සියලු සලකුණුවලින් පෙන්නුම් කෙරෙන පරිදි ඉදින් අප අර්බුදයේ රැඩිකල් විසඳුමක් කරා යන්නමෝ නම්, එයට වගකිව යුතු වන්නේ ලෝක සිදුවීම් ඉදිරියට ඇදෙන වේගය, ඒවායේ විෂය පථයේ අතිවිශාලත්වය හා ඒවායේ බලපෑම කෙරේ අපේ පක්ෂය දක්වන සංවේදීතාවයයි.

දෙවැනි ලෝක යුද්ධය – පළමුවැන්නට කිසිසේත් නො අඩු ආකාරයෙන් – කම්කරු ව්‍යාපාරයේ සියලු සංවිධානවලට හා ප්‍රවණතාවලට ව්‍යසනකාරී බලයකින් පහර දෙයි. අපේ ම සංවිධානය ද  එහි ලා ව්‍යතිරේකයක් නොවේ. අන් සියල්ලක් මෙන් එය ද එහි පදනම් දක්වාම කම්පනය කෙරෙන අතර, අන් සියල්ලන්ට මෙන් ම එයට ද, සිය සැබෑ ස්වභාවය හෙළි කිරීමට සිදු වේ. සාමය පවතින සමයේ සැඟවී පැවැති දුබලතා, යුද්ධයේ සම්ප්‍රාප්තියත් සමඟ ශීඝ්‍රයෙන් එළිමහනට පැමිණේ. හතරවැනි ජාත්‍යන්තරයේ විධිමත් සාමාජිකයන් හෝ වේවා, එහි අනුග්‍රාහකයන් හෝ වේවා, අනල්ප පුද්ගලයන් හා සමස්ත කණ්ඩායම් එකම ආකාරයේ පරීක්ෂාවන්ට භාජනය කෙරේ. හානි සිදු වනු ඇත, එයින් ව්‍යාපාරය දුබල වන සෙයක් ද පෙන්නුම් කෙරෙන්නට පුළුවන. එහෙත් ඒ වූ කලී යථාර්ථයට වඩා, දේවල දෘශ්‍යමානය පමණෙකි. ට්‍රොට්ස්කිවාදය යනු නිර්ධන පන්ති විප්ලවයේ තථ්‍ය දෘෂ්ටිය හා ක්‍රමවේදයයි; අර්බුදයේ, යුද්ධයේ හා විප්ලවයේ කාල පරිච්ඡේදවලදී එය නො වැරැදී ම සිය සැබෑ හරය හෙළිදරව් කරයි. මෙම වැඩ පිළිවෙල, දෘෂ්ටිය විධික්‍රමය හා සම්ප්‍රදාය, අරගලයේ මාර්ගෝපදේශක උපදේශන ලෙස සිය මාංශය හා ලේ වලට උකහා ගත්තෝ අර්බුදයේ පීඩනය යටතේ ව්‍යාපාරයට වඩාත් දෘඩ ලෙස ඇලී ගැලී සිටිති.

දෙවැනි ලෝක යුද්ධය එළැඹෙයි – රූපය අන්තර්ජාලයෙන්

කිසිදු බැරෑරුම් වගකීමක් පවරනු ලැබීමෙන් තොර ව, බෝල්ෂෙවික්වාදය හුදු අනුගමනය කිරීම් පමණෙකින් රැඩිකල් කව තුල නිශ්චිත විලක්ෂණයක් හිමි ව සිටි, බෝල්ෂෙවික්වාදය යනු සාහිත්‍යමය සූත්‍ර කට්ටලයක් ලෙස සැලකූ අය; ට්‍රොට්ස්කිවාදය විදග්ධ විවාදයේ සීමාවන්ට ඔබ්බෙන් කිසිදා නොගිය “ආන්තික රැඩිකල්වාදයක” රූපාකාරයක් ලෙස භාරගත් අය; අර්බුදයේ පීඩනය යටතේ පය පැකිලී යාමට, මංමුලාවට පත් වීමට, සහ සිය භීතිය පිළිබඳව එකී – හුදෙක් තමාට ම සත්‍යවාදී ව පවත්නා – “ට්‍රොට්ස්කිවාදය”ම  දෝෂ දර්ශනයට පත් කිරීමට නැඹුරු වන්නේ එවැන්නන් ය.        

අර්බුදය ස්ටැලින්වාදයේ අනුභාව සම්පන්න ව්‍යාපාරය මත යකුලු පහර හෙලා ඇති බව කවුරුත් දනිති. සෝවියට් – නාසි ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ස්ටැලින්වාදයේ සහමැගියන්ගේ පලා යාම ආරම්භ විය. ඔවුන්ට මොස්කව් හොර නඩු දිරවා ගත හැකි ය; එහෙත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව සමඟ ගැටුමක් ඇති කර ගැනීමේ පෙරදැක්ම එසේ දිරවා ගත හැක්කක් නොවේ. සෝවියට් හමුදා පෝලන්තය හා, ඉනික්බිතිව පින්ලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුව සහමැගියන්ගේ මෙකී පලා යාම ඉවබවක් නැති ගාලගෝට්ටියක් බවට පත් විය. මෙම මංමුළාසහගත සංක්‍රමණය පුළුල් අවධානයක් දිනා ගත් අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් ව අදහස් පළ විය. මෙම විසුළුසහගත දර්ශනය පිළිබඳ අපේ ම නිරීක්ෂණ හා නර්මාලාප ඉදිරිපත් කරමින් අපිදු දායක වීමු. කෙසේවෙතත්, අපේ ම “පරිධියේ (වාටියේ)” මීට සමාකාර ප්‍රපංචයක් සම්බන්ධයෙන් අප මේ දක්වා නිහඬ ව සිට ඇත. ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ බුද්ධිමත් සහමැගියන්ගේ වඩාත් සංකීර්ණ, එහෙත් කිසිසේත් ඉහත සඳහන් පිරිසට වඩා ධෛර්ය සම්පන්නයැයි කිව නොහැකි පලා යාම, ඊට වඩා අපරීක්ෂාකාරිත්වයෙන් හා ව්‍යසනකාරීත්වයෙන් අඩු වී නම්, ඒ යන්තමිනි.

යුද්ධය එළැඹීමත් සමඟ ට්‍රොට්ස්කිවාදයට දෘෂ්ටියක් ලෙස හා ව්‍යාපාරයක් ලෙස එහි “ගෞරවාන්විතභාවය” අහිමිවීමට පටන් ගත්තේය. අනතුර ඉව වැටුණු බොහෝ බුද්ධිමත්හු යම්තාක් දුරකට කඩිමුඩියේ, එතරම් ගෞරවාන්විත නො වන නික්ම යාමකට ගමන් මලු අහුරා ගත්හ. ඇත්තෙන් ම කිවහොත්, ට්‍රොට්ස්කිගේ සාහිත්‍යයික ලාලිත්‍යය අගය කරමින්, ඔහුගේ ලේඛන හාරා ගරා ගත් ප්‍රඥාවේ කුඩා පිඬු යොදා ගනිමින් ස්ටැලින්වාදයේ වඩාත් බුද්ධිහීන පරිධිය විළි ගැන්වීමට පුරුදු ව සිටි විසිත්ත කාමර වීරයන්ගේ සැලකිය යුතු හමුදාවෙන් වැඩි යමක් ඉතිරි වී නැත. ට්‍රොට්ස්කිවාදී “සංස්කෘතික පෙරමුණේ” බිඳ වැටීම ඇතැම් පුද්ගලයන්, විශේෂයෙන් ම හිටපු පෙරටුගාමීන්මත්, විසින් භාර ගනු ලැබ ඇත්තේ අපේ ව්‍යාපාරයේ බිඳ වැටීම හඟවන සංඥාවක් ලෙස ය. තමන් ලහිලහියේ බැඳුනු, පන්ති සතුරා විසින් ප්‍රකාශයට පත් කෙරෙන ජර්නල තුල, ට්‍රොට්ස්කිවාදය “යල් පිනූ නිකායවාදී ප්‍රවණතාවයක්” ලෙස දැක්වීමට ඔවුන්ගෙන් ඇතැමෙකු මේ වන විට ධෛර්යමත් වී හිඳිති. කෙසේවෙතත්, “යල් පැන” ඇත්තේ ඔවුන් විනා නිර්ධන පන්තියේ පෙරටු බලඇණි ව්‍යාපාරය වන ට්‍රොට්ස්කිවාදය නොවේ.             

සුළු ධනපති බුද්ධිමත්හු ස්වභාවයෙන් ම තමා තුල ම ගිලී සිටින (අන්තරවලෝකිත) අය වෙති. ඔවුහු තමන්ගේ ම චිත්ත වේගයන්, තම අවිනිශ්චිතතාවයන්, තම භීතීන් සහ තම පෞද්ගලික ඉරණම පිළිබඳ තමන්ගේ ම ස්වාර්ථකාමී උත්සුකයන් මහා ජනකායයන්ගේ ව්‍යාපාරවල මනෝභාවයන් ලෙස වරදවා ගනිති. ඔවුහු ලෝකයේ මාරාන්තික වේදනාව තමන්ගේ ම වැදගැම්මකට නැති රිදුම් කැක්කුම්වලින් මැන බලති. අපේ පක්ෂයේ සාමාජිකත්වයෙන් කොටසක්, නිර්ධන පන්තියේ පන්ති අරගලයෙන් මුළුමනින් වියෝ වූ සුළු ධනපති පාන්තිකයන්ගෙන් සමන්විත වන හෙයින්, ඒ තාක් දුරට, අපේ ව්‍යාපාරයේ වාටිය හසු කොට ගෙන ඇති අර්බුදය පක්ෂ අභ්‍යන්තරය කරා ද මාරු වෙයි; වඩාත් නිවැරදි ලෙස කිවහොත් පක්ෂ අභ්‍යන්තරය කරා පැතිරෙයි.

පක්ෂයේ නිර්ධන පන්ති මධ්‍යස්ථාන මුළුමනින් ම පාහේ බලපෑමකින් තොර ව පවතින අතරතුර, නිව්යෝර්ක්හි අවාසිදායක සමාජ සංයුතියට ස්තුති වන්නට, අර්බුදය එහි නිව්යෝර්ක් සංවිධානයට සුවිශේෂී බලයකින් හා ප්‍රචණ්ඩත්වයකින් යුතු ව පහර දී ඇති බව සඳහන් කිරීම වටී. අපේ වැඩ පිළිවෙලින් පලා යාමේ හා අපේ සම්ප්‍රදායයන් ප්‍රතික්ෂේප කිරීමේ සුළු ධනපති කොටස්වල ප්‍රවනතාවයට සිදු වූයේ, පක්ෂයේ වැඩ පිළිවෙල හා පක්ෂය කෙරේ නිර්ධන පාන්තික සාමාජිකත්වය විදහා දැක්වූ අසමසම පක්ෂපාතිත්වයට මුහුණ පෑමට ය. මෙම විභේදනයේ අර්ථය වටහා නොගැනීමට නම් යමෙකු ඇත්තෙන් ම අන්ධයෙකු විය යුතුය. අපේ පක්ෂය තමන් සැබෑ නිර්ධන පන්ති පක්ෂයක් බවට වඩවඩාත් හෙළි කළ තරමට, එය වඩවඩාත් ප්‍රතිපත්ති මත දෘඩතර ලෙස නැඟී සිටිමින් කම්කරුවන්ගේ මහජන ව්‍යාපාරය තුලට විනිවිද ගිය තරමට, එය වඩවඩාත් හොඳින් අර්බුදයේ කම්පනයට මුහුණ දී ඇත. අපේ පක්ෂය එහි මූල පද්ධතිය නිර්ධන පන්ති පස තුල කිඳා බස්වා ඇති තාක් දුරට එය මෙම මෑත කාල පරිච්ඡේදයේ දී අත්දුටුවේ අහිමිවීම් නොව ජයග්‍රහණයන් ය. අපේ ව්‍යාපාරය වටා මේ ඇසෙන හඬ හුදෙක් ගස මුදුනේ කොළ සෙලවෙන නාදයයි. එහි මුල් සැලෙන්නේ නැත.

ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ විකසනය හා වර්ධනය කල් තබා සිතා ගන්නා ලද සැලසුමකට අනුව සිදු වූයේ නැත. එය සැකසුනේ අපේ පාලනයෙන් ඔබ්බෙහි පැවැති සුවිශේෂී ඓතිහාසික තත්ත්වයන් ගණනාවකිනි. ස්ටැලින්වාදීන්ගේ ප්‍රහාර හා පීඩනයට ඔරොත්තු දීමට ආරම්භක ක්‍රියාධරයන් හුරුපුරුදු වූ පසු ව්‍යාපාරය හුදෙකලා ප්‍රචාරක සමාජයක් ලෙස හැඩ ගැසෙන්නට පටන් ගති. අත්‍යවශ්‍යතාවය මත ම, එය සිය ශක්තීන්ගෙන් අධිකතර ප්‍රමාණයක් වැය කළේ ස්ටැලින්වාදයට එරෙහි ශාස්ත්‍රීය අරගලය සඳහා ය. එකක් පසුපස එකක් වශයෙන් වූ ලෝක සිදුවීම්වලින් අපගේ විවේචන හා විනිශ්චයන් සනාථ කෙරින. ජර්මනිය තුල කොමින්ටර්නය බිඳ වැටීමෙන් ද, රුසියාව තුල “සමාජවාදය” ගෙන ඒමේ පස් අවුරුදු සැලසුම් එකකින් පසු එකක් වශයෙන් අසාර්ථක වීමෙන් ද, සීමා ඉක්මවා ගිය මෘගත්වයකින් සිදු කෙරුණු බලහත්කාරී සාමූහිකරණයෙන් සහ මිනිසා විසින් නිර්මිත සාගතයෙන් ද, මිනීමරු විරේකනයන් හා නඩු විභාගවලින් ද පසුව – ට්‍රොට්ස්කි පමණක් ම කල් තබා පැහැදිලි කර හා විශ්ලේෂණය කර තිබූ මේ සියල්ලෙන් ඉක්බිති ව – ට්‍රොට්ස්කිවාදය සුළු ධනපති බුද්ධිජීවීන්ගේ හා අර්ධ – බුද්ධිජීවීන්ගේ කව තුල වඩාත් ජනප්‍රිය විය. යම් කාලයක් එය විලාසිතාවක් බවට පවා පත් වූයේය. පක්ෂ සාමාජිකත්වය කිසියම් විශිෂ්ඨතාවයක්  හිමි කර දුන් අතර, එය බැරෑරුම් දුෂ්කරතා කිසිවකට හේතු වූයේ නැත. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ලිහිල්භාවය දක්වා ම අතිශයෝක්තියට නැංවී තිබිණ. මධ්‍යගතභාවය හා විනය පැවතුනේ වැඩ පිළිවෙල තුල පමණකි. භාවිතය තුල එය නො පැවතුනි. නිව්යෝර්ක්හි පක්ෂය නිර්ධන පන්තියේ සටන් සංවිධානයට වඩා සමීප වූයේ සංකීර්ණ සාකච්ඡා සමාජයකට ය.   

මස්ට් සංවිධානය සමඟ සම්බන්ධවීම හා පසු කලෙක සමාජවාදී පක්ෂය තුලට ඇතුළු වීම සිදු කෙරුනේ ප්‍රචාරකමය හුදෙකලාව හා එක තැන පල්වීම බිඳ දමා වඩාත් පුළුල් කව කරා ප්‍රවිෂ්ඨවීමේ මාර්ගය සොයා ගැනීමේ දැනුවත් ඉලක්කය සහිත ව ය. මෙකී ක්‍රියාවන් සිය ගණන් නව බඳවා ගැනීම් පක්ෂය කරා ගෙන ආ අතර, එමඟින් අපේ ක්‍රියාකාරකම් ප්‍රසාරණය කිරීමේ ශක්‍යතාව ගෙන එන ලදී. එහෙත් සාර්ථකත්වයෝ තමන් සමඟ තමන්ගේ ම ප්‍රතිවිරුද්ධතා ද ගෙන ආවෝය. නිව්යෝර්ක්හි සමාජවාදී පක්ෂයේ වාමාංශය හා එහි තරුණ සංවිධානය ද ඇතුළු පක්ෂ සාමාජිකත්වය මූලික ව ම සුළු ධනපති සංයුතියකින් යුතු වූ අතර, ඔවුන්ගේ හිත හොඳකම තිබිය දී ම, ඔවුන් අප තුලට උකහා ගැනීම පහසු කටයුත්තක් නොවීය. ඉදින් නිව්යෝර්ක්හි අපේ පක්ෂ සංවිධානය වඩාත් විශාල වී නම්, සහ ප්‍රමුඛ ලෙස නිර්ධන පන්ති සංයුතියකින් යුතු වී නම් මෙම කර්තව්‍යය වඩාත් පහසු වන්නට තිබිණ. කරුණු සිදු වූ පරිදි, සමාජවාදී පක්ෂයෙන් පැමිණි නව බලවේගවලින් ඇතැම් ඒවා පක්ෂය නිර්ධන පන්තිකරණය කිරීමේ ගැටලුව වඩාත් සංකීර්ණ කරමින් ඇබර්න්ගේ සුළු ධනපති කල්ලියට නව බඳවා ගැනීම් දිනා දුන්නෝය.  

මස්ට් ව්‍යාපාරයේ පුරෝගාමියා වූ ඒ. ජේ. මස්ට්

ඒ අතර ම, වෘත්තීය සමිති වැඩ කටයුතු කෙරේ අප හිතාමතා ඇති කළ පෙළගැස්මට ස්තුති වන්නට රටේ සෙසු මධ්‍යස්ථානවල පක්ෂය නිර්ධන පන්තික දිශාවක් තුල වර්ධනය වෙමින් පැවතුනි. වෘත්තීය සමිති තුලට කළ කා වැදීම, නිර්ධන පන්තික සටන්කරුවන්ගේ නව කොටස් පක්ෂය කරා ගෙන ආ අතර, නිර්ධන පාන්තික මධ්‍යස්ථාන හා නිව්යෝර්ක් සංවිධානය අතර විලක්ෂණය වර්තමාන පක්ෂ අර්බුදය ලෙස අවසානයේ පුපුරා යාමට පෙර, ගැටුම් ගණනාවක් තුල එය පුපුරු නංවමින් ඇවිල ගියේය. 

පක්ෂයේ සාමාජිකයන්ට එළැඹෙන දැඩි දුෂ්කරතා සහ පරිත්‍යාගයන් පිළිබඳ පූර්ව අනතුරු ද සමඟ එළැඹි යුද්ධය, පක්ෂය තුල සුළු ධනපති කොටස් බොහොමයක් අතර නොසන්සුන්තාවයක් ද නොමනාපයක් ද තමන් හා රැගෙන ආවේය. මෙම සංවේදන, නායකත්වයේ කොටසක් තුලින් සිය තථ්‍ය ප්‍රකාශනය සොයා ගත්තේය. ඔවුහු තමන්ගේ ම චකිතය, පක්ෂය පිළිබඳ අතිශයෝක්තියට නැංවූ විවේචන හා, පැවැති තතු තුල සපුරා ලිය නො හැකි ඉල්ලීම් බවට පරිවර්තනය කිරීමට පටන් ගත්හ. ස්ටැලින් – හිට්ලර් ගිවිසුම අත්සන් තැබීමෙන් පසු විපක්ෂය වඩාත් පැහැදිළි ලෙස තමන් ප්‍රකාශයට පත්කිරීමට වනි. එය අපේ වැඩ පිළිවෙලට එරෙහි අරගලයක ආකාරයෙන් ද, ක්‍රමයෙන් මාක්ස්වාදයේ හා බෝල්ෂෙවික්වාදයේ සමස්ත දෘෂ්ටිය, සම්ප්‍රදාය හා විධික්‍රමයට එරෙහි කැරැල්ලක් ලෙස ද තමා ප්‍රකාශයට පත් කර ගැනීමට පටන් ගත්තේය.          

කෙසේවෙතත්, පක්ෂයේ අර්බුදය හුදෙක් දේශපාලන අදහස් වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ලක්ෂණනය කිරීම වූ කලී මුළුමනින් ම අභූතයක් වනු ඇත. ඉදින් අප විපක්ෂයේ මනඃකල්පිත යෝජනා හා ඒ අත මේ අත පෙරැලීම් පිළිබඳ “දේශපාලනික” ලක්ෂණනයකට සීමා වන්නමෝ නම්, අප ප්‍රශ්නයේ හරයට අත නොතබනු ඇත. මෙවන් බැරෑරුම් දේශපාලන අරගල, පන්ති අතර අරගලයේ ප්‍රකාශනයෝ වෙති; ඒවා වටහා ගත හැකි එකම ආකාරය වන්නේ එයයි. විපක්ෂයේ නායකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් අතිමහත් ප්‍රතිශතයක් පෙන්වා දී ඇත්තේ, න්‍යාය සහ දේශපාලනය පිළිබඳ සියලු මූලික ගැටළු සම්බන්ධ සිය මතයන් එක රැයකින් වෙනස් කර ගැනීමට ඔවුන් සමත් බවයි. මෙය ඉතා බලගතු ආකාරයෙන් පෙන්නුම් කරන්නේ පොදුවේ ඔවුන්ගේ මත එතරම් බැරෑරුම් ව නො ගත යුතු බවයි.      

සමස්තයක් ලෙස විපක්ෂය පසුපසින් ඇති ධාවක ආවේගය වනුයේ, ආසන්නයේ එළැඹෙන අරගල, දුෂ්කරතා හා කැපකිරීම්වල පෙරදැක්ම හමුවේ ඇති වී ඇති සුළු ධනපති චකිතය හා, ඕනෑම වියදමක් දරා ඒවා මඟ හැර යාමට ඇති අවිඥානක ආශාවයි. ඇතැමුන් සම්බන්ධයෙන් ගත් කල නිසැක ව ම, අපේ වැඩ පිළිවෙලට හා අපේ සම්ප්‍රදායට එරෙහි වියරු අරගලය වූ කලී  හුදෙක්, තමන් විප්ලවවාදී ව්‍යාපාරය හැර දමා යටත් වී පලායාම, නොපැහැදිලිකමේ ධූලි වලාවක් හා මතභේදයක් තුල සඟවා වසන් කිරීමේ උපකරණයක් විය. අන්‍යයන් සම්බන්ධයෙන්, ඔවුන්ගේ අලුතින් සොයා ගත් “දේශපාලන ස්ථාවරය”, සහ ඒ පිළිබඳවත්, ඒ වටාත් ඔවුන් ගෙන යන නිමක් නැති කථා, එකී අභ්‍යන්තර ප්‍රේරණයේ ම අවිඥානක යුක්තියුක්තකරණයයි. එවැනි අවස්ථාවල දී විරුද්ධ පාක්ෂිකයන්ගේ නොසීහෙන ප්‍රස්තුත පිළිබඳ දේශපාලනික ලක්ෂණනයකින් නතරවීම ප්‍රමාණවත් නොවේ. ඔවුන්ගේ පන්ති පදනම හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය ය.  

පක්ෂයේ වත්මන් අර්බුදය හුදු කථාංගයක් නොවේ. එය අතීතයේ වරින්වර ඇති වී ඇති හා, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක සෑමවිට ම ඇති වනු ඇති සරල අදහස් වෙනස්කම්වලින් පැහැදිලි කළ යුතු නොවේ. අර්බුදය පක්ෂය මත ක්‍රියාත්මක වන පිටස්තර පන්තිවල පන්ති පීඩනයේ ඍජු පිළිබිඹුවයි. මෙම පීඩනය යටතේ සුළු ධනේශ්වර කොටස් හා සුළු ධනේශ්වර නායකයන් මුළුමනින් ම අවමංගත වී ඇති අතර, පක්ෂයේ නිර්ධන පන්ති කොටස් සකලාර්ථයෙන් ම ඒකමතික ව ස්ථිරසාර ලෙස නැඟී සිටිමින් පක්ෂ වැඩ පිළිවෙල වටා ඒකරාශී වී සිටිති.    

මෙයින් අපට නිශ්චිත නිගමන කරා එළැඹිය හැකිය; එසේ එළැඹිය යුතුය:

  1. පක්ෂයට නිර්ධන පන්ති වැඩ පිළිවෙලක් තිබීම ප්‍රමාණවත් නැත; එය නිර්ධන පන්ති සංයුතියකින් ද යුක්තවීම අවශ්‍ය ය. එසේ නො වූ කල, වැඩ පිළිවෙල එක් රැයකින් කඩදාසි කැබැල්ලක් බවට පත් විය හැකිය. 
  2. මෙම අර්බුදය හුදෙක් සම්මේලනයක දී ඡන්දයක් ගැනීමෙන් හා පක්ෂ වැඩ පිළිවෙල බහුතර ඡන්දයෙන් යළි තහවුරු කිරීමෙන් පමණක් විසඳිය හැක්කක් නො වේ. පක්ෂය එතැන් සිට සිය සාමාජිකත්වයේ සැබෑ නිර්ධන පන්තිකරණයක් කරා යා යුතුය. පක්ෂයේ සුළු ධනේශ්වර සාමාජිකයන් එක් ආකාරයකින් හෝ අන් අයුරකින් කම්කරුවන්ගේ ව්‍යාපාරය සමඟ තමන් බැඳී ගනිමින්, තමන්ගේ ක්‍රියාකාරකම් හා ස්වකීය ජීවිත පවා ඒ අනුව යළි හැඩ ගස්වා ගත යුතුය. යම් නිශ්චිත හා සීමිත කාලයක් තුල මෙසේ කිරීමට අසමත් වන්නන් සහයෝගය දක්වන්නන්ගේ ශ්‍රේණි කරා මාරු කළ යුතුය.

ඇමරිකානු ට්‍රොට්ස්කිවාදය, ලිහිල් ලෙස සංවිධානය වූ ප්‍රචාරක කවයක හා සාකච්ඡා සමාජයක සිට, කම්කරුවන්ගේ බහුජන ව්‍යාපාරය තුල මුල් බැස ගත් මධ්‍යගත හා විනයගත නිර්ධන පන්ති පක්ෂයක් දක්වා සිදු වන පරිනාමයේ තීරණාත්මක අවධියක අපි පසු වන්නෙමු. එළැඹෙමින් පවත්නා යුද්ධයේ පීඩනය යටතේ මෙම පරිවර්තනය ශීඝ්‍ර ලෙස සිදු කිරීමට බල කෙරෙමින් පවතී. වර්තමාන පක්ෂ (අභ්‍යන්තර) අරගලයේ සැබෑ අර්ථය වන්නේ මෙය යි.

පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්
පළමු කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *