නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – තුන්වැනි කොටස

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

මෙම ලිපි මාලාව, හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එයි.

මතභේදයට මුල් වී තිබුනේ, නිලධරයේ ග්‍රහණයට හසු වූ සෝවියට් රාජ්‍යයේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන් ය. සෝවියට් රාජ්‍යය හා එහි දේපළ අධිරාජ්‍යවාදයට එරෙහිව කොන්දේසි විරහිත ව ආරක්ෂා කිරීමේ සප්‍රතිපත්තික ට්‍රොට්ස්කිවාදී ආස්ථානයට සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයන් තිදෙනෙකු ප්‍රමුඛ සුළුතර කණ්ඩායමක් අභියෝග කළෝය. බැලූ බැල්මට සංවිධානාත්මක ප්‍රශ්නවල රූපය ගත් මෙම අභ්‍යන්තර අරගලයෙන් සැබැවින්ම පරදුවට තැබී තුබුණේ කුමක් ද යන්න මෙම කෘතිය තුල ගැඹුරින් සාකච්ඡා වෙයි.

එදාට ද වඩා අතිශය රුදුරු න්‍යෂ්ටික යුද්ධයක් අප හිස මත ලඹ දෙමින් පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති ස්ටැලින්වාදයේ අත් වාරුව ලබමින් ගොඩනඟන ලද ලෝක පර්යාය ඉරි තලා පුපුරා යමින් පවතී. දැනටමත් වෙනස් වෙමින් පවතින, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අඳින ලද ලෝක සිතියම, පීඩිතයන්ගේ ජීවිතවල වියදමින් අලුතින් ඇඳීම සඳහා මුල් පියවර තැබී ඇත. සමස්ත ලෝකය යුද පිටියක් බවට හැරවීමේ අධිරාජ්‍යවාදී යුද්ධය යුක්‍රේනය තුල රුසියාවට එරෙහි නැටෝ යුද්ධය ලෙස ද, මැද පෙරදිග දී පලස්තීන ජනයා සමූලඝාතනය කිරීමේ ජන සංහාරයක් ලෙස ද, සිරියාව, ඉරානය ඇතුළු මැද පෙරදිග රුධිර ගංගා වලින් නැහැවීමේ යුද සැලසුමක් ලෙස ද දිග හැරෙමින් පවතී. අධිරාජ්‍යවාදයේ යුද උන්මාදය පරාජය කළ හැකි එකම පන්තිය වන ලෝක කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීමේ කර්තව්‍යය වෙන කවදාටත් වඩා හදිසි හා තීරණාත්මක එකක් බවට පත් ව ඇත. කොටස් වශයෙන් මෙහි පල වන මෙම කෘතිය කියවන පාඨකයෙකුට, එහි සාකච්ඡා කෙරෙන ප්‍රශ්නවල අදට ද ඇති නොමඳ අදාලත්වය පෙනී යනු ඇත.

මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර, එහි ප්‍රථම භාගයේ තුන්වැනි කොටස ලෙස එන “ඔවුන්ගේ විධික්‍රමය හා අපේ විධික්‍රමය” යන පරිච්ඡේදය මෙහි අද දින පළ කෙරේ.මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

3.    ඔවුන්ගේ විධික්‍රමය හා අපේ විධික්‍රමය

එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ව සටන් වැද සිටින කණ්ඩායම්, එකිනෙකට ප්‍රතිවිරෝධී සහ සමථයකට පත් කළ නොහැකි වැඩ පිළිවෙලවල් හා විධික්‍රම ආරක්ෂා කරන කඳවුරු දෙකක් තුලට දැනටමත් ඇද දමනු ලැබ ඇතැයි පෙන්නුම් කෙරෙන ඉහත කරුණුවල ආලෝකයෙන් සලකා බලන විට, හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිළිවෙලෙහි හා පොදුවේ මාක්ස්වාදයෙහි ආධාරකරුවෙකුට, සුළු ධනේශ්වර විපක්ෂයේ “තන්ත්‍රයක්” සම්බන්ධයෙන් – නැතහොත් ප්‍රශ්නය අනෙක් අතට ඇසූ කල – පැවැතිය හැකි උනන්දුව කුමක් විය හැකි ද? වැඩ පිළිවෙල පිළිබඳ ප්‍රශ්නය හමුවේ ගනු ලබන ආස්ථානය මත, “තන්ත්‍රය” සම්බන්ධ ප්‍රශ්නය කරා සමස්ත ප්‍රවේශය මේ එක් එක් අවස්ථාවේ දී මූලික ව ම වෙනස් විය යුතුය. අපේ වැඩ පිළිවෙල සමඟ පෙළ ගැසී සිටින්නන්ගේ අරමුණ විය හැක්කේ එකී තන්ත්‍රය වැඩ පිළිවෙලෙහි වඩාත් ඵලදායී උපකරණයක් බවට පෙරළා ගනු වස්, හුදෙක් එහි අඩුපාඩු නිවැරදි කර ගැනීම හා එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීමයි. අනෙක් අතට විපක්ෂ කඳවුරේ විවේචකයන්ට – ඔවුන්ගේ ආස්ථානයන්හි කිසියම් හෝ අර්ථාන්විතභාවයක් හෝ තර්කනයක් ඇති තාක් දුරට – අපේ තන්ත්‍රය සම්බන්ධයෙන් එවැනි උනන්දුවක් සැබැවින් තිබිය නොහැක. ඔවුන්ගේ මූලික අරමුණ වනුයේ වර්තමාන වැඩ පිළිවෙල වෙනුවට වෙනත් වැඩ පිළිවෙලක් ආදේශ කිරීමයි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ වත්මන් තන්ත්‍රය වැඩි දියුණු කිරීමක් නොව, එය ඉවත් කර දැමීම හා, සංශෝධනවාදී වැඩ පිළිවෙල සාක්ෂාත් කළ හැකි වෙනත් තන්ත්‍රයක් මඟින් එය විස්ථාපනය කිරීමයි.

මේ අනුව ප්‍රශ්නය පවතින්නේ ප්‍රථම කොට සංවිධානාත්මක එකක් ලෙස නොව, දේශපාලනික එකක් ලෙස පැහැදිලි ය. තීරණාත්මක සාධකය වන්නේ සහ විය යුත්තේ දේශපාලන පෙළගැස්ම යි. එය සාකච්ඡාවේ හරි මැද පවතින අතර, එසේ පිහිටවිය යුතු ද වෙයි. අන් සියල්ල තිබිය දී අපි, මූලික වශයෙන් ද්වීතීයික ප්‍රශ්න කෙරේ උනන්දුවක් දක්වන සහෝදරවරුන්ගේ ඡන්ද අහිමි වී යාමේ පිරිවැය පවා දරා ගනිමින්, මෙම විධික්‍රමයෙහි එල්බ සිටියෙමු. ඒ මක්නිසාද යත්, පක්ෂයට අධ්‍යාපනය ලබා දෙමින්, වැඩ පිළිවෙල සඳහා විශ්වාසදායී ආධාරක පදනමක් තහවුරු කර ගත හැක්කේ එමඟින් පමණක් හෙයිනි.

දේශපාලන පක්ෂයක සංවිධානය පිළිබඳ ප්‍රශ්නයට ඇති ඒ සා වැදගත්කම කුමක් ද? එයට දේශපාලන වෙනස්කම්වල තලයට සමාන හෝ ඊටත් ඉහළින් පවතින තමන්ගේ ම ස්වාධීන වැදගත්කමක් තිබේ ද? ඉතා කලාතුරකින් එසේ විය හැකිය. එ ද, හුදු තාවකාලික ව පමණි. මක්නිසාද යත්, දේශපාලන පෙළගැස්ම සෑම විටෙක ම සංවිධානය පිළිබඳ ප්‍රශ්නයට කඩා වදිමින් එහි ආධිපත්‍යය සිය’තට ගන්නා නිසා ය. මේ වූ කලී සියලු අත්දැකීම්වලින් තහවුරු කොට ඇති, පක්ෂ දේශපාලනයේ මුල් ම පාඩම් අතරින් එකකි.   

“විද්‍යාව හා ශෛලිය” ලෙස නම් කෙරුණු ඔහුගේ කුප්‍රකට ලේඛනය තුල බර්න්හැම් මෙසේ ලියයි: “දෙවැනි කේන්ද්‍රීය කාරණාව වන්නේ සමාජවාදී කම්කරු පක්ෂයේ තන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය යි.” යථාර්ථය නම්, මතභේදයේ ආරම්භයේ දී විපක්ෂය උත්සාහ කළේ “තන්ත්‍රය” පිළිබඳ ප්‍රශ්නය ප්‍රථම කාරණාව බවට පත් කර ගැනීමට ය; ආවශ්‍යක න්‍යායික හා දේශපාලනික වෙනස්කම් මුළුමනින් හෙළිදරව් වීමට හා වර්ධනය වීමට පෙර, විපක්ෂයේ මූලික ක්‍රියාධරයන් (කේඩර) බඳවා ගැනුනේ හරියට ම මේ කාරණාව මත ය.

ජේම්ස් බර්න්හැම් – ඡායාරූපය අන්තර්ජාලයෙනි

මෙම අරගල විධික්‍රමය අලුත් එකක් නොවේ. ප්‍රථම ජාත්‍යන්තරයේ දිනවල සිට ම විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය, මාක්ස්වාදීන්ගේ “සංවිධානාත්මක” විධික්‍රමවලට එරෙහි වියරු ප්‍රහාරවලින් සිය න්‍යායික හා දේශපාලනික දුබලතා වෙනුවෙන් තමන්ට වන්දි ලබා ගැනීමට සුළු ධනපති කණ්ඩායම් හා ප්‍රවණතා දැරූ ප්‍රයත්නවල අඛණ්ඩ පුරාවෘතයකි. සංවිධානාත්මක විධික්‍රම යන මාතෘකාව යටතේ ඔවුහු විප්ලවවාදී මධ්‍යගතභාවය පිළිබඳ සංකල්පයේ සිට පරිපාලනයේ එදිනෙදා කටයුතු දක්වා සියල්ල ද; ඉන් ඔබ්බට යමින්, ඔවුන් “නරක”, “සැර පරුෂ”, “කෲර”, හා – ඇත්ත වශයෙන් ම, ඇත්ත වශයෙන් ම, ඇත්ත වශයෙන් ම – “නිලධාරීවාදී” ලෙස නොවෙනස් ව විස්තර කළ සිය ප්‍රධාන විරුද්ධවාදීන්ගේ පෞද්ගලික හුරුපුරුදුකම් හා විධික්‍රම ද ඇතුලත් කළෝය. අද දිනය දක්වාමත්, මාක්ස් කෙතරම් “ආධිකාරික” ආකාරයකින් බකුනින්ට නොනිසි ලෙස සැලකුවේදැයි අරාජකවාදීන්ගේ කවර හෝ කුඩා කණ්ඩායමක් ඔබට පැහැදිළි කර දෙනු ඇත.

එක්සත් ජනපදය තුල ට්‍රොට්ස්කිවාදයේ එකොළොස් වසරක ඉතිහාසය එවන් අත්දැකීම්වලින් අතිශයින් පොහොසත් ය. අපේ මූලික ක්‍රියාධරයන් ඒවා තුල ඒකාබද්ධ වූ ද, අධ්‍යාපනය ලැබූ ද අභ්‍යන්තර අරගල හා කණ්ඩායම් සටන් වූ කලී, සෑම විටෙක ම යම්තාක් දුරකට, මූලධර්මාත්මක කාරනා සංවිධානාත්මක දබරවලින් විස්ථාපනය කිරීමට දැරුනු උත්සාහයන්ට එරෙහි අරගල වූයේය. දේශපාලනික වශයෙන් දුර්වල විරුද්ධවාදීහු සෑම විටෙක ම මෙම උප්පරවැට්ටියට යොමු වූවෝය.

මුල් දිනවල සිට ම සිදුවූයේ මෙයයි. අපේ ව්‍යාපාරයේ මුල් වර්ෂවල, 1929 සිට 1933 දක්වා ම අඛණ්ඩව ම පාහේ, – එවකට එක් යතුරු ලියනයකින් සමන්විත වූ, ලඝු ලේඛකයෙකු හෝ නිතිපතා වැටුප් ගෙවූ ක්‍රියාකාරිකයෙකු හෝ සතු නොවූ – කැනන්-ස්වාබෙක් “නිලධර යන්ත්‍රණය”ට එරෙහි ව ඇබර්න්-ෂැට්මන් උග්‍ර වාග් සංග්‍රාමයක් ගෙන ගියෝය. ඇබර්න්-මස්ට් කණ්ඩායම කැනන්-ෂැට්මන් “තන්ත්‍රය”ට එරෙහි ව ද එකී ගාලගෝට්ටිය ම මතු කලෝය. එවිට, ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තට ම  එක සමාන පහසුවෙන් යුතුව ලිවිය හැකි ෂැට්මන්, ව්‍යක්ත ලෙස ලියන ලද ලේඛනයක් මඟින් – එය දීර්ඝ එකක් බව අමුතුවෙන් කිව යුතු නැත – “තන්ත්‍රය” – ඉහත කී තන්ත්‍රය ම – ආරක්ෂා කළේය.

කැලිෆෝනියාවේ සමාජවාදී පක්ෂයේ සිම්ස්-ක්ලෙමන්ට් මාධ්‍යමික කණ්ඩායම සමඟ අපේ අරගලයේ දී මෙහි දෙවනු කී පුද්ගලයා රාජ්‍ය කමිටුව* (* රාජ්‍ය මැතිවරණවල දී කවර අපේක්ෂකයන්ට හෝ පිළිවෙත්වලට සහාය දෙන්නේ ද, නැතහොත් විරුද්ධ වන්නේ ද, ඒ කවර ආකාරයකින් ද යන්න තීරණය කරන පක්ෂ කමිටුව) පාලනය කළ අතර, හැකි සෑම නිලධාරිවාදී උපක්‍රමයකින් ම අප රවටා, අපට හිංසා කර, අවසානයේ අප නෙරපා දැමීමට ද කටයුතු කළේය; මෙය, සෑම අවස්ථාවක දී ම කැනන්ගේ “සංවිධානාත්මක විධික්‍රම”වලට එරෙහි ව විරුද්ධත්වය දැක්වීමෙන් ඔවුන් වලකා ලූයේ නැත. අප සමාජවාදී පක්ෂයෙන් නෙරපා හැරීමෙන් පසු හා එස්ඩබ්ලිව්පීයේ විධිමත් ව්‍යවස්ථාව සම්මත වීමට පෙරාතුව රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් පැන නැගුනු මතභේදයේ දී බර්න්හැම් හා කාටර්, මෙන්ශෙවික්වාදී සංකල්පවල ආභාෂය ලැබූ විශේෂ අභියෝජනාවකින් අපට එරෙහි ව සංවිධානය පිළිබඳ ප්‍රශ්නය මතු කළෝය. එම කාලසීමාවේ දී බෝල්ෂෙවික් පාර්ශ්වයේ සිටි ෂැට්මන් සංවිධානය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රතියෝජනාවක් කෙටුම්පත් කිරීම සඳහා මා සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරමින් “තන්ත්‍රය” ආරක්ෂා කළේය.

පක්ෂයේ වර්තමාන මතභේදයේ දී සියල්ලට ම වඩා මූලික ව, තන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය යලිත් “කේන්ද්‍රීය කාරණයක්” ලෙස ඉදිරිපත් කෙරී ඇත. මෙවර ෂැට්මන්, තමන් පෙරේදා පහර දී ඊයේ ආරක්ෂා කළ තන්ත්‍රයට යළිත් පහර දෙමින් බර්න්හැම්ගේ පැත්ත ගෙන ඇත. කාලය වෙනස් වී ඇත. නීතිඥයා සිය සේවා දායකයන් වෙනස් කර ඇත. එහෙත් ලෝකයේ වඩාත් ම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ “නිලධාරීවාදය”ට එරෙහි යුද්ධය ඉහත ආකාරයට ම, ඉහත අරමුණු සඳහා ම පවත්වා ගෙන යනු ලැබේ. මෙම “අභ්‍යන්තර ප්‍රශ්න, කිසිදාක තෘප්තිකර ආකාරයෙන් විසඳි නැතැ”යි ට්‍රොට්ස්කිට පෙබරවාරි 16 [1940] දින යැවූ සිය ලිපියෙන් ඇබර්න් කියා සිටී. ඔහු මෙය දැනගත යුතුය. ඔහු වසර 10 ක් පුරා නොනැවතී – ඔහුට ප්‍රමුඛ අනුචරයන් සොයා ගත හැකි වූ විට එළිමහනේ ද, තමන් හා තම කණ්ඩායම තනි වූ කල රහසිගත කුමන්ත්‍රණ හා සැඟවී වෙඩි තබමින් ද – යුද්ධ කර ඇත. එහෙත් ඔහුට තවමත් “තෘප්තිය” ලැබී නැත. ඒවා වෙනුවෙන් ඕනෑම මූලධර්මයක් කැප කිරීමට ඔහු සෑමවිටම සූදානමින් සිටි ඔහුගේ අපමණ සංවිධානාත්මක සංයෝජන, තීරණාත්මක මොහොතේ සෑම විටම බිඳ වැටින. ඒ සෑම අවස්ථාවක දී ම වැරදීමෙන් ඔහු අනුගමනය කර තුබූ පක්ෂ සාමාජිකයන්ගේ නව ස්ථරයක්, සංවිධානාත්මක සංයෝජනවාදයට වඩා සප්‍රතිපත්තික මාක්ස්වාදී දේශපාලනයේ උත්තරීතරභාවය පිළිබඳ ව, ඉදින් වේදනාකාරී වුව, උපදේශාත්මක පාඩමක් උගෙන ගත්හ.

අපේ පොහොසත් ඉතිහාසයේ සියලු අත්දැකීම් පෙන්වා දී ඇත්තේ, ආරම්භයේ දී, අත්දැකීම් රහිත සහෝදරවරුන් තන්ත්‍රය පිළිබඳ සුරංගනා කථා මඟින් බඳවා ගැනීමෙන් සංවිධානාත්මක සංයෝජනයක් අත්පත් කර ගන්නා කවර තාවකාලික සාර්ථකත්වයක් හමුවේ වුව, දේශපාලන දිශානති රේඛාව සෑමවිටම අවසානයේ කඩා වදිමින් සංවිධානය පිළිබඳ ප්‍රශ්නය ග්‍රහණය කර හා යටත් කර එය ඊට අයත් ස්ථානයේ තබන බවයි. සෑම අවස්ථාවක ම ඇබර්න් වියවුල් කර පරාජය කර දමා, සෑම අරගලයක ම අවසානයේ ඔහු හා ඔහුගේ කල්ලිය හුදෙකලා කර අපකීර්තියට හෙලනු ලැබුවේ දේශපාලන අරගලය පිළිබඳ මෙම ඒකාන්ත නියාමය විසිනි.

ඇබර්න් හා සුළු ධනපති ඕපාදූපකාරයන්ගෙන් සැදුම් ලත් ඔහුගේ සමීප කවය කිසිදා උගෙන ගත්තේ නැත. එහෙත් ඔහු විසින් සිය අත්දැකීම් නොමැතිකම හා නොදැනුවත්කම ගසා කන ලද්දා වූ, උදරයේ සඟවා ගත් බිජු නොතිබූ, හෘදය සාක්ෂියට අනුකූල ව ක්‍රියා කරන, සහ සංවිධානය පිළිබඳ ප්‍රශ්නයෙහි ලා ඔහුගේ විවරණ වලංගු කාසි ලෙස භාර ගත් සහෝදරවරු ඉගෙන ගෙන ඇත්තාහ. පසුගිය අරගලවල ඉමහත් අර්ථ ලාභය වන්නේ එයයි. ඇබර්න්ගේ ගුරුහරුකම් යටතේ දේශපාලන දිශානතිය වෙනුවට සංවිධානාත්මක ප්‍රශ්නය ආදේශ කිරීමට – සහ සංවිධානාත්මක ප්‍රශ්නය දේශපාලන දිශා රේඛාවට ඉහළින් මුල් තැන තැබීමට පවා – ක්‍රියා කළ, තම ප්‍රයත්නයෙන් ලද නරක අත්දැකීම් සහිත අපේ තරුණ පරපුරේ සහෝදරවරු – නිරවද්‍යව ම වර්තමාන මතභේදයේ දී මේ වර්ගයේ කණ්ඩායම්වාදී ප්‍රෝඩාවන්ට එරෙහි ව වඩාත් ප්‍රතිශක්තියක් ඇත්තේ එකී සහෝදරවරුන්ට ය. සෑම මතභේදයක ම ආරම්භයේ දී තන්ත්‍රය පිළිබඳ ව නැඟෙන ව්‍යාජ ප්‍රලාප පසෙක ලා, දේශපාලන වෙනස්කම්වල පතුල පිරික්සා බැලීමට ද, ඒ අනුව සිය ආස්ථානවලට එළැඹිමට ද ඔවුහු තම අභාග්‍ය සම්පන්න අත්දැකීමෙන් හා අතිරේක අධ්‍යයනයන්ගෙන් උගෙන සිටිති. 

මාර්ටින් ඇබර්න් – ඡායාරූපය: marxists.org

සංවිධානයේ ප්‍රශ්නය පිළිබඳ විපක්ෂයේ දීර්ඝ ලේඛනය පක්ෂයේ දැනුවත් හා ඉගෙනුම ලත් ක්‍රියාධරයන් සඳහා ලියන ලද්දක් නොවේ. එය ලියා ඇත්තේ අත්දැකීම් රහිත වැටහීමකින් තොර අය සඳහා ය. එය සැළසුම් කර ඇත්තේ නොදැනුවත්ව ම ඔවුන් අල්ලා ගැනීමට හා ඔවුන් අන්දමන්ද කර දැමීමට ය; පෞද්ගලික හා කාණ්ඩමික එදිරිවාදුකම්වල විෂ පෙවීමට ය; එමඟින් මතභේදයට යටින් පවත්නා ඉමහත් දේශපාලනික හා න්‍යායික මතභේද පිළිබඳ වෛෂයික තක්සේරුවක් කිරීමට ඔවුන් අසමත් කර දැමීමට ය.

අපි වර්තමාන අර්බුදයේ ආරම්භයේ සිට ම, මෙම සටන් බිමේ සටන ගෙන යාම ස්ථිරසාර ලෙස ප්‍රතික්ෂේප කළෙමු. සියලු වියදම් දරා වුව, මතභේදයේ දේශපාලනික හා න්‍යායික සාරය මතු කිරීමට අපි අධිෂ්ඨාන සහගත වීමු. මෙම මූලෝපායයට බොහෝ සහෝදරවරු විරුද්ධ වූහ. අත්දැකීම් නැති සහෝදරවරුන් ඒ හා මේ කථාවෙන්, ඒ හෝ මේ දුක්ගැනවිල්ලෙන් ව්‍යාකූල වෙමින් සිටින බවට හා, දේශපාලන ප්‍රශ්න බැරෑරුම් ව සලකා බැලීමට පටන් ගැනීමටත් පෙර ඔවුන් කෝකස් (එක් එක් පාර්ශ්වයන්ට සහයෝගය දෙන කණ්ඩායම්) පිහිටුවීමට පෙළ ගැසෙන බවටත් ඔවුහු මැසිවිලි නැඟුහ. එය නොතකා, ඉහත අත්දැකීම්වල උපදෙස් මත අපි අපේ විධික්‍රමයේ එල්බ සිටියෙමු. ඉන්පසු පක්ෂ සාකච්ඡාවේ ඇති වී ඇති වර්ධනයන්ගෙන් එහි නිරවද්‍ය භාවය සනාථ වී ඇත. දැන් කරුණු ඉතා පැහැදිළි ය. එය විශිෂ්ඨ ජයග්‍රහණයකි.

සාකච්ඡාවේ මුල් අදියරවල දී අප මූලික දේශපාලනික හා න්‍යායික අරගලයෙන් වෙනතක හැරීම ප්‍රතික්ෂේප කරමින්, “තන්ත්‍රය” පිළිබඳ ඕපාදූප හා අල්ලාප සල්ලාප වලින් වැඩි කොටසක් පිළිතුරකින් තොර ව ඉඩ හැරීම හේතුවෙන් සහෝදරවරුන් සෑහෙන පිරිසක් ව්‍යාකූලත්වයට පත් ව විපක්ෂය විසින් දිනා ගන්නා ලද බවට සැකයක් නැත. විපක්ෂයට මේ අන්දමින් දිනා ගත් ආධාරකරුවන් අපි සාදරයෙන් පිළිගනිමු; එය පූර්ණ බැරෑරුම්කමින් ඍජු ව කිව යුතුය.

අප ජීවත් වන්නේ බැරෑරුම් කාල පරිච්ඡේදයක ය. අපි, අපේ ව්‍යාපාරය ඉදිරියේ ඇති බැරෑරුම් සිදුවීම් හා බලගතු පරීක්ෂණවල අද්දර සිටින්නෙමු. කටකතා, ඕපාදූප හා සාක්ෂි රහිත චෝදනාවලින් අවමංගත විය හැකි හා දෙපා රූටා ඇද වැටිය හැකි මිනිසුන්, එළඹෙන අසීරු දිනවල දී ඉතා විශ්වාසදායක සෙබළුන් වනු නැත. කොයි හැටි වෙතත්, සුළු ධනපතීන් සියල්ල කරන්නේ කුඩා පරිමානයකිනි. එළඹෙන යුද අර්බුද දිනවල දී පන්ති සතුරා සතු දැවැන්ත ප්‍රචාරක මාධ්‍යවලින් විප්ලවවාදී සටන්කරුවන්ගේ හිස් මත වත් කිරීමට නියමිත බේගල්, සාවද්‍ය තොරතුරු සහ අපවාද ප්‍රවාහයන් සමඟ සසඳන විට අපේ විරුද්ධ පක්ෂයේ ඕපාදූප හා අපවාද ව්‍යාපාර පනිට්ටුවක ඇති එක් ජල බිඳක් තරම්වත් නොවනු ඇත. මුකවාඩම් ලා අතපය බැඳ දමා එකිනෙකා සමඟ සන්නිවේදනයට කවර හෝ ඉඩකඩක් නැති තතු තුල දීර්ඝ කාල පරිච්ඡේදයන් ගෙවීමට සිදුවෙතැයි අප අපේක්ෂා කළ යුතුය. එවැනි කාලයන්හි තමන් දරා සිටිය හැක්කේ තම පිළිවෙත් හොඳින් සකස් කර ගත්, සහ ඒවා දෘඩතර ලෙස ග්‍රහණය කර ගත් අයට පමණෙකි. අපේ පක්ෂය තුල ම මෙම ව්‍යාපාරය පිළිබඳ බෙලහීන පූර්වාපේක්ෂාව හමුවේ දැනටමත් යටත් වූ අය, සැබෑ ව්‍යාපාරයේ මුල් රළ පහර තුල ගිලී යන බව පෙර දැකීම අපහසු නැත. එවැනි සහෝදරවරුන්ට අවශ්‍ය වන්නේ හුදෙක් ම ඒ හෝ මේ සුරංගනා කථාව පිළිබඳ සැක දුරු කර දීමක් නොවේ. ඔවුන්ට දිය යුතුව ඇත්තේ මාක්ස්වාදී දේශපාලනයේ මූලධර්ම හා විධික්‍රම පිළිබඳ යළි අධ්‍යාපනයකි. අනාගත සටන් සඳහා ඔවුන් මත රඳා පැවතිය හැකි වනු ඇත්තේ එවිට පමණෙකි.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්
පළමු කොටස
දෙවැනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *