නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – ප්‍රථම භාගය – පස්වැනි කොටස
ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ ප්‍රථම භාගයේ අවසාන කොටස අද දින මෙහි පළ කරමු.
මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර, එහි ප්‍රථම භාගයේ පස්වැනි කොටස ලෙස එන “බුද්ධිමතුන් හා කම්කරුවන්” යන පරිච්ඡේදය මෙහි අද දින පළ කෙරේ. මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.
5. බුද්ධිමතුන් හා කම්කරුවන්
බහුතරයේ ඍජු නිර්ධන පන්ති දිශානතිය බර්න්හැම් විසින් නිරූපණය කරනු ලැබ ඇත්තේ “බුද්ධිමතුන්”ට එරෙහි විරුද්ධත්වයේ ප්රකාශනයක් ලෙස සහ පොදුවේ අධ්‍යාපනයට එරෙහි ව අඳබාල ගැමියන්ගේ ප්රාග් විනිශ්චයක් ලෙස ය. “The War and Bureaucratic Conservatism (යුද්ධය හා නිලධාරිවාදී ගතානුගතිකවාදය)” නම් සිය ප්‍රධාන ලේඛනයේ ඔහු මෙසේ ලියයි: “අන් සියල්ලටමත් වඩා, ‘බුද්ධිමත් භාවයට එරෙහි’ හා ‘බුද්ධිමතුන්ට එරෙහි’ ආකල්පයක් පක්ෂ සාමාජිකයන්ගේ මනසට කා වද්දනු ලැබේ. ‘බුද්ධිමතුන්ට’හා ‘බුද්ධිමත්කම’ට ගර්හා කිරීමටත් අවමන් කිරීමටත් සිය කණ්ඩායම් සගයන්ට සැබැවින් ම උගන්වනු ලැබේ.” තමන් පමණක් හොඳින් දන්නා හේතු මත ෂැට්මන් හා ඇබර්න් මෙම විරෝධතාවට සිය නම් ද ඇතුලත් කරමින්, මධ්‍යස්ථභාවය ප්‍රකාශ කිරීමට තමන්ට සෑම අයිතියක් ම ඇති ගැටුමක පැත්තක් ගැනීමට තීරණය කරති.
විපක්ෂය පිළිබඳ නො සැඟවූ සානුකම්පාවකින් යුතුව අපේ අභ්‍යන්තර සාකච්ඡාව අනුයන ලව්ස්ටෝන්වාදීන්ගේ The Workers’ Age (කම්කරු යුගය) පුවත්පත, උනන්දුවක් දක්වන පක්ෂවාදියෙකු ලෙස ගැටුමට එළැඹෙයි. ප්‍රකාශයට පත් කරන ලද මගේ කථාවක එන, පන්ති අරගලයේ නිමග්නව සිටින කම්කරු කොටස් වඩාත් උගත් පඬිවරුන්ට වඩා හොඳින් රුසියානු ප්රශ්නය වටහා ගනිතැයි යන සඳහනක් ගැන අදහස් දක්වමින් මාර්තු 9 වන දින වර්කර්ස් ඒජ් පුවත්පත මෙසේ කියයි: “මෙය නිසැකව ම, අධ්‍යාපනය ලබා සිටීමට ‘අභාග්‍ය සම්පන්න’ වූ බර්න්හැම් එල්ල කොට කියන ලද්දකි. මේ ආකාරයේ අපහාස, සාධු ගුණයෙන් හා පැහැදිළි දැක්මකින් යුතු ‘නිර්ධන පංතික’ කොටස්, දුෂ්ට හා ව්‍යාකූල වූ ‘බුද්ධිමතුන්’ගෙන් විලක්ෂණය කොට දක්වන පැරැණි ස්ටැලින්වාදී කපටි කථා ම විනා අන් කුමක් ද? වරදවා නො ගන්න. මේ එම වර්ගයේ ම කුණු වී ගිය ප්‍රතිපත්ති විරහිත ගෝසා බද්දයන් ම ය!”
අපි මෙය විමසා බලමු. මතු වී ඇති ප්රශ්නය වන්නේ නිර්ධන පන්ති ව්‍යාපාරය කරා සපැමිණි සුළු ධනපති පන්තියේ උගත් සාමාජිකයන් කෙරේ නිර්ධන පන්ති විප්ලවවාදීන් දරන ආකල්පයයි. මෙය පැහැදිළි කිරීමට වටනා වැදගත් ප්රශ්නයකි. බර්න්හැම්ගේ ශාස්ත්රාලීය පුහුණුව, වෘත්තීයත්වය හා සාමර්ථ්‍යයන් සාක්ෂ්‍ය දරන පරිදි නිසැකව ම ඔහු බුද්ධිමතෙකි. එහි කිසිදු වරදක් නො මැති අතර, ඒ හේතුව මත ඔහුට අවලාද නැඟීමට අපට සුළු හෝ හේතුවක් තිබිය නො හැක. මාක්ස් පැවසූ පරිදි “නූගත්කම කිසිදා කිසිවෙකුට කිසිදු යහපතක් කර නැති” බව අප හොඳින් දන්නා අතර, තමන්ගේ ම අරමුණු ඉටු කර ගනු වස් තක්කඩි වාචාලයන් විසින් “උගත් ජනයා”ට එරෙහිව වපුරනු ලබන අශිෂ්ට අගතීන් සමඟ පොදු කිසිවක් හෝ අපට නැත. ලෙනින් මේ කරුණ සම්බන්ධයෙන් ගෝර්කිට මෙසේ ලියා යැවීය: “සත්තකින් ම, තකතීරු සින්ඩිකල්වාදී (සම්මේලවාදී) බාලයන් මෙන් ‘බුද්ධිජීවී ගණයට හිංසා පීඩා පැමිණවීමේ’ සිහිනයක් මම දැක නැත්තෙමි. එමෙන් ම, කම්කරු ව්‍යාපාරයට එය අත්‍යවශ්‍ය බව ද මම කිසිදා ප්‍රතික්ෂේප කර නැත්තෙමි.” එවැනි හැඟීම් අපට ආරෝපණය කිරීම වූ කලී පක්ෂයේ මාක්ස්වාදී පාර්ශ්වය මත වගුරන අපවාදයකි. අනෙක් අතට, අපි හුදු ‘අධ්‍යාපනය’ නිසා අනවශ්‍ය ලෙස ප්‍රසාදයට පත් නො වන්නෙමු; ඒ පිළිබඳ හුදු කියාපෑම් කෙරේ අපේ සැලැකිල්ල ඊට ද වඩා අඩුය. සියලු ප්‍රශ්නවලට සේ ම මෙම ප්‍රශ්නයට ද අපේ ප්‍රවිෂ්ඨය විචාරාත්මක එකකි.
විද්‍යාත්මක සමාජවාදයේ ව්‍යාපාරය වන අපේ ව්‍යාපාරය දේවල් හා පුද්ගලයන් විනිශ්චය කරන්නේ පන්ති දෘෂ්ටි කෝණයකිනි. අපේ අරමුණ වන්නේ බලය සඳහා නිර්ධන පන්ති අරගලයට නායකත්වය දෙන පෙරටු බලඇණි පක්ෂය සංවිධානය කිරීම සහ සමාජවාදී පදනම් මත සමාජය ප්රතිසැකැසුම් කිරීමයි. එය අපේ “විද්‍යාව”යි. අන්‍ය පන්තිවලින් අප කරා එන සියලු පුද්ගලයන් අප විනිශ්චය කරන්නේ ඔවුන් අපේ පන්තිය සමඟ සැබැවින් ම අනන්‍ය වන ප්‍රමාණය මත සහ, ධනපති පන්තියට එරෙහි සිය අරගලය තුල නිර්ධන පන්තියේ ආධාරයට ඔවුන්ට ලබා දිය හැකි දායකත්වය මත ය. ව්‍යාපාරය තුල සිටින බුද්ධිමතුන් පිළිබඳ ගැටළුව අප වෛෂයිකව සලකා බලන්නේ මෙම රාමුව තුල ය. ඉදින් විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය කරා පැමිණෙන සෑම බුද්ධිමතුන් 100 දෙනෙකුගෙන් ම අවම වශයෙන් 99 දෙනෙක් ආන්තික “ගතානුගතිකත්වයකින්” කතා කරන්නහු නම්, ඔවුහු වත්කමකට වඩා ගැටළුවක් බවට පත් වන්නාහු නම්, ඒ කිසිසේත් ඔවුන්ට එරෙහි අපේ අගතීන් නිසා සිදු වන්නක් හෝ, අප ඔවුන් කෙරේ නිසි සේ නො සැලකීම නිසා සිදුවන්නක් නොව, එමඟින් පමණක් ඔවුන්ට අපේ අරගලයට ප්‍රයෝජනවත් විය හැකි අවශ්‍යතා පිළිබඳ ඔවුන්ගේ අනනුකූලතාව නිසා සිදු වන්නකි.
පාලක ධනේශ්වර පන්තියේ බිඳවැටීම එකී පන්තියේ කොටස් නිර්ධන පන්තියට ඇද දමන බවත්, අන්‍යයන් – නිසැකව ම, ප්‍රධාන වශයෙන් තනි තනි පුද්ගලයන්ගෙන් සැදුම් ලත් වඩාත් කුඩා කොටසක් – ජරපත් වෙමින් පවතින ධනේශ්වර පන්තියේ පෙකණි වැල කපා ඉන් මිදී නිර්ධන පන්තියට බුද්ධියේ හා ප්රගතියේ නැවුම් මූලාංග සම්පාදනය කරන බවටත් විද්‍යාත්මක සමාජවාදයේ න්‍යාය හා වැඩ පිළිවෙල ප්‍රථම වරට විධිමත් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු කොමියුනිස්ට් ප්රකාශනය තුලමත් පෙන්වා දී තිබිණ. විද්‍යාත්මක සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් වන මාක්ස් හා එංගල්ස් ම ද, වෙනත් පන්තියක සිට නිර්ධන පන්තිය වෙත පැමිණියෝ වූහ. ව්‍යතිරේකයකින් තොරව ම, අපේ ව්‍යාපාරයේ සෙසු සියලු ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සම්බන්ධයෙන් ද එකී තතු සත්‍ය වේ.
ලෙනින්, ට්‍රොට්ස්කි, ප්ලෙකනොව්, ලක්සම්බර්ග් – මේ කිසිවෙක් හෝ සිය පන්ති සම්භවය තුල නිර්ධන පන්තිකයෝ නො වූහ. නිර්ධන පන්තිය කරා පැමිණි ඔවුහු ශ්‍රේෂ්ඨතම නිර්ධන පන්ති නායකයන් බවට පත් වූහ. කෙසේවෙතත් ඒ සඳහා ඔවුන්ට, තමාගේ ම පන්තිය හැර පියා “විප්ලවවාදී පන්තිය”වෙත, “අනාගතය සිය’තෙහි දරනා පන්තිය” වෙත එළැඹීමට සිදු විය. පන්ති පක්ෂපාතිත්වයේ මෙම පරිවර්තනය ඔවුහු කොන්දේසි විරහිතව ද, අනවශේෂ ලෙස ද සිදු කළෝය. තමා හදාවඩා ගැනෙන පන්තියේ අව්‍යාජ නියෝජිතයන් බවට පත්වීමට ද, එය සමඟ පූර්ණ ලෙස බද්ධවීමට ද, තමන් සහ නිර්ධන පන්තියෙන් සම්භව වූ විප්ලවවාදීන් අතර ගැටුමේ සේයාවක් හෝ නො තබා ඉවත් කර දැමීමට ද ඔවුන්ට හැකි වූයේ එපරිද්දෙනි. ඔවුන් සම්බන්ධ කාරනාවේ දී කිසිදු “ගැටළුවක්” නො වීය; එසේ වීමේ හැකියාවක් ද නොවිණි.
පරපුරෙන් පරපුරට පොදුවේ සමස්ත ලෝකයේ ම කම්කරු ව්‍යාපාරය තුල සිදු වී ඇති සේ ම, අපේ පක්ෂයේ නිර්ධන පාන්තික විප්ලවවාදීන් හා සුළු ධනපති බුද්ධිමතුන් අතර ගැටුම ද පැන නඟින්නේ කිසිසේත් ම, සුළු ධනපති බුද්ධිමතුන්ට එරෙහිව කම්කරුවන් තුල පවත්නා අනුවණ අගතීන් නිසා නොවේ. එය පැන නඟින්නේ කොමියුනිස්ට් ප්රකාශනයේ සඳහන් වන පරිදි ඔවුන් “පිටස්තර පන්තිවල පෙකණි වැල කපා මිදී ගැනීම”ට හෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “විප්ලවවාදී පන්තිය සමඟ බද්ධවීම”ට ක්‍රියා නො කිරීම නිසා ය. කොන්දේසි විරහිතව මුළු දුර ගෙවා නිර්ධන පන්තිය වෙත එළැඹුණු ඉහත සඳහන් කළ ශ්‍රේෂ්ඨ නායකයන් මෙන් නො ව, ඔවුහු පන්ති විකල්පයන් අතර මැද ස්ථානයක අවිනිශ්චිත ව පසුබට වෙමින් සිටිති. කුණු වී දුගඳ හමන සමස්ත පරපෝෂිත පාලක පන්ති පර්යායේ එක තැන පල්වීමට එරෙහිව කැරැළි ගැසීමට ඔවුන්ගේ බුද්ධිය හා යම්තාක් දුරකට ඔවුන්ගේ දැනුම ද ඔවුන් පොළඹවයි. අනෙක් අතට ඔවුන්ගේ සුළු ධනේශ්වර ස්වභාවය, නිර්ධන පන්තිය හා එහි පෙරටු බලඇණි පක්ෂය සමඟ මුළුමණින් අනන්‍ය වී, ඔවුන් තම මුළුමහත් ජීවිත ම නව නිර්ධන පාන්තික පරිස්ථිතියක් තුල යළි හැඩ ගස්වා ගැනීම වළකා ලමින් ආපස්සට අදියි. බුද්ධිමතුන් පිළිබඳ “ගැටළුවේ” ප්රභවය ඇත්තේ මෙහි ය.
“අනාගතය රඳා ඇත්තේ සිය’තෙහි ය” යන්න සම්බන්ධයෙන් සවිඥානක විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය ආත්ම විශ්වාසයෙන් යුක්තය; උදාරම් ය; එය ඉහළ ම මට්ටමේ නිරවද්‍යතාවය ඉල්ලා සිටී. එය සියලු දෙනාගෙන්, විශේෂයෙන් ම සිය නායකයන්ගෙන්, ඉල්ලා සිටින්නේ “එක්කෝ සියල්ල ලබා දෙනු, නැතහොත් කිසිවක් එපා!”යනුවෙනි. බුද්ධිමතුන් නිර්ධන පාංතික ක්‍රියාධරයන් සමඟ ගැටුමට ගෙන යනු ලබන්නේ, අපේ පක්ෂයේ විරුද්ධ පාර්ශ්වය කෙරේ සහානුකම්පාව දක්වන ලව්ස්ටෝන්වාදීන් කියා සිටින පරිදි ඔවුන්ගේ “අධ්‍යාපනය” විසින් නොව, ඔවුන්ගේ සුළු ධනපති ස්වභාවය විසිනි; ඔවුන්ගේ කාලකන්ණි අර්ධභාවය විසිනි; තමන්ගේ අතිරේක කාලය තුල විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයට නායකත්වය දීමේ ඔවුන්ගේ අභූතරූපී අභිලාෂය විසිනි.
වැඩි දියුණු සටන්කාමී කම්කරුවන් අධ්‍යාපනයට සතුරු බවත්, උගත් ජනයා සම්බන්ධයෙන් අගතිගාමී බවත් කීම සත්‍යයක් නොවේ. සත්‍යය නම් එහි ප්‍රතිබද්ධයයි. ව්‍යාපාරයට ප්‍රවිෂ්ඨ වන සෑම බුද්ධිමතෙකු කෙරේ ම පමණ ඉක්මවූ ගෞරවයක් ද, එවන්නෙකු විසින් ඉටු කෙරෙන සෑම කුඩා සේවයක් සම්බන්ධයෙන් ම පමණ ඉක්මවූ අගය කිරීමක් ද ඔවුහු දක්වති. බර්න්හැම් අපේ ව්‍යාපාරයට විධිමත් ලෙස ඇතුළු වූ විට ඔහු ලද පිළිගැනීම තුල ද, මේ මුළු කාලය පුරා ඔහුට දෙන ලද අසාමාන්‍ය සැලකිල්ල තුල ද තරම් ඒත්තු යන ආකාරයෙන් මෙය විදහා දැක්වුණු අන් අවස්ථාවක් නොවේ. පන්ති අරගලයේ කිසිදු ආධුනිකත්ව පුහුණුවකින් තොරව ම ඔහු ජාතික කමිටුවේ සාමාජිකයෙකු බවට පත් විය. අපේ න්‍යායික සඟරාවේ කර්තෘවරුන්ගෙන් කෙනෙකු ලෙස ඔහු පත් කරන ලදී. සියලු පිළිගැනීම හා පක්ෂයේ ප්රමුඛ නායකයෙකු වීමේ “ගෞරවය” ඔහුට පහසුවෙන් හිමි විය.
නායකත්වයේ වගකීම් කෙරේ ඔහු දැක්වූ ගර්හනීය ආකල්පය; පක්ෂ කටයුතු හුදු අතිරේක කාලයේ කෙරෙන අතිරේක කටයුත්තක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස නොව වෘත්තියමය ආකාරයෙන් කිරීමට කැපවීම නිරතුරුව ම ප්‍රතික්ෂේප කිරීම; පක්ෂ සගයන් කෙරේ ඔහුගේ පැවැති ගර්විත හා අවමන්සහගත ආකල්පය; අපේ සම්ප්රදාය සහ අපේ ජාත්‍යන්තර සංවිධානය හා එහි නායකත්වය පිළිබඳව පවා ඔහුගේ දැක්වූ අගෞරවය – මේ සියල්ල හා තවත් දේ, පක්ෂයේ කම්කරු කොටස් විසින්, ඉදින් කිසිසේත් ම ඒවා අනුමත කිරීමෙන් තොරව වුව, නිහඬ ව, නොතකා හරින ලදී. බර්න්හැම් අපේ වැඩ පිළිවෙල පෙරළා දැමීමට එළිපිට ම ප්රයත්නයක යෙදෙන තුරුමත්, පක්ෂයේ කම්කරු කොටස් ඔහුට එරෙහිව නැඟී සිටිමින් නිසි පිළිවෙලට අවනත වන ලෙස ඔහුට දන්වා සිටියේ නැත. මෙම විප්ලවවාදී ක්‍රියාව තමන්ගේ “උගත්කම” නිසා තමන්ට එරෙහිව ඇති අඥාන අගතියක ප්රකාශනයක් ලෙස දැක්වීමට ඔහු දැන් දරන ප්රයත්නය, හුදෙක් ඔහුගේ ම සුළු ධනේශ්වර ස්වභාවය හා කම්කරුවන් වෙත ඔහු දක්වන සුළු ධනේශ්වර අවඥාව පිළිබඳ තවත් – වඩාත් ම ප්‍රකට කරන සුළු ආකාරයේ – විදහා දැක්වීමක් පමණි.
මාක්ස්වාදයේ විද්‍යාත්මක දෘෂ්ටියෙන් න්‍යායාත්මක අධ්‍යාපනය ලැබූ නිර්ධන පන්ති පක්ෂයක් කිසිවෙකුට බිය ගැන්විය නො හැකි අතර, අවාසනාවන්ත අත්දැකීම් කිහිපයකට එය වල්මත් කර දැමීමට ද නො හැකිය. සිදුවිය හැකි පරිදි, බර්න්හැම් උගත් මහාචාර්යවරයා, තමන් තවත් සුළු ධනපතියෙකු පමණකැයි හෙළිදරව් කර ගත්තේය යන්න, අනාගතයේ දී ඊට සමාකාර කොටස් සම්බන්ධයෙන් මඳක් වැඩි ප්‍රවේශම් සහගත බවක් ඉපිදවීමට හේතු විය හැක. එහෙත් අනාගතයේ දී ධනේශ්වර ලෝකයෙන් ව්‍යාපාරයට ප්‍රවිෂ්ඨ වන බුද්ධිමතුන් සම්බන්ධයෙන් කම්කරුවන්ගේ පෙරටු බලඇණිය දක්වන මූලධර්මාත්මක ආකල්පයේ කිසිවක් ඉන් වෙනස් නො වනු ඇත. මෙම අත්දැකීමෙන් උපදෙස් දී ඇති පරිදි, ඊළඟට එන තැනැත්තාට වඩාත් දැඩි කොන්දේසිවලට මුහුණ පෑමට සිදු විමේ ඉඩකඩක් පවතී. අනාගතයේ දී කිසිවෙකුට, ඉදින් ඔහු තම පරිබාහිර පන්ති පසුබිමින් මුළුමනින් බිඳී ගනිමින් කම්කරු ව්‍යාපාරයේ ජීවත් වීමට නො පැමිණෙන්නේ නම්, ඔහුට නායකත්වය පිළිබඳ ව්‍යාජ මවාපෑම් කිරීමට ඉඩ ලැබෙතැයි සිතීම අසීරු ය. හුදෙක් ගොඩ වැදී යාම දිරිමත් නො කෙරේ.
ඇමරිකානු ව්‍යාපාරය බුද්ධිමතුන් සම්බන්ධයෙන් ඉතා නරක අත්දැකීම් ලබා ඇත. මේ දක්වා, එහි නිම වළල්ල තුල පෙනී සිටි අය බෙහෙවින් කසිකබල් සමූහයකි. අතිධාවනකාරීන්, වෘත්තීයමය අභිවර්ධනය සොයා යන්නන්, ස්වාභිවෘද්ධිය ම පතන්නන්, මතුපිට අතපත ගාන්නන්, අසීරු තත්ත්වයන්හි දී පලා යන්නන් – ඇමරිකානු කම්කරු ව්‍යාපාරය හරහා ගමන් කළ බුද්ධිමතුන්ගේ පෙරෙට්ටුව පිළිබඳ ඔවුන් විසින් ම චිත්රණය කරන ලද කසිකබල් චිත්‍රය එයයි. ඩැනියෙල් ඩි ලියොන් එහි ලා දැවැන්ත ව්‍යතිරේකයක් ලෙස නැඟී සිටී. ඔහු හුදෙක් බුද්ධිමතෙකු පමණක් නො වීය. මිනිසෙකු හා සටන්කරුවෙකු වූ ඔහු, සිය අවනතභාවයේ කිසිදු බෙදීමකට අසමත් පක්ෂපාතියෙක් විය. ඔහු නිර්ධන පන්තිය කරා එළැඹීමට තීරණය කළ කල්හි, ධනේශ්වර ශාස්ත්රාලීය ලෝකයේ පිළුණු වාතාවරණය දරා සිටීමට ඔහුට නො හැකි විය. විශ්ව විද්‍යාලයෙන් වෙන් වෙමින් තමාට පසුපසින් දොර තදින් වසා දැමූ ඔහු, යළි කිසි විටෙකත් ආපසු හැරී නො බැලීය. එවක් පටන් සිය ජීවිතාවසානය දක්වා ම ඔහු සමාජවාදී ව්‍යාපාරය සහ කම්කරුවන්ගේ අරගලය සමඟ තමා මුළුමනින් ම අනන්‍ය කර ගත්තේය. වත්මන් පරපුරේ විප්ලවවාදී කම්කරුවෝ, ඒ වෙනුවෙන් කෘතඥතාවයෙන් යුතුව – එමඟින් ඔහුගේ දේශපාලන දෝෂ නො තකා නො හරිමින් ම – ඔහු සිහිපත් කරති. වෙනත්, හා අප අපේක්ෂා කරන පරිදි වඩාත් විශිෂ්ඨ, ඩි ලියොන්වරුන් අනාගතයේ දී අප කරා එනු ඇත. ඔවුන්ට නිර්ධන පන්ති පෙරටු බලඇණි පක්ෂයේ හෘදයංගම පිළිගැනීම හිමි වනු ඇත. ඉදින් අප ඔවුන්ගේ අක්තපත්‍ර සියුම් ලෙස පරීක්ෂා කර කිසියම් ආධුනිකත්ව පුහුණුවකට ඔවුන් යටත් කළ කල්හි ඔවුන් ඒ සම්බන්ධයෙන් නො කිපෙනු ඇත. ඔවුන්ගේ කර්තව්‍යය වන්නේ මාක්ස්වාදයේ නිර්ධන පන්ති විද්‍යාව අර්ථකථනය කිරීම හා භාවිතය විනා, ඒ වෙනුවට ධනේශ්වර ආදේශකයක් ඇඟේ ගැසීම නො වන බව, නිශ්චිත ලෙස අවබෝධ කර ගත යුතුයැයි අප අවධාරණය කළ කල්හි ඔවුන් ඉන් අමනාප නො වනු ඇත. මෙම ප්‍රාථමික පරීක්ෂණය හුදෙක් ව්‍යාජ (මාක්ස්වාදී) බුද්ධිජීවීන් ව්‍යාපාරය තුලට කාන්දුවීමට එරෙහි පූර්වාරක්ෂිත ක්‍රියා මාර්ගයක් පමණක් බවත්, නිර්ධන පන්තියේ අභිප්‍රාය වෙනුවෙන් සේවය කිරීමට සැබැවින් ම පැමිණි බුද්ධිමතුන්ට එරෙහි අගතියක් ඉන් කවර ආකාරයකින් හෝ නො හැඟවෙන බවත් නව ඩි ලියොන්වරුන් පහසුවෙන් ම වටහා ගනු ඇත.
අප කරා එළැඹෙන අව්‍යාජ මාක්ස්වාදී බුද්ධිමතුන්, සමාජවාදය යනු, 1940 දී – එනම් කොමියුනිස්ට් ප්රකාශනයෙන් වසර 92 ක ඇවෑමෙන් – බර්න්හැම් අපට උපදෙස් දීමට ප්රයත්න දැරූ පරිදි “සදාචාරාත්මක පරමාදර්ශයක්” නො වන බවත්, ඒ වෙනුවට එය නිර්ධන පන්තිය විසින් ධනේශ්වර පන්තියට එරෙහි ව ගෙන යනු ලබන ශමනය කළ නො හැකි පන්ති අරගලයක අත්‍යවශ්‍ය ප්‍රතිඵලය බවත් යන අපේ දෘෂ්ටියේ මූලික දිශානතීන් වටහා ගනු ඇත. විප්ලවය කළ යුත්තේ කම්කරුවන් වන අතර, නිර්ධන පන්තියේ පෙරටු බලඇණි පක්ෂය සෑදිය යුත්තේ කම්කරුවන් ය. මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ කාර්යය වනුයේ කම්කරුවන්ගේ අරගලය තුල ඔවුන්ට ආධාර කිරීමයි. ඔහුට එය අර්ථකාරී ලෙස සිදු කළ හැක්කේ, ධනේශ්වර ලෝකයට පසුපස හරවා නිර්ධන පන්ති විප්ලවයේ කඳවුරට එකතු වීමෙන්, එනම් – සුළු ධනපතියෙකුව සිටීම නිමා කර ගැනීමෙන්, පමණෙකි. එම පදනම මත කම්කරු බෝල්ෂෙවිකයන් සහ මාක්ස්වාදී බුද්ධිමතුන් ඉතා හොඳින් එක්ව කටයුතු කරනු ඇත.
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, පළමු කොටස, දෙවැනි කොටස, තුන්වැනි කොටස, සිව්වැනි කොටස
මීළඟට: නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – දෙවැනි භාගය පල කෙරේ.ShareWhatsappPost navigation