මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම පිලිබඳ නඩුව වසාදැමීමේ නීතිපති තීන්දුවට එරෙහිව විරෝධතා එල්ලවේ

විමල් පෙරේරා විසිනි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් එකොලොස් දෙනකු ඝාතනය කිරීම පිලිබඳ නඩු ගොනුව වසාදැමීමට නීතිපතිවරයා විසින් කෙරුනු නිර්දේශය දෙසැම්බර් 17 වනදා වැලිසර (වත්තල) මහේස්ත්‍රාත් උසාවිය ප්‍රකාශයට පත්කලේය. නීතිපතිගේ නිර්දේශයෙන් ඝාතකයින් ආරක්ෂා වන අතර රැඳවියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුලුමනින්ම උල්ලංඝනය කිරීමක් හා වින්දිතයන්ගේ පවුල් බරපතල අසාධාරනයට ලක් කිරීමක් ද වේ.

මෙසේ අවසන් කරදමා ඇත්තේ, 2020 නොවැම්බර් 29 සහ 30 යන දිනයන්හි, මහර බන්ධනාගාරයේ රැඳවියන් ගෙනගිය උද්ඝෝෂනය මැඩලීමට රැඳවියන් 11 දෙනෙකුට මරු කැඳවමින්ද, 107 දෙනෙකුට තුවාල සිදු කරමින්ද බන්ධනාගාර නිලධාරින්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එල්ල කෙරුනු රුදුරු ප්‍රහාරයට එරෙහිව පවරා තිබුනු නඩු විභාගයයි.

2020 නොවැම්බර් 29 සහ 30 යන දිනයන්හි, උද්ඝෝෂනයට සහභාගි වූ දහස් ගනනක් රැඳවියන් ඉල්ලා සිටියේ ඒ වන විටත් සිය ගනනකට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂන වලින් තහවුරු වී තිබීම නිසා සියලු සිරකරුවන් පීසීආර් පරීක්ෂනවලට යොමු කරන ලෙසයි.

ප්‍රහාරය එල්ලවූයේ, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා සෞඛ්‍ය බලධාරීන් “කෝවිඩ් සමග ජීවත්වීමේ” මිනීමරු පිලිවෙත රට තුල ක්‍රියාවට දමා පීසිආර් පරීක්ෂන මුලුමනින්ම පාහේ ඇනහිටුවා තිබූ තත්වයක ය.

ඝාතකයින් ආරක්ෂා කිරීමට රාජපක්ෂ ආන්ඩුවද වහාම ක්‍රියාත්මක විය. “බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීම්වලින් කිසිවෙකු මිය ගොස් නැති” බව බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පාර්ලිමේන්තුවේ දී සඳහන් කලේ විධිමත් පශ්චාත් මරන පරීක්ෂන පැවැත්වීමටත් පෙරය.

මහර බන්ධනාගාර රැඳවියන් 11 දෙනාම වෙඩි වැදීමෙන් මියගිය බව විමර්ශන සඳහා පත් කරන ලද කමිටු වාර්තාවලින් එලිදරව් වීමෙන් අනතුරුව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන 2023 අප්‍රේල් මස මෙම අපරාධයට සම්බන්ධ සියලුම නිලධාරීන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියම කර තිබිනි.

එහෙත් මෙම නියෝගය නොතකා, බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නීත්‍යානුකූලව කටයුතු කර ඇති බව තීරනය කල නීතිපති විසින්, පරීක්ෂන තවදුරටත් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව දැනුම් දෙමින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියක පිටපතක් සැප්තැම්බර් 26 වනදා වැලිසර මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කෙරුනි අනතුරුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ද මෙම ලිපියම ඉදිරිපත් කලේය.

කෙසේවුවද, මෙම ලිපිය “පුදුම සහගත” බව සඳහන් කල මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවැත්වීම ප්‍රතික්ෂේප කලේය. එහෙත් නීතිපති තම තීරනය වෙනස් නොවන බව දැනුම් දීමෙන් පසු එය ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුට සිදුවිය.

නඩු ගොනුව වසාදැමීමට නීතිපතිවරයා දුන් නියෝගයෙන් පෙන්නුම් කෙරෙන්නේ වින්දිතයින්ගේ අයිතීන් වෙනුවෙන් අධිකරනයේ සහනය පැතිය හැකි බවට පවතින ධනපති නීතියට ද පටහැනිව, සාමය ආරක්ෂා කිරීමේ මුවාවෙන් සිරකරුවන් මැඩීමට ආරක්ෂක අංශවලට අයිතියක් ඇති බව අනීතිකව තහවුරු කිරීමයි.

දෙසැම්බර් 17 වනදා වැලිසර මහේස්ත්‍රාත් උසාවියේදී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා නීතිපතිවරයාගේ තීරනයට විරුද්ධ වූයේය. ආරක්ෂක නිලධාරින් “පුද්ගලික ආරක්ෂාව” සඳහා වෙඩිතැබීම කලබවට ප්‍රකාශ කලත්, එය නීත්‍යානුකූලද නැද්ද කියලා තීරනය කලහැක්කේ නඩු විභාගයකින් පසුව බව සඳහන් කලේය.

තවද ඝාතනයට ලක් වූ රැඳවියකු වන සම්පත් පුෂ්පකුමාරගේ බිරිඳ වන මහනුවර වසන්ති යුක්තිය ඉල්ලා අභියාචනාධිකරනයේ පෙත්සමක් ගොනු කර ඇත. පෙත්සම වෙනුවෙන් පෙනීසිටින නීතිඥ ලක්ෂාන් ඩයස් ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. එම පෙත්සම සලකා බැලීම මාර්තු මස 17 දා සිදුකරන බව විනිසුරු තීන්දු කලේය.

අතීතයේ බන්ධනාගාර තුල සිදුවූ අපරාධ සැඟවීම පිලිබඳව පෙර පැවැති ආන්ඩුවලට ද අසික්කිත ඉතිහාසයක් ඇත. මින් ප්‍රමුඛ සිද්ධියක් වන්නේ 2012 දෙසැම්බරයේ දී, එස්ටීඑෆ් නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් මෙම ඝාතකයින්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීමයි.

ධනේශ්වර සමාජ ක්‍රමයේ ගොදුරු බවට පත්ව ඇති සිරකරුවන්, තමන් මුහුන දෙන සමාජ සහ ආර්ථික කොන්දේසි විසින් අපරාධ සඳහා පොලඹවනු ලැබූවන් ය. ලංකාවේ ද සිරකරුවන්ගෙන් වැඩි දෙනෙක් රටේ දුප්පත්ම කොටස්වලට අයත් බව මානව හිමිකම් කවුන්සිලය නිරීක්ෂනය කර ඇත.

ධනේශ්වර අධිකරන විසින් අච්චු ලැබුනායින් පසුව බන්ධනාගාර තුල ඔවුන්ට දිවි ගෙවීමට සිදුවන්නේ කිසිදු අවම පහසුකමක්වත් නැති අන්ත ඛේදජනක තත්ත්වයන් තුලය. නිසි ආහාර නොමැතිව, වෛද්‍ය පහසුකම් නොමැතිව ඔවුන්ට තදබදයෙන් යුත් කුඩා සිර කුටි තුල, ප්‍රමානවත් වාතාශ්‍රය හෝ ආලෝකය නොමැති සහ අධික උෂ්නත්වය යටතේ දිවි ගත කිරීමට සිදුවෙයි. “එය බොහෝ විට අමානුෂික ජීවන තත්වයන්ට සමාන වේ” යනුවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව රටේ බන්ධනාගාර පද්ධතිය පිලිබඳ 2020 දෙසැම්බර් මස නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කරයි.

රාජ්‍ය බන්ධනාගාරයක අනාරක්ෂිත ව සිටි රැඳවියන් සමූහයක් ඝාතනයකට ලක්කිරීම පිලිබඳ නඩුවක් වසා දැමීමට නීතිපති ගෙන ඇති තීන්දුව භයානක ඇඟවුම් සහිතය. එසේ වුවද, ජවිපෙ/ජාජබ ආන්ඩුව එම තීන්දුවට ඊට ඉඩදී අත සෝදාගෙන ඇත. ඩේලි මිරර් ඔක්තෝබර් 29 දා වාර්තාවකට අනුව, ඇමති විජිත හේරත් ප්‍රකාශ කර ඇත්තේ ඝාතන පිලිබඳව ආන්ඩුව විසින් පරීක්ෂන වාර්තා විමර්ශනය කරන බවත් වින්දිතයන්ගේ ඥාතීන්ට තම අයිතීන් වෙනුවෙන් නීතිමය මාර්ග ගත හැකි බවත්‍ ය.

නීතිපතිවරයා විසින් මහර බන්ධනාගාර ඝාතන සිද්ධිය වසා දැමීමේ නිර්දේශයක් නිකුත් කිරීම ඔහුගේ හුදු පෞද්ගලික තීන්දුවක් නොවේ. එහි මූලය නම්, කුමන අපරාධයක් සිදුකලද ධනේශ්වර රාජ්‍ය පද්ධතියේ ප්‍රධාන ආරක්ෂකයින් වන හමුදා පොලිස් බන්ධනාගාර නිලධාරීන් ආරක්ෂා කිරීම ධනපති පන්තිය ප්‍රමුඛ කොට සැලකීමයි. දිසානායකගේ ආන්ඩුව යටතේ ද අධිකරන පද්ධතිය ක්‍රියාත්මක වනු ඇත්තේ ,අනුප්‍රාප්තික ආන්ඩු යටතේ ක්‍රියාත්මක වූ ආකාරයටම ය. මෙයින් පැහැදිලි වන්නේ සිරකරුවන්ගේ හෝ රැඳවියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ ප්‍රශ්නය පවතින ධනේශ්වර රාජ්‍ය පද්ධතිය තුල ඉටු නොවන බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *