මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම පිළිබඳ ව ලියොන් ට්‍රොට්ස්කි ලියූ ලිපිය
පරිවර්තනය – පරාක්‍රම කුරුප්පු
රුසියානු කවියෙකු, නාට්‍ය රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ ව්ලැඩිමිර් මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම නිමිති කොට ලියොන් ට්‍රොට්ස්කි විසින් 1930 මැයි මස ලියන ලද ලිපියක් පහත පළ වේ. සෝවියට් රුසියාව තුල අතිශය ජනප්‍රිය කවියෙකු ව සිටි මායාකොව්ස්කි සියදිවි නසා ගන්නා විට 37 වන වියේ පසු විය.
1893 දී ජෝර්ජියාවේ බැග්ඩාඩි හි උපත ලත් මායාකොව්ස්කි වයස 14 දී බෝල්ෂෙවික් පක්ෂයට බැඳුනේය. විප්ලවවාදී කටයුතු නිසා වරින්වර අත්අඩංගුවට පත් ව සිරගත වී සිටි ඔහු 1911 දී එම කටයුතු හැර දමා චිත්‍ර, මූර්ති හා වාස්තු විද්‍යාව පිළිබඳ මොස්කව් ආයතනයට බැඳුනේය. 1917 රුසියානු විප්ලවයේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකු ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඔහු නව විප්ලවවාදී ආණ්ඩුව සමඟ සමීප සහයෝගයකින් කටයුතු කළේය.
1929 දී මායාකොව්ස්කිගේ කෘතීන් වෙළුම් 4 කින් ප්‍රකාශයට පත් කරන ලදී. එහෙත් රංග පථයට පසුපසින් මායාකොව්ස්කි හා සෝවියට් නිලධරය අතර සබඳතා ඉරි තලා යමින් පැවැතිණ. 1930 පෙබරවාරියේ – එනම්, “සිද්ධිය හමාරයැ”යි කියැවුණු නොනිමි කවියක් හා තම මරණය පිළිබඳ ව කිසිවෙකුට දෝෂාරෝපණය නො කළ යුතු බවට දැනුම් දීමක් ඇතුලත් සියදිවි නසා ගැනීමේ සටහනක් තබා වෙඩි තබා ගැනීමට දෙ මසකට පෙර – මායාකොව්ස්කිගේ “20 වසරක කටයුතු” ඇගයීම සඳහා පවත්වන ලද ප්‍රදර්ශනය, නිලධරයේ ඍජු හස්තයක් වූ ‘රුසියානු නිර්ධන පන්ති ලේඛක සංගමය’ විසින් ද, ස්ටැලින් ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය විසින් ද මුළුමනින් නොතකා හරින ලදී.
මෙම පරිවර්තනය සඳහා ඉංග්‍රීසි පිටපත ට්‍රොට්ස්කි අන්තර්ජාල ලේඛනාගාරයෙන් (Trotsky Internet Archive) උපුටා ගැනින.
මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම
ලියොන් ට්‍රොට්ස්කි විසිනි
බ්ලොක් පවා මායාකොව්ස්කි තුල පැවැති “අතිමහත් කුසලතාවයක්” හඳුනා ගත්තේය. සුධීමත්භාවයේ පුලිඟුවක් මායාකොව්ස්කි තුල තුබූ බව අතිශයෝක්තියෙන් තොරව පැවසිය හැකිය. එහෙත් ඔහු සතු වූ දෙය සුසංවාදී කුසලතාවයක් නො වීය. එහි කවර නම් අරුමයක් ද? යුග දෙකක් වෙන් කෙරෙන වසුන් නොකළ අගාධයක් හරහා පැතිරුණු මෙම ව්‍යසනකාරී දශකවල කලාත්මක සුසංවේදය කොතැනකින් නම් පහළ විය හැකි ද? මායාකොව්ස්කිගේ කෘත්‍යයන් තුල, අගාධාකාර සදොස්කම් සමඟ එක පෙළට නැඟී සිටින තුඟු ශිඛර ද දැකිය හැක. ඉතා සුළු ඡන්දස වලින් මෙන් ම ඝෝෂාකාරී අශ්ශීලත්වයෙන් පවා, ප්‍රතිභාවේ රැස් දහර අඳුරු වී ඇත.
මායාකොව්ස්කි අන් සියල්ලට පෙර විප්ලවවාදියෙකු වූ බවත්, ඉන් පසුව කවියෙකු වූ බවත් පැවසීම – එය එසේ වීමට ඔහු අවංක ව ප්‍රාර්ථනා කළ නමුදු – සත්‍යයක් නොවේ. ඇත්තෙන් ම මායාකොව්ස්කි අන් සියල්ලට පෙරාතුව, පැරණි ලෝකයෙන් බිඳී නොගොස් එම ලෝකය ප්‍රතික්ෂේප කළ කවියෙකි, කලාකරුවෙකි. විප්ලවයෙන් පසු පමණක් ඔහු විප්ලවය තුලින් තමන්ට සහායයක් ලැබීමේ මං සෙවූ අතර, සෑහෙන දුරකට ඔහු එහි ලා සාර්ථක විය. එහෙත් ඔහු මුළුමනින් ම එය සමඟ බද්ධ නො වීය. ඊට හේතුව වූයේ, ඔහුගේ අභ්‍යන්තර හැඩ ගැස්ම සිදු වූ වසරවල, එනම්, ඔහුගේ තරුණ වියේ දී, ඔහු එය කරා නො එළඹීමයි.
ප්‍රශ්නය එහි පුළුල්තම පරිමාණයෙන් බැලූ කල පෙනී යන්නේ, මායාකොව්ස්කි වූ කලී, පරිවර්තන යුගයක – නව සංස්කෘතිය සඳහා මූලිකාංග අසමසම බලයකින් යුතුව නිර්මාණය කරන අතරතුර ම, එතෙකුදු, විප්ලවයට කැප වූ තනි කවියෙකු හෝ කවියන්ගේ පරපුරක් සුසර ලෙස වර්ධනය කිරීමට අවශ්‍ය පමණට වඩා බොහෝ සේ මන්දගාමී ව හා විසංවාදී ආකාරයෙන් එය සිදු කළ පරිවර්තන යුගයක – “ගායකයා” (ගායකයා යනුවෙන් උධෘත තුල යෙදූ වචනයෙන් ට්‍රොට්ස්කි අදහස් කළේ, අතීතයේ පුරාවෘත හා කථා පුවත් සාරවත් ව කාව්‍යයෙන් ගායනා කළ අය ය) පමණක් නොව එහි ගොදුර ද වූ බවයි. අභ්‍යන්තර සුසංවේදය නොමැතිවීම මෙම ප්‍රභවයෙන් ම ගලා ආවක් වන අතර, ප්‍රමාණවත් වාග්මය විනයක් හා කිරා මැන ගත් සංකල්ප රූප නොමැති තතු තුල, එය කවියාගේ ශෛලිය තුලින් තමා ම ප්‍රකාශයට පත් විය. (එම ශෛලිය තුල,) කරුණා රසයේ උණුසුම් ලෝ දිය සමඟ, යුගය සහ පන්තිය පිළිබඳ අනුචිත ලෙස උත්කර්ෂයට නැංවූ ඇඟෑලුම්කමක ආකල්පයක් හෝ, පරිබාහිර ලෝකයෙන් රිදුම් තැවුල් ලැබීමට එරෙහි ව කවියා ඉදි කළ ප්‍රතිබාධකයක් සේ පෙනීයන එහැමපිටින් ම නීරස විහිලුතහලු හෝ උරි’නුර ගැටී පැවතින.
ඇතැම්විට මෙය කලාත්මකව පමණක් නොව මනෝ විද්‍යාත්මකව පවා සාවද්‍ය සේ පෙනී යා හැකිය. එහෙත් එය එසේ නොවේ. සියදිවි නසා ගැනීමට පෙර ඔහු ලියූ සටහන පවා ලියා ඇත්තේ එම තානයෙන් ම ය. කවියා තමා ම පිඬු කොට දක්වන ” සිද්ධිය හමාරයි” යන වැකි කඩෙහි අභිප්‍රේතය එයයි. අපට මෙසේ කිව හැක: හෙන්රිච් හයින් පසුකාලීන රොමැන්තික කවියා යනු කාව්‍යමය භාවය හා උත්ප්‍රාසය (කාව්‍යමය ගුණයට එරෙහි ව, එහෙත් ඒ සමඟ ම කාව්‍යමය ගුණයේ ආරක්ෂාව සඳහා, උත්ප්‍රාසය) වූයේ යම් සේ ද, එලෙස ම ව්ලැඩිමිර් මායාකොව්ස්කි පසුකාලීන “අනාගතවාදියා” යනු කරුණා රසයේ හා අශිෂ්ටත්වයේ සම්මිශ්‍රණය (කරුණා ගුණයට එරෙහි ව, එහෙත් ඒ සමග ම එහි රැකවරණය ද සඳහා අශිෂ්ටත්වය) විය.
මෙම දිවි නසා ගැනීම පිළිබඳ ව අධිකරණමය මූලලේඛවල භාෂාවෙන් ලියවුනු නිල වාර්තාව – එය “ලේකම් කාර්යාංශයේ” දී සංස්කරණය කර ඉදිරිපත් කර ඇති පරිද්දෙන් – මෙසේ කියයි: “මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීමත්, කවියාගේ ප්‍රසිද්ධ කටයුතු හා සාහිත්‍යක කටයුතුත් අතර පොදු කිසිවක් හෝ නැත.” එනම්, එයින් කියවෙන්නේ, මායාකොව්ස්කිගේ චේතනාන්විත මරණය කිසිදු ආකාරයකින් ඔහුගේ ජීවිතය හා සම්බන්ධ නොමැති බවයි; නො එසේ නම්, ඔහුගේ ජීවිතය හා ඔහුගේ විප්ලවවාදී කාව්‍ය කෘත්‍යයන් අතර පොදු වූ කිසිවක් නොමැති බවයි. කෙටියෙන් ම කිවහොත්, පොලිස් වාර්තාවලින් ඔහුගේ මරණය වික්‍රමාන්විත ක්‍රියාවක් බවට හරවා ඇත. මෙය අසත්‍ය ය, අනවශ්‍ය ය, තකතීරු ය.
“දෛනික ජීවිතයේ හැපී නෞකාව බිඳී ගියේයැ”යි සියදිවි නසා ගැනීමට පෙර ලියා තැබූ සිය අභ්‍යන්තර පෞද්ගලික ජීවිතය පිළිබඳ කවි තුල මායාකොව්ස්කි කියා සිටී. මෙහි අදහස වන්නේ, “ප්‍රසිද්ධ කටයුතු හා සාහිත්‍යක කටයුතු” දෛනික ජීවිතයේ වැලි පවුරු මතින් එතෙර වීමට තරම් ප්‍රමාණවත් ලෙස ඔහු ඔසොවා ලීම නැවතී ඇති බව, හා ඒවා උසුලා ගත නොහෙන පෞද්ගලික කම්පනයන්ගෙන් ඔහු රැක ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. ඉදින්, ඒවා (හා සියදිවි නසා ගැනීම) අතර “පොදු කිසිවක් හෝ නැතැ”යි ඔවුන් කියන්නේ කෙසේද”!
“නිර්ධන පන්ති සාහිත්‍යය” පිළිබඳ වර්තමාන නිල දෘෂ්ටිවාදය පදනම් වී ඇත්තේ සංස්කෘතිකමය පරිනතවීමේ රිද්මය හා ඒ සඳහා අවශ්‍ය වන කාල පරිච්ඡේදයන් සම්බන්ධයෙන් පවත්නා පරිපූර්ණ අනවබෝධයයි. – මෙහි දී, ආර්ථික නිම්වළලු තුල සේ ම කලාත්මක විෂය පථය තුල ද අපි එකම දේ දකිමින් සිටිමු – එකම එක පස් අවුරුදු සැළසුමක කාල සීමාව තුල සියලු මානව ජයග්‍රහණයන් “පරිපූර්ණ ලෙස සාමූහිකරණය” කිරීමක් පන්නයේ යමක් වූ “නිර්ධන පන්ති සංස්කෘතිය” සඳහා අරගලය, ඔක්තෝබර් විප්ලවයේ ආරම්භයේ දී මනෝරාජික විඥානවාදයක ලක්ෂණ ගත් අතර, ලෙනින් මෙන් ම මෙම ලිපියේ කතුවරයා (ට්‍රොට්ස්කි) ද විසින් එය ප්‍රතික්ෂේප කෙරුනේ හරියට ම එකී පදනම මත ය.
මෑත වසරවල දී එය හුදෙක් ම කලාව මත නිලධරවාදී අණ පැනවීමේ ක්‍රියා පිළිවෙලක් බවට, හා කලාව හිඟමනට ඇද දැමීමේ ක්‍රමයක් බවට පත් වී ඇත. ධනේශ්වර සාහිත්‍යයේ අදක්ෂයන් වන සෙරෆිමොවිච්, ග්ලැඩිකොව් වැන්නන් හා අන්‍යයන් මෙම ව්‍යාජ-නිර්ධන පන්ති සාහිත්‍යයේ විශාරදයන් ලෙස ප්‍රකාශයට පත් කෙරී ඇත. ඇවර්බක් වැනි වැදගැම්මකට නැති පුස්සන් ….. “නිර්ධන පන්ති”(!) සාහිත්‍යයේ බෙලින්ස්කිවරුන් ලෙස බෞතීස්ම කෙරේ. නිර්මාණාත්මක ලේඛනයේ විෂය පථය තුල ඉහළතම නායකත්වය, මානව ස්වභාවය තුල නිර්මාණාත්මක වන සියල්ලේ ජීවමාන නිෂේධනය වන මොලොටොව් අතට පත් කර ඇත. තතු නරකින් වඩාත් නරක අතට හරවමින්, මොලොටොව්ගේ ප්‍රධාන සහායකයා ලෙස පත් කර ඇත්තේ අන් කවරෙකු හෝ නො ව ගුසෙව් ය. ඔහු බොහෝ ක්ෂේත්‍රවල ප්‍රවීණයෙකු මුත්, කලාව නම් ඒ ක්ෂේත්‍ර අතර නොවේ.
මෙම තෝරාගැනීම් විප්ලවයේ නිල විෂය පථ තුල නිලධරවාදී පරිහානිය සමඟ මුළුමනින් අනුකූල වේ. මොලොටොව් හා ගුසෙව් සාහිත්‍යය මත ගොඩ නඟා ඇත්තේ සාමූහික මලෂ්කින්වරයෙකුගේ*- එනම්, එබී ගිය නාසයකින් යුත් චාටුකාර “විප්ලවවාදියෙකුගේ” – අශ්ලීල අශාස්ත්‍රීයත්වය යි. (*මලෂ්කින් යනු දහනව වන සියවසේ අගභාගයේ රුසියාවේ විසූ අසාර්ථක සංගීත රචකයෙක් හා සංගීත අධ්‍යක්ෂක වරයෙකි. ලිපිය අවසානයේ දැක්වෙන පරිවර්තකගේ සටහන බලන්න)
නව සාහිත්‍යයක හා සංස්කෘතියක මූලිකාංග එකෙලි කිරීම සඳහා කැඳවනු ලැබූ, නිර්ධන පන්ති තරුණයන්ගේ හොඳම නියෝජිතයන් තබා ඇත්තේ ස්වකීය පෞද්ගලික සංස්කෘතික-විහීන බව සියලු දේ වල මිනුම් දණ්ඩ බවට පරිවර්තනය කරන මිනිසුන්ගේ ආඥා චක්‍රය යටතේ ය.
සැබෑවකි. මායාකොව්ස්කි පැරණි රුසියානු සාහිත්‍යයේ අවසාන පරපුරේ සෙසු කිසිවෙකුට හෝ වඩා නිර්භීත හා වඩාත් වීරෝදාර ගුණයෙන් යුතු විය. එතෙකුදු ඔහු එම සාහිත්‍යයේ පිළිගැනීමට ලක් වීමට අපොහොසත් වූ අතර, විප්ලවය සමඟ බැඳුම් ඇති කර ගැනීමේ මං සොයා බැලීය. සත්‍යයකි. වෙනත් කිසිවෙකුට හෝ වඩා සම්පූර්ණ ලෙස ඔහු එකී බැඳුම් සාක්ෂාත් කර ගත්තේය. එහෙත් ප්‍රගාඪ අභ්‍යන්තර විදාරණයක් ඔහු වෙත ශේෂ ව පැවතින. පරිපූර්ණ ආකෘතීන් සොයා යන කලාවට සෑම විටම දුෂ්කරතා ගෙන එන්නා වූ විප්ලවයේ ප්‍රධාන ප්‍රතිවිරෝධතා, අනුකාරකයන් විසින් මුල’සුන උසුලන ලද පසුගිය වසර කිහිපයේ පරිහානිය සමඟ එක් විය.
දෛනික ජීවිතයේ අපවිත්‍ර කෘත්‍යයන් තුල “යුගයට” සේවය කිරීමට සූදානම් ව සිටි මායාකොව්ස්කිට, ව්‍යාජ විප්ලවවාදී නිලධරය පිළිබඳ පිළිකුලක් ඇතිවීම නොවැලැක්විය හැකි නමුදු, ඔහු එය න්‍යායික ව වටහා ගැනීමට අසමත් වූ අතර, එබැවින් එය පරාජය කිරීමේ මඟ සොයා ගැනීමට ඔහුට නොහැකි විය. කවියා, “කුලියට ගත නොහැක්කෙකු” ලෙස නිවැරදි ව තමා ගැන කථා කරයි. දීර්ඝ කාලයක් ඔහු ඇවර්බක්ගේ ඊනියා නිර්ධන පන්ති සාහිත්‍යය පිළිබඳ පරිපාලන සාමූහිකයට ඇතුලත්වීමට එකහෙලා විරුද්ධ විය. ඉන්පසු එළැඹුණේ LEF (කලාවේ වාම පෙරමුණ) ධජය යටතේ, නිර්ධන පන්ති විප්ලවය සඳහා භීතියෙන් නොව හෘදය සාක්ෂියෙන් සටන් වදින, ආවේශිත කුරුස යුද්ධ භටයන්ගේ අනුක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා යලියලිත් දැරුනු ප්‍රයත්නයන් ය. එහෙත් “මිලියන එකසිය පනහ” (මෙය මායාකොව්ස්කිගේ කවියක මාතෘකාවයි. එකල [1919-20] රුසියාවේ විසූ මිලියන එකසිය පනහක ජනයා හා ඔවුන්ගේ විප්ලවවාදී සාරය මෙම කවියට විෂයය විය) මත එම විප්ලවයේ රිද්මය ආරෝපණය කිරීමට LEF සත්තකින් ම අසමත් විය. බැස යමින් ගලා ගිය විප්ලවයේ රළ පහරවල ගතිකයන්, උක්ත ප්‍රයත්නයන්ට නොසරිලන තරමේ වඩාත් වැඩි ප්‍රගාඪත්වයකින් ද වඩාත් වැඩි බරකින් ද යුතු විය.
මෙම වසරේ (1930) ජනවාරියේ, පැවැති තතුවල තර්කනය හමුවේ පරාජය වූ මායාකොව්ස්කි, තමාට ම එරෙහිව ප්‍රචණ්ඩත්වයේ යෙදෙමින්, අවසානයේ VAPP සංවිධානය(නිර්ධන පන්ති ලේඛකයන්ගේ සියලු සංගම්වල සම්මේලනය)ට ඇතුළු විය. ඒ ඔහුගේ පණ නසා ගැනීමට මාස දෙකකට හෝ තුනකට ඉහත දී ය. එහෙත් එය කිසිවක් ලබා නොදුන් අතර, බොහෝ විට සිදු වන්නට ඇති ලෙස, ඔහුට යමක් අහිමි කළා ද විය යුතුය. කවියා, සිය “නෞකාව” පතුලට ම ගිල්වා දමමින් පෞද්ගලික හා ප්‍රසිද්ධ යන දෙ ආකාරයේ ම “දෛනික ජීවිතයේ” ප්‍රතිරෝධයන් අතර සිය ගිණුම දිය කර හල කල්හි, “කුලියට ගත හැක්කන්” වූ නිල බලධාරී සාහිත්‍යයේ නියෝජිතයෝ, එය “සිතා ගැනීමට හෝ නොහැක්කක්, වටහා ගත නොහැක්කක්” ලෙස නිවේදනය කළෝය. එයින් පෙන්නුම් කෙරුනේ හුදෙක් මායාකොව්ස්කි මහා කවියා ඔවුන්ට “වටහා ගත නො හැකි” බව පමණක් නො වේ; එමෙන් ම යුගයේ ප්‍රතිරෝධයන් ඔවුන්ට “සිතා ගැනීමට හෝ නො හැකි” බවත් ය.
අනිවාර්ය කරන ලද, මතවාදී වශයෙන් නිසරු වූ නිර්ධන පන්ති ලේඛකයන්ගේ නිල සංගමය ගොඩ නඟන ලද්දේ ආවශ්‍යක හා අව්‍යාජ විප්ලවවාදී සාහිත්‍ය කණ්ඩායම්වලට එරෙහි ව දියත් කළ සංහාර මාලාවක් මත ය. නිසැකව ම එය කිසිදු සදාචාරාත්මක බදාමයක් සම්පාදනය කර නැත. ඉදින් සෝවියට් රුසියාවේ මහා කවියාගේ නික්මයාම ගැන එම කෙළවරෙන් නිකුත් කෙරෙන්නේ, “කිසිදු සම්බන්ධයක් නැත, පොදු කිසිවක් හෝ නැත” යන නිල බලධාරීන්ගේ ව්‍යාකූල ප්‍රතිචාරය පමණක් නම්, එය නව සංස්කෘතියක් “හැකි කෙටි ම කාලය තුල” ගොඩ නැඟීම සඳහා අල්පේච්ඡ වැඩි ය; ඉතාමත්, ඉතාමත් අල්පේච්ඡ වැඩිය.
මායාකොව්ස්කි “නිර්ධන පන්ති සාහිත්‍යයේ” පූර්වගාමියෙකු නො වූයේ, හා ඔහුට එවැන්නකු වීමට නො හැකි වූයේ, එක් රටක සමාජවාදය ගොඩ නැඟීමට නො හැකි හේතුව නිසා මය. එහෙත් සංක්‍රමනීය යුගයේ සටන් තුල ඔහු වචන අවිය කොට සටන් වැදුණු වඩාත් ම ධෛර්ය සම්පන්න සටන්කරුවෙක් වූ අතර, නිසැකව ම නව සමාජයේ සාහිත්‍යයෙහි පෙර ගමන්කරුවා බවට පත් විය.
*********************************************************************************
පරිවර්තකගේ සටහන:
මලෂ්කින්වරයෙකු යන ට්‍රොට්ස්කිගේ සඳහන වඩාත් හොඳින් වටහා ගැනීමට, ප්‍රකට සංගීතඥ හා සංගීත අධ්‍යක්ෂ ප්යෝතර් ඉලීච් චයිකොව්ස්කි, මලෂ්කින් පිළිබඳව ලියූ පහත සඳහන කියැවීම වටී:
“මේ තාක් කල් මලෂ්කින් මහතා සංගීත රචනය සඳහා දැක්වූ ප්‍රයත්න අනතුරු රහිත ලාලසාවකට වැඩි යමක් නොවේ. එහෙත් මෙම ලාලසාවේ වර්ධනය අවහිර කිරීමට යමක් නො කළහොත් මේ නොමඟ යැවුණු සංගීත රචනයේ ලෝලියාට කවර කණගාටුදායක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේදැයි දන්නේ දෙවියන් පමණෙකි. වැදගත් කරුණ වන්නේ, මලෂ්කින් මහතාගේ විශ්මයජනක කෞශල්‍ය හීනතාවය තිබියදී ම, ඔහුගේ නීරස හා ඉබාගාතේ යන සංගීතමය උතුරා යාම් තුල කොයි හැටි වෙතත් යමෙකුට කිසියම් ගුරුකුලයක් ගොඩ නැඟීමක් හා න්‍යායාත්මක දැනුමක පැවතීමක් පෙනී යා හැකි වීමයි. මේ නිසා ඔහු සංගීත රචකයෙකු ලෙස තම මනඃකල්පිත හැකියාවන් පරිසමාප්ත කිරීමට වෙහෙසී වැඩ කරන බව පෙනී යයි.”
socialist.lk වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.