රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා
ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් වටය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එහි ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාගෙන් කෙනකු පෙරෙමුණ ගනු ඇති බව නිසැකය. රාජපක්ෂ පවුලේ තරුණ නියෝජිතයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඇතුළු අනෙකුත් අපේක්ෂකයන් 35 දෙනාද තරගයේ සිටිති. ඔවුහු පවා බලාපොරොත්තු සහගත සිටිති. සැළකිව යුතු ඡන්දදායකයන් පිරිසක් සිය තීරණය නිශ්චිතව ගෙන නොමැති බව පෙනෙන්නට තිබුණු අතර, අපේක්ෂකයන්ගේ බලාපොරොත්තුව වන්නේ, එම ඡන්ද ඔවුන් වෙත පැමිණෙනු ඇති බවයි. ඇත්ත වශයෙන්ම, මෙම මැතිවරණයේදී “echo chamber” මූලධර්මය උපරිමයෙන් ක්‍රියාත්මක වේ.
සමාජ මාධ්‍යවල “echo chamber” මූලධර්මය යනු පරිශීලකයන් ප්‍රධාන වශයෙන්, තම පවතින විශ්වාසයන් තහවුරු කරන මත හා තොරතුරුවලට නිරාවරණය වන සංසිද්ධියයි. මෙය ඇල්ගොරිතම සහ පරිශීලකගේ එදිනෙදා ක්‍රියාකාරකම් මත සිදුවේ. මෙය විවිධ දෘෂ්ටිකෝණ වලට නිරාවරණය වීම සීමා කරමින්, සමාන අදහස් ඇති අන්තර්ගතයන්ගේ ස්වයං-ශක්තිමත් වන චක්‍රයක් නිර්මාණය කරයි. වෙනත් වචනවලින් කිවහොත්, එක් අපේක්ෂකයකුට වඩා ප්‍රිය කරන අය, සමාන මනසක් ඇති පුද්ගලයන් හමුවී සිය අපේක්ෂකයා සහ පොදු අනාගතය ගැන සාකච්ඡා කිරීමට නැඹුරු වන අතර, එය ඔවුන්ගේ කැමති අපේක්ෂකයා ජයග්‍රාහකයා වනු ඇතැයි යන විශ්වාසයට ඔවුන් ගෙන යයි. මේ විශ්වාසයන්හි වලංගුභාවය තහවුරු කර ගැනීමේ දුෂ්කරතාවය තවදුරටත් සංකීර්ණ වන්නේ ශ්‍රී ලංකාවේ විශ්වසනීය මහජන මත විමසුම් ආයතන නොමැති වීමයි. කීර්තිමත් මත විමසුම් ආයතන ඇති රටවල පවා, පුරෝකථනය කළ ප්‍රතිඵල බොහෝ විට අවසාන ප්‍රතිඵලයෙන් වෙනස් වී ඇත.
මෙම ජනාධිපතිවරණය අතීතයේ පැවති ඕනෑම ජනාධිපතිවරණයකට වඩා වෙනස් වන්නේ එය ප්‍රධාන ප්‍රවාහයේ විශාලතම දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු අතර නොව, එකිනෙකාට සමානව තරඟ කරන අපේක්ෂකයන් තිදෙනෙකු අතර පැවැත්වෙන බැවිනි. මෙම මැතිවරණය අනන්‍ය වන්නේ, පසුගිය මැතිවරණවලදී ඡන්දයෙන් තුනෙන් එකක් හෝ හයෙන් එකක් පමණක් ලබාගත් දේශපාලන පක්ෂයක් හදිසියේම ප්‍රමුඛ තරඟකරුවන් අතරට පත්වී ඇති, නැතහොත් ප්‍රමුඛයකු බවට පත්ව ඇති නිසාය. මෙය පිළිබිඹු කරන්නේ තම සහායකයන්ට සහ රටට ප්‍රතිඵල ලබාදීමට අසමත්වීම හමුවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල බිඳවැටීමයි. ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ඡන්දදායකයන්ගේ කලකිරීම සහ විකල්පයකට ඡන්දය දීමේ අදහස ද පිළිබිඹු කරන්නේ, පුළුල් ලෙස ජනතාව තමන් ප්‍රතිසංස්කරණය කිරීමට ඇති කැමැත්තයි.
මඟහැරුණු අවස්ථා
1948 දී නිදහස ලබන විට, ශ්‍රී ලංකාව පෙරදිග ස්විට්සර්ලන්තය ලෙස හැඳින්විණි. 1960 ගණන් වන විටත් රටේ ආර්ථිකය සහ සාමාන්‍ය ජීවන තත්ත්වය සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවල් සමඟ සමාන මට්ටමක පැවතිණි. අද දින, එම රටවල් ශ්‍රී ලංකාවට සාපේක්ෂව සංසන්දනය කළ නොහැකි සමෘද්ධිමත් හා සංවර්ධිත මට්ටමක පවතී. 1980 ගණන්වලදී ශ්‍රී ලංකාවට වඩා බොහෝ පසුපසින් සිටි වියට්නාමය වැනි රටවල් දැන් විශාල පරිමාණ විදේශ ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධනය සමඟින්, ඔවුන්ගේ ආදායම් සහ ජීවන තත්ත්වය අතින් ඉදිරියට ගොස් ඇත. 2022 දී ආර්ථික අර්බුදයෙන් පසු, වියට්නාමයේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4164 ක් වූ අතර, ශ්‍රී ලංකාවේ එය අමෙරිකානු ඩොලර් 3354 ක් විය. ශ්‍රී ලංකාවේ වර්තමාන ඒකපුද්ගල ආදායම වසර 10කට පෙර තිබූ තත්ත්වයෙන් වෙනසක් නැති අතර භාණ්ඩ හා සේවා මිල ගණන් දෙගුණ හෝ තෙගුණ වී ඇත.
2022 දී රට අත්විඳි ආර්ථික කඩාවැටීම සහ ඉන් අනතුරුව ඇති වූ ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ සුවිශාල නැගීම සමඟ සම්පූර්ණයෙන්ම සම්බන්ධ වේ. ආර්ථික කඩාවැටීම, රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට සහ ආර්ථික බංකොලොත්භාවයෙන් ආරක්ෂා කිරීමට ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂවල අසමත්කම පිළිබිඹු කරන්නක් බවට පත්ව ඇත. අරගලය විරෝධතා අතරතුර ‘පද්ධති වෙනස’ යන ප්‍රධාන සටන් පාඨය, දූෂණය අවසන් කිරීම සහ ආර්ථික අපරාධ සඳහා වගවීම සඳහා වූ ඉල්ලීම් වලින් ශක්තිමත් විය. මෙම මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ වැදගත්ම අභිප්‍රේරණයන්ගෙන් එකක් වනු ඇත්තේ දූෂණය අවසන් කිරීම සහතික කිරීමයි. රටේ සම්පත් කොල්ලකෑමේ යෙදුණු අයට දඬුවම් ලැබේද, නැතහොත් අවම වශයෙන් නව නායකයන් එවැනි භාවිතයන් ප්‍රතික්ෂේප කර ඒවාට නිහඬ ඉවසීමක් පෙන්වන්නේද යන්න දැක ගැනීමට ඔවුහු බලා සිටිති.
ශ්‍රී ලංකාවේ පසුබෑමේ මූලිකම හේතුව වී ඇත්තේ, රටේ වියදම් එහි ආදායම සමඟ සමතුලිත කිරීමට දීර්ඝ කාලීනව අසමත් වීමයි. මැතිවරණ තරඟයේ ස්වභාවය හේතුවෙන්, දේශපාලන පක්ෂ රටට දැරිය හැකි ප්‍රමාණයට වඩා ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලබාදීමට පොරොන්දු වීමට පොළඹවා ඇත. අතීතයේ සඳෙන් සහල් ගෙනඒමේ පොරොන්දුවට පදනම වූයේ ජනතාව පෝෂණය කිරීම සඳහා විදේශ රටවලින් ණය ලබා ගත හැකි යැයි උපකල්පනය කිරීමයි. රැකියා විරහිතයන් සඳහා රජය විසින් රැකියා සපයන ලද අතර, අලාභදායක ව්‍යාපාර සඳහා බොහෝ සහනාධාර ලබාදෙන ලදී. කාලයක් ශ්‍රී ලාංකික ජනතාව ඉහළ ඒකපුද්ගල ආදායමක් සහිත වෙනත් බොහෝ රටවල් අභිබවා ගිය ඉහළ භෞතික ජීවන තත්ත්වයක් භුක්ති වින්දහ. එහෙත් මෙය තිරසාර නොවූ අතර 2022 දී ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීමේ ප්‍රතිවිපාක පැහැදිලි විය.
එක්ව කටයුතු කිරීම
රජයේ අධික වියදම් දැරීමේ ගැටලුව උග්‍ර කරමින් ක්‍රමයෙන් වර්ධනය වන අසීමිත දූෂණය බොහෝ අවස්ථාවලදී අධික වියදම් දැරීමට ප්‍රාථමික හේතුව බවට පත්ව ඇත. අරගලය සමයේ ‘පද්ධති වෙනස’ සඳහා වූ ඉල්ලීම, රටේ මූල්‍ය බංකොලොත්භාවය සහ පාලක දේශපාලනඥයන් හා ව්‍යාපාරික සහචරයන් විසින් ආර්ථිකය කොල්ලකෑමේ ප්‍රතිවිපාක අතර ඇති සම්බන්ධතාවය පොදු ජනතාව අවබෝධ කර ගැනීමත් සමඟ අඛණ්ඩව පවතී. අද වන විට දූෂණය පද්ධතියට එතරම් බැඳී ඇති බැවින්, පොදු මහජනතාවද එහි සහභාගීකරුවන් බවට පත්ව ඇත. අතීතයේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනයෙන් ඉතාම දුරස්ථ වූ ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ලබාදීමට වැඩි පිරිසක් කැමැත්තක් දැක්වීම සමාජය තුළ පැතිර ඇති මෙම දූෂණය ප්‍රතික්ෂේප කිරීමේ සලකුණකි.
නිදහස ලබන විට ශ්‍රී ලංකාව ‘පෙරදිග ස්විට්සර්ලන්තය’ ලෙස ද හැඳින්වූයේ, රටේ දේශපාලන නායකයන්ට බහු ජාතික හා බහු ආගමික ප්‍රජාවන් දේශපාලනිකව බෙදන්නට වඩා එක්සත් කරන ආකාරයකින් පාලනය කළ හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුව මතය. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. ඉන්පසු ගෙවීගිය දශකවලදී රට ජාතිවාදී-ආගමික ගැටුම්වලට තල්ලු වූ අතර, එය ත්‍රස්තවාදය සහ යුද්ධය දක්වා වර්ධනය වී භයානක ලෙස මිනිස් ජීවිත සහ ආර්ථික සම්පත් දෙකම විනාශ කළේය. මෙය සිංගප්පූරුව, දකුණු කොරියාව සහ වියට්නාමය මෙන් ශ්‍රී ලංකාව සංවර්ධන මාවතට ගෙන යා හැකිව තිබූ විදේශ ආයෝජන අවහිර කර ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවගේ තේරීම විය යුත්තේ අතීතයේ මෙම අසමත්වීම් ජයගැනීමට හැකි සහ ඊට කැමති පුද්ගලයා වේ.
ප්‍රමුඛ ජනාධිපති අපේක්ෂකයන් තිදෙනා එක් එක් අයගේ විවිධ ආකාරයෙන් සුවිශේෂී නායකයන් වන අතර, මින් පෙර නොවූ විරූ ලෙස රට නව දිශාවකට ගෙනයෑමට නායකත්වය ලබාදීමේ හැකියාව ඔවුන්ට ඇත. ඔවුන් සැමට, තමන්ගේම ක්‍රමවේදයකට, ඔවුන් වටා සිටින අය අතර ඇති දූෂණයේ සහ ප්‍රචණ්ඩත්වයේ උරුමයන් ජය ගැනීමට සිදුව තිබේ. රටේ අභියෝග ජයගැනීම සඳහා රට එක්සත් කිරීමට දේශපාලන, ජාතික, පන්ති සහ අනෙකුත් බෙදීම් හරහා කටයුතු කිරීමට ඔවුන් සිය කැපවීම පෙන්විය යුතුය. මේවා නම් ජාතික ආදායම සහ වියදම අතර නොගැලපීම සමනය කිරීම, එමගින් පරිභෝජන අරමුණු සඳහා නොව සාධාරණ ආයෝජන අරමුණු සඳහා පමණක් ණය ගැනීමයි. දෙවනුව, දූෂණයේ ගැලී නොසිට දූෂණ ගැටලුව විසඳීමයි. තෙවනුව, ස්විට්සර්ලන්තය මෙන්, අතීතයේ තුවාල සුවකරන සහ සියලු ප්‍රජාවන්ට ඉඩ ලබාදෙන ආකාරයෙන් ජාතික-ආගමික ගැටුම් විසඳීමට හැකිවීමයි