රාජ්‍ය මාධ්‍ය ආයතන තුනකට ප්‍රධානීන් පත් කරයි

නව ජනමාධ්‍ය ඇමති විජිත හේරත් විසින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට නව සභාපතිවරු තිදෙනකු පත් කර තිබේ.

ඒ අනුව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත් කර ඇති අතර ස්වාධීන රූපවාහිනිය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත වෙදමුල්ල පත් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදිත ගයාෂාන් පත් කර ඇත.

ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත් කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙකි. එමෙන්ම ඔහු ජනසන්නිවේදනය වෙනුවෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති සහ දර්ශනසූරී උපාධිධාරියෙකි.

ස්වාධීන රූපවාහිනිය සඳහා පත් කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත වෙදමුල්ල, විශේෂාංග ලේඛකයෙක්, ජනමාධ්‍යවේදියෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම ඔහු ජාත්‍යන්තර සබඳතා තුළ දේශපාලන විද්‍යාව වෙනුවෙන් ශාස්ත්‍රවේදී විශේෂ උපාධිධාරියෙකු වන අතර සංචාරක ආර්ථික විද්‍යාව සහ හෝටල් කළමනාකරණය වෙනුවෙන් වූ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. මේ වනවිට ඔහු කළමනාකරණය වෙනුවෙන් ආචාර්ය උපාධියටද සූදානම් වෙමින් සිටී.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පත් කර ඇති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන උදිත ගයාෂාන් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කලා අධ්‍යයන අංශයේ පීඨාධිපති ලෙස කටයුතු කර තිබේ. ඔහු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපතිද වේ.

lankatutha .com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *