”වමේ බලයක් සඳහා” යන සටන් පාඨය තහවුරු කළ යුතු ජනාධිපතිවරණයක්
ප්‍රියන්ත සිල්වා විසිනි.
2024 ජනපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාරදී අවසන්ය.මෙම අපේක්ෂකයින් අතරින් 12 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ප්‍රධාන අපේක්ෂකයින්ගේ සහයට ඉදිරිපත්වන ‘ඩමි’ අපේක්ෂකයින් යැයි සමාජයේ කතා බහට ලක් වේ.මැතිවරණ නිරීක්ෂකයින් බොහෝ දෙනෙකුගේ අදහසද එයයි.
මෙම මැතිවරණයේදී මෙතෙක් පැවති දේශපාලන රටාවෙන් පැහැදිලිව වෙනස් වූ මතවාදයක් සමාජයට මුදාහරිනු ඇතැයි රටේ ජනතාව බලාපොරොත්තුව සිටිති.එසේ වුවද ප්‍රධාන දහරාවේ අපේක්ෂකයින්ගේ අදහස් උදහස් හා මැතිවරණ ප්‍රකාශනවලින් මෙම අභිලාෂයන් ඉදිරියට පැමිණ ඇතිද යන්න විමසිලිමත් විය යුත්තකි.
පවත්නා පාලනයේ අයුක්තිය හා මීට පෙර පාලනයේ අගතිගාමිත්වය නිසා පීඩාවට පත් වූ ජනතාවගේ බලාපොරොත්තු ඉහල නංවන වැඩ සටහන් සමස්ත මැතිවරණ ක්‍රියාකාරිත්වයේ පැහැදිලි වීමක් නොමැති අතර වමේ පක්ෂ ලෙස හඳුන්වනු ලබන කණ්ඩායම්වලින්ද එවැනි ප්‍රබල මතු වීමක් නොමැති අතර එබඳු යම් ප්‍රකාශනයක් ජන සමාජය වෙත කාන්දුවන්නේ ජන අරගල සන්ධානයෙනි.
පසුගිය අරගලයෙන් පැන නැගුණු ජනතා අයිතියේ ප්‍රකාශනයන් ඒ තුල රැඳී තිබීම එක්තරා දුරකට ජනතා බලාපොරොත්තු දැල්වීමකි.මෙතෙක් කාලයක් මෙරට දේශපාලනයේ මැතිවරණ සටනේ පැවතියේ ආණ්ඩු පෙරළි ගැන සාකච්ඡාවකි.නමුත් ක්‍රම පෙරළියක් ගැන සාකච්ඡාවට ලක් වූයේ නැත.නමුත් අවශ්‍ය වන්නේ එයයි.
මෙරට නිදහසින් පසු 76 වසරක දේශපාලනයේ මතු නොවූ,එහෙත් පසුගිය අරගලයෙන් පැන නැගි මතවාදයන් ගණනාවක් ඇත.ජනතා බලයක්,පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් යන්න අති මූලික සංකල්ප ලෙස අරගලකාරී ක්‍රියාන්විතයෙන් ඉදිරියට ආවේය.ජන බලයක් ගොඩනැගීමේ ප්‍රයත්නයේදී මෙම අදහස් පණ ගැන්වීම මිස වැහැරී යාමට ඉඩ දීම සුදුසු නොවේ.
එම අදහස් දේශපාලන එකඟතාවයන් වටා ගොනු නොවීමද පසුගාමී ස්වරූපයන් නිර්මාණය කළේය.මේ ස්භාවය අරගලයේ මූලික සටන් පාඨය ලෙස සැළකූ’ go home gota’යන්නෙන් නැවතුනි.එතනින් ඉදිරියට යාමේ මාවත විවර කර ගැනීමට නොහැකි විය.ඊට හේතු වූයේ ශක්තිමත් දේශපාලන ප්‍රවාහයක පිටු බලය නොලැබීමයි.මෙම ජනපතිවරණයේදී එම වෑයම යම්තාක් දුරට හෝ ගොනුකර ගැනීමට හැකි වේද යන්න සැළකිය යුත්තකි.
මෙම ප්‍රවාහය දේශපාලන අර්ථයක සවිබල ගැන්වීමේදී ඒ තුල සක්‍රීය දායකත්වය සැපයිය යුතු අංශ ගණනාවකි.ඒ අතරින් කම්කරු පංතියේ සටන්කාමී ක්‍රියාකාරිත්වය ප්‍රමුඛය.පීඩාවට පත්වන ග්‍රාමීය ගොවි,ධීවර හා සුලු කර්මාන්ත කරුවන්ගේ දායකත්වය මෙම දේශපාලන ක්‍රියාන්විතයේ අවශ්‍ය අංගෝපාංගයෝ වෙති.මේ වන විටද ධනේශ්වරයේ හස්තයට ග්‍රහණය වී සිටින පීඩිත ජාතීන් හා වතුකරයේ කම්කරු ජන කොටස් මෙම ක්‍රියාකාරිත්වයන්ට ළඟා කර ගැනීමද අතිශයින්ම වැදගත්ය.
කෙසේ නමුත් වත්මන් ලාංකේය දේශපාලනයේ බෙදීම් ගණනාවක් වර්ධනය වෙමින් පවතින බව බැහැර කළ නොහැක.පංතිමය දේශපාලන මතවාදය ඉහලට දැමීමේ අවශ්‍යතාවය මේ මොහොතේ පැනනැගී ඇත.මෙම ජනපතිවරණයේදී ,මෙරට පාලනය සලිත කිරීමට තරම් හේතු වූ අරගලයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ දේශපාලකයින් නැවතත් ජනතාව අතරට පැමිණ ඇත.
ඔවුන් සන්ධානගත වෙමින්,
පෙරමුණු සකස් කරමින් ජනපතිවරණයට ඉදිරිපත් වී මේ වංගු දමමින් සිටින්නේ නැවත පැවති රටාවට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට මිස වෙනත් අරමුණකට නොවන බව පැහැදිලිය.මෙම ස්භාවය මැනවින් වටහා ගැනීම ප්‍රමුඛ වී ඇත.පසුගිය 2019 ජනපතිවරණ සටනේදී මින් පෙර මැතිවරණවලදී ප්‍රකට නොවූ සටන් පාඨයක් හඬ නැගුණි.එනම් පැසිස්ට්වාදයට එරෙහි වීමේ සටන් පාඨයයි.
මෙහිදී දක්නට ලැබුණු ප්‍රචලිතම ප්‍රකාශනය වූයේ ‘ප්‍රජාතන්ත්‍රිය පෙළ ගැස්ම ‘සවිමත් කළ යුතුය යන්නයි. ප්‍රධාන පෙළේ සටන්කාමී වමේ පක්ෂ හා නායකයෝ එක පෙළට මෙම ක්‍රියාන්විතයට අවතීර්ණ වූහ.නමුත් එවැනි පැසිස්ට්වාදී මුහුණුවරක් මතු වූයේද නැත.එබඳු ස්වරූපයක බලවත් මතුවීමක් එම අවස්ථාවේ නොපැවතුණු බවට බොහෝ විචාරකයෝ අදහස් දැක්වූහ.විවිධාකාර විවේචන ,වාද විවාද මෙහිදී මතු කෙරුණි.එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් කිරීමේ ක්‍රියාන්විතය දියත්වුණි.කම්කරු පංති දේශපාලනය යටපත් විය.
අනතුරුව පැවති මහා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රිය රාමුව පුලුල් කිරීමේ නියමුවා ලෙස ඉදිරියට ගෙන ආවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය.එහි පරාජිත ප්‍රතිඵල ජන සමාජයට වහනය වීමට වැඩි කලක් ගත වූයේ නැත.මෙම ප්‍රකාශනයන් හා බද්ධ වී සිටි වාමාංශය බිඳ වැටුණේ තියුණු විවේචන ගණනාවක්ද සමගිනි.ඉන් පසු සිදු වූයේ ප්‍රජාතන්ත්‍රීය රාමුව පුලුල් වීමක් නොව තුනී වී යාමකි.පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් මෙම අයුක්ති සහගත ක්‍රියාන්විත දියත් විය.2024 වසරේ ජනපතිවරණය ප්‍රකාශයට පත් වී ඇත්තේ මෙවැනි අත්දැකීම් සම්භාරයක් ද සමගිනි.
මෙය ලියුම්කරුගේ අදහස් මිස වෙබ් අඩවියේ අදහස නොවේ .