ව්‍යාජ නිදහසේ සිට හැත්තෑ හත් වසරක්- රාජ්‍ය මර්දනයේ, සමාජ පීඩනයේ සහ වර්ග භේදවාදයේ ඉතිහාසයක්

ව්‍යාජ නිදහසේ සිට හැත්තෑ හත් වසරක්- රාජ්‍ය මර්දනයේ, සමාජ පීඩනයේ සහ වර්ග භේදවාදයේ ඉතිහාසයක්
වසන්ත රූපසිංහ විසිනි

අද දින (පෙබරවාරි 4) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජනබලවේගය (ජාජබ) ආන්ඩුව කොලඹ නිදහස් චතුරස්‍රයේදී 77වන නිදහස් සැමරුම පවත්වයි. උලෙලේ තේමාව වන “ජාතික පුනරුදයට පෙලගැසෙමු” යන්නය. එහි අරමුනවී ඇත්තේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව “නව යුගයක්” උදාකරන බවට මවා පෙන්වීම යි.

පශ්චාත්-යුදකාලීන ගෝලීය සමථයේ කොටසක් ලෙස, බ්‍රිතාන්‍ය විජිත පාලනයේ අතවැස්සන්වූ ශ්‍රී ලාංකීය පාලක ප්‍රභූව අතට බලය මාරු කිරීම හෙවත් නාමික නිදහස සැමරීම සඳහා වැඩි පිරිසක් සහභාගී කරවා ගැනීමට ආන්ඩුවේ අරමුන බව ඇඟවුම් කරමින්, මෙවර “වැඩි ජනසහභාගීත්වයක්” සහිත ව නිදහස් උලෙල පැවත්වීමට කටයුතු යොදා තිබෙන බව ආන්ඩුව නිවේදනය කලේ ය. යෝධ සමාජ අර්බුදයක් මගින් පීඩාවට පත්ව සිටින බහුතර මහජනයා, වාර්ෂික ව පැවැත්වෙන මෙම ව්‍යාජ සන්දර්ශනයෙන් සීග්‍රයෙන් ඈත්වෙමින් සිටින බව ආන්ඩුව හොඳින් දැනුවත්‍ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පැන වූ ආඥාවන් දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින ආන්ඩුව, “රටේ වත්මන් ආර්ථික තත්වය සලකා බලා…අඩු පිරිවැයකින්” මෙවර උලෙල පැවත්වීමට කටයුතු යොදා තිබෙන බව කීවේ, මෙම ප්‍රහාරවලින් බැටකන මහජනයාගේ ඇසට වැලි ගැසීමේ අරමුනෙනි.

මෙම සැමරුම පිලිබඳ ආන්ඩුව කවර කතා කීව ද එය හුදෙක්ම පසුගිය ආන්ඩු පැවැත්වූ සැමරුම්වල ම අලුත් කොපියක් පමනි. ජවිපෙ, අධිරාජ්‍යවාදීන් විසින් අටවන ලද, බහුතරයේ අධිකාරිත්වය මුදුනේ තැබූ ‘ඒකීය රාජ්‍ය” හිස් මුදුනින් පිලිගත් පක්ෂයකි. ජාතීන් අතර වෛරය සහ ඉන්දියානු උපමහද්වීපය බෙදා වෙන්කිරීමේ බීජ එහි තැන්පත් කර තිබුනි. ගිය වසරවලට වඩා සංඛ්‍යාවෙන් අඩු යැයි කියමින් උලෙලට සම්බන්ධ කෙරෙන දහස් ගනන් මිලිටරි භටයෝ වර්ගබේදවාදී යුද්ධයේත් කම්කරු පන්තික විරුද්ධත්වය මර්දනයේත් සංකේතයෝ ය.

ආන්ඩුවේ හොරනෑව වන ජාතික රූපවාහිනිය, “නිදහසේ පුනරුදය සහ පුනරුදයේ නිදහස” මැයෙන් ඉදිරිපත් කල ඉරිදා උදෑසන වැඩසටහනට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි සහ තවත් ආන්ඩු ගැති කලා මන්ඩලයේ නිලධාරී දෙදෙනෙක් සම්බන්ධ වූහ. 1948 නිදහසේ ප්‍රෝඩාකාරී ස්වභාවය ගැන මුලුමනින්ම වසන් කල ඔවුන්ගේ මූලික අරමුන වූයේ ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ “සැබෑ නිදහස” උදාවනු ඇතය යන මිත්‍යාව තොරොම්බල් කිරීම ය.

“නිදහස ඇත්තටම නිදහස්ද?” යන නිවේදකයා ඇසූ ප්‍රශ්නයට “නැත”යි යනුවෙන් පිලිතුරු දෙමින් සංස්කෘතික ඇමති කීවේ, සංස්කෘතික, සමාජයීය හා නෛතික වෙනස්කම් හරහා තම ආන්ඩුව සැබෑ නිදහසේ අර්ථය තහවුරු කරනු ඇති බවයි. පසුගිය ආන්ඩු යටතේ එවැනි අවකාශයක් නොතිබූ බව ඇමතිවරයා කීවේ, අනෙක් ධනපති පක්ෂවලට විපරීත ව බ්‍රිතාන්‍යන්ගෙන් බලය කෙලින්ම ජවිපෙ අතට දුන්නේනම් හරියට මේ වනවිට ලංකාවට සැබෑ නිදහස උදා වී තිබෙනු ඇතයි යන්න ඇඟවීමට මෙනි!

අද දිනයේ දී ජනාධිපති දිසානායක හා අනෙකුත් පාලක ප්‍රභූවේ දේශපාලනඥයින් උක්ත වැඩසටහනට සමාන ව “පුනරුදය” නො එසේ නම් “ජාතියට නවයුගයක්” උදාකිරීමට ආන්ඩුව කැප වී ඇත්තේ කෙසේ ද යන්න ගැන උදම් ඇනීමට නියමිත ය.

එහෙත් ජවිපෙ දේශනා කරන මේ “පුනරුදයේ” ඇත්ත කුමක්ද? බලයට ඒමට පෙරාතු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යලි සාකච්ඡා කර සකස් කර ගන්නා බවට මුඛයේ එක පැත්තකින්ද එම වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාත්මක කරන බව එම මුඛයේම අනෙක් පැත්තෙන් ද දෙසා බාමින් ජවිපෙ/ජාජබ ආන්ඩුව හා එහි නායක ජනාධිපති දිසානායක බලයට පැමිනියෝ ය. බලය ගත් වහා ම ජනතාවට දුන් පොරොන්දු කුනු කුඩයට දැමූ දිසානායක, අයිඑම්එෆ් කප්පාදු වැඩසටහන මුලුමනින්ම ක්‍රියාවට දමන්ට පටන්ගෙන ඇත.

ඒ අයිඑම්එෆ් නය කොන්දේසියක් වන රාජ්‍ය ආයතන 400කට අධික ප්‍රමානයක් එක්කෝ සම්පූර්නයෙන් පෞද්ගලීකරනය කිරීමට නැති නම් අර්ධ වසයෙන් පුද්ගලීකරනය කිරීමට ආන්ඩුවට කැපව සිටී. මෙහි ප්‍රතිපලයක් ලෙස ලක්ෂ පහකට වඩා වැඩකරන ජනයා ඉලක්ක කරමින් මේ අංශයේ දැවැන්ත රැකියා විනාශයක් සිදුකරමින් ලක්ෂ ගනන් පවුල් අතිශය පීඩාවට ලක්කිරීම සිදුවනු ඇත.

අයිඑම්එෆ් වැඩපිලිවෙලට ම අදාල ව පසුගිය ආන්ඩුවලින් භාන්ඩ හා සේවා මත පැට වූ අධික බදු පැටවීම් අඛන්ඩ ව සිදුවෙමින් යන අතර රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර සටන්කාමී වෙමින් සිටින කම්කරුවන් ඇතුලු ජනයාගේ දේශපාලන විරුද්ධත්වය මැඩීම සඳහා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වැනි ම්ලේච්ඡ, ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීතීන් එලෙස ම යොදා ගනිමින් තිබෙන අතර අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල අබාධිත ව කරගෙන යාමට ආන්ඩුව වඩ වඩාත් ඒකාධිපති බලතල යොදා ගනිමින් තිබේ. මේ දිසානායකගේ ජවිපෙ/ජාජබ ආරම්භ කර ඇති “පුනරුදයෙන්” ඇබින්දක් පමනි!

කම්කරුවන්, පහල මධ්‍යම පාන්තිකයන් හා දුප්පතුන් සඳහා තත්වය එසේ වද්දී, ජනගහනයෙන් ඉතා ම තුනී ස්ථරය වන සුපිරි ධනවතුන් සඳහා ආන්ඩුවේ පිලිවෙත වන්නේ, ඔවුන්ගේ දැවැන්ත ධනස්කන්ධය තවත් ඉහල නැංවෙන අයුරින් දැවැන්ත බදු සහන ඇතුලු කොන්දේසි විරහිත ආයෝජක-හිතවත් පිලිවෙත් ක්‍රියාවට දැමීම යි. 2023 දෙසැම්බර් නිල වාර්තාවකට අනුව, රටේ ධනවත්ම සියයට 1 රටේ සමස්ථ ජාතික ධනයෙන් සියයට 31ක් හෝ තුනෙන් එකක් බුක්ති විඳින අතර ජනගහනයෙන් දුප්පත්ම සියයට 50ට ලැබෙනුයේ රටේ සමස්ත ධනයෙන් යාන්තම් සියයට 4ක් පමනි.

මෙවර නිදහස් උලෙල “වැඩි ජන සහභාගීත්වයක්” සහිත ව පැවත්වීමට කටයුතු යොදන බවට ආන්ඩුව කියන විට ආන්ඩුව එයින් අරමුනු කල දේට වඩා යමක් එහි ගැබ්ව තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය පමනක් අවධාරනය කල ආකාරයට ජවිපෙ/ජාජබ බලට ආවේ සාම්ප්‍රදායික, දුෂිත ධනපති පක්ෂ කෙරෙහි මහජන වෛරය ගසාකමිනි. 2022 වසරේ දී සමස්ත ධනපති ක්‍රමයට ම එරෙහි ව පුපුරා ගිය මහජන වෛරයෙන් එය ප්‍රකාශයට පත්විය.

“225 ම එපා” – එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ම එපා-යන මහජන අරගලයේ ජනප්‍රිය සටන්පාඨයෙන් ඇඟවුම් කෙරුනේ, 1948 නාමික නිදහසෙන් පසු ස්ථාපිත ධනපති පාර්ලිමේන්තුව ඇතුලු ධනේශ්වර ආයතන, එහි දේශපාලනකයන් හා සමස්ථයක් වසයෙන් ධනේශ්වර රාජ්‍යම සම්බන්ධයෙන් පුලුල් මහජනයා අතර පැවැති ගැඹුරු වෛරය හා අවිස්වාස යි. එම කුනුවූ ක්‍රමය ම දැන් තමන් කර ගසා ගෙන යාමට ජවිපෙ/ජාජබ අතට යෂ්ටිය මාරු වී ඇත.

ජවිපෙ/ජාජබ බලයට පැමිනීම දිවයිනේ ධනේශ්වර පද්ධතිය සම්බන්ධයෙන් ගත්විට හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. විෂකුරු ධනපති රාජ්‍යයට දැඩි ව ඒකාග්‍රවූ, මෙම මාක්වාද-විරෝධී පක්ෂයට ඇත්තේ, විශේෂයෙන්ම 1987-89 කාල පරිච්ඡේදයේ දී ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වර්ගවාදී උද්ඝෝෂනයක් අවුලුවා දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් ඉලක්ක කරගනිමින් ෆැසිස්ට් ප්‍රහාර එල්ල කිරීමේ ලේ වැකි ඉතිහාසයකි.

මහ ධනපතියන් හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ආන්ඩුකරනයේ ඔවුන්ගේ විස්වාසවන්ත ම නියෝජතයා ලෙස ජවිපෙ තෝරාගැනීමේ දී මෙම පක්ෂයේ අපකීර්තිමත් ඉතිහාසය මූලික භූමිකාවක් ඉටු කලේ ය. මෙම පක්ෂයේ සමස්ත ඉතිහාසය ම සමන්විත ව ඇත්තේ, දැන් කෑලිවලට කැඩී බිඳී ඇති එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු ප්‍රමුඛ ධනපති පක්ෂ සමග හවුල්වෙමින් ධනපති ක්‍රමය සුරකින ආරක්ෂක වෑල්වයක් ලෙස ක්‍රියාත්මක වීමෙහි ය. ධනේශ්වර පාලනය එහි අද්දරට ම ඇද දැමූ 2022 මහජන අරගලය තුල දී ජවිපෙ ධනේශ්වර ගැති කාර්යභාරයේ ඉහලම කූඨයක් සනිටුහන් කෙරුනි. මහජන අරගලය අතරතුර රට අරාජකත්වය වැටීම ගැන දිසානායක පාර්ලිමේන්තුව තුල දී අනෙකුත් ධනපති පක්ෂවලට අනතුරු ඇඟවුයේ, ධනේශ්වර පාලනයේ සුක්කානම තම අතට ගැනීමේ ජවිපෙ සූදානම ප්‍රකාශයට පත්කරමිනි.

පසුගිය වසර 77 පුරා මූලික අයිතීන්, ආර්ථික සමානාත්මතාව සහ සමාජ සාධාරනත්වය සහතික කිරීමට ලංකාව තුල පිලිවෙලින් බලයට පත් ආන්ඩුවල අසමර්ථතාව, නාමික නිදහසේ පරිපූර්න අසමර්ථතාවට නිදසුනකි.මන්දයත්, එය බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් උරුම කර ගත් සමාජ-ආර්ථික ව්‍යුහයන් වෙනස් නොකල බැවිනි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනක් පැහැදිලි කරඇති ආකාරයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ දේශීය ධනපති ප්‍රභූවට බලය මාරුකිරීම, සැබෑ විජිත විරෝධී අරගලයක ප්‍රතිපලක් නොවී ය.

හතරවන ජාත්‍යන්තරයේ ඉන්දීය උපමහද්වීපීය ශාඛාවවූ, ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය හෙවත් බීඑල්පීඅයි නායක කොල්විල් ආර් ද සිල්වා, විසින් “නියම නිදහසක්ද නැතහොත් ව්‍යාජ නිදහසක්ද?” යන මාතාතෘකාවෙන් 1948 පෙබරවාරි 4දා ලියා පලකල බලගතු ප්‍රකාශනයේ දී, ලංකාවේ ජනයාට “ස්වාධීනත්වය” ලෙස “ප්‍රීතියෙන් සැමරීමට කිසිවක් නැති” බව ප්‍රකාශ කලේ ය. “… මන්ද ඔවුන් ලබා ගන්නා “අලුත් තත්වය” වනාහි “ස්වාධීනත්වය” නොවෙනවා පමනක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව ගැට ගසා ඇති වහල්භාවයේ යදමෙහි රූපාකාරය වෙනස් කිරීමක් පමනකි. ඒ වනාහි, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලංකාව තුල තම පාලනය ගෙනයන රූපාකාරයේ වෙනස් කිරීමක් සමග එම පාලනය නොකඩවා ඉදිරියට ගෙනයාමකි.”

පාර්ලිමේන්තුව තුල නිදහස සම්බන්ධයෙන් ආන්ඩුව ගෙන ආ යෝජනාවට බීඑල්පීඅයි විරුද්ධ වූවා පමනක් නොව, නිල උත්සවයට එරෙහිව කොලඹ මධ්‍යයේ ගාලුමුවදොර පිටියට 50,000ක මහජන සහභාගීත්වයෙන් යුත් රැලියක් සංවිධානය කලේ ය. ඊට විපරීත ව, ජාතිකවාදයේ ගිලෙමින් පැවති ලංකා සමසමාජ පක්ෂය (ලසසප), “නිදහස” පිලිබඳ පනත සීමාසහිත වුවත් ඉදිරි පියවරක් යයි ප්‍රකාශ කරමින් ඡන්දය වර්ජනය කලේ ය. බීඑල්පීඅයි රැලිය, “පිලිසඳර ශාලා බොල්ශෙවිකයන්ගේ” “ප්‍රදර්ශනවාදය, අතිවාමවාදය සහ අතිධාවනකාරීත්වය” යයි ප්‍රසිද්ධියේ හෙලා දුටු ලසසප නායකයෝ, මෙම රැලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කලෝ ය.

මෙම රැලියේ බලගතුභාවය මගින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් වන රටේ ධනේශ්වර පාලක ප්‍රභූව යහමින් දැනුවත් සිටියේ, තම පාලනය, දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, ගම්බද දුගීන් හ පීඩිතයන්ගේ ගැඹුරු වෛරයට හා අවිස්වාසයට පාත්‍ර ව තිබෙන බවයි. විජිත අධිකාරීන්ගේ දේශීය නියෝජිතයෝ සූරාකෑම උග්‍රකරමින් ද මූලික අයිතිවාසිකම් විනාශ කරමින්ද එකී අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට දිගට ම සේවය කිරීමට එතැන් සිට කැප වූහ.

දෙ වැනි ලෝක යුද්ධයට එරෙහි ව දකුනු ආසියාව පුරා ධනේශ්වර පාලනයන් අස්ථාවර කරමින් පැන නැගි ක්විට් ඉන්දියා ව්‍යාපාරය (ඉන්දියාවේ අධිරාජ්‍යවිරෝධී ව්‍යාපාරය හැඳින්වූයේ මෙ නමිනි) වැනි යෝධ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් වර්ධනය වන තතු යටතේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ධනපති පාලක ප්‍රභූන්ගේ පූර්න සහාය ඇති ව හින්දු ඉන්දියාව හා මුස්ලිම් පාකිස්ථානය වසයෙන් ඉන්දියාව ලේ වැකි ලෙස දෙකට බෙදුවේය. ඉන්දියාව බෙදීම නම්වූ මෙම අපකීර්තිමත් සිදුවීම ලක්ෂ දෙකත්-මිලියන 2 දෙකත් අතර අහිංසක වැසියන් ඝාතනයට ලක්කල හා මිලියන 12-20 අතර ප්‍රමානයක් අවතැන් කල අද පවා දරුනු ප්‍රතිවිපාක ජනනය කරන ම්ලේච්ඡ සිදුවීම් මාලාවකට මුල පිරී ය. ආර්ථික, සංස්කෘතික, දේශපාලන සමානකම් හා භූගෝලීය සමානකම් පැවතිය ද, ඉන්දියාවේ ‘නිදහසින්’ වසරකට පසු ඉන්දියානු උප-මහාද්වීපයෙන් වෙන් කෙරුනු ලංකාව, වෙන ම ඒකීය රාජ්‍යක් ලෙස පිහිට වනු ලැබුනි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දු-උප මහාද්වීපයේ සෑම රටක ම පාලකයන්ගේ සහයෝගයෙන් නිර්මානය කලේ වර්ගවාදි ගිනි උදුනකි. සෑම රටක ම මේ දක්වා ද ඉතිහාසය වූයේ එයයි. එය වනාහි කම්කරු පන්තිය වාර්ගික ව බෙදමින්, එය උත්සන්න කිරීම රටවල් අතර ගැටුම් වලට කොන්දේසි සකස් කරමින් ඇති කල පාලනයකි.

ශ්‍රී ලංකාවේ දී, ඩී.එස්. සේනානායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව 1948 පුරවැසි පනත සහ 1949 ඉන්දියානු හා පාකිස්ථානු (පුරවැසි) පනත් මගින් ඉන්දීය සම්භවයක් ඇති දෙමල වතු කම්කරුවන් ලක්ෂ ගනනගේ පුරවැසි අයිතිය උදුරාගන්නා ලදි.

නිමක් නැති පීඩාවන්ට එරෙහි ව වැඩෙන මහජන අතෘප්තිය හා විප්ලවවාදී උදම්‍ රල මධ්‍යයේ, ධනපති පාලක ප්‍රභූව වර්ග භේදවාදී දේශපාලනය අඛන්ඩ ව උත්සන්න කලේ ය. එස්.ඩබ්ලියු.ආර්.ඩී බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 දී හඳුන්වා දුන් සිංහල පමනක් පනත, දෙමල සුලුතරය මුලුගන්වමින් මෙම වාර්ගික දේශපාලනය නව අදියරකට ඉහල නැංවී ය. මෙම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී උසිගැන්වීමේ මූලික අරමුනක් වූයේ, පශ්චාත්-නිදහස් ධනේශ්වර රාජ්‍යයට එරෙහි ව කම්කරුවන් හා ගම්බද ජනතාවන් විසින් අරඹන ලද පලවෙනි ප්‍රධානත ම කැරලි ගැසීමෙන් ප්‍රකාශයට පත්වූ පන්ති අරගලයෙන් අවධානය වෙනතක හැරවීමයි.

මෙම වර්ගභේදවාදී දේශපාලනය කුලුගැන්වූයේ, කලුජූලිය නමින් කුප්‍රකට 1983 ජූලි මාසයේදී රාජ්‍යයේ පූර්න අනුග්‍රාහකත්වය ඇතිව දියත් කල දෙමල විරෝදී ජනසංහාරයෙනි. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය වර්ගවාදී යුද්ධයට මෙයින් ආරම්භකත්වය දැමුනු අතර අද දින “පුනරුදය” පිලිබඳ දේශනා කරන ජවිපෙ නායකයින් මෙම යුද්ධයේ රුධිර ස්නානයට මුල සිට ම සහභාගී වී තිබේ. ඉතිහාසය මකා දැමිය නොහැක. මෙය, ජවිපෙ සහ දිසානායක-ටිල්වින් සිල්වා සමාගමේ ඉතිහාසයේ කොටසකි. මෙම පක්ෂය ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත්තේ මෙම ඉතිහාස ගැබ් කරගනිමිනි. ධනපති පන්තියේ කොටසක් විසින් ඔවුන් තෝරාගන්නා විට, ඔවුන් නිශ්චිත ව ජවිපෙ වෙතට හැරුනේ, එහි නිර්දය ඉතිහාසය නිසා මෙන්ම, මෑත කාලයේ දී ධනේශ්වර ප්‍රභූවට සහ අධිරාජ්‍යවාදය වෙනුවෙන් ඔවුන් සිදුකල සේවාව නිසාවෙනි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට මිලිටරිමය පරාජයක් අත්කර දෙමින් 2009 දී යුද්ධය නිමාවෙන විට, ලක්ෂයකට අධික අහිංසක දෙමල ජනයා ඝාතනය කරමින් ද අදහා ගත නොහැකි සමාජ, ආර්ථික විනාශයක්ද සිදු කර තිබේ. සමස්ත යුද කාල පරිච්ඡේදය පුරාවට, ලංකාවේ පාලන ආන්ඩු කම්කරුවන්ගේ අරගල ද සියලුම මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ද පාගා දැම්මේය. දශක තුනක සිවිල් යුද්ධය ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ඛේදජනක ලෙස, නමුත් පැහැදිලි ව තහවුරු කර ඇත. යුද්ධයේ ඛේදනීය අත්දැකීම සැලකූ කල, මහජනයාගේ කිසිදු මූලික සමාජ හෝ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් විසඳීමට පාලක පන්තියේ ආන්තික අසමර්ථතාව පමනක් නොව, ඔවුන්ගේ ම්ලේච්ඡත්වයද මොනවට පෙන්නුම් කරයි.

දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය පුරාම පාලක පන්තිය සමස්ත ජනගහනයට එරෙහි ව මර්දනකාරී නීති මුවහත් කර ගත්තේ ය. යුද්ධය නිමා වී වසර 15කට ආසන්න කාලයක් ගත වී තිබිය දී පවා, දේශපාලන විරුද්ධවාදීන් මැඩීම සඳහා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත (පීටීඒ) වැනි මර්දනකාරී නීති අඛන්ඩ ව යොදාගනිමින් තිබේ. ජවිපෙ/ජාජබ ආන්ඩුව, ලෝකය පුරා අනෙකුත් ධනපති ආන්ඩුවලට සමාන ව, වඩවඩාත් ඒකාධිපති බලතල අත්හදා බලමින් සිටින්නේ එහි ජනතා-විරෝධී ප්‍රතිපත්තීන් යලි වතාවක් මහජන අගරලයක් අවුලුවනු ඇති ය යන බිය හේතුවෙනි.

කම්කරු පන්තිය සම්බන්ධයෙන් සැලකූ කල, ව්‍යාජ නිදහසේ එකම උරුමය වන්නේ, නිමක් නැති දරිද්‍රතාව, විරැකියාව, රාජ්‍ය මර්දනය, කප්පාදු, ප්‍රජාතන්ත්‍රික අයිතීන්ට එල්ල වෙන අඛන්ඩ ප්‍රහාර, කිසිදා නිම නොවන රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන වර්ගභේදවාදය ඇවිස්සීම ආදී ලැයිස්තුව දිගට කිව හැක. මෙම ප්‍රශ්නවල මූලය වන මහජනතාව සූරා කෑම පවත්වා ගෙන යන ධනේශ්වර රාජ්‍ය පෙරලා දමා, දුගීන්ගේ සහාය ලබන සමාජවාදී පාලනයක් තහවුරු කිරීමෙන් තොර ව, දසලක්ෂ සංඛ්‍යාත මහජනයාට සැබෑ නිදහස අත්වන්නේ නැත.

සමාජවාදී සමානතා පක්ෂයේ පදනම් ලියවිල්ලේ සඳහන් පහත ඡේදය මෙම සටන සිදුකරන ආකාරය පැහැදිලි කරයි. “යල්පැනගිය ධනපති ක්‍රමය පෙරලා දමා ලෝක පරිමාන ව සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයකින් එය විස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය විප්ලවවාදී බලවේගය වර්ධනය කරගත හැකි වන්නේ, කම්කරු පන්තිය ජාතික දේශසීමාවන් තුල ද ඒවා ඉක්මවා ද ඒකාබද්ධ කිරීම තුලින් පමනි. සසප මෙහි දී ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාමාර්ගය මත තරයේ පදනම් වෙමින් බීඑල්පීඅයි හි හොඳම විප්ලවවාදී සම්ප්‍රදායන් යලි පුනර්ජීවනය කරමින්, ලෝක සමාජවාදී විප්ලවයේ එකාග්‍රිත කොටසක් ලෙස දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවාලීම සඳහා, කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ සමගිය සඳහා සටන් වදී.” මෙම සටනට එකතු වන්න.

ලෝක සමාජවාදි වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *