X කණ්ඩායමේ ව්‍යාපෘතිය මඟින් විවිධ මහාද්වීපික දාර්ශනිකයන් ගණනාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ය. මේ දාර්ශනිකයන් හා දාර්ශනික ප්‍රවණතාවන් ගැන අදහස් පළ කිරීමට හෝ විවේචනය කිරීමට තරම් අවබෝධයක් තිබුණු අය ශාස්ත්‍රීය ආයතනවල සිටියේ ද නැත. මේ ප්‍රවණතා දෙස විචාරාත්මක ව බැලීමට සමත් දියුණු මාක්ස්වාදීන් ද ලංකාවේ සිටියේ නැත. නිව්ටන් ගුණසිංහ, කීර්ති බාලසූරිය වැනි අය මිය ගොස් සිටි අතර රෙජී සිරිවර්ධන වැනි අය සිය ජිවිතයේ සැඳෑ සමයට එළඹ සිටියේ ය. ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සහ සුමනසිරි ලියනගේ වැනි අය සීමිත ආකාරයෙන් මේ සම්බන්ධයෙන් මත ඵල කරමින් සිටියහ. මේ නිසා ම සීමා මායිම් නොමැති ව හිතුවක්කාරී ආකාරයට ඉහතින් දැක්වූ චින්තකයන්ගේ අදහස් නිදහසේ පැතිර ගියේ ය. මෙම මහාද්වීපික දාර්ශනික ව්‍යාපෘතීන් මඟින් සම්ප්‍රදායික ව පිළිගත් ආත්මීයත්වය, වාස්තවිකත්වය, සමස්තය, දයලෙක්තිකය හා මාක්ස්වාදයේ පිළිගත් මූලිකාංගයන් ප්‍රශ්න කෙරුණි. දර්ශනයේ හෝ දේශපාලනයේ හෝ මහා අඛ්‍යානයන් පිළිගන්නවා වෙනුවට ක්‍ෂූද්‍ර ආඛ්‍යානයන් ඉදිරියට දැමිණි. දේශපාලන ආර්ථික විද්‍යා පදනම් ගැන කථා කරනවා වෙනුවට උපරිව්‍යූහාත්මක සංස්කෘතික, කලාත්මක පදනම්වලට වැඩි නැඹුරුතාවක් දැක්වී ය.
X කණ්ඩායමේ මුල් කාලයේ භාවිතාව තුළ තිබෙන්නේ ඉහතින් දක්වා තිබෙන චින්තකයන් හඳුන්වා දීම සහ ඔවුන්ගේ සංකල්ප තමන් නියෝජනය කරනවා ය යන මතවාදය පෙන්නුම් කිරීම ය. මෙහි දෙවන පියවර වූයේ ලංකාවේ මතවාදී රාජ්‍ය උපකරණ පශ්චාත් ව්‍යූහ බවට පත් වී තිබෙන ආකාරය පෙන්නුම් කිරීම ය. එමෙන් ම සිවිල් චරිත කලාකරුවන් හා බුද්ධිමතුන් පශ්චාත් ව්‍යූහ බවට පත් වී තිබෙන ආකාරයත් හෙළිදරව් කිරීමකි. මුලින් විශ්වවිද්‍යාල වැනි සිවිල් ආයතන අතාර්කික වී තිබෙන ආකාරයත් විද්‍යුත් මාධ්‍ය, පුවත්පත්, ආගමික ආයතන පශ්චාත් ව්‍යූහ බවට පත් වී ඇති ආකාරයත් පසුව මේ ආයතන නියෝජනය කරන පුද්ගලයන් පශ්චාත් ව්‍යූහ බවට පත් වී තිබෙන ආකාරයත් හෙළිදරව් කිරීම සිදු විය. මෙහි තුන්වන පියවර වූයේ සමාජය මානසික ව රෝගී වී ඇති බව පෙන්නුම් කිරීම ය. සංවිධානය වේගයෙන් මනෝවිශ්ලේෂණය වෙත ආකර්ෂණය වෙමින් සිටි අතර ව්‍යාපාරයෙන් පිටත විවිධ පුද්ගලයන් සයිකොටික, නියුරෝටික හා විපරීත මානසික ආකෘතීන් බවට පත් වී තිබෙන ආකාරය මෙහි දී පෙන්වා දෙන ලදි. 2004 දී සංවිධානය බිඳ වැටීමට පෙර ලියූ විශාලතම කෘතිය වූයේ හිස්ටීරියාව ය. සමස්තයක් වශයෙන් සංවිධානය ගමන් කරමින් සිටියේ සමාජ විවේචනයක සිට සමාජය භය කිරීමේ ව්‍යාපෘතියක් දක්වා ය. සංවිධානයේ විවේචනයට ලක් වූ පුද්ගලයන්ට මානසික රෝගී ලේබලය ඇලවීම මෙහි දී සිදු විය. මේ ක්‍රියාවලීන් සාධාරණීකරණය කිරීමේ දී පාවිච්චි කරන ලද්දේ සමකාලීන ප්‍රංශ දාර්ශනිකයන් ය.
සමකාලීන ප්‍රංශ දර්ශනය හා ජර්මානු දර්ශනය අතර සන්සන්දනාත්මක විශ්ලේෂණයක් කළොත් අංග ලක්‍ෂණ කිහිපයක් ම හඳුනාගත හැකි ය. ප්‍රංශ දාර්ශනිකයෝ ක්‍ෂුද්‍ර ආඛ්‍යාන ගැන කථා කරන විට ජර්මානු චින්තකයෝ මහා ආඛ්‍යාන ගැන කථා කරති. ජර්මානු චින්කයන් ඒකත්වය ගැන කථා කරන විට ප්‍රංශ දාර්ශනිකයන් යොමු වූයේ විවිධත්වය වෙත ය. ජර්මානු දාර්ශනිකයන් ඉතිහාසය සුවිශේෂ වශයෙන් වැදගත් කරන විට ප්‍රංශ දාර්ශනිකයෝ ඉතිහාසය අතහැර දැමූහ. ජර්මානු දාර්ශනිකයන් ආත්මීයත්වය හා වාස්තවිකත්වය ගැන කථා කරන විට බොහෝමයක් ප්‍රංශ දාර්ශනිකයෝ ආත්මීයත්වය හා වාස්තවිකත්වය විසංයෝජනය කර දැමූහ. ජර්මානු දාර්ශනිකයන් සමස්තය ගැන විශ්වාසය තබන විට ප්‍රංශ දාර්ශනිකයෝ කොටස ගැන කථා කළහ. ජර්මානු දාර්ශනිකයන්ගෙන් සමාජයේ යම් ගැඹුරක් සොයන විට ප්‍රංශ දාර්ශනිකයෝ මතුපිටට යොමු වූහ. ජර්මානු දාර්ශනිකයන් දයලෙක්තික චින්තනයට වැඩි වශයෙන් යොමු වන විට බොහෝමයක් ප්‍රංශ දාර්ශනිකයෝ ප්‍රති-දයලෙක්තිකවාදීන් හා ප්‍රති- හෙගලියානුවාදීන් වූහ.
X දේශපාලන ව්‍යාපාරය මේ ප්‍රංශ දාර්ශනික ලක්‍ෂණයන්ගෙන් අඩු වැඩි වශයෙන් සමන්විත විය. මේ ව්‍යාපාරයට සමස්තය අහිමි විය. සමාජයේ ප්‍රශ්න මතුපිටින් පහුරු ගෑවේ ය. ඉතිහාසය අහෝසි වී වර්තමානයේ ම හැසිරුණේ ය. සමස්ත දේශපාලනයකට යොමු නො වී අනන්‍යතා දේශපාලනයකට යොමු විය. සමාජය එකතු කරනවා වෙනුවට සමාජයට විසංයෝජන ප්‍රහාරයක් එල්ල කළේය. සමාජය සමස්තයක් වශයෙන් ගෙන විචාරය කරනවා වෙනුවට සමාජයේ පුද්ගලයන් තෝරා ගෙන ඔවුන්ට මනෝවිශ්ලේෂණාත්මක සහ දාර්ශනික ප්‍රහාරයන් එල්ල කිරීමට යොමු විය.
X ව්‍යාපාරයේ ආරම්භකයා රොහාන් පෙරේරා වූ අතර ඔහු ප්‍රවාද හා මාතොට සඟරාවලට ලියන ලද ලිපිවලින් තම ආත්මය ප්‍රකාශ කළේ ආදරය, අවිඥානය, ස්ත්‍රීවාදය වැනි නැවුම් සංකල්පයන් හරහා ය. ලංකාවේ වාමාංශිකයන් කථා නොකළ ක්‍ෂේත්‍රයන් ඔහුගේ අදහස් හරහා ප්‍රකාශයට පත් විය. එයින් වසර 25කට පමණ පසුව ඔහු තම ආත්මය ප්‍රකාශයට පත් කරන්නේ තමන්ගේ ම ශරීරය හරහා ය. ඔහු අද ටයි, කෝට්, අව් කණ්ණාඩි, ඔරලෝසු, සපත්තු පැලඳ ගෙන තමන් ප්‍රකාශයට පත් කර ගනී.
හෙගලියානු භාෂාවෙන් කීවොත් ඔහුගේ පරම සත්‍යය (Absolute) ද්‍රව්‍යමය සාරාර්ථයක් (Substance) ලෙස ප්‍රකාශයට පත් වී ඇත. තමන්ගේ මනස උත්කර්ෂණය වනවා වෙනුවට ඔහුගේ ශරීරය ම උත්කර්ෂණය වී ඇත.
X කණ්ඩායමේ සිටි අනෙකුත් නායකයන් විසින් මේ ආරම්භකයා X කණ්ඩායමෙන් පන්නා දැමීමේ දී ඔහුට එල්ල කළ ප්‍රධාන චෝදනාව වූයේ ඔහු ‘මානසික රෝගියෙකු’ යන්න ය. ඔහුගේ දේශපාලන භූමිය පවුල ය. පවුල ඇතුළකට ගොස් පවුල පුපුරා දමන්නෙකු ලෙසට පසු කාලයේ විවිධ අයගේ චෝදනාවට ද ඔහු ලක් විය. ඔහු යම් පවුලකට ඇතුළු වූ පසු යම් පවුලක පිරිමියා ගැහැනියක් වීම, ගැහැනිය පිරිමියෙකු වීම, ළමයින් තාත්තලා වීම, දුවලා පියවරුන්ට එරෙහි ව නැඟී සිටීම, පුතාලා තාත්තාලාට නමින් ආමන්ත්‍රණය කිරීම සිදු වී යැයි විවිධ අඳෝනාවන්ද ඉදිරිපත් කෙරුණි. මේ නිසා ම පසු කාලයේ සමහර අය ඔහු තමතමන්ගේ පවුල් තුළට වද්දා නොගැනීම ට තීන්දු කළහ.
හෙගල්ගේ Philosophy of Right කෘතියට අනුව සදාචාරාත්මක ජීවිතයට (Ethical life) දයලෙක්තික ත්‍රිත්වයක් ඇත. ඒ පවුල, සිවිල් සමාජය හා රජය ය. හෙගල්ට අනුව පවුල ක්‍රියාත්මක වන්නේ පුද්ගලික ආත්මීය අධිෂ්ඨානයන්ගෙන් ය. ‘මම’ ය ‘මගේ’ ය යන්න එහි ප්‍රධාන සංකල්පයකි. පෞද්ගලික ආත්මීය දේවල් එහි දී පරමත්වයට නැගේ. පවුල සෑදී තිබෙන්නේ ධූරාවලිගත ලෙස ය. පියා, මව, දරුවන් ආදි ලෙස එහි සාමාජිකයන් එකට එකතු කරන බැඳීම වන්නේ ලේ සහ ආදරය ය. යම් ආධිපත්‍යයකට යටත් වීම සඳහා මුලින් ම ඉගෙන ගන්නා ආයතනය වන්නේ පවුල ය. මේ ආයතනය ය X කණ්ඩායමේ ආරම්භකයා විසින් උඩුයටිකුරු කර එහි සම්බන්ධතා කඩා බිඳ දමා වෙනත් දෙයක් බවට පත් කරනු ලැබුවේ. හෙගල්ගේ දේශපාලන දර්ශනයේ පදනම නිදහස ය. යමෙකුට වඩාත් පුළුල් නිදහසක් අවශ්‍ය නම් පවුල ඉක්මවා ගොස් සිවිල් සමාජයටත්, රාජ්‍යයටත් යා යුතු ව ඇත. නමුත් ඔහු කරනු ලැබුවේ පවුල ඉක්මවා යාම වෙනුවට පවුලේ ධූරාවලීන් උඩුයටිකුරු කර සුවිශේෂ පවුල්වලින් ම යැපීම ය. ඔහුට තමාගේ ශරීරයෙන් මෙන් ම පවුලෙන් එළියට ඒමට නොහැකි විය. නමුත් ඔහු සාදා දුන් දේශපාලන ආකෘතිය දිගට ම පුනරාවර්තනය විය. ඔහුගෙන් ගැලවුණා යැයි කියු අය පමණක් නො ව, ඔහුගෙන් ගැලවී වෙනත් දේශපාලන, දාර්ශනික ආකෘති ගොඩනගන්නට උත්සාහ කළ අයත් ඔහුගේ ආකෘතිය සවිඥානික ව හෝ අවිඥානික ව ශේෂගත කර ගත්හ.
X කණ්ඩායමේ නායකයා දීප්ති කුමාර ගුණරත්න වූ අතර රොහාන්ට වඩා දයලෙක්තික ඉදිරි පිම්මක් ඔහු පැන්නේ ය. නමුත් ඔහු තුළ රොහාන් බිහි කළ සමහර ලක්‍ෂණයන් සංරක්‍ෂණය විය. රොහාන්ගේ විපරීත පවුල වෙනුවට තම සංවිධානය තුළ මධ්‍යම පාන්තික පවුලක් සෑදීමට දීප්ති උත්සාහ ගත්තේ ය. පවුල ලස්සන කිරීම, පවුලේ සංස්කෘතික මට්ටම ඉහළට ගැනීම, පවුල ලස්සන කිරීම සඳහා සංගීත හා සිනමා වින්දනය ඉහළ දැමීම, ඒ සඳහා උපකරණ ලබා ගැනීමට උපදෙස් දීම, පවුල තුළ පියාගේ නීතිය ස්ථාපනය කිරීම, පවුල ශක්තිමත් කිරීම සඳහා මනෝවිශ්ලේෂණ උපදෙස් ලබා දීම මුල් කලෙක දී X කණ්ඩායමේ ප්‍රධාන මාතෘකා සහ ක්‍රියාකාරීත්වය විය. උසස් මධ්‍යම පාන්තික පවුල උත්කර්ෂණයට නැංවීම සහ ආදර්ශමය කිරීම ආදිය ද සිදු විය. මේ අනුව, ගුණාත්මක වශයෙන් දීප්ති නිර්දේශිත පවුල රොහාන්ගේ පවුලට වඩා උසස් විය. කෙසේ නමුත් පවුල යන්න X ව්‍යාපාරය තුළ දයලෙක්තික වශයෙන් ශේෂගත කළ අතර ම පවුල ඉක්මවා ගොස් සිවිල් සමාජයේ දේශපාලනය කිරීමට උත්සාහයක් ගත්තේ ය.
ජයදේව උයන්ගොඩ සිය සිවිල් සමාජය කුමක්ද? කාගේද? කුමකටද? (2011) පොතෙහි සිවිල් සමාජය හඳුනා ගන්නේ පහත සඳහන් ආකරයට ය. සිවිල් සමාජය යනු ‘ක්‍රියාකාරී පුරවැසියන්ගෙන් සමන්විත සමාජය ය’ (උයන්ගොඩ 2011, 2). ඔහු තවත් තැනක දක්වන්නේ, ‘සිවිල් සමාජය යනු සමාජයට , ආණ්ඩුවට, මහජන මතයට බලපෑම් කළ හැකි ජනමාධ්‍යයේ නිතර පෙනී සිටින පුද්ගලයින් සිටින, සාපේක්‍ෂ වශයෙන් වරප්‍රසාදලාභී සමාජ අවකාශයකි’ යන්න ය (උයන්ගොඩ, 2011, 3). දීප්ති කුමාර ගුණරත්න වැඩි වශයෙන් සිය දේශපාලන භූමිය කර ගත්තේ මේ ක්‍ෂේත්‍රය ය. හෙගල්ට අනුව සිවිල් සමාජය යනු බල්ලන් සහ බල්ලන් කා ගන්න මධ්‍යම පාන්තිකයන්ගේ ලෝකය ය. සිවිල් සමාජයේ එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට සම්බන්ධ වන්නේ මූලික වශයෙන් වෙළෙන්දන් ලෙසට ය. පවුලෙන් එළියට යන පුද්ගලයා ඇතුළු වන්නේ සිවිල් සමාජයට ය. මේ සමාජය කලහකාරී, දබරකාරී; තරඟකාරී ව්‍යාපාරික ලෝකයකි. සිවිල් සමාජයේ සාමාජිකයා නිදහස සාක්ෂාත් කර ගන්නේ රැකියාවක් තෝරා ගැනීමෙනි.
මෙහි සදාචාරාත්මක වර්ධනය සිදු වන්නේ සමාගම් (cooperations), වෘත්තිය සංවිධානයන් හරහා ය. සිවිල් සමාජය සඳහා ධනවාදී සමාජය යන නම ද පාවිච්චි කරයි. සිවිල් සමාජය එක්සත් තැනක් නො ව ප්‍රතිවිරෝධයන්ගෙන් ගහන තැනකි. පුද්ගල ආත්මාර්ථකාමීත්වය මෙහි ප්‍රමුඛ ලක්‍ෂණය ය.
දීප්ති කුමාර ගුණරත්න සිය වැඩ බිම කර ගත්තේත්, විවේචනය කළේත්, ආශා කළෙත් මේ සිවිල් සමාජයට ය. ඔහු මේ මධ්‍යම පාන්තික සමාජ ජීවිතයට ආශා කළ අතර ම එහි පුද්ගලයන්ට පහර ගැසීම ද කළේ ය. ලංකාවේ ඇකඩමියාවට පහර දුන් අතර මේ ඇකඩමියාව තුළ තමන් අගය කරන අය ආරක්‍ෂා කළේ ය. ලංකාවේ ඇකඩමියාවට පහර දුන් අතර යුරෝපීය හා ඇමෙරිකානු ඇකඩමියාවට ආශා කළේ ය. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවෝ මධ්‍යම පාන්තික බුද්ධිමත්තු රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් ඔහුගේ විවේචනයට, අපහාසයට උපහාසයට භාජනය වූ අතර ම ඔහු මේවාට අභ්‍යන්තරික ව ආදරය කළේ ය. හෙගලියානු භාෂාවෙන් කීවොත් ඔහු සිවිල් සමාජයේ මධ්‍යම පාන්තික ජීවිතයට අනන්‍ය වූ අතර වෙනස ද පෙන්නුම් කළේ ය (Identity and difference). සිවිල් සමාජයේ සමහර මිනිසුන් හා ගැහැනුන් සමඟ අභ්‍යන්තරික ව අනන්‍ය වූ අතර බාහිරව වෙනස පෙන්නුම් කළේ ය. නගරය සමඟ අනන්‍ය වූ අතර ගමට පහර දුන්නේ ය. සුදු හම සමඟ අනන්‍ය වූ අතර කළු හමට පහර දුන්නේ ය. දක්‍ෂිණාංශික දේශපාලනය සමඟ අනන්‍ය වූ අතර වාමාංශික දේශපාලනයට පහර දුන්නේ ය. වමෙන් තමන්ට උරුම වූයේ හොරි පමණක් යැයි කියමින් වාමාංශික ව්‍යාපාරය නිග්‍රහයට ලක් කළේය. මධ්‍යම පාන්තික ස්ත්‍රිය සමඟ අනන්‍ය වූ අතර පහළ පාන්තික ස්ත්‍රිය අවඥාවට ලක් කළේ ය. ඉංග්‍රීසි කථා කරන්නාට ආසා කළ අතර ඉංග්‍රීසි බැරි පුද්ගලයින් නිග්‍රහයට ලක් කළේ ය.
නමුත් මෙහි මූලික පරස්පරයක් පැවතිණි. එක් පැත්තකින් X කණ්ඩායම කාලයෙන් කාලයට සිය සඟරා ලිපි ලේඛන, පොත්පත් සාකච්ඡා මඟින් ජනප්‍රිය කළ ව්‍යූහවාදය, පශ්චාත් ව්‍යූහවාදය, පශ්චාත් මාක්ස්වාදය හා මනෝවිශ්ලේෂණය වැනි දර්ශනවාදයන් සියල්ල ම පාහේ අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ නියෝජනය නො කරන, ධූරාවලීන් නඩත්තු නො කරන, සියුම් හෝ වර්ගවාදයන්, ප්‍රාදේශීයවාදයන්, සාරවාදයන්, නිර්ණයවාදයන් හා ඌනිතවාදයන්ට එරෙහි වන ඒවා ය. නමුත් X කණ්ඩායම ඇතුළතින් භාවිතය තුළ දී අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ, ධූරාවලීන්, තෝරා ගත් පුද්ගලයන්ට පහර දීම්, ප්‍රාදේශීයවාදයන් මතු වූයේ කෙසේ ද? මෙයට පිළිතුරු කිහිපයක් උපකල්පනය කළ හැකි ය.
1. එක්කෝ දීප්ති කුමාර ගුණරත්න මේ විවිධ දර්ශනවාදයන් ගැන කථා කළත් මේ දර්ශනවාදයන්ගේ සාරය ග්‍රහණය කර ගෙන නැත.
2. නැත් නම් මේ දර්ශනවාදයන් ගැන අවබෝධයක් තිබුණත් ඔහු දැනුවත් ව මේ දර්ශනවාදයන් අපහරණය හෝ අපයෝජනය කරයි. ඔහුගේ ආත්ම අභිමාථාර්ථයන් සඳහා මේවා පාවිච්චි කරයි. ඔහුට මේ දර්ශනවාදයන් හරහා සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජ අරමුණක් නැත. නමුත් මෙ දර්ශනවාදයන් හරහා සාක්ෂාත් කර ගන්නා පෞද්ගලික අරමුණක් ඇත.
මාගේ නිගමනය වන්නේ X ව්‍යාපාරයේ න්‍යායාත්මක ක්ෂේත්‍රයේ වැඩ කළ අයට යුරෝපියානු දාර්ශනික ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් යම් අවබෝධයක් තිබුණත් මේ දර්ශනවාදයන් පාවිච්චි කළේ සමාජ ප්‍රගමනය, සමාජ විමුක්තිය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා අධ්‍යාපනික මට්ටම ඉහළ දැමීමට හෝ මේ දර්ශනවාදයන්ගේ ආභාසයක් ලබමින් විධිමත් සාමූහික දේශපාලන ව්‍යාපාරයන් ගොඩනැගීමට නො ව මේවා අනුසාරයෙන් තමතමන් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා බව ය. මෙහි ආන්තික ම ප්‍රකාශකයා වූයේ X කණ්ඩායමේ නායකයා ය.
සිවිල් සමාජයේ චරිතවලට පහර දීම X ව්‍යාපෘතියේ ප්‍රධාන උපාය මාර්ගයක් විය. කාලයෙන් කාලයට අර්ජුන පරාක්‍රම, සුචරිත ගම්ලත්, නලින් සුවාරිස්, ජයදේව උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, සසංක පෙරේරා, රංජිත් පෙරේා, සුනිල් විජේසිරිවර්ධන, ධර්මසේන පතිරාජ, ලියනගේ අමරකීර්ති වැනි අයට පහර දීම දීප්ති කුමාර ගුණරත්න පුරුද්දක් කර ගත්තේ ය. එක්කෝ මේ අය න්‍යාය දන්නේ නැති බව හෝ ඔවුන් ‘ගමේ වීම’ හෝ වැනි කරුණු ඉස්මතු කර පහර දුන්නේ ය.
එසේත් නැත් නම් කුමක් හෝ ලිංගික කාරණයක් ඉස්මතු කර මේ පහර දීම සිදු විය. ඇත්ත වශයෙන් ම මේ පහර දීම්වලට සාධාරණ හේතුවක් තිබුණේ ද? මොවුන් යම් හෝ ආකාරයකට සමාජ ප්‍රගමණයට බාධා කළේ ද? ඔවුන්ගේ දැනුමේ අඩුපාඩුවක් තිබුණේ ද? ඔවුන් දැනුවත් ව X කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට බාධා කළේ ද? මේ කිසිවක් සිදු නොවුණ බව මාගේ අදහස ය. එසේ නම් මේ ප්‍රහාරය සිදු වූයේ ඇයි? මේ බොහොමයක් අය එක්කෝ යම් කාලයක දී මේ රටේ විකල්ප දේශපාලන ධාරාවන්හි වැඩ කළ අය ය. නැත් නම් තමතමන්ට හැකි ආකාරයට රටේ යම් චින්තනමය වෙනසක් වෙනුවෙන් වැඩ කළ අය ය. එසේ තිබිය දී මෙවැනි අයට පහර දුන්නේ ඇයි? X කණ්ඩායම මේ අය දාර්ශනික ව යටත් කිරීම (coercion) විනා මේ අය දිනා ගැනීම සිදු කළේ නැත (consent). එමෙන් ම මෙහි වංචනිකත්වයන් ද තිබිණි. මන්ද, මෙසේ ප්‍රහාරයට ලක් වූවන් විසින් යම් හෝ ආකාරයකට X කණ්ඩායමේ නායකත්වයට පිළිගැනීමක් ලබා දුන්නේ නම් ඉහත තත්ත්වය වෙනස් වන බව පෙනී ගිය හෙයිනි. සරල ව කීවොත් X කණ්ඩායම් නායකත්වයට අවශ්‍ය වූයේ පිළිගැනීම ලබා ගැනීම ය. ඔහු පිළිගැනීම ලබා ගැනීම සඳහා ජීවිතයත් මරණයත් අතර අරගලයක නිරත විය (struggle for recognition). අදටත් ඔහු අරගල කරන්නේ මේ පිළිගැනීම ලබා ගැනීමට ය. ඔහුගේ සමස්ත අවධානය යොමු වී තිබෙන්නේ තමන්ට හිමි පිළිගැනීම, ගරුත්වය තහවුරු කර ගැනීමට ය. සරල ව කීවොත් ඔහුගේ කොන්දේසි විරහිත ව පිළිගත යුතු කාන්ටියානු පරම විධානය වන්නේ, ‘කලින් ම බුද්ධ පූජාව වෙන් කරනු! එයින් පසුව අනිත් උන් බෙදා හදා ගෙන කනු!’ යන්න ය. දීප්ති මෙහි දී පෙන්නුම් කරන්නේ දැඩි ආත්මවාදයකි; සෑම දාර්ශනික හෝ දේශපාලන මැදිහත් වීමක් තුළ ම තමන් ස්ථාපිත කර ගැනීමට, තමන් දැකීමට ගන්නා ආත්මවාදී උත්සාහයකි.
හෙගල්ට අනුව පිළිගැනීම ලබා ගැනීමට උත්සාහ කරන විඥානය පවතින්නේ දයලෙක්තික වර්ධනයේ ආරම්භක මොහොතක ය. හෙගල්ට අනුව පරමාත්මයේ වර්ධනය තුළ විඥානය ලබන එක් අනුභූතියක් වන්නේ පිළිගැනීම ලබා ගැනීමට කරන මානසික උත්සාහය ය. පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාවට අනුව මේ විඥාන මොහොත උදාවන්නේ විඥානයට (Consciousness) පසුව උදාවන ස්වයං-විඥානය (Self-Consciounsness) නම් මොහොතේ දී ය. මේ අවස්ථාව දයලෙක්තික චින්තනය තව මත් පරිපූර්ණ නොවුණු මුල් අවස්ථාවකි. මෙහි දී යම් විඥානයකට අවශ්‍ය වන්නේ තමන්ගේ ඇගයුම් අනුන්ගේ ඇගයුම් බවට පත් කිරීමට ය. රොහාන් පෙරේරාගේ අවසන් ආශාව තමන්ගේ ශරීරය ම ය. කොජෙව්ට අනුව ගියොත් ඔහුගේ ආශාව යනු අනෙකාගේ ආශාවය (desire is desire of the other’s desire) නමුත් දීප්ති මෙහි දී පියවරක් ඉදිරියට ගොස් පිළිගැනීම ලබා ගැනීමේ ආශාව දක්වා ඉදිරියට යයි (Desire for Recognition). ඔහු ජීව විද්‍යාත්මක ආශාවන්ගෙන් ගැලවී ජීව විද්‍යාත්මක නොවන ආශාවන්ට යොමු වේ. ඔහු හැම විට ම බලන්නේ අනෙකා තමන්ට පිළිගැනීම ලබා දෙනවා ද යන්න ය. තමන්ට පිළිගැනීමක් ලබා ගැනීමට නම් අනෙකෙකු සිටිය යුතු ය. මේ නිසා ඔහු අනෙකා සම්පූර්ණයෙන් ම මරා දමන්නේ නැත. අනෙකාට මිය යන්නට නො දී කෙසේ හෝ ඔහු හෝ ඇය ජීවමාන ව තබා ගැනීමට උත්සාහ ගනී. මේ නිසා ම තම සංවිධානයෙන් අතීතයේ කැඩී ගිය අය ඔහුට සම්පූර්ණයෙන් අමතක කළ නොහැකි ය. සමහර අවස්ථාවල දී අනෙකාගෙන් තමන්ට අවශ්‍ය පිළිගැනීම ලැබෙන්නේ නැත් නම් ඔහු විසින් ම විවිධ පිටස්තරයන් සයිබර් අවකාශයේ නිර්මාණයක් කර ඒ ‘පිටස්තරයන්’ ලවා තමන් ගැන වග වර්ණනා කර ගනී. මෙවැන්නෙකු සිතන්නේ ‘මම සෑම දෙයක් මල මා සඳහා කර ගතිමි. ඔබ ඔබ සඳහා කිසිවක් නො කර ගත යුතු ය. මා ජීවත් වන්නේ මා සඳහා ම ය. මා ජීවත් විය යුත්තේ ඔබ සඳහා නො ව මා සඳහා ය. ඔබට ඔබේ කියා ජීවිතයක් නැත. එනිසා ඔබ මිය ගිය කෙනෙකි’. යනුවෙනි.
X කණ්ඩායමේ නායකත්වය අදටත් හිරවී සිටින්නේ මේ ආත්මගත චින්තනයේ ය. ඔහුට මේ ඝනීභූත ආත්මගත චින්තනය දයලෙක්තික වශයෙන් සමතික්‍රමණය කිරීමට නොහැකි වී ඇත. අනෙකා සම්බන්ධයෙන් ඔහුගේ බොහෝමයක් නිගමනයන් බිහි වී තිබෙන්නේ තම ආත්මයට ඌනනය වූ චින්තනය මඟින් ය. තමන්ගේ චින්තනය ක්‍රියාත්මක වන්නේ හෙගලියානු දයලෙක්තිකයට අනුකූල ව යැයි කීවත් ඔහු සිර වී සිටින්නේ දයලෙක්තික චින්තනයේ ප්‍රාථමික අවධියක ය.
හෙගලියානු දයලෙක්තිකයට අනුව එක ම දේ නැවත නැවත මුණගැසිය නොහැකි ය. වෙනකෙකු ට්‍රොට්ස්කි ගැන ලිව්වොත් දීප්තිගෙන් එළියට පනින්නේ ට්‍රොට්ස්කිට තිබුණු ගෑනු ප්‍රශ්නයකි. යමෙකු ග්‍රාම්ස්චි ගැන ලියුවොත් ඒ අය නොදැකපු ග්‍රාම්ස්චිගේ ගෑනු ප්‍රශ්නයක් ඔහු සොයා ගනී. යමෙකු ලෙනින්ගේ චින්තනය හා දේශපාලනය ගැන ලිව්වොත් ඔහු ලෙනින්ගේ ගෑනු ප්‍රශ්නයක් සොයා ගනී. මා විසින් එස්.බී.ඩී. සිල්වා 2018 දී මිය යාමෙන් පසුව රාවය පුවත්පතට ලිපි කිහිපයක් ලිවීමෙන් අනතුරු ව දීප්ති ඒ සම්බන්ධයෙන් විවේචනාත්මක ව කියා සිටියේ එස්. බී. ඩී. ගේ ගෙදර තුනපහ, රම්පා, කරපිංචා, ගොරකා කෑල්ල ගැන පවා ලියා තැබූ මට එස්. බී.ඩී. හඳුන්වා දුන්නේ ‘දීප්ති’ බව මා කියා නැති බව ය! ඇත්ත වශයෙන් ම මේ ලිපි පෙළ තුළ දීප්ති සොයා තිබෙන්නේ තමන් ගැන යමක් ලියා තිබේ ද යන්න ය. දෙවනු ව එස්. බී.ඩී. ගේ දේශපාලන ආර්ථිකය ගැන ලියූ මට ඔහුගේ ගෑනු ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න අමතක වී තිබෙන බව ය. රැල්ෆ් බුල්ජන්ස් විසින් මාක්ස්ගේ අතිමහත් දේශපාලන ආර්ථික දාර්ශනික කරුණු කාරණාවන් වෙනුවට මාක්ස් තම ගෙදර සිටි වැඩකාර කෙල්ලක සමඟ ලිංගික සබඳතාවක් තිබුණා ය යන චෝදනාවක් කළ අතර 2 කාලෝ ෆොන්සේකා මේ චෝදනාවට ලබා දුන් උත්තරය ‘මාක්ස්ගේ කොට්ටය පරීක්‍ෂාව’ යන තේමාව යටතේ දැක්වූ අතර එහි දී ඔහු කියා සිටියේ රැල්ෆ් බුල්ජන්ස් වනාහි පොල් කෝම්බයක් ඇතුළතට රිංගා ගත් කඳපණුවෙකු සේ පොල් ලොඳ කා ඉන් එළියට ඒමට නොහැකි ව දඟලන්නෙකු බව ය.
දීප්තිගේ ලිපි තුළින් කථා බහෙන් එළියට පනින්නේ එක්කෝ තමන්ගේ නාගරික බව වෙනුවට අනෙකාගේ ඇති ‘ග්‍රාමීය’ බවකි. එසේත් නැත් නම් තමන්ට ඇති අනෙකාට නැති ඉංග්‍රීසි දැනුමකි. නැත් නම් තමන්ගේ මානසික නිරෝගී බව වෙනුවට අනෙකා තුළ ඇති මානසික රෝගී තත්වයකි. එසේත් නැත් නම් තමන්ගේ දියුණු පවුල වෙනුවට අනෙකාගේ සංස්කෘතික වශයෙන් දුගී පවුලකි. ඔරලෝසු දුන්නක් ක්‍රමානුකූල ව දිග හරිමින් ඉදිරියට යනවා සේ පෙනෙන ගමනක් තමන් ප්‍රකාශයට පත් කළත් ඔහුගේ ආත්මගත චින්තනය නිසා හැම විට ම සිදු වන්නේ තමන් අතින් ගිලිහෙන ඔරලෝසු දුන්න කැරකැවී තිබුණු තැනට ම ආපසු කරකැවීමකි. ඔහුගේ ඕනෑ ම විචාරයක් කරකැවෙන්නේ එක ම තැනක ය. මේ නිසා ඔහුගේ චින්තනය දයලෙක්තික ලෙස ඉදිරියට විකාශනය වන එකක් නො ව බලු වලිගයක් මෙන් ආපසු කරකැවී තමන්ගේ ම පිටෙහි වදින එකකි. මේ බලු වලිග න්‍යාය උණ පුරුකයේ දැම්මත් දිග හැරිය නොහැකි එකකි.
යම් පුද්ගලයකු තමන් උපන් ගම නිසා ඔහුගේ චින්තනය පසුගාමී වන බව කීවොත් එය දයලෙක්තික එකක් නො වේ. එය දයලෙක්තික නොවනවා පමණක් නො ව ව්‍යූහවාදී එකක් ද නො වේ. ව්‍යූහවාදය මඟින් භාෂාවේ ප්‍රාදේශීයවාදයන් බිඳ දැමුවේ ය. දීප්ති තමන්ගේ දයලෙක්තික නොවන බලු වලිග චින්තනයට අනුව ගොස් තමන්ගේ ප්‍රතිවාදීන් ලෙස සැලකූ බොහෝ අයට පහර දුන්නේ ඔවුන්ගේ ගම මතක් කරමිනි. යමෙකු පොළොන්නරුවේ ඉපදීම නිසා හෝ තවත් කෙනෙකු කුලියාපිටියේ ඉපදීම නිසා හෝ ඔහුගේ චින්තනය ඒ අනුව තීන්දු වෙනවා හෝ සීමා වෙනවා යැයි ගැනීම දයලෙක්තික ප්‍රවේශයක් නො වේ.
‘ආචාර්ය නිව්ටන් ගුණසිංහ: ශාස්ත්‍රවේදියෙකුට උපහාරයක් ලෙසින්, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, මඟින් ප්‍රකාශයට පත් කළ නිව්ටන් ගුණසිංහ තෝරා ගත් ලිපි, (2011) ග්‍රන්ථයේ ජයදේව උයන්ගොඩ මෙසේ ලියා තිබේ:
’ආචාර්ය ගුණසිංහ ඉපදුනේ 1946 අප්‍රියෙල් 5 වැනිදා නාවලපිටියේ දී ය. නාවලපිටියෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනයත් ලැබූ හෙතෙම 1963 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ය. එහි දී රැල්ෆ් පීරිස්, ගණනාත් ඔබේසේකර සහ ලක්සිරි ජයසූරිය යන මහාචාර්යවරුන් යටතේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව හැදෑරී ය. උපාධි ලාභයෙන් පසු ව ඔහු උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික කොමිසමේ සභාපති වූ මහාචාර්ය ගුණපාල මලලසේකරගේ පර්යේෂණ නිලධාරියා ලෙස සේවය කළේ ය. හෙතෙම වසරක් පුරා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරකු ද විය. 1973 දී ඔස්ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබූ නිව්ටන් ආචාර්ය උපාධි අධ්‍යාපනය පිණිස එංගලන්තය කරා ගියේ ය. මැක්ස් ග්ලක්මන් සහ පීටර් වුස්ලි යන විශිෂ්ට ශාස්ත්‍රවේදීන් දෙදෙනාගේ අධිපතිත්වයෙන් යුත් සමාජ මානව විද්‍යාව/සමාජ විද්‍යාව අංශය පිහිටා ඇති මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයට හේ සම්බන්ධ වූයේ ය. පසුව සසේක්ස් විශ්වවිද්‍යාලයට මාරු වී 1979 දී ස්වකීය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ ය. (උයන්ගොඩ, 2011, 9-10)
මෙම උපුටනය පරික්‍ෂාකාරී ව කියෙව්වොත් පෙනී යන කාරණයක් වන්නේ නිව්ටන් ගුණසිංහගේ චින්තනය දයලෙක්තික ලෙස වර්ධනය වන ආකාරය ය. නාවලපිටියේ උපත ලැබීම ඔහුගේ චින්තනය සීමා කර නැත. ඇත්ත වශයෙන් ම සිදු වන්නේ තමන් උපදින අවකාශයේ සීමාවන් බාධාවන් තිබේ නම් ඒවා ජය ගැනීම සඳහා ඊළඟ අවධියට ගමන් කිරීමත් එහි දී හමු වන බාධාවන් හා සීමාවන් ඊට වඩා දියුණු අවධියක දී විසඳා ගැනීමත් ය; ඒ ඒ අවධිවල දී තමන්ට හමු වන විශේෂ පුද්ගලයන්, ආයතනයන් හරහා තම චින්තනය පුළුල් කර ගැනීමත් ය. දයලෙක්තිකයේ ඇති මූලික නීතියක් වන්නේ බාධාවන්, සීමාවන් හා ප්‍රතිවිරෝධතා සාධනීය ලෙස ගැනීම ය. නමුත් දීප්තිගේ බලු වලිග චින්තනය අනුව නිව්ටන් ගුණසිංහගේ ගම නාවලපිටිය වීම නිසා ඔහුව නිග්‍රහයට ලක් විය යුතු ය; අපහාස උපහාසයට ලක් විය යුතුය.
මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධන මිය යාමෙන් පසුව උගතුන් කිහිප දෙනෙකුගේ ලිපි එකතුවක් ලෙස 2011 දී සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මඟින් ප්‍රකාශයට පත් කළ ‘ලෙස්ලි ගුණවර්ධන’ පොතට කේ. ඉන්ද්‍රපාලා ලියන ලිපියේ මෙවැන්නක් කියයි:
1938 වසරේදී උපත ලත් ලෙස්ලිට බාලවියේදීම දෙමාපියන් අහිමි විය. එතැන් පටන් ඔහු හැදුනේ වැඩුනේ ස්වකීය ආදරණිය මාමා සමඟ ය. බෑනා වෙනුවෙන් ස්වකීය මුලු කාලය කැප කළ යුතු යැයි සිතූ නිසාදෝ මාමා විවාහයකට පවා ඇතුළත් නොවී තනියම කල් යැවී ය. ගමේ පාසල වන තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඇතුළු වූ කාලයේ සිට ම ලෙස්ලි ස්වකීය අසාමාන්‍ය කුසලතාවන් සහ බුද්ධි මහිමය ප්‍රදර්ශනය කරන්නට පටන් ගති. එවකට ශ්‍රී ලංකාවේ පිහිටා තිබූ එකම විශ්ව විද්‍යාලය වන ලංකා විශ්ව විද්‍යාලයට ග්‍රාමීය පාසැලකින් ඇතුළත් වූ පළමු වැන්නා ලෙස්ලි ය. 1956 අවුරුද්දෙහි ඔහු විශ්ව විද්‍යාල ප්‍රවේශ කලා ශිෂ්‍යත්වය ද උපාධි අපේක්‍ෂකයන්ට පිරිනමන රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වයද දිනා ගති. විසිවන සියවසේ පළමු වන අඩ සියවස ඇතුළත රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද මධ්‍ය මහා විද්‍යාල නිදහස් අධ්‍යාපන ක්‍රමයේ මල්ඵල නෙලාගත් දිදුලන උදහරණයක් ලෙසින් ලෙස්ලි හඳුන්වා දෙනු ලැබීය. ග්‍රාමීය ප්‍රදේශවලින් මතුවන ශිෂ්‍ය ශක්‍යතාවයේ මස්තකප්‍රාප්තියක් හැටියටත් ලෙස්ලි හඳුන්වා දෙනු ලැබීය. (කේ. ඉන්ද්‍රපාලා 2011, 30-31)
ලෙස්ලි ගුණවර්ධනට තම ගමෙහි පාසැල වූ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය සිය චින්තනයේ දයලෙක්තික වර්ධනයට බාධාවක් වී තිබේ ද? දීප්තිගේ බලු වලිග න්‍යාය අනුව නම් ලෙස්ලි තෝංලගමුවේ නිසා නිග්‍රහයට ලක් විය යුතු පුද්ගලයෙකි. දීප්තිට මිනිස් චින්තනයේ දයලෙක්තික වර්ධනය සම්බන්ධයෙන් දැවැන්ත වරදක් සිදු වන්නේ තමන් කේන්ද්‍ර කරගත් ඒකපාර්ශ්වීය දැක්ම නිසා ය. ඔහුගේ ආත්මීය විඥනවාදී චින්තනය සෑම තැනක ම තමන්ගේ මුද්‍රාව දැකීමට ඔහු පොළඹවයි. හෙගල් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළත් තර්කවිද්‍යාව කෘතිය තුළත් කරන්නේ අප හිරවී සිටින ඝනීභූත චින්තනයන්ගෙන් අපව ගලවා ගැනීම ය. නමුත් දීප්තිට තමන් සම්බන්ධයෙන් වත් ප්‍රපංචවිද්‍යාත්මක ගමනක් යා නොහැකි වී ඇත. සමස්තය (totality) හා මැදිහත්වීම් (mediation) යන දෙක ම ගැන සවිඥානක වීම දයලෙක්තික චින්නයේ පදනම ය. දීප්තිට අහෝසි වී තිබෙන්නේ මේ දයලෙක්තික චින්තනයේ පදනම ය. එසේ තිබිය දී මේ පද්ධතියේ එක් තැනක් එනම් ඔහුගේ ප්‍රතිවාදියෙකු ඉපදුනු ගම වැනි ඝනිභූත ප්‍රවර්ගයක් පමණක් ඔහු උත්කර්ෂණය කර එයට පහර ගසයි. මා ඉපදුනේ කාලය, දේශය, දීපය, කුලය මව නම් පස්මහාබැලුම් බලා නො වේ. මට තිබුණේ පූර්ව උපකල්පන විරහිත ආරම්භයකි (presuppositionless begining). නමුත් දීප්ති ඉපදී තිබෙන්නේ කලින් ම පස්මහබැලුම් බලා ය. ඔහුගේ මේ දයලෙක්තික විරෝධී චින්තනය නිසා යමෙකු සියබස්ලංකාරය හදාරා තිබෙන නිසා ඔහුට ඩෙරීඩා අවබෝධ කර ගැනීමට හැකියාවක් නැතැ යි යන දයලෙක්තික විරෝධී නිගමනයක් එළියට එයි. මෙහි දී උත්ප්‍රාසය වන්නේ තමන් වැනි නාට්‍යකාරයකුට ඩෙරීඩා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබුණේ කොහොම ද යන්න ය. යම් ආත්මීය මැදිහත් වීමක් කර ඕනෑ ම චින්තකයකු අවබෝධ කර ගනීමට සෑම කෙනෙකු තුළ ම විභවයක් ඇත. චින්තකයන් අවබෝධ කරගැනීම සුවිශේෂ පුද්ගලයන්ට පමණක් ලැබෙන සුවිශේෂ වරප්‍රසාදයක් නො වේ. එමෙන් ම කිසි ම චින්තකයකු පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගන්නවා යනුවෙන් දෙයක් ද නැත.
අවම වශයෙන් වසර 18ක පමණ කාලයේ සිට මා යෙදී සිටින්නේ එක ම ව්‍යාපෘතියක ය. ඒ හෙගලියානු දයලෙක්තික විධික්‍රමය, එහි ඥානවිභාගාත්මක සහ සද්භවවාදී දැක්ම විකල්ප විමුක්ති දේශපාලනයකට යොදා ගන්නේ කෙසේ ද යන්න පරීක්‍ෂා කිරීම ය. අපගේ දේශපාලනය සඳහා හෙගලියානු-මාක්ස්වාදයක් යෝජනා කිරීම මේ ව්‍යාපෘතියේ කේන්ද්‍රයේ ම ඇත. මේ ඉතිහාසය ගැන සවිඥානකත්වයකින් තොරව දීප්ති කරන විවේචන තුළින් පෙන්නුම් කරන්නේ ඔහු සැබෑ වශයෙන් හෙගලියානු දාර්ශනික සාරය ග්‍රහණය කර ගෙන නොමැති බව ය. මෙයින් මා එන නිගමනය කුමක්ද?
1. ඔහුට හෙගල් අවශ්‍ය වූයේ තමන් මුහුණ දුන් දේශපාලන අර්බුදයක් පියමන් කිරීමේ උපක්‍රමයක් වශයෙන් පමණි. ඔහුට අවශ්‍ය වන්නේ හෙගල්ගේ පිට පොත්ත පමණි. එහි සබුද්ධික මදය ඔහුගෙන් ගිලිහී ඇත.
2. ඔහුට හෙගල් වනාහි දාර්ශනිකයන් අතර තවත් එක් දාර්ශනිකයකු පමණි. සෝෂියර්, ඩෙරීඩා, ෆුකෝ, ලැකාන්, ලැක්ලාව්, ජිජැක් වැනි දාර්ශනිකයන් අතර තවත් එක් දාර්ශනිකයකු පමණි. මනිබඩුකාරයෙකු ළඟ ඇති විවිධ වර්ගයේ භාණ්ඩ අතර තවත් එක් භාණ්ඩයක් පමණි.
3. පුද්ගලයන් සමඟ දයලෙක්තික වශයෙන් අභිමුඛ නො වී තම අභිමතය පරිදි නාමික වත් නිර්නාමික වත් අනෙකාට පහර දීම ඔහුගේ පුරුද්ද ය. එස්. බී. ඩී. සිල්වා ජීවත් ව සිටින කාලයේ දී දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඔහු සමඟ සැබෑ සංවාදයකට යාමේ අවස්ථාව ඕනෑ තරම් තිබිය දී එස්. බී. ඩී. ගේ දේශපාලන ආර්ථික විද්‍යාව ඔහු මිය ගිය පසුව තමන් විසින් සමතික්‍රමණය කර තිබෙන බවත්, එස්. බී. ඩී. නොදැන සිටි ලුබ්ධිමය ආර්ථිකය තමන් දන්නා බවත්, එස්. බී. ඩී. ට ලිංගික හා ගැහැනු ප්‍රශ්න තිබුණු බවත් පැවසීම දයලෙක්තිකවාදියෙකුගේ ප්‍රවේශය නො වේ. යමෙකු ජීවත් ව සිටිය දී සත්‍ය සංවාදයකට නො යා ඔහු මිය ගිය පසු ඔහුගේ සොහොන් කොතට ගල් ගැසීම දයලෙක්තික ප්‍රවේශයක් නො වේ.
ක්‍රි.පූ. 470-399 කාලයේ සිටි සොක්‍රටීස් අපෝහක ක්‍රමය හඳුනා ගන්නේ මේ ආකාරයට ය.