වැටුප්, දීමනා ලබා නොදීමේ ආන්ඩුවේ පියවර හා කම්කරු අරගල

එල්. පී. උදයප්‍රේම  විසිනි.

මේ වසර  ආරම්භයේ සිට පැන නැගුනු කම්කරු විරෝධතා හා වැඩ වර්ජන දිනපතා වර්ධනය වෙමින් පවතී. මාස දෙකකට ආසන්න වෙමින් පවතින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හා දුම්රිය, ගුරු, තැපැල් ඇතුලු පිපිරී එන අවශේෂ අරගලයන් මගින් පෙන්වනු ලබන්නේ, ආන්ඩුවේ සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පංතියෙන් පැන නැගෙන බරපතල ප්‍රතිවිරෝධය යි.

දිවයින අලලා වැඩෙන්නේ වැටුප්, දීමනා රැක ගැනීමේ අරගලයකි. ආන්ඩුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාවට දමන මෘග ආර්ථික සැලසුම් හා ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල පිම්මේ  ඉහල යෑමෙන් ඇති කෙරෙන රුදුරු කොන්දේසි එකී අරගලය වඩාත් තීව්‍ර කරයි.

පැන නැගී ඇති වැඩි වැටුප් හා දීමනා සඳහා වූ අරගලය ආන්ඩුවේ ආර්ථික සැලසුම් සමග කෙලින් ම ගැටෙන බව  දන්නා ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ, රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හී වැටුප් වැඩි කිරීමක් හෝ දීමනා ලබා දීමක් සිදු නො කරන බව කල් තියා ප්‍රකාශයට පත් කිරීම ය. එය පංති යුද්ධය නිවේදනය කිරීමකි.

දස දහස් ගණනින් කොටුවට පැමිණි ගුරු විදුහල්පතිවරු
දස දහස් ගණනින් කොටුවට පැමිණි ගුරු විදුහල්පතිවරු

දිගු කාලයක් ඇදී යන, අනධ්‍යන සේවක වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිගේ උපදෙස් මත, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර පසුගිය 12දා,  වැටුප් වැඩිවීමක් සිදු නො වන බවට අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසමට දන්වා එවා ඇති ලිපියෙන් එය වඩාත් තහවුරු වේ. එය ආන්ඩුවේ මැති ඇමතියන් රෑ දවල් ජප කල ප්‍රකාශයට නිල මුද්‍රාව තැබීමකි.

වැටුප් වැඩිවීම් හා දීමනා ලබා නො දීමට ආන්ඩුව ගත් තීන්දුව කෙරෙහි වැඩ කරන ජනයා අතර බලගතු විරෝධයක් ජනනය කෙරෙන බව දන්නා ආන්ඩුව, වැඩ වර්ජන හා විරෝධතා වැලක්වීමට “විශේෂඥ කමිටුව” නමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී යාන්ත්‍රනයක් ප්‍රකාශයට පත් කර ඇත. 

වර්ජන හා විරෝධතා මගින් සේවකයන් ඉදිරිපත් කල සියලුම ඉල්ලීම් ජනාධිපතිවරයා විසින් අටවා ඇති  “විශේෂඥ කමිටුව”ට ඉදිරිපත් කල යුතු ය. විසඳුම් ලබා දීමට රජය සලකා බලන්නේ එකී ඉල්ලීම් පිලිබඳ මෙම ‘විශේෂඥ‘  කමිටුවේ නිර්දේශයන්ට අනුව මිස කම්කරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් උඩ නො වේ.

කම්කරු පංතියට රහසින්, ධනපති පාර්ලිමේන්තුවේ ද අනුමැතියකින් තොරව, හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ උදය සෙනෙවිරත්න නැමැත්තෙකුගේ සභාපතිත්වයෙන් හා තවත් ආන්ඩු ගැති නිලධාරීන් 4 දෙනෙකුගෙන් සැදුම් ලත් උක්ත කමිටුව ජුනි 11දා ජනාධිපතිවරයා විසින් අටවා ගැනුනකි. ඒ කමිටුවට මුවා වී ජනාධිපතිවරයා  මාන බලන්නේ, තම  ඉල්ලීම් පිලිබඳ ව ආන්ඩුවට හා බලධාරීන්ට බලපෑම් කිරීමට, තීරන වෙනස් කරවීමට කම්කරු පංතියට පවතින ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරා ගැනීමට බව පැහැදිලි ය.

එහි එල්ලය වන්නේ, ආන්ඩුවේ කම්කරු විරෝධී සැලසුම්වලට එරෙහි ව පැන නැගී එන කම්කරු පංතියේ  ප්‍රතිවිරෝධය උපන් ගෙයිම වලලා දැමීම යි. වර්ජන, අරගල නවතා ආන්ඩුව අටවා ඇති “විශේෂඥ කමිටුවට” යටත් වන ලෙස ආන්ඩුව කම්කරුවන්ට බල  කරන්නේ එබැවිනි.

වැටුප් ඇතුලු අයිතීන් රැක ගැනීමේ අරගලයේ නියැලී සිටින  වැඩ කරන ජනයා,  ආන්ඩුවේ  ප්‍රජාතන්ත්‍ර විරෝධී, ප්‍රකෝපකාරි ඉහත  පියවරයන් දැඩිව  ප්‍රතික්ෂේප කල යුතු ය. තම යුක්තියුක්ත ඉල්ලීම් දිනා ගැනීමට ඇති අයිතිය පැහැර ගැනීමට හෝ කම්කරු පංතිය දිනාගෙන ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා ගැනීමට ආන්ඩුවට ඉඩ නො දිය යුතු ය. විශේෂඥ කමිටු උගුල  ප්‍රතික්ෂේප කිරීම ඒ සඳහා ගත යුතු මූලික පියවරකි.   

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහනම් කිරීමට අර අඳින මෙබඳු  ප්‍රකෝපකාරී ක්‍රියා කම්කරු පංතියට අලුත් දේවල් නො වේ. වික්‍රමසිංහමත් ඇමතිකම් දැරූ 1977 එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩුවෙන් ද, සෙසු ආන්ඩුවලින් ද මේ දක්වාමත් අත් හදා බැලෙමින් පවතිනුයේ කම්කරු විරෝධී ක්‍රියාවන් ය.

අද ඒවා වඩාත් රුදුරු ලෙස ක්‍රියාවට දැමීමට ධනපති ආන්ඩු හැරී සිටින්නේ කම්කරු පංතියේ සකලවිධ උරුමය උදුරා ගැනීමෙන් තොරව තම පැවැත්ම රැක ගත නොහැකි බව ධනපති ආන්ඩු ඒත්තු ගෙන සිටින බැවිනි. වැඩ වර්ජන, විරෝධතා මැඬිමට පොලිසි හා කැරලි මර්දන ඒකක නිරන්තරයෙන් උසි ගැන්වීම වශයෙන් ද, අධිකරන තහනම් නියෝගයන්ට කම්කරු උද්ඝෝෂන යටත් කිරීම් වශයෙන් ද, චක්‍ර ලේඛන ඇතුලු විවිධ අනපනත් අලුතින් පනගන්වමින්  සටන්කාමීන් දඩයම් කිරීම් වශයෙන් ද මෙකී වැඩ පිලිවෙල දැනටමත් දියත් කර ඇත. ඊනීයා විශේෂඥ කමිටුව එහි දිගුවකි.

වෘත්තීය සමිතිවල ක්‍රියා කලාපය

වැටුප් වැඩිවීම් හා දීමනා ලබා දීමට නො හැකි යැයි  නිල ප්‍රකාශයක් කරමින් ද වැඩ වර්ජන “විශේෂඥ කමිටුව”ට යටත් කිරීමට කටයුතු කරමින් ද ජනාධිපතිවරයා ගෙන ඇති  පියවරට වෘත්තීය සමිති, සන්ධාන හා පෙරමුනු හුදු විරෝධතාවක්වත් දක්වා නැත. වැටුප් වැඩිවීම්, දීමනා ලබා දීමට නො හැකි ය යන ආන්ඩුවේ නිල ප්‍රකාශය වසාලමින් සමිති නායකයන් තොරොම්බල්  කරන්නේ ආන්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත හැකි බව යි. නොබෝදා,  ගුරු -විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නායකයකු වන, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටැලින්, “අමාත්‍යාංශය  දීමනාව ලබා දෙන බවට පොරොන්දු වී තිබේ”යැයි කල ප්‍රකාශය ඊට කදිම උදාහරනයකි . අමාත්‍යාංශය ඉටු නො කල මේ පොරොන්දුව “ලබා දෙන බවට” ස්ටැලින්  දශක දෙකකට වඩා වැඩි කාලයක් තම සාමාජිකයන්ට ම වමාරා ඇති බව  ඔහුට  අමතකවීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ නිර්ලජ්ජිත ධනපති ගැති කමයි. ඊට බිංදු මාත්‍රයකින් වෙනස් නැති බව අනධ්‍යන, ගුරු විදුහල්පති, දුම්රිය, තැපැල් අරගල දශක දෙක තුන යට ගසා සිටීමෙන් සමිති නායකත්වය ඔප්පු  කර ඇත.

ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල අවශ්‍යතාවන්ට සපුරාම පටහැනිව කම්කරු පංතියේ අව්‍යාජ අරගල පුපුරා යන්නට පටන් ගෙන ඇත්තේ සිය අයිතීන් රැක ගැනීමේ එල්ලයෙනි. මැයි හා ජුනි මස තුල පැන නැගුනු කම්කරු අරගල පෙන්වන්නේ ඒ වෛෂයික සත්‍යය යි.

ජුනි 21දා ට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයට දින 50ක් පිරීම වර්ජන රැල්ල තුල ම කැපී පෙනෙන සංසිද්ධියකි.

වැටුප් දීමනා වැඩි කිරීමක් සිදු නොවන බවට ජූනි 12 දා ආන්ඩුව  සිදු කල තර්ජනාත්මක ප්‍රකාශය මධ්‍යයේ අනධ්‍යන සේවකයන්ගේ ප්‍රති උත්තරය වී ඇත්තේ තම අරගලය තීව්‍ර කිරීමයි. ඉල්ලීම්  ලබා නොදෙන ආන්ඩුවට අභියෝග කරමින්, විශ්ව විද්‍යාල මූලික කොට ගනිමින් ජුනි 14දා සිට යලි විරෝධතාවන්ට අවතීර්න වීමත්, ලබන සතියේ දී සියලුම අනධ්‍යන සේවකයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා උද්ඝෝෂනයක් කොලඹ පැවත්වීමට සංවිධාන කිරීමත් එම අරගලය කුලු ගැන්වීමකි.

AJ

ඊට සමාන්තරව වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා, ජුනි 12දා සිට, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, අධ්‍යාපන කලාප කාර්යාල මට්ටමින් විරෝධතා 100 ක් සංවිධාන කොට ඇත. සාමාන්‍ය පෙල විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් රාජකාරියේ නිරත ගුරුවරු, තමන්ට නියමිත සංයුක්ත දීමනාව ඉල්ලමින්, ඇගයීම් කටයුතුවලින් ඉවත් ව, 12දා, පැවත් වෙන විරෝධතාවට එක් වූහ.

ජූනි 25 දා විසඳුම් නොලැබුනහොත් දැඩි  සමිති  ක්‍රියා මාර්ග ගන්නා බවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනේ මේ තතු මධ්‍යයේ ය. ඒ අනුව, 26 දා ගුරු විදුහල්පතිවරු අසනීප නිවාඩු දමා එක් දින  වැඩවැරීමකට සහභාගී වූ අතර එදින සවස පැවති ගුරු උද්ඝෝෂනය පොලීසිය කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර මර්දනය කලේය. වර්ජනය පසුදා ද පැවැත්විනි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් අදාලව පවතින ගැටලු නො විසඳේ නම් වැඩ වර්ජනයකට යෑමට සිදු වෙන බව ශ්‍රීලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ජුනි 12 දා  දුම්රිය බලධාරීන්ට හා ආන්ඩුවට අනතුරු ඇඟවී ය.  

ශ්‍රේනි උසස්වීම් ප්‍රශ්නය නොවිසඳීමෙන් ස්ථානාධිපතිවරුන්ගේ ඉහලම තනතුරු වන දිස්ත්‍රික් ප්‍රවහන පරික්ෂක ශ්‍රේනියට ඇතුල්වීමේ අවස්ථාව වැලකී යයි. මෙය විසඳන ලෙස  කාලයක් තිස්සේ  ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. 

ජුනි 6 දා දුම්රිය ධාවනාගාර 5න් 2ක දුම්රිය රියදුරන් වර්ජනයකට පිවිසුනේ ද ඔවුන්ගේ උසස්වීම්  හා බඳවා ගැනීම් ප්‍රමාදයට විරුද්ධව ය. ගැටලුව විසඳීමට දුම්රිය බලධාරීන් එකඟ වීමෙන් අනතුරු ව දින 3ක් පැවති වර්ජනය අත් හිටුවීමට සමිති නිලධරය තීන්දු ගත්තේ ය.

දිගු කාලයක සිට සිය ඉල්ලීම් උඩ විටින්විට වර්ජනයට ආ  තැපල් සේවකයන්, ජුනි12 දින අසනීප නිවාඩු වාර්තා කරමින් එක් දිනක් පමනක් සේවයෙන් ඉවත් වී සිටීමේ විරෝධතාවකට තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන යොමු කලේ ය. වෘත්තීය සමිති 23ක් ඊට සහයෝගය දැක්වූ අතර 21000ක සේවක සංඛ්‍යාවක් විරෝධතාවට සහභාගී වූ බව වෘත්තිය සමිති පෙරමුන ප්‍රකාශ කරයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ 5000ට වැඩි පුරප්පාඩු ඇතත් එය පිරවීමට බලධාරීන් ක්‍රියා නො කරන බවට තැපැල් සේවකයෝ සඳහන් කරති. මේ මගින් වැඩි වැඩ කොටසක් සේවකයන් මත පැටවේ. උප තැපැල් ස්ථානාධිපති තනතුරේ 400ට ආසන්න සංඛ්‍යාවක් වැඩ බලන පදනමින් වසර ගනනාවක් සිටිති. ඒ සියල්ල ස්ථීර කිරීමත්, පුරප්පාඩු පිරවීමත් ඉල්ලීම් අතර ප්‍රධාන වේ.

මේ ඉල්ලීම් මේ මස 24දාට පෙර ලබා නො දෙන්නේ නම් අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගන්නා බව සමිති පෙරමුන ප්‍රකාශ කොට ඇත.

රජයේ මිනින්දෝරු නිලධාරිහු, මැනුම් කටයුතු පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව ගන්නා  පියවර නතර කිරීම ඇතුලු ඉල්ලීම් 10ක් මුල් කර ගත් විරෝධතාවකට පිවිසුනාහ. එහි පියවරක් ලෙස ජුනි 10 දා අසනීප නිවාඩු වාර්තා කොට සේවයෙන් ඉවත් වූහ.

එකී පියවර ගත්තේ, මේ වසරේ මාර්තු 28 දින සිට ඔවුන් අඛන්ඩ ව නිරත ව සිටින අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් මධ්‍යයේ  ය.

මැනුම් සභාවට මිනිදෝරු නිලධාරීන් පත් කර ගැනීම, දීමනා යාවත් කාලීන කර ගැනීම, ඔවුන්ගේ  නවාතැන් හා ප්‍රවහන ගැටලු විසඳා ගැනීම, උසස්වීම් ලබා දීමේ විධිමත් බව, වාර්ෂික ස්ථානමාරු ගැටලු විසඳා ගැනීම, ශ්‍රේනි උසස්වීම් ලබා ගැනීම, තවමත් ස්ථීර නොකෙරුනු අය ස්ථීර කර ගැනීම සහ මිනින්දෝරු සේවාවේ පවතින පුරප්පාඩු 350 සම්පූර්න කර ගැනීම අනිකුත් ඉල්ලීම් අතර වේ.

ජුනි 3 දා උතුරු මැද පලාතට අයත් පලාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් ස්ථීර කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂනයක් අනුරාධපුර නගර මධ්‍යයේ පැවැත්වින. ඊට සහභාගි වූ අනියම් කම්කරුවෝ ඩී.එස්. සේනානායක වටරවුමේ සිට පාගමනින් ප්‍රධාන මාර්ගය ඔස්සේ උතුරු මැද පලාත් සභාව ඉදිරියට පැමින එය  ඉදිරියේ විරෝධතා දැක් වූහ.

84000ට වැඩි අනියම් කම්කරුවෝ, දිවයින පුරා නගර සභා, මහනගර සභා සහ ප්‍රාදේශීය සභාවල සේවයේ නියුතු ව සිටිති. එම කම්කරුවන් අතර වසර  20ට වඩා වැඩි සේවා දිගුවක් ඇති කම්කරුවන්ගේ පවා සේවය ස්ථීර කොට නොමැත.

ශ්‍රී ලංකා පලාත් පාලන සේවක සංගමයේ උතුරු පලාත් ලේකම් එම්.ගිහානි  මෙසේ පවසයි: “අපි දැනට වසර 22ක් අනියම් සේවකයන් හැටියට සේවය කරනවා. ස්ථීර කරන බවට පොරොන්දු දීලා පාලකයෝ වරින්වර අපිව රැවට්ටුවා. බලධාරීන් සමග සාකච්ඡා  කලත් මෙතෙක් විසඳුම් ලබා දුන්නේ නැහැ.”

2015 දී මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගත් මාර්ග නඩත්තු කම්කරුවන් 1000කගේ සේවය මෙතෙක් ස්ථිර කර නැතැයි එම කම්කරුවන් සාමාජිකත්වය දරන එක්සත් පොදු සේවක සංගමය පවසයි. එනිසා  ජුනි 12දා රැකියා  ස්ථීර කරන ලෙස බලකරමින් ඔවුන් මහාමාර්ග අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නියැලීමට නියමිත ය.

මාර්ග නඩත්තු කම්කරුවෙකුගේ දිනක වැටුප රු.825කි. මාසයකට හිමි නියමිත දින ගනන සේවය කලොත් රු.5000ක දීමනාවක් හිමි වේ. විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන කම්කරුවෙකුට එකී එල්ලය ජයගැනීම අසීරු කටයුත්තකි. එම නිසා ඔවුන්ට ලබා ගැනීමට හැකි වන්නේ රු.25000ට අඩු සොච්චම් වැටුපක් බව එම සංගමයේ ලේකම් නිහාල් අජිත් පැවසී ය. 

කම්කරු අරගලයන්ට සමාන්තරව  ජුනි 3දා බදුල්ල නගරයට රැස්වූ ඌව පලාතේ රැකියා විරහිත උපාධිධාරිහු රැකියා අවස්ථා තහවුරු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවත් වූහ. පලාත් සභාව ඉදිරියේ  විරෝධතාව පැවත් වූයේ බදුල්ල විල්ස් පාක් ක්‍රිඩාංගනයේ සිට බදුල්ල නගරයේ බසාර් වීදිය, පහල වීදිය හා තැපැල්හල පාර ඔස්සේ පැමිනි පෙලපාලියකින් අනතුරුව ය.

රැකියා විරහිත සම සෞඛ්‍ය උපාධිධාරිහු රාජ්‍ය සේවයට වහා බඳවා ගන්නා ලෙස ආන්ඩුවට බලකිරීමේ උද්ඝෝෂනයක් ජුනි 12දා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවත් වූහ. මේ වනවිට  රැකියා නො ලැබුනු උපාධිධාරින් සංඛ්‍යාව 1000ට අධික ය.

හෙද, ඖෂධවේදී, භෞතචිකිත්සක ආදී සේවාවන්ට අදාලව උපාධිය සම්පූර්න කල උපාධිධාරින්ට රජය  රැකියා ලබා නොදෙන්නේ එම සේවාවල විශාල පුරප්පාඩු පවතිද්දී යැයි සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සදහන් කරයි .

කාලයක් තිස්සේ නො විසඳී පවතින ගැටලු වහා විසඳන ලෙස බලකරමින් මැයි 27දා සිට අකුරට වැඩ කිරීමේ විරෝධතාවක ග්‍රාම නිලධාරීහූ නියැලුනාහ. ජුනි 7දා ග්‍රාම නිලධාරි සංගමය සහ ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් අතර සිදුකල  සාකච්චාවේදී විසඳුම් ලබා දෙන බවට වූ  පොරොන්දුව උඩ විරෝධතා තාවකාලික ව අත් හිටුවා තිබේ.

එලැඹ ඇති මැතිවරන තතු තුල සොච්චමක් ලබා ගැනීමට හා එමඟින් සාමාජිකයන් අතර වැහැරී ගිය තම අධිකාරිය යලි වාරු කර ගැනීමට සමිති නායකත්වයට  සුලු හෝ බලාපොරොත්තුවක් තිබුනේ නම්, ඉල්ලීම් නොදීමේ ආන්ඩුවේ පියවරෙන් එය බිඳ දමා ඇත. ජාමූඅ සහ ආන්ඩුව ගෙන යන පිලිවෙත පිලිගන්නා මේ වෘත්තීය සමිති – ලංකා විදුලි බල මන්ඩලය, තෙල් සංස්ථාව, ටෙලිකොම් ඇතුලු පුද්ගලිකරනයට මුහුන පා තිබෙන 400ට අධික රාජ්‍ය ආයතනයන්හී සමිති නායකත්වය – කම්කරු පංතියට විකල්පයක් ඉදිරිපත් කිරීමට අසමත්ව සිටි. ඒ වෙනුවට කම්කරු  අරගල අසංවිධානකොට තැබීම, ධනපති පාලකයන්ගේ බොරු සාකච්ඡාවල රස්තියාදු ගැස්සීම, කල් මැරීම හා අවශේෂ කම්කරු කොටස්වලින් භේද කොට හුදකලා කිරීම, සමිති  සිය පිලිවෙත බවට පත් කර ගෙන ඇත . 

මීට එරෙහි ව සටන් සංවිධානය කිරීමට, කම්කරු පංතියේ අව්‍යාජ අවශ්‍යතාව නියෝජනය කෙරෙන ලෙස තම සේවා  ස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදී බල සංස්ථා ලෙස කම්කරු කමිටු ගොඩ නැගීමට කම්කරුවන් මූලිකත්වය ගත යුතු වේ. කම්කරුවන්ට රහසින් තීන්දු ගන්නා සමිති නිලධරයේ යටිකූට්ටු වැඩ වෙනුවට  තමන්ගේ අරගලය කවර ක්‍රියා මාර්ග, පිලිවෙත් මත සංවිධාන කරන්නේ ද යන්න ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කොට තීන්දු තීරන ගැනීමට මෙම කමිටු තුල කම්කරුවන් යොමු විය යුතු ය. ශ්‍රේනිවාදී හා භේදකාරී මොනම දෙයකට හෝ ඉඩ නොදෙන කම්කරු පංතියේ එකමුතුවකට මග සාදා ගත හැක්කේ ඒ හරහා පමනි.

කම්කරුවන්ගේ මෙම නව සංවිධාන තම අතට දේශපාලන බලය ලබා ගැනීම සඳහා ධනපති පාලක පංතියට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු අධිරාජ්‍යවාදී මූල්‍ය කථිපයාධිපත්‍යයට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් මෙහෙයවා ගැනීමකින් තොරව කිසිදු සමාජ අයිතියක් ආරක්ෂා කර ගත හැකි නොවේ. යුද්ධය හා සමාජ ප්‍රතිවිප්ලවය පරාජය කිරීම සඳහා මෙම කමිටු ජාතිකවත්, ජාත්‍යන්තරවත්  එකමුතු කර සංවිධානගත කරන ජාත්‍යන්තර දේශපාලන වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ කම්කරුවන්ගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) හා එහි ජාතික ශාඛා යි. අන් සියල්ලටමත් මත්තෙන්, හජජාක ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමත්, ඒ තුල ඉදිරි මහජන අරගලවලට නායකත්වය සම්පාදනය කල හැකි අව්‍යාජ විප්ලවවාදී නායකත්වය ස්ථාපිත කිරීමත් කම්කරු පන්තියේ ජීවිතය හා මරනය පිලිබඳ ප්‍රශ්නයකි. සසප නායකත්වයේ ප්‍රතිගාමීත්වයට එරෙහිව නායකත්වයේ මෙම අර්බුදය විසඳීමේ අරගලය සසප-වම ෆැක්ෂනය පෙරට ගනිමින් සිටී. එම අරගලය සමග බද්ධ වන ලෙස අපි අප පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *