වැඩෙන මහජන වෛරය ගැන ධනපති පුවත්පත් ජවිපෙ/ජාජබ ආන්ඩුවට අනතුරු අඟවයි

වසන්ත රූපසංහ විසිනි.
ලංකාවේ දිනපතා ඉංග්‍රීසි බසින් පලවන ප්‍රධාන පුවත්පත් දෙකක් වන ඩේලිමිරර් සහ දි අයිලන්ඩ් පසුගිය සඳුදා ලියූ කතුවැකි, වත්මන් ආන්ඩුව කෙරෙහි වැඩෙමින් පවතින මහජන වෛරය පිලිබඳ උත්සුකතාව පෙන්නුම් කලේය.
“ආන්ඩුවේ පොරොන්දු සහ අසරනයින්ගේ බැරියාව” (ඩේලිමිර්‍ර්) සහ “නූගත් පාඩම්” (දි අයිලන්ඩ්) මාතෘකා යටතේ පලකල තිබූ කතුවැකි දෙකෙන්ම, මෝදුවෙමින් පවත්නා මහජන විරෝධය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට අනතුරු අඟවා ඇත.
“වල ශුද්ධ කිරීමට” පොරොන්දු වෙමින් බලයට පැමිනි ජවිපෙ/ජාජබ ආන්ඩුව “වලටම වැටී ගිලී යාවිද” යන ප්‍රශ්නය “බහුතරයක් ජනයාගේ” සිත්සතත් තුල පැනනැගී ඇති බවට මිර්‍ර් කතුවැකිය සැකසංකා පලකර තිබුනි. දි අයිලන්ඩ් කතුවැකිය ආන්ඩුවට අනතුරු අඟවා සිටියේ, 2022 මහජන අරගලයට “සමාන තත්වයක්” යලිත් ඇතිවීමේ ශක්‍යතාවක් ඇති බවයි.
ලංකාවේ පාලක ප්‍රභුවේ අවශ්‍යතාවන් පිලිබිඹු කරන මෙම පුවත්පත් දෙකේම සැලකිල්ල යොමුවී ඇත්තේ ධනපති පංති පාලනය අස්ථාවර කරනු ඇති එවන් තත්වයක් වලක්වා ගැනීම, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ වගකීම බව පෙන්වා දීමටයි.
මෙම මාධ්‍යවල කනස්සල්ලට තුඩු දී ඇත්තේ කුමක් ද?
කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් 500,000කට අධික දිනපතා වැටුප් ලබන කම්කරුවන්ගේ රැකියා අහෝසිවීම ගැන සඳහන් කරන මිරර්, මහජනයා අත්විඳින දරිද්‍ර තත්වය ගැන මෙසේ සඳහන් කරයි: “දල වසයෙන් පවුලක පුද්ගලයින් හතර දෙනෙකු සිටියැයි සලකන විට, මෙහි අර්ථය වන්නේ පුද්ගලයින් ලක්ෂ 20කට අවශ්‍ය අවම ආහාර මිලදී ගැනීමේ ශක්‍යතාව අහිමි තිබෙන බවයි. පාර දෙපස තැන් තැන්වල බාගෙට නිම කරන ලද ගොඩනැගිලි පෙන්නුම් කරන්නේ මෙම ජනයාගෙන් බොහෝ අය තාමත් රැකියා විරහිත ව සිටින බවයි.”
2023 අප්‍රේල් ලෝක බැංකු වාර්තාව උපුටා දක්වමින්, 2019 සිට දරිද්‍රතාව වැඩී ඇති බව ප්‍රකාශ කරන මිරර්, 2020දී සියයට 11.3 සිට 12.7 දක්වා, ලක්ෂ 3ක් “නව දුප්පතුන්” අලුතෙන් එකතු කර ඊලඟ දෙවසරේ එය දෙගුන වී “අතිරේක ව ලක්ෂ 25ක් ජනයා දුප්පතුන්ගේ ගොඩට එකතු” වී ඇති බව සදහන් කරයි.
පුවත්පත අනතුරු අඟවන්නේ, මෙම දරිද්‍රතාව මතට දැන් හාල්, පොල් හා අනෙකුත් දෑ වල මිල ඉහලයාම ගොඩගැසී ඇති ව උත්සන්නවන පුපුරනසුලු තත්වය ගැනයි. මෙම තත්වයට පසුගිය ආන්ඩු වැඩි වගකීමක් දරන බව ප්‍රකාශකරමින් දිසානායක ආන්ඩුවට සමාවට කරුනු කියන මිරර්, තත්වය ඔද්දල් වී ඇත්තේ ආන්ඩුව කප්පරක් පොරොන්දු දීම නිසා බව පෙන්වා දෙයි.
මතුවිය හැකි අනතුර ගැන දි අයිලන්ඩ් මෙසේ අමුවෙන්ම කියා ඇත: “ 2022 මැයිවලදී අප අත්දුටුවාට සමාන තත්වයක් යලිත් ඇතිවීමේ හැකියාවක් ඇතිය යන කාරනය බැහර නොකල යුතුය යන්න ජාජබ සිහියේ තබා ගත යුතු ය. ගෝඨාභය රාජපක්ෂ අතේ විධායක ජනාධිපති බලතල පැවතුනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් තිබුනි. නමුත් 2019 තන්ත්‍ර වෙනසෙන් තෙවසරකට අඩුකාලයක් තුලදී පොදු ජන පෙරමුනු නායකයන්ට අකුලාගෙන පලායාමට සිදුවිය. එය ඕනෑ ම කෙනෙකුට සිදුවිය හැක.”
මහජන අරගලයක් කෙරෙහි ධනපති පන්තියේ කොටස්වල තැතිගැන්ම පිලිබිඹු කරන මෙම අනතුරු ඇඟවීම් කම්කරු පන්තියේ බරපතල අවධානයට ලක්විය යුතුය. මන්දයත්, මෙම මාධ්‍යයේ කනස්සල්ල එදිනෙදා ගැටගසා ගැනීමට අරගලයක යෙදෙන කම්කරුවන් හා දුගීන් කෙරහි දයාවකින් උපන් එකක් නොව, ධනපති පද්ධතිය රැකගැනීමට ආන්ඩුව පැත්තෙන් සුදානම්වීමේ උවමනාව ඉඟිකර ඇති නිසා ය.
වැඩකරන ජනතාව මුහුන දෙන රුදුරු කොන්දේසි උත්සන්න වී ඇත්තේ, 2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නය මුදා හරිනවිට, එහි ජ්‍යෙෂ්ට නිලධාරි පීටර් බ්‍රුවර් කී පරිදි ඔවුන් ආන්ඩුව සමග එක්ව “ලංකාව තුල මුර්ග අත්හදාබැලීමක” යෙදෙන නිසාය. ඩේලිමිරර් හෝ දි අයිලන්ඩ්, ඉහත සඳහන් කල සිය කතුවැකිවල ජාමුඅ වැඩපිලිවෙල ගැන වචනයක් වත් කියා නැත්තේ අමතක වීමකින් නොව, ඒවා එම මුර්ග වැඩපිලිවෙල අනුමත කරන නිසා ය. ජාමුඅ කප්පාදුවට ප්‍රතිඥා දී ඇති පාලක පන්තිය හා එහි දිසානායක ආන්ඩුව පුපුරනසුලු තත්වය මගහැර යාමට නොහැකි බව දනිති. ආන්ඩුවට කල හැක්කේ කම්කරු පන්තියේ හා දුගීන්ගේ අරගල තලා දමමින් ආඥාදායක පාලනයකට මාරු වීමයි.
පෙබරවාරි 7දා ලංකාවේ අපනයනකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උලෙලේ දී රැස්ව සිටි මහ ධනපති ව්‍යාපාරිකයන් අමතා ජනාධිපති දිසානායක “ලංකාවට ප්‍රකෘතිමත් වීමට ඇති එක ම සක්‍ය විකල්පය නම් ජාමුඅ පිටුබලය දෙන මාවත බව අවධාරනය කල බව” ඩේලිමිරර් වාර්තා කලේය. දිසානායකගේ වචන මෙසේ ය: “එක්කෝ අපට මේ පදනමත් සමග කඩාවැටීමට හැකිය, නැතිනම් මේ [ජාමුඅ] පදනම මත ශක්තිමත්ව නැගී සිටිමින්, ශක්තිමත් අඩිතාලමක් මත අපේ ආර්ථිකය ගොඩනැගිය හැක.” ඔහු සඳහන් කරන්නේ දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ නැගී සිටීම ගැනය.
ජාමුඅ සමග එකඟ වී ඇති පරාමිතීන් ලෙස නියම වී ඇත්තේ, දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ ව, ආන්ඩුවේ ආදායම මේ වසරේ සියයට 15.1 දක්වා නංවා ගැනීම, අයවැයේ ප්‍රථමික ගිනුමේ සියයට 2.3ක අතිරික්තයක් පෙන්වීම සහ ආන්ඩුවේ වියදම් සියයට 13.8 සීමාකර ගැනීම සහ නය ගැනීමේ සීමාව තුල පිහිටා සිටීම යයි දිසානයක කියා සිටියේය.
මේ සංඛ්‍යා, සැබවින්ම ක්‍රියාවට දැමිය හැක්කේ, වැඩකරන ජනතාවට අන්ත රුදුරු කොන්දේසි නිර්මානය කරමිනි. පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව හා වත්මන් දිසානායක පාලනය ප්‍රකාශයට පත්කර ඇති පරිදි, රාජ්‍ය අංශයේ රැකියා 500,000 අධික ගනනක් කපාහැරීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකරනය හෝ වානිජකරනය හා එමගින් ලක්ෂ පහක් වන ඒවායේ සේවකයන්ගේ රැකියා විශාල සංඛ්‍යාවක් විනාශ කිරීම, තව තවත් බදු ඉහල දැමීම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුලු සමාජසේවා වේගයෙන් අතුගා දැමීම, ආදී වශයෙනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) මේ ප්‍රහාර පිලිබඳව කල්තියා අනතුරු අඟවා, ආන්ඩුව ධනපති ක්‍රමයේ වත්මන් ගැඹුරු අර්බුදයේ ගොදුරු බවට තමන් පත්කරගැනීමට එරෙහිව කම්කරු පන්තිය ගම්බද දුගී ජනතාවගේ සහාය ගොනු කර ගෙන තම අයිතීන් රැකගැනීමේ විකල්ප වැඩපිලිවෙලට සටන් කිරීමට කැඳවුම් කලේය. දිසානායකගේ ජවිපෙ/ජාජබ ජනාධිපතිවරනයෙන් ජය ගැනීම විශ්ලේෂනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අපි මෙසේ ලීවෙමු:
“ජවිපෙ/ජාජබ සඳහා ලැබුනු ඡන්ද ප්‍රමානය නාටකාකාර ලෙස වැඩි වීම අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයකි—එක් අතකින්, තවදුරටත් නරක අතට හැරෙමින් පවතින ආර්ථික හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් ජනගහනයේ පුලුල් ස්ථරයන්ගේ සතුරුකම සහ කෝපය; අනෙක් අතින්, 2022 මහජන නැගිටීම යම් පුනර්ජීවනයක් ලබමින් විප්ලවවාදී මාවතක් ගැනීම වැලැක්වීමේ ආයුධයක් ලෙස ජවිපෙ/ජාජබ යොදාගැනීමේ හැකියාව සලකාබලමින් පාලක පන්තියේ කොටස් ඊට සැලකිය යුතු සහයෝගයක් දීමයි.’
අපි තවදුරටත් මෙසේ කීවෙමු:
“එපමනක් නොව, ජීවන තත්වයන් නරක අතට හැරෙන විට, දිසානායකගේ පොරොන්දු වනාහි පච වැලක් බව වැඩකරන ජනතාව තේරුම් ගන්නා විට, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජවිපෙ/ජාජබ සඳහා පුලුල්ව පැතිරුනු සහයෝගය ඉක්මනින් වාෂ්ප වී යනු ඇත. වික්‍රමසිංහ මෙන් ම ජවිපෙ/ජාජබ ද නොවැලැක්විය හැකි ලෙස පැන නැගෙනු ඇති වැඩවර්ජන හා විරෝධත මැඩපැවැත්වීම සඳහා පොලිස්-රාජ්‍ය ප්‍රහාරවලට එලඹෙනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි. ජවිපෙ/ජාජබ සිය ආන්ඩුව යටතේ මර්දනකාරී පියවරයන් සඳහා සූදානම්වීම්වස් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සාමූහිකයක් ගොඩනගමින් සිටී.’
ලෝසවෙඅ විශ්ලේශනය සනාථ වී ඇත. පෙබරවාරි 4 දා නිදහස් උත්සවය අමතමින් දිසානායක අවධාරනය කලේ, සියලු වැඩකරන ජනතාව ඔහු සමග එකට සිටිමින් “මාතෘ භුමිය” ගොඩනැගීමට කැපවිය යුතුබවයි. මාතෘභූමිය නම්වූ විරුදාවලියෙන් ඔපදමා ඇත්තේ “ධනපති ක්‍රමයයි.” තම අයිතීන් සඳහා සටනට එන කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් මාතෘභූමිය ගොඩනැගීමට විරුද්ධවන්නන් ලෙස තලා දැමීමට ආන්ඩුව නොපැකිලෙනු ඇත. 1988-1990 සමයේ දී “ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ” ආක්‍රමනයෙන් මව්බිම ගලවා ගැනීමේ තම ෆැසිස්ට් උද්ඝෝෂනවලට එක්වන ලෙස කම්කරුවන්ට, තරුනයන්ට හා දුගීන්ට බලකල ජවිපෙ ඊට විරුද්ධවුවන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කල බව සිහිකර ගත යුතු ය.
අර්බුදය වඩාත් උග්‍රවීමත් සමගම, තම අයිතීන් රැක ගැනීමට කම්කරු පන්තිය ප්‍රතිප්‍රහාර වලට ඉදිරියට එද්දී, පාලක පන්තීන් ආඥාදායක හා ෆැසිස්ට්වාදී පාලන විධික්‍රම වෙත හැරෙනු ඇත. මෙය ලෝක පරිමානව ම ධනපති පාලක පන්ති වල හැරීමයි. එක්සත් ජනපදයේ බලයට පත් ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂයෙන්ම, එරට තුල සංක්‍රමනිකයන් ඉලක්කකොට අරඹා ඇති ම්ලේච්ඡ ප්‍රහාර ධනේශ්වර අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය පෙන්නුම් කරයි.
කම්කරු පන්තිය පාලක පන්තියේ මූලෝපායට එරෙහි ව තමන්ගේ මුලෝපාය වර්ධනය කර ගත යුතු ය. එහි කොටසක් ලෙස, සියලු ධනේශ්වර පක්ෂවලින් හා ඒවායේ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සෑම කර්මාන්ත ශාලාවක ම, වැඩබිමක ම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කර සිටි. ගම්බද දුගීන් ද ඔවුන්ගේ ප්‍රදේශවල එවන් කමිටු පිහිටුවාගත යුතු ය.
මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම්ව කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ අවශ්‍යතාව සසප අවධාරනය කරයි. ධනේශ්වර පාලනය පෙරලා දමා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට ගම්බද දුගීන් පෙලගස්වා ගැනීමට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම මෙහි අරමුනයි.
ජවිපෙට අයත් වෘත්තීය සමිති ද ඇතුලු සියලු වෘත්තීය සමිතිවල නිලධරයන් පසුගිය දෙවසර පමනක් ගත්තද කම්කරුවන්ගේ විරෝධය විසුරුවා හැරීමට ක්‍රියාකොට දැන් ආන්ඩුවේ ප්‍රහාරවලට ඉඩ දෙමින්, ආන්ඩුවට තව කල් දියයුතුයයි කියාසිටිමින් ඊට මුලුමනින්ම සහාය දෙමින් සිටී.
ආන්ඩුවට වඩාත් නින්දිතම සහායක භූමිකාව ඉෂ්ට කරනු ලබන්නේ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), විපක්ෂයේ සමගි ජනබලවේගය (සජබ) සහ සෙසු දෙමල, සිංහල, මුස්ලිම් ධනපති පක්ෂ විසිනි. දිසානායකගේ මර්දනකාරී දක්ෂිනාංශික ආන්ඩුවට “මහජන ආන්ඩුව” යන ලේබලය අලවා තිබෙන පෙසප එයින් සහන හිඟමනේ යෙදෙන වැඩපිලිවෙලකට වැඩකරන ජනතාව යටත් කිරීමේ උද්ඝෝෂනයක් ගෙන යයි.
සජබ ඇතුලු අවශේෂ දූෂිත පක්ෂ, ආන්ඩුවේ ජාමූඅ වැඩපිලිවෙලට පූර්නව සහාය පලකරන අතරේ, මහජනයාගේ වැඩෙන වෛරය ධනපති ක්‍රමයේම අතයටට ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් වඳ විවේචන ඉදිරිපත් කරයි.
සසප ඉල්ලා සිටින්නේ කම්කරු පංතිය මෙම පක්ෂවලින් බිඳී සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීම සඳහා එහි ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීමට සටන් කරන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට එක්වන ලෙසයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.