වැඩ තහනමට ලක්වූ විදුලිබල සේවකයින් 62 දැඩි කොන්දේසි යටතේ සේවයට කැඳවයි

විමල් පෙරේරා විසිනි.

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) පෞද්ගලීකරනයේ මුල් අවධිය වන, ආයතනය කොටස් 12 කට වෙන් කෙරෙන නව විදුලි බල පනත ජූනි මස පාර්ලිමේන්තුව තුල සම්මත කිරීමෙන් අනතුරුව පෞද්ගලීකරනයට එරෙහිව රට පුරා සටන් වැදුනු ලංවිම සේවකයන් අතුරින් දඩයමට ලක් කල සේවකයින් 62 කොන්දේසි සහිතව සේවයට කැඳවා තිබේ’

එක් කොන්දේසියක් නම් සේවා ස්ථානය මාරු කිරීමයි. දෙවැන්න, මෙම සේවකයන්ට එරෙහි විනය පරීක්ෂනය දිගටම ගෙන යාමයි.

“නැවත සේවයේ පිහිටුවීම” යන මැයෙන් 2024 ජූලි 30 දාතමින් ලංවිම සාමාන්යාධිකාරී විසින් සේවකයන්ට එවා ඇති ලිපියේ මෙසේ සඳහන් වේ: “උක්ත කරුන සම්බන්ධයෙන් 2024-07-23 දින පැවැති මන්ඩලීය රැස්වීමේදී ගනු ලැබූ තීරනයකට අනුව ප්‍රස්තුත කරුනු සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ 2024-07-26 දිනැති ලිපියෙන් දන්වා ඇති පරිදි ඉදිරියේදී සිදු කරනු ලබන විධිමත් විනය පරීක්ෂනයට අගතියක් නොවන පරිදි, ඔබ … තනතුරෙහි නැවත සේවයේ පිහිටුවනු ලැබේ.”

ලංවිම වෘත්තීය සමිති නායකත්වය විසින් මෙම සේවක දඩයමට එරෙහි සටන සම්පූර්නයෙන්ම යට ගැසූ තතු තුල මාස හයකට වැඩි කලක් මෙම සේවකයින්ගේ සේවය අත්හිටුවා තිබූ අතර මේ අයුරින් යලි සේවයට කඳවා ඇත්තේ ද ඔවුන් මත පටවා ඇති චෝදනාවලින් නිදහස් කර නොවේ. ඔවුන්ට වැඩ තහනම් කර තිබූ කාලය තුල මාසිකව ගෙවන ලද්දේ වැටුපෙන් අඩකි. හිඟ වැටුප ගෙවන්නේ ද යන්න ලිපියෙන් පැහැදිලිකර නැත.

මෙලෙස ලංවිම පාලකයන්, මෙම සේවකයන්ට දඬුවම් කිරීමේ තර්ජනය අතේ තබාගෙන ඇති අතර, එය ඔවුන් කාර්මික ක්‍රියාවලට සහභාගිවීමට එරහි තර්ජනයක් ද වේ. නමුත් සමිති නායකයින් මෙම කොන්දේසි හා තර්ජන නිහඬව අනුමත කිරීමෙන් යලිත් පෙන්වා ඇත්තේ තමන් දඩයම මුලුමනින්ම පිලිගන්නා බවයි.

ලංවිම පෞද්ගලීකරනයට එරෙහිව එහි රට පුරා සේවකයින් 20,000 පමනකගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 3 සිට 5 දක්වා දින තුනක අසනීප නිවාඩු දමා කල විරෝධතාවය මැඬලීමට අවි අමෝරාගත් ආන්ඩුව මෙම දඩයම උසි ගැන්වූයේය. වික්රමසිහ ආන්ඩුවේ සෘජු මැදිහත් වීම මත ලංවිම පාලනාධිකාරිය මඟින් ‘පාරිභෝගිකයින්ට සේවා සැපයීමේ රාජකාරිය පැහැර හැරියේය’ යන චෝදනාව මත ජනවාරි තුන්වන සතිය තුල මෙම සේවකයින් 62 දෙනාගේ වැඩ තහනම් කලේය.

දඩයමේ කොටසක් ලෙස වෘත්තීය සමිති නායකයකු වන කෝසල අබේසිංහ කොලඹින් පිට ශාඛාවකට මාරුකර යැව්වේය.

පුද්ගලිකරනය මගින් රැකියා සහ සේවා කොන්දේසි විනාශ කිරීමේ සැලසුම් වලට එරෙහිව සටන් වැදුනු ලංවිම කම්කරුවන් ආන්ඩුවේ දඩයමින් ආරක්ෂා කිරීමට වෘත්තීය සමිති නිලධරය කිසිවක් නොකල අතර, එමගින් එය ආන්ඩුව සහ පාලනාධිකාරිය සමඟ දඩයමට හවුල් වී ඇත.

හැට දෙදෙනා වැඩ තහනමට ලක් කෙරුනේ, ජනාධිපති වික්රමසිංහ ලංවිම අත්යවශ්ය මහජන සේවාවක් ලෙස ගැසට් කර වර්ජන තහනමක් පැනවීම හා බලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම කඩ කරමින් සේවය පැහැර හැරීම හුවා දක්වමිනි. එලෙස පහර එල්ල කෙරුනේ වැඩ වර්ජන කිරීමට කම්කරුවන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටයි.කම්කරු පංතිය හැමවිටම පෙනී සිටිය යුතු විශිෂ්ට මූලධර්මයක් වන්නේ, ධනපති පන්තිය, තම පන්තියේ එක් අයෙකුට හානියක් සිදුකල හොත් එය සියල්ලන්ට ම සිදුකල හානියක් ලෙස සැලකීමයි. එහි අර්ථය වන්නේ, දඩයමට ලක්වූ පංති සගයන් රැකීමට සියලු කම්කරුවන් බලමුලු ගැන්වීමේ උවමනාවයි.

වෘත්තීය සමිති නිලධරය මේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් රැකීමට එරෙහිව සිටින අතර වෘත්තීය සමිති කම්කරුවන් සිරකරන යකඩ සැට්ටයක් බවට පත්ව තිබේ. ඔවුන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි තලා දැමීමට ආන්ඩුව, රාජ්‍ය බලධාරීන් හා ධනපති හාම්පුතුන් සමග එකට ක්‍රියාකිරීම සමග බැඳී ඇත. මෙය ලංවිමය පමනක් නොව පොදුවේ අන් සෑම තැනකම සමිති නිලධරයන්ගේ ක්‍රියාකලාපයයි.

තමන්ට “නොගැලපෙන පරිදි” ප්‍රතිව්‍යූහකරනය කිරීමට ඉඩ නොදෙන බවටත් සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කරන බවටත් රැස්වීම වල දී සහ විරෝධතාවන්හිදී බෙරිහන් දුන් මෙම සමිති නායකයෝ ආන්ඩුවේ ප්‍රතිව්‍යූහකරනය පිලිගෙන ඍජුවම ආන්ඩුව සමඟ රැකියාවන් කප්පාදු කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටිති.

ලංවිම ප්‍රතිව්‍යූහකරනය තුල ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් මගින් ලංවිම ශ්‍රම බලකාය අඩුකිරීම ගැනද නව වැටුප් ව්‍යූහයක් හඳුන්වාදීම ගැනද විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර, ලංවිම පාලනාධිකාරය සහ එහි වෘත්තීය සමිති සමග අගෝස්තු 5 දා සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව විජේසේකර මාධ්‍යවලට පැවසුවේ මෙහි දී “ලංවිම ප්‍රතිසංස්කරනවල ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය, ප්‍රධාන නව ආයතන සඳහා පත්වීම්, මානව සම්පත් කලමනාකරන ප්‍රතිපත්තිය, යෝජිත නව වැටුප් ව්‍යූහයන්, කාර්ය සාධනය පදනම් කරගත් දිරිගැන්වීම් ක්‍රම සහ ස්වේච්ඡා විශ්‍රාම ප්‍රතිපත්තිය පිලිබඳව සාකච්ඡා කලා” යනුවෙනි.

සාකච්ඡාවට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ (ඒවෘසස) කැඳවුම්කරු රංජන් ජයලාල් සහ අනෙකුත් සියලුම සමිති නායකයන් සහභාගී වී ඇත. මෙම සන්ධානය යනු, ජයලාල් ප්‍රධාන ලේකම් වන ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිත ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධිත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං), එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමය (ජාසේස), ඇතුලු දුසිම් දෙකකට වැඩි සංගම්වල එකතුවකි.

ලංවිම රැකියා කප්පාදුවේ කොටසක් ලෙස 26,000 ක ශ්‍රමබලකාය 5,000 දක්වා පහෙන් එකකට අඩු කෙරෙනු ඇති බවට විජේසේකර පවසා ඇත. වැටුප් කප්පාදු කිරීමට, වැඩ වේගවත් කිරීමට සහ ලංවිම කොටස් 12 කට කඩා ක්‍රමානුකුලව පුද්ගලීකරනය කිරීමට සමිති නායකත්වය සක්‍රීයව සහයෝගය දෙයි.

රාජ්‍ය අංශය රැකියාවන් කප්පාදු කිරීම සංඥා කරමින් මේ වනවිට මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙතටද දිගේලි කරමින් පවතී. ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත යනුවෙන් මෙම ආයතනය පෞද්ගලිකරනය කිරීම සඳහා, ජූලි 9 වෙනිදා, පාර්ලිමේන්තුවේ නව පනතක් සම්මත කලේය.

ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය, ජනාධිපති අසුනට ඔට්ටු අල්ලා ගෙනයන ව්‍යාපාරය මධ්‍යයේ වැඩ වර්ජන ක්‍රියාමාර්ග නතර කරන ලෙස තම වෘත්තීය සමිතිවලට නියමකර තිබේ—එය වැඩවර්ජන තහනමක් පැනවීමකි. මෙය ජාත්‍යන්තර ආයෝජකයන් ගේ සහ දේශීය මහා ධනපතියන් ගේ අවශ්‍යතා වලට කල් තියාම අවනත වීමක් මෙන් ම තමන් බලයට ආවොත් වැඩවර්ජන තහනමක් පොදුවේ ක්‍රියාත්මක කරන බවට නිකුත්කල නිවේදනයක් හා සමාන ය.

වැඩවර්ජන තහනම පැනවීමට පෙර සිටම මෙම සමිති නායකයෝ අනෙකුත් සමිතිවල නිලධරයන් සමග එක්ව සිදුකලේ කම්කරු අරගල අවහිර කිරීම, සිමා කිරීම හා අවමංගත කිරීමයි.

වෘත්තීය සමිති නිලධරයන්ගේ මෙම ධනපති ගැති ක්‍රියාකලාපය පෙන්නුම් කරන්නේ, කම්කරුවන් තම අයිතීන් රැක ගැනීම සඳහා, සමිති නිලධරයන්ට කිසිදු ඉඩක් නොදී, ධනපති පක්ෂවලින් ස්වාධීනව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු සියලු වැඩපොලවල ගොඩනගා ගැනීමේ දැවෙන අවශ්‍යතාවයි.

දැනට එලෙස ගොඩනගා ඇති වරාය, වතුකරයේ, සෞඛ්‍ය අංශයේ, ගුරුවරුන්ගේ සහ කයිට්ස් ධීවරයන්ගේ ක්‍රියාකාරී කමිටුවල එකමුතුව ජනවාරි 23 දින වැඩ තහනමට ලක්වූ විදුලිය සේවකයන් ආරක්ෂා කිරීමේ අරගලයකට කැඳවුම් කරමින් විදුලිබල කම්කරුවන්ට එරෙහි ආන්ඩුවේ දඩයමට විරුද්ධ වෙනු! ප්‍රති ප්‍රහාරයක් සූදානම් කරමු! යන මාතෘකාවෙන් ප්‍රකාශයක් නිකුත් කලේය. එම ප්‍රකාශය යලි කියවන ලෙස ලංවිම හා අවශේෂ කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.

එලඹෙන ජනාධිපතිවරනය තුල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂකයා ලෙස පානි විජේසිරිවර්ධන ඉදිරිපත් වන්නේ මෙම ක්‍රියාමාර්ගය මතවේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ හා ගම්බද මහජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමේ අරගලයක් වර්ධනය කිරීමට, ක්‍රියාකාරී කමිටු මගින් තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවුම් කිරීමේ වැඩපිලිවෙලකට සසප හා විජේසිරිවර්ධන සටන් කරයි. එවන් සම්මේලනයක් සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට අරගලය කිරීමේ පදනම සපයයි.

මෙහිදී විදුලිබල කම්කරුවන් සමඟ ඒ්කාබද්ධව සංවිධානය වන ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ සගයින් වන්නේ, ධනවාදය විසින් නිපදවන ලද උග්‍ර ප්‍රශ්නවලටම මුහුන දෙන ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් ය.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ, ගෝලීය සංගතයන්ගේ හා මහා ව්‍යාපාරවල අවශ්‍යතා මත ක්‍රියා කරන කුමන ධනපති ආන්ඩුවකට හෝ එරෙහිව සටන් කිරීම සඳහා තීරනාත්මක වන, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමට විදුලි බල සේවකයින් ඇතුලුව රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් කම්කරුවන් පෙරට ආ යුත්තේ එබැවිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩියේ ඵල වු ලිපියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *